හෙද ඉල්ලීම් ලබාදීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

හෙද ඉල්ලීම් ලබාදීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

*********************************************

හෙද ඉල්ලීම් ලබාදීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

(17.02.2022 – 15:25 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයන අතර රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදී තිබෙනවා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දීයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

හෙද විශ්වවිද්‍යාලය ඇරඹීම, දෙවන (2) ශ්‍රේණියේ සිට පළමුවන (1) ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීම, පැය 36 ක්ව පවතින රාජකාරී කාලය සතියට දින 05 ක රාජකාරියක් ලෙස පැය 30 ක් ලෙස සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබාදෙන රුපියල් 35,000 ක DAT දීමනාව සමානුපාතිකව යෝජිත රුපියල් 10,000 දීමනාව, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම සහ මූලික වැටුපෙන් 1/100 ‘රේට්’ අගයක් මත අමතර සේවා දීමනාව යන හෙද වෘත්තීය ඉල්ලීම් මෙහිදී සාකච්ඡාවට ලක්කෙරුණා.

උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, එතෙක් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට අවශ්‍ය සෙසු කටයුතු ඉදිරියට කරගෙන යාමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් දී තිබෙනවා.

අප්‍රේල් මස ඇතුළත උසස් අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මැයි මාසය අවසන් වීමට පෙර හෙද විශ්වවිද්‍යාලය ඇරඹීමටත් කටයුතු කරන බවයි සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ.

II ශ්‍රේණියේ සිට I ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් සිදු කිරීමටත් නිල ඇඳුම් දීමනාව ලබාදීමටත් අවශ්‍ය කටයුතු සලසන මෙන් සෞඛ්‍ය සහ මුදල් ලේකම්වරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා.

‘දැඩි අසීරුතාව මැද වුව ද ජනවාරි මාසයේ සිට සියලුම රාජ්‍ය සේවකයන්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමට පියවර ගැනුණා.

එක් පිරිසකට ඉල්ලීම් ලබාදීමේ දී තවත් පිරිසක් නැවත ඉල්ලීම් කරනවා.

එහෙත් පවතින මූල්‍ය අර්බුදය මැද සියලු ඉල්ලීම් සලකා බැලීම කළ නොහැකි බව සියලුදෙනා අවබෝධ කරගත යුතු කරුණක්.

එම නිසා සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයෙන් මුදල් අමාත්‍යාංශය සහ සෙසු ආයතන සමග සාකච්ඡා කර හෙද ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කරන’ ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් ලේකම් එස්. ආර්. ආටිගල, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික අයවැය අධ්‍යක්ෂ ජෙනරාල් ජූඩ් නිලුක්ෂාන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හිරන්සා කලුතන්ත්‍රී, ජාතික වැටුප් කොමිසමේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

***************************************

අතුරුදන් වූ දරුවෙක් සොයන්න පොලිසිය මහජන සහය පතයි

(17.02.2022 – 16:40 +0530 – hirunews.lk/sinhala)

කොච්චිකඩේ ඔබ්බේරිය ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ 14 හැවිරිදි පිරිමි දරුවෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා.

මෙම දරුවා පසුගිය ජනවාරි මස 22 වනදා සවස නිවස ආසන්නයේ ඇති දේවස්ථානයක මංගල්‍යයට සහභාගී වීමට යන බව පවසා නිවසින් පිටව ගොස් නැවත නිවසට නොපැමිණ ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

මේ අනුව කොච්චිකඩේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර මෙම දරුවා සෙමින් මනස වර්ධනය වන තත්වයකින් පෙළෙන දරුවෙක් බව මව විසින් ප්‍රකාශකර තිබෙනවා.

‘මෙරින් ස්ටෙපාන්’ නම් ඔහු අවුරුදු 14 ක් වන අයෙක් වන අතර උස අඩි 5 ක් පමණ වනවා.

තලෙළු පැහැයෙන් යුත් ඔහු කොණ්ඩය කොටට කපා පැත්තට පීරා තිබෙනවා.

අවසන් වරට දකින විට කොළ පැහැති අත් කොට ෂර්ට් එකක් සහ නිල් පැහැති ඩෙනිම් කලිසමක් මෙන්ම සුදු හා කලු පැහැය සහිත සපත්තු දෙකක් පැළඳ සිට තිබෙනවා.

මෙම දරුවා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ 071 859 1631 දුරකථන අංකයට හෝ 031 227 7222 / 031 227 6338 අංකවලට දැනුම්දිය හැකියි.

***************************************

‘සරුසාර කිතුලයි – තිරසාර රටයි’ කිතුලක මග එළිදැක්වේ

(17.02.2022 – 18:06 +0530 – hirunews.lk/sinhala)

‘සරුසාර කිතුලයි – තිරසාර රටයි’ තේමා කරගනිමින් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග එළි දක්වා තිබෙනවා.

දිවයින පුරා දිස්ත්‍රික්ක 13 ක ගෘහස්ථ කර්මාන්තයක් ලෙස කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කෙරෙනවා.

කිතුල් මැදීමේ සිට අලෙවිය දක්වා වූ කර්තව්‍යයේ දී කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු මග හැර ජාත්‍යන්තර වෙළෙඳපොළ දක්වා කිතුල් ආශ්‍රිත නිෂ්පාදන රැගෙන යාම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව යි.

එය අරමුණු කරගනිමින් 2021 වසරේ මාර්තු 17 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගිනුයි කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවනු ලැබුවේ.

එහි ඓතිහාසික ප්‍රවේශයක් ලෙස ‘කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග’ ගාල්ල, අක්මීමන හියාරේ ජලාශය අසලදී අද (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් පිළිගන්වනු ලැබුවා.

කිතුල් පැණි නිෂ්පාදනය සඳහා ‘ශ්‍රී ලංකා ප්‍රමිත’ හඳුන්වා දෙමින් ‘ප්‍රමිත සහතිකය’ ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

වැවිලි කර්මාන්ත පුහුණු ආයතනය වෙතින් කිතුල් මල් මැදීම පිළිබඳ පුහුණුව ලැබූ තිදෙනෙකුට (3) සහතික පත් සහ කර්මාන්තකරුවන් පස් දෙනෙකුට (5) සංකේතාත්මකව තාක්ෂණික උපකරණ ප්‍රදානය ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

කිතුල් නිෂ්පාදන ඇතුළත් මංජුසාවක් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු වී තිබෙනවා.

කිතුල් මැදීම, පැණි නිෂ්පාදනය, කිතුල් ආශ්‍රිත ආහාර, කිතුල්වලින් නිෂ්පාදිත විසිතුරු භාණ්ඩ සහ කර්මාන්ත සඳහා භාවිතා කරන මෙවලම් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා ෴

***************************************

මිලදී ගන්න ඇවිත් යතුරුපැදිය රැගෙන පළාගිය සැකකරු සොයා විමර්ශන

(17.02.2022 – 19:01 +0530 – hirunews.lk/sinhala)

යතුරුපැදියක් මිලදී ගැනීමට පැමිණි මුවාවෙන් යතුරුපැදියක් සොරකම් කර පළාගිය පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙය සිදුව ඇත්තේ සූරියවැව ඇඹිලිපිටිය පාරේ පිහිටි යතුරුපැදි අලෙවිසැලකයි.

සැකකාර තරුණයා පසුගිය 10 වනදා සවස ත්‍රී රෝද රථයකින් අදාළ වෙළඳසැලකට පැමිණ ඇති අතර අනතුරුව එහි තිබූ යතුරුපැදියක් මිලදී ගැනීමට අවශ්‍ය බවට ප්‍රකාශකර ඇතැයි සඳහන්.

පසුව එය පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පවසා යතුරුපැදිය පණ ගන්වාගෙන පළාගොස් ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

යතුරුපැදිය පැහැරගෙන ගිය සැකකරු මහඅන්දරවැව ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු ඇඹිලිපිටිය අවට ස්ථාන කිහිපයකින්ම මෙලෙස යතුරුපැදි සොරකම් කරගෙන ගොස් ඇතැයි CCTV දර්ශන පරීක්ෂාවෙන් අනතුරුව හෙළිකරගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සූරියවැව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

***************************************

ආහාර බඳුන්වල පිලිකාකාරක ඉහළ මට්ටමින් – නවතම අධ්‍යයනයක් හෙලි කරයි

(17.02.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

ළදරුවන් සඳහා කිරි හා අමතර ආහාර ලබාදෙන බෝතල්වල සහ ආහාර බඳුන්වල ‘බිස්ෆිනෝල්’ නැමැති පිළිකා කාරක රසායනිකය අඩංගු බවට නවතම ජාත්‍යන්තර අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

‘පරිසර යුක්ති කේන්ද්‍රය’ ද දායකත්වය ලබාදුන් අන්තර් ජාතික දූෂණ තුරන් කිරීමේ ජාලය සිදුකළ නවතම අධ්‍යයනයකිනුයි මේ බව අනාවරණ කර ඇත්තේ.

එම පර්යේෂණය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, චීනය, භූතානය, මැලේසියාව, ඉන්දුනීසියාව, රුසියාව සහ ටැන්සානියාව යන රටවලින් මෙහි නියැදි ලෙස ළදරු කිරි බෝතල් හා ආහාර බඳුන් යොදාගෙන තිබෙනවා.

මේ වන විටත් යුරෝපා සංගමයේ සාමාජික රටවල් මෙන්ම මැලේසියාව, චීනය හා ඉන්දුනීසියාව වැනි රටවල ළදරු ආහාර භාණ්ඩ සඳහා එම රසායනිකය සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙරට තුළ පරීක්ෂාවට ලක් කරන ලද නියදියක ඉහළ මට්ටමින් ‘බිස්ෆිනෝල්’ නැමැති පිළිකා කාරක රසායනිකය අඩංගු බවට තහවුරු වී ඇතත් එම භාණ්ඩ තවමත් භාවිතයේ පවතින බව ‘පරිසර යුක්ති කේන්ද්‍රයේ’ ව්‍යාපෘති සම්පාදක චලනි රූබසිංහ සඳහන් කළා.

‘බිස්ෆිනෝල්’ යනු පිළිකාවට අමතරව ප්‍රජනන පද්ධතිය අක්‍රමවත් කිරීමට, ලිංගික දුබලතාවයන්ට සහ දියවැඩියාව වැනි සෞඛ්‍යමය ගැටළු රැසකට හේතු වන රසායනිකයක්.

එමෙන්ම, යුරෝපා සංගමයේ රටවල් විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ මෙය හෝමෝන ක්‍රියාවලියට බාධා ඇති කරවන්නක් බවයි. එමෙන්ම ලොව බොහෝ රටවල් මෙය අන්තරායකර රසායනිකයක් ලෙස ද නීත්‍යානුකූල ලෙස පිළිගෙන තිබෙනවා ෴

***************************************

චමුදිතගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයේ ඇඟිලි සලකුණු වාර්තා ලබා ගැනේ

(17.02.2022 – 20:14 +0530 – hirunews.lk/sinhala)

හිරු ටී.වී, ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය එල්ල කිරීමට යොදා ගත් ද්‍රව්‍යවලින් ඇගිලි සලකුණු කිහිපයක් හඳුනා ගැනීමට හැකි වී තිබෙනවා.

පොලීසිය සදහන් කළේ එම ඇඟිලි සලකුණු සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා අපරාධ ලේඛනාගාරයෙන් ලබා ගැනීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර, අදාළ ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන සහ තවත් විද්‍යාත්මක සාක්ෂි ආශ්‍රිතව පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙම ප්‍රහාරය පිළිබදව නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ‘හිරු ටී.වී.’ තීරණය කළ අතර, එවැනි තොරතුරක් වෙතොත් ඒ පිළිබදව 077 032 2821 න් ‘හිරු සී.අයි.ඒ.’ අංකය අමතා ලබාදිය හැකියි ෴

***************************************

ඉන්ධන නොමැතිව කැළණිතිස්ස නවතී

(17.02.2022 – 20:35 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ඇති බව විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසනවා.

නැප්තා නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන කටයුතු ඇනහිට ඇත්තේ අද (17) සවස 7 ට පමණ බවයි වාර්තා වන්නේ.

කැළණිතිස්ස විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක විදුලි ධාරිතාවක් සැපයෙනවා.

මෙම බලාගාරය ක්‍රියාතමක කිරීම සඳහා දිනකට නැප්තා මෙට්‍රික් ටොන් 900 ත් 1000 ක් පමණ අවශ්‍ය වනවා.

බලාගාරය නැවත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නැප්තා තොග අද (17) රාත්‍රියේ හෝ හෙට (18) උදෑසන වන විට ලැබෙනු ඇති බවටයි විදුලිබල මණ්ඩලය විශ්වාසය පළ කළේ.

කෙසේවෙතත් ඉන්ධන තොග හෙට (18) උදෑසන ලැබුණ ද එම තොග ගොඩබෑම සඳහා පැය 10 කට අධික කාලයක් වැයවන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියාසිටියේ.

මේවන විට විදුලි ඉල්ලුමේ උපරිමය පහළ බසිමින් පවතින බැවින් ජාතික පද්ධතිය අසමතුලිත වීමේ ගැටලුවක් පැන නොනගිනු ඇති බවටත් ඔහු විශ්වාසය පළකළා.

මේ අතර තාප විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන වරින් වර හිඟවීම හේතුවෙන් මෙරට ස්ථාවර විදුලි සැපයුමට පසුගිය දිනවලදී එල්ල වුණේ දැඩි බලපෑමක්.

ඒ අනුව අවශ්‍යතාව පරිදි ඉදිරි මාස 03 ක කාලයක් සඳහා අවශ්‍ය අවස්ථාවල විදුලිය කප්පාදු කිරීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණත් ඊට අවසර හිමි වූයේ නැහැ.

ඛනිජතෙල් සංස්ථාවෙන් ඉන්ධන නොලැබෙන පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලංකා IOC සමාගමෙන් සෘජුවම ලබා ගැනීමටයි.

කෙසේවෙතත් එම තීරණයට ආණ්ඩුව නියෝජනය කරන වෘත්තීය සමිතිවලින් එල්ලවෙම්න් පවතින්නේ දැඩි විරෝධයක්.

කෙසේවෙතත් විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන නොමැතිව බලාගාර කිහිපයක් මේ වනවිටත් පවතින්නේ අක්‍රීයවයි.

මීට අමතරව කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ විදුලි උත්පාදනය සඳහා නැප්තා ප්‍රමාණවත්ව තිබුණේ අද (17) රාත්‍රී 7 දක්වා පමණයි.

මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම අතර අදත් (17) සාකච්ඡා පවත්වා ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

CIA පුවත ඵලදරයි

(17.02.2022 – 21:18 +0530 – hirunews.lk/sinhala)

රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීමේ තත්වයන් හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යයට ඇතිවිය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වාර්තා කිරීමට කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විසින්.

රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීමේ ක්‍රියාවලිය පිළිබඳ පසුගියදා ‘හිරු සී අයි ඒ’ විසින් ද තොරතුරු අනාවරණ කළා.

අද (17) දින රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පලතුරු ඉදවීම තුළින් පාරිභෝගිකයාගේ සෞඛ්‍යට ඇති වියහැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ඒ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය, කාර්මික තාක්ෂණ ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් එක්ව පැවති හමුවකදීයි.

මෙම රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම සම්බන්ධයෙන් පාරිභෝගිකයාගේ සෞඛ්‍යට ඇතිවියහැකි තත්වයන් පිළිබඳව මේ දක්වා පර්යේෂණ වාර්ථාවක් ඉදිරිපත්කර නොමැති අතර‍, රාජ්‍ය අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් ඇති වියහැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වාර්ථා කිරීමට කමිටුවක් පත් කරනු ලැබුවා.

එම වගකීම් කමිටුව වෙත පවරා එමගින් විධිමත් වාර්ථාවක් ලබාගැනීමටත්, එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පිළිබඳ උපදේශක කාරක සභාව වෙත යොමුකිරීමටත් තීරණය කර තිබෙනවා.

මීට පෙරද මෙම ගැටළුව සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය ආයතන සමග සාකච්ඡාකර තිබූ නමුත් එයින් ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳව නිවැරදි වාර්ථාවක් ලැබී නොමැති බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානවල පලතුරු ඉදවීම සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදය සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන්වාගැනීමටත් එම ආයතන කැඳවා මෙහි පවතින තත්වයන් දැනුවත් කිරීමටත් තීරණය කර තිබෙනවා.

මෙය ජාතික වශයෙන් වැදගත්වන කරුණක් බැවින් ඒ සම්බන්ධව රාජ්‍ය ආයතන දැනුවත් කිරීමටත් මහජනතාවට නිසි මගපෙන්වීමක් ලබාදීමටත් ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණෙන ලද අතර, මේ පිළිබඳව විශ්ව විද්‍යාල පර්යේෂණ අංශයන්ගේ උපදෙස් ලබාගැනීමටයි තීරණය වී ඇත්තේ.

අමු කෙසෙල් ඉදවීම සඳහා විෂ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ මහා පරිමාණ ක්‍රියාවලියක් මේ වනවිට රට පුරා ක්‍රියාත්මකවන බව අප හෙළිකළේ පසුගිය 11 වනදායි.

කෙසෙල් යනු කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් ඇතුළු මෙරට වැඩි පිරිසක් දින පතාපාහේ ආහාරයට එක්කර ගන්නා පලතුරක්.

එම පාරිභෝජන අවශ්‍යතාව සපුරාලීම සඳහා පෑලියගොඩ මැණිං වෙළෙඳපොළට දිනපතා දස දහස් ගණනින් කෙසෙල් කැන් රට වටින්ම ගෙන එනවා.

ලීටර් ගණනින් මුළු කෙසෙල් කැනම තෙත් වන ලෙස විෂ රසායනිකයන් යෙදු පසු එම ද්‍රාවනය උරාගන්නා තෙක් ඇතැම් වෙළදසැල් හිමියන් කෙසෙල් කැන් මෙලෙස තබනවා.

නිසි ප්‍රමිතියකින් තොරව අධි මාත්‍රාවෙන් මෙම රසායනිකය යෙදු පසු පැය 2 ඇතුලත මුළු මනින්ම කෙසෙල් කැන ඉදී යන අතර මෙරට පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමට සිදුවන්නේ මෙම විෂ රසායනික මිශ්‍රිත කෙසෙල්වීම කණගාටුවට කරුණක්.

කොළඹ මැණිං වෙළඳ පලේ මෙන්ම බොහෝ කෙසෙල් තොග අලෙවි කරන මධ්‍යස්ථානවල දුම් ගසා ඉදවන පාරම්පරික ක්‍රම සදහා පහසුකම් සලසා තිබුන ද වෙළඳුන් බහුතරයක් මේ වනවිට යොමුවී ඇත්තේ ක්ෂණිකව කෙසෙල් ඉදවීම සදහා මෙම විෂ රසායනික යෙදීමටයි.

‘හිරු සී.අයි.ඒ.’ කළ දැනුම්දීම මත මෙම විෂ රසායනික යොදා කෙසෙල් ඉදවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මැණිං වෙළඳපලට පැමිණියා.

එහිදී හෙළිවුයේ අන්නාසි ශාකයේ මල් හට ගැනීම සදහා යොදන රසායනිකයක් මෙලෙස කෙසෙල් ඉදවීම සදහා වෙළඳුන් යොදාගන්නා බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *