පෞද්ගලික බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 265 යි

පෞද්ගලික බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 265 යි

*********************************************

පෞද්ගලික බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 265 යි

(14.03.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

අද (14) දිනය වන විට මෙරට පෞද්ගලික බැංකු ගණනාවක් ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 265.00 සීමාවේ තබා තිබෙනවා.

එම බැංකු වල ඇමරිකානු ඩොලර්යේ ගැනුම් මිල සඳහන් වී ඇත්තේ රුපියල් 255.00 ක් ලෙසින්.

එමෙන්ම ඔස්ට්‍රෙලියානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 194 ක් ලෙසටත්, බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක විකුණුම් මිල රුපියල් 348.00 ක් ලෙසටත් අද (14) දිනයේ යාවත්කාලීන වී තිබෙනවා.

බොහෝ පෞද්ගලික බැංකු අද (14) දිනය තුළ යුරෝ ඒකකයක් සඳහා විකුණුම් මිල ගණන් තබා තිබුණේ රුපියල් 291.00 ක් ලෙසට යි.

එහි ගැනුම් මිල සටහන් වී තිබුණේ රුපියල් 277.00 ලෙසින්.

අද (14) දින මෙරට පෞද්ගලික බැංකු විදෙස් මුදල් ඒකක සඳහා ගෙවන මිල ප්‍රමාණයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) දින නිකුත් කළ විනිමය අනුපාතිකයන් දැක්වුණේ මෙලෙසින්.

+++++++

අපට සහන දෙන්න එන IMF මහත්තයාගෙ වතගොත මෙන්න

(14.03.2022 – 13:49 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‘චන්ග්‍යොන් රී’ දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම අධ්‍යක්ෂවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දීමේ මෙහෙයුම් භාරව කටයුතු කරන ඉහළ පෙළේ නිලධාරියෙක්.

ඔහු චීනය, ජපානය සහ ඉන්දියාවේ සිට පැසිෆික් දූපත් දක්වා ආර්ථිකයන් පිළිබඳව ද්විපාර්ශික සහ බහුපාර්ශවික නිරීක්ෂණයන් ඇතුළු කලාපයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු අධීක්ෂණය කරනු ලබනවා.

‘චන්ග්‍යොන් රී’ දිවයිනේ රැඳී සිටින කාලය තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මෙරටට ලබා ඇති හැකි අරමුදල් සහ සහන් පිළිබඳව සොයා බැලීමක් සිදුකකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සෝල් ජාතික විශ්ව විද්‍යාලයේ සහ රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ඔහු කොරියානු ජනාධිපති කාර්යාලය, මුදල් හා ආර්ථික අමාත්‍යාංශය, කොරියානු බැංකුව සහ කොරියානු සුරැකුම්පත් තැන්පතු ඇතුළු කොරියානු රජයේ මූල්‍ය ප්‍රතිපත්ති උපදේශකයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

‘චන්ග්‍යොන් රී’ හාවඩ් විශ්ව විද්‍යාලයෙන් සහ සෝල් ජාතික විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව ගෞරව උපාධියක් අත්කරගෙන ඇති අර්ථ ශාස්ත්‍රඥයෙක්.

+++++++

IMF ලොක්කා මුදල් ඇමති හමුවෙයි

(14.03.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ චැන්යොං-රී, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ අද (14) සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඔහු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල ද මුණගැසී ඇති බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළේ.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හෙට (15) ජනාධිපති ගෝඨාභය රාපක්ෂ හමුවීමට නියමිතයි.

ඔහු ඇතුළු මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාව පිළිබඳ අයි.එම්.එෆ්. ඇගයීම් වාර්තාව පිළිබඳ කරුණු දක්වනු ඇති.

‘ආටිකල් ෆෝටීන්’ උපදේශනයට අදාළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මෙන්ම පසුගිය පෙබරවාරි 25 වනදා පවත්වන ලද එහි විධායක අධ්‍යක්ෂ රැස්වීමේදී දැක්වූ අදහස් ද මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.

ශ්‍රී ලංකාව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනයක් සඳහා අයදුම්කර නැහැ.

එහෙත් ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් ඒ පිළිබඳ සළකා බැලිය හැකි බවයි මූල්‍ය අරමුදල සඳහන් කළේ.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන මස මැදභාගයේ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරතවෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මීට පෙර රොයිටර් වාර්තා කළා.

ඒ, මෙරට විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 2.3 දක්වා පහත වැටී ඇති පසුබිමකයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්ථික අර්බුදයට සහය ලබාගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන මාසයේදී නිළ සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ව තිබෙනවා.

පසුගිය 07 වනදා නම්‍යශීලි විනිමය අනුපාතික ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 30 කින් පමණ අවප්‍රමාණ වුණා.

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 250 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 260 ක් ලෙසත් සටහන් වුණා.

ස්ටර්ලින් පවුම් එකක (1) ගැනුම් මිල රුපියල් 327 ක් වූ අතර එහි විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 340 ක් ලෙසයි.

යුරෝ එකක ගැනුම් මිල රුපියල් 276.34 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 286.84 ක් ලෙස සටහන් වුණා.

මහ බැංකු අනුපාතය රුපියල 260 ක් වුව ද පෞද්ගලික බැංකු වල ඇමරිකානු ඩොරලයක් සඳහා විකිණුම් මිල රුපියල් 265 ක් ලෙස අද සටහන්වුණා.

මෙලෙස විනිමය අනුපාතික විචලනය වීම ආරම්භ වූයේ මහ බැංකුව විසින් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමත් සමඟයි.

***************************************

ශ්‍රී ලංකාවේ සංචාරය ගැන බ්‍රිතාන්‍යය පුරවැසියන්ට නව උපදේශයක්

(14.03.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සංචාරකයන් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය සිය පුරවැසියන් වෙත නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙරට සංචාරකයන් සම්බන්ධයෙන් වන උපදේශනයට සංශෝධනයක් ලෙස එමඟින් දැනුවත් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වාතාවරණය පිළිබඳව යි.

ශ්‍රී ලංකාවේ පිරිහෙමින් පවතින ආර්ථික තත්වය හේතුවෙන් ඖෂධ, ඉන්ධන සහ ආහාර ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය හැකි බව එමඟින් ප්‍රකාශ කළා.

ආනයනය සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය හිඟවීම එම තත්වයට හේතුව ලෙසයි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය සඳහන් කළේ.

භාණ්ඩ අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල් සහ ඖෂධශාලා අසළ දිගු පෝලිම් ඇතිවිය හැකි බවත් එම සංචාරක උපදේශනයේ දක්වා ඇති අතර, දැනට ක්‍රියාත්මක වන විදුලිබල කප්පාදුව පිළිබඳව සඳහන් කර තිබෙනවා ෴

***************************************

මුද්‍රණ කඩදාසි හිඟය නිසා පොත් ප්‍රකාශකයින් දුෂ්කරතාවක

(14.03.2022 – 13:20 +0530 – hirunews.lk/sinhala)

මුද්‍රණ කඩදාසි හිඟය සහ එම අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඉදිරියේදී රජයේ මුද්‍රණ කටයුතු ද අඩාලවීමේ අවදානමක් පවතින බව රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ උපදේශක සහ හිටපු ලේකම් එම්.ඩී.ආර්. අතුල අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මෙම තත්වය හමුවේ රජයේ ගැසට් පත්‍ර, පොලිස් දඩ පත්‍රිකා සහ පාසල් පෙළපොත් මෙන්ම අමාත්‍යාංශ ලිපි ලේඛන මුද්‍රණයට පවා ඉදිරියේදී ගැටලු ඇතිවිය හැකි බවයි.

මේ අතර පවතින ඩොලර් අර්බුදය හමුවේ රට තුළ මුද්‍රණ කඩදාසි හා මුද්‍රණ අමුද්‍රව්‍ය හිඟයක් පවතින අතර, ඒවායේ මිල ගණන්ද තුන් ගුණයකින් (3) පමණ ඉහළ ගොස් තිබෙනවා.

එම තත්වය හේතුවෙන් මේ වනවිට පොත් ප්‍රකාශකයින් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති උපාලි වනිගසූරිය සඳහන් කළේ.

වෙළඳපොලේ ලිපි ද්‍රව්‍ය මිල ගණන්ද මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

පෑන්, පැන්සල්වල මිලද රුපියල් පහකින් (5) පමණ ඉහළ ගොස් ඇති බවයි ලිපි ද්‍රව්‍ය අලෙවිසැල් හිමිකරුවන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම උපකාරක පන්ති ගුරුවරුන්ද මේ වනවිට මුද්‍රණ කඩදාසි හිඟය සහ ඒවායේ මිල ගණන් ඉහළ යාම හමුවේ දුෂ්කරතාවට පත්ව ඇති බව වාර්තාවනවා.

කෙසේ වෙතත් උපකාරක පන්ති ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නො මැති බවයි ඔවුන් පවසන්නේ.

***************************************

ශිෂ්‍යත්ව සමතුන් පිළිබඳ ප්‍රතිශතාත්මක වාර්තාවක් ඉදිරියේ දී

(14.03.2022 – 13:23 +0530 – hirunews.lk/sinhala)

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු සිසුවියන් පිළිබඳ ප්‍රතිශතාත්මක වාර්තාවක් ඉදිරියේ දී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පාසල්වලට සිසුන් තෝරාගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට පහ (5) ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වුණු විභාගයේ ප්‍රතිඵල කඩඉම් ලකුණු නිකුත් කෙරුණු අතර, විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ප්‍රතිඵල සකස් කිරීමේ දී දිස්ත්‍රික් මට්ටම හෝ දිවයින් මට්ටම නිකුත් නො කරන බවයි.

කිසියම් සිසුවෙකුගේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍ය නම් ලබන 31 වන දා දක්වා අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ සිංහල මාධ්‍යය සඳහා වැඩිම කඩඉම් ලකුණ 152 වන අතර, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා මෙම කඩඉම් ලකුණ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එසේම ශිෂ්‍යත්වයේ අවම කඩඉම් ලකුණ ලෙස 140 නම් කර තිබෙනවා.

දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණ 149 ක්.

මේ අතර පසුගිය දා පැවති පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි යාපනය – කොක්කුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ තමිල් සෙල්වම් කජලක්ෂන් සිසුවා ලකුණු 198 ක් ලබාගෙන ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ පනික්කන්කුලම් විද්‍යාලයේ සිසුවියක් එම විද්‍යාලයේ වසර 47 කට පසුව ලකුණු 162 ක් ලබාගෙන මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මේ අතර දිවයිනේ සියලු පාසල්වල සිසුන් අද (14) සිට යළි සාමාන්‍ය පරිදි පාසල් වෙත කැඳවනු ලැබුවා.

අප වාර්තාකරුවන් පැවසුවේ, ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බවයි.

***************************************

‘නිව් ඩයමන්ඩ්’ නෞකා අනතුරේ වන්දි මුදල් කඩිනම් කරන්නැ යි දැනුම්දීමක්

(14.03.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)

‘නිව් ඩයමන්ඩ්’ නෞකා අනතුරෙන් මෙතෙක් නොලැබුණු රුපියල් මිලියන 3,480 ක මුදල ලබාගැනීම කඩිනම් කරන ලෙස කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, එම අධිකාරිය පසුගිය 11 වනදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදියි.

2020 සැප්තැම්බර් මස මෙරට ඊසානදිග මුහුදු තීරයේදී ‘නිව් ඩයමන්ඩ්’ නෞකාව අනතුරට ලක්වූ අතර, ඒ සම්බන්ධයෙන් රුපියල් මිලියන 12 ක මුදලක් අයකරගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත යටතේ තක්සේරු කළ රුපියල් මිලියන 3,480 ක මුදල මේ වනතෙක් ලැබී නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.

රුපියල් මිලියන 51.3 ක මුදලක් නැවේ ගින්න නිවීම සහ තෙල් විසිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා පමණක් ලැබී තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වෙමින් සිදුව ඇති ප්‍රමාදයන් වළක්වා රටට ලැබිය යුතු මුදල් කඩිනමින් ලබාගැනීමේ අවශ්‍යතාව කෝප් කමිටුව මෙහි දී අවධාරණය කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ එකඟතාව

(14.03.2022 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී එකඟත්වය හිමිව තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් පසුගියදා රැස්වූ එම උපදේශක කාරක සභාවේදී මෙම එකඟත්වය හිමිවූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අදාළ පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පසුගිය මස 10 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාරව සංශෝධිත පනත් කෙටුම්පතට උපදේශක කාරක සභාවේ එකඟත්වය හිමිවූ අතර, එම වාර්තාව ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

ජනපති ජාතිය ඇමතීමට සූදනම් වෙයි

(14.03.2022 – 15:30 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන 16 වැනි බදාදා දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මෙහි දී ජනාධිපතිවරයා විසින් රටේ වත්මන් අර්බුද සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරනු ඇති බවට යි වර්තා වන්නේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මෙම විශේෂ ප්‍රකාශය සිදු කෙරෙන වෙලාවක් පිළිබඳ මෙතෙක් නිල වශයෙන් තහවුරු වී නෑ ෴

***************************************

හයිජැක් නොකෙරෙන ජන විරෝධය – ඉදිරියේ දී හදන ජනතාවාදී ආණ්ඩුව

(14.03.2022 – 15:32 +0530 – hirunews.lk/sinhala)

ජනතා විරෝධය කිසිම දිනෙක හයිජැක් කිරීමට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසනවා.

බල ලෝභීත්වයෙන් තොර ජනතාව වෙනුවෙන් අවංකව පෙනී සිටින අයට මෙම අරගලය සමග එක්වීමට හැකියාව ඇති බවයි විපක්ෂ නායක කාර්යාලයේ දී අද (14) පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

ආණ්ඩුවට එරෙහිව ජනතාවගෙන් මතුවන විරෝධය කිසිම විටෙක කිසිවෙකුටත් හයිජැක් කිරීමට ඉඩ ලබානොදෙන බවත්, හෙට (15) දිනයේ දී ආරම්භ වන ආණ්ඩු විරෝධී සටන ඉදිරියට ගෙන ගොස් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන බවත්, මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

හෙට (15) දවසේදී කොළඹට එන්නේ රට බේරා ගැනීමට බව පැවසූ මන්ත්‍රීවරයා, ‘දැන් ඉවසුවා ඇති’ යැයි ද පැවසුවා.

***************************************

ගිනිගත් නිව් ඩයමන්ඩ් නෞකාවේ වන්දි ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසට කෝප් කමිටුවෙන් උපදෙස්

(14.03.2022 – 17:00 +0530 – hirunews.lk/sinhala)

සමුද්‍රයට වගකියන ප්‍රධාන ආයතනයක් ලෙස පනත කඩිනමින් සංශෝධනය කොට නෛතික ශක්තිමත් බව වැඩි කරන ලෙස කෝප් කමිටුව විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම්දී තිබෙනවා.

එම්.ටී. නිව්. ඩයමන්ඩ් නෞකා අනතුරෙන් මෙතෙක් නොලැබුණු මිලියන 3,480 ක මුදල ලබා ගැනීම කඩිනම් කිරීමට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම, අධිකාරියේ නීති අංශය තුළ ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ වහාම පරීක්ෂණයක් කොට අවශ්‍ය පියවර ගැනීමට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කිරීම ද කෝප් කමිටුවේ දී අද (15) සිදු කෙරුණා.

2012 වසරේ මුහුදුබත් වූ Thermophile නෞකාව සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීම වසර 10 ක් තිස්සේ ප්‍රමාද වීම ගැන වාර්තාවක් ලබාදීමටත් නිර්දේශ කෙරුණු අතර, මෙරට සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීමේ ප්‍රධාන වගකීමක් දරන සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නෛතික බලය ශක්තිමත් කිරීම සදහා 2008 අංක 35 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම කඩිනම් කරන ලෙස පසුගියදා (11) පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති මහාචාර්ය චරිත හේරත් එම අධිකාරියට දැනුම් දුන්නා.

එමෙන්ම මෙම ක්‍රියාවලිය සඵල කරගැනීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුරට තවදුරටත් මැදිහත්ව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ද කෝප් කමිටුවෙන් අවධාරණය කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *