රුපියල් ලක්ෂ 90 ක පඩියට ගත් ශ්‍රීලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි; රුපියල් මිලියන 600 ක වංචාවක් යට ගහයි …

රුපියල් ලක්ෂ 90 ක පඩියට ගත් ශ්‍රීලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි; රුපියල් මිලියන 600 ක වංචාවක් යට ගහයි …

*********************************************

රුපියල් ලක්ෂ 90 ක පඩියට ගත් ශ්‍රීලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි; රුපියල් මිලියන 600 ක වංචාවක් යට ගහයි …

(22.02.2022 – 00:02 +0530 – lankacnews.com)

ශ්‍රීලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා (3) විසින් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම මගින් රුපියල් මිලියන 600 කට වඩා වැඩිමුදලක් වංචා කර ඇති බව ගුවන්සේවයේ අභ්‍යන්තර විගණන අංශ වාර්තා මගින් තහවුරු කර තිබෙනවා.

ගුවන්සේවයේ රහස්‍ය විගණන වාර්තා වලින් හෙළිකොට ඇති තොරතුරු වලට අනුව මෙම නිලධාරීන් විසින් සෞදි අරාබිය කරා රැකියා සඳහා යන මගීන් විසින් අනිවාර්යෙන් ලබාගත යුතු සෞදි නිරෝධායන පැකේජයයි පහත පරිදි වංචා කර ඇත්තේ.

1) 2021 මැයි මස සෞදි රජය විසින් පැනවූ නීතියට අනුව සෞදි අරාබිය වෙත යන සියලු මගීන් සඳහා නිරෝධායන පැකේජ ලබාදීමේ වගකීම ශ්‍රීලංකන් ගුවන්සේවය සතුවිය. අදාළ පැකේජ ගුවන්සේවය විසින් සකස්කර මගීන්ට මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කර යුතුව තිබුණි.

2) ගුවන්සේවය මගින් මෙම පැකේජ සකස්කර මගීන්ට ඉදිරිපත්කිරීම මැයි මස වන විට සිදුකළ අතර ශ්‍රී ලාංකික, ඉන්දීය හා බංගලාදේශ ඇතුලු සෞදියේ සේවය කරන විශාල මගීන් පිරිසක් මේවා මිලදීගෙන ශ්‍රීලංකන් ගුවන්සේවය සමගින් සෞදියට පැමිණ නිරෝධායනයව තිබුණි. මින් ශ්‍රී ලංකන් ගුවන්සේවය සැලකිය යුතු ආදායමක් මෙන්ම ගුවන් මගීන්ටද ප්‍රමිතියකින් යුත් නිරෝධායන පහසුකමත් තහවුරු කර තිබුණි.

නමුත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබුණු මෙම ක්‍රියාවලිය, 2021 ජුනි සිට සෞදි නිරෝධායන රෙගුලාසි වලටද පටහැනිව හදිසියේම ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රයේ නමගිය ආයතනයක් වෙත ලබාදීමට අලෙවි අංශ ප්‍රධානියා විසින් තීරණය කර තිබුණි. මෙම තීරණය ගෙන ඇත්තේ ඉහත ආයතනයට සෞදි ආරබියේ මෙවැනි මෙහෙයුමක් පිළිබඳ අල්ප මාත්‍රයක හෝ දැනුමක් නොතිබියදී ය.

ශ්‍රී ලංකාවේ අලෙවි ප්‍රධානියා හා ශ්‍රී ලංකාවේ කලමණාකරු විසින් ප්‍රසම්පාදන නීති කඩකරමින් සෞදි නීති වලටද පටහැනිව එම ආයතනය පත්කොට ඇති අතර ඔවුන් විසින්ම සෞදි ශ්‍රීලාංකික නිරෝධායන නියෝජිත ආයතනය, ‘ජෙට්වින්ග්’ සමග සම්බන්ධීකරණය කොට ඇත. ඊට අමතරව මෙම පැකේජවල මුළු මෙහෙයවීමම ශ්‍රීලංකන් ගුවන්සේවයේ අලෙවි නිලධාරින් ලවා සිදුකර ගැනීමටත්, සියලුම ශ්‍රී ලංකිකයින්ට ශ්‍රීලංකන් ආයතනයේ, පැකේජ වෙනුවට ‘ජෙට්වින්ග් පැකේජ’ ප්‍රවර්ධනය කිරීමටත් මෙම නිලධාරීන් කටයුතු කර ඇත. දැනට රහස්‍යව පවතින විගණන වාර්තාවේ මෙකී සියලු කරුණු කාරණා පැහැදිලිවම දක්වා ඇත.

මෙමගින් මෙම නිලධාරීන් 2021 ජුනි මාසයේ සිට 2021 දෙසැම්බර් දක්වා පමණක් රුපියල් මිලියන 600 ක ආදායමක් ජාතික ගුවන්සේවයට අහිමි කර ඇත.

අදාළ සියලු කටයුතු වලට මූලිකත්වය ලබාදුන් සෞදි අරාබියේ ශ්‍රීලංකන් ගුවන්සේවා කළමණාකරු, මීට සමගාමීව සෞදි සමාගමක් සමග කූට නිරෝධායන සමාගමක් පවා ආරම්භ කර ඇති අතර එමගින් බංගලාදේශයේ සිට සෞදි අරාබියට යන මගීන්ට මෙම පැකේජ 1000 කට අධික ප්‍රමාණයක් අලෙවිකර ඉන් රුපියල් මිලියන 200 කට අධික මුදලක් ශ්‍රීලංකන් ගුවන්සේවයට අහිමි කර ඇත. මෙම වංචාවද විගණන අංශ විසින් හෙළිකොට වාර්තාවක් සකස්කොට ඇත.

මෙම වාර්තා ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති, හිටපු / වත්මන් ප්‍රධාන විධායක නිලධාරී හා විගණන කමිටු ප්‍රධානීන් අතට පත්ව කලක් ගතව ඇතත් අදිසි හස්තයක් විසින් මෙම පරීක්ෂණ යටපත් කොට ඇත. හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගෙන් පසු එම තනතුරට පත්කොට තිබෙන රුපියල් ලක්ෂ 90 ක වැටුප් ලබන වයස 72 ක් වන ‘රිචඩ් නුටෝල්’ නම් විදේශිකයා මෙම වංචාව වසන් කිරීම වෙනුවෙන් මේ වන විටත් මූලිකත්වය ගෙන ක්‍රියාකරමින් සිටින අතර ඔහුට දැනටමත් පෙරකී නිලධාරීන් ඇතුලු පිරිස ආරක්ෂා කරන අදිසි හස්තයන්හි වරදාන, වරප්‍රසාද පවා හිමිව ඇති බව වාර්තා වේ.

තවදුරටත් මෙම වංචා සහගත පැකේජ අදාල සමාගම හරහා මෙහෙයවීමට මොවුන් පෙළඹී ඇති අතර මේ සටහන තබන මෙහොතේදීත් මෙම වංචාව ගජරාමෙට සිදුවෙමින් පවතී.

අප සියලුදෙනා දන්නා පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන අතර වැඩිම පාඩු ලබන ආයතනය වන්නේ ශ්‍රීලංකන් ගුවන් සමාගමයි. රුපියල් බිලියන 150 කට අධික ණය බරක් මෙන්ම දිනෙන් දින ලබන පාඩුව දේශපාලකයන්ට හා වෙනත් හේතුවලට බැර කල ද සත්‍ය වශයෙන්ම පාඩුවෙන් වැඩි ප්‍රමාණයකට හේතුව මෙම ආයතනයේ චෞර ඉහළ නිලධාරී කණ්ඩායම බව ඉතා පැහැදිලිය. කවර ලෙස ආණ්ඩු මාරු වුණත්, සභාපති, ලේකම්වරු මාරු වුවත් මෙම චෞර, ඉහළ නිලධාරීන් සැමදා සුරක්ෂිතය. විශේෂයෙන් ශ්‍රීලංකන් වාණිජ අංශය නම් හොරකමට, වංචාවට කප් ගැසූ අංශයක් ලෙස මුළු ගුවන්සේවා කර්මාන්තයම පාහේ දනී. මෙම අංශයේ ඉහළ කළමනාකාරීත්වයේ සිට විශ්‍රාම ගිය බොහෝ දෙනා බිලියනපතියන් බවට පත්ව ඇති අතර ඔවුන්ගේ ගෝලයින්ද තවමත් කිසිදු ඉහෙන් බහින රෝගයකින් තොරව මෙම කටයුත්තේ නියැලෙමින් සිටී.

යහපාලන ආනුභාවයෙන් පත්විම් ලද අලෙවි අංශ ප්‍රධානීයා මීට පෙරද මෙවැනි වංචා කටයුතු වලට හසුව ඇතත් ඔහු යහපාලන දේශපාලකයින්ගේ පිහිටානුභාවයෙන් මේ වනතුරුත් කටයුතු කරමින් සිටී. යහපාලන රජය යටතේත්, වර්තමාන රජය යටතේත් වංචා, දූෂණ වැරදි කෙතරම් කළද බේරී සිටීමට තරම් මොහු සූක්ෂම වී ඇත. ඔහුගේ කොළඹ නගරය තුළ පමණක් ඇති වත්කම් සොයා බැලුවේ නම් මොහු විසින් කර ඇති වංචාවල තරම ගැන ඕනෑම අයෙකුට අවබෝධයක් ලබාගත හැකිය.

දැන් ඔහු නව ප්‍රධාන විධායක නිලධාරී ‘රිචඩ් නුටෝල්’ගේ හිතෛයිෂීම පුද්ගලයා ලෙස කටයුතු කරමින් සිටී. එමගින් විදේශිකයාගේ චෞර වළල්ලේ තරම අපට සිතා ගත හැකිය.

ගුවන්සේවය යලි ගොඩනැගීමට රුපියල් ලක්ෂ 90 කට පඩියටකට රැකියාවට ගත් විදේශිකයා වන ‘රිචඩ් නුටෝල්’ දැන් මෙම වංචාකරුවන් රැක ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටී. ඒ, විගණන වාර්තා වලින් හෙළිකොට ඇති මෙම වංචාව ගැන අල්ප මාත්‍රයක හෝ පියවරක් නොගනිමිනි. බොහෝවිට විදේශිකයකු හදිසියේම මෙවැනි තනතුරකට බඳවා ගන්නට ඇත්තේද ඉහත වංචාව යටගැසීමේ අරමුණින්ම විය හැක.

ගුවන්සේවයේ බහුතර සේවකයන් තම සේවය උපරිමයෙන් ආයතනයට ලබාදුන්නද අල්පයක් වූ චෞර නිලධාරීන් ගුවන්සේවයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීම හේතුවෙන් ආයතනය දිගින් දිගටම දැඩි අලාභ ලබමින් සිටී. ඒ හේතුවෙන් වැටුප් කප්පාදු වලින් පවා වැඩිම වන්දියක් ගෙවන්නේ අහිංසක සාමාන්‍ය සේවක පිරිසයි.

සුළු සේවකයකු අතින් වතුර බෝතලයක්, ආහාර පාර්සලයක්, හාෆ් ෂීට් කොළයක් අස්ථාන ගතවුවත් ගෙදර යවන්නට පසුබව නොවන ශ්‍රීලංකන් ප්‍රධානීන් මෙවැනි වෞර රජුන් ඉදිරියේ පතෝල න්‍යායක් අනුගමනය කිරීම මගින් පැහැදිලි වන්නේ එදා මෙන්ම අදත් ජාතික ගුවන්සේවයේ ප්‍රතිපත්තිය ‘මහහොරු ආරක්ෂා කිරීම’ බවයි.

repoter

***************************************

ගොවීන්ට වන්දි ගෙවීම ඇරඹේ

(22.02.2022 – 07:52 +0530 – hirunews.lk/sinhala)

පොහොර ගැටලු හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීමට ගත් තීරණයට අනුව ඊයේ (21) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී වන්දි ලබාදෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අක්කර භාගයකට (½) අඩු වී වගා සඳහා වී කිලෝවකට රුපියල් 50 බැගින් රුපියල් 13,500 ක මුදලක් ලබාදීමට නියමිතයි.

මීට අමතරව අක්කර 1 කට අඩු නම් වී කිලෝවකට රුපියල් 50 බැගින් රුපියල් 27,000 ක මුදලකුත් ලබාදීමට ඊයේ (21) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනුමැතිය හිමිව තිබෙනවා.

එමෙන්ම, අක්කර දෙකට (2) අඩු නම් රුපියල් 56,625 ක මුදලක් ලබාදෙනු ඇති.

මීට අමතරව හෙක්ටයාර භාගයට (½) වැඩි අක්කර 5 ට අඩු කුඹුරු සඳහා රුපියල් 67,500 ක වන්දි මුදලක් ද ලබාදීමටයි ඊයේ (21) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනුමැතිය හිමිව ඇත්තේ.

මේ අතර, පොහොර නොලැබීමෙන් හානි වූ වී වගාව සඳහා මෙතෙක් වන්දි නොලැබීම සම්බන්ධයෙන් ප්‍රදේශ රැසක ගොවි ජනතාව චෝදනා කරනවා.

ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඉදිරි කන්නය සඳහා හෝ නිසි වැඩපිළිවෙලක් යටතේ පොහොර ලබා දීමට පියවර ගන්නා ලෙසයි.

මැදිරිගිරිය එලබටුවැව ප්‍රදේශයේ මෙවර මහකන්නය සඳහා වගා කළ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් අස්වනු නෙළා ගැනීමකින් තොරව වගාව අත්හැර දැමීමට සිදුව ඇති බව ගොවීන් පවසනවා.

ඔවුන් පවසන්නේ පසුගිය කන්නය සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම මීට හේතු වී ඇති බවයි.

හානි වූ වගාවන් සඳහා නිසි වන්දි මුදලක් ලබා දෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටින්නේ.

වැලිකන්ද ප්‍රදේශයේ වී ගොවීන්ද වී අස්වැන්න අඩුවී ඇති බවට චෝදනා කළා.

මේ අතර උහන ගලපිටගල ප්‍රදේශයේ වී ගොවීන් ද දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිනවා.

පසුගිය කන්නයට වඩා මෙවර වී අස්වැන්න සීග්‍ර ලෙස අඩුවී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ අතර, අද (22) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වගා හානි සඳහා වන්දි ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ විසිතුරු මල් වගාකරුවන් ද මේ වන පසුවන්නේ දැඩි දුෂ්කරතාවයකින්.

ඒ ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හා මල් වගා කිරීම සඳහා යොදා ගන්නා පොලිතින් මිල ඉහළ යාමෙන්.

මේ හේතුවෙන්, මල් පැළ මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින් ඒවා මිලදී ගැනීමේ අඩුවක් දක්නට ලැබෙන බවටයි ඔවුන් පවසන්නේ.

***************************************

යුගදනවි පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස, ඇමරිකානු සමාගම ඉල්ලයි

(22.02.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමේ ගිවිසුමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ල විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස එහි වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පෙත්සම් ඊයේ (21) සලකා බැලීම සඳහා යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී යුගදනවි බලාගාරයේ කොටස් අත්පත් කරගෙන සිටින අදාළ ඇමරිකානු සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක ද සිල්වා එම කරුණු ඉදිරිපත් කළා.

නිව් ෆෝට්‍රස් එනර්ජි නමැති ඇමෙරිකානු සමාගම ස්වභාවික ද්‍රව වායු සැපයීම සම්බන්ධයෙන් ලෝකයේ පවතින ප්‍රමුඛතම මෙන්ම විශාලතම සමාගමක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම සමාගම විසින් විවිධ රටවල මෙවැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කොට ඇතැයි ද සදහන් කළා.

මෙම අමරිකානු සමාගම ආධුනික සමාගමක් නොවන අතර ලෝකයේ පවතින එවැනි ව්‍යාපෘති 14 ක් එම සමාගම විසින් පවත්වාගෙන යන බවයි ඔහු කියා සිටියේ.

මෙම ගිවිසුමට අදාළව කැබිනට් තීරණ කිහිපයක් ඇති බවත් ඒ අනුව තම සේවාදායක සමාගම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා තෝරා ගැනුණු බවත් නීතිඥවරයා ප්‍රකාශ කළා.

අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අද (22) දිනය දක්වා මෙම පෙත්සම් සලකා බැලීම කල් තැබුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු වුණා.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා ෴

***************************************

යුක්රේනයේ ශ්‍රී ලාංකිකයින්ට විදේශ අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

(22.02.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

යුක්රේනයේ පවතින වාතාවරණය සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර එහි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීමට පියවර ගන්නා බව විදේශ අමාත්‍යාංශය පවසනවා.

එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ යුක්රේනයේ ශ්‍රී ලාංකා තානාපති කාර්යාලයක් නොමැති වුවද තුර්කියේ අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කරන බවයි.

යුක්රේනයේ මේ වන විට සිසුන් 14 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 40 කට අධික පිරිසක් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළා.

එම සිසුන් 6 දෙනෙකු මේ වන විට තාවකාලිකව යුක්රේනය හැර ගොස් ඇති අතර, ඉතිරි සිසුන් 8 දෙනා සමග අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සබදතා පවත්වන බව එමගින් කියා සිටියා.

එමෙන්ම, විමසිලිමත්ව කටයුතු කරන ලෙසත්, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසත් විදේශ අමාත්‍යාංශය යුක්රේනයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් ද කළා.

එමෙන්ම, දැනට යුක්රේනය වෙත සිදු කෙරෙන අත්‍යවශ්‍ය නොවන සංචාරවලින් වළකින ලෙස ද විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් දෙනවා ෴

***************************************

රුමේනියාවේ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (2) මරුට

(22.02.2022 – 08:02 +0530 – hirunews.lk/sinhala)

රුමේනියාවේ සිදු වූ රිය අනතුරකින් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු සහ බේරුවල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.

ඔවුන් දෙදෙනාම (2) කර්මාන්තශාලාවක සේවයේ නිරත වී ඇති අතර රුමේනියාවේ අරීඩා හොරියා නැමති ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටිය දී මෝටර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ.

***************************************

තලංගම තෙත් බිම් හරහා ඉදිවන අධිවේගී මාර්ගයට එරෙහි පෙත්සම විභාගයට

(22.02.2022 – 09:28 +0530 – hirunews.lk/sinhala)

කැළණි පාලමේ සිට අතුරුගිරිය දක්වා තෙත් බිමක් සේ සැලකෙන තලංගම පාරිසරික සංරක්ෂණ කලාපය හරහා මංතීරු 4 කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

අදාළ නඩුව විභාගයට ගන්නා දින තෙක් තලංගම පාරිසරික සංරක්ෂණ කලාපය හරහා අදාළ මාර්ගය සැලසුම් නොකරන ලෙසයි අධිකරණය විසින් වගඋත්තරකරුවන් වෙත සීමිත නියෝගයක් නිකුත් කර ඇත්තේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පාර්ශ්වයන් 11 දෙනෙකු නම් කර තිබුණා.

අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා හමුවේ ඊයේ (21) කැදවූ අතර ඒ අනුවයි අදාළ නියෝගය නිකුත් කෙරුණේ ෴

***************************************

පොල් ගෙඩි 30 ක් සොරකම් කළ පුද්ගලයෙකුට ඇප

(22.02.2022 – 10:32 +0530 – hirunews.lk/sinhala)

පොල් ගෙඩි 30 ක් සොරා ගැනීමේ සිද්ධියකට ගාල්ල – උණවටුන – යටගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා (19) රාත්‍රී කාලයේදී මෙම පුද්ගලයා යටගල ප්‍රදේශයේ තම ඉඩමෙන් පොල් ගෙඩි සොරකම් කළ බවට ඉඩම් හිමියා විසින් පොලීසියට පැමිණිලි කර තිබුණා.

පසුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටයි ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල නියෝග කරනු ලැබුවේ ෴

***************************************

සේවා හා භාණ්ඩ බදු සංශෝධන පනත ගැන අධිකරණයෙන් විශේෂ දැනුම්දීමක්

(22.02.2022 – 10:44 +0530 – hirunews.lk/sinhala)

විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ග්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අද (22) පෙරුවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු නිවේදන දැනුම් දෙමින් කථානායකවරයා කියා සිටියේ එම වගන්ති සම්මත කිරීමට නම් තුනෙන් දෙකක බලයක් හෝ ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරය දැනුම් දී ඇති බවයි.

මේ අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා තුන්වන (3) අදියරේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක යොමු කළ ප්‍රශ්නයකට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිතුරු ලබාදීමේ දී සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *