රට ගොඩනගන්න එක්වන්නැයි දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් – ජනපති

රට ගොඩනගන්න එක්වන්නැයි දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් – ජනපති

*********************************************

රට ගොඩනගන්න එක්වන්නැයි දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් – ජනපති

(21.02.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala)

දේශීය කර්මාන්ත සඳහා ආයෝජනය කර රට ගොඩනගන්න එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දේශීය ව්‍යවසායකයින්ට ඇරයුම් කරනවා.

ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ව්‍යවසායකයින් සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

සංවර්ධන ක්‍රියාවලිය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ අරමුණින් සාකච්ඡාව කැඳවා තිබිණ. විදේශ විනිමය උත්පාදනය, රාජ්‍ය මුදල් ප්‍රතිපත්තිය, විදේශ රැකියා ප්‍රවර්ධනය, ආයෝජන දිරිගැන්වීම, අපනයන ඉහළ නැංවීම, පුනර්ජනනීය බලශක්ති, කෘෂිකාර්මික නිෂ්පාදන, පොහොර ප්‍රමාණවත්ව සැපයීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර රැසක් පිළිබඳ සාකච්ඡා වුණා.

පුනර්ජනනීය බලශක්තිය, හරිත කෘෂිකර්මාන්තය, තාක්ෂණ උද්‍යාන, හරිතාගාර ඇතුළු ක්ෂේත්‍ර රැසක මහා පරිමාණ ආයෝජනයෙන්, විදේශ විනිමය පාලනය කිරීමේ මහගු අවස්ථාවක් උදාවන බව ජනාධිපතිතුමා සඳහන් කළා.

දේශීය ව්‍යවසායකයන් රට ගොඩනැගීමට ලබා දෙන සහාය අගය කළ ජනාධිපතිතුමා ලෝක වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් ආර්ථිකය ගොඩනැගීමට රජය උත්සාහ දරණ අවස්ථාවේ ඇතමුන් සිය පටු අරමුණු වෙනුවෙන් ගෙන යන වැරදි මතවාද නිවැරදි කිරීමට ව්‍යාපාරික ප්‍රජාවට හැකියාව පවතින බවජනාධිපතිතුමා පැවසුවා.

ගත වූ දෙවසර තුළඉදිකිරීම්ක්ෂේත්‍රයේ සිදු වූ පිබිදීමත් සමග සිමෙන්ති සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමෙන් සිමෙන්ති හිඟයක් මතුව ඇති බව පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී සිමෙන්ති නිෂ්පාදනය සම්පූර්ණයෙන් රට තුළ සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව සඳහන් කළා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් වෙළෙඳපොළ තුළ නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඖෂධ මිල හැර භාණ්ඩ රැසක මිල පාලනය ඉවත් කිරීමටගත් තීරණයෙන්අයුතු ප්‍රයෝජන නොගන්නා ලෙස ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියා.

අත්පිට මුදලට ඉන්ධන ලබා ගැනීම අභියෝගයක් වුවත් සංවර්ධනයට සහ කර්මාන්තවලට හානියක් නොවන අයුරින් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමට රජය කටයුතු කරන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවා.

රටේ ආර්ථිකය ගැන ගෙන යන අසත්‍ය ප්‍රචාර මගින් විදෙස් ආයෝජන අවස්ථා රටට අහිමිවන බව පෙන්වා දුන් මහබැංකු අධිපතිවරයා සියලු විදෙස් ණය ගෙවීමට රජයට හැකියාව ඇති බවත්, ණය නොවන ආයෝජන රටට ගෙන්වාගැනීමට කටයුතු කරන බවත් සඳහන් කළා.

රජයේ කොවිඩ් පාලන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ ව්‍යවසායකයෝ එහි සාර්ථකත්වය හේතුවෙන් තම ව්‍යාපාර ආරක්ෂා වූ බව පැවසූහ. ඇතැම් රටවල් කාර්යක්ෂමව කොවිඩ් වසංගතය පාලනය කිරීමට අපොහොසත් වීමෙන් එම රටවලට ලැබීමට නියමිතව තිබූ ඇණවුම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට හිමි වූ බවඔවුහු පෙන්වා දුන්නා.

කොරෝනා පශ්චාත් සමයේ සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිබිදීමක් රට තුළ දක්නට ලැබේ.එහි ප්‍රවර්ධනය සඳහා සංචාරකයන්ගේ පහසුකම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව ව්‍යවසායකයෝ සඳහන් කළා.

අධ්‍යාපනය සඳහා සිසුන් විදේශගතවීම සම්පූර්ණයෙන් නතර කර, රට තුළ එම අධ්‍යාපන අවස්ථා උදාකරදීමට අවශ්‍ය යාන්ත්‍රණය සකසන ලෙස ද ව්‍යවසායකයෝ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා.

***************************************

බ්‍රිතානයෙන් එවූ අපද්‍රව්‍ය බහාලුම් අවසන් තොගයත් ප්‍රති අපනයනයට නැව්ගත කරයි

(21.02.2022 – 18:06 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතානයේ සිට මෙරටට එවා තිබූ අපද්‍රව්‍ය අඩංගු අවසන් බහාලුම් 45 ක තොගය ප්‍රති අපනයනය සඳහා නැව්ගත කිරීම අද (21) සිදු කෙරුණා.

ඒ, කොළඹ වරායේ සී.අයි.සී.ටී. අංගනයේ දීයි.

ඒ අනුව අදාළ බහාලුම් රැගත් ‘එවර් – ජීනියස්’ නෞකාව අද (21) රාත්‍රියේ කොළඹ වරායෙන් පිටත්ව යන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා සඳහන් කළේ.

බ්‍රිතානයේ සිට මෙරටට ආනයනය කළ සායනික අපද්‍රව්‍ය, පාවිච්චි කරන ලද මෙට්ට, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ වර්ගීකරණය නොකල හා අන්තරායකර අපද්‍රව්‍ය අඩංගු බහාලුම් 2463 ක් සොයා ගැනුණේ පසුගිය 2019 වසරේයි.

ඉන් බහාලුම් 133 ක් කොළඹ වරායේ ගබඩා කර තිබූ අතර, අනෙක් බහලුම් 130 ඒ වන විටත් වරායෙන් නිශ්කාෂණය කර කටුනායක ආයෝජන කලාපයේ පෞද්ගලික ගබඩාවක තැන්පත් කර තිබූ බවයි අනාවරණ වුණේ ෴

***************************************

ශ්‍රී ලංකාව ගැන අයි.එම්.එෆ්. ආර්ටිකල් 4 වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්

(21.02.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මෙරට ණය තිරසාරත්වය පිළිබදව විශ්ලේෂණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැකසූ ‘ආර්ටිකල් 4’ වාර්තාව එළඹෙන 25 වන දා එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කරන අතර, එය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

කොළඹ දී අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා ෴

***************************************

කොළඹට පැමිණි ගොවීන්ට පොරොන්දුවක්

(21.02.2022 – 19:35 +0530 – hirunews.lk/sinhala)

සිය ගැටළුවලට විසදුම් ඉල්ලා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත අද පැමිණි ගොවීන්, අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවක් මත විසිර ගියා.

විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඔවුන්ට ප්‍රතිඥා ලබාදී ඇත්තේ සති දෙකක් (2) තුළ ගැටළුවලට විසදුම් ලබාදෙන බවටයි.

කෘෂි රසායනික නොමැතිවීමෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ගෙවීමට චක්‍රලේඛයක් නිකුත් කිරීම ඇතුලු ඉල්ලීම් අටක් (8) මුල් කරගනිමින් ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත අද (21) පැමිණියේ විරෝධතා පා ගමනකින්.

ගොවීන්ගේ පා ගමන, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පැමිණීමෙන් අනතුරුව ගොවි ජාතික සමුළුව නියෝජනය කරන නියෝජිතයින් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණා.

මේ අතර, රසායනික පොහොර හිඟවීම සහ මිල ගණන් අධික වීම නිසා තම එළවළු වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට බදුල්ලේ ගොවීන් චෝදනා කරනවා.

එමෙන්ම, විදේශීය කාබනික පොහොර මෙරටට ගෙන්වීම නතර කරන ලෙස ඉල්ලා අද (21) මහනුවර දී ‘ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිවිල් සංවිධාන එකමුතුව’ මහජන පෙත්සමකට අත්සන් ලබා ගැනීම ආරම්භ කළා ෴

***************************************

කොටවෙහෙරින් අතුරුදන් වූ රන් කරඬු ගැන හෝඩුවාවක්

(21.02.2022 – 19:43 +0530 – hirunews.lk/sinhala)

රඹුක්කන – දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තිබූ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් රන් කරඬු සොරකම් කිරීමේ සිද්ධියට අදාළ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.

ඒ අනුව අදාළ පෞරාණික භාණ්ඩ තැන්පත් කර තිබූ වීදුරු කුටියේ එම භාණ්ඩ සමග තිබූ රෙදි කැබැල්ලක් සහ ජංගම දුරකථනයක් සොයා ගැනුණේ විහාරස්ථාන භූමියේ අතහැර දමා තිබූ ළිඳක තිබියදියි.

පසුගිය 11 වන දා රාත්‍රියේ මෙම විහාරයේ තැන්පත් කර තිබූ පෞරාණික රන් කරඬු 5 ක් සහ පළිඟු කරඬු 3 ක් කිසියම් පිරිසක් විසින් පසුගියදා සොරාගෙන තිබුණා.

සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබාදීමට පොලීසිය තීරණය කළ අතර, විහාරාධිපති හිමියන් ද තවත් ලක්ෂ 10 ක මුදලක් පිරිනැමීමටයි තීරණය කරනු ලැබුවේ ෴

***************************************

‘නොම්බරේ’ අත්අඩංගුවට

(21.02.2022 – 19:48 +0530 – hirunews.lk/sinhala)

පෙර වැරදි 100 ක් ඇති දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු වන ‘නොම්බරේ’ නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුට එරෙහිව අධිකරණ කිහිපයකින් වරෙන්තු 6 ක් ද නිකුත් කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරකට අනුව බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේදී සැකකරු අද අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් තොගයක් ද සමගින් ෴

***************************************

රථවාහන ටයර්වල හිඟයක්

(21.02.2022 – 22:01 +0530 – hirunews.lk/sinhala)

ඩොලර් අර්බුදය හේතුවෙන් ලබන මැයි මාසයෙන් පසු ඇතැම් රථවාහන ටයර්වල හිඟයක් ඇති විය හැකි බව ටයර් ආනයනකරුවන් පවසනවා.

ආසියානු ටයර් ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, මේ වනවිට ඇතැම් වෙළෙඳුන් ටයර් හිඟයක් මවාපාමින් මිල ගණන් ඉහළ නැංවීමේ මාෆියාවක් ක්‍රියාත්මක කරන බවයි.

මෙරට තුළ වාහන අසූ තුන් ලක්ෂ තිස් එක් දහසක් (83,31,000) පමණ පවතින අතර, ඒ සඳහා වාර්ෂික ටයර් අවශ්‍යතාව 31,18,500 ක් පමණවනවා.

එම අවශ්‍යතාවයෙන් 18,50,000 ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කෙරෙන අතර සියයට 41.56 ක ප්‍රතිශතයක් වන 12,63,500 ක් ටයර් සපයා ගන්නේ ආනයන මගින්.

කෙසේ වෙතත් ටයර් ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මේ වනවිට මතුව ඇති ඩොලර් අර්බුදය හේතුවෙන් ටයර් ආනයනය දැඩි ගැටලුවක් වී ඇති බවයි.

***************************************

ජනාධිපති සමග ගොවියෙකු ප‍්‍රසිද්ධියේ මුහුණුට මුහුණ මත ගැටේ.. පොහොර ඉල්ලා කෑ ගසයි ..

(21.02.2022 – 22:02 +0530 – lankacnews.com)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ තේ වගාවේ නිරත වන වගාකරුවෙකු අතර සිදුවන උණුසුම් සංවාදයක වීඩියෝවක් සමාජ ජාලාවන්හි සංසරණය වෙයි.

තේ වගාව සඳහා පොහොර සහනාධාරය හෝ අඩු මිලට පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එම ගොවියන් ජනාධිපතිවරයා සමග අදහස් පල කරයි.

පොහොර නොමැති වීමෙන් තම අස්වැන්න විශාල වශයෙන් පහත බැස ඇති බවත් ගොවියා කියා සිටී.

නමුත් ජනාධිපතිවරයා පවසන්නේ වසර දෙකක් (2) නොමිලේ පොහොර දුන් බවත් අස්වැන්න අඩු වීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය.

කෙසේ වෙතත් මෙම සිදුවීම කෙදිනක වූවක්දැයි පැහැදිලි නැත.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

මුව ආවරණය ඉවත් කළ හැකි ද ?

(21.02.2022 – 11:42 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරන මුළුමනින් ම ඉවත් කළ හැකි බවට පැතිර යන පුවත්වල කිසිදු සත්‍යතාවක් නැති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුදැනුම මත එවැනි කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නො මැති බව යි ඔහු අවධාරණය කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කරන නිර්ණායක සහ විද්‍යාත්මක හේතු පදනම් කොටගෙන මිස සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පමණක් එවැන් බරපතළ තීරණයක් ගත නො හැකි බව විශේෂඥ වෛද්‍යවරයා විශේෂ කොට ප්‍රකාශ කරනවා.

එසේ ම මේ වන තුරුත් එසේ මුව ආවරන පූර්ණ වශයෙන් ඉවත් කළ ලොව කිසිදු රටක් නො මැති බව යි වෛද්‍යවරයා පවසන්නේ.

සියලු ම ජනයා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමෙන් අනතුරු ව හා සංචාරණ සීමාවන් ලිහිල් කළ පසු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ පරිදි මෙම මුව ආවරණය ඉවත් කිරීමට හැකි බව ඔහු අවසාන වශයෙන් සඳහන් කරනවා.

මේ අතර, සුප්‍රසිද්ධ පොප් ගායක ජස්ටින් බීබර්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ලාස් වේගාස්හි ඊයේ (20) පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් ද මේ හේතුවෙන් කල් දැමුණා ෴

++++++++++++

දෛනිකව සුවය ලද ඉහළම සංඛ්‍යාව කලකට පසුව අද (21) දිනයේ දී

(21.02.2022 – 15:14 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10,001 දෙනෙකු අද (21) දිනයේ දී පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරනවා.

ඒ අනුව මෙරට තුළ වෛරසය ආසාදිතව සිට සුවය ලද සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6,17,120 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මෙන්ම නිවෙස්ගතව සිට නිරෝධායනය වන පුද්ගලයින් සංඛ්‍යාව 13,724 ක් වන අතර සිදු ව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16,000 කට ආසන්නව ඇත්තේ එහි අගය 15,994 ක් ලෙස සටහන් කරමින්.

එමෙන්ම මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත සංඛ්‍යාව ද මේ වනවිට 6,37,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා ෴

++++++++++++

උසස් පෙළ ඉවරනම් වහාම දෙවන එන්නත ලබාගන්නැයි සිසුන්ට නිවේදනයක්

(21.02.2022 – 17:17 +0530 – hirunews.lk/sinhala)

මෙවර උසස් පෙළ විභාගයේ තමන්ට නියමිත සියලු විෂයන් සදහා පෙනීසිටි සිසුන් වහාම තමන්ට නියමිත දෙවන (2) කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රාව ලබාගැනීමට යොමු වෙන්නැයි සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

දිවයිනපුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල වල පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථාන ඒ වෙනුවන් සූදානම් කර ඇති බවයි ඔවුන් දැනුම්දෙන්නේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු පැහැදිලි කලා ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 30 ක්

(21.02.2022 – 18:45 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 30 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,024 ක් දක්වා ඉහළ යනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *