උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට

උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට

*********************************************

උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇමති ධුරවලින් ඉවතට

(03.03.2022 – 18:34 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරවලින් මීට සුළු මොහොතකට පෙර (03) ඉවත් කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග පැවසුවේ, නව කැබිනට් සංශෝධනයන් හි දී මෙම අමාත්‍යවරුන් හට සිය ධුරයන් අහිමි වූ බවයි.

ධුරයෙන් ඉවත් වීමට පෙර බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිළ කටයුතු කළ අතර, කර්මාන්ත අමාත්‍යවරයා වූයේ විමල් වීරවංශයි.

+++++++++++

බලශක්ති අමාත්‍ය ධුරය ගාමිණී ලොකුගේට

(03.03.2022 – 18:42 +0530 – hirunews.lk/sinhala)

තමා බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකින් අනතුරුව පිටතට පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ බව කියාසිටියේ.

විදුලිබල අමාත්‍යංශය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ලබා දී ඇති බවයි ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා කියාසිටියේ.

මීට පෙර විදුලිබල අමාත්‍ය ධුරයේ කටයුතු කළේ ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා යි.

ප්‍රවාහන අමාත්‍යවරිය වූ පවිත්‍රා වන්නිආරච්චි හට නව ධුරයක් ලෙස හිමි වූයේ විදුලි බල අමාත්‍ය ධුරයයි.

+++++++

+++++++++++

එස්.බී. ට කර්මාන්ත ඇමති පුටුව

(03.03.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

+++++++++++

විමල් ජනපතිට ‘ස්තුතියි’ කියයි

(03.03.2022 – 20:14 +0530 – hirunews.lk/sinhala)

මෙපමණ කාලයක් කර්මාන්ත අමාත්‍ය ධුරයෙහි කටයුතු කරමින් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ක්‍රියා කළ හිටපු අමාත්‍ය විමල් වීරවංශ තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ඇති බව දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවන ලද ලිපිය සම්බන්ධයෙන් සිය නිල මුහුණුපොතෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ, ‘ස්තුතියි’ යනුවෙන්.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(2) අ වගන්තිය ප්‍රකාරව තමන්ට හිමිව ඇති බලතල ප්‍රකාරව විමල් වීරවංශව අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන බවයි ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ.

ඒ අනුව අද (03) පස්වරුවේ ජනාධිපතිවරයා විසින් හදිසි කැබිනට් සංශෝධනයක් ද සිදු කරනු ලැබුවා.

එහිදී කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශ හට සිය අමාත්‍ය ධුරය අහිමි වූ අතර, එම ධුරය හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ එස්.බී. දිසානායකටයි.

විදුලිබල අමාත්‍ය ධුරය හිටපු ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිටත්, බලශක්ති අමාත්‍ය ධුරය හිටපු අමාත්‍ය උදය ගම්මන්පිළට අහිමි වූ අතර, එය හිමිවූයේ හිටපු විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ හටයි.

+++++++++++

ඇත්ත ට රිදිලා – ගම්මන්පිල

(03.03.2022 – 22:19 +0530 – sinhala.adaderana.lk)

උදය ගම්මන්පිල මහතා සහ විමල් වීරවිංශ මහතා ඔවුන් දරමින් සිටි අමාත්‍ය ධුරවලින් නෙරපා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පියවර ගත්තේය.

ඒ අද (03) පස්වරුවේ සිදුකළ හදිසි කැබිනට් සංශෝධනයක් මගිනි.

ඒ අනුව උදය ගම්මන්පිල මහතා අද (03) රාත්‍රියේ බලශක්ති අමාත්‍යංශය වෙත පැමිණ සිය බඩු බාහිරාදිය රැගෙන ඉන් පිටව ගියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,

“උදේ ඇමති හවස නොමැති. ඇමති ධූර නිත්‍ය නෑ. ඒ නිසා අනිත්‍ය ඇමති ධූරය වෙනුවෙන් මගේ හෘද සාක්ෂිය සඟවා තබාගන්න බෑ. ඇත්තට බයේ ඇත්තට රිදිලා අමාත්‍ය ධූරය ඉවත් කරලා. සතුටුයි. කොතනවත් අපි බොරුවක් කියලා නෑ. ඇමති ධූරයෙන් අයින් වෙලා පළායන්න උත්සාහ කළේත් නෑ. හෙට (04) පක්ෂ 11 නායකයින් රැස්වෙලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනවා.”

+++++++++++

ඇමති වාසුත් තනතුර අතහැර යයි ද?

(03.03.2022 – 22:07 +0530 – hirunews.lk/sinhala)

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ද සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

බොහෝ විට ඒ සම්බන්ධ අවසන් තීරණය අද (03) රාත්‍රියේ හෝ හෙට (04) දිනය තුළ දී අමාත්‍යවරයා විසින් ගනු ඇති බවටයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මීට පෙර ද මතභේදයට තුඩු දුන් කෙරවලපිටිය විදුලි බලාගාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කළ නඩුවේදීත් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සමග අමාත්‍ය වාසුදේව නානායක්කාර ද විරෝධතා ගොනුකළවුන් අතර සිටියා.

මේ අතර අද (03) සවස සිදු කෙරුණු කැබිනට් සංශෝධනයේ තවත් දිගුවක් ඇති බව ජනාධිපති කාර්යාලයට සමීප ආරංචි මාර්ග වාර්තා කරනවා.

ඒ අනුව බොහෝවිට කෘෂිකර්ම සහ ඉඩම් යන කැබිනට් අමාත්‍ය ධුරයන් ද වෙනස් වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන, කෘෂිකර්ම අමාත්‍ය ධුරයටත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉඩම් අමාත්‍ය ධුරයටත් පත් කෙරෙනු ඇති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවටත් වාර්තා වනවා.

මේ අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් සිය අමාත්‍ය ධූරවලින් ඉවත් වී විරෝධය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් එම උත්සාහයට පක්ෂය තුළ ඇතැම් කොටස් විරුද්ධ වීම හේතුවෙන් එම පියවර තරමක් පසුබා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තීරණයට විරෝධය දක්වමින් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සූදානම් වුව ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම තවත් කැබිනට් අමාත්‍යවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා එම යෝජනාවට විරෝධය පළ කිරීම හේතුවෙන් මේ වන විට පක්ෂය තුළ මෙම තීරණය සම්බන්ධයෙන් බෙදීමක් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර වැනි නිදහස් පක්ෂයේ ප්‍රබලයින් පසු ගිය දින කිහිපය මුළුල්ලේම රජයට ඇති සිය අප්‍රසාදය ප්‍රසිද්ධියේ පළ කළ අතර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ ඕනෑම මොහොතක ආණ්ඩුවෙන් යෑමට සූදානම් බවයි.

ඊයේ (02) දින ආණ්ඩුව හරි මගට ගැනීම සදහා පැවැත්වූ සමුලුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටි අතර ඔහු එහිදී ආණ්ඩුව දැඩිව විවේචනය කරමින් කතාවක් ද කළා.

මේ අතර මෙම සමුළුවට එක්වූ පොහොට්ටු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව තවදුරටත් ප්‍රේම්නාත් දොලේවත්ත ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම් සඳහා එක්කර නොගැනීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ ෴

***************************************

යුක්රේන සහ රුසියානු සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ

(03.03.2022 – 15:30 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණ සිටින යුක්රේන සහ රුසියානු ජාතික සංචාරකයන්ගේ වීසා කාලය මාස දෙකක (2) කාලයක් දක්වා දීර්ඝ කර ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව පසුගිය පෙබරවාරි 21 වන දින වන විට වලංගු සංචාරක වීසා පැවති රුසියානු සහ යුක්රේන ජාතිකයන්ගේ වලංගු වීසා කාලය ගාස්තු අය කිරීමකින් තොරව දීර්ඝ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම එම සංචාරකයින්ට නැවත තම රටවල් වෙත ආපසු යාමේදී කිසිදු බාධාවකින් තොරව මෙරට ගුවන් තොටුපලවල්වලින් පිටවීමට අවශ්‍ය පහසුකම් ද සලසා තිබෙනවා.

රුසියාව සහ යුක්රේනය අතර වර්ධනය වී ඇති දේශපාලන අර්බුදය හේතුවෙන් එම කලාය තුල පනවා ඇති ගුවන් අවකාශ තහනම සහ ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම නිසා රුසියානු සහ යුක්රේන ජාතික සංචාරකයින්ට නැවත සිය රටවල් වෙත ආපසු යාමට නොහැකි තත්වයකුයි උද්ගතව ඇත්තේ.

මේ හේතුව මතයි එම සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට පියවර ගැණුනේ ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 20 ක්

(03.03.2022 – 18:19 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 20 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (03) දිනයේ දී තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16,287 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,47,699 ක් බවට පත්ව ඇති අතර, වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 21,947 ක්.

සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව 6,09,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා ෴

+++++++++++

නව ආසාදිතයින් 711 ක්

(03.03.2022 – 21:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 711 දෙනෙකු අද (03) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ සමග මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,48,410 ක්.

වෛරසය ආසාදනය වීමෙන් තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 22,638 ක් වන අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16,287 ක්.

වෛරසය මර්දනයට දිවයින පුරා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිවිධ හමුදා වෛද්‍ය බලකායේ ද සහයෝගය ඇතුවයි.

මේ වනවිට රට තුළ එන්නත්කරණය සියයට 80 කට අධික ප්‍රමාණයකට පූර්ණ වශයෙන් සිදු කර අවසන් බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *