මූල්‍ය අරමුදලේ වැඩසටහනකට මාස දෙකකින් (2) මූලික එකඟත්වයක්

මූල්‍ය අරමුදලේ වැඩසටහනකට මාස දෙකකින් (2) මූලික එකඟත්වයක්

*********************************************

මූල්‍ය අරමුදලේ වැඩසටහනකට මාස දෙකකින් (2) මූලික එකඟත්වයක්

(29.04.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා ඉදිරි මාස දෙක (2) තුළ මූලික එකඟත්වයකට පැමිණීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළ කළා.

ලංකා වානිජ මණ්ඩල කමිටුව අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඒ සඳහා සාර්වමූල්‍ය ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීමේ කටයුතු ප්‍රගතියක් අත්කරගනිමින් සිටින බවයි.

ඒ සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු වනවා.

මූල්‍ය අරමුදලේ වැඩසටහනක් සඳහා මූලික එනම්, කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගැනීමට පෙර එමඟින් ශ්‍රී ලංකාව අත්‍යවශ්‍යයෙන් ඉටුකළ යුතු යැයි අපේක්ෂා කරන ක්‍රියාමාර්ග සම්පූර්ණ කළ යුතු වනවා.

ඉන් අනතුරුව යි මෙරට අත්හිටුවන ලද විදේශීය ණය ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් ඇරඹිය හැකි වන්නේ.

***************************************

බිලියන 28 ක බැඳුම්කර වෙන්දේසියක්

(29.04.2022 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 3 කින් සහ 5 කින් කල් පිරෙන රුපියල් බිලියන 28 ක් වටිනා බැඳුම්කර ඊයේ (28) පැවති වෙන්දේසියේ දී අලෙවි කර තිබෙනවා.

එහි දී වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු වසර 3 කින් කල් පිරෙන රුපියල් බිලියන 20 බැඳුම්කරවලින් බිලියන 13.1 ක් අලෙවි වී ඇත්තේ සියයට 22 ක පොලි අනුපාතිකයකට යි.

එමෙන්ම වසර 5 කින් කල් පිරෙන රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සියයට 22.16 ක පොලී අනුපාතිකයක් යටතේ අලෙවි කිරීමට හැකි වූ බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ ෴

***************************************

පසුගිය වසරේ සේවා වියුක්ති ජනගහනය මිලියන 8 ඉක්මවයි

(29.04.2022 – 15:33 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ එරට සේවා වියුක්ති ජනගහනය මිලියන 8.114 ක් ලෙස සටහන් වන බව මහබැංකුව ප්‍රකාශ කළා.

එම වසරට අදාළ මහබැංකු වාර්තාව නිකුත් කරමින් මහබැංකුව ප්‍රකාශ කළේ පෙර වසරේ එය මිලියන 7.999 ක් ලෙස සටහන් වන බවයි.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැලපුම් වැඩසටහනක් කරා එළඹීම, රජයේ වියදම් අඩු කිරීම, ආදායම් ඉහළ දැමීම සහ විදේශ ණය ගෙවීම් සම්බන්ධයෙන් වන තීරණ මත සාර්ව ආර්ථික ස්ථායිතාව යළි ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව ද මහබැංකුව සඳහන් කළා ෴

***************************************

අපනයනය ඉලක්ක කරගත් සමාගම් වෙත මහබැංකුවෙන් විශේෂ අවස්ථාවක්

(29.04.2022 – 15:39 +0530 – hirunews.lk/sinhala)

රටට ප්‍රධානම වශයෙන් විදේශ විනිමය උපයන සියලුම කර්මාන්ත හා සේවාවන් සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය, පාලනයකට යටත්ව සෘජුව ආනයනය කිරීමට එම සමාගම් විසින් උපයා ගනු ලබන ඩොලර් ප්‍රතිශතයක් වැය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකසා දී තිබෙනවා.

මෙම ප්‍රතිලාභ හිමිවන්නේ විශේෂයෙන්ම අපනයනය ඉලක්ක කරගත් ඇඟලුම්, නිමි භාණ්ඩ ආදී නිෂ්පාදන කටයුතුවල යෙදෙන රාජ්‍ය හා පෞද්ගලික සමාගම් වෙතටයි.

ඔවුන් සිය නිෂ්පාදන අපනයනය කර උපයාගන්නා ඩොලර් සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය සඳහා සෘජුව භාවිතා කිරීමට මේ අනුව අවස්ථාව සැලසෙනවා.

මෙම තොරතුරු හෙළි වූයේ මේ වන විට කොළඹ ශ්‍රී ලංකා මහ බංකුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේ මේ හරහා අපනයනය ඉලක්ක කරගත් සමාගම් වෙත ඩොලර් හිඟය හේතුවෙන් මතුව ඇති පීඩනය යම්තාක් දුරකට අවම කරගත හැකි වනු ඇති බවටයි.

+++++++++++

දේශපාලන ස්ථාවරභාවයේ වැදගත්කම ගැන මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

(29.04.2022 – 16:01 +0530 – hirunews.lk/sinhala)

ආර්ථිකය යථාවත් කර ගැනීමට දේශපාලන ස්ථාවරභාවය අතිශය තීරණාත්මක කාරණයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටිය ද එසේ නොවුනද රජයේ අනුමත වියදම් කපා හැරීමට ගතයුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට තමා ප්‍රමුඛ නව මහබැංකු පරිපාලනය කිසිසේත් පසුබට නොවන බවයි.

මේ වන විටත් එවැනි දැඩි තීරණ රැසක් ගෙන ඇති බවත් තමා ඇතුළු මෙම කණ්ඩායම කටයුතු කරනුයේ ආර්ථිකය යථාවත් කර මේ රට නිවැරදි මාවතට ගෙන් ඒමට බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

රජයේ අනවශ්‍ය වියදම් කපා හැරීමේ දී කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වශයෙන් එම ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

මෙහිදී මාධ්‍යවේදිනියක් විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට මුදල් අමාත්‍යවරයා සතු විෂය පථයන් ගැසට් කර නොමැති වුවද එම විෂය පථයන් ආවරණය වන පරිදි මහ බැංකුව විසින් අවශ්‍ය තීන්දු සහ පියවර මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

ඔහු උදාහරණ වශයෙන් පෙන්වා දුන්නේ ඉන්ධන මිල සහ ගෑස් මිල වැඩි කිරීමට මහ බැංකුව ගත් පියවර ඉන් එකක් බවයි.

මුදල් අමාත්‍යවරයා ගේ විෂය පථය ගැසට් කර තිබුණද, නොතිබුණද, මහ බැංකුවේ ක්‍රියාකාරීත්වයට එය එතරම් දැඩි බලපෑමක් සිදු නො කරන බවටයි ඔහු අවධාරණය කළේ.

++++++++++

පරිත්‍යාග ගිණුමට ඇමරිකානු ඩොලර් 37,000 ක මුදලක්

(29.04.2022 – 16:16 +0530 – hirunews.lk/sinhala)

පිටරට සිට ලැබෙන පරිත්‍යාග ගිණුමට මේ වන විට ඇමරිකානු ඩොලර් 37,000 ක මුදලක් ලැබී ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසනවා.

මෙම මුදල අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදෙන බවයි ඔහු කියාසිටියේ.

මේ ගිණුම ආරම්භ කරන ලද්දේ පිටරට සිටින ශ්‍රී ලාංකිකයින් හට මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ ආදිය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන මුදල් සපයා ගැනීම සඳහායි.

මේ ගිණුම සම්පූර්ණයෙන් ම පරිත්‍යාග සඳහා පමණක් ම වෙන්කර ඇති බවත් එම ගිණුමේ එක් රැස් වෙන සෑම ඩොලරයක් ම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වගකියන බවත්, එම ගිණුමේ මුදල් වියදම් කරන ආකාරය අතිශය පාරදෘශ්‍ය ආකාරයට සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ මෙම පරිත්‍යාග ගිණුමට මුදල් බැර කරන්නා සේම සිය පවුලට මාසිකව එවනු ලබන විදේශ විනිමය ඉපයීම් දේශීය බැංකු පද්ධතිය හරහා නිසි ක්‍රමවේදයෙන් මෙරට ආර්ථිකයට ප්‍රේෂණය වීමට ඉඩ සලසන ලෙසයි.

මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන පන්සියයකට (500) ආසන්න ප්‍රමාණයක් පිටරට සිටින ශ්‍රමිකයින් විසින් ශ්‍රී ලංකාවට එවන බවත් එම මුදල් ප්‍රමාණය දේශීය බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රේෂණය වන්නේ නම් එය නැවත ආර්ථිකය නඟා සිටුවීමට ඉමහත් ශක්තියක් වනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළා.

රටක මෙවැනි අර්බුදයක් අවස්ථාවක ගනු ලබන තීරණ වේදනාකාරී කරුණු විය හැකි බව ද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙනවා.

එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව ඇතුලු සියලු ආයතන පිළිගනු ලබන සත්‍ය කරුණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගෑස් ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාම ද සාමාන්‍ය කරුණක් බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශකළා.

මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියාසිටියේ උද්ධමනය ද සියයට 30 ක් පමණ දක්වා ඉහළ යාහැකි බවයි.

මෙරට බැංකු පද්ධතිය අතිශයින් ස්ථාවර බවත් ඔවුන් මේ වනවිට මුහුණ දෙන එකම අර්බුදය වන්නේ විදෙස් මුදල් සංචිත වල හිඟතාව බවත් මහ බැංකු අධිපතිවරයා පවසනවා.

මෙම විදෙස් මුදල් සංචිත හිඟතාව වැඩි වශයෙන් රාජ්‍ය බැංකුවලට බලපා ඇති බව සඳහන් කරන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් කියා සිටින්නේ පෞද්ගලික බැංකුව විදෙස් මුදල් සංචිත යම්කිසි පාලනයක් ඇතිව නිදහස් කරමින් සිටින බවයි.

++++++++++

ආනයන ගෙවීම් බැංකු පද්ධතිය තුළින්ම සිදු කිරීම අනිවාර්යය කෙරේ

(29.04.2022 – 16:37 +0530 – hirunews.lk/sinhala)

ආනයන සඳහා සිදුකරන ගෙවීම් බැංකු ක්‍රමය තුලින්ම සිදුකිරීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළා.

මහබැංකුවේ අද (29) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඒ අනුව අදාල ගෙවීම් බැංකු මාර්ගයෙන් සිදුකරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර, විදේශ රටවල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ට විශ්ව විද්‍යාල ගෙවීම් සඳහා අත්‍යාවශ්‍ය විදේශ මුදල් ලබාදීම සඳහා සියලු බැංකුවලට ගෙවීමක් කරන බව ද ඔහු එහිදී කියා සිටියා.

ඉන්දීය රජයෙන් ලද ඩොලර් බිලියනයක ණය ආධාරය අවසන් වූ පසු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබෙන තෙක් රට පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද එහිදී මාධ්‍යවේදීන් මහබැංකු අධිපතිවරයාගෙන් විමසීමක් කළා.

මේ අතර, ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකේය ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර, කිරිපිටි සහ ඖෂධ ලබාදීම සඳහා තමන්ට අවසර ලබාදෙන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

++++++++

වැඩිම පාඩු ලබන ආයතන මහ බැංකු අධිපති හෙළිකරයි

(29.04.2022 – 16:46 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට වැඩිම පාඩු ලබන ආයතන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ජාතික ජලසම්පාදන මණ්ඩලය හඳුනාගෙන ඇති අතර එම ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙය හොඳම අවස්ථාවක්ව බව මහ බැංකු අධිපති අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මාධ්‍යවේදියකු විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ ඇතැම් අවස්ථාවලදී ව්‍යසනයන් අවස්ථාවන් ලබා දෙන බවයි.

මෙය එවැන්නක් බවත් මේ අවස්ථාවේදී එලෙස හඳුනා ගත් හෝ රජයට බරක් වී ඇති රාජ්‍ය ආයතන සියල්ල ප්‍රතිව්‍යූහගත කර එම බරෙන් නිදහස් විය යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ අවස්ථාවේ ඒ සඳහා කිසිවකුත් විරුද්ධ නොවන බවයි ඔහු කියාසිටියේ.

එමෙන් ම රජය සතු ලාභ ලබන ආයතන තවදුරටත් ලාභ වැඩි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ පසුගිය පෙබරවාරි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකක් (2) ව තිබුණු ආනයන වියදම මාර්තු මාසයේ දී ඇමරිකාණු ඩොලර් බිලියන 1.7 ක් දක්වා පහළ වැටුණු බවයි.

එමෙන්ම එය අප්‍රේල් මාසයේ දී තවදුරටත් පහළ වැටෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළා.

මෙලෙස මනා පාලනයකින් යුතුව විදේශ විනිමය කළමනාකරණය කරන්නේ නම් සහ ආනයන කළමනා කරන්නේ නම් ඒ හරහා ජාතික ආර්ථිකයට එල්ල වන පීඩනය බොහෝ දුරට අඩුකර ගත හැකි බවටත් ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම ඔහු අවධාරණය කරන්නේ මෙරට බදු ක්‍රමය අවම‍ තරමෙන් 2019 වසරේ ක්‍රියාත්මක වූ බදු ක්‍රමය කරා හෝ යා යුතු බවටයි.

++++++++

***************************************

බදු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැහැ – මුදල් ඇමති කියයි

(29.04.2022 – 17:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මේවන විට මුහුණ දී ඇති බරපතල ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සඳහා බදු වැඩි කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

බී.බී.සී. ලෝක සේවය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියාසිටියේ 2019 වසරේදී වැට් බද්ද 8% දක්වා අඩු කිරීමට ගත් තීරණය රජය විසින් සිදු කළ අත්වැරැද්දක් බවයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ මිලදී ගැනීම සඳහා ඉදිරි මාස 8 ක කාලයකට අවම තරමින් ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් පමණ අවශ්‍ය බව මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

බදු මුදල් වැඩි කිරීමට ගනු ලබන තීරණය කිසිසේත් ලෙහෙසි පහසු තීරණයක් නොවුන ද මේවන විට එය හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට ශ්‍රී ලංකා ආර්ථිකය පත්වී ඇතැයි ඔහු කියාසිටියා.

මේවන විට බල පැවැත්වෙන 8% ක් වන වැට් බදු ආදායම කිසිසේත්ම සුබදායී ආදායම් මාර්ගයක් නොවන බවයි ඔහුගේ අදහස වන්නේ.

එය අවම තරමින් 13% ක හෝ 14% ක සීමාවක් දක්වා ඉහළ දැමිය යුතු බවට ඔහු අවධාරණය කරනවා.

2019 වසරේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් අනතුරුව සිදුකරන ලද බදු අඩු කිරීමේ තීරණය දේශපාලනමය වශයෙන් සහ ආර්ථිකමය වශයෙන් ගන්නා ලද වැරදි තීරණයක් බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම පවතින ආර්ථික ක්‍රියාදාමය නිසි ලෙස ක්‍රියාත්මක වුවහොත් ලබන වසරේ නැවතත් ජාත්‍යන්තර ණය වාරික ගෙවීමේ තත්ත්වයට මෙරට ආර්ථිකය ගෙන ආ හැකි බවටත් ඔහු විශ්වාසය පළකරනවා.

කෙසේවෙතත් ඒ සඳහා වන කාල වකවානු ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහු කියාසිටියේ එය ප්‍රකාශ කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බවයි.

කෙසේවෙතත් හැකි ඉක්මනින් එය සිදු කිරීමට හැකිවේවායි තමන් පවා ප්‍රාර්ථනා කරන බවත් ඔහු කියාසිටියා.

මෙම මස මුලදී ශ්‍රී ලංකා රජය ගෙවීමට නියමිතව තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 35.5 ක ණය වාරික ගෙවා දැමීම තාවකාලිකව අත්හැර දමා එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

එහිදී රජය ගෙන ආ මූලිකම නිදහසට කරුණ වූයේ කොවිඩ් වෛරස වසංගතයෙන් මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම සහ යුක්රේන අර්බුදය හමුවේ මතු කෙරුණු ආර්ථික බලපෑමයි.

මේ අතර, ඉන්දියාව ඉන්ධන සැපයුම් සඳහා ඩොලර් බිලියන 1.5 ක ණයක් ලබා දී ඇති අතර, තවත් ඩොලර් මිලියන 500 ක ණය මුදලකට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බව ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400 සිට ඩොලර් මිලියන 600 දක්වා මුදලක් ලැබීමට නියමිත අතර එය ‘මුදල් හුවමාරු කිරීම් සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම’ සඳහා භාවිතා කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

කොරෝනා වසංගතය, ඉහළ යන ඉන්ධන මිල, බදු අඩු කිරීම් සහ ශීඝ්‍රයෙන් අඩුවන විදේශ මුදල් සංචිත හේතුවෙන් ඉන්ධන, ආහාර සහ ඖෂධ අත්‍යවශ්‍ය ආනයන සඳහා ගෙවීමට ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණවත් නොවීමේ ගැටලුවකට ශ්‍රී ලංකාව මුහුණදී සිටිනවා.

උද්ධමනය, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය සහ විදුලි කප්පාදුවකින් ජනතාව පීඩාවට පත්ව සිටීම හමුවේ රට පුරා මේ වනවිට විරෝධතා මාලාවක් ද ක්‍රියාත්මක වනවා.

මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සාකච්ඡා තවදුරටත් සිදුවන අතර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය කවදා අවසන් වේදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි.

ඒ සියල්ල රඳා පවතින්නේ රටට ලැබෙන විදේශ මුදල් ප්‍රමාණය කොපමණ ද යන්න මත බව ඔහු සඳහන් කළා. ශ්‍රී ලාංකිකයන් තම මුදල් නිසි මාර්ග, හරහා රටට එවීමට තීරණය කළ විට මෙම ගැටලුව විසඳෙනු ඇතැයි ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

විදේශයන්හි වෙසෙන සහ සේවය කරන ශ්‍රී ලාංකිකයන් රටට එවන ලද මුදල් මාර්තු මාසයේදී ඩොලර් මිලියන 318 දක්වා පහත වැටී ඇති බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ මුදල් ප්‍රමාණයෙහි වැඩි වීමක් දක්නට ලැබෙන්නේ නැහැ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • @ auction of bonds. At 22% interest? Sri Lankan public will have to pay for these borrowings., and SLK will never be able to raise its head, never again. Why interest is set at 22% when in the UK and western countries the average interest returns on investments are not more than 3%? Small savers could get only 0.5 % max these days. Who are the buyers of these bonds? Where did they get their money from? Are the investors passa-rajas and their acolyte friends, using their black money cached in private bank accounts abroad? New CB chief does not seem to critically examine what his minions are doing, but simply rubber stamping them, not protecting future generations from an enormous burden of debts, to keep today’s bond buyers in enormous disproportionate profits and in luxury. Is this what this economic experts are doing? Monkeys can do a better job than that!

  • @ bond auctions. 22% interest is the credit card rate. So Nandalal agrees to using the National Sri Lankan credit card to borrow money, is he? Is this what an economic expert does, whereas the general advice to public is when in debt, do not use your credit card but cut it and shred it. Nandalal, please do not use the Sri Lankan national credit card and put the debt burden on the head of our future generations that are just innocent kids that know nothing about the excesses that their elders are doing, especially the corrupt political leaders, their extended families and businessmen friends. Go after their necks instead and get that money back into the country. Now you can identify who the culprits are and where the money is coming from. if NOT, Shame on you!

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *