ජනපති කොමිසමේ සාක්ෂි සඟවලා – පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු වී නැහැ – කාදිනල් හිමිපාණන් කියයි

ජනපති කොමිසමේ සාක්ෂි සඟවලා – පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු වී නැහැ – කාදිනල් හිමිපාණන් කියයි

*********************************************

ජනපති කොමිසමේ සාක්ෂි සඟවලා – පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු වී නැහැ – කාදිනල් හිමිපාණන් කියයි

(19.02.2022 – 19:22 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමක් දක්නට නොමැති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරයට අදාළ කොමිෂන් වාර්තා වාර්තා ඇසුරින් ජාතික කතෝලික ජන සන්නිවේදන කොමිසම විසින් සම්පාදනය කරන ලද ‘තිත’ නම් කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

බදුල්ල රදගුරු අතිඋතුම් වින්ස්ටන් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති එම උත්සවයට කිතුණු ආගමික නායකයින් පිරිසක්ද එක්ව සිටියා.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සවය අමතනු ලැබුවා.

***************************************

සහෝදර පක්ෂ සමග නව සන්ධානයක් පිහිටු වන බව නිදහස් පක්ෂය කියයි

(19.02.2022 – 19:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින් සහෝදර දේශපාලන පක්ෂ සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ වව්නියාවේ අද (19) පැවති එම පක්ෂයේ වන්නි දිස්ත්‍රික් සමුළුව අමතමින් ෴

***************************************

අපරාධ රැසකට සම්බන්ධ 4 ක් අත්අඩංගුවට

(19.02.2022 – 20:32 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ ගණනාවක සංවිධානාත්මක අපරාධ කටයුතුවල නිරතවූ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් ගොතටුව, මහරගම, කඩුවෙල, කහතුඩුව යන පොලිස් බල ප්‍රදේශවල විවිධාකාර අපරාධවල නිරතවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අවුරුදු 21 ත් 43 ත් අතර වයස්වල පසුවන පුද්ගලයන් මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි අය බවට හෙළිවී තිබෙනවා.

මෙම සැකකරුවන් සොරකම් කළ යතුරුපැදි 4 ක්, ත්‍රී රෝද රථයක් (1), ජංගම දුරකතනයක් (1), අපරාධ සිදුකරන අවස්ථාවල මහජනතාව බිය ගැන්වීමට භාවිත කළ වායු රයිෆලයක් (1), මෙරට නිශ්පාදිත අත් බෝම්බයක් (1) සහ විදේශ රටක නිශ්පාදිත අත් බෝම්බයක් (1) සොයාගෙන තිබෙනවා.

සැකකරුවන් පුද්ගලයන් පැහැරගෙන යාම, ඔවුන්ගෙන් කප්පම් ලබාගැනීමට උත්සාහ කිරීම, රන් මාල කොල්ලකෑම සිදුකර ඇති බවටයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලින් හෙළිකරගෙන ඇත්තේ.

හලාවත කොස්වත්ත ප්‍රදේශයේදී ස්වාමීන් වහන්සේ නමකට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදු කිරීමට අදාළ සැකකරුවෙකු ද මේ අතර වන බව සඳහන්.

මෙම පුද්ගලයන් අද (19) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තුන්දෙනෙකු (3) ලබන මාර්තු මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

තවත් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදාහැර ඇති අතර කඩුවෙල පොලිසියයි විමර්ශන සිදුකරන්නේ ෴

***************************************

‘එක රටක් – එක නීතියක්’ කාර්ය සාධක බලකාය හමුවේ විශ්ව විද්‍යාල ප්‍රජාව අදහස් දක්වයි

(19.02.2022 – 21:45 +0530 – hirunews.lk/sinhala)

ලෝකයේ කිසිඳු රටක ක්‍රියාත්මක නොවූ සංකල්පයක් තේමා කර ගනිමින් රටේ පොදු නීතියක් ස්ථාපනය කිරීමට අඩිතාලම සැපයීමේ රජයේ උත්සහය බෙහෙවින් අගය කරන බව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු පවසනවා.

‘එක රටක් – එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් ලබා ගැනීම අද (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදු වූ අතර එහිදීයි ඔවුන් මේ බව කියා සිටියේ.

කොළඹ, රුහුණ, ජයවර්ධනපුර, යාපනය, අග්නිදිග, පේරාදෙණිය, කැලණිය, රජරට, වයඹ ඇතුළු විශ්ව විද්‍යාල 18 ක් නියෝජනය කරමින් පිඨාධිපතිවරු, ආචාර්ය, මහාචාර්යවරු සහ විද්‍යාර්ථයන් මීට එක්ව සිටියා.

ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දරන අදහස් සහ මතවාද සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කාර්ය සාධන බලාකය ස්ථාපනය කරනු ලැබුවා.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගේ අදහස් සහ යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් වූ අතර කාර්ය සාධක බලකායේ අදහස් විමසීමේ රැස්වීම් මාලාවේ ඉතා සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය හැදින්විය හැකි බව එහි සභාපති ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රකාශ කළේ.

සරු පසට – සරු පොළවට සභ්‍යත්වයට – ශිෂ්ටාචාරයට, සංස්කෘතියට ගරු කළ නිදහස් රටක් එදා අපට උරුම වුණා.

අධිරාජ්‍යවාදීන් අපෙන් උදුරාගත් ඒ රට, සියලුදෙනා එක්ව නැවත ඉල්ලා සිටිය යුතු බව උන්වහන්සේ සඳහන් කළේ.

මහපොළවේ ඇති ගැටලු ඇති සැටියෙන් හඳුනාගෙන විසඳුම් දීමේ නව ප්‍රවේශයක් ලෙස කාර්ය සාධක බලකාය ඉදිරියට යන බවත්, හොඳ අරමුණු පොත්වල ලියා තැබීමෙන් පමණක් ඵලක් නොවන අතර ඒවා ජයග්‍රහණය කරා මෙහෙයවීමට කැපකිරීම් කළ යුතු බවත් සඳහන් කළ උන්වහන්සේ ත්‍රස්තවාදය පරාජය කළත් බෙදුම්වාදය පිළිබඳ අදහස පරාජය කිරීමේ වගකීම තවමත් අප අතර තිබෙන බව ද කියා සිටියා.

ඒ සඳහා උගතුන් සහ බුද්ධිමතුන් සමග උඩුගම්බලා පිහිනීමට තම කණ්ඩායම සූදානම් බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

විදේශීය නීති අතරට ස්වදේශීක බවක් එක් කිරීම ජාතික අවශ්‍යතාවයක් ලෙස හඳුනාගත යුතුයි.

එක් ජන කොටසකට, සීමිත පිරිසකට අසාධාරණයක් සිදුවන විෂමතා නීතියේ තිබේ නම් ඒවා වහාම ඉවත් කළ යුතු බවත් කොළඹ නීති පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය කියා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු මැජික් ලියවිල්ලක් නොවේ. මූලික නීති සංකල්ප එහි අන්තර්ගතය. ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව එකම නීතියක ආධිපත්‍යයක් සහිත රටක් ගොඩනැගීම අවශ්‍ය බව ද මහාචාර්යවරිය පැවසුවා.

විවිධ ජනවර්ග, සංස්කෘතින් හා භාෂා පැවතීම රටකට ඇති ශක්තියක් සේම වටිනාකමක්. කිසිදු ජන කොටසකට නොරිදෙන සමාජ සාධාරණත්වයක් හා සමානතාවක් වෙනුවෙන් සියලුදෙනා කැපවීමේ අවශ්‍යතාව ද එතුමිය අවධාරණය කළ අතර එක රටක් – එක නීතියක් වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ උපරිම සහාය ලබා දෙන බව ද ප්‍රකාශ කළා.

කාර්ය සාධක බලකාය හමුවේ අදහස් දැක්වීමට විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන්ගේ ද විශාල උනන්දුවක් දක්නට ලැබුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

යාවත්කාලීන වන ලෝකය හමුවේ නීතිය ද යාවත්කාලීන විය යුතු බව පෙන්වා දුන් ඔවුහු ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය මෙම බලකාය මගින් යෝජනා කෙරෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කියා සිටියා.

‘එක රටක් – එක නීතියක්’ සඳහා යන ගමනේ දී නීති පිළිබඳ සාක්ෂරතාව ප්‍රමාණවත් නොවීම ගැටලුවක් බව පෙන්වා දුන් සිසුන් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියකින් එය නිවැරදි කරන ලෙස ඉල්ලා සිටියා ෴

***************************************

ලක්ෂ 40 ක හෙරොයින් සමග පුද්ගලයෙකු STF අත්අඩංගුවට

(19.02.2022 – 22:59 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ මූලස්ථාන කඳවුරේ ස්ථාපිත විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

කොටුව මල්වත්ත පාරේදී අත්අඩංගවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 248 ක් සොයාගෙන තිබෙනවා.

කොළඹ 11 ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා 53 හැවිරිදි අයෙක්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය කියාසිටියේ ෴

***************************************

‘පන්සලක්’ මුවාවෙන් වල්සාදුන්ට ගණිකා නිවාසයක්.. එක් වල්සාදුවෙකුගේ පුතෙක් වාහන හොරෙක්.. රතනයාගේ නමත් කියැවෙයි…

(20.02.2022 – 22:10 +0530 – lankacnews.com ඇසුරෙන්)

ප්‍රදේශවාසීන්ගේත්, මහා සංඝරත්නයේත්, මහනායක හිමිවරුන්ගේ දැඩි විරෝධය නොතකා පොතුහැර අරඹේපොල ප්‍රදේශයේ ‘පන්සලක්’ මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බව ‘දුක හඳුනන අපි’ සංවිධානය සඳහන් කරයි.

මෙම ස්ථානය ‘පන්සලක්’ ලෙස පවත්වාගෙන ගියද ලියාපදිංචි කර ඇත්තේ ‘හෝටලයක්’ ලෙස බව සංගමයේ සභාපති නිලන්ත රණසිංහ මහතා සඳහන් කරයි.

එම ‘පන්සල’ විකුණා දැම්මේ අතුරලියේ රතනයා විසින් බවද ඔහු පවසයි.

එම ස්ථානයේදී වල්සාදුන්ට වල් ගෑණුන් සපයා ඔවුන් ‘බ්ලැක්මේල්’ කරමින් සිටින බවද එක් වල්සාදුවෙකුගේ පුතෙක් වාහන සොරකමේ යෙදෙන්නෙක් බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

***************************************

13-02-2022

***************************************

මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකුට (4) ජීවිත අහිමිවේ

(20.02.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකුට (4) ජීවිත අහිමිව , තිදෙනකු (3) බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

ඒ අනුව, කළුතර පොලිස් වසමේ කළුතර – හොරණ මාර්ගයේ උග්ගල්බඩ හන්දිය අසල දී කළුතර දෙස සිට හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් විරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කළුතර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්ත්ටේ කළුතර උතුර ප්‍රදේශයේ ම පදිංචි 57 හැවිරිදි අයෙක්.

ලොරි රථයේ සහ යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අදාළ අනතුරට හේතුව වී තිබෙනවා.

නාරම්මල පොලිස් වසමේ මීවැව – කලිපොල අතුරු මාර්ගයේ වෙන්දේසිවත්ත ප්‍රදේශයේ දී ඊයේ (19) රිය අනතුරක් සිදු ව එක් (1) අයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

කලිපොල දෙස සිට මීවැව දෙසට ධාවනය වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

බරපතළ තුවාල ලැබූ 22 හැවිරිදි කලුගමුව ප්‍රදේශයේ පදිංචිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර, ඊයේ (19) අලුයම පල්ලෙකැල්ලේ – මහනුවර , මහියංගනය – ලක්සෙන්පාය ප්‍රදේශයේ දී තවත් අනතුරක් සිදුව පුද්ගලයෙකුට (1) දිවි අහිමි වුණා.

මහියංගනය දෙස සිට මහනුවර දෙසට ධාවනය කළ වෑන් රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු මහනුවර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 54 හැවිරිදි මකුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි පොලිස් විශේෂ කාර් යය බලකායට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

ඊයේ (19) රාත්‍රී කාලයේ දී සිදු වූ තවත් අනතුරකින් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත් වුණා.

ඇඹිලිපිටිය මාර්ගයේ නෝනාගම ප්‍රදේශයේ සිදු වූ කැබ් රථ අනතුරකින් පදිකයෙකු (1) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නෝනාගම දෙස සිට ඇඹිලිපිටිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකුගේ ගැටී මෙම අනතුර සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා පදලංගල – චන්ද්‍රිකා වැව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදි කරවිලයාය – තුංකම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, මීගමුව පොලිස් වසමේ කුරන – කැප්පිටිපොල මාවතේ දුම්රිය හරස් මාර්ගයේ දී අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කළ ත්‍රීරෝද රථයක් කටුනායක දෙස සිට පුත්තලම දෙසට ධාවනය කළ දුම් රියේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු (1) හා මගීන් දෙදෙනකු (2) මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙලෙස අනතුරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 39 ත් 47 ත් අතර වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

ප්‍රමිතියකින් තොර බීජ ලබා දී ඇති බවට අනුරපුර ගොවීන්ගෙන් චෝදනා

(20.02.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

නිසි ප්‍රමිතියෙන් තොර ආනයනික බීජ ලබාදීම හේතුවෙන් මෙවර සිය අස්වනු අඩු වී ඇති බවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් චෝදනා නගනවා.

මේ අතර, අනුරාධපුර – ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ ගොවීන්ට ප්‍රමිතියකින් තොර කොම්පෝස්ට් පොහොර ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (19) උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ගලෙන්බිදුණුවැව – 185 තුලානේ ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙන්නේ ගොවි සංවිධාන හරහා රුපියල් 1200 ක මුදලකට අදාළ කොම්පෝස්ට් පොහොර මිටියක් ලබා ගන්නා ලෙස සිවලාකුලම ගොවිජන සේවා මධ්‍යස්ථානය තමන් දැනුවත් කළ බවයි.

කෙසේ වෙතත්, කොම්පෝස්ට් පොහොර මිටිය ලබා නොගතහොත් නියමිත පොහොර සහනාධාරය ලබා නොදෙන බවට එහිදී ගොවි සංවිධාන නියෝජිතයින් ප්‍රකාශ කළ බවයි පොහොර ලබා ගැනීමට පැමිණි ගොවීන් කියා සිටියේ.

මේ පිළිබඳව විමසීම සඳහා පසුව ඔවුන් සිවලාකුලම ගොවිජන සේවා මධ්‍යස්ථානයට ද ගොස් තිබෙනවා.

මෙවැනි පොහොර බෙදා දීමක් පිළිබඳව තමන් දැනුවත් නොවූ බවට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය නිලධාරිවරයා ප්‍රකාශ කිරීමත් සමග එහිදී ඔහු සහ ගොවීන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *