විභාග කොමසාරිස්වරයාගෙන් උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

විභාග කොමසාරිස්වරයාගෙන් උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

*********************************************

විභාග කොමසාරිස්වරයාගෙන් උසස් පෙළ සිසුන්ට නිවේදනයක්

(06.02.2022 – 18:27 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වෛරස ආසාදිත විභාග අපේක්ෂකයින් සහ නිරෝධායන වන විභාග අපේක්ෂකයින් සඳහා විශේෂ නිවේදනයක් විභාග කොමසාරිස්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එවැනි අපේක්ෂයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව දිස්ත්‍රික් මට්ටමින්, රෝහල් සහ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව පිහිටුවා තිබෙනවා.

එවැනි විභාග අපේක්ෂකයින් නම් කරන ලද විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිය යුතුයි.

එම මධ්‍යස්ථානවල නේවාසිකව සිටිමින් විභාගය සඳහා පෙනී සිටිමට අවශ්‍ය සියලුම පහසුකම් සංවිධානය කර ඇති බව විභාග කොමිසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

සියලුම ආසාදිත විභාග අපේක්ෂයින් මෙම විශේෂ විභාග මධ්‍යස්ථානවල නේවාසික වීම අනිවාර්ය වන අතර වෙනත් කිසිදු ස්ථානයක දී විභාගයට පෙනී සිටීමට අවස්ථාව නොමැති බව ද විභාග කොමසාරිස්වරයා දන්වා සිටී.

විභාගය පැවැත්වෙන කාලය අතරතුර නිරෝධායන වන විභාග අපේක්ෂයින්, විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් තමන්ට නියමිත විභාග මධ්‍යස්තානය පිහිටුවා ඇති විශේෂ විභාග කාරමයේ දී විභාගයට පෙනී සිටිය යුතුයි.

තමා නිරෝධායනය වන බව විභාග ශාලාධිපතිට දන්වා සිටිය යුතු බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.

***************************************

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළට

(06.02.2022 – 18:52 +0530 – hirunews.lk/sinhala)

අද (06) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, ඩීසල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

එසේම, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව, අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරයක නව මිල රුපියල් 124 ක් වන අතර, ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 184 කටයි.

එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 හෙවත් ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 213 ක්.

***************************************

පස්යාලේදී කෝටි 5 ක සුපිරි ජිප් රථයක් උස්සයි

(06.02.2022 – 19:20 +0530 – hirunews.lk/sinhala)

පස්යාල මංසන්ධිය ආසන්නයේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි නිවසක නතර කර තිබූ රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගි ජිප් රථයක් අද (06) අලුයම කිසියම් පිරිසක් සොරාගෙන තිබෙනවා.

නිට්ටඹුව ප්‍රදේශයේ වාහන අලෙවිසැල් හිමිකරුවෙකුට අයත් ජිප් රථයකුයි මෙලෙස සොරා ගෙන ඇත්තේ.

අලුයම 3 ට පමණ කිසියම් පිරිසක් විසින් අදාළ ජිප් රථය නතර කර තිබූ නිවසට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබෙනවා.

නිවසෙහි සවි කර තිබූ සී.සී.ටී.වී දර්ශනවලට අනුව අනාවරණ කරගෙන ඇත්තේ ජිප් රථය එම පිරිස් විසින් කොළඹ දෙසට පදවාගෙන ගොස් ඇති බවටයි ෴

***************************************

අර්බුදය කිසිවෙකුත් තේරුම් ගෙන නැහැ – බලශක්ති ඇමති කියයි

(06.02.2022 – 19:24 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ රට මුහුණදී ඇති ආර්ථික අර්බුදය කිසිවෙකුත් තේරීම් ගෙන නොමැති බවත් එය කොරෝනා නිසා ඇති වූ දෙයක් නොවන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (06) පැවති උත්සවයකට එක්වෙමින්.

***************************************

ඉන්ධන ඇත්තේ හෙට (07) උදෑසන දක්වා පමණයි – විදුලිබල මණ්ඩලය යළි දන්වයි

(06.02.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනට ලබා දී ඇති ඉන්ධන තොග ප්‍රමාණවත් වන්නේ හෙට (07) පෙරවරුව දක්වා පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර, පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහල යන බවයි වාර්තා වන්නේ.

එවන් පසුබිමක ජල විදුලි බලාගාර ආශ්‍රීත ජලාශවල ජල මට්ටමද පහල යමින් පවතින අතර එමඟින් ජල විදුලි උත්පාදනයද ගැටලුවක් වී තිබෙනවා.

මාවුස්සාකැලේ ජලාශයේ නල මාර්ගයක මාසයක සිට පවතින අවහිරතාවක් හේතුවෙන් මෙගාවොට් 90 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරන නව ලක්ෂපාන බලාගාරයෙන් මේ වනවිට එක්කරන්නේ මෙගාවොට් 10 ක ධාරිතාවක් බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ.

කෙසේ වෙතත්, පවතින ඉල්ලුම සපුරාලීමට මෙගාවොට් 500 ක හිගයක් පැවතීම හේතුවෙන් විදුලි අවශ්‍යතාවය සපුරාලීම සදහා පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට විදුලිබල අමාත්‍යාංශයේ අවධානය යොමුවුණා.

මේ සඳහා විවෘත ටෙන්ඩර් කැඳවන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් කියා සිටියේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය අවම මට්ටමක පැවතීම සහ ඉන්ධන නොමැති තත්ත්වයක් තුල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් හෙට (07) යළි ගැටලු සහගත තත්ත්වයක් මතුවන බවයි.

කෙසේ වෙතත්, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සදහන් කර තිබුනේ විදුලි ඉල්ලුමට අනුව හෙට (07) දිනයේදි විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවයි.

***************************************

භාරත ගී රැජින ලතා මංගේෂ්කාර්ගේ අවසන් කටයුතු අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන්

(06.02.2022 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය මධුර ස්වරයේ රැජින ලෙස සැලකෙන ප්‍රවීන ගායිකා ලතා මංගේෂ්කාර්ගේ අවසන් කටයුතු අද (06) පස්වරුවේ මුම්බායි නුවර චත්‍රපති ශිවාජි උද්‍යානයේදී සියලු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ සඳහා ඇයගේ දේහය රථ පෙරහරකින් ශිවාජි උද්‍යානය වෙත රැගෙන ආ අතර එම අවස්ථාවේදී මග දෙපස සිටි විශාල පිරිසක් ඇයට සිය අවසන් ගෞරව පළ කළා.

දශක 7 ක කාලයක් රසික සිත් සතන් පිනවූ භාරතයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සහභාගි වීමට නියමිතයි.

ඊට සහභාගි වීම සඳහා බොලිවුඩ් නළු නිළියන්, ගායක ගායිකාවන්, දේශපාලඥයින් ඇතුළු විශාල පිරිසක් මුම්බායි නුවර චත්‍රපති ශිවාජි උද්‍යානය වෙත පැමිණ සිටිනවා.

එමෙන්ම, ඇයට ගරු කිරීමක් ලෙස ජාතික කොඩිය අඩකුඹු කරන ලෙසයි ඉන්දීය රජය දැනුම් දී ඇත්තේ.

කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි ප්‍රකාශ කළේ ලතා මංගේෂ්කාර්ගේ ස්වර්ණමය ස්වරය අමරණීය වන අතර, එය ජනතා හදවත් තුල රැව් පිලිරැව් දෙනු ඇති බවයි.

++++++

***************************************

ගාල්ලේදී පොලිස් කොස්තාපල්වරියකට ගිනි තබයි

(06.02.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – ගෝනපීනුවල ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරියකට ඇගේ සැමියා විසින් ගිනි තැබී තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලැබූ මෙම පොලිස් කොස්තාපල්වරිය බරපතල තත්ත්වයේ බලපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

35 හැවිරිදි ගෝනපීනුවල පොලිසියට අනුයුක්තව සේවය කරන මෙම කාන්තාව සිය සේවය නිමවා නිවසට පැමිණි අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මත සැමියා විසින් පෙට්‍රල් සිරුරට දමා ගිනි තබා තිබෙනවා.

එම අවස්ථාවේදී ඉන් බේරීම සඳහා නිවසින් පිටතට පැමිණි ඇය ප්‍රදේශවාසීන් විසින් රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මෙම කොස්තාපල්වරියගේ සැමිය ද සුළු පිලිස්සුම් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

‘පානදුර සලිදු’ නැමැත්තා ගේ මත්කුඩු ජාවාරමේ සුල මුල හෙළිවෙයි

(06.02.2022 – 22:16 +0530 – hirunews.lk/sinhala)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ‘පානදුර සලිදු’ නැමැත්තා ගේ මත්කුඩු ජාවාරමේ ප්‍රවාහන කටයුතු කේතුමතී කාන්තා රෝහලට අයත් ගිලන් රථයකින් සිදුකිරීම සම්බන්ධයෙන් එම රෝහලේ ගිලන්රථ සහායකයෙක් ද අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

සැකකාර ගිලන්රථ සහායකයාට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සහාය දැක්වීම වෙනුවෙන් වරින් වර මුදල් ලබාදී ඇතැයිද අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

ඉකුත් 27 වැනි දින පරීක්ෂණ කටයුත්තක් සඳහා ගැබිනි කාන්තාවක් රැගෙන කේතුමතී කාන්තා රෝහලේ සිට පානදුර මූලික රෝහල කරා පැමිණි අවස්ථාවේදී යතුරු පැදි දෙකකින් (2) පැමිණි පුද්ගලයන් සිව් (4) දෙනෙකුගෙන් දෙදෙනකු (2) ගිනි අවි රැගෙන බැස එක් (1) අයකු ගිලන් රථ රියදුරා අසලට පැමිණ වෙඩි තැබූවද ගිනි අවිය අක්‍රීය වීම හේතුවෙන් වෙඩි ප්‍රහාරය එල්ල වුනේ නැහැ.

එකී සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ගිලන් රථ රියදුරා ‘පානදුර සලිදු’ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ ප්‍රධාන චරිතයක් වී පොලිසියට ඔත්තු ලබා දීම මෙම වෙඩි ප්‍රහාරයට හේතු වී තිබූ බව පොලිසිය පවසනවා.

ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස පැමිණිලිකාර ගිලන් රථ රියදුරා ඉකුත් තුන්වැනි (03) දින කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන දින 7 ක කාලයක් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර ගිලන් රථ සහායකයා අත් අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන සැකකාර ගිලන්රථ රියදුරු ‘පානදුර සලිදු’ නැමැත්තා ගේ හෙරොයින් මත්කුඩු ජාවාරම වසර දෙකක (2) පමණ කාලයක සිට සිදුකර ඇති බවත් මීට අමතරව තණමල්විල සිට ගංජා ද ප්‍රවාහනය කර ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව උසස් පොලිස් නිලධාරියා පැවසුවා.

මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රවාහන කටයුතු ගිලන් රථයෙන් සිදුකිරීම වෙනුවෙන් ‘පානදුරට සලිදු’ නැමැති මත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් ගිලන්රථ රියැදුරාට විවිධ අවස්ථාවල මුදල් ලබාදීමට අමතරව රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝපභෝගී නිවසක් ද තනා දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳ සොයා බලන බව උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

කොරෝනා වසංගතය උත්සන්න කාලයේදී මත්කුඩු ප්‍රවාහන කටයුතු සැකකාර ගිලන්රථ රියදුරු ජයටම කර ඇති බවට ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී වැදගත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතින බවත් උසස් පොලිස් නිලධාරියා පැවසුවා ෴

***************************************

ශිරන්ති රාජපක්‍ෂගේ මවගේ වාහන පෙල නතර කලා යයි මගෙන් පලිගත්තා.. මං රටින් පැන්නා.. – හිටපු OIC එංගලන්තයේ සිට කියයි…

(06.02.2022 – 22:01 +0530 – hirunews.lk/sinhala)

මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මවගේ වාහන පේලියක් නතර කළේ යැයි තමන්ගෙන් පළි ගත් බව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයෙකු වන අජිත් ධර්මපාල මහතා සඳහන් කරයි.

එම සිද්ධිය නිසා තමන්ගෙන් පළි ගත් බවත් තලෙයිමන්නාරමට මාරු කල බවත් පසුව 2008 වසරේ දී නම පවුල පිටින්ම එංගලන්තයට පලා ගිය බවත් හෙතෙම කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

***************************************

ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය – 2022
(2022.02.01 – elections.gov.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *