කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? – පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා

කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? – පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා

*********************************************

කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්? – පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා

(24.03.2022 – facebook.com/harshadesilvamp)

රාජ්‍ය මුදල් කාරක සභාවට අද (24) මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට එන්න කියල තිබුණා. ඒත් අන්තිම මොහොතේ ෆැක්ස් එකකින් කියනවා එන්න බැරිලු. මොවුන්ට සඳුදා (21) එන්න කියලයි මුලින් කියල තිබුණේ. පස්සේ බැහැ කියපු නිසා අද (24) එන්න කිව්වා.

කලින් එන්නම් කියලා අද (24) පොල්ල තිබ්බා. රටේ මුදල් කළමනාකරණයේ ඉහළම තැන තමයි රාජ්‍ය මුදල් කාරක සභාව. පාර්ලිමේන්තුවට මුදල් සම්බන්ධ දේවල් දාන්නෙත් මේ කාරක සභාවේ මුලින් සාකච්ඡා කරලා.

රාජ්‍ය මූල්‍ය වගකීම ව්‍යවස්ථාවෙන්ම ලබාදීල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට නෙවෙයි. කබ්රාල්ලා මෙහෙම පොලු තියනව නම් මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්?

++++++++

18-03-2022

***************************************

ප‍්‍රබල ඇමති අනුරාධපුර නුවර වැවේ පහරයි .. බැකෝ දමා වැව ගොඩ කරයි .. හෝටලය යටවෙනවාටලු ..

(24.03.2022 – 10:00 +0530 – lankacnews.com)

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයකු බැකෝ යන්ත්‍ර දෙකක් (2) සහ ලොරි යොදාගෙන මහා පරිමාණයෙන් නුවරවැව ගොඩ කරමින් සිටින බව අනාවරණය වේ.

ඉකුත් සතියේ මෙලෙස බැකෝ යන්ත්‍ර යොදාගෙන නුවර වැව ගොඩ කරමින් තිබිණි.

මෙම කැබිනට් ඇමැතිවරයාගේ නිවස ආසන්නව ඇමැතිවරයාට අයත් හෝටලයක නවීකරණ කටයුතු මේ දිනවල සිදු කෙරේ.

මෙම හෝටලය අනුරාධපුර පෞරාණික වැවක් වන නුවර වැවට ආසන්නව පිහිටා තිබෙන අතර වැව ගොඩකරමින් හෝටලයේ ඉදිකිරීමේ කටයුතු සිදු කරමින් පවතී.

වැව පිටාර ගලන අවස්ථාවලදී හෝටලය සහ ඉඩම යටවීම පාලනය කිරීම සඳහා අදාළ ඇමැතිවරයා වැවේ පිටවාන තවත් උස් කිරීමේ සූදානමක් පවතින බවට ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

හෝටලය පිටුපසින් පිහිටි නුවර වැවේ රක්ෂිත කලාපය රාත්‍රි කාලයේදී ගොඩ කිරීම සිදුකෙරේ. අනුරාධපුර නගරයෙන් පිටත ප්‍රදේශ වලින් ලොරි වලින් පස් ගෙනැවිත් රාත්‍රි කාලයේදී වැව් රක්ෂිතය ගොඩ කිරීම දිගින් දිගටම සිදුකෙරේ. ගොවීන් නුවර වැවෙන් ජලය ලබාගෙන ගොවිතැන් කටයුතු කරන සිය ගණනක් අනුරාධපුර නගරයේදී පසුගියදා විරෝධතාවක නිරත වූහ.

නුවර වැව් රක්ෂිතය එළි පෙහෙළි කිරීම පිළිබඳව අනුරාධපුර වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.ඩී. මැදිවකගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අදාළ ඉඩම ගොඩ කිරීම සම්බන්ධව වාරිමාර්ග ඉංජිනේරුවරයා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා දැනුවත් කර තිබෙන බවය. එමෙන්ම, නුවරවැව රක්ෂිතය මැනුම් ගත කිරීම සඳහා අනුරාධපුර, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම්වරයා මැනුම්පතිවරයාට දැනුම්දී තිබෙන බවත්, එම කටයුතු අවසන් වීමෙන් අනතුරුව වැව් රක්ෂිතයේ අනවසරයෙන් අල්ලාගෙන තිබෙන ඉඩම් ප්‍රමාණය පිළිබඳව නිසි තහවුරුවක් ලබාගත හැකි බවද අධ්‍යක්ෂවරයා කීවේය.

මෙවැනි කටයුතු නතර කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පමණක් නොව අනෙකුත් රාජ්‍ය ආයතනද සම්බන්ධ විය යුතුයි. එබැවින් වැව් රක්ෂිතය ගොඩ කරන්නේ නම්, ඊට පස් ප්‍රවාහනය සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කෙරෙන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් බවද ඔහු පැවසීය.

වසර සිය ගණනක් පැරැණි නුවර වැව රක්ෂිතය එළි පෙහෙළි කර ගොඩ කිරීම සම්බන්ධව තමන්ට තවමත් පැමිණිල්ලක් ලැබී නැති බවත්,මේ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පැවසීය.

අරුණ

+++++++

නුවර වැවේ දියබුං ගසනා පළාත් ආණ්ඩුකාරයටත් නොපෙනෙන රක්ෂිතය

(23.03.2022 – 21:07 +0530 – hirunews.lk/sinhala)

ඉතිහාසගත තොරතුරු අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් නුවර වැව ක්‍රිස්තු පුර්ව පළමු (1) වන සියවසේදී වලගම්බා රජ සමයේදී ඉදිවුවක් බවටයි තොරතුරු සටහන් වන්නේ.

සමස්ත අනුරාධපුර නගරයේ ම ජීවනාලිය බඳු වන නුවර වැව අනුරාධපුර නගර වැසියන් ඇතුළු ඒ අවට ගම්මාන රැසක පුද්ගලයින්ගේ සා පවස නිවාලන්නේ මේ වන විට ඉතිරිව විහිදී පැතිරී ඇති අක්කර 24,000 පමණ වපසරියක පිහිටමින්.

කණගාටුවට කරුණ වන්නේ මෙරට බොහෝ ජලාශයන්හි රක්ෂිත කලාපයන්ට වැළඳී ඇති සුව නොවන රෝගයක් බඳු වූ වැව්, ජලාශ රක්ෂිත බලහත්කාරයෙන් අත්පත්කර කර ගන්නා රෝගය අනුරාධපුර නුවර වැවේ ද ඔඩුදුවා ගොස් තිබීමයි.

මෙම බරපතළ අර්බුදය මෙරට ප්‍රධාන ජලාශ රැසකම රක්ෂිත කලාප වලට මේ වනවිට එල්ල කර ඇත්තේ අති විශාල අවදානමක්.

රක්ෂිත කලාප බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා බලපුළුවන්කාර, හයිකාරකම් ඇති පුද්ගලයින් ඒවායේ ඇති ඓතිහාසික පුරා පුරාවිද්‍යාත්මක වටිනාකම් තුට්ටුවට දමා ඒවා විනාශ කරමින් තමන්ට සිතූ සේ ගොඩනැගිලි, ආදිය ඉදිකරන්නේ මෙම ජලාශවල සුන්දරත්වයට ද බරපතළ හානි සිදු වන ආකාරයෙන්.

ඒ ආකාරයටම නුවර වැව රක්ෂිතයටත් ඇස ගසා ඇති කුඩා හාල්මැස්සන්, කූනිස්සන් නොව මහා පරිමාණ ව්‍යාපාරිකයින්, මැති ඇමති ඇමතිවරුන්, ඇතුළු හයිකාර දළකාරයින් සොයා ‘හිරු සී.අයි.ඒ.’ පසුගිය දින කිහිපය පුරා අනුරාධපුර ප්‍රදේශයේ ගවේෂණයක නිරත වුනා.

ඒ ගවේෂණාත්මක චාරිකාවේදී හෙළිවූයේ මෙරට ඓතිහාසික, පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති මෙම නුවර වැව අවට ඇති රක්ෂිතය දේශපාලඥයන්, මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන් 203 දෙනෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති බවයි.

පුජ්‍ය රත්ගම සමිත හිමි – සභාපති – නුවර වැව ඒකාබද්ධ ගොවි සංවිධානය :

“නුවර වැව මුහුදු මට්ටමේ සිට මීටර් 88.5 ක් ඉහළින් පිහිටලා තියෙන්නෙ. මේ පහුගිය කාලෙ මැනුම් නියෝගයක් දෙනවා මීටර් 88.5 න් දශම 5 අඩු කරලා මීටර් 88 ට මනින්න. ඒ අනුව අඟල් 19.5 ක් අඩු වෙනවා. අඟල් 19.5 ක් අඩුවෙනවා කියන්නෙ අක්කර අඩි 13,500 ක් වතුර අඩු වෙනවා. වාරිමාර්ග අධක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වෙනවා වාන් මට්ටමට වතුර පිරුනට පස්සෙ වැවේ රක්ෂිතය මීටර් 100 ක් හැටියට මායිම් කරලා දෙන්න කියලා. එතකොට බලාගන්න පුළුවන් වැව වාන්දාන කොට කාගෙ ඉඩම් ද යටවෙලා තියෙන්නෙ. කවුද වැව් රක්ෂිතයෙ ඉන්නෙ කියලා.”

අනුරාධපුර – නුවර වැවට අයත් රක්ෂිත භූමි ප්‍රදේශ මේ වනවිට බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති පුද්ගලයන් ඒවායේ දැවැන්ත ඉදිකිරීම් ද සිදු කර ඇත්තේ මෙලෙසින්.

කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් හෝ රාජ්‍ය ආයතනයක නිල අවසරයක්, අනුමැතියක් නොමැතිව හිත් පිත් නැත්තන් ලෙස නුවර වැව රක්ෂිතය මෙලෙස වනසන්නන් අතර මේ වන විටත් දේශපාලන බිමේ ක්‍රියාකාරී ඇමතිවරුන් මෙන්ම හිටපු දේශපාලනඥයින් ද සිටිනවා.

ඔවුන් කිසිදු බියක් සැකක් නොමැතිව තමන්ට කිසිදු හිමිකමක් නැති මේ බිම ගොඩකරමින් රුපියල් කෝටි ගණන් වැය කරමින් මහා මන්දිර තනන්නේ ඔවුන් සතු දේශපාලන බලය හරහා කිසියම් දිනක ඒ බිම සඳහා නීත්‍යානුකූල ලියවිලි සකස් කරගත හැකි බව හොඳින්ම දන්නා නිසාවෙන්.

අජිත් මුණසිංහ – මිනින්දෝරු නිලධාරී :

“මෙතන හාරලා ගොඩකරලා තියෙන්නෙ. සම්පුර්ණ වැවක තියෙන පස්. ඒක ඉතාම පැහැදිලියි. ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. කිරිමැටි ආශ්‍රිත පස් තමයි මේකෙ තියෙන්නෙ. නමුත් අතන තියෙන්නෙ ග්‍රෙවෙල්. වැව් බිම වහන්න ග්‍රෙවෙල් පුරවලා. මේක සම්පුර්ණයෙන්ම ඉදිකරලා තියෙන්නෙ නුවර වැවේ රක්ෂිතයෙ. මේවට කිසිම ඔප්පුවක් නැති ඉඩමක්. අනවසර ඉදිකිරීමක් මේක.”

හාස්‍යයට කරුන වන්නේ මහා පරිමාණ තෝරු, මෝරුන් මෙලෙස හිත් පිත් නැති ලෙස අනුරාධපුර – නුවර වැව ගොඩකරමින් අනවසර ඉදිකිරීම් සිදු කරද්දී මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු පරම අයිතිය සතුවන රජයේ ආයතනය වන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි ද මෙම වැව් රක්ෂිතය ඇතුළතම පිහිටා තිබීමයි.

ඊට අමතරව රජයට අයත් තවත් ගොඩනැගිලි, නිවාඩු නිකේතන ඇතුළු තවත් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් අනුරාධපුර නුවර වැව් රක්ෂිතය තුළ ඉදිකර ඇත්තේ පනින රිලවුන්ට ඉනිමන් බඳින්නා සේයි.

මීට අමතරව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ද ඉදිකර ඇත්තේ විසල් නුවර වැව පිස එන මදනළ වදිනා මේ වැව් රක්ෂිතයේ ම වීම කණගාටුවට කරුණක්.

අපට අසන්නට ඇත්තේ එවක උතුරුමැද පලාත් මහා ඇමතිවරයා ව සිටි දේශපාලන ප්‍රබලයාගේ මැදිහත්වීමෙන් වැව් තාවුල්ල ගොඩකර මේ නිල නිවස තැනුවේ පළාත් ආණ්ඩුකාරවරයාට නුවර වැවේ දිය කිඳුරියන් සමග දිය බුං ගසන්නට ද යන්නයි?

‘නඩුත් හාමුදුරුවන්ගේ – බඩුත් හාමුදුරුවන්ගේ’ පසුබිමක් සැකසී ඇති අනුරාධපුර නුවරවැව මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියාත්මක වන්නේ ද?

එසේනම් පළමුව තමන් අතින් සිදුව ඇති වැරැද්ද නිවැරදි කරගනිමින් රජයේ පිරිවැය දරමින් නීති විරෝධී ලෙස ඉදි කර ඇති ගොඩනැගිලි ඉවත් කර ගැනීමට පියවර ගත යුතු නොවන්නේ ද ?

වැටත් නියරත් ගොයම් කන පසුබිම්ක ඒ අවනඩුව කිව යුත්තේ කාටද ?

ඒ අනුව, අනුරාධපුර – නුවර වැව් කොමළිය තවදුරටත් කෘශව වියැකී යන්නට ඉඩ නොදී ඇයට යම් සාධාරණයක් ඉටු කිරීමට නම් වැව් රක්ෂිතය අත්පත් කරගෙන සිටින ඇති-හැක්කන් මෙන්ම රජයේ බලධාරීන් ද එතැනින් ඉවත් කර ඒ සැමට නීතිය ක්‍රියාත්මක කළ යුතු නො වන්නේද?

එසේ නොමැතිව පර්චස් ගණනක් වට කරගන්නා අහිංසක අසරණ මිනිසුන් පමණක් නීතියේ යගදාව ඔසවා තලා පෙලා දැමීම සාධාරණ ද ?

නුවර වැව වටා සිදුකර ඇති සියලු නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කරන්නේ නම් මේ වන විට එම රක්ෂිතයේ අනවසරයෙන් පදිංචි ව සිටින 203 න් දෙනාටම නීතිය සම ව ක්‍රියාත්මක විය යුතු නොවන්නේ ද?

‘එක රටක් එක නීතියක්’ වෙනුවට ‘එක රටක් නීති රැසක්’ ක්‍රියාත්මක වන සංකල්පය වෙනස් කර සැමට සාධාරණය ඉටුවන තෙක් ‘හිරු සී.අයි.ඒ.’ අවදි නෙත නිරන්තර අවධානයෙන්.

+

පා.ම ආචාර්ය විජයදාස රාජපක්ෂ පා.ම – Turning Point – 22-03-2022 – Siyatha TV

+

අපි ඇත්තටම අනාතයි – නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු (24.03.2022)

+

IMF එකට ගියොත් මේ රට විනාශයි. රනිල්ට කියපු එක ගැන අදටත් පසුතැවිමක් නෑ (22.03.2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *