හිටපු ජනපති මෛත්‍රී සමග විමල්, වාසු, ගම්මන්පිල එකම වේදිකාවක – රතන හිමිට විරෝධයක්

හිටපු ජනපති මෛත්‍රී සමග විමල්, වාසු, ගම්මන්පිල එකම වේදිකාවක – රතන හිමිට විරෝධයක්

*********************************************

හිටපු ජනපති මෛත්‍රී සමග විමල්, වාසු, ගම්මන්පිල එකම වේදිකාවක – රතන හිමිට විරෝධයක්

(02.03.2022 – 19:17 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක් විසින් සකස් කරන ලද මුළු රටම හරිගමට දස (10) වැදැරූම් ජාතික ප්‍රකාශනය එලි දැක්වීම අද (02) පස්වරුවේ සිදුවුණා.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආණ්ඩුව නියෝජනයකරන හවුල්කාර පක්ෂ වල නායකයින් වන අමාත්‍ය විමල් විරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර ඇතුළු තවත් පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති උත්සවයකදීයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙල උරුමය, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය ඇතුළු පක්ෂ 11 ක් විසින් සකස් කරන ලද මුළු රටම හරිමගට යෝජනාවලියයි එහිදී එලි දැක්වුයේ.

රටේ මතුව ඇති ආර්ථීක අර්බුදය ජයගැනීම සදහා වන දස (10) වැදැරූම් යෝජනාවලියක් එහිදි ජනගත කෙරුණා.

එම යෝජනාවලට අනුව රට මුහුණදි ඇති මුලික අර්බුද 05 ක් හදුනාගෙන ඇති අතර ඊට ඩොලර් සංචිත ගැටලුව, විදේශ ණය අර්බුදය සහ විදේශ විනිමය හිඟවීම මගින් රට ණය උගුලක සිරවීම ආදී කරුණු ඇතුළත්.

කෙසේ වෙතත්, පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අදහස් දක්වා අවසන් වීමත් සමග රතන හිමියන් නියෝජනය කරන අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් එම ස්ථානයට පැමිණ රතන හිමියන්ට විරෝධය පළ කරමින් අදහස් පල කළා.

එහිදී එම ස්ථානයේ යම් නොසන්සුන් තත්වයක්ද ඇතිවුණා.

එම අවස්ථාවට එක්ව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බවයි.

+++++++

උද්දච්ඡ මානසිකත්වයකට මේ අභියෝගය ජයගන්න බෑ – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ

(02.03.2022 – 20:34 +0530 – sinhala.adaderana.lk)

පවතින අර්බුදකාරී තත්ත්වය ගැන කඩිනමින් විශේෂඥ සහය ලබාගතයුතු බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

දේශපාලන පක්ෂ 11 ක සහභාගීත්වයෙන් අද (02) ‘මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශනය’ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා :

“කාපට් කරපු පාරවල් තියෙනවා. තාමත් කාපට් කරනවා. කාපට් එක උඩින් තව කාපට් කරනවා. හැබැයි පාරේ වාහනේ යන්න තෙල් නැතිවෙනවා. කාපට් එක තියෙනවා. කාපට් පාර තිබ්බට ඒ පාරේ යන වාහනේට තෙල් ටික නැත්නම් පාර කන්න ද? ආණ්ඩුවක් තියෙනවා මේ තත්ත්වය ගැන බැරෑරුම් සාකච්ඡාවකින් තොරව. පාලකයෝ ඉන්නවා මේ තත්ත්වය ගැන බැරෑරුම් අවධානයකින් තොරව. මේකෙන් ගොඩ එන්න ප්‍රධාන පියවර කිහිපයක් ගන්න ඕනේ.”

“පළමුකොටම විශේෂඥ සහය ගන්න ඕන. ‘මට මේ සියල්ල තේරෙනවා; මගේ මොළෙයි ඉතුරු තව හයයි (6) මේ ඔක්කොම තියෙනවා; ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නෑ; මට මොකටද විශේෂඥ සහය; මම හිතන විදියට ඔක්කොම වෙනවා නම් ඒ මදෑ’ ඒ උද්දච්ඡ මානසිකත්වයකට මේ අභියෝගය ජයගන්න බෑ. හදන්න ඕන ප්ලෑන් එකක්. සැලැස්මක්. ඒ සැලැස්ම අතට අරගෙන යන්න ඕන ණය දීපු අය හම්බවෙන්න. ගිහිල්ල කියන්න ඕන උඹල කියන විදියට දැන් වාරිකය ගෙවන්න බෑ. අපිට ගෙවන්න පුළුවන් අපි හදපු සැලැස්මක් තියෙනවා මේක පිළිගනින් කියලා. කෝ ඒ සාකච්ඡාව. මහ බැංකුවේ අධිපතිතුමා කියනවා මාස 6 ක් තිස්සේ මේ තත්ත්වය හමුවේ ගතයුතු පියවර නිර්දේශ කරලා මම ලිපි 9 ක් ඇරියා. මම යෝජනා ඇරියා එකකටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ කියලා. හම්බවෙන්න වෙලාවක් නෑ මුදල් ඇමතිතුමාව. මෙච්චර විදේශ විනිමය අර්බුදයකින් පීඩා විඳින රටක මහබැංකු අධිපති මුණගැහෙන්න මුදල් ඇමතිට වෙලාව නැත්නම් එක්කෝ මෝඩකම නැතිනම් මේක කෙළවාගන්න ඉඩදී බලා සිටිනවා.”

“අද කළු සල්ලි ඩොලර් වෙළෙඳපොලක් හැදිලා ප්‍රබල වෙලා. මේ ලෝකේ මොන රටකවත් කිසිම මුදල් ඇමතිකෙනෙකු ගැන අහලා නෑ කළු සල්ලි මාකට් එක ප්‍රවර්ධනය කරන. මේ වෙලාවේ කලයුත්තේ මේ කළු සල්ලි මාකට් එක පුළුවන් තරම් ප්‍රවර්ධනය කිරීම නෙවෙයි ඒකෙ ක්‍රියාකාරිත්වය දුර්වල කිරීමයි. නිත්‍යානුකූල මාවතෙන් සල්ලි එන්නේ නෑ. දකුණු කොරියාවේ රැකියාව කරන තරුණ දරුවෝ. සියයට 90 ක් සල්ලි එවන්නේ උන්ඩියල් වලින්. බැංකු පද්ධතියට හැරෙන ඩොලර් ටික හිඳෙනවා. හොර පාරෙන් යන ඩොලර් ගඟ තර වෙනවා. ඒකට එහෙම වැඩෙන්න දීලා බලන් ඉන්නවා. මේ අපේ රට එක්කයි සෙල්ලම් කරන්නේ. අපිට ‘ඩබල්’ රටවැසිභාවයක් නෑ. එකයි තියෙන්නේ. ඉන්නහරි මැරෙන්න හරි ඔක්කොම තියෙන්නේ මෙතන.”

***************************************

බැංකුවලට ඒ.ටී.එම්. කාඩ් හිඟ වෙයි

(02.03.2022 – 19:20 +0530 – sinhala.adaderana.lk)

බැංකු මගින් නිකුත් කරනු ලබන ණයපත් සහ හරපත්වල හිඟයක් මතුව තිබෙනවා.

එම කාඩ්පත් සඳහා යොදා ගන්නා මයික්‍රෝ චිප් ලොව පුරා හිඟවීම ඊට ප්‍රධානම හේතුව බවයි එම කාඩ්පත් මෙරටට ආනයනය කරනු ලබන ආයතනයක් වන ලේක්හවුස් ටෙක්නොලොජි සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ටෝනි ජෝන් පුල්ලේ සඳහන් කළේ.

එමෙන්ම, ඩොලර් හිගය ද ඒවා ආනයනය කිරීමට බලපෑම් එල්ල කර ඇති බව ඔහු කියා සිටියා.

මෙම තත්ත්වය මත අලුතින් සහ කල් ඉකුත් වීමෙන් අනතුරුව, බැංකු හරහා ණයපත් හා හරපත් ලබා ගැනීමේදී ගණුදෙනුකරුවන්ට බාධා මතුවී තිබෙනවා.

පසුගිය වසරේ තුන්වන කාර්තුව අවසානය වනවිට ණයපත් 2,071,348 ක් මෙරට තුල භාවිත කර ඇති අතර, එලෙස භාවිතයට ගෙන ඇති හරපත් සංඛ්‍යාව 17,696,356 ක් ෴

***************************************

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ?

(02.03.2022 – 22:09 +0530 – sinhala.adaderana.lk)

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමෙන් මේ වන විට රටතුළ දැඩි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය පවසයි

අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සංජීව විජේසේකර මහතා :

“ලංකාවේ ඖෂධවලින් සියයට 85 ක් පමණ ආනයනය කරන ඖෂධ තියෙන්නේ. වේදනාවට උණට ගන්න පැරසිටමෝල් හිඟයක් තියෙනවා. අධික රුධිර පීඩනයට, කොලෙස්ටරෝල්වලට ගන්න බෙහෙත් ඒවා සෑහෙන්න ප්‍රමාණයක් දැනට ගන්න නෑ.”

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති අසාන් ජවාඩ් මහතා :

“දැනට සති හයකට (6) වගේ ඖෂධ තියෙනවා. නැතුවම නෙවෙයි. දැන් තියෙන තත්ත්වය අපි හරි විදියට පාලනය කළේ නැත්නම් අපි ලොකු අර්බුදයකට යනවා. ජීවිත ආරක්ෂක ඖෂධත් නැතුව යනවා මේ රටේ. අපි කියන්නේ ඩොලර් මිලියන 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් ඕන වෙනවා කියන එක. සාකච්ඡා කරලා මෙකට විසඳුමක් දෙන්න.”

***************************************

දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව ලංකාවෙන් ද?

(02.03.2022 – 14:35 +0530 – sinhala.adaderana.lk)

රුපියල් කෝටි 400 කට අධික වැට් බදු වංචා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වී වසර 16 කට අධික කාලයක් අධිකරණය මඟහැර සිටි විත්තිකරුවෙකුට පනවා තිබූ වසර 20 ක බරපතළ වැඩසහිත සිරදඬුවම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවිය යුතු රුපියල් කෝටි 400 කට අධික වැට් බදු වංචා කළේ, යැයි ගොනු කර තිබූ නඩුවේ 12 වන විත්තිකරු ලෙස නීතිපතිවරයා විසින් මොහොමඩ් කාතිල් නමැති පුද්ගලයාව නම් කර තිබුණි.

නඩු විභාගය ආරම්භයේ පටන් එම විත්තිකරු අධිකරණය මඟහැර සිටි අතර ඔහුගේ සහභාගීත්වයෙන් තොරව නඩු විභාගය පැවැත්වුණි.

එම නඩුවේ තීන්දුව 2014 වසරේ සැප්තැම්බර් මස 26 වනදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී එම විත්තිකරු වරදකරු කළ අතර ඔහු අධිකරණය මඟහැර සිටිම හේතුවෙන් විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් විවෘත වරෙන්තු ද නිකුත් කර තිබුණි.

ඉන් අනතුරුව එම විත්තිකරු ඉකුත් 22 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට පමුණුවනු ලැබීය.

එම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා එම දඬුවම පිළිබඳව කිසිවක් නොදන්නා බව සඳහන් කර සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ, එම විත්තිකරු අධිකරණය මඟින් වරදකරු කොට දඬුවම් නියම කර ඇති නිසා එම දඬුවම ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් තමන්ට නොමැති බවය.

කෙසේ වෙතත් විත්තිකරු වෙනුවෙන් කිසියම් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තිබේ නම් එය ලබන 25 වන දා ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විත්තියේ නීතිඥවරයාට දන්වා සිටියේය.

දකුණු ආසියාවේ විශාලතම බදු වංචාව ලෙස සැලකෙන මෙම වැට් බදු වංචාව සම්බන්ධයෙන් විත්තිකරුවන් දොළොස් දෙනෙකුට (12) එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කළ අතර ඉන් විත්තිකරුවන් හය දෙනෙකු (6) පමණක් අධිකරණය හමුවේ පෙනී සිටිමින් නඩු විභාගයට මුහුණ දුන්නේය.

එම චෝදනාවලට වරද කරුවන් කෙරුණු අදාළ විත්තිකරුවන්ටද මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබුණි ෴

***************************************

CCTV කැමරාවේ සටහන් වූ තවත් සොරකමක්

(02.03.2022 – 11:38 +0530 – sinhala.adaderana.lk)

පසුගිය 26 වනදා කඳාන ප්‍රදේශයේ පිහිටි නිවසකට පාන්දර 2 කට පමණ ඇතුළු වූ තරුණයෙක් එම නිවසේ තිබූ රන්භාණ්ඩ, කැමරා කිහිපයක් සහ මුදල් සොරකම් කර තිබේ.

එම පුද්ගලයා නිවසට පැමිණෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.

***************************************

ජපාන සහ ඉන්දීය යුද නෞකා 3 ක් දිවයිනට

(02.03.2022 – 14:04 +0530 – hirunews.lk/sinhala)

ජපාන ස්වයං ආරක්ෂක සාගරිකා බලකායට අයත් යුද නෞකා දෙකක් (2) කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු ගණයට අයත් මෙම නෞකා දෙක මෙරටට පැමිණියේ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සදහායි.

ඒ අනුව පසුගිය 28 වන දා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරල නෞකාව සමග කොළඹට නුදුරු මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වුණා.

හෙට (03) මෙම නෞකා දෙක (2) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

එමෙන්ම, ඉන්දීය නාවික හමුදාවට අයත් නිරීක්ෂාක් කිමිදුම් සහයක නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වී තිබෙනවා.

පසුගිය 28 වන දා මෙම නෞකාව ද යොදා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව කිමිදුම් පුහුණු වැඩසටහනක් සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සදහන් කළේ.

ඒ අනුව එම නෞකාව ලබන 08 වන දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඕස්ට්‍රේලියානු අගමැතිට කොරෝනා – මහරැජිණ සුවය ලබයි

(02.03.2022 – 14:39 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔහු මේ වන විට නිරෝධායනයට ලක්වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඕස්ට්‍රේලියාවේ ඔපෙරා හවුස් හි යුක්රේනයට සහය දක්වමින් ඊයේ (01) පැවැත්වූ වැඩසටහනට ද ඔහු එක්ව සිටියේ නැහැ.

මේ අතර දෙවන (2) වරටත් කොරෝනා වෛරසය ආසාදනය වූ බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා.

95 හැවිරිදි වියේ පසුවන ඇය, මේ වන විට සිය දෛනික කටයුතු ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළා ෴

++++++++++

කොරෝනා ආසාදිතයින් 200 ක් සුවය ලබයි

(02.03.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 200 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,09,292 ක්.

නිවාසගතව සහ රෝහල්ගතව මේ වනවිට 21,412 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++

පුර්ණ එන්නත්කරණය ගැන ගැසට් නිවේදනයක් අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(02.03.2022 – 15:12 +0530 – hirunews.lk/sinhala)

ලබන අප්‍රේල් මස 30 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි කොරෝනා රෝග වැළැක්වීමට අදාළ පූර්ණ එන්නත්කරනයට ලක් නොවූ පුද්ගලයින් පොදු ස්ථානවලට ඇතුල් වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

මහාචාර්යවරයෙකු වන එෆ්.එම්. ජයතිලක විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ, මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මෙන්ම, පොලිස්පතිවරයා ඇතුළු 12 දෙනෙකු නම් කර තිබෙනවා ෴

++++++++++

තවත් කොරෝනා මරණ 23 ක්

(02.03.2022 – 19:49 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 23 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16,267 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *