පාප්වහන්සේ සහ කාදිනල් හිමි අතර හමුව අද (28) පස්වරුවේ

පාප්වහන්සේ සහ කාදිනල් හිමි අතර හමුව අද (28) පස්වරුවේ

*********************************************

පාප්වහන්සේ සහ කාදිනල් හිමි අතර හමුව අද (28) පස්වරුවේ

(28.02.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

පාස්කු විමර්ශනවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තවත් පැය කිහිපයකින් ශුද්ධෝත්තම පාප්වහන්සේ බැහැදැකීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03:30 ට පමණ වතිකානයේ – ශාන්ත පීතර චතුරශ්‍රයේ දී මෙම හමුව පැවැත්වීමට නියමිත බවයි අගරදගුරු ජනසන්නිවේදන ඒකකය සඳහන් කළේ.

අතිඋතුම් ශුද්ධෝත්තම පාප්වහන්සේ බැහැදැකීම සඳහා කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගියේ පසුගිය 23 වනදායි.

වතිකානයට ළඟා වූ කාදිනල් හිමිපාණන් වතිකානුවේ රාජ්‍ය ලේකම් පීත්‍රෝ පැරොලින් හිමිපාණන් ඇතුලු එරට ඉහළ පෙළේ කාදිනල් හිමිවරුන් කිහිපදෙනෙකු සමඟ ද සාකච්ඡා පවත්වා තිබෙනවා.

2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මෙතෙක් සිදු කර ඇති විමර්ශනයක් පිළිබඳවත් ඒ සම්බන්ධයෙන් මෙරට කතෝලික සභාවේ ස්ථාවරය පිළිබඳවත් ශුද්ධෝත්තම පාප්වහන්සේ කාදිනල් හිමියන් දැනුවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර කාදිනල් හිමිපාණන්ගේ වතිකානු සංචාරයට සමගාමී ව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය ඉල්ලා කළ විශේෂ යැදුමක්ද ඊයේ (27) වතිකානුවේ ශාන්ත පීතර චතුරශ්‍රයේදී පැවැත්වුණා.

එය සංවිධාන කර තිබුණේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සඳහා වූ ගෝලීය සංසදය විසින්.

පාස්කු විමර්ශනවල වත්මන් තත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ශුද්ධෝත්තම පාප් වහන්සේ වතිකානුවේ ශාන්ත පීතර චත්‍රරස්‍රයේදී හමු වී තිබෙන බව කතෝලික ජනසන්නිවේදන ඒකකය නිවේදනය කරනවා. අති උතුම් ශුද්ධෝත්තම පාප් වහන්සේ බැහැදැකීම සදහා කාදිනල් හිමිපාණන් වතිකානුව බලා පිටත්ව ගියේ පසුගිය 23 වනදායි ෴

පාස්කු ප්‍රහාරය ගැන කියන්න, කාදිනල් හිමිපාණන් පාප් වහන්සේ හමුවේ

(28.02.2022 – 18:52 +0530 – hirunews.lk/sinhala)

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානයේදී අද (28) ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දුටුවා.

ඒ, පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල වත්මන් තත්ත්වය පිළිබදව පැහැදිලි කිරීම සඳහායි. පසුගිය 23 වන දා කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගියා.

එහිදී කාදිනල් හිමිපාණන් වතිකානයේ රාජ්‍ය ලේකම් පීත්ත්‍රෝ පැරොලින් හිමිපාණන් ඇතුළු එරට ඉහළ පෙළේ කාදිනල් හිමිවරුන් කිහිප දෙනෙකු සමග ද සාකච්ඡාවල නිරත වුණා.

කාදිනල් හිමිපාණන්ගේ සංචාරය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද පැහැදිලි කිරීම සඳහා අද (28) කොළඹ අගරදගුරු නිළ නිවසේදී ද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

මේ අතර, බොරැල්ල – ආනන්ද රාජකරුණා මාවතේ සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා ඇතුලු තුන්දෙනෙකු ලබන මස 14 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (28) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

+++++++

***************************************

ජිනීවා මානව හිමිකම් සැසිය පස්වරුවේ ඇරඹේ

(28.02.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන නිත්‍ය සැසිවාරය අද (27) සිට අප්‍රේල් මස 01 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවාහී දි පැවැත්වෙනවා.

යුක්රේන අර්බුදයට එහි ඉහළම ප්‍රමුඛතාව හිමිව ඇති අතර, ශ්‍රී ලංකාව පිළිබඳව සාකච්ඡා කිරීමට දෙවන ප්‍රමුඛතාව හිමිව තිබෙනවා.

ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේගේ නවතම වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා එල්ල කර ඇති බවයි වාර්තාවන්නේ.

එම වාර්තාව පසුගිය 25 වනදා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වන සැසිවාරය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එමඟින් පසුගිය වසරක කාලය තුළ මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඇගයීමක් සිදුකර ඇති අතර, එහිදී මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ ලක් රජය විසින් මෑතක දී ගනු ලැබූ ප්‍රතිසංස්කරණ පියවර පිලිගන්නා නමුදු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ප්‍රවණතාව තවදුරටත් දක්නට ලැබෙන බවයි.

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත පිළිබඳව විශේෂ සඳහනක් කළ ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය එය, වැදගත් ආරම්භක පියවරක් ලෙස හඳුන්වා තිබෙනවා.

එහිදී රැඳවියන් සිටින ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා මහේස්ත්‍රාත් බලතල ඉහළ නැංවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවූවන්ගේ නඩු විභාග කඩිනම් කිරීම ආදී පියවර වැදගත් වනවා.

+++++++

ගෝලීය ශ්‍රී ලංකා සංසදය ජිනීවාහි දී විදේශ ඇමති හමුවෙයි

(28.02.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයට පෙර ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ යුරෝපයේ ශ්‍රී ලාංකික සංවිධාන නියෝජිතයන් පිරිසක් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන හමු වී තිබෙනවා.

ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් ද පැවති බවයි ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය හෙට (01) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි.

++++++++

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසි වාරය ඇරඹේ

(28.02.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන නිත්‍ය සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී අද (28) ආරම්භ වුණා. අප්‍රේල් මස 01 වනදා දක්වා පැවැත්වෙන මෙම සැසිවාරයේ දී ඉහළම ප්‍රමුඛතාව හිමිව ඇත්තේ, යුක්රේන අර්බුදයටයි.

මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිචෙල් බැචලේ විසින් පසුගිය 25 වනදා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 49 වන සැසිවාරය වෙත ඉදිරිපත් කළ වාර්තාව ලබන 03 වන දා සභාගත කිරීමට නියමිතයි.

එදිනට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙත අතර විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ගෝලීය ශ්‍රී ලංකා සංසදය සහ යුරෝපයේ ශ්‍රී ලාංකික සංවිධාන නියෝජිතයන් පිරිසක්, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයට සහභාගී වීමට ජිනීවා වෙත ගොස් සිටින විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන හමුවුණා.

ජිනීවා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී දෙපාර්ශවය අතර සාකච්ඡා පැවති බවයි ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

බස්නාහිර පළාතේ තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කෙරේ

(28.02.2022 – 09:30 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ තෝරාගත් ග්‍රාමසේවා වසම් 123 ක තාවකාලික පදිංචිකරුවන් 11,188 දෙනෙකුගේ තොරතුරු ලබාගැනීමට කටයුතු කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළා.

එහිදී විවිධ ප්‍රදේශවල සිට බස්නාහිර පළාතට පැමිණි තාවකාලික පදිංචිකරුවන් අතරින් 20 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි එම කාර්යාලය සඳහන් කළේ.

පළාතේ අනෙකුත් ග්‍රාම සේවා වසම්වල ද මෙම තොරතුරු ලබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි ෴

***************************************

පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් තිදෙනකු (3) රිමාන්ඩ්

(28.02.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන පුද්ගලයන් තුන්දෙනෙකු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් හලාවත වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රදීප් චමින්ද රොද්‍රිගෝ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කොම්පඤ්ඤ වීථිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු වන ඔහු, තමන් පදිංචි හලාවත – මල්වත්ත ප්‍රදේශයේ මාර්ගයේ රැඳී සිටින අවස්ථාවේ දී සැකකරුවන් අදාළ පහරදීම සිදුකර තිබුණා.

මෙම කොස්තාපල්වරයා මීට පෙර හලාවත පොලිසියට අනුයුක්තව සේවය කර ඇති අතර, එහිදී දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමක් නිරාකරණය කිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් අදාළ පහරදීම සිදුව ඇති බවයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

දෙමසක් තුළ රිය අනතුරුවලින් 457 දෙනෙකු මරුට

(28.02.2022 – 10:28 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනවාරි මස 01 වනදා සිට මේ මස 25 වනදා දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 434 කින් පුද්ගලයින් 457 දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ ඒ අතර යතුරුපැදි අනතුරු 177 ක්ද පවතින බවයි.

එමෙන්ම පසුගිය සතියක කාලය තුළ මාරක රිය අනතුරු 43 ක් සිදුවී පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මේ අතර කිලිනොච්චිය පුනරීන් සංගුපිට්ටි පාලම ආසන්නයේ දී යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නො හැකිව පැති බැම්මක ගැටීමෙන් එහි ගමන් ගත් මන්නාරම පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (27) පස්වරුවේ තුවාල ලැබුවා.

එමෙන්ම දික්වැල්ල – හුන්නදෙණිය මංසන්ධිය අසල දී ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ලොරි රථයක හා කැබ් රථයක ගැටී සිදු වූ අනතුරකින් මාර්ගයේ ගමන් කරමින් සිටි 78 හැවිරිදි කාන්තාවක් ද ඊයේ (27) ජීවිතක්ෂයට පත්වුණා.

මෙම අනතුරින් කැබ් රථයේ රියදුරු ඇතුලු තුන්දෙනෙකු (3) තුවාල ලැබුවා ෴

***************************************

ඇමති බැසිල්ගේ තවත් නඩුවක් ගැලවෙයි

(28.02.2022 – 12:48 +0530 – hirunews.lk/sinhala)

රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදහස් කර තිබෙනවා.

නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවට, නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම්දීමට අනුව මෙලෙස නිදහස් කරන බවයි කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක කියා සිටියේ.

සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පසුගිය 2015 වසරේ දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා ෴

***************************************

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද සිට

(28.02.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම අද ආරම්භ කෙරුණා.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දෙවන මහලේ එය ස්ථාපිත කර ඇති අතර, එම කොමිෂන් සභාවේ කටයුතු අද (28) ආරම්භ කෙරුණේ පෙරවරු 10 ටයි.

දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් කරන ලද කාර්යයන් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගෙන විමර්ශනය කර වාර්තා කිරීම සහ සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කළ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ජයවර්ධන, ඛේමා කුමුදුනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මෙහි සාමාජිකයින් වනවා.

ඒ අනුව සාක්ෂි විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක අද (28) කොමිසම වෙත පැමිණ සිටි අතර, බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ද බන්ධනාගාර නිලධාරීන් විසින් කොමිසම වෙත රැගෙන විත් තිබුණා.

එමෙන්ම හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර සහ එන්.කේ. ඉලංගකෝන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද කොමිසම වෙත අද (28) දිනයේ කැඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

***************************************

හිසට සුව සදන පුළුන් කොට්ටයේ අර්බුදය

(28.02.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

කාර්ය බහුල ජීවන රටාවක් ගතකරන ඕනෑම කෙනෙකු තම විඩාව සංසිඳුවා ගැනීම සඳහා සුවදායී නින්දක් ලබා ගැනීම සඳහා බොහෝවිට උත්සාහ දරනවා.

එලෙස සුවදායී නින්දක් සඳහා සුවදායී කොට්ටයක් කෙතරම් ප්‍රයෝජනවත් වෙනවද?

ඒ සුවදායී බව ඔබට ලබා දෙන කොට්ටය පසුපස ඇති කතාවයි මේ.

කොළඹ – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ උඩවලව සංකපාල දෙමටගල ප්‍රදේශය පසුකරමින් ගමන්ගන්නා ඕනෑම කෙනෙකුට මාර්ගය දෙපස දක්නට ලැබෙන සුලබ දසුනක් අපට ද දක්නට ලැබුණා.

මේ කොට්ට පුළුන් කඩයක් ළඟ නවත්වලා ස්වාභාවික පුළුන් යොදාගනිමින් සකස් කර ඇති පුළුන් කොට්ටයක් ගෙදර අරං යන්න මේ ස්ථානය පසු කර යන බොහෝ දෙනෙක් අමතක කරන්නේ නැහැ.

ඒ කෘතිම අමුද්‍රව්‍ය යොදාගෙන සාදන ලද කොට්ටයකට වඩා මේ ස්වාභාවික කොට්ටයක් මගින් ගතට මෙන්ම මනසටත් ලබා දෙන සුවය ගැන ඉතිහාසයේ පටන් අපි කවුරුත් දන්න නිසා.

නමුත් ඒ සුවය ලබා දෙන පුළුන් කොට්ටය නිෂ්පාදනය කිරීම නම් එතරම්ම සුවදායී නැහැ.

එය ඉතා සංකීර්ණ වන තරමටම පුළුන් කොට්ටයේ පවතින ප්‍රමිතිය ද ඉහළ නැංවෙනවා.

ස්වයං රැකියාවක් ලෙස සංකපාල දෙමටගල ප්‍රදේශයේ කාන්තාවන් ස්වාභාවික පුළුන් කොට්ට ඇතුළු විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කළත් ඒවා අලෙවි කර ගැනීම මේ වනවිට ගැටලුවක් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

වසර දෙකකට අධික කාලයක් පැවති කොවිඩ් තත්ත්වය හමුවේ මෙම ප්‍රදේශය පසුකරන වන්දනාකරුවන්ගේ සහ දේශීය සංචාරකයන්ගේ පැමිණීම පහත බැසීම ඊට එක් සාධකයක්.

බොහෝ විට ජනතාව දේශීය නිෂ්පාදන පසෙකට දමමින් විකල්ප නිෂ්පාදන වැළඳ ගැනීමත් තම ව්‍යාපාර කටයුතු අඩාල වීමට තවත් ප්‍රධානතම හේතුවක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

දේශීයත්වය පිළිබඳව නිරන්තරයෙන් කතාබහ කරන වකවානුවක මෙවැනි දේශීය නිෂ්පාදකයින්ගේ ගැටලු විසඳා ඔවුන්ගේ ආර්ථික ශක්තිමත් කිරීම බලධාරීන්ගේ වගකීමක් නොවේද?

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *