යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

*********************************************

යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

(04.03.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ සපොරිෂියා බලාගාරය රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ගිනිගැනීමට ලක් වී තිබෙනවා.

මේ හේතුවෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරියේ අවධානය ඊට යොමු ව ඇති බව වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් යුක්රේන බලධාරීන් සමඟ සාකච්ඡා කළ බවයි ජාත්‍යන්තර පරමාණු අධිකාරිය සඳහන් කළේ.

බලාගාරයේ ප්‍රකාශකයෙකු ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ කියා සිටියේ, මෙමඟින් දැවැන්ත අනතුරුදායක බවක් මතුවන බවයි.

කෙසේ නමුත් රුසියානු හමුදා බලාගාරය වෙත බර අවිවලින් පහරදීම මේ වනවිට නතර කර ඇති බව ඔහු කියා සිටියා.

එහෙත් ෂෙල් වෙඩි ප්‍රහාර සහ අවි ගැටුම් හේතුවෙන් ගින්න පවතින ස්ථානයට පිවිසීම දුෂ්කර වී ඇති බව සඳහන්.

යුක්රේනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 25 ක් සපුරාලන සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරය පසුගිය දිනවල අලුත්වැඩියා කරමින් පැවති අතර, එහි විදුලි ජනනය තාවකාලිකව නතර කර තිබෙනවා.

එහෙත් එහි න්‍යෂ්ටික ඉන්ධන පැවතීම අනතුරුදායක තත්ත්වයක් ලෙසයි සැලකෙන්නේ.

මේ අතර, රුසියානු ආක්‍රමණය හමුවේ අවතැන් වන යුක්රේන සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා මානුෂීය කොරිඩෝවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ම අවබෝධයකට පැමිණ ඇතැයි වාර්තා වනවා.

ඊයේ (03) පැවති දෙවන (2) වටයේ සාකච්ඡාවලදී යි මෙම තීරණයට එළඹ ඇත්තේ.

කෙසේ වෙතත් සාකච්ඡාවලට එක්වූ යුක්රේන නියෝජිතයෙක් ප්‍රකාශ කර ඇත්තේ, රුසියාව සමඟ දෙවන (2) වටයේ සටන් විරාම සාකච්ඡාවලින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු බවයි.

බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණ ද සිවිල් වැසියන් ඉවත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අවබෝධයකට පැමිණ ඇති බවයි ඔහු කියාසිටියේ.

යුක්රේන ජනාධිපති උපදේශක Mykhailo Podolyak පැවසුවේ ගැටුම් හමුවේ අවතැන්වන සහ පීඩාවට පත්වන සිවිල් වැසියන් ඉවත් කිරීමට ඉඩ සැලසීම සඳහා දෙපාර්ශවය ම තාවකාලික සටන් විරාමයක් පිළිබඳ අවදානය යොමු කළ බවයි.

ඒ අනුව අදාළ මානුෂීය කොරිඩෝව පිහිටා ඇති ස්ථානවල දී, ජනතාව ඉවත් කිරීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් ගැටුම් නැවැත්වීමට හැකි වනු ඇති ෴

+++++++++++

මූණට මූණ එන්නැ යි පුටින්ට අභියෝගයක්

(04.03.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ යුක්රේන ආක්‍රමණය 9 වන දිනටත් ඇරඹෙද්දී මානුෂවාදී අර්බුදයක් පැනනැගී ඇති අතර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි, ඍජු සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ආරාධනයක් කළා.

එහි දී ඔහු කියා සිටියේ යුද්ධය අවසන් කිරීමට ඇති එකම මග, සාකච්ඡා කිරීම බවයි.

ඊයේ (03) යුද්ධයේ අටවන (8) දිනයේ දී රුසියානු හමුදා විසින් මරියුපොල් වරාය නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ අතර, එය, අහිමි වුව හොත් යුක්රේනයට වැදගත් ක්‍රමෝපාය මුහුදු මාර්ගයක් ඇහිරෙනු ඇති.

රුසියානු හමුදා විසින් දකුණු දිග ෆර්සොන් නගරයේ බලයද අත්පත් කරගත්තේ සතියක් තිස්සේ එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව යි.

රුසියානු හමුදා විසින් අත්පත් කරගත් ප්‍රථම විශාල යුක්රේන නගරය එයයි.

මේ අතර රුසියානු සහ යුක්රේන නියෝජිතයන් ඊයේ නැවතත් හෙළිදරව් නොකළ ස්ථානයකදී රැස්වී සාකච්ඡාවල නිරත වූ අතර, යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මානුෂවාදී වේදිකා ඇති කිරීම සඳහා එකඟත්වයකට පැමිණ තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය ආරක්ෂක මණ්ඩලය අමතමින් ප්‍රකාශ කළේ, යුක්රේනයේ විශේෂ හමුදා මෙහෙයුම සැළසුම් කළ පරිදි ක්‍රියාත්මක වන බවයි.

යුක්රේන සහ රුසියානු වැසියන් යනු එකම ජන කොටසක් බව ඔහු එහි දී යළි අවධාරණය කළා.

මේ අතර යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ සපොරිෂියා න්‍යෂ්ටික බලාගාරය රුසියානු ප්‍රහාර හමුවේ ගිනිගෙන දැවෙන බව වාර්තාවනවා.

ඒ ආසන්නයේ යුක්රේන සහ රුසියානු හමුදා අතර දරුණු ගැටුම් පැවති බව සඳහන්.

මේ නිසා න්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරමාණු බලශක්ති අධිකාරියේද අවධානය යොමුව ඇති බව සඳහන්.

යුක්රේන යුද්ධයේ මානුෂවාදී අර්බුදය දැන් උත්සන්න වී ඇති අතර, මේ වනවිට මිලියනයකට ආසන්න ජනතාව රට හැර ගොස් අවසන්.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ සිටින යුක්රේන වැසියන්ට තාවකාලික රැකවරණ ලබාදෙන බව එරට ස්වදේශ ආරක්ෂක කටයුතු ලේකම්වරයා ප්‍රකාශ කළා.

එමෙන්ම යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට මෙන්ම ප්‍රකට රුසියානුවන්ට එරෙහි සම්බාධක ද තවදුරටත් දැඩිවෙමින් පවතිනවා.

ඇමරිකානු ‘වන් – වෙබ්’ චන්ද්‍රිකා සමාගම ප්‍රකාශ කළේ, සිය චන්ද්‍රිකා උඩු ගුවනට යැවීම සඳහා රුසියානු බයිකනූර් ගගන මධ්‍යස්ථානය තවදුරටත් භාවිත නො කරන බවයි.

මේ අතර ජාත්‍යන්තර ගගන මධ්‍යස්ථානය වෙත යන රුසියානු රොකට් වෙතින් ඇමරිකානු සහ ජපාන ධජ ඉවත් කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දීය ධජය තවදුරටත් එහි රඳවා ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

වෙන්නප්පුවේ දී මාරක රිය අනතුරක්

(04.03.2022 – 07:27 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ පුත්තලම මාර්ගයේ නයිනමඩම ප්‍රදේශයේ දී මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා.

කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය වූ කැබ් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙනු යි මෙම අනතුර සිදු වී තිබෙන්නේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 61 ක මාදම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කැබ් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර, අනතුර පිළිබඳ වෙන්නප්පුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

හවුල්කාර පක්ෂ එකොළහේ (11) ස්ථාවරය අද (04)

(04.03.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් නෙරපීමෙන් අනතුරුව සිය පක්ෂවල ස්ථාවරය අද (04) දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ පවසනවා.

ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 11 ක් විසින් පෙරේ දා කොළඹ දී ‘මුළු රටම – හරි මඟට’ මැයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කළ අතර, එහිදී විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණ්ඩුවේ ක්‍රියා කලාපය විවේචනයට ලක් කළා.

ඉන් අනතුරුව යි මෙලෙස ජනාධිපතිවරයා විසින් ඔවුන්ව අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට පියවර ගනු ලැබුවේ.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නියෝජිතයින් ඊයේ (03) රාත්‍රියේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, අද (04) උදෑසන ඔවුන්ගේ ස්ථාවරය දැනුම්දීමට නියමිතයි.

අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභාව අද (04) පෙරවරුවේ රැස්වීමට නියමිත අතර, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරගේ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන්ද එහි දී තීරණයක් ගනු ඇති.

අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා යොමු කළ ලිපිය සිය නිල ෆේස්බුක් ගිණුමට එක් කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ‘ස්තූතියි’ යනුවෙන් සටහනක් එක් කර තිබුණා.

අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යංශයෙන් සිය බඩු බාහිරාදිය ඊයේ (03) රාත්‍රියේදි ම ඉවත් කර ගනු ලැබුවා.

මේ අතර, ප්‍රජතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ, තම පක්ෂයේ විධායක සභාව අද රැස්වීමට නියමිතව ඇති බවයි.

එම විධායක සභාවේ දී ගනු ලබන තීරණ අනුව අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් වන ස්ථාවරය ද අද (04) ප්‍රකාශයට පත්කරන බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ෴

***************************************

අදත් (04) පැය හත හමාරක් (7½) විදුලිය කැපේ

(04.03.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

අදත් (04) පැය හත හමාරක (7½) විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී කියා සිටියේ, අක්‍රිය වූ බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන නො ලැබීම හේතුවෙන් මෙලෙස අදත් විදුලිය කප්පාදු කිරීමට සිදු වන බවයි.

ඒ අනුව ඊයේ (03) දිනයේ දී සිදු කළ කාල පාරාසයන් මත එම කාණ්ඩ යටතේ ම අද (04) දිනයේත් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

කෙසේ වෙතත්, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ, ඊයේ (03) පෙරවරුවේ විදුලිය කප්පාදු කළ ප්‍රදේශවලට අද (04) පස්වරු කාලයේ දී සහ ඊයේ (03) පස්වරුවේ විදුලිය කප්පාදු කළ ප්‍රදේශවලට අද (04) පෙරවරුවේ දී විදුලිය කප්පාදුව සිදු කරන බවයි ෴

***************************************

ගොවීන්ට ඉන්ධන දෙන්නැ යි කෘෂි ඇමති සංස්ථාවට දැනුම් දෙයි

(04.03.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන නො මැති ව අපහසුතාවයට පත් ගොවීන්ට අවශ්‍යව ඇති ඉන්ධන වහාම ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී තිබෙනවා.

අනුරාධපුර, අම්පාර, පොලොන්නරුව, කුරුණෑගල, මොණරාගල මෙන්ම සෙසු දිස්ත්‍රික්කවලද මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වනවිට ආරම්භ වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව වී අස්වනු නෙළමින් සිටින ගොවීන් ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාවයකට මුහුණ දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා.

එම නිසා ගොවීන්ට විධිමත් අයුරින් ඉන්ධන පහසුකම් වහාම සලසාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දි ඇත්තේ.

මේ අතර, ඩීසල් මෙට්‍රික් ටොන් 28,300 ක් රැගත් නෞකාවක් අද (04) පස්වරුවේදී දිවයිනට පැමිණීමට නියමිත යි.

එසේම, ඊයේ (03) සිට ගොඩ බෑම ආරම්භ කළ ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් රැගත් නෞකාවේ ඩීසල් තොග මුතුරාජවෙල තෙල් ගබඩා පර්යන්තයට අද (04) දිනය තුළ ගොඩබා අවසන් කළ හැකි බවයි බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

ඒ සමඟ දිවයිනේ පවතින ඩීසල් හිඟය නිමාවට පත්වනු ඇති බවට එම අමාත්‍යාංශය විශ්වාසය පළ කළා ෴

***************************************

සී.බී.ත් එළියට යන ලකුණු

(04.03.2022 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා විසින් සිදු කළ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටින වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව සිය අමාත්‍යංශයේ තිබූ බඩුබාහිරාදිය පවා ඉවත් කර ගැනීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව යි දැනගන්නට ලැබෙන්නේ.

පසුගිය කාලයේ දී තම අමාත්‍ය ධූරයෙන් නිසි අයුරින් වැඩක් කිරීමට නො හැකි වීමෙන් කලකිරීමට පත්ව සිට ඇති අමාත්‍යවරයා මෙවර කැබිනට් සංශෝධනයේ දී වැඩක් කළ හැකි අමාත්‍ය ධූරයක් බලාපොරොත්තුවෙන් සිට ඇති බව ද සඳහන්.

නමුත් සිය දිස්ත්‍රික්කයේ ම මන්ත්‍රීවරයකු වූ එස්.බී. දිසානායකට වැඩ කළ හැකි අමාත්‍යංශයක් ලබා දීම හරහා සී.බී. රත්නායක දැඩි කලකිරීමට පත්ව සිටින බව ද පැවසෙනවා.

ඒ අනුව අද (04) දිනයේ දී බොහෝදුරට සී.බී. රත්නායක සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති ෴

***************************************

යුගදනවි පෙත්සම් විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කෙරෙයි

(04.03.2022 – 10:03 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ රජය සතු කොටස් වලින් සියයට හතළිහක් (40%) ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් විභාගයට නොගෙන ම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ටී.බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ඒකමතිකව ලබා දී තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් නොකිරීමට අධිකරණය තීරණය කළ බවයි.

ඒ අනුව අදාළ පෙත්සම් 5 විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවත් අගවිනිසුරුවරයා නිවේදනය කළා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටියේ, කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් සියයට 40 ක් වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත නොවන බවයි.

මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවට ද ඔවුන් චෝදනා කර තිබුණා.

එමෙන්ම, අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය වගඋත්තරකාර ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන්, මෙම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බව ද එමඟින් සඳහන් කළා.

මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරදෘශ්‍ය භාවය පිළිබඳව බරපතළ ගැටලු‍ මතු වී තිබෙන බවයි ඔවුන් පෙන්වා දී තිබුණේ.

එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොර ව අදාළ කොටස් පැවරීමට ගනු ලැබූ තීරණය තුළින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එමෙන්ම යුගදනවි බලාගාරයේ සතු රජයේ කොටස් පැවරීමට අමාත්‍ය මණ්ඩලය ලැබූ තීරණය බලරහිත කිරිමේ ආඥාවක් නිකුත් කරන ඔවුන් අධිකරණයෙන් ඉල්ලා තිබූණා.

මේ අතර මෙම පෙත්සම්වලට සහාය පළ කරමින් ඒවායේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ඊයේ (03) ධූරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙන්ම වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීම ද කැපී පෙනෙන සිද්ධියක්.

***************************************

ට්‍රැක්ටරයක තලයක් වැදී නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට

(04.03.2022 – 10:06 +0530 – hirunews.lk/sinhala)

තණකොළ කපමින් තිබූ ට්‍රැක්ටරයක තලයක් ගැල වී ගොස් සිදු වූ අනතුරකින් නාවික හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම නාවික සෙබළා ඊයේ (03) පූනෑව – වෙඩිතලාව ප්‍රදේශයේ සිට නැවත සිය කඳවුරට පැමිණි විටදී එහි තණකොළ කපමින් තිබූ මෙම ට්‍රැක්ටර් රථයේ තලය ගැලවී ගොස් ඔහුගේ සිරුරේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ 21 හැවිරිදි නාවික සෙබළා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු පූනෑව නාවික හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරි කළ ආධුනික සෙබළෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *