කිරිපිටි මිල ඉහළට : ග්‍රෑම් 400 රුපියල් 790 යි

කිරිපිටි මිල ඉහළට : ග්‍රෑම් 400 රුපියල් 790 යි

*********************************************

කිරිපිටි මිල ඉහළට : ග්‍රෑම් 400 රුපියල් 790 යි

(19.03.2022 – 17:26 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල මේ වනවිට රුපියල් 250 කින් ඉහළ දමා තිබෙනවා.

මෙතෙක් රුපියල් 540 ට අලෙවි වූ ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල දැන් සටහන් වන්නේ රුපියල් 790 ක් ලෙසයි.

මේ අතර, දේශීය වශයෙන් නිෂ්පාදිත ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල ද රුපියල් 625 දක්වා ඉහළ නංවා තිබෙනවා.

මෙම නව මිල සඳහන් නිෂ්පාදන දැනටමත් වෙළඳපොලට නිකුත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අදාළ කිරිපිටි සමාගම් මේ දක්වා නිල වශයෙන් අදාළ මිල වැඩි කිරීම් පිලිබඳ මාධ්‍යයට ප්‍රකාශ නොකළ ද වැඩිකළ මිල ගණන් ද ඇතුළත්ව සංශෝධිත මිල සහිත කිරිපිටි වෙළඳපොලට නිකුත් කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වුණේ.

මේ අතර, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමයේ කිසිදු හිඟයකින් තොරව භාණ්ඩ හා ඖෂධ ලබාදීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ වරාය තුල සිරවී ඇති ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන සියලුම තොග මුදා හැරීමට ඉදිරි සතියේදී පියවර ගන්නා බවයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, සිමෙන්ති, රෙදිපිලි, සත්ත්ව ආහාර, කර්මාන්ත සඳහා වන අමුද්‍රව්‍ය සහ විශේෂ පොහොර වර්ග ඉන්දියාවෙන් ආනයනය කරන ආනයනකරුවන්ට තම ආනයන වරායෙන් නිදහස් කර ගැනීම සඳහා ලියාපදිංචි වන ලෙස වෙළඳ අමාත්‍යාංශය දැනුම් දෙනවා.

***************************************

විදේශ ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත විශේෂ දිරිදීමනා අවලංගු කෙරේ

(19.03.2022 – 19:00 +0530 – hirunews.lk/sinhala)

නම්‍යශීලි විනිමය ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමත් සමඟ විදේශීය ඉපයීම් නිසි මාර්ග ඔස්සේ දිවයිනට පැමිණෙන බැවින්, විදේශ ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත විශේෂ දිරිදීමනා ක්‍රමය අවලංගු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහබැංකුව නිකුත් කළ නිවේදනය :

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කිරීම

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලීභාවයට ඉඩ හැරීමට ගත් තීරණයේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට විනිමය අනුපාතිකය, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම් දිරි ගැන්වීම සඳහා ලබාදුන් දිරි දීමනා මට්ටම ඉක්මවා ගොස් ඇති බව පෙනේ.

ඒ අනුව, පවතින විනිමය අනුපාතිකය මගින් විදේශගත ශ්‍රමිකයින්ගේ විදේශ විනිමය ප්‍රේෂණ සඳහා ඉහළ ප්‍රතිලාභයක් මෙන්ම, අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා ඉහළ රුපියල් අගයක් ලැබෙනු ඇත. මෙම මෑතකාලීන ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන්ගේ ශුද්ධ ඉපැයීම් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇත.

නවතම නිල දත්තවලට අනුව, 2022 වසරේ මාර්තු මාසයේදී, විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළයෑම හේතුවෙන්, විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් දැනටමත් පෙන්නුම් කර ඇත.

19-03-2022

***************************************

ඇවිලෙන ගින්නට පිදුරු නොදමන බව හිටපු ජනපති මෛත්‍රී කියයි

(19.03.2022 – 19:15 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ පවත්වන විරෝධතාවලින් සිදුවන්නේ රට තවත් කඩා වැටීම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සම්මේලනයට අද (19) එක්වෙමින්.

***************************************

කුණු කන වන වනඅලි

(19.03.2022 – 20:46 +0530 – hirunews.lk/sinhala)

අක්‍රමවත් කසල බැහැර කිරීම යනු වර්තමානයේ මෙරට බහුලවම මුහුණ දෙන බරපතල පාරිසරික ගැටලුවක්.

මෙවැනි ක්‍රියාකරම්වලින් ලැබෙන අහිතකර ප්‍රතිඵල සියළුම ජීවීන්ට අත්විඳීමට සිදුවන අයුරු අප වාර්තා කළේ වරක් දෙවරක් නොවේ.

දාමයක් ලෙස එවැනි අහිතකර ප්‍රතිඵල ලැබෙන අක්‍රමවත් කසල බැහැර කිරීමක් පිළිබඳ තොරතුරු අපට වාර්තා වුණේ වැලිකන්ද ප්‍රදේශයෙන්.

මාදුරුඔය සිට රිදීතැන්නට ජලය ගලායන ප්‍රධාන ඇළ මාර්ගය වන ඉසෙඩ්-ඩී ඇළ මායිම් කරගනිමින් පිහිටි වැලිකන්දල මල්විල ගම්මානය මේ වන විට වන අලින්ගේ රජ දහනක් බවට පත්ව තිබෙනවා.

ඊට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ වැලිකන්ද ප්‍රාදේශීය සභාව මඟින් ඉසෙඩ්-ඩී ඇළ අසළ ප්‍රදේශ වලට අක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීමයි.

ලංකාපුර සහ ගල්ලෑල්ල යන ප්‍රදේශවල කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානද ඉදිකර ඇති පුසබිමක බලධාරීන් විසින් සිදුකරන මෙම ක්‍රියාව හරහා පීඩාවට පත්වන්නේ එම ප්‍රදේශයේ ජනතාවයි.

මල්විල ගම්මානය මේ වන විට නිරන්තරයෙන් ආහාරසොයා ගම්වදින වනඅලින්ගේ ප්‍රහාරයට ලක්වන්නේ මෙම කසළ ගැටලුවේ තවත් ප්‍රතිඵලයක් ලෙසයි.

මෙලෙස කසල ආහාරයට ගැනීමට දිවා සහ රාත්‍රී කාලයේ පැමිණෙන වනඅලින් ඉසෙඩ්-ඩී ඇළට වැටුණු අවස්ථාවන්ද ඕනෑ තරම්.

කසල සමඟ මිශ්‍ර වී ඇති පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය ආහාරයට ගැනීම තුළින් වනඅලින් ආහාර විවිධ ලෙඩරෝග වලට ලක්ව මිය යාමත්ල මෙම කසල ජලයට එක් වී ප්‍රදේශයේ ජල මූලාශ්‍ර අපිරිසිදු වීම පිළිබඳවත් බලධාරීන් අවධානය යොමු නොකිරීම විමතියට කරුණක්.

අක්‍රමවත් කසළ බැහැරකිරීම සහ ඒ හේතුවෙන් වනඅලින් ගම්වැදීම යන බාධක හමුවේ කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගනිමින් තම දිවි සරිකරගන්නා මෙම ග්‍රාමීය ජනතාවට ඇත්තේ කාගේ පිළිසරණක්ද ?

බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු මෙවැනි ගැටළු හමුවේ ගම්වැසියන් ගම හැරයනතුරු බලා සිටිනවාට වඩා අකටයුතුකම් සිදුකරන ඇතැම් බලධාරීන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රදේශය භාර නිලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වනවා.

***************************************

දඹදෙණි උරුමය වැනසූ නිලධාරීන්ට විරෝධය

(19.03.2022 – 21:12 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසකට ඓතිහාසික දඹදෙණිය වඩුවාකෙටු ගල පරිශ්‍රයේදී ගම්වාසීන් දැඩි විරෝධයක් එල්ල කළා.

ඒල වඩුවා කෙටු ගලේ පාදම විනාශ කරන ගල් කොරියේ හිමිකරුවන්ට රාජ්‍ය නිලධාරීන් සහයෝගය ලබාදෙන බවට චෝදනා කරමින්.

මෙරට තුන් වැනි රාජධානිය වන දඹදෙණියට අයත් ඓතිහාසික වඩුවා කෙටු ගලේ පාදම විනාශ කරමින් ගල් කොරියක් පවත්වාගෙන යන බව ‘හිරු සී.අයි.ඒ.’ හරහා පසුගියදා අනාවරණය කිරීමෙන් පසුව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එය තාවකාලිකව තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි රාජ්‍ය නිලධාරීන්ට නියෝග කලේ.

ඒ අනුව ඊයේ (18) නාරම්මල ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් අදාල ගල්කොරිය නිරීක්ෂණයට පැමිණෙන බව සැලවීමත් සමග ප්‍රදේශයේ ජනතාව දඹදෙනිය නගරයේ සිට විරෝධතා පාගමනින් ගල්කොරිය පවත්වාගෙන යන ස්ථානයට පැමිණියා.

ඔවුන් ඉල්ලා සිටියේ එම ගල් කොරියට යළි අවසර ලබා නොදෙන ලෙසයි.

විරෝධතාවයේ නිරත ගම්වාසීන්ගෙන් කිහිපදෙනෙකු ගල්කොරිය පවත්වාගෙන යන භූමියට පැමිණි අතර ඔවුන් චෝදනා කලේ පුරා විද්‍යා නිලධාරීන් නිසි විමර්ශනයකින් තොරව ගල්කොරිය පවතින භූමියට අවසර ලබා දී ඇති බවයි.

මෙම විනාශය මුලින්ම රට හමුවේ හෙළිකිරීම සඳහා මෙම ස්ථානයට ගිය හිරු මාධ්‍යවේදියාගේ දුරකථන අංකය ඇතුලු තොරතුරු ගල්කොරියේ හිමිකරුට ලබාදීමට මෙම වසමේ ග්‍රාම නිලධාරීවරිය නීති විරෝධී අයුරින් කටයුතු කර තිබුනා.

ඊයේ (18) දිනයේ ද, පැමිණි පිරිස ජංගම දුරකථනයෙන් රූගත කිරීමට ඇය ගත් උත්සාහයේදී ගම්වාසීන් ඇයට විරෝධය පළ කළා.

ග්‍රාම නිලධාරීවරිය හා රජයේ ඇතැම් නිලධාරීන් ගල්කොරිය නැවත පවත්වාගෙන යාමට අනුබල ලබාදීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුලු පිරිසට මෙලෙස තම විරෝධයද පළ කළා.

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

යුද ගිනි මැද රුසියානු ගගනගාමීන් උඩු ගුවනට

(19.03.2022 – 08:25 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ යුද උණුසුම උත්සන්නවද්දී රුසියානු ගගනගාමීන් තුන්දෙනෙකු (3) රැගත් සෝයුස් යානයක් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය බලා ඊයේ (18) නික්මුණා.

රුසියානුවන් පමණක් සහභාගිවන උඩු ගුවන් චාරිකාවක් මෙලෙස ක්‍රියාත්මක වී ඇත්තේ වසර ගණනාවකට පසුවයි.

ඔවුන් දැනටමත් ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානයේ සිටින රුසියානුවන් දෙදෙනෙකු (2), ඇමරිකානුවන් හතරදෙනෙකු (4) සහ ජර්මානු ජාතිකයෙකු (1) ඇතුළත් කණ්ඩායම විසින් පිළිගැනීමට නියමිතයි.

මේ අතර අඟහරු ගවේෂණය සඳහා රුසියාව සමඟ සහයෝගීතාව යුරෝපා සංගමය විසින් අවසන් කිරීමෙන් පසු රුසියාව තමන්ගේම අඟහරු ගවේෂණ වැඩසටහනක් දියත් කිරීමට සැරසෙනවා.

රුසියාව සහ යුරෝපය අතර ඒකාබද්ධ ව්‍යාපෘතිය යටතේ යුරෝපයේ නිෂ්පාදිත රෝවර් යානයක් රුසියානු රොකට්ටුවක් මගින් අඟහරු ග්‍රහයා වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබුණා ෴

+++++++++++

ලෝක බලවතුන් සංවාදයක

(19.03.2022 – 11:12 +0530 – hirunews.lk/sinhala)

රුසියානු – යුක්‍රේන සංවාදයට සියලු පාර්ශව සහය දැක්විය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් ජෝ බයිඩන් ඒ සඳහා එකඟතාව පළ නොකළ බව සඳහන් වනවා.

දෙරට නායකයින් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයකදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එක්සත් ජාතීන්ගේ ආධාර රැගත් පළමු රථ පෙළ ද යුක්‍රේනයේ සුමී නගරයට පැමිණ ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ඊයේ (18) දිනයේ මානුෂික කොරිඩෝව හරහා පුද්ගලයින් 9,100 වැඩි පිරිසක් යුක්‍රේන නගරවලින් ඉවත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඉවත්ව ගිව බහුතරයක් මරියුපෝන් නගරයේ පදිංචිව සිටි වැසියන් බව සඳහන්.

රුසියානු – යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් පුද්ගලයින් මිලියන 6.5 ක පමණ පිරිසක් යුක්‍රේනය තුළ අවතැන්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා ෴

++++++++++++

යුක්රේන ජනපති රුසියාව සමඟ අර්ථවත් සාම සාකච්ඡාවක් ඉල්ලයි

(19.03.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

සාමය සහ ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා පමාවකින් තොරව ආරම්භ කරන ලෙස යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි අද (19) රුසියාවෙන් ඉල්ලීමක් කළා.

යුක්රේන ආක්‍රමණයේ අත්වැරදිවලින් ඇතිවූ හානිය අවම කරගැනීමට එමඟින් රුසියාවට අවස්ථාවක් ලැබෙන බවයි ඔහු කියා සිටියේ.

මේ නිසා හමුවී සාකච්ඡා පැවැත්වීමට මෙන්ම යුක්රේනයේ භෞමික අඛන්ඩතාව සහ යුක්තිය ස්ථාපිත කරලීමට කාලය උදාවී ඇති බවත්, ජනපති සෙලෙන්ස්කි අවධාරණය කළා.

එසේ නොවුනහොත් රුසියාවට සිදුවන හානිය නැවත අත්පත් කරගැනීමට පරම්පරා ගණනාවක් ගතවනු ඇති බවයි ඔහුගේ අදහසයි.

මේ අතර දකුණුදිග මරියුපොල් වරාය නගරයේ ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තාවනවා. එහි නගරාධිපතිවරයා සනාථ කළ පරිදි මේ වනවිට නගර මධ්‍යයටද පැමිණ අවසන්.

නගරයේ නිවහන් ගොඩනැගිලිවලින් සියයට 80 කට පමණ රුසියානු ප්‍රහාරවලින් හානි සිදුවී හෝ විනාශ වී ඇති බවයි ඔහු කියා සිටියේ ෴

++++++++++++

රුසියාව, යුක්රේන යුද්ධයට හයිපර්සොනික් මිසයිල යොදා ගනී

(19.03.2022 – 18:05 +0530 – hirunews.lk/sinhala)

රුසියාව විසින් යුක්රේන යුද්ධයේදී සිය නවතම හයිපර්සොනික් මිසයිල ප්‍රථම වරට යොදා ගෙන ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ශබ්දයේ වේගය මෙන්ම පස් (5) ගුණය ඉක්මවූ වේගයක් සහිත මිසයිල හයිපර්සොනික් ලෙස හැඳින්වෙන අතර රුසියාව, බටහිර යුක්රේනයේ අවි ගබඩාවක් විනාශ කිරීම සඳහා යොදා ගෙන ඇත්තේ කින්ශාල් වර්ගයේ හයිපර්සොනික් මිසයිලයක්.

එමගින් බටහිර යුක්රේනයේ ඉවානෝ ෆ්‍රැන්කිව්ස්ක් ප්‍රදේශයේ පිහිටි භූ ගත අවි ගබඩාවක් මෙලෙස විනාශ කළ බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් රුසියානු නොවස්ති රාජ්‍ය ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.

ශබ්දයේ වේගය මෙන්ම දස (10) ගුණයක වේගයක් සහිත කින්ශාල් හයිපර්සොනික් මිසයිලය මිසයිල ආරක්ෂණ පද්ධති මඟ හරිමින් ඉලක්කය කරා ගමන් කිරීමට සමත් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මීට පෙර ප්‍රකාශ කළා.

කින්සාල් මිසයිලය ව්ලැඩ්මීර් පුටින් විසින් 2018 දී එළිදක්වන ලද නව මිසයිලයක් වනවා.

බැලස්ටික් මිසයිල ඉහල අභ්‍යවකාශය ඔස්සේ පියාසර කරමින් තම ඉලක්කය කරා ළඟා වන අතර, හයිපර්සොනික් වායුගෝලයේ පහල ගමන් පථයක් මත පියාසර කරමින්, ඉක්මනින් ඉලක්කයකට ලඟා වීමේ හැකියාව පවතිනවා.

එක්සත් ජනපදය වැනි රටවල් කෲස් සහ බැලස්ටික් මිසයිලවලින් ආරක්ෂා වීමට සැලසුම් කර ඇති පද්ධති සංවර්ධනය කර ඇතත්, හයිපර්සොනික් මිසයිලයක් හඹා යාමේ හැකියාව ගැටලුවක්ව පවතිනවා.

එක්සත් ජනපදය, චීනය, රුසියාව සහ අවම වශයෙන් තවත් රටවල් පහක් (5) හයිපර්සොනික් තාක්ෂණය මත කටයුතු කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, චීනය සහ රුසියාව, එක්සත් ජනපදය, න්‍යෂ්ටික අවිවලට අනුකූල හයිපර්සොනික් මිසයිල සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

මේ අතර, අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානය වෙත අද ලගා වූ රුසියානු ගගනගාමීන් තුන්දෙනා (3) යුක්රේන ආක්‍රමණයට විරෝධය දක්වමින්, රුසියානු ගගනගාමීන්ගේ නිල ඇඳුම නොව යුක්රේන ධජ වර්ණයෙන් සැරසී සිටින අයුරු දක්නට ලැබුණා.

ගගන මධ්‍යස්ථානය වෙත ගිය ඔවුන් පිළිගනු ලැබූයේ එහි සිටි ඇමෙරිකානු, රුසියානු සහ ජර්මානු ගගනගාමීන් කණ්ඩායම විසින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *