කුරුසියේ අතගසා පොරොන්දු වන බව හිටපු ජනපති මෛත්‍රී කියයි

කුරුසියේ අතගසා පොරොන්දු වන බව හිටපු ජනපති මෛත්‍රී කියයි

*********************************************

කුරුසියේ අතගසා පොරොන්දු වන බව හිටපු ජනපති මෛත්‍රී කියයි

(27.02.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට තොරතුරු ලැබී තිබූ බවට එල්ලවන චෝදනා, අසත්‍ය බවට, කුරුසියේ අතගසා පොරොන්දු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පොළොන්නරුව නිර්මල දේවමාතා කතෝලික දෙව්මැදුරේ අද උදෑසන පැවති දේව මෙහෙයට එක්වෙමින්.

***************************************

සීදුවේ දී මාරක රිය අනතුරක්

(27.02.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala)

සීදුව පොලිස් වසමේ මීගමුව – කොළඹ මාර්ගයේ 20 කණුව හන්දියේ දී මාරක රිය අනතුරක් සිදු වී තිබෙනවා.

ඒ ඊයේ (26) වැනි දා යි.

කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් එම දිශාවට ම ධාවනය වූ කන්ටේනර් රථයක් ඉස්සර කිරීමට යෑමේ දී එහි බඳේ ගැටී අනතුර සිදු වූ බව වාර්තා වනවා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මීගමු රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 22 ක මුණ්ණක්කරය – මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මීගමු රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, යතුරුපැදිකරුගේ හා කන්ටේනර් රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේ තූ වී ඇති බව යි වාර්තා වන්නේ.

කන්ටේනර් රථ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර, සීදුව පොලිසිය විසින් අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර, රත්නපුර – පැල්මඬුල්ල ප්‍රදේශයෙන් ද රිය අනතුරක් වාර්තා වනවා.

ජීප් රථයක් පදික වේදිකාවේ ගමන් ගත් කාන්තාවකගේ ගැටීමෙන් එම අනතුර සිදු වී ඇති අතර, වයස අවුරුදු 77 ක කාන්තාවක් ඉන් මියගොස් තිබෙනවා.

රුවන්වැල්ල – ගලිගමුව මාර්ගයේ තලෝවිට ප්‍රදේශයෙන් ද රිය අනතුරක් වාර්තා වන අතර, අපරීක්ෂාකාරී ව ගමන් කළ යතුරු පැදියක් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටීමෙන් එම අනතුරු සිදු වී ඇති බව යි වාර්තා වන්නේ.

අනතුරෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇති අතර, ඔහු වයස අවුරුදු 20 ක බද්දෙවෙල – රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැල්ලවත්ත පොලිස් වසමෙන් ද තවත් රිය අනතුරක් වාර්තා වනවා.

එහි දී කොළඹ – ගාල්ල මාර්ගයේ විවේකානන්ද හන්දියේ දී පෞද්ගලික බස් රථයක ගැටී මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 65ක පමණ යාචකයෙක් ෴

***************************************

අධ්‍යාපන සමුපකාර සමිතිවල සේවා බිඳ වැටේ

(27.02.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන සමූපකාර සේවකයන්ගේ වර්ජනය හේතුවෙන් දිවයින පුරා අධ්‍යාපන සමූපකාර සමිතිවල සමාජිකයන් අපහසුතාවයට පත්ව සිටිනවා.

ඔවුන් සඳහන් කළේ, වර්ජනය හේතුවෙන් සිය ගණුදෙණු කටයුතු සිදු කිරීමට නොහැකි තත්වයක් හටගෙන ඇති බවයි.

වර්ජනයට එරෙහිව කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලය ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශ වල අධ්‍යාපන සමූපකාර සමිති කාර්යාල ආශ්‍රිතව ඊයේ (26) දිනයේදී සාමාජිකයන් විරෝධතාවල නිරත වුණා.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමේදී අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය සඳහන් කළේ සිය වැටුප් හා දීමනා ගැටලු වලට විසඳුමක් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව අදාල වර්ජනය අද (27) පස්වන (5) දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමය ඇතුලු සමූපාකාර වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනය ආරම්භ කලේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් පත් කල කමිටුවක් මගින් නිර්දේශ කල රුපියල් දස දහසක (10,000) දීමනාව සහ රජය මගින් පසුගියදා ලබා දීමට අනුමත කල රුපියල් 5,000 දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින්.

ඒ අනුව දිවයින පුරා සිටින අධ්‍යාපන සමූපාකාර සේවකයන් පසුගිය 25 වනදා කොළඹ දී විරෝධතාවයේ නිරත වෙමින් සමූපාකාර කොමිෂන් සභාව වෙත කඩා වැඳී එහි ලේකම්වරිය සමග සාකච්ඡාවකද නිරත වුණා ෴

***************************************

මෙරට දී අසරණ වූ යුක්රේන ජාතිකයින්ට සහාය දීමේ සූදානමක්

(27.02.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala)

මව් රටට යෑමට නොහැකිව මෙරට තුළ සිටින යුක්රේන ජාතිකයින්ට නවාතැන් ලබාදීමට සූදානම් බව කළුතර ප්‍රදේශයේ විශ්‍රාමික යුද හමුදා හෙද නිලධාරියෙකු පවසනවා.

ඒ, රුසියානු ආක්‍රමණය හමුවේ මෙරට සිටින යුක්රේන ජාතිකයින් මුහුණ පා ඇති අසීරුතා පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ ඊයේ (26) අනාවරණ කිරීමත් සමඟයි.

රුසියානු – යුක්රේන යුද්ධය වර්ධනය වීමත් සමඟ මෙරටට පැමිණ සිටින යුක්රේන සංචාරකයින් යළි මව් රටට යාමට නොහැකිව දැඩි පීඩාවකට පත්ව සිටිනවා.

එම සංචාරකයින් පවසන්නේ තමන් රැඳී සිටින හෝටල්වලට මුදල් ගෙවීමේ ගැටලුවකට පවා මේ වනවිට තමන් මුහුණ දී සිටින බවයි ෴

***************************************

රුසියාවට තේ අපනයනය කිරීමේ ගැටලුවක් නෑ – තේ මණ්ඩලය

(27.02.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

රුසියාවට තේ අපනයනය කිරීමේ ගැටළුවක් මේ දක්වා පැන නැගී නොමැති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ කෙසේ වෙතත්, අපනයනය කළ තේ සඳහා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් යම් ප්‍රමාදවීම් ඇති වීමට ඉඩකඩ පවතින බවයි.

මෙරට තේ අපනයනය කරන රටවල් අතර ඉරාකය සහ තුර්කියට පසු 03 වැනි ස්ථානයේ පසුවන්නේ රුසියාව වන අතර, 2021 වසරේ දී රුසියාවට අපනයනය කර ඇති තේ ප්‍රමාණය කිලෝ මිලියන 29 ක්.

එහි වටිනාකම රුපියල් මිලියන 24,822 ක්.

මෙරට තේ අපනයනය අතින් 18 වැනි ස්ථානයේ පසුවන යුක්රේනයට පසුගිය වසරේ දී මෙරටින් තේ කිලෝ මිලියන 04 ක් අපනයනය කර ඇති අතර, එහි වටිනාකම රුපියල් මිලියන 4,279 ක්.

රටවල් රැසකින් රුසියාවට සම්බාධක පනවමින් සිටින පසුබිමක ජාත්‍යන්තර බැංකු හරහා ගනුදෙනු කිරීම රුසියාවට මේ වනවිට ගැටලු‍වක් වී තිබෙනවා.

***************************************

දුම්රිය ස්ථාන නවීකරණයට පියවර

(27.02.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට තෝරාගත් සංචාරක දුම්රිය ස්ථාන පෞද්ගලික අංශයේද සහයෝගය ලබා ගනිමින් නව පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ද ලැබී ඇති බවයි ෴

***************************************

කුඩු රජු රොෂාන්ගේ ප්‍රධාන ගෝළයෙක් අත් අඩංගුවට

(27.02.2022 – 09:55 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් සිදු කළ වටලීමක දී කුඩු රොෂාන් නැමැති මත් ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝළයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පෙරේදා (25) දිනයේ දි.

මෙලෙස අත් අඩංගුවට ගෙන් ඇත්තේ, කඩුවෙල ප්‍රදේශයේ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ජාවාරම්කරුවකු වන රෝෂාන් (කුඩු රොෂාන් ) නැමැත්තාගේ ප්‍රධාන ගෝළයෙක්.

සියඹලාපේ පදිංචි වයස අවුරුදු 35 ක පුද්ගලයෙකු වන මොහු සතු ව අත් අඩංගුවට ගන්න අවස්තාවේ දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑමි 64 ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක සහිත රුපියල් 1,00,000.00 ක මුදලක් තිබුණු බව යි පොලිසිය වාර්තා කරන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු නවගමුව පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති ෴

***************************************

එක්සත් ජාතීන්ගේ 5 වැනි පාරිසරික සමුළුවට පරිසර ඇමති කෙන්යාවට

(27.02.2022 – 10:49 +0530 – hirunews.lk/sinhala)

කෙන්යාවේ නයිරෝබි නුවර හෙට ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 5 වන පාරිසරික සමුළුවට සහභාගිවීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (26) දිවයිනෙන් නික්මුණා.

සමුළුව මාර්තු 02 වන දා දක්වා පැවැත්වෙන අතර, එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනෙහි 50 වන සංවත්සරය මාර්තු 03 සහ 04 යන දිනයන්හි දී පැවැත්වෙනවා.

ජගත් පාරිසරික සමුළුවේ දී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව වායුගෝලයට කාබන් මුදාහැරිම වලක්වා ගැනීම සඳහා ගෙන ඇති පියවර මෙන්ම පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබා දී ඇති නිර්දේශ පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිත යි.

සමුළුව සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිිත පිරිසට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද ඇතුළත් ෴

***************************************

ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (8) නාවික හමුදා භාරයට

(27.02.2022 – 11:47 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වූ ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

තලෙයිමන්නාරමට උතුරු දෙසින් වු මුහුදු තීරයේ සිදුකළ මුර සංචාරයක දී නීතිවිරෝධි පන්න ක්‍රමයට ධීවර කටයුතු සිදු කරමින් සිටියදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා සදහන් කළේ.

මේ වසරේ පෙබරවාරි මාසය තුළ දී පමණක් මෙරට මුහුදු තීරයට ඇතුලුවී අනවසර ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා 09 ක් සමඟ ඉන්දීය ධීවරයින් 59 දෙනෙකු නාවික හමුදාව සියභාරයට ගෙන තිබෙනවා ෴

***************************************

ඉන්දියාවෙන් ආර්ථික පැකේජයක්

(27.02.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ආර්ථික ආධාර පැකේජයක් ලැබීමට නියමිත බව වාර්තා වනවා.

එය අනුමත කිරීම අවසන් අදියරට පැමිණෙමින් තිබෙන බවත් සඳහන්.

මේ අතර, විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ ප්‍රේෂණ මේ වසරේ ජනවාරි මාසයේදී පසුගිය වසරට සාපේක්ෂව සියයට 61.6 කින් පහත වැටී තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ නවතම දත්තවලට අනුව ජනවාරි මාසයේදී එලෙස ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 259.2 ක්.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නිල නොවන මාර්ග හරහා ඉහළ අනුපාතයක් යටතේ මුදල් එවීමට පෙළඹීම මෙලෙස ප්‍රේෂණ පහත වැටීමට හේතුවක් ලෙස සැළකෙනවා.

මහ බැංකුව විසින් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන අතර, ඩොලරයක විකිණුම් මිල සටහන් වන්නේ රුපියල් 203 ක් ලෙසයි.

ප්‍රේෂණ දිරිගැන්වීමේ පියවරක් ලෙස ඩොලරයක් සඳහා අමතර රුපියල් 10 ක් ගෙවීමට මහ බැංකුව වානිජ බැංකුවලට අවසර ලබාදී තිබුණද මුදල් හුවමාරු වෙළඳපාලේ ඒ සඳහා රුපියල් 245 ක පමණ අනුපාතයක් ලැබෙන බවයි වාර්තාවන්නේ ෴

***************************************

මෙරට යුක්රේන සංචාරකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරෙයි

(27.02.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හා යුක්රේන ගැටුම හේකුවෙන් සිය රට බලා යාමට නො හැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පෙන්වා දෙන්නේ හෙට (28) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මෙ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බවයි.

දැනටමත් මේ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශය ආගමන විගමන ‍දෙපාර්කමේන්තුව සමග සාකච්ඡාකරමින් සිටින බවද ඔහු පෙන්වා දෙනවා.

සංචාරකයන් සදහා වීසා ලබා දෙන්නේ අවම මාසයක (1) කාලයකට බැවින් මේ වන විට මෙරට රැඳී සිටිට යුක්රේන ජාතිකයන්ගේ වීසා අවසන් වන කාලය ද සැලකිල්ලට ගෙන අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට යි මින් අපේක්ෂා කෙරෙන්නේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව මේ වන විට යුක්රේන සංචාරකයන් 4000 කට ආසන්න පිරිසක් මෙරට රැදී සිටින අතර, මෙරට රැදී සිටින රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 11500 කට ආසන්න ප්‍රමාණයක්.

මේ අතර, රුසියාව විසින් ‍යුක්‍රේන රාජ්‍යය ආක්‍රමණය කිරීමට එරෙහිව ලෝකයේ විවිධ රාජ්‍යයන් තුළ ඊට සිය අප්‍රසාදය පළ කෙරෙමින් විරෝධතා සංවිධානය කර තිබෙනවා.

එවැනි ම විරෝධතා කිහිපයක් මෙරට තුළදිත් මේ දිනවල පැවැත්වෙන අයුරු දැකිය හැකියි.

ඒ මෙරටට සංචාරකයින් ලෙස පැමිණ සිටින යුක්‍රේන ජාතිකයින් විසින්.

එම යුක්‍රේන ජාතිකයින් සිය රටට යාමට නොහැකිව සිටින අතර, ඔවුන් රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ට දැඩි දොස් පවරනවා.

ඔවුන් කියා සිටින්නේ, මෙවැනි යුදමය තත්ත්වයක් තුළ සිය මව්‍ රට දැඩි අසීරුවකට පත්ව ඇති බවත්, එතුළින් සිය වැසියන් බොහෝ ගණනක් ජීවිතක්ෂයට ද පත්ව ඇති බවයි.

මෙම විරෝධතා ඊයේ (26) මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට පැවැත්වුණු අතර, අද (27) දින මාතර මිරිස්ස ප්‍රදේශයේ දී ද ගාල්ල – කොටුව ප්‍රදේශයේ දී ද පැවැත්වුණා.

***************************************

බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමක්

(27.02.2022 – 14:47 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුල පැය 8 ක කාලයකදී සිදු කළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතලු පුද්ගලයන් 1084 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) උදෑසන 8 සිට සවස 4 දක්වා බස්නාහිර පළාතේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන ආකාරයෙනුයි මෙහෙයුම සිදුකර ඇත්තේ.

ඊට එක්වූ නිලධාරීන් සංඛ්‍යාව 1667 ක්.

මෙහිදී වරෙන්තුකරුවන්, විවිධ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරැවන්, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

වරෙන්තුකරුවන් 556 ක්, විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් 34 ක් සහ තවත් පුද්ගලයන් 142 ක් සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය නිවේදනය කළේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් 352 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින්, ගංජා, අයිස්, නීති විරෝධී මත්පැන් ඊට අයත්.

මෙහිදී හෙරොයින් ග්‍රෑම් 125 යි මිලිග්‍රෑම් 78 ක්, ගංජා ග්‍රෑම් 170 ක්, අයිස් ග්‍රෑම් 210 යි මිලිග්‍රෑම් 90 ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් 1473 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

බත්තරමුල්ලේ සුරංගගේ මව සහ නැගණිය අත්අඩංගුවට

(27.02.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බත්තරමුල්ලේ සුරංග නමැත්තාගේ මව සහ නැගණිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බත්තරමුල්ල – උඩුමුල්ල පාරේ කොට්ටගේවත්ත ප්‍රදේශවාසීන්ට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

අද (27) උදෑසන සුරංග නමැත්තා එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 5 දෙනෙකුට තර්ජනය කොට බිය වද්දා, පහර දී තුවාල සිදුකර තිබෙනවා.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව සුරංග නමැත්තා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ මව සහ නැගණිය තලංගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *