නව ආගමික ස්ථාන ලියාපදිංචිය කෙරෙහි තවදුරටත් කතිකාවතක් අවශ්‍යයි – ජනපති බෞද්ධ උපදේශක සභාව

නව ආගමික ස්ථාන ලියාපදිංචිය කෙරෙහි තවදුරටත් කතිකාවතක් අවශ්‍යයි – ජනපති බෞද්ධ උපදේශක සභාව

*********************************************

නව ආගමික ස්ථාන ලියාපදිංචිය කෙරෙහි තවදුරටත් කතිකාවතක් අවශ්‍යයි – ජනපති බෞද්ධ උපදේශක සභාව

(18.02.2022 – 20:35 +0530 – hirunews.lk/sinhala)

නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර, තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දෙනවා.

බෞද්ධ උපදේශක සභාව අද (18) පස්වරුවේ 13 වන වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදීයි මේ බව සඳහන් කෙරුණේ.

නව ආගමික ස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම, ඉරුදින දහම් පාසල් පවත්වාගෙන යාම, කතිකාවත් හා විහාර දේවාලගම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී ඒ ඒ ආගම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිල්ලට ගත යුතු බව සාකච්ඡාවට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

බෞද්ධ විහාරස්ථාන ලියාපදිංචියේ දී අදාළ නිකායේ මහානායක හිමියන්ගේ සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන්ගේ නිර්දේශය මත ලියාපදිංචියට අවසර දීම කෙරෙහි විශේෂ අවධානය යොමු වුණා.

පුරාවස්තු සහිත භූමි කේන්ද්‍රව පිහිටවන විහාරස්ථාන ලියාපදිංචි කිරීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය සහ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව ද මහා සංඝරත්නය ප්‍රකාශ කර තිබෙනවා.

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සමාලෝචනය කළ අතර ඉදිරි මාස කිහිපය තුළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි බවයි පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් අනුර මනතුංග මහතා සඳහන් කළේ.

නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන මැනුම් සඳහා ඉල්ලීම් 484 ක් ලැබී ඇති අතර ඉන් 64 ක මැනුම් කටයුතු සම්පූර්ණයෙන් නිම කර තිබෙනවා.

ඉන් ස්ථාන 22 ක් සඳහා පිඹුරුපත් සකස් කෙරෙමින් පවතින බවයි මිනුම්පති ආරියරත්න දිසානායක මහතා පැවසුවේ ෴

***************************************

පාඨලීගේ නඩුව යළි මාර්තු 07

(18.02.2022 – 18:54 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට (3) එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් දමන ලෙස එහි විත්ති පාර්ශ්වය වෙනුවෙන් කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

2016 වසරේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් පැදවූ ජිප් රථයක් මගින් සංදීප් සම්පත් නමැති තරුණයකු බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි ගෙතීම, සාක්ෂි වසන් කිරීම සහ අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ යපාඨලී චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට (3) එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත්තේ නීතිපතිවරයා විසින්.

ඊට අදාළ නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, නඩුවට අදාළ ඇතැම් ලේඛන තමන් වෙත ලැබී නොමැති හෙයින් එම ලේඛන ලැබෙන තුරු සාක්ෂි විභාගය කල් දමන ලෙස ඉල්ලා සිටියා.

නමුත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් ඊට විරෝධය පළ කළා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නේ විත්තිය විසින් ඉදිරිපත් කරන මෙම කරුණ නඩු විභාගයක් කල් තැබීම සඳහා සාධාරණ හේතුවක් නොවන බවයි.

නඩු විභාග කල් යාම පිළිබඳව හාස්‍යයෙන් කතා කරන පුද්ගලයින් අධිකරණයේ සිටිය හොත් එම කල් යාම් සිදු වන්නේ කෙසේදැයි වටහා ගැනීමට හැකි වනු ඇතැයි සඳහන් කළ විනිසුරුවරයා නඩු විභාග කඩිනමින් අවසන් කිරීම මහජනතාව අපේක්ෂා කරන කරුණක් බවත් පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කොට නඩුවේ සාක්ෂි විභාගය පැවැත්වීමටයි විනිසුරුවරයා තීන්දු කළේ අනතුරුව විත්තිකාර පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මෙම අනතුරෙන් ආබාධිත වූ සන්දීප් සම්පත් ගුණවර්ධන තරුණයා ගේ පියා වන දයානන්ද ගුණවර්ධනගෙන් හරස් ප්‍රශ්න විමසනු ලැබුවා.

එහිදී ඔහු කියා සිටියේ යම් යම් අයගේ දේශපාලන අවශ්‍යතාවයන් මත තමා මෙම නඩුවට අදාළ පැමිණිල්ල සිදු නොකළ බවයි.

“ස්වාමීනි.. අපි මේ පැමිණිල්ල කළේ දේශපාලන අවශ්‍යතාවයකට නොවෙයි. මෙම අනතුර සිදු වුණු අවස්ථාවේ මම තුන්වතාවක් (3) චම්පික රණවක ඇමතිතුමා හමුවෙලා අපිට උපකාර කරන්න කියලා ඉල්ලා හිටියා. අපි පුතාගේ ජීවිතය ඉල්ලුවා. අපි ඉල්ලුවේ පිටරට හරි යවලා පුතාව සනීප කරල දෙන්න කියලයි. ඒත් ඇමතිතුමා කාරුණික වුණේ නැහැ.”

වැඩිදුරටත් හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් සාක්ෂිකරු පැවසුවේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අසාධාරණයට පත්වූ පුද්ගලයින් සිටි නම් ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන ලෙස නිවේදනය කළ බවයි.

ඒ අනුව තමා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට ගොස් සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කළ බවත් යම් යම් අයගේ දේශපාලන අවශ්‍යතා මත මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවට විත්තියේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් පවසා සිටියා.

තමා කිසිදු අවස්ථාවක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වෙත පැමිණිල්ලක් භාර නොදුන් බව කියා සිටි සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ තමා කිසිදු අවස්ථාවක හිටපු අමාත්‍ය චම්පික රණවකට අපහාසාත්මක ප්‍රකාශ සිදු කර නොමැති බවයි.

වැඩිදුර නඩු විභාගය මාර්තු මස 07 වන දක්වා කල් තැබුණා.

***************************************

මානව හිමිකම් කඩව ඇති දැ‍යි සොයා බැලූ දෙවැනි (2) වාර්තාවත් ජනපතිට

(18.02.2022 – 20:38 +0530 – hirunews.lk/sinhala)

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන (2) අතුරු වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබුවා.

ඒ අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී යි.

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් 2021 ජනවාරි මස 21 ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස්ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කොමිසම පත් කළා.

එම කොමිසමේ පළමු වාර්තාව 2021 ජුලි මස 21 වන දින ජනාධිපතිවරයා වෙත භාරදීම සිදු කෙරුණා.

පිටු 107 කින් සමන්විත දෙවන (2) වාර්තාව සැකසීමේ දී යුද්ධයට මුහුණ දුන් සහ ඒ ආශ්‍රිත අත්දැකීම් සහිත යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කරගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් කොමිසම ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

2015 දී පත් කළ පරණගම කොමිසම සොයාගත් කරුණු වහාම විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් නඩුවක් හෝ වන්දි ලබාදීමට නිර්දේශ කර තිබූ අතර, ආර්ථික වශයෙන් නැගී සිටීමට රජයේ උපකාරය අවශ්‍ය බව කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදුන් පිරිස ඉල්ලා සිටියා.

ඒ සඳහා ද කොමිසමේ නිර්දේශ මෙහි හිමිව තිබෙනවා.

ත්‍රස්තවාදීන් සැමරීමට ඉඩක් නොමැති අතර යුද සමයේ දී යම් ඥාතියෙක් මිය ගොස් ඇත්නම් ඒ සම්බන්ධයෙන් පුද්ගලිකව සැමරීමට අයිතිය ලබාදීමට ද කොමිසමේ නිර්දේශ කර ඇති අතර ලබන ජුනි මාසය වන විට අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට හැකි වනු ඇති බවයි එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මෙහිදී ප්‍රකාශ කළේ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියා ෴

***************************************

‘සිංහල ගොවිතැන’ කෘතිය ජනපතිට පිළිගැන්වේ

(18.02.2022 – 21:22 +0530 – hirunews.lk/sinhala)

පණ්ඩිත, පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් රචිත මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් නැවත මුද්‍රණය කළ ‘සිංහල ගොවිතැන’ කෘතිය අද (18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගන්වනු ලැබුවා.

පූජ්‍ය මැදඋයන්ගොඩ විමලකීර්ති හිමියන් විසින් වර්ෂ 1951 දී රචිත ‘සිංහල ගොවිතැන’ කෘතිය මගින් සරුසාර අස්වැන්නක් සඳහා භාවිත කළ ගොවිතැන් ක්‍රම හා උපකරණ පිළිබඳව විස්තරයක් ඉදිරිපත් කර තිබෙනවා.

වස විසෙන් තොරව කළ සිංහල ගොවිතැන නැවත වතාවක් පණ ගැන්වීම පිණිස මෙම කෘතිය යළි මුද්‍රණය කළ බවත් මෙය රාජ්‍ය නිලධාරීන් අතර බෙදා දෙන ලෙසත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා ෴

***************************************

මහබැංකු අධිපති එතෙරට ඉගැන්වූ රටේ ආර්ථිකය

(18.02.2022 – 23:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් IMF හි ණය ලබාදීමේ වැඩසටහනට සහභාගී නොවුණ ද, එහි එක් නිර්ණායකයක් වන ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමු වී ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් පවසනවා.

මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ, අද (18) ජාත්‍යන්තර ව්‍යාපාරික නාලිකාවක් වන ‘බ්ලුම්බර්ග්’ විදෙස් නාලිකාව සමග සංවාදයකට එක්වෙමින්.

එහිදී විදෙස් මාධ්‍යවේදීන් මහබැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහභාගී නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආර්ථික ආයෝජකයින්ගේ විශ්වසනීයත්වයට ඉන් යම් බලපෑමක් ඇතිවෙයි ද යන්න පිළිබඳවයි.

ඊට පිලිතුරු ලෙස මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ආර්ථික ආයෝජිකයින්ගේ විශ්වසනීයත්වය පිළිබඳව පළමුකොට මෙහිදී සාකච්ඡා කිරීම වඩාත් වැදගත් කොට සලකන අතර, කිසිදු අයුරකින් ආර්ථික ආයෝජකයින්ට හානියක් හෝ රටට හානියක් සිදු නොවන අන්දමින් ආර්ථිකය පවත්වාගෙන යා හැකි බවයි.

එනම්, රටේ බැඳුම්කර ද මේ වනවිට සම්පූර්ණ කර ඇති බව පෙන්වා දුන් මහබැංකු අධිපතිවරයා මෙහිදී පැවසුවේ ණය අනුපාතිකය ද මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි.

***************************************

දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව ගැන හෙළිදරව්වක්

(18.02.2022 – 14:38 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මැදිහත්වීම සහ උපදෙස් මත ධාවනයට එක් කර නොතිබූ ‘එම්.11’ වර්ගයේ ඉන්දියානු නව දුම්රියක් යළි ධාවනයට එක් කිරීමේ අවස්ථාව උදාවී ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝම‍රත්න පවසනවා.

අද (18) පෙරවරුවේ මරදාන ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපතිවරයා කියා සිටියේ, මෙවැනි අක්‍රමිකතා සිදු වී ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව හේතුවෙන් නිසා බවයි.

මහජන මුදලින් මෙරටට ගෙන ආ අදාළ ඉන්දීය දුම්රිය මෙලෙස යළි භාවිතයට ගැනීමට හැකිවීම පිළිබඳ ව තම සංගමය වඩාත් සතුටු වන බවයි සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

අද (18) දින වැල්ලවත්තේ සිට ගල්කිස්ස අතර දුම්රියක් ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ, අදාළ දුම්රිය සඳහා එම්.11 වර්ගයේ දුම්රියක් යෙදෙව්වත්, එය වැල්ලවත්ත සිට මරදාන දක්වා රැගෙන ඒමට ද තවත් වර්ගයක, එනම් ‘එම්.10’ වර්ගයේ එන්ජිමක් ඊට යෙදීමට සිදු වූ බවයි.

මේ හේතුවෙන් සිදු වූයේ මගීන්ගේ මුදල් සහ කලය බෙහෙවින් අපතේ යෑම බව ද හෙතෙම පෙන්වා දුන්නා.

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව බොහෝ කාර්මික ශිල්පීන් සහ නිලධාරින් සිටිය ද නිසි නියාමනයකින් තොරව මෙම කටයුතු සිදුවන බැවින් මේ ආකාරයෙන් දුම්රියෙහි දෝෂ ඇති වී අතරමග ඇනහිටීමේ අවස්ථා ඇතිවීම කිසිදු විමතියකට කරුණක් නොවන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ හේතුවෙන් අදාළ අංශ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා ප්‍රමුඛ රජය විසින් ද නිසි අවධානයක් යොමු කොට මේ සඳහා කඩිනම් විසඳමු සැපයීමට උත්සාහ කරනු ඇති බව තම සංගමය හුදෙක් අපේක්ෂා කරන බව සභාපති සුමේධ ප්‍රකාශ කළා.

එමෙන්ම එළඹෙන උත්සව සමයේ දී ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නව දුම්රිය සේවාවක් යොදවා ඇති අතර, ඒවායේ ගමන් කිරීමට දෙස් විදෙස් සංචාරකයින් බොහෝ සේ ප්‍රියතාවක් දක්වන බවට ද හෙතෙම සඳහන් කළේ.

මෙවන් තත්ත්වයක් තුළ දී විවිධ මාර්ග වසා දමමින් මෙම වැඩපිළිවෙළ විනාශ කිරීමට ඇතැමුන් දරන උත්සාහය වහාම වැළැක්වීමට රජය විසින් පියවර ගැනීමටත්, උඩරට සිට කන්කසන්තුරය දක්වා පවතින දුම්රිය සංඥා පද්ධතියේ ඇති අකාර්යක්ෂමතාව දුරැලීමට ද රජය විසින් වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බව ද දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසුවේ ෴

***************************************

රාජපක්ෂ පවුල් පාලනයයි රටට වගකිව යුත්තේ – ජේ.සී. අලවතුවල

(18.02.2022 – 15:31 +0530 – hirunews.lk/sinhala)

වත්මන් රජය බලයට පත්වීමේ දී පැවසූ ආකාරයට කිසිදු අයුරකින් රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාවක් ලැබී නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, බලයට පත්වීමට පෙර රජයෙන් කියූ දෑ බොල් සිහින බවට පත්වී ඇති අතර, මහ දවල් පවා නිවෙස් වෙත පැමිණ ආයුධ පෙන්වා බියගැන්වීම් සිදු කරන තත්ත්වයකට රට පත් වී ඇති බවයි.

රට තුළ පාතාලය හිස ඔසවා ඇති බවත්, උජාරුවට දෙසා බෑ ජාතික අභිමානය මේ වනවිට වළපල්ලට ගොස් ඇති බැවින් රටට ම ජත්‍යන්තරය හමුවේ හිඟාකෑමට සිදුව ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

රාජපක්ෂ පවුල් පාලනය හේතුවෙන් රටේම ගොවි ජනතාවට සහනාධාර ලෙස ලද පොහොර තොගය ද අහිමි වී මේ වනවිට ලබන අස්වැන්න ද බොහෝ සෙයින් අඩුව ඇති බවයි මන්ත්‍රී අලවතුවල සඳහන් කළේ.

රට එන්න එන්නම අගාදයට වැටෙමින්, තේ නිෂ්පාදනය පවා බිඳ වැටෙමින් දූෂිත පාලන ක්‍රමයක් මතුව ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

***************************************

පුපුරපු ගෑස් ගැන විසඳුම් සොයා වින්දිතයින් CID වෙත

(18.02.2022 – 16:42 +0530 – hirunews.lk/sinhala)

මීට මාස එකහමාරකට (1½) පමණ පෙර නිවසෙහි සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීමකින් අනතුරට ලක් ව පිළිස්සුම් තුවාල ලැබූ සිය බිරිඳ වෙනුවෙන් සහ සෙසු ගෑස් පිළිබඳ අනතුරු ගැන මෙතෙක් නිසි නඩු විභාගයක් නොපැවැත්වීම සම්බන්ධයෙන් අදාළ ලියකියවිලි භාරදීම සඳහා සිදුවීම්වලට පාදක වූ වින්දිතයින් අද (18) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් මෙම සිදුවීම් සියල්ලටම වගකිව යුතු බව ප්‍රකාශ කළ වින්දිතයින් පැවසූවේ, අදාළ සිදුවීම් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් ඉල්ලා තමන් ඇතුළු පිරිස අධිකරණයේ ද නඩු ගොනු කර ඇති බවයි.

එබැවින් අදාළ ගෑස් සමාගම වහාම මේ මොහොතේ සිට පියවර ගත යුත්තේ අදාළ වින්දිතයින්ගේ ගැටලුවලට සාවධානව කන් දී, ඒ සඳහා නිසි විසඳුම් ප්‍රායෝගික මට්ටමින් ලබා දීමට ක්‍රියා කිරීම බව ද වින්දිතයින් පෙන්වා දෙනවා.

මෙම කටයුත්ත අසාර්ථක වුවහොත්, යළි අධිකරණය වෙත යාමට ද, ලබන මාසයේ පැවැත්වෙන ජිනීවා සමුළුව වෙත මෙම අවනඩුව ගැන ලිපියක් යොමු කිරීමට ද තමන් ඇතුළු කණ්ඩායම බලාපොරොත්තු වන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

සමස්ත ලංකා පාරිභෝගික එකමුතුවේ උප සභාපති සම්පත් රාජිත කියා සිටියේ, වත්මන් ආණ්ඩුව අදාළ ගැටලු සම්බන්ධයෙන් කිසිදු ආකාරයකින් වගකීමක් නොමැත්තා සේ හැසිරෙන බවයි.

මෙම ඛේදනීය පසුබිම තුළ වන්දිතයින්ට කිසිදු ආකාරයකින් සහනයක් ලබාදීමට හෝ ආණ්ඩුව කටයුතු කර නොමැති බව ද වින්දිතයින් පැවසුවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *