රඹුක්කන ඝාතනයේ ලේ වැකි රහස ගැන ඇතුළටම රිංගලා ‘මව්බිම’ හොයපු ඇත්ත

රඹුක්කන ඝාතනයේ ලේ වැකි රහස ගැන ඇතුළටම රිංගලා ‘මව්බිම’ හොයපු ඇත්ත

*********************************************

රඹුක්කන ඝාතනයේ ලේ වැකි රහස ගැන ඇතුළටම රිංගලා ‘මව්බිම’ හොයපු ඇත්ත

(23.04.2022 – 02:10 +0530 – mawbima.lk)

සාමකාමී මහජන විරෝධතා සඳහා තුවක්කු බට මානලෑම පිළිබඳ අවසන් වරට අසන්නට ලැබුණේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමයට වීදි බැස සාමකාමීව අරගල කළ තරුණ -තරුණියන්ට එරෙහිවය. එයට පෙරාතුව පිරිසුදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනයාටද ධීවර රැකියාව සඳහා මුහුදු යන්නට භූමිතෙල් ඉල්ලූ හලාවත ධීවර ජනතාවටද පොලිසිය ලවා වෙඩි තැබුවේ වර්තමාන ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය දරන කාලවකවානුවේදීය.

නැවැත වතාවක් සාමකාමී ජනතා අරගලයක් උණ්ඩයේ බලමහිමයෙන් විසඳූ අවස්ථාව වන්නේ පසුගිය අප්‍රේල් 19 වැනිදා රඹුක්කනදීය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිලද ඉන්දියානු තෙල් සමාගමේ මිල ගණන් හා සමාන වන ලෙස පසුගිය අප්‍රේල් 18 දා මධ්‍යම රාත්‍රියේ ඉහළ දැමූ අතර දවස් දෙකකට (2) නොවැඩිව රඹුක්කන සමුපකාර සේවා ඉන්ධනහල අසල රැඳී සිටි පිරිස් සාමකාමී උද්ඝෝෂණයක් පසුගිය 19 වැනිදා පෙරවරුවේ ආරම්භ කරන ලද්දේ ඉන්ධන ගැටලුවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සහ තමන් හට පෙර පැවැති මිලට ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලාය. අවුරුද්දෙන් පසු පසුගිය 17 සහ 18 යන දෙදින (2) ඉන්ධන ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල අසල සිට රඹුක්කන – මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ කි.මී. කිහිපයක් පමණ දුරක්ද පෙට්රල් ලබා ගැනීමේ අරමුණින් රඹුක්කන – ඉන්ධන පිරවුම්හල අසල සිට රෝහල මාවතට ආසන්න දුරක් ජනතාව දිවා රාත්‍රියේ සිට දිගු පෝලිම්වල නිරතව සිට ඉන්ධන ලබා ගැනීමට උත්සාහ දරන ලදී. සාමකාමී අරගලය ඉන් පිට පැන අරගලයක් බවට පත්වූයේ ඉකුත් 19 වැනි දිනය. දින කිහිපයක් තිස්සේ ඉන්ධන නොමැතිව දිගු පෝලිම්වල සිටි ජනතාව අවස්ථා කිහිපයකදීම ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ගෙන් විමසා සිටියේ ඉන්ධන පැමිණෙන වේලාව සම්බන්ධවය. ඒ සෑම අවස්ථාවකදීම ඉන්ධනහල් සේවකයන් පවසා ඇත්තේ ඉන්ධන රැගත් බවුසරය ඉන්ධනහලට ඉතාමත් ආසන්න වී ඇති බවය. ඉන් සෑහීමකට පත් නොවූ ජනතාව එතැන් සිට විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වීමට පියවර ගෙන තිබිණි. 19 වැනි දින රාත්‍රියේ සිට ඉන්ධන මිල යළිත් ඉහළ නැඟීමත් සමඟ ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් සිටි පිරිස ආරම්භ කළ උද්ඝෝෂණය සඳහා තවත් පිරිස් එකතු වන්නට පටන් ගත්තේ නිරායාසයෙනි. ඉන්ධන මිල ගණන් ඉහළ යෑමත් සමඟ ඉන්ධන රැගෙන පැමිණි බවුසරය වරකාපොළ නගරයේ සඟවා ඇතැයි පවසමින් රැගෙන ආ ඉන්ධනද පරණ මිලට ලබා දෙන්නැයි පවසමින් විශාල පිරිසක් කොළඹ – නුවර උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත විණි. අලුයම සිට පැවැති මේ විරෝධතාව හේතුවෙන් රඹුක්කන නගරයට පැමිණෙන සියලු අතුරු මාර්ග විවිධ බාධක යොදා හරස් කර තිබිණි. උඩරට දුම්රිය මාර්ගයද සිල්පර කොට යොදා අවහිර කර තිබූ අතර උද්ඝෝෂණය අතරතුර එම ස්ථානයට පැමිණි LB–1663 නමැති ඉන්ධන රැගත් බවුසරය දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් නතර කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කිසිදු දුම්රියක් රාත්‍රිය වනතුරුම ධාවනය කිරීමට නොහැකි විය. මේ හේතුවෙන් මහනුවරින් පෙරවරු 06:30 ට පිටත්ව කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය මෙම දුම්රිය ස්ථානයේ දවස පුරා නවතා තැබීමට සිදුවිය. කොළඹ කොටුව සිට මහනුවර, මාතලේ, බණ්ඩාරවෙල දක්වා ධාවනය වන දුම්රියන් රඹුක්කන දුම්රිය ස්ථානයට සීමා වී තිබිණි.

රඹුක්කන ප්‍රදේශයේම පදිංචිකරුවකු වන සහ එම විරෝධතාවට මැදිහත් වී ඇසින් දුටු සාක්ෂි කරුවකු වන බී. ඉන්දික මෙම සිදුවීම පිළිබඳ මෙලෙස විස්තර කළේය :

“පාන්දර ඉඳන් විරෝධතාවයේ යෙදිලා හිටිය පිරිස් රඹුක්කනින් පාර වසා දැමුවා. උද්ඝෝෂකයන්ට වුවමනා වුණේ අමානුෂික ලෙස මෙවැනි අවස්ථාවක අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් වන ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඔවුන්ගේ විරෝධතාව ප්‍රකාශ කරන්න. මාර්ගය හරස් කළත් ගිලන් රථවලට හා පාසල් රථවලට යන්න ඉඩ දුන්නා. අපි ඉල්ලුවේ තෙල් මිල අඩු කරන්න කියලා විතරයි. ඉන්පසුව තෙල් බවුසරය පැමිණියාට පස්සෙ අපේ ඉල්ලීම වුණේ පරණ මිලට ඉන්ධන ලබා දෙන්න කියන එක. උද්ඝෝෂකයෝ විශ්වාස කළා සමුපකාර සේවා ඉන්ධනහල වෙත පැමිණි තෙල් බවුසරය සමුපකාර පරිපාලනය විසින් හිතාමතා ප්‍රමාද කළා කියලා. එම උද්ඝෝෂණයේ ජාති භේදයක් තිබුණේ නැහැ. රඹුක්කන රෝහලේ වෛද්‍යවරු පවා උද්ඝෝෂණයට ස්ව කැමැත්තෙන් එකතු වුණා. සාමකාමී උද්ඝෝෂණයට රඹුක්කන පොලිසියත් සහාය දැක්වූවා. දෙවැනි (2) වරටත් තෙල් බවුසරයක් පැමිණියාට පසු අපේ ඉල්ලීම අපි පොලිසියට ඉදිරිපත් කළා. එහෙම කළේ ආපු තෙල් බවුසරයේ තෙල් ටික බාගන්නවත් සමුපකාර සේවා ඉන්ධනහලේ කිසිම සේවකයකු නොසිටි නිසා. පොලිසිය අපේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාට පසු අපි බවුසරය මඟින් දුම්රිය මාර්ගය හරස් කරලා නැවතවරක් උද්ඝෝෂණය පටන් ගත්තා. බවුසරයට අපි පූර්ණ ආරක්ෂාව ලබා දුන්නා. අඩුම ගානේ සිගරැට් එකක් පත්තුකරගෙන බවුසරය ගාවට කිසිම කෙනකුට එන්න දුන්නේ නැහැ. ස්වේච්ජාවෙන් ඉදිරිපත් වෙච්ච 20 දෙනකුට වැඩි කණ්ඩායමක් බවුසරයට ආරක්ෂාව ලබා දුන්නා. ගමේ කාන්තාවන් පැමිණ උද්ඝෝෂකයන්ට අවශ්‍ය ආහාර පාන ඒ ස්ථානයේම සකස් කළා. ඒ ආහාරවලින් කොටසක් අපි රඹුක්කන පොලිසියේ නිලධාරීන්ටත් ලබා දුන්නා. බවුසරයේ රියැදුරාට පවා කෑම ලබා දුන්නේ උද්ඝෝෂකයන්. කඳුළු ගෑස් ගහන්න පටන් ගත්ත අවස්ථාවේදී අපි හිටියේ කෑම සකසමින්.”

රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දීම සඳහා කෑගල්ලේ සිට පැමිණි උසස් පොලිස් නිලධාරීන් ගෙන්, උද්ඝෝෂකයන්ට පහරදී පන්නා දමන ලෙසත් යම්හෙයකින් එය මුල් කරගනිමින් අරගලයක් ඇතිවුවහොත් වෙඩි තබන ලෙසත් නියෝග ලැබී තිබේ. එලෙස කෑගල්ලේ සිට පැමිණි උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝගවලට අනුව සිදුකල කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසුව උද්ඝෝෂකයන් විසින් පොලිසිය දෙසට ගල් ප්‍රහාර එල්ල කරන්නට පටන්ගෙන තිබේ.

“උඹලගෙ උණ්ඩ වෙනුවට අපිට තියෙන්නේ රේල් පාරේ කළුගල්”. එහෙම කියාගෙන තමයි අරගලයේ නිරතව සිටි පිරිස් කඳුළුගෑස්වලට විරුද්ධව පොලිසියට ගල් මුල් ප්‍රහාර එල්ල කළේ. ඒ අවස්ථාවේදී පිරිස් විසුරුවාහරින්න විශේෂ කාර්ය බළකායත් කැඳවා තිබුණා. ඔවුන් ඉවක් බවක් නොමැතිව උද්ඝෝෂකයන්ට පහර දුන්නා. ඒ පහර දුන් අවස්ථාවේ වෙඩි තැබීමක් සිදුවුණේ නැහැ. වෙඩි තැබීමක් සිදුවුණේ පහරදීමෙන් පසුව. උද්ඝෝෂකයන් දිව්වේ ප්‍රධාන පාර දිගේ. ඒ කියන්නේ පින්නවල දිහාට. උද්ඝෝෂණයේදී වෙඩි වැදී මියගිය පුද්ගලයා පින්නවල දෙසට නොවේ දිව ගියේ. ඔහු දිවගියේ ඉන්ධන පිරවුම්හල අසලට. එලෙස දිවගොස් ඉන්ධන පිරවුම්හල අසල වැටී සිටියදී තමයි ඔහුගේ බඩට පොලිසිය වෙඩි තිබ්බේ. ඒ පිළිබඳ ඇසින් දුටු සාක්ෂි තිබෙනවා. පොලිසිය ප්‍රථමව ඉන්ධන පිරවුම්හලේ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය විනාශ කළා. ඉන්පසුව ඔවුන් උත්සාහ කළේ ඉන්ධන පිරවුම්හලට ගිනි තබා එහි වරද උද්ඝෝෂකයන් පිට පටවන්න. පොලිස් නිලධාරීන් පවසන විදියට මේ වෙද්දි සොයාගෙන තිබෙන්නේ ටී–56 හිස් උණ්ඩ කොපු 92 ක් පමණයි. නමුත් උණ්ඩ 300 කට වඩා ඔවුන් භාවිත කළා. සාමාන්‍යයෙන් ටී-56 ක් වගේ ස්වයංක්‍රිය ගිනි අවි 03 කින් බොහොම ඉක්මනින් උණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක් පිට කළ හැකියි.”

මෙම අවස්ථාවේදී පොලිසිය විසින් ගිනි තබන ලද ත්‍රිරෝද රථය උද්ඝෝෂකයන් විසින් සිදුකළ ක්‍රියාවක් බව හුවා දැක්වීමට කටයුතු කළත් ත්‍රිරෝද රථය කුලී පදනම මත ලබා ගත් ප්‍රභාත් මංජුල සහ ඔහුගේ සහෝදරයා කෑගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ සාක්ෂි දෙමින් පවසා සිටියේ ත්‍රිරෝද රථයට ගිනි තැබීමට නියෝග ලබා දුන්නේ රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා බවය.

“උද්ඝෝෂණය ආරම්භ කළේ මම. අපි ටවුන් එකේ ත්‍රීවීල් පාක් එකේ හතර දෙනෙක් (4) එකතුවෙලා තමයි උද්ඝෝෂණය ආරම්භ කළේ. සෙනඟ ටිකෙන් ටික එකතු වුණා. අපි හිතන්නෙම නැති විදියට ලොකු සෙනඟක් එකතු වුණාට පස්සෙ අරගලයට නායකත්වය දෙන්නට අපටම සිදුවුණා. දහවල් වෙනකම් පොලිසිය සිටියේ උද්ඝෝෂකයන් සමඟ. ඊට පසුව කෑගල්ල පොලිසියේ ඉහළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් උද්ඝෝෂණ භූමියට පැමිණියා. දෙවැනිවරට (2) ඉන්ධන බවුසරය පැමිණියාට පසු මම ස්ථානාධිපතිවරයා මුණගැසී ඉන්ධන බවුසරය වරකාපොළ සඟවා තබාගෙන මිල ඉහළ දැම්මාට පසු මෙතැනට රැගෙන ඇවිත් බව පවසා පැරැණි මිලටම ඉන්ධන නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා. ‘පොඩි වුන් පොඩි වුන් විදිහට ඉන්න ඕනේ. මට උපදෙස් දෙන්න උඹ කවුද?’ කියලා ස්ථානාධිපතිවරයා මට තර්ජනය කළා. ඒ අවස්ථාවේදී එම ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ‘උඹ ත්‍රීවීල් එකක් නේද දුවන්නේ, පරිස්සම් වෙයන්. මේ උද්ඝෝෂණ හැමදාම කරන්න බැහැ’ කියලා මට තර්ජනය කළා. උද්ඝෝෂකයන්ට පහරදීමක් සිදුවෙයි කියලා මට තේරුණා. මම මගේ අයියගේ කඩේට ගිහිල්ලා ඇඳගෙන හිටපු ටීෂර්ට් එක ගලවලා අලුත් ටීෂර්ට් එකක් ඉල්ලගත්තා. ඒක ඇඳගෙන මම මගේ ත්‍රීවීල් එක නතර කරලා තිබුණු රේල්වේ ක්වාර්ටස්ගාවට ආවා. ඒ අවස්ථාවේදී ඒ ආසන්නයේ ඇති බුදු පිළිමය ගාවට ආපු රඹුක්කන පොලිසියේ ස්ථානාධිපතිවරයා කළු ඇඳුමින් සැරසුණු නිලධාරීන් දෙදෙනකුට (2) මාව පෙන්නුවා. ඒ අය අතේ තිබ්බේ කොට තුවක්කු. ඔවුන් ත්‍රීවීල් එක පැත්තට එද්දි මම පැනලා දිව්වා. පරණ ක්වාර්ටස් එක පිටිපස්සෙන් ඇවිත් ත්‍රීවීල් රථයට ආසන්නයේ ඇති කොස් ගහක් මුල වාඩි වුණා. ඒ වෙද්දි මගේ අයියා එයාගෙ ගෙදර ඉඳලා ජනේලයෙන් සිදුවෙන්නේ මොකක්දැයි කියලා බලා ඉඳලා තියෙන්නේ. කෙහොම හරි නිලධාරීන් 05 දෙනකු එතැනට පැමිණියත් පළමුව ආපු දෙන්නා (2) තමයි ඉන්ධන පුරවන ස්ථානයේ ටෙන්ට් එක පොඩ්ඩක් අයින් කරලා ඒකට ලයිටරයකින් ගිනි තිබ්බේ. ත්‍රීවීල් එකේ වහල සම්පූර්ණයෙන් ගිනි ගන්න තෙක් මම ඒ ස්ථානයේ හිටියා. අන්තිමට බලාගෙන ඉන්න බැරි හින්දා මම තාප්පෙන් පැනලා ස්ටේෂන් එකේ ගල්වල හරියට ගිහින් නිදිය ගත්තා. පැය දෙකකට (2) විතර පස්සේ අයියා කතා කරලා කිව්වා ත්‍රීවීල් එකේ ගන්න දෙයක් ඉතිරිවෙලා නැහැ කියලා.”

පොලිස්පතිවරයා පසුගිය අප්‍රේල් 19 වැනිදා නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙන්නේ විශාල අනතුරක් වළක්වාගැනීමේ අරමුණින් පොලිසිය අවම බලය උද්ඝෝෂකයන් කෙරේ යෙදවූ බවය. අවම බලය යනු ටී–56 ස්වයංක්‍රිය ගිනි අවියකින් පලායන උද්ඝෝෂකයන්ට වෙඩි තැබීම නම් උපරිම බලය විය යුත්තේ රොකට් ලෝන්ජර් භාවිතයදැයි කිව හැකි නොවේ. පොලිස් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසන ආකාරයට වෙඩි තැබීම සිදුකළේ තෙල් බවුසරය ගිනි තැබීම වැළැක්වීමට නම් ගිනි තැබීම සිදුවන විටත් එතැනින් පලවාහැර සිටි මහජනතාවට වෙඩි වැදුණේ කෙසේදැයි ඔහු පහදා දිය යුතු වේ. මේ පිළිබඳ කරුණු කාරණා සිද්ධිය වූ ස්ථානය පිළිබඳ ස්ථානීය පරීක්ෂණයක් කිරීමට පැමිණි කෑගල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියගේ අවධානයට යොමු වූ අතර එහි නීතිඥ සංගම් මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේ පොලිසිය සාක්ෂි සිතාමතා සඟවන බවක් හැඟී යන හෙයින් පෞද්ගලික නඩුකරයක් ලෙස මෙම නඩුකරය පවත්වාගෙන යෑමට ගරු අධිකරණය තීරණය කළ යුතු බවයි.

සිද්ධිය වූ ස්ථානයේදී සාක්ෂි විමසන ලද අවස්ථාවේ නීතිඥයන් හරහා ප්‍රදේශවාසීන් කිහිපදෙනකු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ ප්‍රකාශ කළේ සාක්ෂි ලබා නොදෙන ලෙසට පොලිස් නිලධාරීන් විසින් තර්ජනය කර ඇති බවය. එලෙස තර්ජනය කළ නිලධාරීන් කෙරේ විනය පරීක්ෂණ සිදුකරන ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ. එලෙස සාක්ෂි දීමට පැමිණි පුද්ගලයකු මහෙස්ත්‍රාත්වරිය ඉදිරියේ මෙලෙස ප්‍රකාශ කරනු ලැබීය.

“මම දැක්කා වෙඩි තිබ්බ නිලධාරීන් දෙන්නා (2) කවුද කියලා. ඒ අය රඹුක්කන අය නෙවෙයි. හැබැයි මට ඒ දෙන්නගේ ගෙවල් පවා කියන්න පුළුවන්. නමුත් මම කියන්නේ නැහැ. එහෙම කිව්වොත් මගේ ළමයි දෙන්නගේ අනාගතේ අනතුරේ.”

පොලිසියට හෝ මහජන සාම නිලධාරියකුට යම් කලහකාරී තත්ත්වයක් පාලනය කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 95 – 96 වගන්තිවලින් සහන සලසා තිබේ. එම අවස්ථාවේදී අවම බලය භාවිත කළ හැකිවේ. අවම බලය යනු විරෝධතාව හෝ උද්ඝෝෂණය විසුරුවාහරින්න අවශ්‍ය ප්‍රමාණයට බලය මුදාහැරීමය. ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයට බලය යන්න පොලිස් දෙපාර්තමේන්තුව සමඟ එක්වේ. දෙපාර්තමේන්තුව මඟින් මුල් අවස්ථාවේදී විරෝධතාව මැඬලීමට අධිකරණ නියෝගයක් ලබාගත යුතුවේ. එසේත් නොමැති නම් සීමාවන් තුළ සිටිමින් කඳුළු ගෑස්, බැටන් පොලු ප්‍රහාර, ජල ප්‍රහාර භාවිත කළ යුතුවේ. එමඟින් පෙනී යන්නේ රඹුක්කන පැවැති උද්ඝෝෂණය මැඬලීම සඳහා අවම බලය භාවිතය පොලිසිය විසින් සිතාමතා ඉවත් කරගෙන ඇති බවය. මෙම නඩුව සම්බන්ධයෙන් කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී පසුගිය අප්‍රේල් 21 වැනි දින පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ AR වාර්තාවකි. එනම් සිදුවීමක් සිදුවීමෙන් පසුව, සැකකරුවන් නැති අවස්ථාවක අධිකරණයට යොමු කරන වාර්තාවකි. උද්ඝෝෂණය අතරතුර වෙඩි ප්‍රහාරයක් නිසා පුද්ගලයකු මියගොස් ඇති බැවින් ගරු මහෙස්ත්‍රාත්වරිය AR වාර්තාව භාරගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. උද්ඝෝෂකයන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් 120 දෙනාද එයට දැඩි විරෝධයක් දක්වා තිබේ. ඉන්පසුව පොලිසිය කඩිනමින් B වාර්තා දෙකක් (2) සකස් කර අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එක් වාර්තාවක අපරාධ නඩු විභාග සංග්‍රහයේ 298 වගන්තිය ගැන සඳහන්ව තිබූ බව නීතිඥ ආරංචිමාර්ග සඳහන් කරයි. එම වගන්තිය අදාළ වන්නේ සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය යන කරුණටය. එයින් නොකියා කියැවෙන්නේ පොලිසිය උද්ඝෝෂණයේදී මිනීමැරුමක් වූ බව පිළිගැනීමය. මේ අතරතුර මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ ස්වාධීන පරීක්ෂණ කණ්ඩායමේ නිලධාරියකු අජිත් රෝහණ සමඟ අධිකරණයට පැමිණ ඇති බවත් ඔහු මැදිහත් වී පොලිසිය විසින් අධිකරණයට භාරදුන් වාර්තාවේ 298 වගන්තියට අදාළ කොටස මැකුම් දියරයකින් මකා දැමීමට කටයුතු කර තිබේ. නීතිඥයන් විසින් මෙය ගරු මහෙස්ත්‍රාත්වරියට පෙන්වා දීමෙන් පසු එම නිලධාරිවරයාට දැඩිව අවවාද කළ මහෙස්ත්‍රාත්වරිය අධිකරණ ලේඛන මකා දමමින්, විකෘති කරමින් අධිකරණයට අපහාස කිරීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. එසේම ඒ අවස්ථාවේදීම අධිකරණයෙන් සමාව ගන්නා ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ. දෙවැනි (2) B වාර්තාවේ අත්අඩංගුවට ගනු ලැබූ පාසල් ශිෂ්‍යයකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනුකර ඇතත් එම සිසුවාට අප්‍රේල් 20 වැනි දින අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

කතාව – ප්‍රභාත් අත්තනායක

***************************************

ශ්‍රී ලංකාවට මූල්‍ය උපදෙස් ලබාදෙන්න ජාත්‍යන්තර ආයතන තුනක් (3)

(23.04.2022 – 11:04 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඩොලර් බිලියන 12 ක් පමණ වන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදෙස් සැපයීමට ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ආයතන 3 ක් ඉදිරිපත්වී සිටින බව වාර්තාවනවා.

එවැනි මූල්‍ය සහ නීති උපදේශකයන්ගෙන් මහ බැංකුව මීට පෙර අයදුම් කැඳවා තිබුණා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි ‘අයර්ස්’ ආයෝජන කළමනාකරණ සමාගම, ‘ඩිසිෂන් බවුන්ඩ්රීස්’ සහ ‘පෙරෙල්ලා වෙයින්බර්ග්’ යන ජාත්‍යන්තර මූල්‍ය උපදේශකයන් ඒ සඳහා සිය අභිලාෂය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පසුගියදා තීරණය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනකට එළඹෙන තුරු සිය විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමටයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ මෙරට බැංකු සහ මූල්‍ය පද්ධති අවදානම් තත්වයක පවතින බවයි.

ඊට කඩිනම් පිළියම් ලබාදිය යුතු බව ඔහු ප්‍රකාශ කළේ බැංකුකරුවන් සමඟ කොළඹදී ඊයේ (22) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ෴

***************************************

රනිල් බැංකුකරුවන් හමුවෙයි

(23.04.2022 – 14:49 +0530 – hirunews.lk/sinhala)

මැයි මාසයේ මුල් සතිය වනවිට ඉන්ධන සහනාධාර සඳහා ලබාදුන් ඉන්දීය ණය යෝජනා ක්‍රමය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ලබාදුන් ඩොලර් බිලියනයක ණය යෝජනා ක්‍රමය අවසන් වන බව එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පවසනවා.

පෞද්ගලික බැංකුකරුවන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන් අනතුරුව මෙරට ආර්ථකය සහ බැංකු ක්ෂේත්‍රය දැඩි අවදානමකට මුහුණදෙන බවයි.

***************************************

ණය ප්‍රතිව්‍යූහ ගත කිරිම සඳහා ලබාදෙන සහයෝගිතාව සාදරයෙන් පිලිගන්නා බව ජනපති කියයි

(23.04.2022 – 15:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට තීරණාත්මක මෙම කාලය තුල ආර්ථික ප්‍රකෘතියට සහය වීම සඳහා තිරසාර ප්‍රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගිතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිලිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ජපානයේ කුමමොටෝ හි ඇරඹි 4 වන ආසියා පැසිෆික් ජල සමුළුව අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. මෙම සමුළුව සඳහා ජපානය ඇතුළු ආසියා – පැසිෆික් කලාපයේ රටවල් 48 ක රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහභාගි වනවා.

වසංගතය හේතුවෙන් අයහපත් තත්ත්වයට පත්ව ඇති මෙරට පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත්වලට ඇති අවකාශයන්ට සැලකිය යුතු ලෙස බාධාවන් පැමිණ තිබියදීත්, පරිසරය පිළිබඳ ප්‍රගතිශීලි න්‍යාය පත්‍රයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නොවෙනස්ව පවතින බවයි ජනාධිපතිවරයා සමුළුව අමතමින් ප්‍රකාශ කළේ.

ඉදිරි තෙවසරේ දී සැමට පිරිසිදු ජලය, සනීපාරක්ෂක සහ ජලය ආශ්‍රිත යටිතලපහසුකම් සැපයීම රජයේ ජාතික ඉලක්කය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කරමින්, රටපුරා නව ජල ව්‍යාපෘති ඇරඹීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

ජපානයේ කුමමොටෝ හි ඇරඹි 4 වන ආසියා – පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් අද (23) පෙරවරුවේ ඔහු මේ බව සඳහන් කළා.

‘තිරසර සංවර්ධනය සඳහා ජලය : හොඳම භාවිතයන් සහ ඊළඟ පරම්පරාව’ යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවට ජපානය ඇතුළු ආසියාතික සහ පැසිෆික් කලාපයේ රටවල් 48 ක රාජ්‍ය නායකයෝ සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ සහභාගී වෙනවා.

සමුළුවේදී ජලය සම්බන්ධ විවිධ ගැටලු හා 2017 වසරේ මියන්මාරයේ පැවැති 3 වන ආසියා – පැසිෆික් සමුළුවේ දී සම්මත කරගත් ‘යැන්ගොන් ප්‍රකාශයේ’ දක්වා ඇති නිර්දේශ ක්‍රියාවට නංවන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවට ලක් කෙරෙනවා.

සමුළුවේ ප්‍රගතිය 2023 මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුවේ දී ‘කුමමොටෝ ප්‍රකාශය’ ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතයි.

‘කුමමොටෝ ප්‍රකාශය’ යනු ජලය සම්බන්ධ ගැටළු විසඳීම සඳහා ඉහළ පෙළේ නායකයින්ගේ එකතුවෙන් ගොඩනැගෙන දැඩි අපේක්ෂාවන් වල එකතුවක්.

එම ගැටළු විසඳීම සඳහා අපි අපේ දැනුම එකට එක් කිරීමට උත්සාහ කළ යුතු බව ‘ආසියා – පැසිෆික් ජල සමුළුවේ’ සභාපති යොෂියුකි මෝරි (Yoshiyuki Mori) මහතා සඳහන් කළා.

“දේශගුණික විපර්යාස සහ ස්වභාවික විපත්, සනීපාරක්ෂාව සහ දරිද්‍රතාවය වැනි සමාජයක පවතින අභියෝග රාශියකට ජල ප්‍රශ්න මූලිකව ඉවහල් වෙනවා. මෑතකාලයේ ලෝකයේ ජලය ආශ්‍රිත විපත් වැඩි වී තිබෙනවා.

ආසියා – පැසිෆික් කලාපයේ, පසුගිය වසර 30 තුළ ජලය ආශ්‍රිත ආපදා තුන් ගුණයකින් වැඩි වී ඇත. දිළිඳුකම තුරන් කිරීම සඳහා ජලය භාවිතා කරමින් දේශීය සනීපාරක්ෂක වතාවරණය වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වනවා. ආසියා – පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ අපි අපගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමට සුදානමින් සිටින්නෙමු” යැයි සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ ජපාන අග්‍රාමාත්‍ය ෆුමිඕ කිෂිඩා (Fumio Kishida) මහතා සඳහන් කළා.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද ගත වූ දෙවසරේ (2) දී සෙසු වර්ෂයන්ට සාපේක්ෂව 50% කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ජල සැපයුම් ලබාදීමට හැකි වූ බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ. එමෙන්ම ජල චක්‍ර කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

කොවිඩ් වසංගතය හේතුවෙන් පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් ළඟා කරගැනීමට ඇති අවකාශයන්ට බාධා එල්ල වෙමින් තිබේ. එසේ වුවද පසුගිය දෙවසර තුළ තම රජයේ සංවර්ධන ප්‍රයත්න මූලධර්මය වන සහභාගීත්ව සංවර්ධන න්‍යාය භාවිතා කර සංවර්ධන කටයුතු සිදු කිරීමට ප්‍රමුඛතාවක් දුන් බව ඔහු සඳහන් කළා.

පවතින තීරණාත්මක කාලයේ දී අපගේ ආර්ථික ප්‍රගතියට මෙන්ම තිරසර ප්‍රයත්න උදෙසා වන ආයෝජන අවස්ථා, තාක්ෂණ හුවමාරු, අරමුදල් සැපයීම්, පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් දෙන සහයෝගීතාව ශ්‍රී ලංකා රජය සාදරයෙන් පිළිගන්නා බව ඔහු එහිදී සිහිපත් කර තිබෙනවා.

4 වන ආසියා පැසිෆික් ජල සමුළුව අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ කතාව :

තිරසර සංවර්ධනය සඳහා ජලය : ප්‍රශස්ත භාවිතයන් සහ ඊළඟ පරම්පරාව

රාජ්‍ය නායකයිනි,
නියෝජිතවරුනි,

ශ්‍රී ලංකාව සහශ්‍ර ගණනාවක් පුරා දිවෙන සමෘද්ධිමත් ජල කළමනාකරණයකට උරුමකම් කියන දූපත් රාජ්‍යයකි. අපගේ මුතුන් මිත්තන් විසින් අති විශාල ජල විද්‍යාත්මක ව්‍යාපෘති හරහා අපගේ භූ දර්ශනය පරිවර්තනය කරා නවීන කෘෂිකර්මාන්තයක් පවත්වා ගෙන යමින් ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය ලෙස කීර්තියක් අත්පත් කර දෙන ලදි. ජලය ආශ්‍රිත තිරසර සංවර්ධන ඉලක්ක සඳහා මාගේ රජයේ කැපවීම මෙම පොහොසත් උරුමය මගින් මෙහෙයවනු ලබන අතර, එය තිරසර බව අවධාරණය කරන අපගේ ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන කොටසකි.

අපගේ ජල පද්ධතිවල තිරසර බව සහ ප්‍රත්‍යාස්ථතාව ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛතාවයකි. වඩාත් කාබනික සහ තිරසර කෘෂිකර්මාන්තයක් සඳහා රසායනික පොහොර, පළිබෝධනාශක සහ වල් නාශක අධික ලෙස භාවිතා කිරීම අප විසින් අධෛර්යමත් කිරීම මෙම අවශ්‍යතාවයේ කොටසක් ලෙස පදනම් විය. ගංගා 100 කට අධික ප්‍රමාණයක් පිරිසිදු කිරීමේ සහ ගං ඉවුරු ඛාදනය අවම කිරීම, වැලි ගොඩ දැමීම, අනවසර ඉදිකිරීම් සහ අපජලය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපගේ ජලමාර්ග වලට මුදා හැරීම් නැවැත්වීමේ අපගේ ජාතික වැඩසටහන ද එසේම ය.

2025 වන විට සැමට පිරිසිදු ජලය සැපයීම මෙන්ම සනීපාරක්ෂක පහසුකම් සැපයීම ඇතුළු ජලය ආශ්‍රිත යටිතල පහසුකම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම ජාතික ඉලක්කයක් ලෙස පවතී. අපි දැනට පවතින ජල සම්පාදන යෝජනා ක්‍රමවල ධාරිතාව සහ ගුණාත්මකභාවය අඛණ්ඩව වැඩිදියුණු කර දුර්වල ආවරණයක් සහිත ප්‍රදේශ සඳහා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට ද අවධානය යොමු කර ඇත. කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ පවා, පසුගිය වසරවල වාර්ෂිකව ලබා දුන් ජල සම්බන්ධතා සංඛ්‍යාවට සාපේක්ෂව 50% කට වඩා වැඩි ප්‍රමාණයකින් මහජනතාවට ලබා දෙන නව ජල සම්බන්ධතා සංඛ්‍යාව වැඩි කිරීමට මගේ රජයට හැකි විය. ජල චක්‍ර කළමනාකරණය වැඩිදියුණු කිරීමට ඉවහල් වන ව්‍යාපෘති කිහිපයක් ද ක්‍රියාත්මක කරන ලදී. මගේ රජයේ සංවර්ධන ප්‍රයත්නවල මූලික හරය වන සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සියලු දෙනා එක්කරගත් සහ සහභාගී කරගත් සංවර්ධනයක් වැඩි දියුණු කිරීම සඳහා අප ලබා දෙන අවධානය මෙම ජයග්‍රහණවලින් පිළිබිඹු වේ.

වසංගතය නිසා තවත් නරක අතට හැරී ඇති සහ අපගේ පවතින මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සම්පත් වලට ඇති අවකාශයන්ට සැලකිය යුතු ලෙස බාධාවන් පැමිණ තිබියදීත්, මෙවැනි සංවර්ධනයක් අත්කර ගැනීම සඳහා මෙන්ම පරිසරය පිළිබඳ ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයක් පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නොවෙනස්ව පවතී. මෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා අපගේ තිරසාර ප්‍රයත්නයන් වෙනුවෙන් ඇති ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගනී.

අද ජීවත්ව සිටින අප සැවොම අනාගත පරපුර වෙනුවෙන් මේ මිහිතලයේ භාරකරුවන් ලෙස කටයුතු කරයි. අපගේ අනාගත පරපුර වෙනුවෙන් තිරසර සංවර්ධනය සඳහා ජලය කළමනාකරණය කිරීම අප සැමගේ යුතුකමකි. අපේ ජනතාව සහ අපේ පෘථිවිය වෙනුවෙන් අපි මේ සඳහා නොපසුබටව කටයුතු කරමු.

ඔබට ස්තුතියි!

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *