විමල්ලාගේ එලියට දැමීම පිළිබඳ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ස්ථාවරය

විමල්ලාගේ එලියට දැමීම පිළිබඳ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ස්ථාවරය

*********************************************

විමල්ලාගේ එලියට දැමීම පිළිබඳ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ස්ථාවරය

(05.03.2022 – 20:23 +0530 – lankaleadnews.com)

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් කැබිනට් අමාත්‍යධූර වලින් නෙරපා හැරීම පිළිබඳව ‘ලංකා ලිඩ් නිවුස්’ වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේ රාජපක්ෂවරුන් උපරිමයෙන් රටට සේවය කර ඇති බවත් ඔවුන්ට ගෞරවණීය විශ්‍රාමික ජීවිතයක් ගතකිරීමට ඉඩ හැරීම සහ ඒ සඳහා කඩිනම්ව රාජපක්ෂවරුන් හිත් සකසාගෙන කටයුතු කිරීම සුදුසු බවත් ය. එතුමා ප්‍රකාශ කළ සම්පූර්ණ අදහශ පහත දැක්වේ :

“යුද්ධය කළමනාකරණය කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහත්වරුන් අනභිභවනීය කාර්‍යභාරයක් සිදුකලා. යුද්ධය ජයගැනීමෙන් පසුව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් තවදුරටත් ජනතාවගේ හදවතේ රැඳෙමින් හිටියත් අභාග්‍යයකට බැසිල් රාජපක්ෂයන් පිළිබඳව එවන් සුන්දර සිතුවිල්ලක් නොවෙයි ජනතාවගේ සිත් සතන් තුළ වර්ධනය වුනේ.

2014 දී විමල් ඇතුළු කණ්ඩායම මහින්දගෙ රජයට කරුණු 12 කින් යුත් ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කළා. එසේ සිදුකළේ ගරා වැටෙමින් ආ එවක පාලනය පිළිබඳව සද්භාවයෙන් යුතුව ප්‍රතිසංස්කරණය කිරීමට. නමුත් මහින්දගෙ රජය ඒගැන ඇහුම්කන් දුන්නෙ නෑ. රතනහිමි ප්‍රමුඛ කණ්ඩායම ඒ ඉල්ලීම් ප්‍රමාණය තිස්දෙක (32) දක්වා වැඩිකරා. රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයේදී රනිල්ගේ නායකත්වයෙන් යුත් එවක විපක්ෂය හිටිය ස්ථාවරයේ අයහපත් බව සළකා විමල්ගෙ කණ්ඩායම නැවත මහින්ද සමග එකතු වුවත් ‘දූෂණය පළමුව’ ලෙස සළකා කටයුතු කළ කණ්ඩායම ප්‍රභලවීමෙන් මහින්දට ගෙදර යන්න සිදුවුනා. එදා දූෂණය සමග ඥාති සංග්‍රහයත් ගජමිතුරු සංග්‍රහයත් තදින්ම විවේචනයට ලක් වුනා. එදා රතන හිමියන් ප්‍රමුඛ කණ්ඩායම හිටියෙ ‘රට 2001 න් එහාට තිබුන තත්ත්වයටත් වැඩිය බරපතල තත්ත්වයකට ගියත් කමක් නෑ දූෂණය නැතිකරනවා නම්’ යන ස්ථාවරයේයි.

දැන් ආරක්ෂාවටත් දූෂණයටත් අමතරව ‘අකාර්‍යක්ෂමතාව’ කියන මාතෘකාවක් ප්‍රභල ලෙස ඉදිරියට ඇවිල්ලා. ඒ අනුව මෙවර මාතෘකාවේ පළමු ස්ථානය අකාර්‍යක්ෂමතාවයයි. ඒ පිළිබඳව තමයි ආණ්ඩුවේ අනෙකුත් පක්ෂ 11 හේ කණ්ඩායම මාර්තු දෙවනිදා (02) කතා කළේ. ඊට පෙර දින ඒ පිළිබඳව මහබැංකු අධිපතිතුමත් ප්‍රකාශයක් නිකුත්කර තිබුණා. අකාර්‍යක්ෂමතාවය වර්ධනය වෙද්දි, ලබාදුන් බදුසහනවල වාසිය සාමාන්‍ය ජනතාවට නොලැබීමෙන් බදුසහනයේ සැබෑ වාසිදායකයින් ගජමිතුරන් පමණක් යැයි ‘දූෂණ’ චෝදනා එල්ල වෙද්දි, තවදුරටත් සාමූහික වගකීමක් ගැනීමේ අවධානම දැරීමට විමල්ලා සූදානම් නැති බව තමයි එම රැස්වීමෙන් පෙන්නුවේ.

නායකයා පත්තරෙන්වත් රට තොට පිළිබඳව තොරතුරු නොදන්න බවක් තමයි රට වටෙන් ඇහෙන්න තියෙන්නෙ. දැන් සිදුවෙලා තියෙන්නෙ බලහත්කාරයෙන් ආඥාදායකත්වය භාවිතාකර අත්තනෝමතිකව අකාර්‍යක්ෂමතාවය යටකර දැමීමක්. අකාර්‍යක්ෂමතාවය එයින් වසාගැනීමට හැකියාවක් නැහැ. ‘අකාර්‍යක්ෂමතාවය මර්දනය කිරීම අකාර්‍යක්ෂමතාවය පෙන්වාදුන් කණ්ඩායම් මර්දනය කිරීමෙන් කළ නොහැකියි’ කියන කාරණය දැනගන්න මහ ලොකු දේශපාලන විඥානයක් තිබිය යුතු නෑ. එහිදීත් ඥාතියා රැක ගැනීමට සාමූහික වගකීම රැකීම කියන සංකල්පය අවභාවිතා කර ඇති බවට චෝදනා වෙනවා. කරුණු දොළහ (12) නොපිළිගත් මහින්දට සිදුවුන හරිය අප කාටත් අමතක නැහැ. නමුත් රාජපක්ෂලට එම පාඩම් මතක නැහැ වගේ තමයි පෙනෙන්නෙ.

විමල්ගෙ කතාවෙ වැදගත්ම කොටස තමයි රජය ප්‍රශ්ණය අවබෝධකරගෙන තියෙන ආකාරය පිළිබඳව විවරණය. එක්කො ‘මෝඩකම’, නැතිනම් ‘රට අගාධයට දමා, ආපදා-කළමනාකරණයෙන් හාම්පුතුන්ට අවශ්‍ය තැනට රට රැගෙන යෑම’. අපට පෙනෙන්නෙ මේ දෙකම දෙවිදියකට දෙදෙනෙකුට බලපාන බවයි. පළමුවැන්න දේශපාලනය පිළිබඳව, විශේෂයෙන් දේශපාලනය කළමණාකරණයේ, ආධුනිකභාවය පෙන්නුම් කිරීම. මෙය අළුත් කාරණයක් නොවෙයි. ජනාධිපතිවරණයට පෙර සිටම සාකච්ඡාකළ කාරණයක්. දෙවැනි ඉලක්කය දුෂ්ඨ මෙන්ම ප්‍රභලයි. එනම් ‘ආපදා කළමණාකරණයෙන්’ ඉන්දුනීසියා වර්ගයේ බෙදුම්වාදී විසඳුමකට රට තල්ලු කිරීමේ මොඩලය.

අවාසනාවට විපක්ෂයේ අරමුණ සහ දෙවැනි අරමුණ සමපාත වෙනව. ජනතාව මේ පිළිබඳව අවධියෙන් සිටිය යුතුයි. නමුත් ජනතාවත් එවන් දැනුවත් භාවයකින් කටයුතු කරණව පෙනෙන්න නෑ. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවය මුදවානොගත් කළාපයක් බවට පත්වෙලා. අධ්‍යාපනයත් තිබෙන්නේ මුදවානොගත් කළාපයේ. රාජ්‍ය සේවයේ අනෙකුත් අවශේෂ සේවා සැපයුම් කරුවන්ද සිටින්නේ තවත් මුදවානොගත් කළාපවල . එයාල තරඟෙට රට අස්ථාවර කරන්න ඉල්ලීම් ඉදිරිපත් කරනව. මෙයින් තැලෙන පෙලෙන අනෙකුත් ජනයාත් ‘මුදවානොගත් කළාපෙ’ තමයි ඉල්ලීම් දිනාගන්න හොඳම කළාපෙ කියල හිතල එම කළාපෙට යනව. රට දිනෙන් දින අස්ථාවර වීමෙන් රට බේරා ගැනීමට ‘සුකර්නෝපුත්‍රියෙක්’ ඒමේ සම්භාවිතාව ඇතිවෙනව. තෙල් නැතිවීමෙන්, විදුලිය නැතිවීමෙන්, ලැබෙන තෙල් ටිකත් විශේෂිත කොටස් වලට පමණක් නිකුත් කිරීමෙන් තෙල් පෝලිමේ හිටියත් තෙල් නොලැබීමේ බලාපොරොත්තු කඩවීමේ කේන්තියෙනුත් මහජනයා ‘ඉන්දුනීසියානු මොඩලය’ සරණ යනව. මෙයත් එක්තරා විදියක ‘ස්ප්‍රිංග්’ එකක් තමයි.

‘එක රටක් එක නීතියක්’ ඇතිකරමියි කියා දුන්න පොරොන්දුවත් දැන් වල්වැදී අවසන්. එම්සීසී ගිවිසුමත් අත්සන් නොකරම කැබලි වශයෙන් එමින් පවතිනවා. ඒ සඳහා සුදුසුම වෙනස් කිරීම අමාත්‍ය මණ්ඩලයේද සිදුවීමට නියමිත බව පෙනෙන්න තියෙනවා.

ජිනීවා එහෙම පිටින්ම නාටකයක් බවට පත්වී හමාරයි. ඒක ‘නැවත විරුවා ඇවිත් බේරගනියි’ කියන බලාපොරොත්තුවට ලඝු කළ නොහැකි තත්ත්වයට පත්කරලා. ජිනීවා යනු ‘අන්ඩදමා පැච් දමා රෙපයාර් කලහැකි ටියුබ් එකක්’ නොවෙයි. ඉන්දියාව කියන හැටියට 13 දීල බේරා ගැනීමට නම් විරුවන්ගේත් කැමැත්ත තිබෙනවා. විරුවන් පිළිබඳවත් අපට එන්නෙ සැකයක්. ආපදා කළමණාකරණයේ ඉන්දුනීසියානු මොඩල් එක විරුවන්ගේ ප්‍රශ්නය විසඳීමටත් යොදා ගැනීමේ මෙම සැළසුම සමගත් ගැලපෙනව.

1976 සිදුවූ සිදුවීම් මාලාව තමයි නැවත වටයකින් එන්නෙ. එදා සිරිමා මැතිණිගේ රජයේ හිටිය ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකත් කලේ එදා හිටිය වාමාංශිකයින්ව ආණ්ඩුවෙන් එළියට දාලා 77 දී ජේආර්ට එන්න පාර කපපු එකයි. අද ඉන්න ‘ෆීලික්ස් ඩයස්’ කරන්නෙත් රජයේ ඉන්න ප්‍රගතිශීලීන් කපා හැරීමයි.

විමල්ලා ගත් තීරණයත් යම්කිසි බළල් අතකට හසුවීමක්ද කියන්න කාලය ඉක්මන් වැඩියි. බර අවියකින් ප්‍රහාර එල්ල කරහම මල්ටි බැරල් ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවෙන බව නොදැන සිටිය නොහැකියි. විමල්ලා හිතුවනම් ‘අත කරකවන විට පාපහරක් නොලැබේවි’ කියල ඒකත් විශාල අඩුපාඩුවක්. මෙවන් ප්‍රහාරයක් එල්ල වේවි කියල හිතන්නෙ නැතුව ඇති කියල තමයි අද දින තිබුන පුවත්පත් සාකච්ඡාව බැලීමේදී පැහැදිලි වෙන්නේ. ප්ලෑන්-බී එකක් පිළිබඳව කිසිම සැළැස්මක් නැති බව පෙනෙන්න තිබුනා. ජනාධිපතිතුමාගේ තීරණය පිළිබඳව ‘සාකැස්ටික්’ ස්තුතිය පුද කළත් එම තීරණය යම්කිසි දුරකට විශ්මය දනවන බවක් පෙන්නුම් කරන ස්වභාවයක් දක්නට තිබුනා. කෙසේවුවත් තිරෙන් පිටුපස තිබුන කාරණා බොහොමයක් එළියට පැමිණියා. ඒ හේතුවෙන් ඉතිරි රාජපක්ෂ වරුන් කෙරෙහි අප්‍රසාදය බෙහෙවින් වැඩි උනා.

මේ තත්ත්වය මත නැවත මැතිවරණයකින් බලයට ඒමට කිසිදු රාජපක්ෂ කෙනෙකුට මෑතකදී හැකිවේවි කියා හිතන්න අපහසුයි. හේතුව ‘පෙර වැරදි සාදාගෙන යහපත් ලෙස රට කරමියි’ කියා මහින්ද රාජපක්ෂ මැතිතුමා දුන් පොරොන්දුව රැකීමට අනෙකුත් රාජපක්ෂවරුන් මෙවර අපොහොසත්වී තිබීමයි. අකාර්‍යක්ෂමතාවය යන ප්‍රශ්නය විසඳන්නෙ ඥාතිත්වය මූළික කරගෙනනම් වත්මන් අර්බුද විසඳීමට වත්මන් රජයට හැකියාවක් ඇත්ද යන ප්‍රශ්ණය ප්‍රභලව මතුවෙනව. එබැවින් ගෞරවණීය ලෙස විශ්‍රාම යනවද නැත්ද කියන එක රාජපක්ෂවරුන් සතු තීරණයක්.”

***************************************

‘වැඩ බැරිනම් ගෙදර යන්න..’ ජනාධිපතිගේ මිරිහාන නිවස අසල විරෝධතා.. හිරුණිකාගේ නිවස අසලත් විරෝධතා..

(05.03.2022 – 22:02 +0530 – lankacnews.com)

නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට කාන්තාවන් පිරිසක් අද (05) පස්වරුවේ විරෝධතාවයක් සිදු කරන ලදී.

සමගි ජන බලවේගයට සහයෝගය ලබා දෙන කාන්තාවන් පිරිසක් විසින් සිදුකළ මෙම විරෝධතාවට නායකත්වය දෙනු ලැබූවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසිනි.

ඉන්ධන, ගෑස් හා අතවශ්‍ය භාණ්ඩ මිල අඩු ලෙස ඉල්ලා සිටි ඔවුන් ජනාධිපතිවරයාට ගෙදර යන ලෙසද පැවසූහ.

මෙම විරෝධතාවය අවසන් වන විට තම නිවස ඉදිරිපිට, ආණ්ඩුවේ දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබූ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

තම නිවසට, දූ දරුවන්ට යම් හානියක් සිදු වුවහොත් එහි වගකීම වත්මන් ආණ්ඩුවට පැහැදිලිවම එල්ල කරන බවත් තමන් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි කරන බවත් ඇය පැවසුවාය.

++++++

+++++++

***************************************

වාසුදේව සැරවෙයි.. චාරයක් නැතිව ඩොලර් කන අය ගැන දැඩි ප‍්‍රකාශයක්…

(06.03.2022 – 10:40 +0530 – lankacnews.com)

වර්තමානයේ රට තුළ පවතින ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව සහ ඩොලර් හිඟයට මූලික හේතුව මේ රටේ විදේශ විනිමය ප්‍රතිපත්තියේ නිසි පාලනයක් නොමැති වීමයි. ඒ නිසා රටට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ විශාල වශයෙන් ආනයනය කරමින් අපේ විදේශ විනිමය මේ වන විට කා දමා ඇති හෙයින් දැඩි විනයක් ඇතිව මෙම රටේ ප්‍රමුඛතම මූල්‍ය පදනම වන විදේශ විනිමය පාලනය කරගත යුතුයැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යතුමා මෙම අදහස් පළ කළේ සමස්ත ලංකා එක්සත් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ප්‍රථම සමුළුවට එක් වෙමිනි.

කොළඹ මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයේදී මාර්තු 05 වන සෙනසුරාදා මෙම සමුළුව පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා,

“අපේ රටින් මුදල් ඉතාමත් සූක්ෂම ලෙස සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ තැරැව්කාරයන්ගේ උවමනාව මත පිට රටට ගලා යනවා. අපේ රටේ වස්තුව, අපේ පොදු මහජනතාව ධෛර්යයෙන්, ශක්තියෙන් ගොඩනඟාගත් නිෂ්පාදන මේ ව්‍යාපාරිකයින් සූරා කමින් රටේ විදේශ විනිමය කා දමනවා. වර්තමානයේ ඔන්ලයින් ක්‍රමය යටතේ විදේශවලින් භාණ්ඩ ඇනවුම් කිරීම තුළින් ද විශාල විදේශ විනිමයක් අපට අහිමි වනවා. ඩොලර් පිට රටට ඇදී යනවා. මෙන්න මේ නිසයි අපි නිරන්තරයෙන් කියන්නේ මේ ව්‍යාපාරිකයින් පාලනය කිරීමට දැඩි නීති රීති දැමිය යුතුයි කියලා. ඔවුන්ගේ බලපුළුවන්කාරකම් අනුව අපේ වස්තුව පිටරට පටවන්න ඉඩදී බලා සිටීම තව දුරටත් කළ නොහැකියි.”

ඒ නිසා විනිමය පාලනයක් අනිවාර්යෙන් නව තත්වයන්ට ගැලපෙන පරිදි ඇති කළ යුතුයි පැවසූ අමාත්‍යතුමා,

“විදේශ විනිමය පාලනය කරන පනත් මේ රටේ තිබුණා. එම පනත් කඩලා ඕනෑම හැටියට මුදල් පිටවී යන්න ඉඩ දුන්නා. ඒ පොදු ජනතාව වෙනුවෙන් සිදු කළ දෙයක් නොවෙයි. තම හිතෛෂී පුද්ගලික ව්‍යාපාරිකයින්ට පුද්ගලික ආයෝජකයින්ට දුන් අවස්ථාවක් ලෙස තමයි එය අපි දකින්නේ.

දැන් ඉන්දියාව බලන්න. ඉන්දියාවේ ඕනෑම කෙනෙකුට ඕන විදියට මුදල් පිටරටට යවන්න බෑ. පිට රටකදී උපයන මුදල් රටට නොදී ඉන්නත් බෑ. ඉන්දියාවේ විදේශ විනිමය සඳහා දැඩි විනයක් පනවා තිබෙනවා. නමුත් අපේ රටේ නව ලිබරල්වාදය යටතේ ඒ තත්වයට ඉඩ දී තිබෙනවා.

I.M.F. නීතියක් තියෙනවා විදේශ ගනුදෙනු සඳහා ‘කරන්ට් එකවුන්ට්’ එකක් විවෘත කළ යුතුයි කියලා. ඒ තුළින් කිසිම අවහිර තාවයකින් තොරව පිට රටට මුදල් යැවිය හැකි වනවා .මේ තත්ත්වය ඇති කරන්නයි අද සමහරුන් වලිකන්නේ. මෙය ක්‍රියාත්මක වුනොත් අප තවත් අගාධයට වැටෙනවා, යයි පැවසූ වාසුදේව අමාත්‍යතුමා.

මේ තත්ත්වය මඟහැරගන්න රජය තුළ හිඳිමින් අවස්ථා ගණනාවක් යෝජනා ඉදිරිපත් කරමින් අපි විසඳුම් පෙන්වා දුන්නා. ඊට පස්සේ ‘රටම හරි මගට’ යන ජනතා සමුළුව පවත්වා රට වෙනුවෙන් අපේ අනාගත පරපුර වෙනුවෙන් රටේ වර්තමානයේ පවතින ගැටලු සඳහා විසඳුම් වශයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. අවසානයට වුනේ මොකක්ද ? පිළිතුරු ලබා දුන්නේ ඒ සඳහා පෙරමුණ ගත් අපේ ඇමතිවරු දෙදෙනෙකු (2) අමාත්‍ය මණ්ඩලයෙන් නෙරපා දැමීමයි.

අන්න එවන් මොහොතක රට නිවැරදි මගකට ගෙන එන්නට අපේ වෘත්තීය සමිති නායකයන් එක්වී සියලු වෘත්තිය සමිති එකතු කරගනිමින් එකම මධ්‍යස්ථානයකට එකම සෙවණකට එක අරමුණකට ඒකරාශී කර ගනිමින් සමස්තලංකා එක්සත් වෘත්තීය සමිති මධ්‍යස්ථානය ගොඩනැගීම යුගයේ දැවැන්තම කාර්යභාරය ඉටුකල සුවිශේෂී අවස්ථාවක් ලෙස මා අගය කරනවා.”

මහාචාර්ය තිස්ස විතාරණ, වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද වාමාංශික පක්ෂ නායකයින් ද වෘත්තීය සමිති නායකයන්, නියෝජිතවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම සමුළුවට එක් වී සිටියේය.

මෙහිදී මෙම වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ඉල්ලීම් මාලාවක් රජයට ඉදිරිපත් කිරීම සඳහා සකස් කර පිරිනැමීම ද සිදු කෙරිණි.

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර

***************************************

ඉන්දියාව ලංකාව බෙල්ලටම හිර කරයි.. බිලියනයේ ණය අත්හිටුවයි.. ත‍්‍රි’මලේ, සාම්පූර්, පලෙයි, උතුර-නැගෙනහිර ගැන දැඩි කොන්දේසි…

(06.03.2022 – 22:02 +0530 – lankacnews.com)

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබාදීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට දැඩි කොන්දේසි දමා ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ආර්ථික අර්බුදය දීර්ඝ කාලීන විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව හා උතුර හා නැගෙනහිර පළාත් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීම සඳහා ආර්ථික හා උපයමාර්ගික ඉල්ලීම් ලැයිස්තුවක් මෙසේ ඉන්දියාව විසින් ඉදිරිපත් කර ඇති බව එම පුවත්පත වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා හදිසි ආහාර, ඉන්ධන සහ ඖෂධ සැපයීම සඳහා ඩොලර් බිලියනයක ණයක් මේ අනුව ඉන්දියාවෙන් ලබාගැනීමට නියමිතය. මිට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණයක් ලබාදීමටත් කටයුතු කෙරිණි.

ඇමෙරිකානු ඩොලර් බිලියනක ණය මුදල ලබාගැනීම වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතව තිබුණත් අවස්ථා දෙකකදීම (2) එම සංචාරය අවලංගු කළේය. දෙසැම්බර් මාසයේදී ලබාගත් ණය මුදල මේ සතියේදී ගෙවීමට නියමිතව තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පතට දැනගන්නට ලැබෙන්නේ, ඉන්දියානු ආණ්ඩුව කොළඹ ආණ්ඩුවෙන් ‘දෙපැත්තෙන්ම හරිත එළිය එනතුරු’ බලා සිටින බවයි, එනම් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය හා ණය ආපසු ගෙවීමේ අර්බුදයෙන් දිගුකාලීනව ගොඩ ඒම ඉලක්ක කරගත් ආර්ථික ක්‍රියාකාරී සැලැස්ම සහ ශ්‍රී ලංකාවේ ආර්තික ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඉන්දීය ඉල්ලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් කොළ එළියක් ලැබෙන තුරු ඉන්දියාව බලාගෙන සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.

විශේෂයෙන්ම නැගෙනහිර ත්‍රිකුණාමල වරාය ආශ්‍රිතව ඉන්දියාවේ මූලෝපායික අවශ්‍යතා ශක්තිමත් කරන සමුද්‍රීය ආරක්ෂක ගිවිසුම් වැලක් ඉන්දීය ඉල්ලීම්වලට ඇතුළත් වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා ඩෝනියර් නිරීක්ෂණ ගුවන් යානා, ත්‍රිකුණාමලයේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නැව් අලුත්වැඩියා කිරීමේ තටාකයක් සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, මත්ද්‍රව්‍ය වෙළඳාම සහ කලාපයේ වාණිජ යාත්‍රා සඳහා ආරක්ෂිත මුහුදු ගමන් සහතික කිරීම සඳහා එක්සත් ජනපද නාවික හමුදාවේ මුලපිරීමක් වන බහරේනයේ බුද්ධි බෙදාගැනීමේ කාර්යාලයක් වන බුද්ධි ෆියුෂන් මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකු ස්ථානගත කිරීම ඊට ඇතුළත් කිරීම ඉන්දීය ඉල්ලීම් වලට ඇතුළත්වෙයි.

ත්‍රිකුණාමලය අසල සාම්පූර් සහ ඒ අවට ප්‍රදේශයේ පුනර්ජනනීය බලශක්ති (සූර්‍ය බලශක්ති) ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ඉන්දීය රජයේ ප්‍රධාන ඉල්ලීමකි.

පලෙයි ගුවන් තොටුපළ වාණිජ මෙහෙයුම් සඳහා නැවත විවෘත කිරීම සහ යාපනය අර්ධද්වීපයේ සංස්කෘතික ව්‍යාපෘති කිහිපයක් ද දැනටමත් ප්‍රසිද්ධ කර ඇති ලැයිස්තුවේ අයිතම අතර වේ.

එසේම ඩෙල්ෆ්ට් දූපතේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඉන්දීය රජයට අවශ්‍ය වේ.

ඉන්දීය මුදල් අමාත්‍යාංශය විසින් මීට පෙර ප්‍රතිපත්තිමය වශයෙන් ඉන්දියාවෙන් ලබා දීමට එකඟ වූ ඩොලර් බිලියනයක ණය මුදල ශ්‍රී ලංකාවෙන් සහතිකයක් තුරු අත්හිටුවා ඇති බව වාර්තා වේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ මුදල් අමාත්‍ය රාජපක්ෂ ඩොලර් බිලියනයක ණය පහසුකමක් සඳහා නවදිල්ලි නුවරට යාමට නියමිත බව නිල වශයෙන් ප්‍රකාශ කර නොමැති බැවින් ඔහුගේ සංචාරය පිළිබඳව අදහස් දැක්වීමට අවශ්‍ය නොවන බවයි.

කෙසේ වෙතත්, පසුගිය සතියේ, දූත මණ්ඩලය ප්‍රකාශ කළේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්ට නිල කටයුත්තක් සඳහා හදිසියේ පැරීසියට යාමට සිදු වූ බැවින් පසුගිය සතියට නියමිතව තිබූ සංචාරය නැවත සැලසුම් කළ බවයි.

ජයිශංකර් මහතා මීට පෙර මාර්තු 18 වැනිදා කොළඹට පැමිණීමට නියමිතව සිටි නමුත් මහ කොමසාරිස් කාර්යාලය මෙම සංචාරය පිළිබඳව දැඩි ලෙස මුනිවත රකිමින් සිටියි.

අද

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *