අගමැතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් ජනගත කරයි

අගමැතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් ජනගත කරයි

*********************************************

අගමැතිගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් ජනගත කරයි

(25.02.2022 – 16:52 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් පරිවර්තනය කළ ත්‍රිපිටක ග්‍රන්ථ 7 ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ජනගත කරනු ලැබුවා.

අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවති අතර ඊට මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

බුද්ධ ජයන්ති ග්‍රන්ථ මාලාවේ සිංහල පරිවර්තනය ඉතා නිවැරදි වුව ද සාමාන්‍ය පාඨකයාට එහි බස් වහර ඉතා ගැඹුරු හෙයින් සරල බසින් එම ග්‍රන්ථ නැවත සම්පාදනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව එලිදැක්වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

***************************************

ලන්දේසි කතගේ අබිරහස් මරණය

(25.02.2022 – 15:03 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක කාමරයක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි නෙදර්ලන්ත ජාතික 66 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.

***************************************

විදුලි රැහැන් කණුවක් මත සිටි අමුත්තා

(25.02.2022 – 15:06 +0530 – hirunews.lk/sinhala)

මොරගහහේන නගරයේ ප්‍රධාන බස් නැවතුම ඉදිරිපිට ඇති විදුලි රැහැන් කණුවක් මත සිටි අඩි හයක් (6) පමණ දිග පිඹුරකු නිරුපද්‍රිතව අල්ලා ගැනීමට එම ප්‍රදේශයේ පුද්ගලයෙකු සමත් ව තිබෙනවා.

අල්ලා ගත් පිඹුරා ඉංගිරිය බෝධිමළුව රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.

***************************************

බාධක දහසක් මැද ලොව දිනන දිරිය දූ පුතුන්

(25.02.2022 – 15:11 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව රාජධානියේ අති දුෂ්කර කඩවල වැව ග්‍රාමයේ පිහිටා ඇති කඩවලවැව මහා විද්‍යාලය වෙත මෙම දු දරුවන් පිය මනින්නේ අධ්‍යාපනයෙන් වගේම ක්‍රීඩාවෙන් ද යහපත් පුරවැසියකු ලෙස හෙට දින ලෝකය ජය ගැනීමේ අරමුණ ඇතිවයි.

ප්‍රදේශයේ ගොවි – කම්කරු දෙමාපියන්ගේ දු දරුවන් මෙම විද්‍යාලයේ සිප් සතර හදාරද්දී ඒ අතුරින් පාසලේ බර ඉසිලීමේ කණ්ඩායමට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා.

පසුගියදා ගාල්ලේදී නිමා වූ සමස්ත ලංකා පාසල් බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක් දිනාගෙන මේ දිරිය දරුවන් නගරබද පාසල් රැසකට අභියෝග කලේ සැවොම පුදුමයට පත් කරමින්.

ඉන් නොනැවතුණු ඔවුන් අවුරුදු 17 න් පහල බාලිකා වයස් කාණ්ඩයේ අනුශුරතාවත් සිය පාසල් මාතාවට දිනා දුන්නා.

නමුත් ඔවුන්ගේ මේ ජයග්‍රහණය පසුපස ඇති කථාව නම් කිසිසේත්ම සුන්දර නැහැ.

දහසකුත් එකක් කම්කටොලු බාධක මැද ඔවුන් බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ලොවක් දිනන්නට තනන්නේ ඒ සියලු අභියෝග මැදයි.

ක්‍රීඩාව කරගෙන යාමට අවශ්‍ය මූලික පහසුකම් හෝ නොමැති මේ දරුවන්ට දෙමාපියන්ගේ ආර්ථික අපහසුතාත් අමතර බරක් වී තිබෙනවා.

ඒ සියලු බාධා ජයගෙන බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් ලොවක් දිනන්නට සැරසෙන මේ ධෛර්යවන්ත පුංචි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවියක් වී තිබෙන්නේ ගතේ සවියටත් වඩා සවිමත් හිතේ සවියයි.

කැලේ පිපෙන මල් කැලයට පරව යා නොදී රැකගත යුතුයි යන්න අප සැමගේ ප්‍රාර්ථනාව වුවත් සැබෑවටම සිදු වන්නේ කැලේ පිපෙන මෙවන් මල් කැලයටම පරව යාමයි.

නමුත් ක්‍රීඩාව කරවන බලධාරීන්ගේ දෑස් මේ දිරියවන්ත දරුවන් වෙත යොමු වුවහොත් හෙට දිනයේදී වැව් බැඳී රාජ්‍යයෙන් ලොවක් දිනන්නට හැකි බර ඉසිලීමේ කණ්ඩායමක් රටට දායාද කරන්නට හැකිවනු නොඅනුමානයි.

***************************************

අමාත්‍ය මහින්දානන්දට එරෙහි නඩුව ගැන අල්ලස් කොමිසමට දැනුම් දීමක්

(25.02.2022 – 16:06 +0530 – hirunews.lk/sinhala)

සතොස ආයතනය හරහා ක්‍රීඩා භාණ්ඩ ආනයනය කර ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුලින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැ යි චෝදනා කරමින් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට සහ සතොස ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුව තවදුරටත් පවත්වාගෙන යන බව අල්ලස් කොමිසම අද (25) අධිකරණයට දැනුම් දුන්නා.

ඒ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

පසුගිය දා මෙම නඩුව කැඳ වූ අවස්ථාවේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට නියෝග කර තිබුණේ, මෙම නඩුව පවත්වාගෙන යන්නේ ද නැද් ද තීරණය අධිකරණයට දැනුම් දෙන ලෙස යි ෴

***************************************

හමුදා නිලධාරියෙකුගෙන් තවත් ප්‍රශංසනීය ක්‍රියාවක්

(25.02.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ මහාමාර්ගයක වැටී තිබූ මුදල් සහිත පසුම්බියක් යුද හමුදා සෙබලෙකු විසින් අදාළ හිමිකරු වෙත භාර දී තිබෙනවා.

ප්‍රදේශයේ මුර සංචාරයක අදාළ හමුදා සැරයන්වරයා නිරත ව සිට ඇති අතර, එහි දී රුපියල් 24,000 ක් ඒ.ටී.එම්. කාඩ් පත් දෙකක් (2), රියදුරු බලපත්‍රයක් සහ රක්ෂණ කාඩ්පතක් සහිත පසුම්බියක් ඔහුට හමු වී තිබුණා.

පසු ව වැල්වැටිතුරෙයි පොලිස් ස්ථානයට අදාළ පසුම්බියේ හිමිකරුට පැමිණෙන ලෙස දැනුම් දී එම මුදල් සහිත පසුම්බිය ඔහු විසින් භාර දී තිබෙනවා ෴

***************************************

සෞඛ්‍ය වෘත්තීය සමිති යළි දින දෙකක වර්ජනයක

(25.02.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ගැටලුව මුල් කර ගනිමින් ලබන දෙවැනි දා (02) සිට දින දෙකක (2) වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් ප්‍රකාශ කළා.

අද (25) කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වෘත්තීය සමිති පසුගිය දා දියත් කළ දීප ව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය මාර්තු මස 11 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 07 වැනි දා ඔවුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වර්ජනයක් ආරම්භ කළ අතර, ඉන් අනතුරුව යි මේ මස 24 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි එය අත්හිටුවන ලෙස දන්වමින් වාරණ නියෝගයක් නිකුත් කළේ.

කෙසේ වෙතත් පසුව වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලික ව අත්හිටුවන බව වර්ජනයේ නිරත වෘත්තිය සමිති ප්‍රකාශ කළා ෴

***************************************

පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ල වූ කෝටිපති ව්‍යාපාරික ඊබ්‍රහිම්ට ගොනුකර ඇති නඩුව කැඳවීමට දින නියම වෙයි

(25.02.2022 – 16:56 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට චෝදනා එල්ල වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට (3) එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව ලබන මස 29 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළා.

ඒ එම නඩුව අද (25) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනි දා ප්‍රහාරයක් එල්ල වන බවත් ඒ ඔස්සේ ජාතිවාදී ගැටුම් ඇති විය හැකි බවත් යන තොරතුරු පොලිසියට දැනුම් නො දී වසන් කිරීම ‍යන චෝදනා යටතේ යි මොහුට මෙම චෝදනා ගොනු වී ඇත්තේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනු කර ඇති අතර, විත්තිකාර කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඉබ්‍රාහිම් නමැත්තා, පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඉන්සාබ් හා මොහොමඩ් ඉල්හාම් යන අයගේ පියා ද වනවා ෴

***************************************

මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිට දුරකථනයෙන් මරණ තර්ජන කළ පුද්ගලයාට වැඩ වරදී

(25.02.2022 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ප්‍රසිද්ධ දේශපාලනඥයෙකු ලෙස පෙනී සිටිමින් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයාගේ තොරතුරු ලබාදෙන ලෙසට දුරකථන සමාගම් දෙකකට (2) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර අද (25) නියෝග කළා.

ඒ අනුව, එම පුද්ගලයාගේ සම්පූර්ණ නම, ලිපිනය සහ හැඳුනුම්පත් අංකය ලබාදෙන ලෙසටයි මෙලෙස අධිකරණය නියෝග කර ඇත්තේ.

ඉකුත් 21 වනදා මරණ තර්ජන එල්ල කර දුරකථන අංකයට ලැබුණු සහ ලබාගත් ඇමතුම් සහ සම්ප්‍රේෂණ කුළුණු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මිනුවන්ගොඩ පොලිසියට ලබාදෙන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත්තේ.

මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාවක් (1) වහා නිදහස් කළ යුතු බවටත්, එසේ නොවුනහොත් ජීවිත හානි සිදුවිය හැකි බවටත් ස්ථානාධිපතිවරයාට කිසියම් පුද්ගලයෙකු තර්ජනය කර තිබුණා ෴

***************************************

විරෝධතාවක් හේතුවෙන් කොළඹ මාර්ගයක වාහන තදබදයක්

(25.02.2022 – 12:58 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන සමූපකාර සමිතියේ සේවකයින්ට රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පත් කළ කමිටුව නිර්දේශ කර තිබියදී ඒ සඳහා අනුමැතිය ලබා නොදීමට එරෙහිව අධ්‍යාපන සමූපකාර වෘත්තීය සමිති එකමුතුව අද (25) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.

ඒ ඩාර්ලි පාරේ පිහිටි සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදීයි.

එහිදී විරෝධතාකරුවන් එම අමාත්‍යාංශයට තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් ද භාරදුන් අතර ඔවුන් පාගමනින් ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සමූපකාර කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතයි.

ඔවුන් පැමිණෙන අතරතුර කොළඹ ඩාර්ලි පාරේ රථවාහන තදබදයක් ද හටගත්තා ෴

+++++++

සමූපකාර කොමිසමට 600 ක් කඩා වැදෙයි

(25.02.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන සමූපකාර පොදු සේවක සංගමයට අයත් සමූපකාර සේවකයන් 600 ක් පමණ අද (25) පස්වරුවේ විරෝධතාවයේ නිරත වෙමින් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි සමූපකාර කොමිෂන් සභාව වෙත කඩා වැදුනා.

ඒ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින් පත් කළ කමිටුවක් මගින් නිර්දේශ කල රුපියල් 10,000 ක දීමනාව සහ ආණ්ඩුවෙන් ලබාදුන් රුපියල් 5000 දීමනාව ලබා නොදීමට විරෝධය පල කරමින්.

අදාළ ගැටලුව මුල් කර ගනිමින් අධ්‍යාපන සමූපකාර සේවකයන් අද (25) පෙරවරුවේ මරදාන – ඩාර්ලි පාරේ පිහිටි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා.

එහිදී එම රාජ්‍ය අමාත්‍යාංශයට තම ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාරදුන් විරෝධතාකරුවන් පාගමනින් සමූපකාර කොමිෂන් සභාව වෙත පැමිණ ඊට ඇතුලු වීමට උත්සාහ කිරීමේදී පොලීසිය ඊට බාධා කිරීමත් සමග හට ගත්තේ උණුසුම් තත්වයක්.

විරෝධතාකරුවන් සිය ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා අමාත්‍යංශ ලේකම්වරිය සමග සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර ලේකම්වරිය පැමිණෙන තෙක් 600 ක් පමණ වූ සමූපකාර සේවකයන් පැය 4 කට අධික කාලයක් කොමිෂන් සභාව තුල රැඳී සිටියා.

***************************************

කෝටි ගාණක බිලක් ගෙවන්නැ යි ඇමති කෙහෙලියට විදුලිබල මණ්ඩලයෙන් දැනුම් දීමක්

(25.02.2022 – 15:34 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ කල් ඉකුත් වූ රුපියල් එක්කෝටි විසි ලක්ෂ පනස් හයදහස් අටසිය තුනයි ශත තිස් අටක (1,20,56,803.38) විදුලි බිල ගෙවන ලෙසට දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය අමාත්‍යවරයා විසින් අදාළ හිඟ මුදල් ගෙවිය යුතුව ඇත්තේ, 2015 පෙබරවාරි මාසයේ සිට පරිභෝජනය කරන ලද විදුලිබලය සඳහා බවයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ.

මෙම හිඟ මුදල පිළිබඳ අවස්ථා ගණනාවක දී අමාත්‍යවරයා දැනුවත් කර තිබුණ ද මේ දක්වා එම මුදල පියවීමට අමාත්‍යවරයා කටයුතු කර නැහැ.

අවසන් වරට ලං.වි.ම. නිලධාරීන් 2021 දෙසැම්බර් 22 දින අමාත්‍යවරයාගේ නිවසට ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් ඔහුගේ බිරිඳ සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍යවරයා වෙත යොමු කර ඇති සිහි කැඳවීමේ ලිපියේ දැක්වෙන්නේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ ගෙවී ගිය වසර 7 ට අදාළ විදුලි පරිභෝජනය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් සවිස්තර වාර්තාවක් ද භාර දී තිබුණා.

එම සංඛ්‍යා දත්ත අනුව අමාත්‍යවරයා සහ පවුලේ උදවිය රැදී සිටි නිවසේ එක් (1) මසකට විදුලි බිල ආසන්න වශයෙන් රුපියල් එක් ලක්ෂ හැට හත්දහස් හාරසිය පනස් පහක් (1,67,455.60) ක්.

ඉන් අනතුරු ව මෙම සියලු කරුණු සඳහන් කරමින් 2022 ජනවාරි 11 වැනි දින අමාත්‍යවරයාට ලිපියක් යවා ඇතත් තවමත් බිල්පත් පියවා දැමීම සඳහා අමාත්‍යවරයා කටයුතු කර නො මැති බවට යි වාර්තා වන්නේ.

+ [එම ලිපිය]

+++++++

කෝටි ගණනක විදුලි බිල ගැන සෞඛ්‍ය ඇමතිගෙන් පැහැදිළි කිරීමක්

(25.02.2022 – 20:05 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පදිංචිව සිටි බෞද්ධාලෝක මාවත ආසන්නයේ නිවසක විදුලි බිල සම්බන්ධයෙන් පළවන විවිධ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබා තිබෙනවා.

එම පණිවිඩය හරහා ඔහු පැහැදිලි කරනු ලබන්නේ එම නිවසේ විදුලි සැපයුම් සම්බන්ධයෙන් බරපතල අවුල් සහ සහගත තත්ත්වයක් ඇති බවයි.

එමෙන්ම එම නිවසේ විදුලි බිල්පත් නාමය ද මේ දක්වා තමන්ට ලබාදී නොමැති බවත් ඔහු එම පණිවිඩය හරහා අවධාරණය කරනවා.

සෞඛ්‍ය ඇමැතිවරයා ට්විටර් ගිණුම ඔස්සේ නිකුත් කළ විශේෂ ප්‍රකාශයයේ පරිවර්තනය :

“මා පදිංචිව සිටි නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විවිධ වාර්තා පළ කර තිබෙනවා මා දුටුවා. ඒ වගේම පාර්ලිමේන්තුවේදීත් මගේ නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ වුණා.

මම මේ නිවසේ පදිංචියට පැමිණෙන්නේ 2015 වසරේදී. ඒ පැමිණෙන විට මා දුටුවා අපට ලැබුණේ සාමාන්‍ය මට්ටමේ විදුලි බිල්; රු.25,000 – 30,000 අතරේ; ඒ සීමාවල් සාධාරණයි. ඒ නිසා මම ඒ බිල් ගෙවා දැමුවා. නමුත් පසුව මට දකින්නට ලැබුණා මේ විදුලි බිල් වල බරපතළ වෙනසක්.

ඇතැම් අවස්ථාවල රුපියල් 100,000 , 150,000. ඇතැම් අවස්තාවල රුපියල් 200,000 ක වගේ. එක් අවස්ථාවක රුපියල් 760,000 බිලකුත් මට ආවා. මේ විදිහට මාසෙන් මාසෙට හිතාගන්න බැරි විදියට බිල් වෙනස් වුණා. මට මේ තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කර ගැනීමක් සිදු කර ගන්න අවශ්‍ය වුණා. ඒ පැහැදිලි කර ගැනීම සිදු කරගත හැකි එකම ස්ථානය තමයි ලංකා විදුලිබල මණ්ඩලය.

මේ පිළිබඳව මං ඔවුන්ට අවස්ථා ගණනාවක දී කියා සිටියා. මම අවස්ථා දෙකකදී (2) ලංකා විදුලිබල මණ්ඩලයට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කලා. මා හිතන්නේ දහ (10) වතාවකට වැඩිය මම ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙනවා. ඔවුන් ඒ අවස්ථා වලදී මේ පිළිබඳව සොයා බලනවා කිව්වා කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ. ඊට අමතරව මේ ආපු විදුලි බිල් විවිධ අයගේ නම් වලටත් ආවා. මේක මට බරපතළ ප්‍රශ්නයක්. මොකද මම යම්කිසි ගෙවීමක් කරනවා නම් ඒ සඳහා මට පදනමක් තිබිය යුතුයි. අවම තරමින් මගේ ආදායම් වාර්තාවට පෙන්වන්නට හෝ, එසේත් නොමැති නම් යම්කිසි අයකර ගැනීමක් සිදු කර ගැනීමට හෝ මගේ නම තිබිය යුතුයි. නමුත් මේ දක්වා ඒ නිවසේ විදුලි බිලට මගේ නම ඇතුළත් කරලා නැහැ.

මේ තත්ත්වයම මගේ නිවසේ වතුර බිලටත් තිබුණා. නමුත් ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කළ වහාම ඔවුන් එය නිවැරදි කළා.

මේ සම්බන්ධයෙන් මා හිතන්නේ විදුලිබල මණ්ඩලය අවස්ථා දෙකේදීම (2) මගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වන්නට සමත් වුණේ නැහැ. ඔය අතර වාරේ පසුගිය ජනවාරියේ මට මිලියන හතක (70,00,000) විදුලි බිලක් ආවා. මම ඒ බිල ගෙවා දමන්නට තීරණය කළා. නමුත් ඒ මුදල ඇරගෙනත් ඔවුන් ලදු පත නිකුත් කළේ මේ නිවසේ මට පෙර පදිංචිව සිටි පුද්ගලයාගේ නමටයි. මේ සියලු අවුල් සහගත තත්වයන් තිබියදීත් මා එම මුදල ගෙවා දැමුවේ මම මේ රටේ වගකිවයුතු පුද්ගලයකු නිසයි. නමුත් දැන් මා මේ කාරණය මගේ නීතිඥයින්ට බාර දීලයි තියෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *