එම්.සී.සී.අයි (MCCI) චීන සමාගම ජනපතිට ලිව්වට වැඩක් වී නැහැ – ඉදිරිපත් කළ ලංසුව සලකා බැලීම නැවත ඉවත දමයි

එම්.සී.සී.අයි (MCCI) චීන සමාගම ජනපතිට ලිව්වට වැඩක් වී නැහැ – ඉදිරිපත් කළ ලංසුව සලකා බැලීම නැවත ඉවත දමයි

*********************************************

එම්.සී.සී.අයි (MCCI) චීන සමාගම ජනපතිට ලිව්වට වැඩක් වී නැහැ – ඉදිරිපත් කළ ලංසුව සලකා බැලීම නැවත ඉවත දමයි

(21.02.2022 – 14:55 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ රඹුක්කන සහ ගලගෙදර අතර කොටස ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය කැඳවූ ටෙන්ඩරයට මෙරට සමාගමක් සහ චීන සමාගමක් ලංසු ඉදිරිපත් කර තිබුණා.

එහිදී චීන සමාගම ඩොලර් මිලියන 1050 (රුපියල් බිලියන 210 ) ක ලංසුවක් ඉදිරිපත් කර තිබූ අතර ලංකා සමාගම ඉදිරිපත් කර තිබූ මිල ගණන දැක්වුණේ ඩොලර් මිලියන 1872 ( රුපියල් බිලියන 374.4) ක් වශයෙන්.

කෙසේ වෙතත් ප්‍රසම්පාදන කමිටු විසින් මෙම ලංසු සලකා බැලීමේදී එම කොටස ඉදිකිරීම සඳහා වැඩි මිල ගණනක් ඉදිරිපත් කළ මෙරට සමාගමට අනුමැතිය ලබාදීමට තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ චීන එම්.සී.සී.අයි. සමාගම ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පිටු හතරක (4) ලිපියක් යොමු කර තිබුණේ මෙරට සමාගම සහ සිය සමාගම අතර ඇති මිල ගනන් වල මූල්‍ය පරතරයද පැහැදිලි කරමින්.

නමුත් එවැනි තත්ත්වයක් යටතේ ද චීන එම්.සී.සී.අයි. (MCCI) සමාගම විසින් ඉදිරිපත් කළ වාසිදායක ලංසුව නැවත වරක් ප්‍රතික්ෂේප කිරීමට මහා මාර්ග අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.

මීට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ මෙම ලංසුව පැමිණ ඇත්තේ තවත් ප්‍රකට චීන සමාගමක් වන එම්.සී.සී. හෙවත් ‘මෙටර්ලොජිකල් කෝපරේෂන් ඔෆ් චයිනා’ (metelogical corporation of china) නමැති සමාගමෙන් නොවන බවයි.

මෙම සමාගම එම ප්‍රධාන සමාගමට අනුබද්ධ සමාගමක් බවත් යම් හෙයකින් එම ප්‍රධාන සමාගම හරහා මෙම ලන්සුව ඉදිරිපත් කර තිබුණේ නම් ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ ප්‍රස්ථාව තිබූ බවත් මහාමාර්ග අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පවසා සිටියා.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අදාළ ලිපිය යොමු කර ඇත්තේ MCC International Incorporation LTD (MCCI) නමැති සමාගමයි.

අදාල සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් කළ මිල ගනන් දේශීය සමාගම හා සංසන්දනාත්මකව සලකා බැලීමේදී රුපියල් බිලියන 164.4 ක වෙනසක් ඇති බව එම ලිපිය හරහා අදාල සමාගම ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.

මෙරට ප්‍රධාන පෙළේ මාර්ග ව්‍යාපෘති ගණනාවක වැඩ කටයුතු නියමිත කාල සීමාවන් ටත් පෙර සාදා නිමකර භාර දී තිබූ අදාල සමාගම මෙම ලංසුවේ දී නොසලකා හැරුණේ කුමන හේතුවක් නිසාවෙන් ද යන්න පිළිබඳව ඔවුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියෙන් ප්‍රශ්න කර සිටිනවා.

මේ අතර මෙම කූඨ ගනුදෙනුව සම්බන්ධයෙන් ‘දූෂණ විරෝධී හඬ’ සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවක් දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා.

මෙහිදී අදහස් දැක්වූ එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ කියා සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ බරපතල ගැටලු සහිත මගඩියක් සිදුව ඇති බවයි.

“ගලගෙදර සිට රඹුක්කන දක්වා වූ කිලෝ මීටර් කිලෝමීටර් 20 ක කොටසක් සෑදීම සඳහා මේ ටෙන්ඩරය සඳහා චීන සමාගමක් හා ලංකා සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් කරලා තිබුණා. චීන සමාගම ඩොලර් මිලියන 1050 (රුපියල් බිලියන 210) යි. ලංකා සමාගම ඩොලර් මිලියන 1872 (රුපියල් බිලියන 374.4 ) යි. ලංකාවේ සමාගමට කිලෝමීටරයක් හැදීම සඳහා ඩොලර් මිලියන 92 ක් වැය වෙනවා. චීන සමාගමට කිලෝමීටරයක් හැදීම සඳහා වැයවෙන්නේ ඩොලර් මිලියන 52.5 යි. මෙතැනදී චීන සමාගම ඩොලර් මිලියන 822 ක් අඩුවෙන් ටෙන්ඩර ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ මුදලින් හම්බන්තොට වරායත් හදලා නෙළුම් කුලුනත් හදලා සල්ලි ඉතිරි වෙනවා. මෙතනදී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයම රවට්ටලයි තියෙන්නේ. මේ කැබිනට් පත්‍රිකාව නීතිපතිවරයාට යොමු කරලත් නැහැ. මේ හදන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවෙන් කොල්ල කෑ මුදලටත් වඩා දහ (10) ගුණයකටත් වැඩි මුදලක් මංකොල්ල කන්න. 2015 පෙබරවාරි මහ බැංකුව කැඩුව වගේ, 2022 පෙබරවාරි අධිවේගී ව්‍යාපෘතිය හරහා මේ රටේ භාණ්ඩාගාරය කඩන්නයි මේ හදන්නේ. ඒ නිසා අපි කියනවා මේ ටෙන්ඩරය වහාම අවලංගු කරන්න යළිත් ටෙන්ඩර් කැඳවන්න.”

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔවුන් අවධාරණය කළේ නැවතත් රට තුළ දූෂණය සහ වංචාව ඉතා බරපතල මට්ටමෙන් හිස ඔසවමින් තිබෙන බවයි.

මෙහිදී ඔවුන් මෙම වංචා සහ දූෂණ මැඬලීම සඳහා ජනාධිපති වරයා වහාම ක්‍රියාත්මක විය යුතු බවටත් ඔවුන් අවධාරණය කළා ෴

***************************************

මාදුරුඔය රක්ෂිතයෙහි වනසතුන් සමග සෙල්ලම් දැමූ පස් (5) දෙනෙකුට වැඩ වරදියි

(21.02.2022 – 11:30 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී නීතිවිරෝධී ලෙස මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ ඔමුණුගල කැලෑ ප්‍රදේශයේ දී වනසතුන් දඩයම් කළ පුද්ගලයින් පස් දෙනෙකු (5) අත් අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ඊයේ (20) පස්වරුවේ සිදු කළ මෙම මෙහෙයුමේ දී බලපත්‍ර රහිතව මෙරට නිපදවන ලද වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක් ආධාරයෙන් සත්ත්ව දඩයමේ යෙදුණු සහ දඩයම් කළ සත්ත්ව දඩමස් ළඟ තබාගත් සැකකරුවන් පිරිසක් මෙලෙස පොලිස් අත් අඩංගුවට ගැනුණා.

මෙලෙස අත් අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනා (5) ඉරාසතුරෛ – නගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 25 – 35 අතර වයස්වල පසුවන්නන්.

සැකකරුවන් සන්තකයේ තිබී වල් ඌරු මස් කිලෝග්‍රෑම් 22 ක්, මුව මස් කිලෝග්‍රෑම් 25 ක්, වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක්, ඊයම් පතොරම් 13 ක්, විදුලි පන්දම් 05 ක් සහ පිහි 02 ක් ද පොලිස් භාරයට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වීමට සැකකරුවන් සමග නඩු භාණ්ඩ පනිජ්ජාඔය වනජීවී කාර්යාලය වෙත භාර දෙනු ලැබුවා ෴

***************************************

රහසිගත ව පක්ෂීන් අලෙවි කළ හතරකට (4) දඩ

(21.02.2022 – 13:05 +0530 – hirunews.lk/sinhala)

රහසිගතව පක්ෂීන් අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර (4) දෙනෙකුට එරෙහිව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියම කර තිබෙනවා.

පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණා.

සැළලිහිනියන්, ගිරවුන්, අලු කොබෙයියන්, මයිනන් ආදී ආරක්ෂිත පක්ෂීන් රහසිගතව වට්ස්ඇප් හරහා අලෙවි කිරීමේ ජාවාරමක ඔවුන් නිරතවී ඇති අතර, වවුනියාව, යාපනය, කොළඹ, මහනුවර, මාතලේ ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පොදු බස් රථ මගින් එම පක්ෂීන් ප්‍රවාහනය කර තිබෙනවා.

සැකකරුවන් භාරයේ සිටි ගිරවුන් තුන්දෙනෙකු (3) ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට භාරදී ඇති අතර, අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ට පොළොන්නරුව අතිරේක මහේස්ත්‍රාත් දේවිකා සී ජයවර්ධන රුපියල් 1,50,000 ක දඩමුදලක් ගෙවන ලෙස නියෝග කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

***************************************

ණයක් අනුමත නො කළැ යි ගීතාට මරණ තර්ජනයක්

(21.02.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබාදෙන ණය මුදලකට අනුමැතිය ලබා නොදීමේ සිද්ධියක් මුල් කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට බැණ මරණ තර්ජනය කළ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (19) මන්ත්‍රීවරියගේ ඇල්පිටිය – හඹුරුගල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත පැමිණි සැකකරු, තමන්, අඩු ආදායම්ලාභියෙකු බැවින් රජයෙන් ණයක් ලබාගැනීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් එම පුද්ගලයා ඊට සුදුසුකම් නොලබන බැවින් මන්ත්‍රීවරිය ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ තර්ජනය සිදුකර ඇත්තේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ ඌරගස්මංහන්දිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගැනුණා.

60 හැවිරිදි මෙම සැකකරු ඇල්පිටිය – තොටකනත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ අද (21) දිනය දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට යි ෴

***************************************

ධනේෂ්වර ආර්ථිකයෙන් විනාශ වූ රට ගැන අගරදගුරු හිමිගෙන් ප්‍රකාශයක්

(21.02.2022 – 13:14 +0530 – hirunews.lk/sinhala)

නිදහස් වෙළෙඳ ආර්ථික ක්‍රමවේදය මෙරටට හඳුන්වා දීමෙන් රට විනාශ වී ඇති බව, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කටාන ප්‍රදේශයේ පැවති ආශිර්වාද ගැන්වීමේ උත්සවයකදී උන්වහන්සේ මේ අදහස් පළකළා.

***************************************

වන්දි ඉල්ලා ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට

(21.02.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

කෘෂි රසායනික නො මැති වීමෙන් හානියට පත් වගාවන් සඳහා වන්දි ගෙවීමට චක්‍රලේඛයක් නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් අටක් (8) මුල් කරගනිමින් ගොවීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත අද (21) විරෝධතා පා ගමනකින් පැමිණියා.

ගොවි ජාතික සමුළුව විසින් සංවිධාන කර තිබූ මෙම පා ගමන පාර්ලිමේන්තු වටරවුමෙන් ආරම්භ කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිට ගොවි ජාතික සමුළුව නියෝජනය කරන නියෝජිතයින්ට කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබා දී තිබුණා.

මේ අතර අම්බලන්තොට – ලෝලුපතාන ප්‍රදේශයේ අක්කර දෙකක (2) වගා කර තිබූ කෙසෙල් ගස් 2,500 ක් පමණ කිසියම් පිරිසක් විසින් විෂ රසායනික ද්‍රව්‍යයක් එන්නත් කර විනාශ කර තිබෙනවා.

එම වගාවේ හිමිකරු වන එම්.ජී. රණතුංග කියා සිටියේ, තවත් මසකින් පමණ අස්වනු නෙලීමට තිබූ කෙසෙල් ගස් මෙලෙස විනාශ කර ඇති බවයි ෴

***************************************

බලධාරින්ගේ නෙත නොගැටුණු දෙහිදෙණිය විදුපියස

(21.02.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස මෙරට දැනට පවතින භෞතික සම්පත් රටට ඵලදායී ලෙස යොදාගැනීම බලධාරීන් සතු වගකීමක්.

නමුත් එම වගකීම ඉටු නොවීම හමුවේ කිසිවෙකුටත් ප්‍රයෝජනයක් නොමැතිව විනාශ මුඛයට යමින් පවතින ජනතා දේපළක් පිළිබඳවයි මේ අනාවරණය.

මේ මහනුවර, කටුගස්තොට අධ්‍යාපන කලාපයට අයත් ‘දෙහිදෙණිය ප්‍රාථමික පාසල’.

වසර 15 කට පමණ පෙර මෙය වසා දැමීමට බලධාරීන් පියවරගෙන ඇත්තේ සිසුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.

එතැන් පටන් මෙම විද්‍යාලයේ රුපියල් ලක්ෂ ගණනක් වටිනා දේපළ විනාශ වෙමින් පවතින බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ක්‍රීඩාංගණයක්, විශාල ප්‍රමාණයේ ගොඩනැගිලි දෙකක් (2), ගුරු නිවාසයක්, වැසිකිලි පද්ධතියක්, ඇතුළු හොඳ තත්ත්වයේ පවතින භෞතික සම්පත් විශාල ප්‍රමාණයක් තවමත් මෙහි දැකිය හැකියි.

මෙම ගොඩනැගිලිවලින් නිසි ප්‍රයෝජනයක් ගැනීමට බලධාරීන්ගේ අවධානය යොමුනොවීමේ පසුබිම හමුවේ විවිධ දුරාචාරවලටද මෙය තෝතැන්නක් වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ, මෙම ගොඩනැගිලි ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා යොදා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව බලධාරීන්ගේ සැලකිල්ලට නොගන්නා බවයි.

දශක 9 ක ඉතිහාසයකට උරුමකම් කියන දෙහිදෙණිය ප්‍රාථමික පාසලෙන් නැණස ලබාගත් දරුවන් සංඛ්‍යාව අතිමහත් වන අතර, නැවත පාසල ආරම්භ කිරීමට නොහැකි නම් මෙම ගොඩනැගිලි වෙනත් සුදුසු කාර්යයක් වෙනුවෙන් යොදාගන්නා ලෙසයි ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ.

***************************************

සංවර්ධනය හීනයක් වූ ඉපැරණි පාලම

(21.02.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

සංවර්ධනයේ අරුණළුවක සේයාවක්වත් නොදකිමින් ඉතා පෞරාණික වැදගත්කමක් සහිත පාලමක් වසර ගණනාවක සිට අභාවයට යෑමේ පුවතක් මහනුවර – වත්තේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මේ තොරතුරු ඒ පි‍ළිබඳවයි.

මේ වසර 150 ක් පමණ පැරණි ඉංග්‍රීසි යුගයේ ඉදිකළ, මහනුවර වත්තේගම නගරයේ සිට, මාතලේ ඇල්කඩුව සංචාරක කලාපයට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ ඇති පාලමයි.

ඉතා පෞරාණික වැදගත්කමක් සහිත ආරුක්කුවක් ලෙස නිර්මාණය කර ඇති මෙම පාලම මේ වනවිට දැඩි අනතුරුදායක තත්ත්වයකට පත්ව තිබෙනවා.

වත්තේගම නගරයේ සිට ඇල්කඩුව සංචාරක කලාපය දක්වා දෛනිකව දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙන අතර පාලම මතින් ගමන් ගන්නා වාහන සංඛ්‍යාව ද අතිමහත්.

ප්‍රදේශවාසීන් පවසන්නේ පාලමෙහි පැති බැමිද කැඩී ගොස් තිබීම හේතුවෙන් ඒ ආශ්‍රිතව සිදුවන අනතුරුද බහුල බවයි.

මෙම අනතුරුදායක තත්ත්වය පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කරමින් යොමුකළ ලිපි, කඩදාසිවලට පමණක් සීමා වී තිබෙනවා.

ප්‍රදේශය භාර දේශපාලන බලධාරීන් මෙන්ම නිලධාරීන්ද දිනකට කිහිපවතාවක් මෙම පාලම මතින් ගමන් කළද ඊට කිසිවෙකුගේත් අවධානය යොමු නොවීම විමතියට කරුණක්.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් නමුත් අනතුරකට අතවනන, මෙම පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

අසාද් සාලිගේ නඩුවක් ගැන අධිකරණයෙන් ප්‍රකාශයක්

(21.02.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

තමාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කර අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේබොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල පවත්වාගෙන යාමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය මාර්තු මස 23 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (21) ප්‍රකාශ කළා ෴

***************************************

නිදහස් දිනයේ එසවූ ජාතික කොඩියත් චීනයෙන් – ගම්මන්පිල

(21.02.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මෙවර නිදහස් සැමරුම සඳහා භාවිත කළ ජාතික ධජ, චීනයෙන් ආනයනය කළ ඒවා බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, එම පක්ෂයේ කඩුවෙල ජන සභාව පසුගිය දා අමතමින්.

අප මේ සම්බන්ධයෙන් බතික්, අත්යන්ත්‍ර සහ දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්ම කීර්තිගෙන් විමසිමක් කළ අතර, ඔහු කියා සිටියේ, ජාතික ධජ ආනයනය සදහා අවසර ලබා දී ඇත්තේ, තෝරාගත් පාර්ශවයන්ට පමණක් බවයි.

ජාතික ධජ නිර්මාණයට අවශ්‍ය අමුද්‍රව්‍ය පමණක් ආනයනය කෙරෙන බැවින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කළ කරුණු සම්බන්ධයෙන් තමා සොයා බලන බව ද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළා.

විෂය භාර රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, මෙරට ජාතික හා බෞද්ධ ධජ අවශ්‍යතාව දේශියව නිෂ්පාදනය කිරීමට තම අමාත්‍යාංශය සුදානම් බවයි.

මේ අතර, පේෂකර්ම කර්මාන්තයේ නිරත පුද්ගලයින් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඔහු ඒ බව කියා සිටියේ වව්නියාව දිස්ත්‍රික්කයේ අත්යන්ත්‍ර රෙදි නිපදවීමේ කාර්යයේ නිරත පිරිස් හා ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *