විෂකාරක යොදා ඉදවන කෙසෙල් පාරිභෝගිකයා අතට ? – ‘හිරු CIA’ අනාවරණය

විෂකාරක යොදා ඉදවන කෙසෙල් පාරිභෝගිකයා අතට ? – ‘හිරු CIA’ අනාවරණය

*********************************************

විෂකාරක යොදා ඉදවන කෙසෙල් පාරිභෝගිකයා අතට ? – ‘හිරු CIA’ අනාවරණය

(11.02.2022 – 20:25 +0530 – hirunews.lk/sinhala)

අමු කෙසෙල් ඉදවීම සඳහා විෂ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කිරීමේ මහා පරිමාණ ක්‍රියාවලියක් මේ වනවිට රට පුරා ක්‍රියාත්මක වනවා.

අද (11) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

කෙසෙල් යනු කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් ඇතුළු මෙරට වැඩි පිරිසක් දින පතාපාහේ ආහාරයට එක්කර ගන්නා පලතුරක්.

එම පාරිභෝජන අවශ්‍යතාව සපුරාලීම සඳහා පෑලියගොඩ මැණිං වෙළෙඳපොළට දිනපතා දස දහස් ගණනින් කෙසෙල් කැන් මෙලෙස රට වටින්ම ගෙන එනවා.

එලෙස ගෙන එන අමු කෙසෙල් කැන් ක්ෂණිකව ඉදවීම සදහා මෙහි කෙසෙල් තොග වෙළඳුන් දින පතා උදෑසන සිට සවස්වන තෙක්ම අනුගමනය කරන ක්‍රියාමාර්ගයයි මේ.

මෙලෙස ලීටර් ගණනින් මුළු කෙසෙල් කැනම තෙත් වන ලෙස විෂ රසායනිකයන් යෙදු පසු එම ද්‍රාවනය උරාගන්නා තෙක් ඇතැම් වෙළදසැල් හිමියන් කෙසෙල් කැන් මෙලෙස එල්ලා තබනවා.

නිසි ප්‍රමිතියකින් තොරව අධි මාත්‍රාවෙන් මෙම රසායනිකය යෙදු පසු පැය 2 ඇතුලත මුළු මනින්ම කෙසෙල් කැන ඉදී යන අතර මෙරට පාරිභෝගික ජනතාවට මිලදී ගැනීමට සිදුවන්නේ මෙම විෂ රසායනික මිශ්‍රිත කෙසෙල්වීම කණගාටුවට කරුණක්.

කොළඹ මැණිං වෙළඳ පලේ මෙන්ම බොහෝ කෙසෙල් තොග අලෙවි කරන මධ්‍යස්ථානවල දුම් ගසා ඉදවන පාරම්පරික ක්‍රම සදහා පහසුකම් සලසා තිබුන ද වෙළඳුන් බහුතරයක් මේ වනවිට යොමුවී ඇත්තේ ක්ෂණිකව කෙසෙල් ඉදවීම සදහා මෙම විෂ රසායනික යෙදීමටයි.

‘හිරු සී.අයි.ඒ.’ කළ දැනුම්දීම මත මෙම විෂ රසායනික යොදා කෙසෙල් ඉදවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් මැණිං වෙළඳපලට පැමිණියා.

එහිදී හෙළිවුයේ අන්නාසි ශාකයේ මල් හට ගැනීම සදහා යොදන රසායනිකයක් මෙලෙස කෙසෙල් ඉදවීම සදහා වෙළඳුන් යොදාගන්නා බවයි.

මෙම රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වන සමාගමේ බෙදාහැරීම් නියෝජිතවරයා අප දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා.

මෙම අනාවරණයෙන් පසුවත්, කූට ව්‍යාපාරිකයන්ට තම මඩිය තර කර ගැනීමේ අරමුණින් මෙලෙස අමු අමුවේ ජනතාවට වස කැවීමට ඉඩ දී මෙරට වගකිව යුතු බලධාරීන් නිහඩව සිටිනවා ද?

‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්.

***************************************

ඩීසල් බෙදා හැරීමේ ගැටලුවක් – අවුල හෙටින් (12) අවසන්

(11.02.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන පිරවුම්හල් වෙත ඩීසල් බෙදාහැරීමේ ප්‍රමාදය හෙට (12) දිනය වන විට මග හැරී යනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බවයි.

දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් සහ පෙට්‍රල් තොග ලැබීමේ ප්‍රමාදයක් පවතින බවට හිරු ප්‍රවෘත්තී අංශයට තොරතුරු වාර්තා වුණා.

සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සඳහන් කළේ ඔටෝ ඩීසල් නොමැති වීම හේතුවෙන් මෙම බෙදාහැරීමේ ප්‍රමාදය හටගෙන ඇති බවයි.

ඒ හේතුවෙන් මේ වන විට ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන හල් වල මෙන්ම ලංකා අයි.ඕ.සී. ඉන්ධන හල්වලින් ඔටෝ ඩීසල් නිකුත් කිරීමේ අවහිරතා පවතින බව එම සංගමය ප්‍රකාශ කළා.

සිපෙට්කෝ සහ අයි.ඕ.සී. යන ඉන්ධන හල් දෙවර්ගයටම ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදු කරන්නේ සී.පී.එස්.ටී.එල්. හෙවත් ‘සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ්’ ආයතනය මගින්.

ඒ අනුව ‘ලංකා ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ’ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම බෙදාහැරීම් සිදු කරන සී.පී.එස්.ටී.එල්. ආයතනයේ ගැටලුවක් හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇති බවටයි.

පසුගියදා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමග අයි.ඕ.සී. පාරිභෝගිකයන් ද සිපෙට්කෝ ඉන්ධන හල් වෙත බහුලව ඇදීයාම ද සිපෙට්කෝ ඉන්ධන හල් තුළ ඉන්ධන හිඟතාවයක් හටගැනීමට හේතු වී ඇති බව ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.

‘ලංකා අයි.ඕ.සී. ඉන්ධන බෙදාහැරීමේ සංගමයේ’ සභාපති කෝසල විදානාරච්චි හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ඉන්ධන හල් වෙත ඩීසල් මෙන්ම පෙට්‍රල් ලැබීමේ ප්‍රමාදයක් ද පවතින බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල ගෙන් වැඩිදුර විමසීමක් කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ සාමාන්‍යයෙන් මුතුරාජවෙල සහ කොලන්නාව පර්යන්ත දෙකෙන් දෛනිකව ඉන්ධන බෙදා හැරීම සිදු කරන බවයි.

කෙසේ වෙතත්, දින 3 කට පෙර මුතුරාජවෙල පර්යන්තයෙන් ඩීසල් තොග බෙදා හැරීම නතර කර තිබුණා.

ඊට හේතු වූයේ මුතුරාජවෙල පර්යන්තයේ ඩීසල් තොග අවසන් වීමයි.

කෙසේ වෙතත් කොලන්නාව පර්යන්තයෙන් අඛණ්ඩව ඩීසල් ඇතුලු සියලු ඉන්ධන තොග මුදා හැරුනද එහිදී යම් ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විටත් නෞකාවකින් මුතුරාජවෙල පර්යන්තයට ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති අතර ඒ අනුව හෙට (12) දිනය වන විට ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පවතින ඩීසල් නිකුත් කිරීමේ ප්‍රමාදය මග හැරී යනු ඇති බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල හිරු ප්‍රවෘත්තී අංශයට වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස 03 සඳහා විදුලි කප්පාදුවක් අවශ්‍ය බවට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ පිළිබඳ තීරණයක් ගැනීම සඳහා හෙට (12) එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ ෴

***************************************

වාහන මිල ඉහළට

(11.02.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

වාහනයක් මිලදි ගැනීම සැමගේම සිහිනයක්.

ඒත් ඊට ප්‍රධාන බාධකය වී ඇත්තේ දැනට පවතින වාහන ආනයන සීමාවන්.

මේ බාධකයේ යම්කිසි වෙනසක් සිදු වෙයිද..?

ගෝලීය කොවිඩ් වසංගතයත් සමඟ මතු වූ ඩොලර් අර්බුදය හේතුවෙන් මෝටර් වාහන ආනයනය නතර කෙරුණේ මීට වසර දෙකකට (2) පෙර 2020 වසරේ මාර්තු මාසයේදීයි.

වාහන ආනයනය නතර කිරීමට පෙර සාමානයෙන් මෙරටට වාර්ෂිකව ආනයනය කළ මෝටර් වාහන, යතුරුපැදි හා ත්‍රීරෝද රථවල මුළු එකතුව වසරකට ලක්ෂ 5 කට ආසන්නයි.

ඒ අනුව 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ මෝටර් වාහන ලක්ෂ 25 කට වැඩි සංඛ්‍යාවක් ආනයනය කර තිබෙනවා.

කෙසේ වෙතත් වසර 2 කට ආසන්න කාලයක් පැවති වාහන ආනයන තහනම නිසා මේ වන විට වාහන වෙළෙඳපොලේ දැවැන්ත හිඩසක් නිර්මාණය වී තිබෙනවා.

මේ වන විට සෑම වාහනයක්ම නොවටිනා මිලකට අලෙවි වන අතර එහි අවසන් ප්‍රථිඵලය වී ඇත්තේ වාහනයක් මිලට ගැනීම තවදුරටත් සිහිනයක් බවට පත්වීමයි.

වාහන ආනයන ක්ෂේත්‍රයේ රැකී රක්ෂා කරමින් යැපෙන පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයක් පමණ වන අතර ඔවුන්ගෙන් බහුතරයකටද මේ වන විටත් රැකියාවන් අහිමි වී ගිහින්.

මේ සියලු ගැටලුවලට විසදුමක් ලැබෙන පරිදි වාහන ආනයනය කිරීම සඳහා ආනයනකරුවන් සතුව යම් කිසි ක්‍රමවේදයක් තිබේද..?

මේ වන විට වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරය මාෆියාවක් බවට පත් කරගෙන ඇති බව ‘ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය’ පවසනවා.

මේ අතර අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාව පනවා ඇති තහනම ඉවත් කරන්නැයි යුරෝපා සංගමයද දැනුම් දී ඇති පසුබිමක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම මගින් හෝ වාහන ආනයන සීමා ඉවත් කිරීමට හැකි වෙයිද..?

***************************************

සතොස ලොකු පුටු හිටිහැටියෙම ගල් වෙයි

(11.02.2022 – 21:38 +0530 – hirunews.lk/sinhala)

අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමග සතොස සභාපති වෙනුර ගුණවර්ධන සහ එහි ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමළල ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මොවුන්ගේ සේවය අත්හිටුවීමේ නියෝගය ඊයේ (11) පස්වරුවේ ලබා දී තිබුණා.

පසුගිය කාලයේ සතොස ආයතනයේ සිදුවූ අයථා ගණුදෙනු සම්බන්ධයෙන් තමාට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අමාත්‍යංශ ලේකම්වරිය වෙත නියෝගයක්ද ලබා දී තිබෙනවා.

වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේ අදාළ අයථා ගනුදෙනු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද මේ වන විට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි ෴

***************************************

ඡන්ද ක්‍රමයේ වෙනසක් ?

(11.02.2022 – 22:50 +0530 – hirunews.lk/sinhala)

කේවල සහ සමානුපාතික නියෝජන ක්‍රම මිශ්‍ර වූ ක්‍රමයක් යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුව තිබෙනවා.

ඒ කාරක සභාවේ සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් එය රැස්වූ අවස්ථාවේදීයි.

ඒ අනුව නියෝජිතයින් සියයට 40 ක් සමානුපාතික ක්‍රමය යටතේ ද සියයට 60 ක් කේවල ඡන්ද ක්‍රමය යටතේ ද තෝරාගැනීම පිළිබඳ සාකච්ඡා වී ඇති බව සඳහන්.

එසේම පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩි කිරීම අරමුණු කරගෙන සෑම දේශපාලන පක්ෂයක්ම නාමයෝජනා ලැයිස්තුවෙන් කාන්තාවන්ට වැඩි ඉඩක් ලබාදීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබුණා.

මීට අමතරව මැතිවරණයේදී ජය ගන්නා පක්ෂයට ප්‍රසාද මන්ත්‍රී ආසනක් ලබාදීම පිළිබඳව ද සාකච්ඡා වී ඇති අතර පළාත් පාලන ආයතනවල දැනට සිටින නියෝජිතයින් ප්‍රමාණය අඩු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයන් 1297 ක්

(11.02.2022 – 07:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුල ඉලක්කගත ළමුන්ගෙන් සියයට 98 කට පමණ කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අන්තර්ජාතික රතුකුරුස කමිටුවට දැනුම් දී තිබෙනවා.

ජාත්‍යන්තර රතු කුරුසියේ මහ ලේකම්වරයා ඊයේ (10) හමු වූ අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කලේ මෙරට ඉලක්කගත ජනගහනයෙන් සියයට 95 කට පමණ මේ වන විට 2 වන එන්නත් මාත්‍රාව ලබා දී ඇති බවයි.

එමෙන්ම මෙරට තුල ඉලක්කගත ළමුන්ගෙන් සියයට 98 කට පමණ කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දී තිබෙනවා.

මේ අතර මෙරට කොරෝනා අසාදිතයන් සඳහා සූදානම් කර ඇති ඇඳන් 15,000 න් තවමත් සක්‍රීයව පවතින්නේ ඇඳන් 7,000 ක් පමණක් බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පුරවැසියන් සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කිරීමටත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමටත් කටයුතු කළ යුතු බවයි.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 1297 ක් ඊයේ (10) වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,24,575 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 15,723 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (10) වාර්තා වූ කොරෝනා මරණ 31 ත් සමඟ යි.

මේ අතර දෙවන (2) වරටත් කොරෝනා ආසාදනය වූ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු එලෙස ආසාදිත බව හඳුනාගැනීමට දින දෙකකට (2) පෙර දෙවන එලිසබෙත් මහ රැජිණ මුණගැසී ඇති බව වාර්තාවනවා.

කෙසේ නමුත් මහ රැජිණ මෙතෙක් කොරෝනා ආසාදන ලක්ෂණ පෙන්නුම් කර නැහැ.

95 හැවිරිදි මහ රැජිණ පසුගිය දා සිය රාජකීයත්වයේ දියමන්ති ජුබිලිය සැමරුව ද බොහෝ දුරට වින්ඩ්සර් මැදුරේ හුදෙකලාව කාලය ගත කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙතක් ලෙසින්.

එමෙන්ම චාල්ස් කුමරු සහ කැමිලා ආර්යාව පසුගිය බදාදා බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ පැවති උත්සවයකට සහභාගිවූ අතර, ඊට බ්‍රිතාන්‍යය මුදල් අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාද සහභාගිවී තිබෙනවා.

73 හැවිරිදි චාල්ස් කුමරු සහ 74 හැවිරිදි කැමිලා ආර්යාව යන දෙදෙනාම බූස්ටර් එන්නත ඇතුලුව කොරෝනා වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණය ලබා සිටිනවා ෴

+++++++++++++

කොරෝනා ආසාදිතයින් 373 දෙනෙකු සුවය ලබයි

(11.02.2022 – 15:53 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 373 දෙනෙකු අද (11) සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 5,94,348 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14,474 ක් වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 15,723 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+++++++++++++

තවත් කොරෝනා මරණ 31 ක්

(11.02.2022 – 17:53 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිත මරණ 31 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 15,754 ක් දක්වා ඉහළ යනවා.

වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14,474 ක් වන අතර, සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 5,94,348 ක්.

කෙසේවෙතත් වෛරසය මර්දනයට මේ වනවිට දිවයින පුරා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන දීප ව්‍යාප්තව ක්‍රියාත්මකයි ෴

+++++++++++++

දෛනික ආසාදිතයින් සංඛ්‍යාව අදත් (11) 1000 පනියි

(11.02.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ නව ආසාදිතයින් 1259 දෙනෙකු අද (11) දිනයේදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත වෛරස ආසාදිත සංඛ්‍යාව 6,25,804 ක්.

කෙසේවෙතත් තවදුරටත් වෛරසය ආසාදනය වී රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 14,474 ක් වන අතර, පූර්ණ සුවය ලද සංඛ්‍යාව ද 5,94,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *