දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද (18) සිට

දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද (18) සිට

*********************************************

දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද (18) සිට

(18.03.2022 – 08:27 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ප්‍රදේශවලට ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (18) සිදුකරන බව ලිට්රෝ සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කළේ දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 1,20,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල පවතින ගෑස් හිඟ තත්වය ක්‍රමයෙන් පහව යනු ඇති.

කොළඹ වරායට ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබූ නෞකාවේ අන්තර්ගත ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක තොගයක ගොඩබෑමේ කටයුතු ඊයේ (17) පස්වරුවේ ආරම්භ කෙරුණා.

ඒ ගෑස් ආනයනය කළ ඕමාන් සමාගමට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 8 ක මුදල ගෙවීමට රජය පියවර ගැනීමත් සමගයි.

කෙසේ වෙතත්, ගෑස් නොමැතිව ඊයේ (17) දිනයේත් ජනතාව අපහසුතාවයට පත්ව සිටි අතර දිවයින පුරා ගෑස් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම් නිරීක්ෂණය වුණා.

ගෑස් නො මැති වීමත් සමඟ ජනතාව භූමිතෙල් ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත පැමිණීම නිසා පිරවුම්හල් ආශ්‍රිතව භූමිතෙල් පෝලිම්ද පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ඉන්ධන හල් ආශ්‍රිතව පවතින තදබදය ඉදිරි දින 2 තුල පහව යනු ඇති බව ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, මුතුරාජවෙල ඉන්ධන පර්යන්තයේ පවතින බවුසර් තදබදය හේතුවෙන් පිරවුම් හල් වෙත ඉන්ධන බෙදා හැරීම ප්‍රමාදවීමත් සමග මේ දින වල පිරවුම්හල් තුල ඉන්ධන හිඟයක් පවතින බවයි.

මුතුරාජවෙල සහ කොලොන්නාව මධ්‍යම ඉන්ධන පර්යන්තවල සිට දිවයින පුරා පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සිදු කරන අතර මෙවර මුතුරාජවෙල ඉන්ධන පර්යන්තයට පමණක් ඉන්ධන තොග සැපයීම හේතුවෙන් මෙම බවුසර් තදබදය හටගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළා.

එසේම, ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය ලබන ඉරිදා (20) පස්වරුවේ දිවයිනට ලැබීමට නියමිතයි.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් එලෙස ලැබීමට නියමිතව ඇති බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ (17) දිනයේත් රාත්‍රිය දක්වාම දිගු පෝලිම් පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අදත් (18) දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව පී සිට ඩබ්ලිව් දක්වා (P-W) වන කලාපවලට උදෑසන 9 ත් සවස 5 ත් අතර කාලයේ දී පැය 2 ක් සහ සවස 5 ත් රාත්‍රී 10 ත් අතර පැයක (1) කාලයක් විදුලිය කප්පාදු කරන බවයි.

එමෙන්ම, ඒ සිට එල් දක්වා (A-L) වන කලාප වලට උදෑසන 8 ත් සවස 6 ත් අතර කාලයේ දී පැය 3 යි මිනිත්තු 20 ක්ද සවස 6 ත් රාත්‍රී 11 ත් අතර පැයයි (1) මිනිත්තු 40 ක් ද විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

එමෙන්ම කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ පෙරේදා (16) රාත්‍රියේ ඇතිවූ ගැටුම් සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු (2) ඇතුලු තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්ධන ලබාගැනීම සඳහා දිගු පෝලිමක් පැවති අවස්ථාවේ ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඉන්ධන පිරවුම්හලේ හිමිකරුට මෙලෙස පිරිසක් විසින් පහර දී තිබුණා ෴

+++++++++++++

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යළි ඉහළට

(18.03.2022 – 08:39 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ සටන් විරාමයක් පිළිබඳ බලාපොරොත්තු වියැකී යද්දී ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල නැවතත් සියයට 10 කින් පමණ ඉහළ යෑමක් ඊයේ (17) දක්නට ලැබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.55 කින් ඉහළ ගිය අතර, එම තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 107 කට ආසන්නවයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද ඩොලර් 104 දක්වා ඉහළ ගියේ ඩොලර් අටකට (8) වැඩි මිල වැඩිවීමක් සමඟයි ෴

+++++++++++++

ඉන්ධන, ගෑස් හා සෙසු අර්බුද හමුවේ රටේ අනාගතය කොයිබට ද ?

(18.03.2022 – 12:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකටයි.

රට පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දමා ඇති අතර විවෘතව ඇති පිරවුම්හල් ඉදිරිපිට ද දිගු පෝලිම්ය.

ඉන්ධන අලෙවි වන්නේ මෙරට ඉතිහාසයේ වැඩිම මිලටය.

ගෑස් නැව් සඳහා මුදල් ගෙවීමේ හැකියාවක් නොමැති වීමෙන් ගෑස් රැගෙන පැමිණි නැව් වරාය අවට මුහුදේ දින ගණන් නැංගුරම්ලා ඇති අතර ඒවාට ප්‍රමාද ගාස්තු ගෙවන අතර වාරයේ, හිස් ගෑස් සිලින්ඩර රැගෙන ජනතාව අලෙවි නියෝජිතායතන ඉදිරිපිට දිගු පෝලිම්වලය.

නමුත් ගෑස් ලැබෙන දිනයක් ගැන නිශ්චිත අදහසක් පැවසීමට ගෑස් සමාගම් ද අපොහොසත් වී තිබෙනවා.

එමෙන්ම මේ වනවිට දිනකට අවම වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් සිදු වන්නේ ජනතාව කබලෙන් ලිපට දමමින්.

දශක ගනනාවක් මේ රට කරවූ අදූරදර්ශී පාළකයින් විසින් මේ රට ඇද දැමූ බරපතල ආර්ථික අර්බූධය හමුවේ අද වන විට රටම බරපතල බලශක්ති අර්බුදයක ගිලී අවසන්.

කාබනික කෘෂිකර්මාන්තය නම් සැලැස්මක් නැති මහ පොලවේ පැල කල නොහැකි වැඩපිළිවෙල හමුවේ මෙරට කෘෂිකර්මාන්තය හා එහි යැපුම්කරුවන් ද විනාශ කර දැමුණා.

ආර්ථිකය උග්‍ර විදේශ විනිමය හිඟයකින් පෙළෙන අතරේ, උද්ධමනය පෙර නොවූවිරූ අති ප්‍රබල වේගයකින් ඉහළ යන අතර රුපියල බරපතල ලෙස බාල්දු වෙමින් තිබෙන්නේ ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 300 ට ආසන්න කරමින්.

එවැනි පසුබිමක් යටතේ ඉන්දියාව මෙරටට ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහන ණය පහසුකමට අදාළ ගිවිසුම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ ඉන්දීය ජාතික බැංකුව ඊයේ (මාර්තු 17) අත්සන් තැබූවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා මෙම ණය පහසුකම යොදා ගැනීමට නියමිත බවයි.

මේ අතර රට තුල මේ වන විටත් බරපතල ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇතැයි අසරණ රෝගීන් මෙන්ම ඖෂධ ආනයනකරුවන්ද පවසනවා.

ඊට හේතු වී ඇත්තේ ද ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට තරම් ප්‍රමාණවත් ඩොලර් මෙරට බැංකු පද්ධතිය සතුව නොමැති වීම බවයි ආනයනකරුවෝ සඳහන් කරන්නේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ ඉන්ධන මිල දී ගැනීම සඳහා තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක ණය මුදලක් ලබාදෙන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කළ බවයි.

ඒ ඉන්ධන මිල දී ගැනීම සඳහා ඉන්දියාව දැනටමත් ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ට අතිරේක වශයෙන්.

ශ්‍රී ලංකාව මේ දිනවල සිය ඛනිජ තෙල් අවශ්‍යතාවයන් මුළුමනින්ම සපුරා ගනු ලබන්නේ එම ඉන්දීය ණය සහනයේ උපකාරයෙන්.

සිය දෙදින ඉන්දීය සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශන්කර් යන මහත්ම මහත්මීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ලැබුවා.

එම සාකච්ඡාවල දී මෙරට වත්මන් ආර්ථික අභියෝග පිළිබඳව, දෙරට අතර කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගු කාලීන සහයෝගීතාව සඳහා සැලසුම් සකස් කිරීමටත් එකඟතාව පළවූ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

එම අරමුණ ඇතිව අමාත්‍යවරු තිදෙනා (3) නිරන්තරයෙන් සම්බන්ධ වීමට එකඟ වූ අතර නිරන්තර සංවාදයක් පවත්වා ගැනීම සඳහා දෙරටේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත සම්බන්ධීකරණ යාන්ත්‍රණයක්ද පිහිටුවනු ලැබුවා.

ඊයේ (මාර්තු 17) අත්සන් කෙරුණු ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගිවිසුමට අමතරව ඉන්දියාව මේ වසර තුල පමණක් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ත මූල්‍ය පහසුකම්හි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක්.

රට මුහුණ දී සිටින බලශක්ති අර්බුදයට පිලියමක් ලෙස පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කිහිපයක් ඇරඹීම කෙරෙහි ද ඉන්දීය රජයේ අවධානය යොමු ව තිබෙනවා.

සිය දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද ඉන්දියාවේ විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී රාජ් කුමාර් සිං හමු වී පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට ඇති අවස්ථාවන් සහ ක්‍රමවේද පිළිබඳ සාකච්ඡා කළා.

ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාව (National Thermal Power Corporation – NTPC) සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා පසුගිය දා ගිවිසුමකට ද එළැඹුණේ මෙවන් පසුබිමක් යටතේ යි.

ඒ හරහා ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට අපේක්ෂිත ධාරිතාව මෙගා වොට් 100 ක්.

මීට අමතරව ඉන්දීය එක්සිම් බැංකුව හරහා මෙරට සූර්ය විදුලි ව්‍යපෘති සඳහා ඉන්දියාව පසුගිය වසරේ ජූනි මාසයේදී ද ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක ණය සහනයක් ලබා දුන්නා.

එමෙන්ම ඉන්දියාවේ අදානි සමූහය ද දැවැන්ත පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 2 ක් ආරම්භ කිරීම සඳහා මෙරට සමග ගිවිසුමකට එළැඹ ඇතැයි හින්දු පුවත්පත වාර්තා කළා.

මන්නාරමේ සහ පුනරීන්හි ඉදි කෙරෙන එම බලාගාර සඳහා අවබෝධතා ගිවිසුමට පසුගිය සිකුරාදා (මාර්තු 11) අත්සන් තැබුණු බවයි එම වාර්තාවේ සඳහන් වූනේ.

යෝජිත පුනර්ජනනීය විදුලි බලාගාර ව්‍යාපෘති දෙකෙහි සම්පූර්ණ ධාරිතාව මෙගා වොට් 500 ක් වන අතර ඒ සඳහා අපේක්ෂිත මුළු ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක්.

මෙම ඉන්දියානු විදුලි උත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ 2030 වන විට 70% ක් පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සපුරා ගැනීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙලට සමගාමීවයි.

ඉන්දියාව මීට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ගිවිසුමකට එළැඹි අතර ඒ අනුව මෙරට විදුලිබල හා බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් මේ වන විට ඉන්දීය පාර්ශ්වයෙන් සිදු වෙමින් පවතිනවා.

එමෙන්ම චීන ණය ලබා ගෙන ඉදිකළ මේ වන විට සුදු අලියෙකු බවට පත්ව ඇති කිසිදු ප්‍රයෝජනයක් නොමැති නෙලුම් කුලුණ මෙන් නොව ඉන්දීය බලශක්ති ව්‍යාපෘති උපායමාර්ගික හා තිරසර වශයෙන් ශ්‍රී ලංකාවට බොහෝ ආර්ථික ප්‍රතිඵල අත් කර දෙන ව්‍යාපෘති වීම ද විශේෂයෙන් සඳහන් කළයුතුයි.

එනයින් බලන කළ ඉන්දියාව සිය අසල්වැසියාගේ අභිවෘද්ධිය කෙරෙහි පුළුල් අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට තිබෙනවා.

එය එක් පසෙකින් චීනය දෙසට නැඹුරු වී තිබූ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය උපක්‍රමිකව ඉන්දියාව දෙසට නැඹුරු කරගැනීමක්ද වන අතරම ඒ හරහා ඉන්දීය සාගරයේ චීන මැදිහත් වීම් අවම කරගැනීම ද ඉන්දියාවේ එක් අරමුණක් නොවේ යැයි පැවසීමට ඉක්මන් නොවිය යුතුයි.

සැබෑ ලෙසම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් දේශිය සැලසුමකින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර සහය පැතීම අනිවාර්ය වන පසුබිමක ඉන්දියාව දිගු කරනා සුහදත්වයේ දෑත් තදින් අල්ලා ගැනීමට ශ්‍රී ලංකාවට වඩා වාසි සහගත වනු නොඅනුමානයි.

මක් නිසා ද යත් කලාපීය බලවතා සමග එක්ව යන ගමන අන් සියලු දෙනාට වඩා විශ්වාසවන්ත වන බැවිනි.

+++++++++++++

ලිට්රෝ සමාගම ගෑස් බෙදාහැරීම් අරඹයි

(18.03.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ලිට්රෝ සමාගම පවසන්නේ දිනකට ගැස් සිලින්ඩර 1,20,000 ක පමණ අද (18) සිට වෙළඳපොලට නිකුත් කිරීමට සූදානම් බවයි.

ඒ අනුව දින පහක (5) කාලසීමාවක් තුළ පවතින උග්‍ර ගෑස් හිඟය පහව යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙරටට ගෑස් සපයන ප්‍රධාන ඕමාන සමාගමට ගෙවිය යුතු ඩොලර් විනිමය ගෙවීමට නොහැකි වීමෙන් පසුගිය දින කිහිපයේ රට තුළ ගෑස් හිඟයක් උද්ගත වුණා.

මේ හේතුවෙන් ජනතාව මුහුණදුන්නේ දැඩි පීඩාවකට යි.

කෙසේ වෙතත් අදාළ සමාගමට ඩොලර් මිලියන 8 ක් ගෙවීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි රජය පියවර ගත්තා.

ඒ අනුව අදාළ නෞකාවේ අඩංගු ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ගොඩබෑම ඊයේ (17) පස්වරුව වනවිට ආරම්භ කෙරුණා.

එළඹෙන සඳුදා (21) දිනයේ ගෑස් රැගත් තවත් නෞකාවක් දිවයිනට ළඟාවීමට නියමිත අතර, ඒ සඳහා මුදල් ගෙවීම සම්බන්ධයෙන් මහ බැංකුව සුභවාදී ප්‍රතිචාර දක්වා ඇතැයි ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ලාෆ්ස් සමාගම තවදුරටත් සිය බෙදාහැරීම් නවතා දමා තිබෙනවා.

ණයවර ලිපි විවෘත කරගැනීමට බැංකු මගින් ඩොලර් ලබා නොදීම හේතුවෙන් මෙලෙස ගෑස් බෙදාහැරීම අත්හිටවූ බව එම සමාගම ප්‍රකාශ කළා.

ගෑස් නො මැති වීමත් සමඟ ජනතාව භූමිතෙල් ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත පැමිණීම නිසා පිරවුම්හල් ආශ්‍රිතව භූමිතෙල් පෝලිම්ද පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

+++++++++++++

ඉන්ධන බවුසර් රථ හිමිකරුවන් තවත් ගැටලුවක

(18.03.2022 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් බවුසර් සඳහා ඉන්ධන නිකුත් කළ ද එම බවුසර් ධාවනයට අවශ්‍ය ඉන්ධන නොමැති නිසා පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම ගැටලුවක් වී ඇතැයි සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය දැනුවත් කර ඇති බවයි.

ඊට අදාළ ක්‍රමවේදය අද (18) පස්වරුව වනවිට සකස් කර දෙන බවට එහි බලධාරීන් පොරොන්දු වී ඇති බවද ඔහු සඳහන් කළා.

සියලු බවුසර් ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු සඳහා වාර්තාකර ඇති පසුබිමක මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් අවශ්‍ය බව, සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා අවධාරණය කළා.

ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය අනිද්දා (21) මෙරටට ලැබීමට නියමිත අතර, ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් එලෙස ලැබීමට නියමිතව ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (17) රාත්‍රිය වනතුරුම දිගු පෝලිම් පැවති අතර, ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් අද (18) පෙරවරුවේ බොහෝ පිරවුම්හල් වසා දමා තිබූ ආකාරයක් නිරීක්ෂණය වුණා.

මේ අතර පවතින ඉන්ධන අර්බුදයත් සමඟ කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නො මැති බව එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

ඒ අනුව ගිනි නිවීමේ කටයුතු සඳහා අදාළ රථ පිටත් කර හැරීම ඇතුලු කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බවයි ඔහු කියා සිටියේ.

එසේම ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ දක්වා පළාත් පාලන ආයතනවල කසළ එක් රැස් කිරීමේ කටයුතු සඳහා බාධා මතුව නොමැති බව පළාත් සහා හා පළාත්පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඉන්ධන පිරිමසාගෙන භාවිත කිරීමට අදාළව මීට පෙර නිකුත් කළ චක්‍රලේඛය අනුව කටයුතු බවයි එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු පැවසුවේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ධීවර කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බැවින් ඒ සඳහා විසඳුම් අවශ්‍ය බව හලාවත ඒකාබද්ධ ධීවර සංවිධානයේ නියෝජිතයින් මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා දුන්නා ෴

+++++++++++++

සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැසෙයි

(18.03.2022 – 14:43 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින නියමයකින් තොර ව යළිත් වසා දමා තිබෙනවා.

වර්තමානයේ උද්ගත වී ඇති බරපතළ ගැටලුවක් වන බොරතෙල් හිඟතාව හේතුවෙන්, ක්‍රමවත් ලෙස හා අඛණ්ඩ ව සපුගස්කන්ද තෙල් පිරිපහදුව පවත්වා ගෙන යාමට නො හැකි බව යි වාර්තා වන්නේ.

විශේෂ මුදල් සංචිත නො මැති වීමේ අර්බුදය හමුවේ එකිනෙකට බැඳුණු ගැටලු දාමය අතර, මෙම බොරතෙල් හා ඉන්ධන අර්බුදය පවතින්නේ ඉහළ ම තලයක යි.

මීට පෙර ද අවස්ථා දෙකක (2) දී ම සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ, ප්‍රමාණවත් තරම් බොර තෙල් නො මැති වීම හේතුවෙන්.

මීට සතියකට පමණ ඉහත දී අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමුණු හිටපු ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ, ලංකාවට ගෙන්වා බොරතෙල් පිරිපහදු කරනු වෙනුවට පිරිපහදු කළ තෙල් ම එකවර ගෙන්වීමෙන් මෙම අර්බුදය යම් තරමකට විසඳා ගත හැකි බව යි.

නමුත් ඒ සියලු උත්සාහයන් හුදු ප්‍රකාශයන් හා ගඟට කැපූ ඉනි මෙන් වී ඇති පසුබිමක, මහජනයාගේ ජන ජීවිතය දිනෙන් දින අරාජික වන බවක් පෙනෙන්නට තිබෙනවා.

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පවසන පරිදි මෙසේ නිතර නිතර සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම හරහා තෙල් පිරිපහදුවේ යාන්ත්‍රික අංශයට හානි විය හැකි යි.

දීර්ඝ කාලයකට සැරයක් පමණක් යම් අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තකට හැර මෙසේ නිතර නිතර වසා දැමීම හරහා විනාශ මුඛයට යන්නේ, ජාතික සම්පතක් නො වේ ද?

එය සිතා බලන කාලය එළඹෙන්නේ කවදා ද?

+++++++++++++

ඉන්ධන මිල ඉහළ යාම නිසා ගුවන් ටිකට්පත් මිලත් ඉහළට

(18.03.2022 – 17:02 +0530 – hirunews.lk/sinhala)

ලොව විශාලතම ගුවන් සේවා සමාගමක් වන ඩෙල්ටා ගුවන් සේවය සිය ගුවන් ටිකට් පත් මිල සියයට 10 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඩෙල්ටා ගුවන් සේවයේ ප්‍රධානී ඊද් බැස්ටියන් ප්‍රකාශ කර ඇත්තේ ඉහළ යන ඉන්ධන මිල ගණන් මත එම තීරණයට එළඹි බවයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයෙන් පසු වසර 14 ක් තුළ වාර්තාවූ ඉහළම ඉන්ධන මිල මේ වනවිට වාර්තාවී තිබෙනවා.

එමිරේට්ස්, ජපාන ගුවන් සේවය සහ එයාර් ඒෂියා ගුවන් සමාගම්ද සිය ඉන්ධන පිරිවැය පියවා ගැනීමට ගුවන් ටිකට් පත් සඳහා අමතර ගාස්තු අය කිරීමටයි දැනටමත් පියවර ගෙන ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *