ගෑස් බෙදාහැරීම නැවතත් හෙට සිට – සෑම පිරවුම්හලකටම ඩීසල්

ගෑස් බෙදාහැරීම නැවතත් හෙට සිට – සෑම පිරවුම්හලකටම ඩීසල්

*********************************************

ගෑස් බෙදාහැරීම නැවතත් හෙට සිට – සෑම පිරවුම්හලකටම ඩීසල්

(17.05.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) සිට දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරීම ආරම්භ කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

අද (17) දිනයේ දී ගෑස් මෙට්‍රික් ටොන් 3700 ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙන අතර, තවත් නෞකාවක් හෙට (18) දිනයේ දී පැමිණෙන බවයි එම සමාගම සඳහන් කළේ.

ලිට්රෝ සමාගම විසින් මීට පෙර දැනුම් දී තිබුණේ, ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදා හැරීම සීමා කර තිබූ බවයි.

මේ අතර, ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ (16) දිනයේදීත් ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබුණා.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ, ඩීසල් තොග ප්‍රමාණවත් පරිදි ලැබුණ ද පෙට්‍රල් නිකුත් කිරීමේ යම් ගැටලුවක් පවතින බවයි.

කෙසේ වෙතත් සෑම ඉන්ධනහලකටම ඩීසල් ලබාදී ඇති බවද එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර නව කොරෝනා රැල්ල පාලනය කිරීමට චීනය සමත්වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ, ලොව විශාලතම තෙල් පාරිභෝගිකයෙකු වන චීනයේ ඉල්ලුම ඉහළ යාමේ අපේක්ෂා පළවීම හේතුවෙන්.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 114.30 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

***************************************

නිවාස අහිමිවූ මැති ඇමතිවරුන් 71 කට තලවතුගොඩින් නිවාස

(17.05.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ කළහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් 71 දෙනෙකුගේ නිවාස ඇතුළු දේපළවලට හානි සිදු වී තිබෙනවා.

ඒ අනුව කඩිනමින් ඔවුන්ට යලිත් නව නිවාස නිවාස ලබා දීමට රජය තීරණ කර ඇති බවටයි වාර්තා වන්නේ.

තලවතුගොඩ ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක මන්ත්‍රී නිවාස 100 ක් ඉදි කරමින් පවතින අතර, ඒවා කඩිනමින් වැඩ අවසන් කොට නිවාස හානියට ලක් වූ මැති ඇමතිවරුන් හට ලබා දීමට තීරණය කර ඇති බව සඳහන්.

පසුගිය දා ඇති වූ ප්‍රචන්ඩකාරී ක්‍රියා හේතුවෙන් ඇතැම් මහජන නියෝජිතයින්ගේ පවුල්වල ඥාතීන් තවමත් වෙන්ව සිටින බැවින් ඔවුන් අපහසුතාවට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුවයි පාර්ලිමේන්තුවේ මැදිහත්වීමෙන් කඩිනමින් ඔවුන්ට නිවාස ලබා දීමට තීරණය කර ඇත්තේ ෴

***************************************

විවෘත ගිණුම් ක්‍රමවේදය නතර කරන්න එපා – අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක්

(17.05.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

විවෘත ගිණුම් හරහා භාණ්ඩ ආනයනය කිරීමේ ක්‍රමවේදය රජය විසින් නතර කිරීමට ගෙන ඇති තීන්දුවත් සමඟ තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළදුන්ගේ සංගමය පවසනවා.

මේ මස 20 වනදා සිට එලෙස විවෘත ගිණුම් හරහා භාණ්ඩ ආනයනය නතර කිරීමට මහ බැංකුව පියවර ගත්තා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් අල, ලූණු ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමේදී තමන් දැඩි අපහසුතාවට පත්වන බවයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.

මාසිකව මෙරට ආනයන වියදම් ලෙස වැය කෙරෙන ඩොලර් බිලියන 1.6 ත් 1.8 ත් අතර ප්‍රමාණයෙන් සියයට 25 ක් පමණ සිදු කෙරුණේ විවෘත ගිණුම් හරහායි ෴

***************************************

ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු (2) අල්ලයි

(17.05.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ගාලු‍ මුවදොර සහ අරලියගහ මන්දිරය අසළ සාමකාමී අරගලයක නිරතවු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා නගර සභා සේවකයෙකු බව සඳහන්. මීට පෙරද සිද්ධියට අදාළව මොරටුව නගර සභා සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත යන හිටපු අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ෴

***************************************

සාමාන්‍ය පෙළ උපකාරක පන්ති අද (17) මධ්‍යම රාත්‍රී සිට තහනම්

(17.05.2022 – 08:38 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද (17) මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහනම් වනවා.

මෙම නියෝග උල්ලංඝනය කරන බවට ලැබෙන තොරතුරු ළගම ඇති පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 23 වන දින සිට ජුනි මස 01 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි ෴

***************************************

ඉතිහාසයේ පළමු වරට මහින්ද, රනිල් දෙදෙනාම අද (17) ආණ්ඩු පක්ෂයේ අසුන්ගනී

(17.05.2022 – 09:33 +0530 – hirunews.lk/sinhala)

නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු රැස්වීම අද (17) පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද මේ වන විට පැවැත්වෙනවා.

මෙතෙක් විපක්ෂයේ අසුන්ගෙන සිටි රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ, අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගැනීමට නියමිතයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු ද වන බැවින් ආණ්ඩු පක්ෂයේම ඉදිරිපෙල ආසනයක් ඔහුට හිමිවනවා ෴

***************************************

රනිල්ට සහය දීමට හරීන්, මනූෂ සූදානම් – ලිපියකින් දන්වයි

(17.05.2022 – 10:14 +0530 – hirunews.lk/sinhala)

රට සෑම අතින් ම අසීරුවට පත්ව ඇති මෙම අවස්ථාවේ, රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්‍යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ප්‍රකාශ කරනවා.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින්.

එලෙස ම අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීමේ දී අග්‍රාමාත්‍යවරයා විසින් පහත කොන්දේසි වෙත අවධානය යොමු කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරුන් එම ලිපියේ සඳහන් කරනවා.

ඒ අනුව,

  1. සමස්ත ජනතාවගේ ඉල්ලීම වන #gotagohome යතාර්ථයක් කරනු පිණිස ඔබ විසින් පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගැනිමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග කවරේද ? ඒ සදහා නිශ්චිත දින සහ වකවානු කවරේ ද ?
  2. රාජපක්ෂවරු රැකිමට කොළඹට පැමිණ රට ලේ විලක් කළ රාජපක්ෂ කලහාකාරීන්ට මෙන්ම ඊට සම්බන්ධ පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් වෙනුවෙන් ගනු ලබන නීතිමය ක්‍රියා මාර්ග මොනවාද ?
  3. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 21 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී කාරණා කඩිනම් කිරීම.
  4. රට අරාජික වීමට මූලාරම්භය වූ සහ අසමත් පාලනයක් මේ රට තුල බිහිවීමට බලපෑ පාස්කු කුමන්ත්‍රණයට සම්බන්ධ වූ චූදිතයින්ට එරෙහිව කඩිනම් නීතිමය පරීක්ෂණයක් පැවැත්වීම, වැරදි කරුවන්ට දඩුවම් කිරීම සහ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීම සහ අවශ්‍ය නම් අපක්ෂපාතී ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම .
  5. මෙරට අරාජිකත්වයට පත්වීමට හේතු වූ මුල්‍යමය සහ අනෙකුත් වංචාවන්ට සම්බන්ධ වූ රාජපක්ෂවරු සහ ඔවුනට සම්බන්ධ සියලු ම පුද්ගලයින්ගෙන් එම මුදල් අය කර ගැනීමට කඩිනම් ක්‍රියා මාර්ග ගැනීම.
  6. කලින් කලට වෙනස් වන ප්‍රතිපත්ති වෙනුවට සියලු ම ක්ෂේත්‍ර උදෙසා ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම.
  7. රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම ඇතුලුව අනීතික සහ අසාධාරණයට ලක් වූ දේශපාලන පලිගැනීම්වලට ලක්වූ පුද්ගලයන් පිලිබදව ගන්නා වූ තීරණයන්.

ආදිය සමබන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා යහපත් ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වන බවත්, එකී කොන්දේසිවලට අනුකූලව අග්‍රාමාත්‍යවරයා ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත දීත් අග්‍රාමාත්‍යවරයාට සහය පල කිරීමට සූදානම් බව අදාළ මන්ත්‍රීවරුන් සිය ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයාට දන්වා තිබුණා ෴

***************************************

පාර්ලිමේන්තුව තුළ නාදුනන පිරිසක් වීඩියෝ කරනවද? මන්ත්‍රීවරයෙකුගෙන් පැමිණිල්ලක්

(17.05.2022 – 11:16 +0530 – hirunews.lk/sinhala)

අද (17) දින ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අවසන් කර පාර්ලිමේන්තු සභා ගර්භයට මන්ත්‍රීවරුන් පිවිසෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ නාදුනන පිරිසක් විසින් කුඩා ජංගම දුරකථන වැනි වීඩියෝ උපකරණ රැගෙන මන්ත්‍රීවරුන් වීඩියෝ කරන අයුරු තමන් දුටු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පවසනවා.

ඔහු පවසන්නේ මෙම පුද්ගලයින්ට පාර්ලිමේන්තුව තුළ ඕනෑම ස්ථානයක් බාධාවකින් තොරව වීඩියෝ ගත කත කළ හැකි තත්ත්වයක් තමන් දකින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වන විට මතුව ඇති අනාරක්ෂිත තත්ත්වයක් සමඟ මෙය ඔවුන්ගේ ආරක්ෂාවට බරපතල ලෙස බලපෑම් කරන්නක් බවයි ඔහු අද (17) පාර්ලිමේන්තුව හමුවේ කතානායකවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

වහාම මේ පිළිබඳව සොයා බලන ලෙසත් ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන් භාවිත කරන සම්මත තත්ත්වයේ රූපවාහිනි කැමරා හෝ ජංගම දුරකථන ඔවුන් භාවිත නො කළ බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේ ෴

***************************************

පොලිස්පතිගෙන් CIDයට උපදෙස්

(17.05.2022 – 12:27 +0530 – hirunews.lk/sinhala)

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගෝල්ෆේස් විරෝධතාවයට පහරදීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයන්ට අදාළව නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුව කටයුතු කරන්නැයි පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම උපදෙස් අනුව විමර්ශනවලදී දැනටමත් එම සිද්ධීන්ට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් 22 කුගේ නාමලේඛනයක් යොමුකර ඇති බවයි.

එහි සඳහන් පුද්ගලයින් එම අපරාධවලට සම්බන්ධ බවට සාධාරණ සැකයක් ජනිත වන්නේද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

එම නීතිපති උපදෙස් අනුව තවදුරටත් විමර්ශන පවත්වා ප්‍රගතිය නීතිපතිවරයා වෙත වාර්තා කිරීමටත් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ විධිවිධාන අනුව අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පුද්ගලයන්ට පහරදී දිවයින පුරා පොදු සහ පෞද්ගලික දේපළවලට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 258 දෙනෙකු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා ෴

***************************************

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙකු (7) ගැන රහස් පොලිසියෙන් කථානායකට දැනුම් දීමක්

(17.05.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ගාලු‍ මුවදොර සහ අරලියගහ මන්දිරය අසළ සාමකාමී අරගලයක නිරතවු විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා සේවකයෙකු බව සඳහන්.

මේ අතර මෙම සිද්ධියට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙකු (7) සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායකවරයාට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඔවුන් අද (17) දින පාර්ලිමේන්තුවට පැමිණ සිටීනම් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසටයි එම දෙපාර්තමේන්තුව කථානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, මිලාන් ජයතිලක, සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) නියෝග කළා.

සිද්ධියට අදාළව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව තුනක් (3).

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ දිවයින පුරා සිදුවූ කළහකාරී සහ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 258 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර ෆේස්බුක් සමාජ මාධ්‍යය ඔස්සේ තමන්ට සිදුකළ තර්ජනයකට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මන්ත්‍රිවරයා විසින් ඒ පිළිබඳව හාලි ඇල පොලීසියට ඊයේ (16) දිනයේදී ලිපියක් මගින් දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.

හාලිඇල බණ්ඩාරවෙල මාර්ගයේ පදිංචි පුද්ගලයෙකු සිය ෆේස් බුක් ගිණුමේ ‘චාමර සම්පත් තවමත් ජීවතුන් අතර ද?’ සහ ඔහුත් ලැයිස්තුවේ සිටින බවට සටහනක් පළ කර ඇති අතර, ඊට අදාළවයි මන්ත්‍රීවරයා විසින් පොලිසිය දැනුවත් කර ඇත්තේ.

මේ අතර, ගාලු මුවදොර ආරම්භ කර ඇති විරෝධතාව අද (17), 39 වැනි දිනටත් ක්‍රියාත්මක අතර, ඊයේ (16) රාත්‍රියේත් වෙසක් පොහෝය දිනයට සමගාමීව තොරණක් ඉදිකර බැති ගී සංදර්ශනයක් ද පැවැත්වුණා ෴

***************************************

ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟයෙන් රෝහල්වල සැත්කම් සීමා කෙරේ

(17.05.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

පවතින ඖෂධ හිඟයත් සමග කොළඹ ජාතික රෝහල, මහරගම අපේක්ෂා රෝහළ, රිජ්වේ ආර්යයා ළමා රෝහල ඇතුළු ප්‍රධාන රෝහල්වල හදිසි නොවන සියලු සැත්කම් සීමා කර තිබෙනවා.

ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය මත මෙලෙස සැත්කම් සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඉන්ධන, ගෑස් සහ විදුලි කප්පාදුව හේතුවෙන් ක්ෂේත්‍ර රැසක ජනතාව මේ වනවිට දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටිනවා.

ඉන්ධන නිකුත් කිරීම මේ වනවිට සීමා කර ඇති පසුබිමක විවිධ ප්‍රදේශවල ඉන්ධන මෙන්ම ගෑස් ලබා ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ හේතුවෙන් කුලී රථ සේවාවන් සපයන ත්‍රිරෝද රථ කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඇති අතර, මැනිං වෙළඳපල ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන සඳහා එළවළු ප්‍රවානය කිරීමට ද ගැටලු මතුව ඇති බවයි මැනිං පොදු වෙළඳ සංගමය පවසන්නේ.

කෙසේ වෙතත්, සෑම ඉන්ධනහලකටම ඩීසල් ලබාදී ඇතත් පෙට්‍රල් නිකුත් කිරීමේදී ගැටලු පවතින බවයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර, මාලිගාවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය 6 කට වැඩි ප්‍රමාණයක් පෝලිම් රැදී සිටි පුද්ගලයෙකු නැවත නිවස බලා යමින් සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි මාලිගාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

එසේම, අද (17) සිට යළි දිවයින පුරා පැය 3 යි මිනිත්තු 40 ක විදුලි කප්පාදුවක් ද සිදු කිරීමට නියමිතයි ෴

***************************************

දින 10 කට පසු පාසල් යළි විවෘත වෙයි

(17.05.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

මුළු දිවයිනටම පනවා තිබූ ඇඳිරිනීතිය අද (17) පෙරවරු 5 ට ඉවත් කිරීමත් සමඟ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් පවතිනවා. රජය විසින් මේ දක්වා ඇඳිරිනීතිය යළි දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

ගාලු මුවදොර ඇති වූ ගැටුම්කාරී තත්වයත් සමඟ වසා දමා තිබූ පාසල් අද (17) යලි ආරම්භ කෙරුණේ දින 10 කට පසුවයි.

පාසල් ආරම්භයත් සමඟ දරුවන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයේ පැවතියත් ඉන්ධන ගැටලුව හේතුවෙන් දරුවන් මෙන්ම ගුරුවරුන්ටද පාසල් වෙත පැමිණිමේදී බාධා මතුවී ඇති බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් කියා සිටියේ.

මේ අතර, රජයේ කාර්යාල කටයුතු ද අද (17) සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ අතර දින කිහිපයක සිට අත්හිටුවා තිබූ එක් දින සහ සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද සිට සිදු කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමඟ බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදු වුවද පවතින ඉන්ධන අර්බුදය හමුවේ බස්රථ යම් ප්‍රමාණයක් පමණක් ධාවනය වන බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

මේ අතර, වෙසක් උත්සවය හා ඇඳිරිනීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් අඩාල වී තිබූ දුම්රිය ධාවනය ද අද (17) සිට යථා තත්වයට පත්ව ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න පවසනවා ෴

***************************************

පාර්ලිමේන්තුවේ සිදුවෙන පුදුම දේවල්

(17.05.2022 – 13:16 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව වැඩි ඡන්ද 51 කින් පරාජයට පත්වෙයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් ගෙන ඒම සඳහා විපක්ෂය අද (17) දරු උත්සාහයක් ව්‍යවර්ථ වී ගියා.

මෙම යෝජනාව ගෙන ඒම සඳහා එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාවරයා විසින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව පළමුව ඉදිරිපත් කළා.

ඒ අනුව ඒ සඳහා ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු අතර එහිදී යෝජනාවට විරුද්ධව ඡන්ද 121 ක් ලැබුණු අතර යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68 ක්.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව වැඩි ඡන්ද 51 කින් පරාජයට පත්වුණා.

මෙහිදී ජනාධිපතිවරයාට විරෝධය පළ කිරීමේ යෝජනාවට එරෙහිව ආ‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඡන්දය භාවිතා කර තිබුනා ෴

++++++++++

අගමැතිගේ පළමු යෝජනාව ම පරාදයි; ඉදිරියේ දී පරාජයන් රැසක් බලාපොරොත්තු වන්න – රෝහිණී කවිරත්න

(17.05.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමේ ඡන්දය දැඩි මතභේද මධ්‍යයේ අද (17) පැවැත් වුණා.

ඒ අනුව නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත් වූයේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයායි.

ඒ විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ රෝහිණී කවිරත්න මත්‍රීවරියට වඩා වැඩි ඡන්ද 31 ක් ලබා ගෙනයි.

කෙසේ නමුත් ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දැක්වීමට අවස්ථාව ලද මන්ත්‍රීවරියගේ මුවින් පිට වූයේ තියුණු වාග් ප්‍රහාරයක්.

එහි දී ඈ මුලින් ම කියා සිටියේ, කාන්තාවක ලෙස පාර්ලිමේන්තුවේ දී තමා වාචික හිංසනයට ලක් වන අවස්ථාවේ සභාවේ මුලසුන දැරූ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග නියෝජ්‍ය කතානායක ධුරයට තරග කරන්නට සිදු වීමම දෛවයේ සරදමක් බවයි.

එලෙස ම ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් ම බවත්, පාර්ලිමේන්තුව තුළ එය කිසිදු විටෙක නොපවතින බව ද ඇය ප්‍රකාශ කළා.

කෙසේ නමුත් අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සභාවේ හරි මැද සිට කටයුතු කිරීමට හැකියාව ලැබේවා යි තමා ප්‍රාර්ථනා කරන බව ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළා.

තමාව නියෝජ්‍ය කතානායක ධුරය සඳහා සුදුසු යැයි මුලින් ම යෝජනා කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවත්, තමාව පරාජය කිරීමෙන් පෙනී යන්නේ අග්‍රාමාත්‍යවරයාගේ පළමු යෝජනාව ම පාර්ලිමේන්තුවේ පරාජයට පත් වීම හැර අන් කවරක්දැයි ඇය සභාවෙන් ප්‍රශ්න කළා.

එලෙස ම ආණ්ඩුවට ඉදිරියේ දී පරාජයන් වැලකට මුහුණ දීමට සිදු වන බව ද මන්ත්‍රීවරිය ප්‍රකාශ කළා.

තවද ආණ්ඩුව තවමත් හසුරුවන්නේ රාජපක්ෂලා බවට මෙමගින් පෙන්නුම් කෙරෙන බව ද මන්ත්‍රීවරිය සඳහන් කළා.

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු කතානායකවරියක් හෝ නියෝජ්‍යකතානායකවරියක් හෝ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරියක් තවමත් තේරී පත් වී නොමැති බවත්, නමුත් මෙරට ජනගහනයෙන් 52% ක් හා මෙරට ඡන්දදායකයන්ගෙන් 56% ක් කාන්තාවන් වීම කණගාටුවට කරුණක් බවයි මන්ත්‍රීවරිය සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About providing houses for MPs at Thalawatugoda. This stupid country and crafty government administration based on party politics only continues to molly coddle and treat like babies these rotten, corrupt MPs. They lost their palatial houses in the villages because these were acquired through corruption and misusing national assets that should have been properly used and equally shared by all the citizens for their welfare, such as housing the poor, education, health services and providing some decent roads and bridges in rural areas.And, look at the way these MPs and Ministers are floating past poor demonstrators in super luxury tinted window vehicles that look like ships. No caring at all for the people even at a time of a national crisis, just flaunting their privileges that they have voted themselves without asking the public. That is day light robbery. And now, the rotten government wants to house them in Thalawatugoda in houses that are worth some 100 to 200 million Rs. Not bad bad eh. The government has no nerves to feel the pain and suffering of the average public. Instead of telling these scroungers to go build your own home in the village that they come from, they give even more privileges to these cry babies. A poor family loses their house by storm or by fire, and they get nothing and they and their children end up on the street or in ambalama. This is the way in this Dharmadweepa. Corruption everywhere at high places. Curses to them the damned!

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *