මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්

මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්

*********************************************

මුදල් ඇමති බැසිල් සහ ඉන්දීය මුදල් ඇමති අතර හමුවක්

(17.03.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala)

දෙදින (2) නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් ඊයේ (16) රාත්‍රියේ හමුවුණා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, දෙරටේ ආර්ථික හවුල්කාරීත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවයි.

මෙරට ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩව ප්‍රතිචාර දක්වන බවද ඔහු මෙහිදී සඳහන් කළා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි අද (17) හමුවීමට නියමිතයි.

ඔහු ඊයේ (16) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා ද හමුවුණා.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු‍ පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීම වෙනුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත යි.

+++++++

තවත් ණයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව අද (17) පස්වරුවේ ගිවිසුමකට එළඹෙයි ?

(17.03.2022 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් අමරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගිවිසුම අද (17) පස්වරුවේ අත්සන් කිරීමට නියමිත බවට රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව අද (17) පස්වරුවේ දී අදාළ ගිවිසුම සඳහා අත්සන් තැබීම සිදු කරනු ලබන්නේ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල විසින්.

මේ අතර තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ලබාදෙන ණය මුදල අමරිකානු ඩොලර් මිලියන 500 සිට ඩොලර් මිලියන 750 තෙක් වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව විසින් ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

+++++++

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩොලර් බිලියනයේ ණය ගිවිසුමට අත්සන් තැබේ

(17.03.2022 – 15:57 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමට අද (17) පස්වරුවේ අත්සන් තැබුණා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දෙදින (2) ඉන්දීය නිල සංචාරය අතරතුරයි.

ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

අදාළ ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමග හමුවෙන් අනතුරුවයි.

දෙරටේ අන්‍යෝන්‍ය සුහදත්වය සහ ආර්ථික සහයෝගිතාව පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ඉන්දියාවෙන් ලබා ගැනීමට අද (17) අත්සන් තැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු‍ පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අපේක්ෂිතයි. මීට අමතරව, ඉන්ධන සඳහා ලබාදෙන ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සිට 750 දක්වා ඉහළ දමන ලෙස ශ්‍රි ලංකා රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

දෙදින නිල සංචාරයක් සඳහා පෙරේදා ඉන්දියාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් ඊයේ (16) රාත්‍රියේ හමුවුණා.

එමෙන්ම, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලාද ඊයේ (16) හමු වූ අතර, මුදල් අමාත්‍යවරයා, නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි අද (17) හමුවීමට නියමිතයි.

+

@@@@ ඉන්ධන සහ විදුලිබල අර්බුදය @@@@

ගෑස් නැව්වලට මුදල් ගෙවයි – ගොඩබෑම අද (17) සිට

(17.03.2022 – 07:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට පැමිණ ඇති ගෑස් නෞකාවලට මුදල් ගෙවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (16) රාත්‍රියේ ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ නෞකාවලින් ගෑස් තොග ගොඩබෑම අද (17) සිට සිදු කරනවා.

ගෑස් නොමැතිවීම හේතුවෙන් අද (17) සිට ආපනශාලා රැසක් වසා දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ප්‍රකාශ කළා.

එමෙන්ම ඉදිරි දින 25 කට ප්‍රමාණවත් ඉන්ධන තොග දින 10 තුළ මෙරටට ලැබීමට නියමිත බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඔවුන් සඳහන් කළේ, ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 1,40,000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 60,000 ක් ඉදිරි සති 2 තුළ මෙරටට ලැබීමට නියමිත බවයි.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් ලබන 21 හෝ 22 වන දා මෙරටට ළගාවීමට නියමිත බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

එහි සභාපති සුමිත් විජේසිංහ කොළඹ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ, රට තුල ඉන්ධන හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවයි.

කෙසේ වෙතත් ඊයේ (16) දිනයේත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා.

එමෙන්ම අද (17) දිනයේ පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාපවලට පස්වරු 3 ත් පස්වරු 11 ත් අතර කාලයේ දී පැය 2 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එමෙන්ම ඒ සිට එල් දක්වා (A-L) කලාපවලට උදෑසන 9 සිට සවස 5 දක්වා පැය 2 ක කාලයක් ද සවස 5 සිට රාත්‍රී 10 දක්වා යළි පැයයි (1) මිනිත්තු 15 ක කාලයක්ද විදුලිය කප්පාදු කෙරෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කළා.

++++++++++

ඉන්ධන පිරවුම්හලක් අසල විශාල ගුටි කෙළියක්

(17.03.2022 – 11:29 +0530 – hirunews.lk/sinhala)

කැස්බෑව බණ්ඩාරගම පාරේ ඉන්ධන පිරවුම්හලක් අසල ඊයේ (16) ගැටුමක් ඇති වී තිබෙනවා.

හිමිකරුවන් සහ පාරිභෝගිකයන් අතර ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම සිදුවීම ගුටි කෙළියක් දක්වා ම වර්ධනය වූ බව යි වාර්තා වන්නේ.

ඩීසල් ඉවර වී ඇති බවට දැනුම් දීමත් සමඟම කෙමෙන් කෙමෙන් ඇති වූ බහින් බස් වීම දුරදිග යාමෙන් අනතුරු ව එහි සිටි පුද්ගලයකු හා හිමිකරු අතර ඇති වූ ගැටුම මීට හේතු වයි.

පසු ව, පැමිණ සිටි පාරිභෝගිකයන් මෙන්ම ඉන්ධන හලේ සේවකයන් ද මැදිහත් වීමෙන් ගැටුම වර්ධනය වී විශාල ගුටි කෙළියක් දක්වා සිද්ධිය වර්ධනය වී තිබෙනවා.

එම අවස්ථාවේ දී ඉන්ධන පිරහුම් හල ඉදිරිපිට රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු පැමිණ ගැටුම සමථ කිරීමට උත්සාහ කළ බවත් වාර්තා වනවා.

ගැටුම නිම වීමත් සමඟම ඉන්ධන ලබා දෙමින් තිබූ ඩීසල් පොම්පය අසල විදුලිය ද විසන්ධි වී ප්‍රදේශය ම අන්ධකාර වී ඇති අතර,ගැටුමට සම්බන්ධ ව සිටි පාරිභෝගිකයන් හූ හඬ නගමින් එම ස්ථානයෙන් පිටත් වී තිබෙනවා.

+++++++++

තෙල් මිල බහියි ද ? – රුසියාවෙන් ශ්‍රී ලංකාවට එන තෙල් නෞකාව

(17.03.2022 – 12:17 +0530 – hirunews.lk/sinhala)

රුසියාවෙන් ශ්‍රී ලංකාව බොරතෙල් මිල දී ගැනීමට සිදු කරන සාකච්ඡා මේ වනවිට (17) ආරම්භ වී තිබෙනවා.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ, පසුගියදා ලක් රජය විසින් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමට ඇති සූදානම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ කරුණු සත්‍යයක් බවට පත් කරමින්.

රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීමේ ක්‍රියාවලියට බටහිර රාජ්‍යයන් මේ වනවිට සම්බාධක පනවා තිබෙනවා.

ඊට ප්‍රධානතම හේතුව වන්නේ මේ වනවිට දින 20 කට ආසන්න කාලයක් තිස්සේ පවතින රුසියානු – යුක්‍රේන යුද අර්බුදයයි.

මේ හේතුවෙන් ජපානය, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රෙලියාව, කැනඩාව මෙන්ම අමරිකාව ද රුසියාවට විරුද්ධව සම්බාධක පැනවූවා.

මෙම තත්ත්වය මතයි බොහෝ ප්‍රබල බටහිර රාජ්‍යයන් රුසියාවෙන් බොරතෙල් ගැනීම පවා ප්‍රතික්ෂේප කළේ.

ඉන්දීය රජය ද අවම මිල ගණන් යටතේ රුසියාවෙන් බොරතෙල් ලබාගැනීමට තීරණය කෙරුණු අතර, රුසියාවේ සමීපතම මිතුරු රාජ්‍යයන් ලෙස සැලකෙන ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට මෙම බොරතෙල් සැපයෙන්නේ ලෝක වෙළෙඳපොළේ පවතින බොරතෙල් මිල ගණන්වලටත් වඩා අඩු මිලකටයි.

ඒ අනුව රුසියාවෙන් ශ්‍රී ලංකාවට බොරතෙල් අඩංගු නෞකාවක් ලබාදීමටයි එකඟ වී ඇත්තේ.

මීට පූර්වයෙන් ෂෙල් සමාගම ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගිය පසුව ශ්‍රී ලංකා වෙත තෙල් සැපයූවේ රුසියාවයි.

රුසියාවෙන් අවම මිලකට තෙල් ගැනීම හේතුවෙන් ඉදිරියේ දී මෙරට තුළ ඉන්ධන අර්බුදය විසඳීමට සහ ඉන්ධන මිල අඩු කිරීමට ද එයින් පිටිවහලක් සැකසෙනු ඇති බවයි රජයේ ඉහළ පාර්ශ්ව සඳහන් කළේ.

රුසියානු – යුක්‍රේන යුද අවුල හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉතිහාසයේ ඉහළතම අගයන්වලට වැඩිවුණා.

විශේෂයෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල පවා අමරිකානු ඩොලර් සියයයේ අගය ඉක්මවා ගිය අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කලා.

මෙවන් තත්ත්වයක් මත යුරෝපා රාජ්‍යයන්හි සම්බාධක මධ්‍යයේ දී ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් හට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් දර්ශකය ඉහළ යාම මත දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණපෑමටයි සිදු වුණේ.

ඒ අනුවයි ශ්‍රී ලංකාව තුළ ද ඉන්ධන මිල ගණන් ඉහළ මට්ටමකට පරිවර්තනය වුණේ.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පවතින ඩොලර් හිඟය ද ඉන්ධන මිල ඉහළ යාම වෙනුවෙන් සෘජුව බලපෑම් එල්ල කර තිබෙනවා.

++++++++++++

සංචාරක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

(17.03.2022 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන හා ගෑස් ලබා ගැනීමේ දී සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට ප්‍රමුඛතාව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍යාංශය විෂයභාර අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඉන්ධන හා ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉල්ලා ඇත්තේ.

මේ වසර තුළ දී සංචාරකයන් 2,35,000 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා ෴

+++++++++++

මුදල් ගෙව්වත් ගෑස් ගොඩබෑම අර්බුදයක

(17.03.2022 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ආනයනය කළ ඕමාන් සමාගමට ගෙවිය යුතු ඩොලර් මිලියන 8 ක මුදල ගෙවා දැමුව ද ගෑස් තොග ගොඩබෑම සම්බන්ධයෙන් තවත් අර්බුදයක් උද්ගතව තිබෙනවා.

ඒ, ණය කාලසීමාව ඉක්ම වූ තවත් ඩොලර් මිලියන 6 ක ගෙවීමක් අද (16) දිනයට ගෙවන්නැ යි අදාළ සමාගම දැනුම් දීම හේතුවෙන්.

ලිට්රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ, එම මුදල ගෙවීමට කල් ගැනීම හෝ වෙනත් විකල්පයක් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අප පාරිභෝගික කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ, එවැන්නක් පිළිබදව තමා දැනුවත් නොමැති බවයි.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාගෙන් අදාළ කරුණ සම්බන්ධයෙන් විමසීමක් කරන බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ඊයේ (16) දිනය වන විට කොළඹ වරායට පැමිණ ඇති ගෑස් නෞකාවලට ගෙවීමට තිබූ මුදල ගෙවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කළා.

එමෙන්ම, එම ආරංචි මාර්ග සදහන් කළේ සමාගම සතුව ඇති සියළු ගෘහස්ථ ගෑස් සිලින්ඩර් තොග අවසන්ව ඇති බවයි.

කෙසේ වෙතත්, මිල වැඩි වේ යැයි අපේක්ෂාවෙන් ඇතැම් බෙදා හැරීමේ නියෝජිතයන් සතුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පවතින බවට වාර්තා වී තිබෙනවා.

කර්මාන්තශාලා සහ ව්‍යාපාරික ස්ථාන සඳහා බෙදා හැරෙන ගෑස් සිලින්ඩර් සීමිත තොග සමාගම සතුව පවතින බව ද වාර්තා වනවා.

එමෙන්ම, ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුව හේතුවෙන් ලාෆ් සමාගම ඊයේ (16) සිට සියළුම වාර්ගයේ ගෑස් සිලින්ඩර බෙදා හැරීම නවතා දැමුවා.

එමෙන්ම, ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින දෙකක (2) කාලයක් ගත වනු ඇති බව තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කළා.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් මෙන්ම ඔක්ටේන්-92 පෙට්‍රල් නොමැති වීමේ තත්ත්වයක් ද ඊයේ (16) දිනය වන විට උද්ගත වුණා.

ඉන්ධන තිබූ පිරවුම්හල්වල ද දක්නට ලැබුණේ දිගු පෝලිම්.

මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කළ වර්ජනයයි.

ඊයේ (16) එම වර්ජනය අවසන්වීමෙන් පසු ඉන්ධන බෙදා හැරීම යථා තත්ත්වයට පත් වූ අතර, බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා කියා සිටියේ හෙට (18) දිනය වන විට කොළඹ සහ ඒ අවට ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රමාණවත් තොග ලැබෙනු ඇති බවයි.

පිට පළාත්වලට ඉන්ධන ලබාදීම අනිද්දා (19) දිනය වන විට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ඇය ප්‍රකාශ කළා.

මේ අතර, කැස්බෑව, ඉන්ධන පිරවුම්හල අසළ පෝලිමේ රැදී සිටි ජනතාව අතර ඊයේ (16) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වූ අතර එය පාලනය කිරීමට පොලීසිය ද මැදිහත් වුණා.

+++++++++++

ගෑස් නැවක් මෙරටට – ගොඩබෑමත් ඇරඹෙයි

(17.03.2022 – 15:27 +0530 – hirunews.lk/sinhala)

මෙට්‍රික් ට්‍රොන් 3500 ක් අඩංගු ගෑස් සිලින්ඩර සහිත නෞකාව අද (17) පස්වරුවේ දී මෙරටට ගොඩබෑම සිදු කිරීම ආරම්භ කර ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව එම ගෑස් සිලින්ඩර තොගය ගොඩබෑම ආරම්භ කර ඇත්තේ, කෙරවළපිටියෙන්.

කෙසේවෙතත්, මෙලෙස ගෑස් ගොඩබෑම සිදු කෙරුණ ද, ඊයේ (16) පස්වරුවේ සිට දිවයින පුරා ගෑස් බෙදාහැරීම වහාම අත් හිටුවීමට ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම්හි සභාපතිවරුන් තීරණය කළා.

ඒ ඉල්ලුමට අනුව සැපයිය යුතු ගෑස් ප්‍රමාණ සිය සමාගම තුළ නැති වීම හේතුවෙන්.

ඔවුන් සඳහන් කළේ, රට තුළ ඇති ඩොලර් අර්බුදය හේතුවෙන් මහ භාණ්ඩාගාරයෙන් සිය සේවාවලට අවශ්‍ය පරිදි ණයවර ලිපි විවෘත කිරීමට ප්‍රමාද වීම මත මෙම අර්බුදය හටගෙන ඇති බවයි.

දෛනිකව ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාවට ගෑස් සිලින්ඩර 1,25,000 ක තොගයක් බෙදාහැරුණු අතර, දෙවැනි විශාලතම ගෑස් සැපයුම් හල වන මෙරට ලාෆ් සමාගම ද සිය දෛනික බෙදාහැරීම 40,000 කට ආසන්න ප්‍රමාණයක් සිදු කෙරුණා.

එහෙත් පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම 40,000 ක ප්‍රමාණය මේ වනවිට දිනකට 2000 ක් දක්වා අඩුවී ඇති බවට ද සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

මෙවන් තත්ත්වයක් මත දිවයිනට අවසන් වරට ගෑස් නෞකාවක් පැමිණියේ මීට හරියටම සතියකට පෙරයි.

එම ගෑස් නෞකාව දින දෙකක් (2) තුළ දිවයිනේ සියලු ම ප්‍රදේශවල පිහිටි ගෑස් අලෙවි නියෝජිතායතන වෙත බෙදාහැරි අතර, තවත් කොටසක් මෙරට අත්‍යවශ්‍ය අංශ වන සෞඛ්‍ය, ආදාහනාගාර, රෝහල් වෙත මුදා හැරුණා.

එමෙන්ම එම නෞකාද දින දෙකකට (2) පමණක් ප්‍රමාණවත් වූ බව ද වාර්තා වුණා.

මෙවන් පසුබිමකදියි සතියකට පසු මෙරටට පැමිණි ගෑස් නෞකාව අද (17) පස්වරුවේ කෙරවළපිටියේ දී ගොඩබෑම ආරම්භ කෙරුණේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *