ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නතර කෙරේ – ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ට්විටර් පණිවුඩයක්

ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නතර කෙරේ – ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ට්විටර් පණිවුඩයක්

*********************************************

ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නතර කෙරේ – ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ට්විටර් පණිවුඩයක්

(29.03.2022 – 10:02 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් අද (29) සිට නවතා දැමීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ රෝහලේ නිර්වින්දනය සහ ශල්‍යකර්ම සදහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල සහ වෛද්‍ය උපකරණවල හිඟයක් පවතින නිසා මෙම තීරණය ගත් බවයි.

මේ සම්බන්ධයෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කළමනාකාරීත්ව කමිටුව රැස්වී ඊයේ (28) සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මෙරට රැඳී සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු එමගින් සඳහන් කර ඇත්තේ ඉන්දියාවට සහාය විය හැකි ආකාරය සම්බන්ධයෙන් සොයා බලන ලෙස තමන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා වෙත දැනුම් දුන් බවයි.

පේරාදෙණි රෝහලේ ශල්‍යකර්ම යථා තත්ත්වයට

(29.03.2022 – 12:00 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ හා උපකරණ සැපයීමට කටයුතු කර ඇති නිසා, පේරාදෙණි රෝහලේ සාමාන්‍ය සැත්කම් කටයුතු ප්‍රකෘති තත්ත්වයට පත් වී තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය සැත්කම් සිදු නො කිරීමට ගත් තීරණය අත් හිටවෙනු ඇති.

මෙම සිදුවීම පිළිබඳ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර්ගේ අවධානය ද යොමු වුණා.

+++++

පේරාදෙණිය රෝහලේ අවශ්‍යතා පිළිබඳ ව ඉන්දීය මහකොමසාරිස්වරයා කරුණු විමසයි

(29.03.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙනිය ශික්ෂණ රෝහලේ සාමාන්‍ය සහ කලින් සැලසුම් කළ ශල්‍යකර්ම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ ව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා විමසීමක් කර තිබෙනවා.

පේරාදෙණිය සරසවි වෛද්‍ය පීඨයේ පීඨාධිපති සහ උප කුලපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ අමතමින් මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මෙම විමසීම සිදුකර ඇත්තේ ඉන්දීය විදේශ කටයුතු ඇමති ආචාර්ය එස්. ජායිශංකර්ගේ දැනුම්දීමකට අනුවයි.

ඖෂධ, වෛද්‍ය උපකරණ නොමැතිවීමෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් අද (29) සිට නවතා දැමීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කළ අතර එහි අධ්‍යක්ෂවරයා රෝහල් කාර්ය මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දී ඇත්තේ රෝහලේ නිර්වින්දනය සහ ශල්‍යකර්ම සදහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධවර්ගවල සහ වෛද්‍ය උපකරණවල හිගයක් පවතින නිසා මෙම තීරණය ගත් බවයි.

කෙසේ නමුත් මෙම පුවත හිරු ප්‍රවෘත්ති අංශය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් පසු රෝහල් අධ්‍යක්ෂවරයා යළිත් නිවේදනයක් නිකුත් කළ අතර එහි දැක්වුණේ හෙට (30) සිට යළි රෝහලේ ශල්‍යකර්ම කටයුතු ආරම්භ කරන බවයි.

පේරාදෙණිය රෝහලේ තත්ත්වය පිළිබඳ ව වාර්තා පළ වීමත් සමගයි මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ.

එහිදී රෝහලට අවශ්‍ය දෑ පිළිබඳ ව විමසීමක් කරන ලෙස ඔහු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිවරයා වෙත දැනුම් දී තිබුණා.

***************************************

රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මරුට

(29.03.2022 – 10:11 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 තුළ දී සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාදම්පේ, කටුපොත, තංගල්ල, අලව්ව සහ නාරම්මල යන ප්‍රදේශවල මෙම රිය අනතුරු සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය පුද්ගලයින් අතර 19 හැවිරිදි තරුණයෙකු ද සිටිනවා.

මේ අතර, හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියට ගොඩවීමට උත්සාහ කළ පුද්ගලයෙකු පය ලිස්සා ඇද වැටී දුම්රියට යටවීමෙන් ජිවිතක්ෂයට පත් වී බෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි අයෙකු බව සඳහන් ෴

***************************************

IMF වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

(29.03.2022 – 10:25 +0530 – hirunews.lk/sinhala)

අයි.එම්.එෆ්. වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමේ පස්වැනි (5) වගන්තිය යටතේ 2021 වර්ෂය සඳහා වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යන මාතෘකාව යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඊයේ (28) කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවටයි, මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් බරපතළ විග්‍රහයක යෙදෙන පිටු 95 කින් සමන්විත මෙම වාර්තාව සපසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණා.

එමෙන්ම, පසුගිය බදාදා (23) සර්ව පාක්ෂික සමුළුවේ දී ද මෙම වාර්තාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂව දැඩි ලෙස ප්‍රශ්න කරනු ලැබුවා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයාට පිළිතුරු දුන් මුදල් අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මොහොත වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව තමන් වෙත ලැබී නොතිබුණු බවයි.

කෙසේවෙතත්, හිටපු අග්‍රාමාත්‍යවරයා දිගින් දිගටම සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ එම වාර්තාවේ දළ පිටපතක් තමන්ට ලැබී ඇති බව මුදල් අමාත්‍යවරයා අවසානයේ පිළිගත්තා.

ඉන් දින දෙකකට (2) පසුවයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණේ ෴

***************************************

ශ්‍රී ලංකාව සහ ජපානය අතර සහයෝගීතා ගිවිසුමක්

(29.03.2022 – 11:10 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ එහිමි ප්‍රාන්තයේ කෘෂිකාර්මික, ආහාර සැකසුම් ඇතුළු අනෙකුත් රැකියා ක්ෂේත්‍රයන්හි සහ විශේෂයෙන්, එම ප්‍රදේශයේ ප්‍රචලිත වී ඇති සිට්‍රස් වගා ක්ෂේත්‍රයෙහි පවතින රැකියාවන්වල යෙදීම සඳහා ශ්‍රී ලංකා තාක්ෂණික ආධුනිකයින්ට අවස්ථාව ලබාදීමට එකී ප්‍රාන්තය විසින් යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

අදාළ යෝජනාවට ඉදිරි පියවර ගැනීම වෙනුවෙන් 2021 වසරේ ජූලි 26 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.

ඒ අනුව විශේෂ නිපුණතා සහිත ශ්‍රී ලාංකිකයින් සඳහා අදාළ රැකියා සහ පුහුණු අවස්ථා සලසා ගැනීමේ අරමුණින් විදේශ රකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විව්ධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ජපානයේ එහිමි ප්‍රාන්තය අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීම පිණිස කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අද (29) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා ෴

***************************************

දුම්රිය නවතියි ද ? – එන්ජින් රියදුරන් වර්ජනයට සැරසෙයි

(29.03.2022 – 12:11 +0530 – hirunews.lk/sinhala)

සංශෝධිත නව දුම්රිය ගාස්තු හෙට (30) සිට ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

අදාළ ගාස්තු සංශෝධනයන් සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබුණේ ඊයේ (28) දිනයේදීයි.

කෙසේ වෙතත්, දුම්රිය ගාස්තු ඉහල දැමීම ඇතුලු තවත් ගැටළු කිහිපයක් මුල්කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තිය ක්‍රියාමාර්ගයක ආරම්භ කිරීමටයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

ඒ අනුව සියලුම් දුම්රිය එන්ජින් රියදුරන් හෙට (30) අතිකාල සේවාවන්ගෙන් ඉවත්වන බව එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියා ෴

***************************************

සෞදි සංවර්ධන අරමුදලේ සහාය ශ්‍රී ලංකාවට ලබාදෙනවා – සෞදි තානාපති

(29.03.2022 – 12:22 +0530 – hirunews.lk/sinhala)

සෞදි සංවර්ධන අරමුදලේ සහාය අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලබාදීමට අපේක්ෂා කරන බව සෞදි තානාපති අබ්දුල්නසර් හුසේන් අල් හාර්ති (Abdulnasser Hussain Al- Harthi) පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සිදු කෙරුණු සුහද පිළිසඳරෙන් අනතුරුවයි සෞදි තානාපතිවරයා මේ බව සඳහන් කළේ.

සේවා කාලය නිම කර දිවයිනෙන් පිටත්ව යන අබ්දුල්නසර් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමු ව සිදු කළ සාකච්ඡාවේ දී කියා සිටියේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ, සිය ධුර කාලය තුළ හුසේන් අල් හාර්ති මහතා දැක් වූ සහාය ඉතා විශිෂ්ට බවයි.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සහ ශ්‍රී ලංකාවේ ඇති තවත් ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට සෞදි රාජ්‍යයේ ඉහළ පෙළේ දූත පිරිසක් නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් හාර්ති පැවසුවා ෴

***************************************

බලධාරී වගකීම් ඉටු නොවූ බණ්ඩත්තගොඩ අමුණ

(29.03.2022 – 12:30 +0530 – hirunews.lk/sinhala)

කෘෂි කර්මාන්තය මූලික කරගත් රටක් ලෙස ඊට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම කෘෂි බලධාරීන්ගේ වගකීමක්.

නමුත් එම වගකීම ඉටුනොවීමේ ප්‍රතිඵලයක් ලෙස පීඩාවට පත් වූ ගොවීන් පිරිසක් පිළිබඳවයි මේ තොරතුරු.

කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල – හල්කඳවිල ගොවිජන සේවා කාර්යාල බල ප්‍රදේශයට අයත් බණ්ඩත්තගොඩ අමුණ සහ ඇළ මාර්ගය වසර ගණනාවක් තිස්සේ සංවර්ධනය නොවීම හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

ඒ හේතුවෙන්, කුඩා වර්ෂාවක දී වුව ද මෙම ඇළ මාර්ගය පිටාර ගලන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

ප්‍රදේශයේ කුඹුරු අක්කර 500 ක් පමණ පවතින අතර බණ්ඩත්තගොඩ අමුණ සහ ඇළ මාර්ගය අවහිර වීමෙන් පිටාර ගලන ජලය සෘජුවම ගලා බසින්නේ ප්‍රදේශයේ කුඹුරු ඉඩම් හරහායි.

හල්කඳවිල – මුන්හේන කැන්දගහවිල, යොවුන්ගම, සිංහගම, කිතුලහේන, වඩිගාවිල ආදී ප්‍රදේශවල බහුතර ජනතාවකගේ ප්‍රධාන ජීවනෝපාය බවට කෘෂිකර්මාන්තය පත්ව තිබෙනවා.

පොහොර අර්බුදය ඇතුළු විවිධ බාධා හමුවේ වුව ද කෙසේ හෝ තම කුඹුරු ඉඩම් අස්වැද්දීම සිදු කළ ද සිය වගාබිම් ජලයෙන් යටවීම නිසා තමන්ට ජීවත්වීමේ මාර්ගය ද මේ වන විට අහිමි වී ඇති බවටයි ගම්වාසීන් මැසිවිලි නගන්නේ.

වසර ගණනාවත් තිස්සේ නිසි සංවර්ධනයක් සිදු නොවූ බණ්ඩත්තගොඩ අමුණ සහ ඇළ මාර්ගය කඩිනමින් සංවර්ධනය කර තම වගා කටයුතු නිසි ලෙස සිදු කරගෙන යාමට අවශ්‍ය අවම පහසුකම් හෝ සලසන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

***************************************

ශ්‍රී ලාංකික විද්‍යාඥවරියන් පස්දෙනෙකුට යුනෙස්කෝවෙන් සහාය

(29.03.2022 – 12:42 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) යටතේ ක්‍රියාත්මක වන ‘සංවර්ධනය වෙමින් පවතින රටවල් වල විද්‍යාඥවරියන් සඳහා වන සංවිධානය’ විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘මූලික වෘත්තීය සහයෝගීතා වැඩසටහන’ සඳහා යෝග්‍ය පර්‍යේෂණ ව්‍යාපෘති ලෙස සලකා පර්‍යේෂණ ප්‍රදානයන් ලබාදීම පිණිස ශ්‍රී ලාංකික විද්‍යාඥවරියන් පස්දෙනෙකුගේ (5) පර්‍යේෂණ ව්‍යාපෘතීන් තෝරාගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රදානයන් ලබා ගැනීම සඳහා එම විද්‍යාඥවරියන් සේවය කරනු ලබන විශ්වවිද්‍යාල සහ යුනෙස්කෝ සංවිධානය අතර අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටත්, එකී විද්‍යාඥවරියන් සහ යුනෙස්කෝ සංවිධානය අතර, ප්‍රදාන ගිවිසුම්වලට එළඹීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා ෴

***************************************

කිරිඳිඇල්ල අමුණෙන් හමු වූ පිරිමි දරුවාගේ මළසිරුර – තිදෙනකු පොලිස් අත්අඩංගුවට

(29.03.2022 – 12:50 +0530 – hirunews.lk/sinhala)

පැල්මඩුල්ල කිරිඳිඇල්ල අමුණේ තිබියදී හමු වූ දාසය (16) හැවිරිදි පිරිමි ළමයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරන් තිදෙනෙකු (3) පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දියේ ගිලී මියගිය සිසුවාගේ මිතුරන් තිදෙනෙකු (3) වන මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු පොලිසියට වාර්තා නොකිරීම නිසාවෙන්.

ඊයේ (29) පැල්මඩුල්ල, උඩතුල ප්‍රදේශයේ කිරිඳිඇල්ල අමුණේ තිබී පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

මෙලෙස මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ රත්නපුර පැල්මඬුල්ල – ගරාඬුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

ඔහු පසුගිය 26 වනදා ලෙල්ලුපිටිය ප්‍රදේශයට යන බව පවසා නිවසින් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් පසු දිනයේදීත් ඔහු නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දරුවාගේ දෙමාපියන් විසින් පසුගිය 27 වන දා පැල්මඩුල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කළා.

ඊයේ (28) දිනයේ කිරිඳිඇල්ල අමුණේ තිබී මෙම සිසුවාගේ මළ සිරුර හමුවීමත් සමග පොලීසිය කළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ එම සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමඟ පසුගිය දිනක ප්‍රදේශයේ ජලාශයක දියනෑමට ගොස් ඇති බවටයි.

දිය නාමින් සිටිය දී දියේ ගිලී අතුරුදන්ව ඇති සිය මිතුරා සම්බන්ධයෙන් කිසිවකුටත් නොදන්වා මෙම මිතුරන් පිරිස එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බවයි රත්නපුර පොලිසිය සඳහන් කළේ.

මේ වන විට මියගිය දරුවාගේ මෘත ශරීරය කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

***************************************

ඩිජිටල් ප්‍රතිපත්තිය සඳහා විද්‍යුත් තැපෑල සහ සහයෝගීතා ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

(29.03.2022 – 13:01 +0530 – hirunews.lk/sinhala)

තාක්ෂණය පදනම් වූ සමාජයක් ඇති කිරීම රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන අරමුණක් වනවා.

ඒ යටතේ පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් ‍රජයක් පිහිටුවීම සහ ඩිජිටල් වශයෙන් බලගැන් වූ ආර්ථිකයක් පිහිටුවීම, රජයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමේ උපායමාර්ග වශයෙන් හඳුනාගනු ලැබ තිබෙනවා.

ඒ අනුව රජයේ කාර්යාලයන්හි භාවිතය සඳහා වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන ධාරිතාව අඩු – වැඩි කළ හැකි ආරක්ෂිත සන්නිවේදන වේදිකාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඒ යටතේ මධ්‍යගතව පාලනය වන සහ විශේෂයෙන් රජයේ භාවිතය සඳහා වඩාත් පුළුල් වූ විද්‍යුත් තැපෑලක සහ සහයෝගීතා විසඳුමක් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

එම වැඩපිළිවෙළ යටතේ රජයේ ආයතන සඳහා විද්‍යුත් තැපැල් සහ සහයෝගීතා විසඳුම් පරීශීලක ගිණුම් 30,000 ක් කඩිනමින් ආරම්භ කිරීමටත්, අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිසත් තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අද (29) දිනයේ දී හිමිවුණා ෴

***************************************

බොරැල්ල දේවස්ථානයෙන් සොයා ගත් අත්බෝම්බය ගැන රස පරීක්ෂක වාර්තාවක් කැඳවෙයි

(29.03.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා බොරැල්ල සියලු‍ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයාගත් ජීව අත්බෝම්බය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එම පැමිණිල්ල අද (29) කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේ යි.

එම අවස්ථාවේ දී විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් අදාළ ජීව අත්බෝම්බය අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ බෝම්බය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ලියනගේ දයාසේන සහ කේ.ඒ. රුවන්සිරි යන සැකකරුවන් දෙදෙනා (2) බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

අනතුරුව එම සැකකරුවන් දෙදෙනා ලබන මස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *