රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැත – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැත – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

*********************************************

රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැත – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

(06.02.2022 – 08:57 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා තත්වය තුළ රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

එමෙන්ම බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා ප්‍රමාණවත් එන්නත් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් සහතික වනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 1,287 ක් ඊයේ (05) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,17,189 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,572 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (05) කොරෝනා මරණ 28 ක් වාර්තා වීමත් සමගයි.

පවතින මෙම තත්ත්වය තුළ රට වසා දැමීමේ කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (05) අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

එමෙන්ම බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා එන්නත් සුලභව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ පූර්ණ එන්නත්කරණය නොමැතිව පොදු ස්ථානවලට ඇතුලු වීම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට සියල්ලන් කටයුතු කළ යුතු බවයි ෴

+++++++++++++

ගැසට්ටු මැද තවත් කොරෝනා නීතියක්

(06.02.2022 – 14:19 +0530 – hirunews.lk/sinhala)

සංචාරකයින්ගේ කොරෝනා රක්ෂණාවරණය ඇමෙරිකානු ඩොලර් 7500 ක් දක්වා ඉහළට.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට කොරෝනා රක්ෂණය ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර, එහි රක්ෂණාවරණය ඇමෙරිකානු ඩොලර් 7500 ක් දක්වා ඉහළ දමා ඇති බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මීට පෙර එම රක්ෂණය පැවතුණේ ඇමෙරිකානු ඩොලර් 5000 ක් ලෙසයි.

මෙරට සංචාරක කලාප ආශ්‍රිතව වෙනම සංචාරක පොලිස් ඒකක පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, ගල්කිස්ස සහ උණවටුන ප්‍රදේශවල ඒ සඳහා ඉදිකිරීම් ද ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වසංගතය පැවති පසුගිය වසරේදී මෙරටට සංචාරකයන් 1,94,495 ක් පැමිණ ඇති අතර, පසුගිය මාසයේ දී සංචාරකයින් 82,327 ක් දිවයිනට පැමිණියා ෴

++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 453 ක් සුවය ලබයි

(06.02.2022 – 15:52 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 453 දෙනෙකු අද (06) දිනයේ දී සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරනවා.

ඒ අනුව මේ වන විට මෙරට සුවය ලබා ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,81,205 ක්‍.

කෙසේ වෙතත් ඊයේ (05) දිනය තෙක් මෙරටින් වාර්තා වු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,17,189 ක් වන අතර සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,572 ක් ෴

+++++++++++++++++

තවත් කොරෝනා මරණ 23 ක්

(06.02.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 23 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (05) තහවුරු කළ මෙම මරණ අතර කාන්තාවන් 11 ක් සහ පිරිමි පුද්ගලයන් 12 ක් වනවා.

වයස අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ එක් පිරිමි මරණයක් වාර්තාවී තිබෙනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 4 ක්.

කාන්තාවන් දෙදෙනෙකු (2) සහ පිරිමි දෙදෙනෙකු (2) ඒ අතර වනවා.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයන් 8 ක් සහ කාන්තාවන් 10 ක් වශයෙන් මරණ 18 ක් වාර්තා වුණා.

අද (06) වාර්තා කළ මෙම මරණ 23 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 15,595 ක් ලෙසටයි.

මේ අතර මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයන් 6,17,189 ක් වාර්තාවී තිබෙනවා. ඉන් 20,412 ක් රෝහල්ගතව හෝ නිවෙස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 5,81,205 ක් ෴

අද (06) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 1,331 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 6,18,520 ක් ෴

+

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

15 හැවිරිදි දැරියට මරු කැඳවූ පිහි ඇනුමේ තොරතුරු රැසක් එළියට (05.02.2022)

***************************************

අවුරුදු සමයේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමට තවත් ණය සහන

(06.02.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනයන් සඳහා ඉන්දියාවෙන් සහ ඔස්ට්‍රෙලියාවෙන් ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය සහනයක් එහිදී අපේක්ෂා කෙරෙන අතර, ඔස්ට්‍රෙලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය සහනයක් ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති බව සඳහන්.

සහල්, පරිප්පු, ඖෂධ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙම ණය සහන වැඩපිළිවෙල මගින් ලබා ගැනීමට අපේක්ෂිතයි.

එමෙන්ම, එම ආනයනයන් මාස 6 ක පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් වන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රෙලියාවෙන් ලබා ගැනෙන ණය සහන යටතේ පරිප්පු සහ බාර්ලි ආදිය ලබා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඉන්දීය ණය සහන යටතේ අල, ලූණු, පරිප්පු සහ ඖෂධ ආනයනය කිරීමට නියමිතයි.

මෙම ආනයනයන් සඳහා ගෙවීම් වාරික වශයෙන් මාස්පතා ගෙවීමටයි සැලසුම් කෙරෙන්නේ.

මේ අතර, ඔස්ට්‍රෙලියාවෙන් ආනයනය කෙරෙන පරිප්පු පියළි කිරීම සඳහා මෙරට කර්මාන්තශාලාවක් ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

එවැනි කර්මාන්තශාලාවක් හම්බන්තොට හෝ කොළඹ වරාය ආශ්‍රිතව පිහිටුවීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂිතයි.

මෙතෙක් ඔස්ට්‍රෙලියානු පරිප්පු ශ්‍රී ලංකාව වැනි රටවලට ලැබීමට පෙර පියළි කිරීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සිදු කෙරුණා ෴

***************************************

බලධාරින්ට නොපෙනෙන හාලි ඇළ ප්‍රදේශයේ උදේනිගම වැව

(06.02.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

අතීතයේ පටන්ම මෙරට කෘෂිකර්මාන්තයට ආවේණික ප්‍රධාන අංගයක් වන්නේ වැවයි.

එවැනි උරුමයන් රැකගන්නවා වෙනුවට ඒවා පරිහානියට පත්වීමට ඉඩ හැරීම කනගාටුදායක කරුණක්.

වසර කිහිපයක් තිස්සේ විනාශ වෙමින් තිබෙන හාලි ඇළ ප්‍රදේශයේ වැවක් පිළිබඳවයි මේ තොරතුරු.

ගොවි පවුල් සියයකට අධික සංඛ්‍යාවක් කෘෂිකර්මාන්තයෙන් දිවි සරිකරගන්නා හාලි ඇළ, උදේනිගම වැවේ වත්මන් තත්ත්වයයි මේ.

සුළු වර්ෂාවක දී වුවත් පිටාර මට්ටමට පැමිණෙන උදේනිගම වැව වල් බිහි වී ගොඩ වී ඇත්තේ වසර ගණනාවක් තිස්සේ නිසි ප්‍රතිසංස්කරණයක් සිදු නොවීම නිසා බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ඔවුන් ගොවිතැන් කටයුතු සඳහා මෙන්ම එදිනෙදා කටයුතු සඳහා අවශය ජල අවශ්‍යතාව සපුරාගන්නේ ද මෙම උදේනිගම වැවෙහි ජලය භාවිත කරමින්.

අක්කර ගණනක වපසරියකින් සමන්විත වූ මෙම වැව මේ වන විට වල් බිහිවී විනාශ වෙමින් පැවතීම නිසා ගම්මානයේ ගොවි සංවිධාන නියෝජිතයින් විසින් වැවෙහි පිළිසකර කිරීම් කටයුතු සිදු කරගැනීමට මීට වසර කිහිපයකට පෙර කටයුතු කළා.

එහෙත් නිසි තාක්ෂණික දැනුමක් හෝ යන්ත්‍රෝපකරණ නොමැතිව කළ එම පිළිසකර කටයුතු සාර්ථක වී නැහැ.

ඒ පිළිබඳව ප්‍රදේශය භාර නිලධාරීන් දැනුවත් කළ ද ඊට ද නිසි විසඳුම් ලැබී නැහැ.

මේ වන විට ප්‍රදේශයේ ගොවීන් කුඹුරු සහ හේන් වගාවද අතහැර දමා ඇත්තේ පවතින වියළි කාලගුණය හේතුවෙන් වැවෙහි එක්රැස් වී තිබූ සුළු ජල ප්‍රමාණය පවා මේ වන විට සිඳී යමින් පවතින නිසා බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

ඔවුන් ඉල්ලා සිටින්නේ තම වගාවන් සිදු කරගැනීමට පිටිවහලක් වන පරිදි මෙම වැව ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි.

***************************************

සංවර්ධනය හීනයක් වූ බදුලු ඔය ගම්මානය

(06.02.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala)

විවිධ ආකාරයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ මේ දිනවල අපට අසන්නට දකින්නට ලැබෙනවා.

නමුත් සංවර්ධනයේ අරුණලු තවමත් නොදුටු ග්‍රාමීය ජනතාවක් සිටින ප්‍රදේශයක් පිලිබදව අපට වාර්තා වුණේ බදුල්ල හාලිඇළ ප්‍රදේශයෙන්.

ඔවුන් තම ප්‍රධාන ප්‍රවාහන මාධ්‍ය ලෙස 1991 වසරේ සිට භාවිත කළ පාලම අබලන් වීම හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

1991 වසරේ දී බදුලු ඔයේ හපුවත්ත තොටුපල හරහා ඉදිකළ පාලම මෙම අර්බුදයට ලක්ව තිබෙනවා.

එදා මෙදා තුර බදුල්ල හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් අමුණුවලපිටිය, හපුවත්ත, එලදළුව, මහවත්තේගම, මුදුන්පිට ඇතුළු ගම්මාන රැසක දහස් ගණනක් ජනතාව ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිත කරන මේ පාලම අද දැඩිලෙස අබලන්ව තිබෙනවා.

පාලමේ වහලය ස්ථාන රැසකින් දිරාපත්ව කඩා වැටී ඇති අතර ඇතැම් ස්ථානවල අත්වැට පවා දිරාගොස් ඇති අයුරු දක්නට පුළුවන්.

කැඩී ගිය ස්ථාන සඳහා ලී දඩු තබා බැද තාවකාලික පැලැස්තර විසදුම් ගම්වාසින් විසින්ම සකසා ගත්තත් එය අතුරේ යාමක් මෙන්ම අවදානම් කාර්යක්.

අවදානමෙන් අවශ්‍යතා සපුරා ගන්නා මෙම පාලම ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස කොතරම් බලධාරීන් දැනුවත් කළත්, මේ වනතුරුත් ඊට බලධාරීන්ගේ දෑස් යොමුව නැහැ.

එදා වේල සරිකරගෙන කරගෙන ජිවත්වන ජනතාව ඇතුළුව පාලම භාවිතා කරන සියලු දෙනාගේ අපේක්ෂාව තම ප්‍රවාහන කටයුතු කඩිනමින් සිදුකර ගැනීම සදහා මෙම පාලම ඉක්මනින් සදා ගැනීම සඳහා බලධාරීන්ගේ දෑස් විවර වේවා යන්නයි හිරු ප්‍රවෘත්ති අවධානයෙන්.

***************************************

රඹුක්කන බස් රථ චණ්ඩීන්ගේ චණ්ඩිකම් තෙවැනි ඇසෙහි සටහන් වෙයි

(06.02.2022 – 14:37 +0530 – hirunews.lk/sinhala)

බස් රථ රියදුරෙකුට රඹුක්කන ප්‍රධාන බස්නැවතුම්පොළේ දී තවත් බස් රථ දෙකක (2) සේවකයින් පිරිසක් අමානුෂික ලෙස පහරදෙන ආකාරය එම බස් රථයේ සවි කළ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.

පෞද්ගලික ආරවුලක් කරණකොටගෙන මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදි හිස් ආවරණ මගින් ද අදාළ පුද්ගලයින් විසින් මෙම පහර දීම සිදු කරනු අයුරු කැමරාවේ සටහන් ව තිබුණා.

***************************************

වෙළෙඳ ඇමතිගේ සහල් මාෆියාව ගැන සජබෙ මහලේකම් කට අරියි

(06.02.2022 – 14:57 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ රට තුළ සහල් මාෆියාවක් නිර්මාණය වී ඇති බවට වෙළෙඳ අමාත්‍යවරයා පවසන කතාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර විවේචනාත්මක අයුරින් පිළිතුරු ලබා දුන්නා.

ඔහු සඳහන් කළේ, පෙර සහල් මිල රුපියල් 100 ඉක්මවූ අතර, වෙළෙඳ අමාත්‍යවරයා එවිට පැවසූවේ, මෙරටට සහල් පිටරටින් ආනයනය කිරීමට කටයුතු කරන බවය.

එවිට සිදු වන්නේ ගොවියා බයකොට සහ මුලා කොට සහල් මාෆියාවක් මෙරට ඇති බව පෙන්වීමට උත්සාහ ගැනීම බව ද මහලේකම්වරයා පෙන්වා දුන්නා.

කිසියම් අයුරකින් අස්වැන්න නෙලන කාලයේ දී සහල් ආනයනය කළ විට රටේ කෘෂිකර්මාන්තයේ නියැලෙන ගොවියාට ඉන් අහිතකර බලපෑමක් ඇති වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ජන හමුව අමතමින් සඳහන් කළේ.

***************************************

අනාරක්ෂිත අයුරින් බෝට්ටු සංචාරයේ යෙදුණු 5 දෙනෙකුට වැඩ වරදියි

(06.02.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – මීපිලිමාන ප්‍රදේශයේ කන්දෙ ඇල ජලාශයේ අනාරක්ෂිත සහ අවදානම් ලෙස සංචාරකයින් රැගෙන ගිය බෝට්ටුකරුවන් 5 දෙනෙකුට දැඩි සේ අවවාද කර මුදා හැර තිබෙනවා.

ඒ නුවරඑළිය පොලිස් ජිවිතාරක්ෂක නිලධාරින් සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් සිදුකරන ලද වැටලීමකදීයි.

මෙහෙයුම සිදුකර ඇත්තේ කන්දෙ ඇල ජලාශයේ හබල් බෝට්ටු 5 කින් සංචාරකයින් රැගෙන යන බවට තොරතුරු ලැබීමෙන් අනතුරුවයි.

කිසිදු ආයතනයකින් අනුමැතිය නොගෙන බෝට්ටුකරුවන් විසින්ම අනාරක්ෂිත අන්දමින් සකස් කර තිබූ හබල් බෝට්ටුවකින් මෙලෙස සංචාරකයින් රැගෙන ගොස් ඇති බව අනාවරණ වී තිබෙනවා.

***************************************

යතුරුපැදි සොරකමේ ගිය අයෙකු අත්අඩංගුවට

(06.02.2022 – 17:02 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් යතුරුපැදි 3 ක් සොරා ගත් අයෙකු බදුල්ල පොලීසිය අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් පැමිණ පරීක්ෂා කිරීම සඳහා ඒවා රැගෙන මොහු පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු බදුල්ල සහ මහියංගනය යන ප්‍රදේශවලින් මෙලෙස යතුරුපැදි සොරා ගෙන තිබෙනවා.

බදුල්ල ප්‍රදේශයේ පදිංචි මොහුගේ වයස අවුරුදු 26 ක් ෴

***************************************

+ [ https://www.youtube.com/watch?v=kZ5bsDvpkLk ] (05-02-2022)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *