සෞඛ්‍ය සේවකයන් අදත් (03) වර්ජනයේ

සෞඛ්‍ය සේවකයන් අදත් (03) වර්ජනයේ

*********************************************

සෞඛ්‍ය සේවකයන් අදත් (03) වර්ජනයේ

(03.03.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති 17 ක් ඊයේ (02) ආරම්භ කළ වර්ජනය අද (03) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක යි.

දින දෙකක් (2) වර්ජනය සිදුකරන බව ප්‍රකාශ කළත්, අද (03) දිනයේ රැස්වන විධායක සභාවේ දී වර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ.

ඊයේ (02) උදෑසන අටේ (8) සිට ආරම්භ කළ වර්ජනය හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වුණා.

ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් ඉන් පත්වුණේ දැඩි අපහසුතාවකට යි ෴

++++++

සෞඛ්‍ය වර්ජනය තවදුරටත්

(03.03.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ආරම්භ කළ දෙදින (2) වර්ජනය හේතුවෙන් අදත් (03) රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ඊයේ (02) ආරම්භ කළ මෙම වර්ජනය සඳහා පරිපූරක, අතුරු වෛද්‍ය ඇතුළු ශ්‍රේණි 17 කට අයත් වෘත්තීය සමිති එක්ව සිටින අතර, වර්ජනය අඛන්ඩව සිදු කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව අද (03) තීරණය කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් කියා සිටියේ.

කෙසේ වෙතත්, වර්ජනය හේතුවෙන් අදත් (03) ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්වුණා.

***************************************

තවත් ගැසට් නිවේදනයක් එළියට

(03.03.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

මිලිග්‍රෑම් 500 ක පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 2.30 ක් බවට ප්‍රකාශ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ අත්සනින් යුතු ව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එය පසුගිය 28 වන දා සිට බල පැවැත්වෙනු ඇති.

මේ අතර, ඉදිරි සති 4 න් පසු ව රට තුළ සැලකිය යුතු මට්ටමේ ඖෂධ හිඟයක් හට ගත හැකි බව ශ්‍රී ලංකා ඖෂධ සංසදය පවසනවා.

එහි සභාපති ඒ.ජේ. බස්නායක කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ, රට තුළ පවතින ඩොලර් හිඟය හමුවේ ණයවර ලිපි නිකුත් නො කිරීම හේතුවෙන් ඖෂධ ආනයනය කළ නො හැකි තත්ත්වයක් මතු ව ඇති බවයි.

මේ වන විට දිවයින පුරා ඖෂධ සැල් සහ වෙළඳසල්වල පැරසිටිමෝල් ඇතුළු ඇතැම් ඖෂධ සිරප් වර්ග නො මැති තත්ත්වයක් පවතින බවට වාර්තා වනවා ෴

***************************************

වැටුප් ගෙවා නො මැති බවට අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් චෝදනා

(03.03.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධන නිලධාරීන් ලෙස පත්වීම් ලබාදී ඇති ඇතැම් අභ්‍යාසලාභී උපාධිධාරීන්ට පසුගිය ජනවාරි මසට අදාළ වැටුප් සහ දීමනා මෙතෙක් ගෙවා නොමැති බවට උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි කියා සිටියේ, එම උපාධිධාරීන්ගේ සේවා ස්ථීර කළ බවට වන පත්වීම් ලිපි ලබා දීමේ ප්‍රමාදයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

සංවර්ධන නිලධාරී සේවයේ රැකියා ලබාදුන් උපාධිධාරීන් රැසකගේ සේවා පසුගිය ජනවාරි පළමු වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර කෙරුණා.

ඒ අනුව පුහුණු කාලය තුළ ඔවුන්ට ලබා දුන් රුපියල් 20,000 ක මාසික දීමනාව වෙනුවට රුපියල් 32,900 ක මූලික වැටුපක් සහ සෙසු දීමනා සමග රුපියල් 42,000 ක සමස්ත වැටුපක් හිමිවනවා.

කෙසේ වෙතත්, පත්වීම් ලිපි ප්‍රමාදය සමග අදාළ උපාධීධාරීන් සංවර්ධන නිලධාරීන්ට පත්වීම් ලබා දෙන තෙක් රුපියල් 20,000 මාසික දීමනාව ලබා දෙන ලෙසට චක්‍රලේකයක් පවා නිකුත් කර තිබුණ ද ඔවුන්ට ජනවාරි මාසයේ කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබා දී නොමැති බවට යි උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු චන්දන සූරියආරච්චි චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ, ලබන අප්‍රේල් මස ස්ථීර කිරීමට නියමිත අභ්‍යාස උපාධිධාරීන් සඳහා මෙතෙක් පත්වීම් ලිපි නිකුත් කර නො මැති බවයි.

එමෙන්ම, ඇතැම් උපාධිධාරීන් ස්ථීර කිරීමෙන් පසු ඔවුන් ස්ථාන මාරුවීම් අපේක්ෂාවෙන් හෝ වෙනත් හේතු මත අදාළ රාජකාරී වෙත වාර්තා කර නො මැති බව ලේකම්වරයා සඳහන් කළා.

එවැනි පිරිස්වලට නීත්‍යානුකූලව වැටුප් සහ දීමනා නො ලැබෙන බවයි ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් ජනවාරි පළමුවනදා සිට ස්ථීර පත්වීම් ලබා දී ඇති, ගැටලුවලින් තොරව නියමිත පරිදි රාජකාරී වෙත වාර්තා කරන සියලු උපාධිධාරී සංවර්ධන නිලධාරීන්ට අදාල වැටුප් සහ දීමනා ගෙවීමට කටයුතු කර ඇති බව අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

***************************************

ගෝනපීනුවල ඝාතනයකට තැත් කළ සිද්ධියකට 3 ක් අත්අඩංගුවට

(03.03.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – ගෝනපීනුවල මං සන්ධියේ දී යතුරුපැදියකින් පැමිණ, පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ, වෙඩි තැබීමට යොදා ගත් ටී-56 ගිනි අවිය සහ ඊට යොදා ගත් යතුරුපැදිය ද සොයා ගත් බවයි ෴

***************************************

අලුත් අවුරුද්දට සතොස මිලට ම සමුපකාරයෙන් භාණ්ඩ

(03.03.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේ දී සතොස මිලට සමූපාකාර ආයතනවලින් භාණ්ඩ අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කොළඹ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, මියන්මාරයෙන් ආනයනය කළ සහල් සඳහා නියමිත මිලට වඩා වැඩි මිලක් ගෙවූ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවයි ෴

***************************************

අනවසරයෙන් විදුලිය ගත් 120 ක් අත්අඩංගුවට

(03.03.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අනවසරයෙන් විදුලිය ලබා ගත් පුද්ගලයින් 120 දෙනෙකු පොලීසිය අද (03) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පොලීසිය සමග එක්ව සිදු කළ වැටලීමක දී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර බහුතරයක් ග්‍රෑන්ඩ්පාස් – කජීමාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

***************************************

රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරෙයි

(03.03.2022 – 09:06 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය අමාත්‍යාංශ දෙකකට (2) නව ලේකම්වරුන් පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කේ.ජේ. විජේසිංහ පත් කරනු ලැබ ඇත්තේ, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.

එසේම උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කරාබුනැටි, බුලත් ඇතුළු වැවිළි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එස්.ඩී. පාඬිකෝරාළ පත් කර තිබෙනවා ෴

***************************************

මූල්‍ය අරමුදලෙන් ඇගයීමක්

(03.03.2022 – 10:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ තිරසාර නොවන මට්ටම් දක්වා ඉහළ ගොස් ඇති රාජ්‍ය ණය, විදෙස් සංචිත සහ ඉදිරි වසරවල දී අඛණ්ඩව විශාල මූල්‍ය අවශ්‍යතා ඇතුළුව ශ්‍රී ලංකාව අභියෝගයකට මුහුණ දී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව එළි දක්වමින් කියා සිටියේ මෙම අභියෝග ජය ගැනීම සඳහා සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එහිදී විශේෂයෙන්ම ශක්තිමත්, හොඳින් ඉලක්ක කරගත් සමාජ ආරක්ෂණ දැල් හරහා අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ දරිද්‍රතාවය අවම කිරීම සිදුකළ යුතු බවද ඔවුන් පෙන්වා දෙනවා.

වසංගතයේ බලපෑම සමනය කර ඇති කඩිනම් ප්‍රතිපත්තිමය ප්‍රතිචාරය සහ සාර්ථක එන්නත් කිරීමේ ව්‍යාපාරය පිළිබඳව එහි විධායක අධ්‍යක්ෂවරු ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රසංසා කර තිබෙනවා.

උසස් තත්ත්වයේ ආදායම් පියවරයක් මත පදනම් වූ අභිලාසකාමී මූල්‍ය ඒකාග්‍රතාවයක අවශ්‍යතාවය අධ්‍යක්ෂවරු මෙහි දී අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ අඩු බදු, දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය සැලකිල්ලට ගනිමින්, ආදයම් පරිපාලන ප්‍රතිසංස්කරණ සමඟ අනුපූරකව ආදායම් බදු සහ වැට් බඳු ඉහළ නැංවීමට සහ නිදහස් කිරීම් අවම කිරීමට ඇති ඉඩකඩ ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ වියදම් තාර්කිකකරණය, අයවැය සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම් මෙන්ම මූල්‍ය පාලනය සඳහා අඛණ්ඩව වැඩිදියුණු කීරීම් දිරිමත් කළ යුතු බව සඳහන් කළ මොවුන් රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය කිරීමට සහ පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිල ක්‍රම අනුගමනය කිරීමට ලක් රජයේ බලධාරීන් දිරිමත් කළා.

විදෙස් සංචිත නැවත ගොඩ නැගීම සඳහා වෙළඳපොළ තීරණය කරන ලද සහ නම්‍යශීලි විනිමය අනුපාතිකයකට ක්‍රමානුකූලව නැවත පැමිණීමටද මොවුන් නිර්දේශ කර තිබෙනවා.

ආර්ථික විවිධාංගීකරණය, ආනයන සීමා ඉවත් කිරීම සහ පොදුවේ ව්‍යාපාර සහ ආයෝජන වාතාවරණය වැඩිදියුණු කිරීමට තවදුරටත් උත්සාහයක් අවශ්‍ය බව පෙන්වා මූල්‍ය අරමුදල පෙන්වා දෙනවා.

එමෙන්ම කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දුරදර්ශී කළමනාකරණක් අවශ්‍ය බවයි ඔවුන් කියා සිටියේ.

***************************************

වෙළෙඳපොළේ යළි ගෑස් හිඟයක්

(03.03.2022 – 10:50 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් අර්බුදය හේතුවෙන් මේ වනවිට යළිත් වරක් වෙළදපොළ තුළ ගෑස් හිඟයක් උද්ගතව තිබෙනවා.

ලිට්රෝ සමාගම ආනයනය කළ ගෑස් අඩංගු නෞකා 3 ක් මෙරටට ළඟා වී ඇතත් එහි තොග ගොඩබෑමට නොහැකි වී ඇත්තේ ණයවර ලිපි විවෘත කර ඩොලර් ගෙවීමට නොහැකිවීම හේතුවෙන්.

මෙම තත්ත්වයත් සමඟ ලිට්රෝ ගෑස් බෙදා හැරීම, කර්මාන්තශාලා සහ ආදාහනාගාරවලට පමණක් සීමා වී තිබෙනවා.

බෙදා හරින ලද ගෑස් තොග සීමිත ප්‍රමාණයක් වෙළදපොළේ තවදුරටත් අලෙවි වන අතර ඉදිරියේ දී එම සැපයුම ද අඩාල වනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලාෆ් සමාගමේ ගෑස් බෙදා හැරීම ද මුළුමනින්ම නවතා දමා තිබෙනවා.

එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය සදහන් කළේ, පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් සිය සමාගමට ආනයනික ගෑස් තොග රට තුළට ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

මේ වනවිට වෙළදපොළ තුළ පාරිභෝගික අලෙවිය සඳහා ගෑස් නොමැති බව ද ලාෆ් සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, ගත වූ මාස කිහිපය තුළ අවස්ථා ගණනාවක දී ගෑස් ආනයනය සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඩොලර් අර්බුදය, එක් හේතුවක් වූ අතර ආන්දෝලනාත්මක තත්ත්වයක් බවට පත්වූයේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තාවීමත් සමඟයි.

විමර්ශනවල දී අනාවරණය වූයේ එහි ප්‍රමිතිය වෙනස් කර තිබූ බව යි.

***************************************

කොලඹට ජල කප්පාදුවක්

(03.03.2022 – 11:27 +0530 – hirunews.lk/sinhala)

සෙනසුරාදා පෙරවරු 08 සිට පැය 14 ක් කොළඹ 07, 08, 10, 12, 13, 14 සහ 15 ට ජල සැපයුම අත්හිටවෙන බව වාර්තා වනවා.

කොලඹ 02, 03, සහ 11 යන කලාපවලට ජලය ලැබෙන්නේ, අඩු පීඩනයකින්.

ජාතික ජලසම්පාදන මණ්ඩලය නිවේදන‍ය නිකුත් කරමින් මේ බව කියා සිටියා ෴

***************************************

විශේෂඥ වෛද්‍යවරුන් බිහි වීමත් නතරවෙයි

(03.03.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරට විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම විදෙස් රටවල් මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම තත්ත්වයත් සමග රටට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් බිහිනොවන තත්ත්වයක් උද්ගතව ඇති බවයි වාර්තා වන්නේ. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ හිරු ප්‍රවෘත්ති සමග සංවාදයක නිරත වෙමින් මේ බව ප්‍රකාශ කළා ෴

***************************************

කෝපි ආශ්‍රිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට

(03.03.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට සෞභාග්‍යා නිෂ්පාදන ගම්මානවල කෝපි ආශ්‍රිත නිෂ්පාදනයන් මේ වනවිට ජාත්‍යන්තර වෙළදපොළ වෙත අපනයනය කරන බව සමෘද්ධි ගෘහ ආර්ථික, ක්‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මේ වන විට වසරකට කෝපි ටොන් 600 කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමේ මට්ටමට ළඟා වී ඇති බවයි එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ෴

***************************************

පොලිස් නිලධාරියෙකුගේ රිවෝල්වරයක් පත්තු වී පුද්ගලයෙකු මරුට

(03.03.2022 – 13:46 +0530 – hirunews.lk/sinhala)

මාතලේ – නාඋල – දෙකේ කණුව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පොලීසිය සමග ඇති වූ පොරබැදීමකදී වෙඩි වැදීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියා සිටියේ, නාඋල පොලීසියට අනුයුක්ත නිලධාරින් දෙදෙනෙකු (2) අදාළ ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමට යාමේ දී එහි සිටි පුද්ගලයෙකු විසින් රිවෝල්වරය උදුරා ගැනීමට යාමේදී එය ක්‍රියාත්මක වී මෙම වෙඩි වැදීම සිදුව ඇති බවයි.

එම අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු ත්‍රිරෝද රථයේ සිට ඇති අතර ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.

වෙඩි වැදීමෙන් මියගිය පුද්ගලයා 39 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුට එරෙහි ව පොළොන්නරුව මහාධිකරණයේ සහ දඹුල්ල අධිකරණයේ මත්ද්‍රව්‍ය සහ මිනීමරුම් සිද්ධියක් සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා.

ත්‍රිරෝද රථයේ තිබී ගංජා සහ හෙරොයින් පැකට් කිහිපයක් පොලීසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

+++++++

නාඋල වෙඩිතැබීම ගැන පොලීසියෙන් නිවේදනයක්

(03.03.2022 – 21:32 +0530 – sinhala.adaderana.lk)

පොලීසිය සමග ඇතිවූ පොරබැදීමකින් පසු පුද්ගලයෙකු වෙඩිවැදී මියයෑමේ සිද්ධිය පිළිබඳව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (03) උදෑසන නාඋල ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකළ පරීක්ෂාවකදී ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයෙක් සමග මෙම පොරබැදීම සිදුව තිබූ අතර එහිදී වෙඩිවැදීමෙන් එම පුද්ගලයා මියගොස් තිබුණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ සිද්ධියෙන් මියගිය පුද්ගලයා 2015.10.27 වනදා පුද්ගලයෙකුට පහරදී පෙල සිරකර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් විභාග වෙන නඩුවක ප්‍රධාන සැකකරුවෙකු බවය.

සැකකරු මියගොස් තිබුණේ පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවේදී ගිනිඅවිය උදුරා ගැනීමට තැත්කිරීමේදී ඇතිවූ වෙඩිවැදීමකින් බවත් පවසයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින් :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *