අරුන්දිකපුතු රක්ෂිත බන්ධනාගාරයට – සෙසු පිරිසත් ඔහු පසුපස

අරුන්දිකපුතු රක්ෂිත බන්ධනාගාරයට – සෙසු පිරිසත් ඔහු පසුපස

*********************************************

අරුන්දිකපුතු රක්ෂිත බන්ධනාගාරයට – සෙසු පිරිසත් ඔහු පසුපස

(03.02.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ඇතුළු වී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු 6 දෙනා මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් අද (03) දහවල් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා වන 23 හැවිරිදි ‘අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු’ ඊයේ (02) රාත්‍රියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිඥයෙකු මාර්ගයෙන් රාගම පොලීසියට භාරවීමෙන් පසුවයි.

අත්අඩංගුවට ගත් අනෙක් 5 දෙනා ඊයේ (02) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (03) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, තවත් සැකකරුවෙකු (1) පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් පෙරේදා (01) රාත්‍රියේ සිදු කළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් සිව් (4) දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළා.

මෝටර් රථ කිහිපයකින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ එහි පැමිණ මෙම පහරදීම සිදු කෙරුණු බවයි වාර්තා වුණේ.

පහරදීම සඳහා පිරිස පැමිණි පොල් සංවර්ධන අධිකාරියට අයත් එක් මෝටර් රථයක් සිසුන් විසින් නේවාසිකාගාර භූමිය තුළ රඳවා තබාගෙන තිබූ අතර, පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ මෝටර් රථය තම භාරයට ගනු ලැබුවා.

පහරදීමට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බියක් ද නේවාසිකාගාර පරිශ්‍රයේ තිබී හමු වූ අතර එම හැඳුනුම්පතට අනුව අදළ පුද්ගලයා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සේවකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ තමන්ට එල්ල වන චෝදනා ඔප්පු වුවහොත් තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

කෙසේවෙතත් අදාළ සිද්ධියෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රාජ්‍ය අමාත්‍යවරයා නිර්දෝෂී යැයි ඔප්පු වන තෙක් සිය ධුරවලින් ඉවත් වන ලෙසට ද දැනුම් දී ඇති බවට ද තොරතුරු වාර්තා වුණා.

මේ සිදුවීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රාගම වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ලිපියක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ සිදුවීමට මුල් වී ඇත්තේ සිව්වැනි (4) සහ තෙවැනි (3) වසරවල ශිෂ්‍ය අර්බුදයක් බවත්, සිව්වැනි (4) වසර කණ්ඩායම විසින් තෙවැනි (3) වසර කණ්ඩායමට උපදෙස් ලබාදෙනු ලැබීමට උරණ වී මෙම පහරදීම දේශපාලන හස්තයක මැදිහත් වීමෙන් යුතුව සිදු කෙරුණු බවයි.

කෙසේවෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු තරාතිරමක් නොබලා වැරදිකරුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට වහාම විමර්ශනයක් අරඹන ලෙසට ද ඊයේ (02) පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර උපදෙස් ලබා දුන්නා.

රාජ්‍ය ඇමති අරුන්දික ඉල්ලා අස්වීමට තීරණය කරයි

(03.02.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)

රාගම වෛද්‍ය පීඨයේ සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදු වනතුරු තමන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද (03) මාධ්‍ය හමුවක් කැඳවමින්.

රාගම වෛද්‍ය පීඨයේ සිද්ධියට අදාළව තවත් වෛද්‍ය සිසුන් 3 ක් අත්අඩංගුවට

(03.02.2022 – 15:29 +0530 – hirunews.lk/sinhala)

රාගම වෛද්‍ය පීඨයේ සිද්ධියට අදාළව තවත් වෛද්‍ය සිසුන් 3 දෙනෙකු පොලීසිය විසින් අද (03) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (03) දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව, සිද්ධියට අදාළව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 10 ක් ෴

රාගම වෛද්‍ය පීඨයේ සිද්ධියට අද (03) අත්අඩංගුවට ගත් වෛද්‍ය සිසුන් 3 දෙනාට ඇප

(03.02.2022 – 17:14 +0530 – hirunews.lk/sinhala)

රාගම වෛද්‍ය පීඨයේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වෛද්‍ය සිසුන් 3 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔවුන් අද (03) වැලිසර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රුපියල් 2000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත ඔවුන්ව මුදා හරින ලෙසයි.

මේ අතර, සිද්ධියට අදාළව මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගත් වෛද්‍ය සිසුවා ද මේ මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා අද (03) නියෝග කළා.

ඒ මහේස්ත්‍රාත්වරයා විසින් මීගමුව රෝහලට පැමිණ සැකකරු පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි ෴

***************************************

තාප බලාගාර යළි අවදානමක

(03.02.2022 – 14:31 +0530 – hirunews.lk/sinhala)

තාප බලාගාර සතුව පවතින ඉන්ධන තොග අවම මට්ටමකට පැමිණීමත් සමඟ එම බලාගාරවල විදුලි නිෂ්පාදනය යළි අවධානම් මට්ටමකට පත්ව තිබෙනවා.

මේ වන විටත් කැළණිතිස්ස බලාගාරයේ විදුලි ජනන කටයුතු නවතා දමා ඇත්තේ ඉන්ධන අවසන්වීම හේතුවෙන්.

ඒ සමග ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ ධාරිතාව මෙගාවොට් 300 ක්.

කෙසේ වෙතත්, සපුගස්කන්ද දැවි තෙල් බලාගාරය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

අද (03) දිනය වන විට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය ද මේ වන තුරුත් සිය ජනන කටයුතු ආරම්භ කර නැහැ.

කෙසේ වෙතත්, අක්‍රීය වී තිබූ නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300 යේ ජනන යන්ත්‍රය යළි උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින්නේ සමස්ත ධාරිතාව සපුරා ගැනීමේ අර්බුදයට අස්වැසිල්ලක් සපයමින්.

මේ අතර, බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ඒ, තෙල් සංස්ථාවේ බලධාරීන් සමඟයි.

එම සාකච්ඡාවෙන් පසු තාප බලාගාරවලට ලබාදෙන ඉන්ධන තොග පිළිබදව අවසන් තීරණයකට එළඹෙනු ඇති.

තාප බලාගාරවල තත්ත්වය මෙලෙස පවතිද්දී ජල විදුලි බලාගාරවල ජනන කටයුතුවලට දිනෙන් දින එල්ල වී ඇත්තේ දැඩි අභියෝගයක්.

ජල විදුලිය උත්පාදනය කරන සියලු බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා.

ලක්ෂපාන, රන්දෙනිගල, පොල්ගොල්ල, කොත්මලේ ඇතුළු සියළු ජල විදුලි බලාගාරවල ජල මට්ටම පසුගිය සතියට සාපේක්ෂව ශීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.

වාරිමාර්ග කටයුතු සහ පානීය ජල අවශ්‍යතාවන් සඳහා ජලය වෙන් කළ යුතු හෙයින් ජල විදුලි නිෂ්පාදනයට වෙන් කෙරෙන ජල ධාරිතාව දිනෙන් දිනම පත්ව ඇත්තේ දැඩි අභියෝගයකටයි.

කෙසේ වෙතත්, විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

අද (03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වන විට පවතින සියළු විදුලි උත්පාදන ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් අඛණ්ඩ සැපයුමක් ලබාදීමට උත්සාහ කරන බවයි.

***************************************

අද (03) විදුලි කප්පාදුවක් නැහැ – මහජන උපයෝගිතා කොමිෂන් සභාව

(03.02.2022 – 17:33 +0530 – hirunews.lk/sinhala)

අද (03) දිනයේ විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය අනුමැතිය ඉල්ලා නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

එවැනි කප්පාදුවක් හෝ විදුලි සැපයුමේ කිසියම් බාධාවක් සිදුවුවහොත්, විදුලිබල පනතේ ප්‍රතිපාදනඅනුව කටයුතු කරන බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක කියාසිටියේ.

මේ අතර මේ මොහොතේ විදුලි බිලේ වැඩි කිරීමක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

ඒ විදුලි බිලේ වැඩි කිරීමක් සිදුකරන බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ෴

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

(03.02.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් විදුලි බිඳ වැටීම් පිළිබඳ වාර්තා වනවා.

බලාගාර අක්‍රිය වීම හමුවේ විදුලි උත්පාදනය අඩු වීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වන්නට ඇති බවටයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා අප කළ විමසීමකදී කියාසිටියේ.

කෙසේවෙතත් අද (03) දිනයේ විදුලි කප්පාදුවක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය අනුමැතිය ඉල්ලා නොමැති බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ.

එවැනි කප්පාදුවක් හෝ විදුලි සැපයුමේ කිසියම් බාධාවක් සිදුවුවහොත්, විදුලිබල පනතේ ප්‍රතිපාදනඅනුව කටයුතු කරන බව එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

මේ අතර විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන අවසන් වීමෙන් විදුලි බලාගාර කිහිපයක් මේ වනවිට යළි අක්‍රීය වී තිබෙනවා.

ගතවූ දිනය තුළ ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2631.1 ක උපරිමයකට ආසන්න වූ අතර පෙරේදා එය දැක්වුණේ මෙගාවොට් 2418.5 ක් ලෙසයි.

ජාතික විදුලි ඉල්ලුම මෙලෙස ඉහළ ගිය පසුබිමක විදුලි උත්පාදනයට බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන යළි අවම වෙමින් පවතිනවා.

ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 280 ක ධාරිතාවක් එක්කරන කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ විදුලි ජනන කටයුතු ඊයේ රාත්‍රී 8ට පමණ යළි අක්‍රීය කෙරුණා.

ඒ විදුලි උත්පාදනයට අවශ්‍ය ඩීසල් අවසන් වීමෙන්.

එහි සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165 විදුලි ධාරිතාවක් සහ විදුලි බලාගාරයෙන් මෙගාවොට් 115 ධාරිතාවක් නිපදවනු ලැබුවා.

එමෙන්ම සංචිත දැවිතෙල් අවසන් වීමෙන් මෙගාවොට් 60 ක විදුලි ධාරිතාවක් සපයන කොළඹ වරායේ බත්තල බලාගාරය අද (03) දහවල් 12:30 ට පමණ සම්පූර්ණයෙන්ම යළි අක්‍රිය කෙරුණා.

ඒ අනුව අද (03) රාත්‍රියේ විදුලි ඉල්ලුම සැපිරීම සඳහා මෙගාවොට් 340 ක් ජාතික පද්ධතියට අහිමි වනවා.

සංචිත ඩීසල් අවසන් වීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පාලනය වන මතුගම බලාගාරයද ඊයේ (02) රාත්‍රී 09:45 ට පමණ අක්‍රීය කෙරුණූ අතර අද (03) දහවල් කාලයේ බවුසර් දෙකක් මඟින් ඩීසල් ලීටර් 13,200 ක් ලබා දීමට කටයුතු කර තිබුණා.

එමෙන්ම අක්‍රීය වී තිබූ සපුගස්කන්ද බලාගාර ද්විත්වයට අවශ්‍ය දැවිතෙල් අද (03) දහවල් 01:30 ට පමණ එම සංකීර්ණය වෙත ලැබුණු බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

ඊට අමතරව ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 130 ක විදුලිය ප්‍රමාණයක් එක් කරන කැලණිතිස්ස සොජිස්ට් බලාගාරයේ නඩත්තු කටයුතු අවසන් කිරීමෙන් පසු එය අද (03) පස්වරුව වනවිට යළි සක්‍රීය කර තිබෙනවා.

මේ අතර පවතින වැසි රහිත කාලගුණයත් සමඟ ජල විදුලි උත්පාදනය තවදුරටත් පත්ව ඇත්තේ අර්බුදකාරී තත්ත්වයකටයි.

එම ජලාශවලට ජලය සැපයෙන මහවැලි ගඟ, පතුල පෙනෙන ආකාරයටම සිඳී ගොස් ඇති ආකාරය තැන්නේකුඹුර පාලම ආසන්නයේදී දැකගත හැකිවුණා.

මේ අතර හිරු ප්‍රවෘත්ති සමඟ සිදුකළ සාකච්ඡාවේදී විදුලි බිලේ වැඩිවීමක් අනිවාර්යෙන් සිදුවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද විදුලිබල අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වූවා.

මේ අතර කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන සඳුදා සිට දින 3 ක් කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දින නියම කළා.

ඒ මෙම පෙත්සම්, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ එස්.තුරෙයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ, වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

***************************************

පාඨලීගේ විරෝධය අධිකරණය බක්කියට දමයි

(03.02.2022 – 10:38 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතළ අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට ඔහුගේ නීතිඥයන් මතුකළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

ඒ අනුව ජූනි මස 17 වනදා විත්තිකරුට අධිකරණය හමුවේ චෝදනා කියවා දී නඩු විභාගය ආරම්භ කරන බවත් විනිසුරුවරයා දැනුම් දුන්නා.

එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කෙරුණා.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස නොසැලකිලිමත්ව රිය පදවා සංදීප් සම්පත් ගුණවර්ධන නමැති තරණයෙකු අනතුරට ලක් කොට බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මේ අතර, කෙරවලපිටිය යුගදනවි බලාගාරය හිමි සමාගමේ රජය සතු කොටස් වලින් සියයට හතළිහක් (40%) ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා මේ මස 7, 8 සහ 9 යන දිනවල කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම් අද (03) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීයි කැඳවනු ලැබුවේ.

යළි මෙම පෙත්සම් අගවිනිසුරුවරයා, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *