සෞන්දර්ය විෂයයන්වල ප්‍රතිඵල ඇතුළත් ව අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

සෞන්දර්ය විෂයයන්වල ප්‍රතිඵල ඇතුළත් ව අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

*********************************************

සෞන්දර්ය විෂයයන්වල ප්‍රතිඵල ඇතුළත් ව අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

(03.03.2022 – 17:57 +0530 – hirunews.lk/sinhala)

2020/2021 වර්ෂවල පවත්වනු ලැබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන්වල ප්‍රතිඵල ඇතුළත් සමස්ත ප්‍රතිඵල අද (03) දිනයේ දී නිකුත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම විභාගයේ ප්‍රතිඵල පසුගිය වසරේ සැප්තැම්බර් මස 23 වැනි දින නිකුත් කළ අතර, එම ප්‍රතිඵලවල සෞන්දර්යය විෂයන්වල ප්‍රතිඵල අඩංගු නොවූ බවයි.

ඒ අනුව අද (03) දිනයේ දී සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල ඇතුළත් ව සමස්ත ප්‍රතිඵල දර්ශකය නිකුත් කිරීමට පියවර ගැනුණු බව ද එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව සමස්ත සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ඔබට එය ලබාගත හැකියි.

ප්‍රතිඵල පිළිබඳ යම් විමසීමක් කිරීම සඳහා පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දූරකථන අංක වන 011 278 4537 / 011 278 4208 / 011 278 6616 හෝ 011 314 0314 යන අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකියි ෴

***************************************

ජනපති විසින් නව පත්වීම් ලද මහාධිකරණ විනිසුරුවරුන්

(03.03.2022 – 14:14 +0530 – hirunews.lk/sinhala)

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකළා.

දිසා විනිසුරුවරුන් 6 දෙනෙකු, මහේස්ත්‍රාත්වරුන් දෙදෙනෙකු (2), ප්‍රධාන මහේස්ත්‍රාත්වරයෙකුට සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරුන් දෙදෙනෙකු (2) මෙලෙස නව මහාධිකරණ විනිසුරුවන් ලෙස පත්වීම් ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

මාලදිවයිනේ දී මියගිය මෙරට ජාතික කණ්ඩායමේ පාපන්දු ක්‍රීඩක ඩක්සන්ගේ දේහය දිවයිනට

(03.03.2022 – 14:18 +0530 – hirunews.lk/sinhala)

මාලදිවයිනේ පාපන්දු ක්‍රීඩා තරගාවලියට සහභාගි වෙමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක යෝගේන්ද්‍රන් ඩක්සන් පියුස්ලස්ගේ මෘතදේහය දිවයිනට රැගෙන විත් තිබෙනවා.

ගුවන්තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතදේහය මීගමුව මහ රෝහල වෙත යොමු කළ බවයි.

31 හැවිරිදි ඩක්සන් හදිසියේ ඇති වු රෝගාබාධයකින් පසුගිය පෙබරවාරි 26 වන වනදා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

***************************************

යුද හමුදා නිලධාරිනියකට නාඳුනන පිරිසකගෙන් මැර ප්‍රහාරයක්

(03.03.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම පොලිස් වසමේ බැම්ම පාර ඉනිමංකඩ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලංකා යුද හමුදාවේ වේරහැර වෛද්‍ය බලකායේ නියුතු ලුතිතන් එල්.කේ. නාලිකා චන්ද්‍රකාන්ති නමැත්තියට නාඳුනන පුද්ගලයින් තිදෙනකු (3) විසින් පහර දී තිබෙනවා.

ඇය සිය පියා සමග යතුරු පැදියෙන් බද්දේගම බලා යෑමට සූදානමින් සිටියදී යි මෙම ප්‍රහාරයට මුහුණ දී ඇත්තේ.

ඊයේ (02) සවස 05:30 ට පමණ මාර්ගයේ සැඟව සිටි පුද්ගලයින් තිදෙනකු (3) විසින් පොලු, මුගුරු මගින් මෙම තැනැත්තියට පහර දී ඇති බවයි.

පහරදීමෙන් අනතුරුව ඇය පැළඳ සිටි මුදුව සහ අත් බෑගය ද රැගෙන කොල්ලකරුවන් පලා ගොස් තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලැබූ යුද හමුදා ලුතිතන්වරිය සහ ඇයගේ පියා ප්‍රතිකාර සඳහා බද්දේගම රෝහලට යවා වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පලා ගිය කොල්ලකරුවන් රැගෙන ගිය ඇයගේ අත් බෑගයෙහි රත්‍රං කරමාලයක් ද තිබුණු බවයි සිදු කළ පොලිස් පැමිණිල්ලේ සඳහන් ව ඇත්තේ.

එමෙන්ම ජංගම දූරකථන දෙකක් (2), බැංකු ගිණුම් පොත සහ අංක 04477 දරණ යුද හමුදා හැඳුනුම්පත ද කොල්ලකරුවන් රැගෙන ගිය අත් බෑගයෙහි අඩංගුව තිබුණා.

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ පහරකෑමට ලක් වූ ලුතිතන්වරිය සිය පළමු විවාහයේ ස්වාමිපුරුෂයා සමග පවුල් ආරවුලක් හේතුවෙන් වෙන්ව ජීවත් වන අතර, වෙන්වීම සඳහා වන නඩුවක් ද මේ වනවිට බද්දේගම දිසා අධිකරණයේ විභාග වෙමින් පවතින බවයි.

ඇයට වයස අවුරුදු 10 ක් වන දියණියක් ද සිටින අතර, දිගු කලක සිට ඇය අනියම් ඇසුරක් ද පවත්වන බවට සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.

නමුත් ඇය අනියම් ඇසුර පවත්වන තැනැත්තා ද යුද හමුදා නිලධාරියෙකු වන අතර ඔහු ද විවාහ වී ඇති බවට ඇයට පසුව දැනගන්නට ලැබුණු හෙයින් ඇය විසින් මෙම සම්බන්ධය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

එයින් කෝපයට පත් එම තැනැත්තා විසින් පසුගිය සතියේ දිනෙක ඇයගේ නිවසට පැමිණ බලෙන් හෝ ඇය රැගෙන යන බවට තර්ජනය කර ඇති බවට ද සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි වුණා.

පොලීසිය සැක පළ කරන්නේ, අදාළ අනියම් පෙම පැවැත්වූ යුද හමුදා නිලධාරියා විසින් මෙම පහරදීම අන් අය ලවා සිදු කරන්නට ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

***************************************

ඇමති ජී.එල්. මිචෙල් බැචලේ හමුවෙයි

(03.03.2022 – 15:57 +0530 – hirunews.lk/sinhala)

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිචෙල් බැචලේ හමු වී සාකච්ඡා කර තිබෙනවා.

ජිනිවාහි පිහිටි මානව හිමිකම් මහකොමසාරිස්වරියගේ කාර්යාලයේ දී එම හමුව පැවති බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, ජිනිවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට ගොස් සිටින රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන එම හමුව සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා ෴

***************************************

රුපියල් 5900 කින් මාසයක් ජීවත් වෙන හැටි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියාදෙයි

(03.03.2022 – 16:06 +0530 – hirunews.lk/sinhala)

මෙරට සාමාන්‍ය පුරවැසියකුට රුපියල් 5908.00 ක මුදලකින් සිය මූලික අවශ්‍යතා මාසයක කාලයක් පුරා සපුරාගත හැකි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා.

2022 වසරේ ජනවාරි මාසය දක්වා යාවත්කාලීන කර ඇති මෙම වාර්තාවට අනුව මාසයක කාලයක් ජීවත්වීම සඳහා තනි පුද්ගලයකුට වැඩිම මුදලක් වැය කිරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ යි.

මෙම වාර්තාවට අනුව ඔවුන් මාසයක කාලයක් සඳහා වැය කළ යුතු මුදල රුපියල් 6414.00 ක්.

මෙම යාවත්කාලීන කිරීමට අනුව අවම මුදලක් වැය කරමින් මාසයක කාලයක් ජීවත් විය හැක්කේ මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින්ටයි.

ඔවුන් ඒ සඳහා රුපියල් 5446 ක මුදලක් වැය කළ යුතුව තිබෙනවා.

කෙසේ වෙතත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේ ජනවාරි මාසය සඳහා නිකුත් කර ඇති නිල දරිද්‍රතා මට්ටම දැක්වෙන මෙම සටහනේ 2021 දෙසැම්බර් මාසයේ සීමාවන් හා සැසදීමේදී ආසන්න වශයෙන් 15% පමණ වැඩිවීමක් පෙන්නුම් කරනවා.

***************************************

මාර්තු 08 සිට 11 තෙක් පාර්ලිමේන්තුව රැස්වෙයි

(03.03.2022 – 16:16 +0530 – hirunews.lk/sinhala)

මෙම මස 08 වැනි දින සිට 11 වැනි දින තෙක් පාර්ලිමේන්තුව රැස්වීමට අද (03) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර තිබෙනවා.

මේ බව සභා නායක දිනේෂ් ගුණවර්ධන විසිනුයි නිවේදනය කර ඇත්තේ ෴

***************************************

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නාවුක සහ ධීවර ප්‍රජාවට විශේෂ නිවේදනයක්

(03.03.2022 – 16:27 +0530 – hirunews.lk/sinhala)

නැවත දැනුම්දෙන තුරු මන්නාරම සිට කන්කසන්තුරය – ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 24 ක කාලය තුල තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් නැගෙනහිර වෙරළාසන්නයේ ඉදිරි පැය 48 ක කාලය තුල තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඇතැම් විට පැයට කිලෝමීටර් 60 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

සෞඛ්‍ය වර්ජනය දින 10 කට නවතී

(03.03.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය වර්ජනය හෙට (04) පෙරවරු අටේ (8) සිට තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.

එහි කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ දින 10 ක කාලයක් සඳහා මෙලෙස තාවකාලිකව වර්ජනය අත්හිටුවන බවයි.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (02) උදෑසන 8 පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු ශ්‍රේණි 17 කට අයත් වෘත්තීය සමිති ආරම්භ කළ දෙදින (2) වර්ජනය හේතුවෙන් අදත් රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වුණා.

***************************************

අයි.එම්.එෆ්. සහාය අත්‍යවශ්‍යයි – හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු කියයි

(03.03.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ණය අර්බුදය ඉදිරි වසරවලදී මෙරට මුහුණ දෙන ප්‍රබල අභියෝගයක් වන බැවින් සාර්ව ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කරගැනීම සහ ණය බර අඩු කරගැනීම සඳහා විශ්වසනීය මූලෝපායක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික ඇගයීම් වාර්තාව ප්‍රකාශයට පත්කරමින් එහි විධායක මණ්ඩලය කොවිඩ්-19 පාලන රජයේ වැඩපිළිවෙළ ප්‍රශංසාවට ලක් කර තිබුණා.

රාජ්‍ය ණය තිරසර නොවන මට්ටමකට පැමිණීම, විදේශ සංචිත අඩුවීම සහ මූල්‍ය අවශ්‍යතා ඉතා අධික වීම ඉදිරි වසරවල දී ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රබල අභියෝග වනු ඇතැයි ශ්‍රී ලංකාව පිළිබඳ වාර්ෂික ඇගයීම් වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දෙනවා.

එබැවින් සාර්ව ආර්ථික ස්ථායිතාව ආරක්ෂා කරගැනීමට සහ ණය බර අඩුකර ගැනීම සඳහා විශ්වසනීය මූලෝපායක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව ඔවුන් අවධාරණය කරනවා.

විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා වෙළෙඳපොළ අගය මත තීරණය වන පරිදි නම්‍යශීලි විනිමය අනුපාතිකයක් පවත්වා ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයයි.

ආනයන සීමා ඉවත් කිරීම, ආර්ථික විවිධාංගීකරණය, ආයෝජන හා ව්‍යාපාරික හිතකර පරිසරය ඉහළ නැංවීම තවදුරටත් කළ යුතුව ඇතැයි වාර්තාවේ සඳහන්.

මේ අතර පෙබරවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 15.1 දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජනවාරි මාසයේ දී එය පැවතුණේ සියයට 14.2ක් ලෙසයි.

ජනවාරි මාසයේදී සියයට 25.0 ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 25.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනවාරි මාසයේ සියයට 9.2 ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පෙබරවාරි මාසයේදී දැක්වුණේ සියයට 10.1 ක් ලෙසයි.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය ජනවාරි මාසයේදී සියයට 16.8 ක් වුණා.

මේ අතර මෙරට පුද්ගලයෙකුට මාසයකට ජීවත්වීම සඳහා රුපියල් 5,908 ක් ප්‍රමාණවත් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් මගින් අනාවරණය කරනවා.

එම දෙපාර්තමේන්තුව ජනවාරි මාසය සඳහා දිස්ත්‍රික්ක අනුව නිකුත් කළ නිල දරිද්‍රතා සීමා වාර්තාවේ මේ බව සඳහන්.

දිස්ත්‍රික්ක පදනම මත සලකා බලන විට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ වන අතර එය රුපියල් 6,414 ක්.

මූලික අවශ්‍යතා සඳහා සපුරා ගැනීමට මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු දැරිය යුතු වියදම රුපියල් 5,646 ක් වන අතර එය දිස්ත්‍රික් පදනමින් වන අවම අගයයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැය කළ යුතු වූ මුදල දැක්වුණේ රුපියල් 5,770 ක් ලෙසයි.

මේ අතර මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ පවතින අර්බුදයෙන් ගොඩ එම සදහා මුල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය වන බවයි.

ඔස්ට්‍රෙලියාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා ෴

***************************************

ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට දේශීය ආහාර වේලක්

(03.03.2022 – 21:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට දේශීය ආහාර වේලක් හඳුන්වාදීමට, ශ්‍රී ලංකන් ගුවන් සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙරටට ආවේණික පෝෂ්‍යදායි ආහාර වේලක් ගුවන් යානය තුළ දී ලබා ගැනීමට මගීන්ට අවස්ථාව සැලසෙන බවයි එම ගුවන් සමාගම පවසන්නේ ෴

***************************************

රාගම වෛද්‍ය පීඨයේ ගැටුම් ගැන අවසන් වාර්තාව ජනපති අතට

(03.03.2022 – 21:46 +0530 – hirunews.lk/sinhala)

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාර දී තිබෙනවා.

පසුගිය පෙබරවාරි 01 වන දින රාත්‍රී රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂා කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපතීත්වයෙන් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ වෛද්‍ය රමේෂ් පතිරණ යන පිරිස ද කමිටුවේ සෙසු සාමාජිකයන් අතරට ඇතුළත්.

කමිටුව අදාළ සිදුවීම, වාර්තා ආශ්‍රිතව නිරීක්ෂණය කර, කරුණු සහ නිර්දේශ ඇතුළත් ව වාර්තාවක් සකස් කර තිබෙනවා.

එම සිදුවීම තෙවන හා සිව්වන වසරවල ඉගෙනුම ලබන සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම්සහගතව හා චේතනාන්විතව සිදුකළ ගැටුමක් නොවන බව ලබාගත් වාර්තා පරිශීලනයෙන් දක්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

වාර්තාවේ නිරීක්ෂණයන්ට අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, යම් ක්‍රියාවන් කළ බවට පිළිගැනීම නිසා මුදල් හා ශරීර ඇප මත මුදාහැරුණා.

අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා සිය මිතුරන් සමග ප්‍රමාදයකින් තොරව අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

පොල් සංවර්ධන අධිකාරියට අයත් රථයක් අදාළ සිද්ධියට යොදා ගැනීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම වාහනය භාර රාජ්‍ය ආයතනයටත්, මෙය පූර්වාදර්ශයට ගෙන බාහිර පාර්ශ්වයන්ට නේවාසිකාගාර පරිශ්‍රයන්ට අනවසරයෙන් ඇතුළු වීම වැළැක්වීම සඳහා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ආරක්ෂාව සහතික කිරීමේ නිශ්චිත වැඩපිළිවෙළක් සැකසීමටත් කමිටුව නිර්දේශ කර ඇත්තේ මෙම වාර්තාව තුළයි.

සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි අරුන්දික ප්‍රනාන්දු කිසිඳු අනුදැනුමක් හෝ බලපෑමක් සිදුකර නැති බව පරීක්ෂණයේ දී නිරීක්ෂණය වී ඇති බවයි වාර්තා වන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *