ජනපතිව හොඳට ම ඇන්දූ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා

ජනපතිව හොඳට ම ඇන්දූ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා

*********************************************

ජනපතිව හොඳට ම ඇන්දූ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා

(15.02.2022 – 17:37 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ජනාධිපතිවරයාට නිවැරදි තොරතුරු වසන් කළ බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති සුමේධ සෝමරත්න සදහන් කරන්නේ, ඉන්දියානු දුම්රිය එන්ජින් 10 ක් මෙරටට ගෙන්වා ඇතත් ඉන් මේ වන විට ධාවනයට යොමුකර ඇත්තේ එන්ජින් 03 ක් පමණක් බව යි.

ඉතිරි එන්ජින් 07 ධාවනයට ගත නො හැකි ලෙස අංගනවල ගාල්කර ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එමෙන්ම ගෙන්වනු ලැබූ දුම්රිය මැදිරි 120 හි අඩුපාඩු ඇති බවත් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම අමාත්‍යාංශ සාකච්ඡාවල දී ඉල්ලීම් කළ ද ඒවා නිවැරදි නොකර තවත් මැදිරි ගෙන්වා ඇති බවට ද ඔවුන් චෝදනා කරනවා.

මෙලෙස ගෙන්වනු ලැබූ මැදිරි 40 ක් ධාවනයට එක්කර ඇති බවට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සදහන් කළ ද ධාවනයට එක්කර ඇත්තේ, දුමිරිය මැදිරි 31 ක් පමණක් බවයි ඔවුන් පවසන්නේ.

මෙවැනි සාකච්ඡා සදහා සහභාගී වීමේ දී දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිසි දැනුවත්භාවයකින් සිටින්නේද යන්න සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයත් පවතින බවද සුමේධ සෝමරත්න පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කර හෝ මෙම ගැටලුවලව විසදුම් ලබාදෙනු ඇතැ යි ඔවුන් අපේක්ෂා කරනවා.

එමෙන්ම මාර්තු පළමු වැනි දා සිට උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට වව්නියාව දක්වා වන කොටස සංවර්ධන කටයුතු සදහා වසා දැමිමට තිරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් මාර්තු පළමු වැනිදාට දමිළ ජනතාවගේ උත්සව දිනයක් යෙදී ඇති අතර එවැනි දිනයක මෙම දුම්රිය මාර්ගය වසා දැමිම රජය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් සිදු කරන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අප දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දරගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ, එම කොටසේ දුම්රිය ධාවනය අත්හිටුවන අතර, අතරමැදි කොටස තුළ බස් රථ යොදවා මගීන් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

තවද ආසන වෙන් කරන ලද ප්‍රවේශ පත්‍ර අවලංගු කිරීමේදී සියයට 75 ක මුදලක් ආපසු ගෙවීමට මෙතෙක් කටයුතු කළ ද එය සියයට 50 ක් දක්වා අඩු කිරීමට නියමිත ව ඇති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මුදල් අමාත්‍යවරයා ඉදිරියේ දුම්රිය ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් දුම්රිය ප්‍රධානින් ඉල්ලීම් කළ ද එවැනි මිල වැඩි කිරීමක අවශ්‍යතාවක් නොමැති බවයි ඔවුන් පවසන්නේ.

***************************************

පිරවුම්හල් ආශ්‍රිත ව දිගු පෝලිම්

(15.02.2022 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිත ව අද (15) දිගු පෝලිම් දක්නට ලැබුණා.

ඒ ඉන්ධන මිල යළි ඉහළ යනු ඇති බවට පළ වූ වාර්තා හේතුවෙන්.

ලංකා අයි.ඕ.සී. සමාගම විසින් ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබූ පසුබිමක යළි මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නො මැති බව යි.

පෝලිම් හේතුවෙන් ඇතැම් පරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා.

මේ අතර, ඉන්ධන හිඟය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත් ව සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන් ප්‍රකාශ කළා.

මේ අතර ඉන්දියාවේ සිට ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් අඩංගු නෞකාවක් අද (15) කොළඹ වරාය වෙත ළගා වූ අතර, එය මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබුවා ෴

***************************************

නිමල් ලන්සා පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත් කර ගනියි

(15.02.2022 – 19:26 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා අද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ, මෙවර අයවැයෙන් රාජ්‍ය අමාත්‍යාංශයට වෙන්කර ඇති රුපියල් බිලියන 10 ක මුදල්, ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා මුදාහැරීම එහි ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක විසින් ප්‍රතික්ෂේප කිරීම ඊට හේතු වී ඇති බව යි.

එසේම, රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම ද මෙම තීරණයට හේතු වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත්, මේ පිළිබඳ කරුණු විමසීමට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සම්බන්ධ කර ගැනීමට අප කිහිප වරක් ම උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ ඔහු දුරකතනයට ප්‍රතිචාර නො දැක්වීම හේතුවෙන්.

***************************************

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ වෑන් රථය ගැන හෝඩුවාවක්

(15.02.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ මැර පිරිස එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි වාහනය ස්පේසියා වර්ගයට සමාන වෑන් රථයක් බවට සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සැක මතුව තිබෙනවා.

අදාළ සී.සී.ටී.වී. දර්ශන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමටයි නියමිතව ඇත්තේ.

සිද්ධියට අදාළව ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන 26 ක් පමණ විමර්ශන නිලධාරින් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ එම මැර පිරිස ප්‍රහාරය එල්ල කිරීම සඳහා කොළඹ දෙස සිට පිලියන්දල මංසන්ධිය දක්වා පැමිණ ඇති බවයි.

එහිදී අදාළ වෑන් රථය පිලියන්දල පන්සල අසලින් යළි හරවා ජාලියගොඩ හන්දිය පසුකර ගමන් කරන ආකාරය ද නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරින් ද ඇතුළුව පොලිස් නිලධාරින් 60 දෙනෙකුගෙන් පමණ සමන්විත විමර්ශන කණ්ඩායම් 9 ක් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි උසස් පොලිස් නිලධාරින් සඳහන් කළේ.

සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීම අද (15) දිනයේදීත් සිදුකෙරුණා.

හිරු ටී.වී. ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල – ගංඟාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ ඊයේ (14) අලුයමයි.

ඔවුන් එහිදී ආරක්ෂක කුටියේ රාජකාරියේ නිරතව සිටි මුරකරුගේ හිසට ගිනි අවියක් තබා තර්ජනය කර, නිවාස සංකීර්ණයට ඇතුළු වී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාර එල්ල කර තිබූ අතර, එමඟින් නිවසේ ජනෙල්වලට ද හානි සිදුව තිබුණා.

නාඳුනන කණ්ඩායම නිවාස සංකීර්ණයට පැමිණෙන ආකාරය දැක්වෙන සී.සී.ටී.වී. දර්ශනවලට අනුව සැකකරුවන් පැමිණි මෝටර් රථය නිවාස සංකීර්ණය අසල නවතා ඇති ආකාරය ද නිරීක්ෂණය වනවා.

අදාළ ප්‍රහාරය එල්ල කිරීම සඳහා අසූචි රැගෙනවිත් තිබූ මුට්ටි ආවරණය කිරීමට යොදා තිබූ පොලිතින් ආවරණයේ ඇති මුද්‍රාවක් ඔස්සේ ද විමර්ශන කණ්ඩායම් විමර්ශන සිදුකරමින් පවතිනවා.

මෙම ප්‍රහාරය එල්ල කිරීමට යොදා ගෙන තිබූ උද්‍යාන අලංකරණ බිම් ඇතුරුම් ගල් සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණය සඳහා හිරු සී.අයි.ඒ. කණ්ඩායමේ නියෝජිතයින් ද යොදවා තිබෙනවා.

ප්‍රහාරයට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් හෝ ඔවුන් පැමිණි මෝටර් රථය පිළිබඳව යම් තොරතුරක් ඇතොත් දුරකතන අංක 077 032 2821 ඔස්සේ හිරු සී.අයි.ඒ. වෙත ඔබට දැනුම්දිය හැකියි.

එලෙස හිරු සි.අයි.ඒ. වෙත තොරතුරු ලබා දෙන ඔබගේ අනන්‍යතාව ආරක්ෂා කරන බවට අප ඔබට සහතික වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව ඇති පසුබිමක අද (15) දිනයේ ජාතික පුවත්පත් සියල්ලේම මුල් පිටුවල ප්‍රමුඛස්ථානය මෙම සිද්ධිය සඳහා වෙන් කර තිබුණා.

මේ අතර, ප්‍රකාශනයේ නිදහස, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සඳහා මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව ඉතා වැදගත් බව එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත හැනා සිංගර් පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සහතික කිරීම සඳහා මාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකාරීන් මූලික කාර්යභාරයක් ඉටු කරන බවයි.

විවේචනාත්මක හඬ නිහඬ කිරීම තුලින් මහජන විවාදය, නිදහස සහ මානව හිමිකම් වැළකෙන බව අදාළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

කොළඹ අදගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, හිරු ටී.වී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එල්ල වූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකරගේ පුත් සචිත්‍ර අධීෂ වීරසේකර ‘ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙළා දකිමු’ යනුවෙන් ෆේස් බුක් සටහනක් පළ කර තිබුණා.

කෙසේ වෙතත් ටික වේලාවකට පසු අදාළ පෝස්ටුව සිය ෆේස්බුක් ගිණුමෙන් මෙන් ඉවත් කර ගැනීමට යි ඔහු කටයුතු කර තිබුණේ ෴

+++++++++

චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ නිවැරැදි තොරතුරක් දෙන අයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදලක්

(16.02.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරයට වගකිව යුතු අපරාධකරුවන් පිළිබඳ තහවුරු කරන ඔත්තුවක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් ‘හිරු CIA’ පිරිනමන බව වාර්තා වනවා.

ඒ අනුව එවැනි නිවැරැදි තොරතුරක් වේ නම් කරුණාකර 077 032 2821 අමතන ලෙසයි ‘හිරු CIA’ දැනුවත් කරන්නේ.

මේ අතර, හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධ මැර පිරිස එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා මෝටර් රථය සහ යතුරුපැදිය පැමිණි මෙන්ම යළි පළාගිය මාර්ගය සොයා තවදුරටත් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ විමර්ශන කරන බව පොලිසිය පවසනවා.

අදාළ වාහනය ස්පේසියා වර්ගයට සමාන වෑන් රථයක් බවට සී.සී.ටී.වී. දර්ශන විශ්ලේෂණය කිරීමෙන් පසු සැක මතුව තිබුණා.

ඒ අනුව අදාළ සී.සී.ටී.වී. දර්ශන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමුකිරීමටයි නියමිතව ඇත්තේ.

සිද්ධියට අදාළව ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන 26 ක් පමණ විමර්ශන නිලධාරින් ඊයේ (15) වනවිට පරීක්ෂා කර තිබූ අතර, එහිදී අනාවරණ වී තිබුණේ එම මැර පිරිස ප්‍රහාරය එල්ල කිරීම සඳහා කොළඹ දෙස සිට පිලියන්දල මංසන්ධිය දක්වා පැමිණ ඇති බවයි.

එහිදී අදාළ වෑන් රථය පිලියන්දල පන්සල අසලින් යළි හරවා ජාලියගොඩ හන්දිය පසුකර ගමන් කරන ආකාරය ද නිරීක්ෂණය වී තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි නිලධාරින් ද ඇතුළුව පොලිස් නිලධාරින් 60 දෙනෙකුගෙන් පමණ සමන්විත විමර්ශන කණ්ඩායම් 9 ක් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි උසස් පොලිස් නිලධාරින් සඳහන් කළේ.

හිරු ටී.වී. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල – ගංඟාරාම පාරේ නිවසට මුහුණු ආවරණය කරගත් නාඳුනන කණ්ඩායමක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ පෙරේදා (14) අලුයමයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ගවේෂණය සඳහා හිරු සී.අයි.ඒ. කණ්ඩායමේ නියෝජිතයින් ද යොදවා තිබෙනවා.

***************************************

විල්බාව වැවේ දිය නෑ දරුවන් දෙදෙනෙකු (2) දියේ ගිලී මරුට

(16.02.2022 – 7:15 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – විල්බාව වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු (2) දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ, මෙම ළමයින් දෙදෙනා (2) තවත් ගැහැණු ළමයින් දෙදෙනෙකු (2) සමග ඊයේ (15) පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට ලක්ව ඇති බවයි.

මිය ගිය දැරියන් අවුරුදු 13 සහ 14 යන වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේම පදිංචිකාරිනියන්.

මොවුන් දිය නෑම සඳහා ගොස් ඇති බවට ඔවුන්ගේ දෙමව්පියන් දැන සිට නොමැති බවට යි වාර්තා වන්නේ ෴

***************************************

චාමර සම්පත් නිදහස්

(16.02.2022 – 07:28 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් දණ ගැස් වූ බවට එල්ල වන චෝදනාවෙන් හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිදොස් කොට නිදහස් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස නියෝග කළා.

සමථ මණ්ඩලයේ දී ඇති වී තිබෙන සමථය අනුව චූදිත මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරන බවයි මහේස්ත්‍රාත්වරයා ඊයේ (15) ප්‍රකාශ කළේ.

බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන්ගේ පැමිනිල්ලක් මත මෙම නඩුව පවරා තිබුණා.

නීතිපති උපදෙස් මත මෙම නඩුව සමථ මණ්ඩලයට යොමුකිරීමට පසුගිය දා නියෝග කෙරුණු අතර, ඒ අනුව බදුල්ල සමථ මණ්ඩලය කැදවූ අවස්ථාවේ දෙපාර්ශවයේ එකඟතාව මත එය සමථයකට පත් වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

‘එක රටක් – එක නීතියක්’ කාර්ය සාධක බලකාය, ඇමතිවරුන් තුන් දෙනෙකු (3) හමුවෙයි

(16.02.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

‘එක රටක් – එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය අධිකරණ, විදේශ කටයුතු සහ මහජන ආරක්ෂක අමාත්‍යවරුන් හමු වී එහි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, කාර්ය සාධක බලකාය විසින් ඉදිරිපත් කරන සංකල්ප පත්‍රිකාවේ යෝජනා සලකා බලා අදාළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට තම සහය ලබාදෙන බව එහි දී අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇති බවයි.

ජනාධිපති කාර්ය සාධක බලකාය සාක්ෂි ලබාගැනීමේ කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යරවැන් දැනුවත් කර ඇති අතර, යුක්තිය පසිඳලීමේ ක්‍රියාන්විතය කඩිනම් කිරීම සඳහා ආරම්භ කර ඇති වැඩපිලිවෙල සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර තිබෙනවා.

වකුෆ් සභාවේ සභාපතිවරයාද එම සාකච්ඡාවට එක්ව තිබුණා.

විදේශ අමාත්‍යවරයා මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවල දී ද කාර්ය සාධක බලකායේ කටයුතු සම්බන්ධයෙන් සහ අමාත්‍යවරුන්ගේ අදහස් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 304 ක් සුවය ලබයි

(15.02.2022 – 16:02 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 304 දෙනෙකු අද (15) දිනයේ දී සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 5,95,649 ක්.

පුද්ගලයින් 17,854 දෙනෙකු තවදුරටත් රෝහල්ගත ව සහ නිවෙස්ගත ව ප්‍රතිකාර ලබනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *