පානදුරේ ගිලන්රථ රියදුරාට වෙඩි තැබීමේ සුළමුල එළියට

පානදුරේ ගිලන්රථ රියදුරාට වෙඩි තැබීමේ සුළමුල එළියට

*********************************************

පානදුරේ ගිලන්රථ රියදුරාට වෙඩි තැබීමේ සුළමුල එළියට

(03.02.2022 – 11:41 +0530 – hirunews.lk/sinhala)

පානදුර මූලික රෝහල ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගිලන්රථ රියදුරා කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දීර්ඝ කාලයක් තිස්සේ තමන් ගිලන් රථයෙන් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ බවට පාපොච්චාරණය කිරීම හේතුවෙන්.

රෝගී කාන්තාවක් රැගෙන පානදුර මූලික රෝහල වෙත පැමිණෙමින් සිටියදී පසුගිය මස 27 වනදා දහවල් යතුරුපැදි දෙකකින් (2) පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු මොහුට වෙඩි තැබූ අතර, එය ව්‍යර්ථ වුණේ ගිනි අවියේ උණ්ඩ ක්‍රියාත්මක නොවීම හේතුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් පසුව යතුරුපැදිකරුවන්ට නවාතැන් පහසුකම් දුන් පානදුර – අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී වෙඩි තැබීම සඳහා යතුරුපැදියක පැමිණි පුද්ගලයෙකු ද ඊයේ (02) පොලිස් භාරයට ගැණුනා.

පසුගිය වසරේ පෙබරවාරි 25 වනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේදී මේ වනවිට විදේශ රටකට පලා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුරේ සලිඳු’ නමැත්තාට අයත් මත්කුඩු කිලෝ 45 ක් සමඟ යුද හමුදා කෝප්‍රල්වරයෙකු හා හිටපු කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගැණුනා.

මීට අදාළ ඔත්තුව මෙම ගිලන් රථ රියදුරා ලබාදුන් බවට සැක කරමින් ‘පානදුරේ සලිඳු’ නමැත්තා ලබාදුන් කොන්ත්‍රාත්තුවට අනුව යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් ඔහුට වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් ගිලන් රථ රියදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ අවස්ථා 8 ක දී පමණ ‘පානදුර සලිඳු’ නමැත්තාගේ මත්කුඩු කිලෝග්‍රෑම් විශාල ප්‍රමාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට රෝගීන් රැගෙන යන අවස්ථාවේ ගිලන් රථයෙන් ප්‍රවාහනය කළ බවයි.

කෙසේ වෙතත්, මොහුට වෙඩි තැබීම සඳහා යතුරුපැදි දෙකෙන් (2) පැමිණි ඉතිරි සැකකරුවන් සොයා කළුතර අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදු කරනවා ෴

***************************************

දුරදිග ගිය ආරවුල – ඝාතනයකින් කෙළවර වෙයි

(03.02.2022 – 12:39 +0530 – hirunews.lk/sinhala)

හොරණ මල්බෙරිගම නිවසක් තුළ දී ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳ විසින් සැමියා ඝාතනය වී තිබෙනවා.

මොවුන් දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම ඛේදවාචකය සිදු වී ඇති බවයි හොරණ පොලීසිය පැවසුවේ.

දුරදිග ගිය ආරවුලෙන් අනතුරුව බිරිඳ විසින් සිය සැමියාගේ ගෙල කමීසයකින් සිරකර නිදි යහන මතදී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 30 හැවිරිදි වසන්ත කුමාර නමැති හිටපු හමුදා සෙබළෙක් සහ එක් දරු පියෙක්.

මොවුන් අතර දිගු කලක සිට ආරවුල් තිබෙන අතර, මෙම සිදුවීම පෙරේදා (01) රාත්‍රියේ දී සිදු වී ඇති බවත් පොලිස් විමර්ශන්වලදී අනාවරණ වී තිබෙනවා.

ආරවුලෙන් අනතුරුව සිය රාත්‍රී නින්ද සඳහා ඝාතනයට ලක් වූ තැනැත්තා ඇඳට ගොස් ඇති අතර, එහිදියි මෙම ඝාතනයට මුහුණ දී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර බිරිඳ හොරණ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශය සිදු කරනවා ෴

***************************************

මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම ඇරඹේ

(03.02.2022 – 13:57 +0530 – hirunews.lk/sinhala)

උතුර, නැගෙනහිර පළාත්වලට මෙන්ම අම්පාර, මඩකලපුව කේන්ද්‍ර කර ගනිමින් මහ කන්නයේ වී මිල දී ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 90 කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 92 කටත් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95 කටත් මිල දී ගන්නා බවයි වී අලෙවි මණ්ඩලයේ උප සභාපති ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන කියා සිටියේ.

කෙසේවෙතත් වී මිල දී ගැනීම් ආරම්භ වුව ද, රට තුළ තවමත් ගොවි ජනතාව මුහුණ පා ඇති පොහොර අර්බුදයට නිසි විසඳුම් ලැබී නැහැ ෴

***************************************

‘අය වැයෙන් වැඩ ලක්ෂයක්’ – සංවර්ධන වැඩසටහන ඇරඹේ

(03.02.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ – ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මෙම වසර තුළ අවසන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

අදාළ වැඩසටහන මුදල් අමාත්‍යාංශයේ සිට සජීවීව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම අවස්ථාව අමතමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මුළු දිවයිනම කේන්ද්‍ර කර ගනිමින් අද (03) උදෑසන ආරම්භ වුණා.

අයවැයට අනුව රජය විසින් දිවයින පුරා සෑම ග්‍රාමීය නිලධාරී වසමක් කේන්ද්‍ර කර ගනිමින් සංවර්ධන ව්‍යාපෘතියක් සිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙම වැඩසටහන යටතේ තම ප්‍රදේශයට අවශ්‍ය සංවර්ධන වැඩසටහන තෝරා ගැනීමේ ජනතාවට හිමි වන අතර, ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය විසින් ලබා දෙනවා.

රජය ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 85 ක්.

උදෑසන 08:52 ට යෙදුණු සුබ මොහොතින් මෙම සංවර්ධන වැඩසටහන ආරම්භ වුණා.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණිය සහය ලබා ගැනීම පිළිබඳ මුදල් අමාත්‍යවරයා කළ ප්‍රකාශය නව සාර්ව ආර්ථික මූල්‍ය ඒකකයේ ධාරිතාව ඉහළ නැංවීමට තාක්ෂණික සහාය ලබා ගැනීමේ වැඩසටහන සම්බන්ධයෙන් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

පවතින මුල්‍ය අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණිය සහය ලබා ගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් සිදුකළ බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (02) ප්‍රකාශ කළා.

ඒ අද (03) ආරම්භ වුණු ‘වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

***************************************

උසස් පෙළ කාල සටහනට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

(03.02.2022 – 14:14 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි 07 වනදා ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ‘විනිවිද පෙරමුණේ’ ලේකම් ‘නාගානන්ද කොඩිතුවක්කු’ ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (03) තීන්දු කළා.

අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඊට අදාළ තීන්දුව ලබා දුන් අතර, විනිසුරුවරයා සඳහන් කළේ අදාළ පෙත්සමෙන් ඉල්ලා තිබෙන සහන ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.

පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොවිඩ් වසංගත තත්ත්වය සහ ගුරු වර්ජන රැල්ල හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ගේ සමස්ථ අධ්‍යයන කාලයෙන් සියයට 90 ක් පමණ අහිමි වූ බව සඳහන් කර සිටියා.

එබැවින් අහිමි වූ කාලය සිසුන්ට නැවත ලබාදීම සඳහා ඉකුත් නොවැම්බරයේ සිට ක්‍රියාත්මක වන පරිදි සති 20 ක කාලයකට උසස් පෙළ විභාගය කල් දමන ලෙස ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රජයට නිර්දේශය කළ බව පෙන්වා දුන් ඔහු එහෙත් එම නිර්දේශය පසෙකලා අදාළ අත්තනෝමතික ලෙස විභාගය පැවැත්වීමට රජය කටයුතු කරන බවට චෝදනා කර සිටියා.

එබැවින් ලබන 07 වනදා ආරම්භ වීමට නියමිත උසස්පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් එම විභාගය සති විස්සකින් (20) කල් දමන ලෙස අධ්‍යාපන බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත් එම ඉල්ලීමට විරෝධය පළ කළ අතරමැදි පෙත්සම් දෙකක් (2) ඉදිරිපත් කළ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින තියාරා වර්ණසූරිය සහ දෙව්සිනී දාබරේ යන සිසුවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට තර්ක කළා.

පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට උසස් පෙළ විභාගය අත්හිටුවීමට කටයුතු කළහොත් සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය විශාල අවුලකට පත් වීමට ඉඩ තිබෙන බවට අනතුරු අඟවා සිටි එම නීතිඥවරු එබැවින් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

දෙපාර්ශය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් නීතිමය පදනමක් අනාවරණය නොවන හෙයින් එය ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළා.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි 07 වනදා සිට මාර්තු මස 05 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438 කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 3,45,242 ක්.

ඉන් 2,79,141 ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66,101 ක් වනවා.

එම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316 ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේයි 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබුවේ ෴

***************************************

වනජීවි නිලධාරී දෙදෙනෙකු ඇතුළු 3 දෙනෙකුට ප්‍රහාරයක්

(03.02.2022 – 14:45 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – උහන – රජගලතැන්න – ගලපිටගල බීට්ටු අඩවි වනජීවි නිලධාරී කාර්යාලයේ නිලධාරින් දෙදෙනෙකුට (2) සහ සිවිල් ආරක්ෂක සෙබලෙකුට කිසියම් පිරිසක් පහර දී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ රජගලතැන්න අලිවැට පරීක්ෂා කිරීමට යාමේදී සිය රාජකාරියට බාධා කරමින් අදාළ පිරිස මෙලෙස පහරදී ඇති බවයි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ වන සත්ත්ව අඩවි සහකාර නිලධාරියෙක්, වන සත්ත්ව නියාමකවරයෙක් සහ එම කාර්යාලයට අනුයුක්තව සේවය කරන සිවිල් ආරක්ෂක සෙබලෙකු වන අතර ඔවුන් අම්පාර සහ ගොනාගොල්ල – සෙනරත්පුර ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා ෴

***************************************

ගම්මන්පිළට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

(03.02.2022 – 14:47 +0530 – hirunews.lk/sinhala)

සාවද්‍ය ලෙස මුදල් පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව පනවා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා ලබන ජුනි 03 වන දා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (03) නියෝග කළා.

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඔස්ට්‍රෙලියානු ජාතිකයෙකුට අයත් සමාගමකට කොටස් අලෙවි කර රුපියල් මිලියන 21 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේයි, මෙම නඩුව ගොනු කර ඇත්තේ.

එසේම නඩුවට අදාළ පැමිණිල්ලේ තුන් වන හා හතර වන සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කරන ලෙස ද කොළඹ මහාධිකරණය නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළා ෴

***************************************

විභාග පැවැත්වීමට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

(03.02.2022 – 15:41 +0530 – hirunews.lk/sinhala)

රජයේ පාසල්වල අධ්‍යාපනික විභාග පැවැත්වීමට අදාළව විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හදිසි අවස්ථාවන්වල 5 වසර ශිෂ්‍යත්ව, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේදී මෙම මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු වනවා.

විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්වයි මෙම මාර්ගෝපදේශ සකස් කර ප්‍රකාශයට පත්කර ඇත්තේ.

***************************************

විනයක් නැති ක්‍රියාවෙන් ජන ජීවිත අනතුරේ

(03.02.2022 – 15:43 +0530 – hirunews.lk/sinhala)

ජනතාවගේ සනීපාරක්ෂාව තහවුරු කිරීම බලධාරීන් සතු වගකීමක්.

එහෙත් ස්වයං විනයක් නොමැති ඇතැමුන් සිදුකරන නොමනා ක්‍රියා හේතුවෙන් බහුතරයකගේ සනීපාරක්ෂාව බිද වැටෙන අවස්ථා ඕනෑ තරම්.

කුරුණෑගල, මාස්පොත මගුරුඔයට කසල බැහැර කිරීම නිසා පීඩා විදින එවැනි ගම් වැසියන් පිරිසක් පිළිබඳවයි මේ පුවත.

පුද්ගලයින්ට වැළඳෙන ඇතැම් දීර්ඝ කාලීන ව්‍යාධීන්වලට ප්‍රබල හේතුවක් වී ඇත්තේ පරිභෝජනය කරන ආහාර සහ පානය කරන ජලයයි.

නිවෙස්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය, කෘෂිරසායන සහ කර්මාන්තශාලාවලින් බැහැර කෙරන රසායනික ද්‍රව්‍ය, අක්‍රමවත් ලෙස ජල මූලාශ්‍රවලට බැහැර කිරීම අද වන විට බරපතළ ගැටලුවක්.

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ මාස්පොත ප්‍රදේශයේදී ඔයත් එවැනි ගැටලුවකට මුහුණ දී තිබෙනවා.

වාරියපොල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ සහ කුරුණෑගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වෙන්වන සීමාව වන්නේ ද මගුරුඔය පාලමයි.

දහස් ගණනකගේ පානීය ජල අවශ්‍යතාව සහ දෛනික කටුයුතු සපුරාලන මගුරුඔයේ ජලය මෙම අවිධිමත් කසල බැහැර කිරීම හේතුවෙන් මේ වන විට භාවිතයට ගත නොහැකි ලෙස අපිරිසිදු වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

නිවෙස්වලින් ඉවත දමන කැළි කසළ ඇතැම් පුද්ගලයින් රථ වාහනවලින් රැගෙන විත් මෙම පාලමේ සිට ඔයට බැහැර කරන්නේ, රාත්‍රී කාලයේදීයි.

මේ හේතුවෙන් මගුරු ඔය කපුටන්ගේ සහ තවත් සත්වයින්ගේ භෝජනාගාරය බවට ද පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් මෙම නොමනා ක්‍රියාව කරනා පුද්ගලයින්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම විමතියට කරුණක්.

වගකීම සහ රාජකාරිය කඹ ඇදීමක් කරගත් නිලධාරීන් මෙන්ම, ජනතා බදු මුදලින් නඩත්තු වන ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේද වගකීම වන්නේ, මෙම පරිසර දූෂණය පිළිබඳව කඩිනමින් අවධානය යොමු කර ජනතාවට සෙත සැලසීම නොවේද..?

***************************************

අතරමග ඇනහිටි සංවර්ධනය – ජන ජීවිතවලටත් බාධා

(03.02.2022 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ඉදි කිරීමට සැලසුම් කෙරුණ ද වැඩ අතරමග නතර වී ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ අපට බොහෝ විට අසන්නට ලැබෙනවා.

ජනතා මුදල් මෙන්ම දේපල ද අත්පත් කරගනිමින් වැඩ ඇරඹු එවන් තවත් මහා පරිමාණ ව්‍යාපෘතියක් පිළිබඳ මේ පුවත වාර්තාවන්නේ තණමල්විල ප්‍රදේශයෙන්.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඳුනිල්පුර සිට රෝහණපුර දක්වා වූ පාසල් මාවත කොටස ඉදි කිරීමට සැලසුම් කෙරුණේ මීට මාස 5 කට පමණ පෙරයි.

මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පෞද්ගලික සමාගමකට මෙම මාර්ගයේ ඉදි කිරීම් භාර දුන්නද මීටර් 350 ක දුරකින් යුත් එහි ඉදි කිරීම් අතරමග නවතා දමා ඇති ආකරයයි මේ.

වටිනා ගස් වර්ග ගළවා දමා , ඉඩම් පවා අත්පත් කරගනිමින් මාර්ගය ඉදි කිරීම් කටයුතු සිදු කිරීම ඇරඹුව ද පැවති තත්ත්වයටත් වඩා මාර්ගය මේ වනවිට දැඩි ලෙස අබලන්වීම හේතුවෙන් දෛනික කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම පාසල් මාවත සංවර්ධනය කිරීමට නියමිතව තිබෙන්නේ ප්‍රදේශය හරහා ඉදි කිරීමට යෝජිත කිලෝමීටර් 11.2 කින් යුත් මාර්ග පද්ධතියේ එක් කොටසක් ලෙසින්.

සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 145 ක් වන අතර ව්‍යපෘතියේ වැඩ අවසන් කර ඇති මාර්ග කිහිපයක් මාස කිහිපයක් ඇතුළත ගිලා බැසීමට ද ලක්ව තිබෙනවා.

ගම්වැසියන් ඉල්ලා සිටින්නේ තමන්ට අහිමිවූ ඉඩම් වෙනුවෙන් වන්දි ලබා දීමක් නොකළ ද හැකි ඉක්මනින් මාර්ගය සකසා දෙන ලෙසයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *