කටුනායක සිට මීගමුව දක්වා ඉදිවූ ද්විත්ව මාර්ගය දුම්රිය ධාවනය සඳහා විවෘත කෙරේ

කටුනායක සිට මීගමුව දක්වා ඉදිවූ ද්විත්ව මාර්ගය දුම්රිය ධාවනය සඳහා විවෘත කෙරේ

*********************************************

කටුනායක සිට මීගමුව දක්වා ඉදිවූ ද්විත්ව මාර්ගය දුම්රිය ධාවනය සඳහා විවෘත කෙරේ

(16.02.2022 – 15:01 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 4446 ක වියදමින් කටුනායක සිට මීගමුව දක්වා ඉදි වූ ද්විත්ව දුම්රිය මාර්ගය දුම්රිය ධාවනය සඳහා අද (16) විවෘත කෙරුණා.

ඒ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.

මීගමුව දක්වා ද්විත්ව මාර්ග ඉදිවීමත් සමග කොළඹ කොටුවේ සිට මීගමුව දක්වා ගමන් ගන්නා දුම්රිය මගීන්ට මිනිත්තු 45 ක පමණ කාලයක් ඉතිරි කර ගැනීමට හැකිවනවා ෴

***************************************

දෙහිවල සත්තු වත්තේ දුර්ලභ ගව උපතක්

(16.02.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ලොව වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති ඉතා දුර්ලභ ‘ඇරබියන් ඔරික්ස්’ විශේෂයට අයත් ගව පැටවෙකු දෙහිවල සත්ත්ව උද්‍යානය තුල උපත ලබා තිබෙනවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නව ගව පැටවා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවයි.

ඒ අනුව නව ගව පැටවා නිදහස් සත්ව අරණ තුළ සිය මව සමග මහජන ප්‍රදර්ශනය සඳහා එක් කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඇරබියන් ඔරික්ස් සත්ත්ව විශේෂයේ ජන්ම භූමිය අරාබි කාන්තාර වන අතර මේ වන විට එම කාන්තාර තුළ ජීවත් වන්නේ දහසක් (1000) පමණ වූ ඇරබියන් ඔරික්ස් සතුන් සංඛ්‍යාවක් පමණයි.

ලොව පුරා සත්ත්වෝද්‍යාන තුල ඇරබියන් ඔරික්ස් ගවයන් 7,000 ක් පමණ ජීවත් වන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාවේ ජීවත් වන ඇරබියන් ඔරික්ස් ගවයන් සංඛ්‍යාව දස (10) දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් පමණක් වන අතර ඔවුන් මෙරට සත්වෝද්‍යාන සහ සෆාරි උද්‍යාන තුල ජීවත් වනවා.

මේ අතර පසුගිය දා තාවකාලිකව රාජකාරී වලින් ඉවත් වූ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ යළි සේවයට වාර්තා කර තිබෙනවා.

ශර්මිලා රාජපක්ෂ පසුගිය දා රාජකාරී වලින් ඉවත් වුණේ, දෙහිවල සත්වෝද්‍යානයේ කඩා කප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කර පවතින අවදානම්කාරී තත්ත්වය ඉවත්කර දෙන ලෙස ඉල්ලමින්.

***************************************

කිතුල් පැණිවලට ප්‍රමිතියක්

(16.02.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

කිතුල් පැණි සඳහා ප්‍රමිති සහතිකයක් නිකුත් කිරීමට වැවිලි අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (17) ගාල්ල – අක්මීමන ප්‍රදේශයේදී ‘සරුසාර කිතුලයි – තිරසාර හෙටයි’ යන තේමාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන වැඩසටහනේ දී මෙය ක්‍රියාවට නංවන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

එසේම කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි වැඩපිළිවෙල ද මෙහි දී එළිදැක්වීමට නියමිත යි ෴

***************************************

පළාත් 7 ක පාලම් 66 ක් ප්‍රතිසංස්කරණයට

(16.02.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර 3 ඇතුළත පළාත් 7 ක් ආවරණය වන පරිදි පාලම් 66 ක් ප්‍රතිසංස්කරණය කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

කුවේට් රාජ්‍යයේ ආධාර යටතේ මෙම පාලම් ප්‍රතිසංස්කරණය කෙරෙන බව යි මහාමාර්ග අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ යටතේ පවතින පැරණි පාලම් වෙනුවට නව පාලම් ඉදිකිරීමටත් පටු පාලම් පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීමත් සිදු කෙරෙනවා ෴

***************************************

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් චෝදනාවක්

(16.02.2022 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව රටේ සම්පත් මහා පරිමාණයෙන් විදේශයන්ට අලෙවි කරමින් සිටින බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස චෝදනා කරනවා.

ඔහු මේ අදහස් පළ කළේ, මහනුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යි.

***************************************

ගත වූ දින 15 තුළ සංචාරකයින් 50,000 ඉක්මවයි

(16.02.2022 – 14:18 +0530 – hirunews.lk/sinhala)

මේ මස ගත වූ දින 15 තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

අද (16) පෙරවරුවේ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

මෙරටට පැමිණෙන සංචාරකයින් දෛනිකව ඉහළ යමින් පවතින නිසා තදබදය අවම කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දීමට කටයුතු කරන ලෙසට එහිදී අමාත්‍යවරයා ගුවන් තොටුපළ බළධාරීන්ට උපදෙස් ලබා තිබෙනවා.

සංචාරකයින් මෙරටට පැමිණි පසු නෙත ගැටෙන පළමු ස්ථානය ගුවන් තොටුපළ පරිශ්‍රය වීම හේතුවෙන් එය සියළු පහසුකම්වලින් සපිරි ආකර්ශනීය ස්ථානයක් ලෙස තැබීම වැදගත් බවයි අමාත්‍යවරයා නිලධාරීන්ට එහිදී සදහන් කර ඇත්තේ ෴

***************************************

වෙළඳ අමාත්‍යවරයා ඩුබායි රාජ්‍යයේ සංචාරයක

(16.02.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala)

ද්වි පාර්ශවික වෙළද සබදතා ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (16) පෙරවරුවේ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියා.

මෙම නිල සංචාරයේදී අමාත්‍යවරයා එරට ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය තානි පින් අහමද් අල් – සෙයුදි හමුවීමට නියමිතයි.

තෙදිනක් (3) පුරා පැවැත්වෙන ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබද වෙළද ප්‍රදර්ශනය ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) විවෘත කිරීමට නියමිත බවයි වෙළද අමාත්‍යාංශය නිවේදනය කළේ ෴

***************************************

ඔටුන්න සහ ගොවියා මැතිවරණ ලකුණු ලැයිස්තුවෙන් ඉවතට

(16.02.2022 – 15:04 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පක්ෂවල ලකුණු ලෙස යොදා ගැනීමට වෙන් කර දී ඇති ලැයිස්තුවෙන් ලකුණු 2 ක් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින්.

එහි දැක්වෙන්නේ ‘ඔටුන්න’ සහ ‘ගොවියා’ යන සලකුණු මෙලෙස දේශපාලන පක්ෂවල ලකුණු ලෙස යොදා ගැනීමට වෙන් කර ඇති ලැයිස්තුවෙන් ඉවත් කරන බවයි.

දේශපාලන පක්ෂ සඳහා අනුමත කර ඇති ලකුණු ඇතුළත් නව ලැයිස්තුව පසුගිය ජනවාරි 21 වනදා මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර තිබුණා ෴

***************************************

පෘථිවි අභ්‍යන්තරය ගැන නවතම අනාවරණයක්

(16.02.2022 – 16:22 +0530 – hirunews.lk/sinhala)

පෘථිවි අභ්‍යන්තර හරයේ පවතින්නේ ද්‍රව හෝ ඝණ නොවන අතරමැදි අවස්ථාවේ පවතින කලාපයක් බවට චීන විද්‍යා ඇකඩමිය සිදුකල නවතම පරීක්ෂණයකින් හෙලි කර තිබෙනවා.

ඒ බව අනාවරණය වී ඇත්තේ භෞතික විද්‍යාඥ යූ හේ ප්‍රමුඛ විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් පෘථිවි හරයේ සිදුවන භූ කම්පා දත්ත විශ්ලේෂණ සඳහා සිදුකල පරීක්ෂණයකදීයි.

ඒ අනුව පෘථිවි හරය හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ කාබන් යන මූලද්‍රව්‍ය වලින් යුත් ඉතා ඉහළ විද්‍යුත් සන්නායකතාවයකින් සමන්විත ඝණ හා ද්‍රව අතරමැදි කලාපයක් බව එම විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එය ‘සුපිරි යෝනික්’ කලාපයක් ලෙස හැඳින්වෙන බවයි.

පෘථිවි අභ්‍යන්තර හරය සම්බන්ධයෙන් විද්‍යාඥයන් විවිධ මත අදහස් පල කරන අතර මේ වන විට පිළිගත් මතය ලෙස සැලකෙන්නේ පෘථිවි අභ්‍යන්තරය ද්‍රව තත්වයේ පවතින ගිනියම් ලෝදිය කලාපයක් ලෙස පවතින බවටයි ෴

***************************************

අනවසර විදුලි රැහැනක ගැටී වන අලියෙකු මියගිය සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවේ

(16.02.2022 – 16:37 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී විදුලි සැර වැදීමට සලස්වා වන අලියෙකු ඝාතනය කිරීමට අදාළව කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වන අලියා මියගොස් සිටියදී ප්‍රදේශවාසියෙකු මුලතිව් වනජීවී කාර්යාලයට දැනුම්දීමෙන් අනතුරුවයි විමර්ශණ ආරම්භ කෙරුණේ.

සැකකාර කාන්තාව වන අලියා මියගොස් වැටී සිටි ඉඩම හිමිකාරිය වන අතර විදුලිසැර වැදීමකින් අලියා මියගොස් ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී ද අනාවරණ වී තිබෙනවා.

මියගොස් තිබුණෞ උස අඩි 8 ක් පමණ වන අවුරුදු 20 ක් පමණ වයසැති වන අලියෙක්.

එම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) උදෑසන සිදු කෙරුණේ වනජීවී දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් භාර පශු වෛද්‍ය බී ගිරිදරන් මහතා විසින්.

ආහාර සොයා ගමන් කිරීමේදී වගාවන් ආරක්ෂා කර ගැනීමට යොදා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් මෙම අලියා මියගොස් තිබුණා.

සිද්ධියට අදාළ කාන්තාව අවුරුදු 46 ක් වයසැති අයෙක්.

ඇය මෙම සිද්ධිය පිළිබ‍ඳ තොරතුරු වසන් කළ බවට ද චෝදනා එල්ල වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් වනජීවී කාර්යාලය සහ ඔඩ්ඩුසුඩාන් පොලිසිය පරීක්ෂණ සිදුකරනවා ෴

***************************************

පොලීසියට බීමතින් පැමිණි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(16.02.2022 – 16:54 +0530 – hirunews.lk/sinhala)

බීමතින් පැමිණ මොරටුව පොලීසියේ සැරයන්වරයෙකු සමග ආරවුලක් ඇතිකර ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ආධුනික පොලිස් කොස්තාපල්වරයා ඊයේ (15) රාත්‍රි කාලයේ බීමතින් උප සේවයට පැමිණ ඇති අතර එහිදී මෙම ආරවුල හට ගෙන ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඔක්සිජන් අවශ්‍යතාව වැඩි වී ඇති බවට හෙළිදරව්වක්

(16.02.2022 – 11:24 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන කොවිඩ් රෝගීන්ගෙන් වැඩි පිරිසක් නිසි ලෙස එන්නත් මාත්‍රා ලබා නොගත් අය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක චන්දන ගජනායක පවසනවා.

ඔවුන් බොහොමයක් මැදි වයසේ පසුවන, සංකූලතා සහ දැඩි සත්කාර අවශ්‍ය වන අය බව ද ඔහු සඳහන් කරනවා.

ලෝකයේ තිබෙන එන්නත් පිළිබඳ දත්ත අනුව අපේ රටේ ද මෙම තුන්වැනි (3) මාත්‍රාව අනුමත කර ඇති බවත් තුන්වැනි (3) මාත්‍රාව ලබාදෙන මධ්‍යස්ථාන බොහෝ පිහිටා තිබෙන බවත් එම නිසා, හැකි ඉක්මනින් තුන්වැනි (3) මාත්‍රාව ලබාගැනීමට කටයුතු කරන ලෙස යි වෛද්‍යවරයා ප්‍රධාන වශයෙන් අවධාරණය කරන්නේ.

ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩිවීමක් ද මේ වන විට දක්නට ලැබෙන බව පවසන වෛද්‍යවරයා, රැකියා සඳහා පිටත් වීමට හෝ විදේශගත වීමට නොව තම ජීවිතය ආරක්ෂා කර ගැනීම ප්‍රධාන කොටගෙන තෙවැනි (3) එන්නත ලබාගත යුතු බව ජනතාවට අවධාරණය කරනවා ෴

++++++++++++

කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේදී නව චක්‍රලේඛයක්

(16.02.2022 – 11:45 +0530 – hirunews.lk/sinhala)

මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සෑම මරණයක් සම්බන්ධයෙන් ම කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර ඇති බවයි කොවිඩ් මෘත දේහ කළමනාකරණ කමිටුවේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා සඳහන් කළේ.

ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ අභිමතය පරිදි අදාළ පරීක්ෂණ සිදුකළ හැකි බවට අදාළ නව චක්‍රලේඛයෙන් දක්වා තිබෙනවා ෴

++++++++++++

තවත් 393 ක් සුවය ලබයි

(16.02.2022 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 393 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,96,042 ක් ලෙසටයි.

දැනට රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 18,683 ක්.

මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 6,30,599 ක් හඳුනාගෙන තිබෙනවා.

මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 15,874 ක් ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 25 ක්

(16.02.2022 – 17:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 25 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,899 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයන් 20 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු ද වන අතර එම වයස් කාණ්ඩයේ කිසිදු කාන්තාවක් මියගිය පිරිස අතර නැහැ.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 19 ක් වනවා.

ඒ කාන්තාවන් 5 ක් සහ පිරිමි 14 ක් වශයෙන්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 393 දෙනෙකු අද (16) සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,96,042 ක් ලෙසටයි.

දැනට රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 18,683 ක්.

මේවන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා ආසාදිතයන් 6,30,599 ක් හඳුනාගෙන තිබෙනවා ෴

++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 1217ක්

(16.02.2022 – 20:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1217 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,31,816 ක් ලෙසටයි.

මේ අතර අද (16) දිනයේ තවත් කොරෝනා මරණ 25 ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,899 ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 05 ක් සහ පිරිමි පුද්ගලයන් 20 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වී නැහැ.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 06 දෙනෙකු ද වන අතර එම වයස් කාණ්ඩයේ කිසිදු කාන්තාවක් මියගිය පිරිස අතර නැහැ.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 19 ක් වනවා.

ඒ කාන්තාවන් 5 ක් සහ පිරිමි 14 ක් වශයෙන්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 393 දෙනෙකු අද (16) සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,96,042 ක් ලෙසටයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *