ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න

ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න

*********************************************

ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් ඇති නම් 1999 අමතන්න

(04.05.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ සපයා ගැනීමේ ගැටලුවක් පවතින්නේ නම්, ඒ සදහා සහයවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව 1999 සුවසැරිය දුරකථන අංකය අමතා එහි දෙවන (2) අංකය තෝරා ගැනීමෙන් මෙම පහසුකම ලබා ගැනීමේ හැකියාව පවතින බවයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.

දැනට වෙළෙදපොළේ සහ රජයේ රෝහල්වල ඖෂධ හිගයක් පවතින බවට වාර්තා පළ වුණා ෴

***************************************

කොලොන්නාවෙන් ඉන්ධන නිකුත් කිරීම අඩුවෙයි

(04.05.2022 – 12:44 +0530 – hirunews.lk/sinhala)

බවුසර් හිමියන්ගේ වර්ජනය අවසන් වුවත් ඉන්ධන ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන තොගවල හිඟතාවයක් කොලොන්නාව තෙල් පර්යන්තය සතුව පවතින බවට වාර්තා වනවා.

දෛනිකව බවුසර් රථ මගින් ප්‍රවාහනය කරන ඉන්ධන ප්‍රමාණය ඊයේ (03) දිනයේ සහ අද (04) දිනයේ ප්‍රවාහනය කිරීමට නොහැකි වූ බවයි බවුසර් රථ හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය සතුව පැවති ඉන්ධන විදුලි බලාගාර සඳහා ලබාදිම මෙම හිඟයට හේතුවී ඇති බව වාර්තා වනවා.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ඊයේ (03) අක්‍රිය වීමත් සමග අවශ්‍ය ඉන්ධන විදුලි බලාගාර සඳහා ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරනු ලැබුවා.

ඉන්ධන ලබා ගැනීම සඳහා මේ වනවිටත් පිරවුම් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පිරවුම්හලක් අසළ රැස්ව සිටි පිරිසක් ඉන්ධන නොලැබිම හේතුවෙන් ඊයේ (03) විරෝධය දක්වා ටයර් පිළිස්සු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රිය වූව ද සිදුකරන විදුලි කප්පාදුව දිගු නොකරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එය යලි සකස් කිරීම සඳහා තවත් දින 4 ක පමණ කාලයක් ගතවනු ඇති අතර, මේ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති මෙගාවොට් ප්‍රමාණය 270 ක්.

රාමසාන් දිනය යෙදී තිබීම හේතුවෙන් ඊයේ (03) විදුලි කප්පාදුවක් සිදු නොවූ නමුත් අද (04) පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

මේ අතර, යාපනය ඉලවාලෛයි ප්‍රදේශයේදි නිවසක ඊයේ (03) ඇති වු ගින්නකින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් දැරියක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇගේ නිවසේ තිබී පෙට්රල් අඩංගු කෑන්එකක් සොයා ගැනුණා.

දැරිය සිය කාමරය තුළ පාඩම් කරමින් සිටියදී කාමරය තුල ගිනි කූරකින් පහනක් දල්වා එය ඉවත දැමීමත් සමග රෙදි කැබැල්ලකට වැටීමෙන් ගින්නක් හට ගන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.

එමෙන්ම, ඇතැම් ප්‍රදේශවල ගෑස් ලබා ගැනීමට ද ජනතාව දිගු පෝලිම්වල රැදී සිටිනවා ෴

***************************************

හෙට (05) දිනයේදීත් පැය 03 කට අධික විදුලි කප්පාදුවක්

(04.05.2022 – 16:25 +0530 – hirunews.lk/sinhala)

හෙට (05) දිනයේදීත් පැය 3 යි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව, A සිට W දක්වා කලාප වලට උදෑසන 9 ත් පස්වරු 5 ත් අතර පැය 2 ක කාලයක් සහ සවස 5 ත් රාත්‍රී 9 ත් අතර පැය 1 යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදුකෙරෙනු ඇති.

මීට අමතරව CC කලාපය සඳහා උදෑසන 6 ත් 9 ත් අතර, පැය 3 ක කාලයක් විදුලිය කප්පාදුව සිදුකෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක්

(04.05.2022 – 20:07 +0530 – hirunews.lk/sinhala)

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න ප්‍රමාණයක් අද (04) දින ඉන්දියාවේ සිට කොළඹට ළඟා වුණා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම ඉටු කරමින් මේ වන විට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 440,000 ක ප්‍රමාණයක් ලබා දී ඇති බවයි

එමෙන්ම ඉදිරියේදී තවත් ඉන්ධන තොග ලබා දීමට නියමිතයි ෴

***************************************

ඉදිරියේදී භාණ්ඩ රැසකට පාලන මිලක්

(04.05.2022 – 18:13 +0530 – hirunews.lk/sinhala)

රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිළ විචාලනය වැලක්වීම පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කරන බව සමූපකාරසේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

මෙතෙක් පාරිභෝගික අධිකාරිය භාණ්ඩවල මිල පාලනයක් නොකළ අතර ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කවරේදැයි නිශ්චිත ලැයිස්තුවක් මෙතෙක් කල් නොතිබීම නිසා භාණ්ඩවලට උපරිම මිලක් නියම කිරීමට නොහැකි වී තිබෙනවා.

ඉදිරියේදී එවැනි ලේඛනයක් සකසා පාලන මිලක් නියම කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

පවත්නා අර්බුදකාරී වාතාවරණය තුල සහල් මිල ඉහළ යාම වැලැක්වීමට නව ගැසට් පත්‍රයක් මගින් උපරිම මිලක් නියම කළ අතර එම උපරිම මිල දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන සහල් සඳහා පමණක් නියම කර තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය විසින් විශේෂ සහනදායී මිලට සපයන සහල් සඳහා උපරිම මිල බල නොපාන බවයි වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පැවසුවේ.

2015ට පසු වී අලෙවි මණ්ඩලය එකතුකරගත් ඉහළම අරාක්ෂිත වී තොගය වන මෙට්‍රික් ටොන් 70,000 කට අධික ප්‍රමාණයක් මෙම වසර තුල ලබාගෙන තිබෙනවා.

එම වී උත්සව සමය ඉලක්ක කර ගනිමින් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සතොස, සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් වෙත රු. 140 ක මිලකට සැපයීමටයි සැලසුම් කර ඇත්තේ.

අප්‍රේල් මස මුල සිට රුපියල් 145 ක මිලකට සතොස, සමූපකාර ජාල වෙතින් සහල් මිලදී ගැනීමට හැකියි ෴

***************************************

උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

(04.05.2022 – 08:52 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු පළා යාම හේතුවෙන් හලාවත පොලිස් ස්ථානයේ සේවය කරන උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩතහනම් කර තිබෙනවා.

පළා ගිය සැකකරු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 02 වන දායි.

පසුව සැකකරු වැඩතහනමට ලක්වූ උපපොලිස් පරීක්ෂකවරයා භාරයේ අධිකරණය වෙත රැගෙන යාමට පොලීසියෙන් පිටතට රැගෙන ආ අවස්ථාවේ ඔහු පළා ගොස් තිබුණා.

කෙසේ වෙතත්, පළා ගිය සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මොහු හලාවත – ඉරණවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් ෴

***************************************

වතිකානුව බලා ගිය කාදිනල් හිමියන් ඇතුළු පිරිස දිවයිනට

(04.05.2022 – 11:01 +0530 – hirunews.lk/sinhala)

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ආරාධනයකට අනුව වතිකානුව බලා ගිය අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් සහ ඔවුන්ගේ ඥාතීන් අද (04) උදෑසන දිවයිනට පැමිණියා.

පසුගිය මස 22 වනදා ඔවුන් වතිකානුව බලා දිවයිනෙන් පිටත්ව ගියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බවට ශුද්ධෝත්තම පාප්වහන්සේ කළ ආරාධනයකට අනුවයි.

එහිදී පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉෂ්ඨ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සලසන ලෙසට ද ඔවුන් පාප්වහන්සේගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.

***************************************

ජවිපෙ නායකයාට එරෙහිව යෝෂිත රාජපක්ෂ අධිකරණයට

(04.05.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කළේ ඊයේ (03) පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේ දී යෝෂිත රාජපක්ෂට අයත් ඉඩම් ලෙසට ඔප්පු අංක සහ ඉඩම්වල නම් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සිදු කළ කරුණු දැක්වීම අසත්‍ය හා ජනතාව නො මග යවන සුළු ප්‍රකාශයක් බවයි.

***************************************

මොරටුව-කොරළවැල්ලේ වෙඩි තැබීමක්

(04.05.2022 – 17:16 +0530 – hirunews.lk/sinhala)

මොරටුව-කොරළවැල්ල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු (2) කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ මෙමෙ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ෴

***************************************

කුරුණෑගල මහා පරිමාණ රන් සොරකමක සැකකරුවන් අත්අඩංගුවට

(04.05.2022 – 17:56 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ප්‍රදේශයේ ස්වර්ණාභරණ සොරකම් කිරීමකට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අප්‍රේල් මස 24 වනදා කුරුණෑගල සාරගම වැව අසලදී වැටලීමක් සිදු කර හෙරොයින් ගෑම් 5 යි මිලිග්‍රෑම් 240 ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර දින 7 කරැඳවුම් නියෝග ලබාගෙන තිබුණා.

සැකකරු සම්බන්ධයෙන් කරන ලද වැඩිදුර විමර්ශණවලදී අනාවරණ වි ඇත්තේ එම සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ රුපියල් 10,477,000 ක් පමණ වටිනා රන් භාණ්ඩ සහිත යකඩ සෙප්පුවක් සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.

සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රන් භාණ්ඩවලින් රුපියල් 4,680,000 ක් පමණ වටිනා පවුම් 24 ක ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවි සැලකට විකුණා තිබියදී සොයාගෙන තිබෙනවා.

එමෙන්ම කුරුණෑගල රන් භාණ්ඩ අලෙවිසැලකට රැපියල් 4,290,000 ක් පමණ වටිනා රන් පවුම් 22 ක ප්‍රමාණයක් අලෙවි කර තිබියදී සොයාගෙන ඇති බවයි පොලීසිය කියාසිටියේ.

රන් භාණ්ඩ අලෙවිකර ලබාගත් මුදල්වලින් මිලදී ගත් රුපියල් 380,000 ක් වටිනා යතුරුපැදියක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි සැකකරු පසුගිය දෙවනදා (2) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 31 වනදා ද ක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

සැකකරු රන් භාණ්ඩ අලෙවි කිරීම සඳහා ලබාදෙන ලද තවත් පුද්ගලයින් හතර දෙනෙකු (4) ද අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතකර ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

කුරුණෑගල සහ මීගමුව ප්‍රදේශවල පදිංචි එම සැකකරුවන් අවුරුදු 37, 38, 41 සහ 45 වයස්වල පසුවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියයි පරීක්ෂණ මෙහෙයවන්නේ ෴

***************************************

රටින් පිටකළ ඩොලර් සොයන්නැයි ජගත් සංවිධානයට පැමිණිල්ලක්

(04.05.2022 – 18:46 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේදි සිදුවූ ප්‍රශ්න ගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුවේ මුදල් තම පවුලේ ඥාතීන් වෙත ලැබුණු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, නිසි අනුමැතියකින් තොරව ඇමෙරිකාවේ සී.අයි.ඒ. නියෝජිතයෙකු වන ඉමාද් සුබේරිට ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් 2014 වසරේදී ගෙවා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (03) පැවති මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කර තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ 2014 වසරේ පැවති රජයේ ලිඛිත සහ නිල උපදෙස් වලට අදාළව මහබැංකුවේ ගෙවීම් ක්‍රියාපටිපාටිය අනුව අදාළ ගෙවීම් සිදුකර ඇති බවයි.

එසේම, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂට අයත් ඉඩම් ලෙසට ඔප්පු අංක සහ නම් ඉදිරිපත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයට එරෙහිව නීිතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය ප්‍රකාශ කළා.

මේ අතර, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (04) පෙරවරුවේ මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට සංදේශයක් භාර දෙනු ලැබුවා.

ඒ මෙරට මුදල් ව්‍යාජ ලෙස විදෙස් රටවල ආයෝජනය කර ඇති බවට පළවන වාර්තා අනුව අදාළ මුදල් නැවත මෙරටට ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් ෴

***************************************

රාත්‍රී කාලයේ නිවාස කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

(04.05.2022 – 21:14 +0530 – hirunews.lk/sinhala)

පානදුර ප්‍රදේශයේ වයෝවෘද්ධ කාන්තාවන් තනිව වෙසෙන නිවාස ඉලක්ක කරගනිමින් මුදල් සහ රණ්භාණ්ඩ කොල්ල කෑමේ නිරත වූ සංවිධානාත්මක කල්ලියක් පානදුර – දකුණ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවා කාලයේදී යාචක වෙස් ගෙන නිවාස නිරීක්ෂණය කොට රාත්‍රී කාලයේ මුහුණු ආවරණ පැළඳ පැමිණ උල් ආයුධ වලින් දොරගුළු කඩා මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබී, හෙරොයින් මත්කුඩු, රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමකින් යුත් රන් ආභරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ තොගයක් සහ කොල්ලකෑම් වලට භාවිත කළ ආයුධ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *