දඹදෙණිය, වඩුවාකෙටූගල විනාශ කිරීම : ‘හිරු CIA’ අනාවරණයෙන් පසු බලධාරී දෑස් විවර වෙයි

දඹදෙණිය, වඩුවාකෙටූගල විනාශ කිරීම : ‘හිරු CIA’ අනාවරණයෙන් පසු බලධාරී දෑස් විවර වෙයි

*********************************************

දඹදෙණිය, වඩුවාකෙටූගල විනාශ කිරීම : ‘හිරු CIA’ අනාවරණයෙන් පසු බලධාරී දෑස් විවර වෙයි

(26.02.2022 – 20:10 +0530 – hirunews.lk/sinhala)

දඹදෙණිය, වඩුවාකෙටූගල විනාශ කිරීමට බලපත්‍ර ලබා දුන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන්ගෙන්ම මෙම විනාශය පිළිබඳ වාර්තා කැදවීම විමතියට කරුණක් බව පුජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පවසනවා.

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසු වඩුවාකෙටූගලට සිදු වු විනාශය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයාගේ මැදිහත්වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් උන්වහන්සේ මේ පිළිබද අදහස් පළ කළා.

මෙරට තුන්වැනි (3) රාජධානිය වන දඹදෙණියට අයත් ඓතිහාසික වඩුවාකෙටූගලේ පාදම සුණුවිසුණු කරමින් ගල් කොරියක් පවත්වාගෙන යන බව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප පසුගිය 23 වැනිදා හෙළි කළා.

ඒ අනුව මෙහි සිදුව ඇති නිදන් හෑරීම් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීම සදහා ඊයේ (25) ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම ස්ථානයට පැමිණියා.

නිදන් හෑරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ගල් කොරියේ සේවය කළ පුද්ගලයන් තුන් දෙනෙකු (3) ඊයේ (25) ගිරිඋල්ල පොලිසිය වෙත කැදවා තිබුණා.

මේ අතර, දඹදෙණිය – වඩුවාකෙටූගල සම්බන්ධයෙන් ‘හිරු සී.අයි.ඒ.’ කළ අනාවරණයට ඊයේ (25) පාර්ලිමේන්තුවේ අවධානයට ද යොමු වුණා.

***************************************

බගවන්තලාවට අයිස් වැස්සක්

(26.02.2022 – 19:47 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් අද (26) පස්වරුවේ හා රාත්‍රියේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි.

මේ අතර, බගවන්තලාව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අයිස් වැස්සක් පතිත වී තිබෙනවා.

බගවන්තලාව නගරය, බගවන්තලාව ආරියපුර, සිරිපුර යන ප්‍රදේශවලට විනාඩි 30 ක පමණ කාලයක් වර්ෂාව සමග අයිස් වැස්ස පතිත වූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ ෴

***************************************

ඉඩම් ආරවුලකට ගිය පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්

(26.02.2022 – 20:49 +0530 – hirunews.lk/sinhala)

දොම්පෙ – පාළුගම – ගලකොන ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔවුන්ගේ ඥාතීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

+++++++

උක් ගොවීන්ගෙන් රජයට රතු එළියක්

(26.02.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala)

උක් කිලෝවක් සඳහා රුපියල් දෙකක (2) මිල වැඩි කිරීමක් ඉල්ලා සෙවණගල උක් ගොවීන් අස්වනු නෙළීමේ කටයුතුවලින් ඉවත් වුණා.

ඔවුන් පවසන්නේ මෙම ගැටළුවට නිසි විසඳුම් නොලැබුණහොත් උක් වගාවෙන් ද ඉවත් වන බවයි.

+++++++

කැබ් රථයක ගැටී කතක් මරුට

(26.02.2022 – 22:00 +0530 – hirunews.lk/sinhala)

අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ කැබ්රථයක් මහමග ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී සිදු වූ අනතුරින් එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වුණා.

මෙම පුවත වාර්තා වන්නේ රත්නපුර නගරයේ පැල්මඩුල්ල – ලෙල්ලොපිටිය ප්‍රදේශයෙන්.

අනතුරින් මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

අදාළ අනතුර සිදු වන ආකාරය අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක ද සටහන්ව තිබුණා.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් ආසාදිතයන් 249 ක් සුව අතට

(26.02.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 249 ක් සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,08,475 ක් දක්වා ඉහළ යනු ඇති. වසංගත රෝග විද්‍යා අංශය මේ බව නිවේදනය කළා ෴

++++++++++

තවත් කොරෝනා මරණ 24 ක්

(26.02.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 24 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 8 ක් සහ පිරිමින් 16 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 5 ක්.

කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමි තුන්දෙනෙකු (3) ඒ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමින් 13 ක් සහ කාන්තාවන් 6 ක් වශයෙන් මරණ 19 ක් වාර්තා වුණා.

අද (26) වාර්තා කළ මෙම මරණ 24 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,166 ක් ලෙසටයි.

මේ අතර මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 6,43,072 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් 18,455 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,08,475 ක් ෴

+++++++++

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු පෝලන්තයට

(26.02.2022 – 07:35 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හෙළා දැකීමේ යෝජනාවක් ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී ඊයේ (25) පරාජයට පත්වුණා.

ඒ, ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන රුසියාව නිෂේධ බලය භාවිත කිරීම හේතුවෙන්.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15 දෙනා අතුරෙන් 11 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, ඉන්දියාව, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවට යාමට ඉල්ලීම් කළ යුක්‍රේනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනෙකුගේ තොරතුරු පෝලන්ත දේශසීමා බලධාරීන් වෙත ලබා දුන් බව යුක්‍රේනයේ කියෆ් වෙත සමගාමීව පිහිටුවා ඇති තුර්කියේ අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති ආර්. හසන් පවසනවා.

එලෙස කැමැත්ත පළ කළ පිරිසට ආරක්ෂා සහිත ව පෝලන්ත දේශසීමාව වෙත ගමන්කරන ලෙස දැනුම්දුන් බවයි තුර්කියේ සිට හිරු ප්‍රවෘත්තී අංශය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

යුක්‍රේනයේ මේ වන විට ශ්‍රී ලාංකිකයින් 59 දෙනෙකු රැඳී සිටින අතර 20 දෙනෙකු පමණ කියෆ් අගනුවර සිටින බව තානාපතිවරයා සඳහන් කළා ෴

***************************************

කිව් උමං දුම්රිය ස්ථානයේ දී ගර්භනී මවකට දරු ප්‍රසූතියක්

(26.02.2022 – 08:04 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදා ඉදිරි පැය කිහිපය තුළ කියෆ් අගනුවර මධ්‍යයට කඩාවදිනු ඇතැයි යුක්රේන ජනාධිපති වොල්ඩොමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

යුක්රේන අගනුවර වටලා සිටින රුසියානු හමුදා ඉදිරි පැය කිහිපය තුළ නගර මධ්‍යයට කඩාවදිනු ඇතැයි යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඊයේ (25) රාත්‍රියේ වීඩියෝ පටයක් නිකුත් කරමින්.

රැය කොතෙක් දුෂ්කර වුවත්, ඉර උදාව නියත බවයි ඔහු සඳහන් කළේ.

එහි දී සතුරා විසින් යුක්රේන ප්‍රතිරෝධය මැඩලීමට උත්සාහ දරනු ඇති බව පැවසූ ජනාධිපති සෙලෙන්ස්කි, යුක්රේනය ලබාගත් නිදහස රැකගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදුන්නා.

සාම සාකච්ඡා සඳහා යුක්රේනය දොරටු වසා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ, ලේ වැගිරීමක් වැළැක්වීම තම ඉලක්කය බවයි.

කෙසේ නමුත් යුක්රේන පාලකයන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සහ නාසිවාදීන් ලෙස හැඳින්වූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔවුන්ගේ පාලනය පෙරළා දමන ලෙස යුක්රේන හමුදාවෙන් ඉල්ලා සිටියා.

එහෙත් රුසියානු නායකයාගේ ප්‍රලාප ලෝකය විශ්වාස නො කරන බවයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි කියා සිටියේ.

මේ අතර කියෆ් අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් හමුදා කඳවුර රුසියානු හමුදා විසින් අත්පත් කරගෙන ඇති අතර, එහි සිට අගනගරයට කඩාවැදීම දුෂ්කර නොවන බවයි ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

කියෆ් නගරාධිපති හිටපු හෙවිවේට් බොක්සිං ශූර විටාලි ක්ලිට්ස්ච්කෝ කියා සිටියේ, දුෂ්කර සමයක් ඉදිරියේ එළඹෙනු ඇති බවයි.

මේ අතර රුසියාවට අයත් විශාල ගුවන් යානයක් තමන් බිම හෙලූ බව යුක්රේන සන්නද්ධ හමුදා ප්‍රධානියා සඳහන් කළා.

කෙසේ නමුත් ඉලියුෂින් හැත්තෑ හය වර්ගයේ මෙම ගුවන් යානය බිම හෙලීමේ පුවත මෙතෙක් සනාථ වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර, රුසියානු ප්‍රහාර මධ්‍යයේ කියෆ් උමං දුම්රිය ස්ථානයේ රැකවරණ ලබමින් සිටින ගර්භනී මවක් ඊයේ (25) එහි දරු ප්‍රසූතියක් සිදු කර ඇති බව ද වාර්තා වනවා.

උමං දුම්රිය ස්ථානයේ නවතා ඇති දුම්රිය, ජනතාවට රැකවරණ ලැබීම සඳහා විවෘතව පවතින බව සඳහන්.

එහි යුක්රේන කාන්තාවක් දරුවෙකු බිහිකිරිමේ පුවත ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වුණා ෴

***************************************

යුක්රේනයේ සාමය ගැන බලාපොරොත්තුවක්

(26.02.2022 – 08:19 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනය සහ රුසියාව සාම සාකච්ඡා පැවැත්විය හැකි වේලාවක් සහ ස්ථානයක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලන්ස්කිගේ ප්‍රකාශකයා සඳහන් කළා.

යුක්රේනය සමඟ සාකච්ඡා කිරීම සඳහා සූදානම් බව රුසියාව ද ඊයේ (25) ප්‍රකාශ කළ අතර, ඒ සඳහා යෝජනා කර තිබුණේ බෙලරුස් රාජ්‍යයේ මින්ස්ක් අගනුවර යි.

එහෙත් පෝලන්තයේ වෝර්සෝ නුවර යුක්රේනය විසින් යෝජනා කර තිබුණා.

මේ අතර යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් වෙත සම්බාධක පැනවීමට බටහිර රටවල් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපා සංගමයේ, එක්සත් රාජධානියේ සහ කැනඩාවේ පවතින ඔවුන්ගේ වත්කම් තහනම් කෙරෙන අතර, එම රටවල සංචාරය කිරීම ද තහනම් වනවා.

මේ අතර යුරෝපීය චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් තරග, යුරෝවිෂන් ගායනා තරගය මෙන්ම ෆෝමියුලා වන් ග්‍රෝන් ෆ්‍රී මෝටර් රථ ධාවන තරග රුසියාවේ නො පැවැත්වීමට තීරණය වී තිබෙනවා ෴

***************************************

සටන් විරාමයකට සහ සාම සාකච්ඡාවලට යුක්රේන ජනපති සූදානමින්

(26.02.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

වහාම රුසියාව සමඟ සටන් විරාමයකට සහ සාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ ප්‍රකාශකයෙකු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රුසියානු සහ යුක්රේන නිලධාරීන් මේ වන විට සාකච්ඡා පැවැත්විය යුතු වේලාවක් සහ ස්ථානයක් පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසුවා.

එමෙන්ම රුසියාව සමඟ සාකච්ඡා කිරීම තම රජය ප්‍රතික්ෂේප කළ බවට පළවන වාර්තා ද යුක්රේන ජනපතිගේ ප්‍රකාශකයා ප්‍රතික්ෂේප කරනවා.

ඔහු අවධාරණය කළේ, තමන්ගේ නිරන්තර ස්ථිරසාර මතය වන්නේ සාකච්ඡා මාර්ගයෙන් මෙම තත්ත්වය විසඳා ගැනීම සිදු කළ යුතුය යන්න බවයි.

මේ අතර යුක්රේනයේ කිව් අගනුවර රුසියානු හමුදා විසින් ආක්‍රමණය කර ඒ ආසන්නයේ පිහිටි ගුවන්තොටුපලක බලය තහවුරු කර ගැනීමත් සමඟම පිපිරීම් හඬක් ඇසෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු හමුදාව කිව් අගනුවර අසල පිහිටි ප්‍රධාන ගුවන්තොටුපොළෙහි පාලනය අත්පත්කර ගත් බව තම ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළ බවයි රුසියාවේ ප්‍රවෘත්ති අංශ වාර්තා කළේ.

ඒ සඳහා රුසියානු හෙලිකොප්ටර් 200 ක් සහ ගොඩබෑමේ හමුදා බලකායක් යොදාගත් බව එහි දැක්වෙනවා.

කිව් නගරය ගුවන් ප්‍රහාරයන්ට ද ලක්වෙමින් පවතින අතර, නගරවාසීන් රැකවරණය පතා මේ වනවිට භූගත දුම්රිය ස්ථානවලට එක් රොක්ව සිටිනවා.

ඊයේ (25) උදෑසන නගරයට අඛණ්ඩ ගුවන් ප්‍රහාර එල්ල වූ අතර, එහි ප්‍රතිඵල ලෙස ඇතැම් මහල් නිවාසවල ජනේල පුපුරා ගොස්, වීදිවල දැවැන්ත ආවාට නිර්මාණය වී තිබෙනවා.

නගරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙට්‍රල් බෝම්බ නිපදවන ලෙසට යි යුක්රේන රජය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ.

රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කිරීම සඳහා ස්වේච්ඡා සේවකයන්ට මේ වනවිට ගිනි අවි 18,000 ක් පමණ ලබා දී තිබෙනවා.

මේ අතර රටේ නායකත්වය පෙරළා දමන ලෙසට ව්ලැද්මීර් පුටින් යුක්රේන හමුදා සෙබලුන්ට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් යුක්රේන ජනාධිපතිවරයා අවධාරණය කළේ තමන්, කිව් නුවර හැර නො යන බවයි.

මේ අතර යුරෝපා සංගමය රුසියානු ජනාධිපතිගේ සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයාගේ වත්කම් අත්හිටුවා ඇති අතර එක්සත් රාජධානිය ද එය අනුගමනය කරන බවට යි ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර දේශසීමා නොමැති වෛද්‍යවරු සංවිධානය යුක්රේනයේ සිය සේවා කටයුතු අත්හිටුවීමට තීරණයක් ගෙන තිබෙනවා.

මෙම වෛද්‍ය සංවිධානය එහි ප්‍රංශ නාමය වන Medecins Sans Frontieres (MSF) ලෙසින් ද හඳුන්වනු ලබන අතර, බොහෝ විට යුද කලාපවල රැඳී සිටිනවා.

කෙසේ වෙතත් උග්‍ර වන ගැටුම් හේතුවෙන් එහි මෙහෙයුම් නතර කිරීමට තමන්ට බලකෙරුණු බවයි ඔවුන් පවසන්නේ.

මේ වන විට යුක්රේනයේ නවතම වාර්තාවන්ගේ දැක්වෙන්නේ රුසියානු හමුදාවන් කිව් අගනුවරට ඇතුළු වී එහි උතුරු දෙසින් පිහිටි ඔබොලොන් දිස්ත්‍රික්කය වටා කේන්ද්‍රගත ව සිටින බව යි.

මෙම ප්‍රදේශය කිව් පාර්ලිමේන්තුවට සහ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 9 ක් උතුරින් පිහිටා තිබෙනවා.

යුක්රේන වේලාවෙන් පෙරවරු 10 ට පමණ එරට, ආරක්ෂක අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, සතුරු රුසියානු ක්‍රියාකාරීන් එම ප්‍රදේශයට පැමිණ සිටින බවයි.

සාමූහිකව පෙළගැසී සතුරා සමග සටන් කිරීම සඳහා පෙට්‍රල් බෝම්බ සාදන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර, ඔබොලොන්හි බොහෝදුරට හිස්ව ඇති මාර්ගවල සන්නද්ධ රථ ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ කීපයක් අන්තර්ජාලයේ ද සැරිසරනවා.

සිවිල් වැසියන් සහ හමුදා නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයින් අතර සටන් සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද ඒ අතර වනවා.

එමෙන්ම පිළිකා රෝහලක් ද රුසියානු ප්‍රහාරවලට ලක්වන වීඩියෝ සමාජ මාධ්‍යයෙන් හුවමාරු වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෝකයේ දරුණුතම න්‍යෂ්ටික ව්‍යසනය සිදු වූ යුක්රේනය චර්නොබිල් සංකීර්ණයේ පාලනය ද රුසියානුවන් විසින් අත්පත් කරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේනයේ වෙනත් ප්‍රදේශවල සාමාන්‍ය වැසියන් විශාල පිරිසක්, ගැටුම් හේතුවෙන් සහ රුසියානු හමුදා තම ප්‍රදේශය වෙත පැමිණීම හේතුවෙන් පළා යමින් පසුවනවා.

හංගේරියාව පවසන්නේ, සිය දේශසීමාව තුළ යුක්රේනය දෙස සිට කිලෝමීටර් පහක් (5) පමණ දක්වා දිග මෝටර් රථ පෝලිමක් ඇති බවයි.

මේ අතර කළු මුහුදේ දූපතක සිටි දේශසීමා ආරක්ෂකයින් 13 දෙනෙකු රුසියානු යුද නෞකාවකට යටත් වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මරා දැමූ සිදුවීමක් ද වාර්තා වනවා.

දශක ගණනාවකට පසු යුරෝපයේ ඇති වූ පළමු ප්‍රධාන ගොඩබිම් යුද්ධයට ජාත්‍යන්තර ප්‍රජාව ද මේ වන විට ප්‍රතිචාර දක්වමින් සිටිනවා.

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපයේ එක් රාජ්‍යයකට එරෙහි ව තවත් රාජ්‍යයක් සිදු කළ දරුණුම ප්‍රහාරය මෙය ලෙසට යි සැලකෙන්නේ.

2022 චැම්පියන්ස් ලීග් පාපන්දු අවසන් මහා තරගයේ සත්කාරකත්වය දැරූ රුසියාව, යුක්රේන ආක්‍රමණය කිරීම හේතුවෙන්, එම සත්කාරකත්වයෙන් ඉවත්කර තිබෙනවා.

එම තරග පැරිස් නුවරට ගෙන යාමට යි තීරණය කර ඇත්තේ.

රුසියාව ද ෆෝමියුලා 1 තරගයෙන් ද ඉවත්කර තිබෙනවා.

මේ අතර රුසියාව යුක්රේනය ආක්‍රමණයට එරෙහිව විරෝධතාවයේ නිරත වූ සිය ගණනක් අත්අඩංගුවට ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය හෙළා දකිනවා.

පුද්ගලයන් 1800 ක් පමණ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවයි වාර්තා වන්නේ.

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, බොරිස් ජොන්සන් සහ අනෙකුත් ලෝක නායකයින් සමග ඊයේ (25) උදෑසන සාකච්ඡා පවත්වනු ලැබුවා.

යුක්රේන හමුදාවන්ගේ නිර්භීතකම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ‘ඉතාමත්ම පැහැදී සිටින බව’ බ්‍රිතාන්‍ය අගමැති ප්‍රකාශ කළ අතර, නායකයින් දෙදෙනා (2) රුසියාවට එරෙහි සම්බාධක පිළිබඳව සාකච්ඡා කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ, රුසියානු ගුවන් යානයක් කියෙව්හි ඩානිට්ස්කි දිස්ත්‍රික්කයට ඉහළ අහසේ දී වෙඩිතබා බිම හෙලූ බව යි.

නමුත් මෙම වාර්තාවන්හි සත්‍යතාව මෙතෙක් සනාථකර නැහැ.

ගැටුම් ඇරඹීමෙන් අනතුරුව, රුසියානු හමුදා විසින් උතුරුදිග යුක්රේනයේ, බෙලාරුසියානු දේශසීමාවට ආසන්නව, කියෙව් සිට කිලෝමීටර් 93 ක් දුරින් පිහිටි පැරණි චර්නොබිල් න්‍යෂ්ටික සංකීර්ණයේ පාලනය ද අත්පත්කර ගෙන තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදය පවසන්නේ යුක්රේන සොල්දාදුවන් ප්‍රාණ ඇපකරුවන් ලෙස එහි රඳවාගෙන සිටින බවයි.

රුසියානු හමුදා, යුක්රේන සිවිල් වැසියන් සිටින ස්ථාන රැසක් ඉලක්කකර ගනිමින් ප්‍රහාර සිදු කරන බව යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

“රුසියානුවන් කියනවා ඔවුන් සිවිල් ස්ථානයන්ට පහර දෙන්නේ නැහැ කියලා, නමුත් පසුගිය පැය 24 තුළ සිවිල් ස්ථාන 33 කට ප්‍රහාර එල්ල වෙලා තියෙනවා,” යනුවෙන් එම ප්‍රකාශකයා රොයිටර් පුවත් සේවයට කියා සිටියා.

ඊයේ (25) සවස, යුක්රේන ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රට ආරක්ෂා කරන ජනතාවගේ උත්සාහයන්ට සිය ආචාරය පුද කළ අතර සෙබළුන්ගේ සහ සිවිල් වැසියන්ගේ නිර්භීතකමට උපහාර දක්වනු ලැබුවා.

ඊයේ (25) ගැටුම් හමුවේ අවම වශයෙන් යුක්රේන ජාතිකයන් 137 ක් පමණ මියගිය බව සඳහන්.

යුක්රේනය අවි දැරිය හැකි සියලු ම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ මව්බිම ආරක්ෂා කිරීමට එක්වන ලෙසට යි.

ඒ සඳහා වයස් සීමාවක් බල නොපානා බව හමුදා අණදෙන නිලධාරියාගේ ප්‍රකාශයේ සඳහන් වුණා.

කෙසේ වෙතත්, ආරක්ෂක අමාත්‍ය අලෙක්සි රෙස්නිකොෆ්ගේ පසුව නිකුත් කළ ප්‍රකාශයකින් විස්තර කළේ, ‘වයස් සීමාවක් නැතැ’යි කීමෙන් අදහස් කළේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් හැඟවීම සඳහා බවයි.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට සම්බාධක පැනවීම සඳහා යුරෝපා සංගමයට සහ එක්සත් රාජධානියට සම්බන්ධ වීමට ඇමරිකා එක්සත් ජනපදය සැලසුම් කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි ධවල මන්දිරය මෙය හෙළිකර ඇත්තේ.

සිකුරාදා දෛනික මාධ්‍ය සාකච්ඡාවේ දී වාර්තාකරුවන් හමුවේ අදහස් දක්වමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි පැවසුවේ යුරෝපීය මිතුරු රටවල තීරණයට අනුව එක්සත් ජනපදය රුසියානුවට එරෙහි සම්බාධක අනුමත කරන බවයි.

එහෙත් පුටින්ට සහ ලැව්රොව්ට එරෙහිව එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය පනවා ඇති සම්බාධක මගින් වත්කම් කැටි කිරීමක් මිස සංචාරක තහනමක් සිදු නොවන බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඇමරිකා එක්සත් ජනපදය පනවන සම්බාධකවලට අනුව සංචාරක තහනමක් ද ඇතුළත් වනු ඇති බව මාධ්‍ය ප්‍රකාශිකාව කියාසිටියා.

සම්බාධක පිළිබඳ වඩාත් නිශ්චිත තොරතුරු පසුව නිකුත් කරන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනය සමඟ සාකච්ඡා කිරීමට ඉදිරිපත් වීම ‘සැබෑ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් නොවන’ බව පවසමින් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිකුරාදා වොෂින්ටනයේ මාධ්‍යවේදීන් අමතමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසුවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ගිනි අවි සමඟ සිදු විය නො හැකි බවයි.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අනුව සාකච්ඡා සිදු වීමට නම් යුක්රේනයේ රුසියානු හමුදා ක්‍රියාමාර්ග නතර කළ යුතු අතර රුසියානු හමුදා ඉවත් කර ගත යුතු බව ද ඔහු කියා සිටියා.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සාර්ථක කර ගැනීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් කැමැත්තෙන් සිටින බවට එක්සත් ජනපදයට මෙතෙක් කිසිදු ආකාරයකින් හැඟී නො මැති බවයි නෙඩ් ප්‍රයිස් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර, යුක්රේනයේ කීව් අගනුවර අද (26) අලුයම් කාලයේ නැවතත් පිපිරුම් හඬ ඇසුණු අතර, නගරය වටා දරුණු ගැටුම් ඇවිලී ඇති බව වාර්තා වනවා.

නගර මධ්‍යයෙන්ද මෙලෙස දැවැන්ත පිපිරුම් වාර්තා වී ඇති අතර, කාලතුවක්කු හඬ සැතපුම් ගණනාවකට අසන්නට ලැබුණු බව විදෙස් වාර්තා සඳහන් කළා.

ජනාකීර්ණ නිවහන් සංකීර්ණ අසල මෙන්ම කීව් සත්වෝද්‍යානය අවට ද මෙලෙස ගැටුම් ඇවිලී තිබෙනවා.

කීව් අගනුවර මෙලෙස දිසා කිහිපයකින් ප්‍රහාරවලට ලක්වන බව සඳහන්.

නගරයට විදුලිය සැපයෙන බලාගාරය ද රුසියානු හමුදා ඉලක්කයක් වන අතර, නගරයේ වීථිවල ගිනිගෙන දැවෙන වාහන රැසක් දක්නට ලැබී තිබෙනවා.

කෙසේ නමුත් කීව් හමුදා කඳවුරට එල්ල වූ රුසියානු හමුදා ප්‍රහාරය ව්‍යර්ථ කළ බවයි යුක්රේන හමුදාව සිය ෆේස් බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ.

මේ අතර යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියාවට පක්ෂපාතී ප්‍රවෘත්ති ආයතනවලට සිය සමාජ මාධ්‍යයේ වෙබ් පිටුවලට පිවිසීම සීමා කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *