රියදුරු බලපත්‍රයට මෙඩිකල් ගන්න පසුගියදා පැමිණි පිරිසක් ගැන විශේෂ හෙළිදරව්වක්

රියදුරු බලපත්‍රයට මෙඩිකල් ගන්න පසුගියදා පැමිණි පිරිසක් ගැන විශේෂ හෙළිදරව්වක්

*********************************************

රියදුරු බලපත්‍රයට මෙඩිකල් ගන්න පසුගියදා පැමිණි පිරිසක් ගැන විශේෂ හෙළිදරව්වක්

(02.02.2022 – 17:22 +0530 – hirunews.lk/sinhala)

අලුතින් රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන් සහ රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීම සඳහා අදාළ වෛද්‍ය සහතික ලබාගැනීමට එක් දිනකදී පැමිණි 1213 දෙනෙකුගෙන් 145 දෙනෙක් මත්ද්‍රව්‍ය ලබාගන්නා පුද්ගලයන් බවට අනාවරණ වී ඇතැයි පොලිසිය පවසනවා.

වෛද්‍ය සහතිකය ලබාදීම වෙනුවෙන් ලබාගන්නා රුධිර සාම්පල්වලිනුයි මෙම කරුණු හෙළිවී ඇත්තේ.

පසුගිය 24 වනදා දිනයේ පමණක් ජාතික ප්‍රවාහන වෛද්‍යායතනය වෙතින් ලබාගත් තොරතුරු අනුව මෙම කරුණු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.

රථ වාහන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවකරුවන්ගේ සාකච්ඡාවකදීයි මෙම තොරතුරු හෙළිකර තිබෙනවා.

පසුගිය සතියේ පැවති මෙම සාකච්ඡාවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව, ප්‍රවාහන අමාත්‍යංශය, බස් රථ නියාමනය පිළිබඳ බලධාරීන්, පෞද්ගලික බස් සංගම් නියෝජිතයන්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන නිලධාරීන්, පොලිසියේ රථ වාහන අංශ භාර නිලධාරීන්, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව ද එක්ව තිබෙනවා.

මෙහිදී මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් තීරණ රැසක් ද ගනු ලැබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

හෙළි වූ මෙම කරුණු ඉතාම භයානක තත්වයක් වන අතර මෙය ගංජා හෙරොයින් සහ අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය 4 ක් පිළිබඳ විශ්ෂයෙන් මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

1213 දෙනෙකුගෙන් 145 දෙනෙකු මත්ද්‍රව්‍ය ලබාගන්නා පිරිසක් බවට පත් වන්නේ නම් එය සමස්ත රියදුරන්ගෙන් සියයට 10 ක පමණ ප්‍රමාණයක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

මෙම පිරිසෙන් වැඩි පිරිසක් ලොරි රථ ධාවනය කරන අය වන අතර 21 දෙනෙකු බස් රථ රියදුරන් බවට අනාවරණ වී තිබෙනවා.

මෙරට රියදුරන්ගෙන් යම් පිරිසක් මත්ද්‍රව්‍ය භාවිත කර හෝ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවට මෙම කරුණුවලින් හෙළිවන අතර මෙය මාර්ග ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව ඔහු අවධාරණය කරනවා.

අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මත්පැන් පානය කර රිය ධාවනය කරන රියදුරන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වුව ද වෙනත් මත්ද්‍රව්‍ය වර්ග භාවිත කර රිය ධාවනය කරන පුද්ගලයන් සොයා සිදුකරන මෙහෙයුම් නිරන්තරයෙන් සිදු නොවන බවයි.

ඒ අනුව මෙම සතියේ සිට එම මෙහෙයුම් යළිත් ආරම්භ කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද (02) දිනයේ සිට දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක් සිදු කිරීමටයි පොලිසිය තීරණය කර ඇත්තේ.

වාහන පැදවීමේ දී යම් පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කර වැරදිකරුවෙකු වුවහොත් රියදුරු බලපත්‍රය අහෝසි වන අතර නඩුව අවසන් වන තෙක් රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවනවා.

වැරදිකරුවෙක් බවට පත්වුවහොත් රුපියල් විසිපන් දහසක (25,000) දඩයකට සහ සිර දඩුවමකට යටත් වීමට ද සිදුවනවා.

මේ සම්බන්ධයෙන් අඛණ්ඩ මෙහෙයුම් සිදුකරන අතර මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියේදී දැඩි නීති සම්පාදනය කිරීමට ද අදාළ අංශ සමග එක්ව කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ ෴

***************************************

මානුෂීය මෙහෙයුමේ පෙරගමන්කරුවෝ සිය සංවත්සරය සමරති

(02.02.2022 – 16:27 +0530 – hirunews.lk/sinhala)

30 වසරක් පුරා මෙරට වෙළාගෙන තිබූ යුද්ධය අවසන් කිරීමට විශාල දායකත්වයක් සැපයූ ගුවන් හමුදාවේ 5 වන ප්‍රහාරක ජෙට් බලගනය 31 වැනි සංවත්සරය සමරනවා.

1991 වසරේ පෙබරවාරි මස පළමු වැනිදා FT-5 යානා දෙකකින් (2) සමන්විතව, කටුනායක ගුවන් හමුදා පරිශ්‍රයේදී 5 වැනි ප්‍රහාරක ජෙට් බලඝනය ආරම්භ කෙරුණා.

මෙරට ගුවන් හමුදා ඉතිහාසයේ ශබ්දයේ වේගය අබිබවා පියාසර කළ හැකි පළමු ගුවන් යානා අයත් වන්නේද, 5 වැනි ප්‍රහාරක ජෙට් බලඝනයටයි.

ආරම්භයේ සිට මෙම බලඝනය FT-5, FT-7, F-7BS, MIG 27, MIG 23UB සහ F7 වර්ගයේ ප්‍රහාරක යානා භාවිත කරමින් 30 වසරක යුද්ධය අවසන් කිරීමට විශාල දායකත්වයක් සපයා තිබෙනවා.

පහත් මට්ටමේ ප්‍රහාරක හැකියාව, ගොඩබිමේ හමුදාවන්ට ගුවන් සහය ලබාදීම, ගුවන් ඉලක්ක වෙත පහරදීම සහ සන්නද්ධ ආවේක්ෂණ කාර්යයන් ආදී කටයුතු 5 වැනි ප්‍රහාරක ජෙට් බලඝනයට පැවරී තිබූ රාජකාරීන් අතර ප්‍රධානයි.

පසුගිය මානුෂීය මෙහෙයුමේදී මෙම බලඝනය 600 කට වැඩි ගුවන් සහ ගොඩබිම් මෙහෙයුම් සංඛ්‍යාවකට දායකත්වය සපයා තිබෙනවා.

***************************************

‘තම්බපවනී’ බලන්න ජනපති මන්නාරමට යයි – නිලධාරීන්ටත් උපදෙසක්

(02.02.2022 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය සතු මන්නාරම ‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය අද (02) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් ව තිබෙනවා.

විදුලියෙන් රට බලගැන්වීම, ස්ථාවර විදුලි බල සැපයුමක් සහ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණ සහිතවයි 2014 වසරේ දී ‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් සැලසුම් කෙරුණේ.

ප්‍රධාන මෝසම් සුළං ප්‍රවාහ දෙකටම (2) මුහුණ දෙන මන්නාරම දූපතේ දකුණු වෙරළ තීරයේ දිගින් කිලෝමීටර් 13 ක් සහ හෙක්ටයාර 150 ක භූමි භාගයක් ඒ සඳහා තෝරා ගනු ලැබුවා.

උසින් මීටර් 90 ක් වන ටර්බයින සහිත කුලුනු තිහක් (30) බලාගාරය සතුයි.

බමන තල (සුළං පෙති) කරකැවීමේ විශ්කම්භය මීටර් එකසිය විසි හයක් (126) වන අතර කුලුනකින් මෙගාවොට් 3.45 ක විදුලිය උත්පාදනයක් සිදු වනවා.

නඩුකුඩා ග්‍රිඩ් උප පොළ හා මන්නාරම පුදුකාමන් දක්වා කි.මි 36 ක් දිවෙන සම්ප්‍රේෂණ පද්ධතියක් ව්‍යාපෘතියට අයත්.

සමස්ත විදුලි ධාරිතාවය මෙගාවොට් 103.5 ක්.

මෙමගින් විදුලි ඒකකයක් නිපදවීමට වැය වන මුදල රුපියල් 08 කට වඩා අඩු බවයි ලංකා විදුලි බල මණ්ඩලය පවසන්නේ.

ප්‍රශස්ත විදුලි සැපයුමක් වෙනුවෙන් විශේෂ තාක්ෂණික ක්‍රම රැසක් සහිත පරිසර හිතකාමී, මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන මෙය පුනර්ජනනීය විදුලි උත්පාදනයක් කරා යන ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකෙනවා.

‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය මගින් තවත් මෙගාවොට් 50 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහි ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා නව සුළං විදුලි බලාගාර ඉදිකළ හැකි ස්ථාන පිළිබඳ වාර්තාවක් කඩිනමින් සකස් කරන ලෙසටයි නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේ.

මේ වන විට සුළං විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන මෙගා වොට් සංඛ්‍යාව 248 ක්.

කෙටිකාලයක් තුළ එය ප්‍රවර්ධනයට ඇති හැකියාව සොයා බැලීම චාරිකාවේ අපේක්ෂාව වූ අතර බලාගාරයේ සියලු මෙහෙයුම් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරුණා.

2030 වසර වන විට මෙරට සමස්ත විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම රජයේ අරමුණයි.

පරිසර හානියකින් තොරව අඩු වියදම් විදුලි උත්පාදනය ප්‍රවර්ධනය මගින් අනාගතයේ දී පාරිභෝගිකයාට ගෙවීමට වන විදුලි බිල අඩු කිරීම ද එමගින් අපේක්ෂා කෙරෙනවා ෴

***************************************

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගන්න ගිවිසුම් අත්සන් තැබේ

(02.02.2022 – 18:03 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අද (02) පස්වරුවේ අත්සන් තබා තිබෙනවා.

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහායි මෙම ණය මුදල ලබා ගැනෙන්නේ.

මේ අතර විදුලි බිලේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

මේ අතර, බලාගාර කිහිපයකට විදුලි උත්පාදනයට ප්‍රමාණවත් පරිදි දැවි තෙල් සහ ඩීසල් ලැබීමත් සමග අද (02) දිනයේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙන්නේ.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයද මේ වනවිට නැවතත් සම්පූර්ණයෙන්ම ජාතික පද්ධතියට එක්කර තිබෙනවා.

පසුගිය දෙසැම්බර් 03 වැනිදා අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වැනි (3) ජනන යන්ත්‍රය පෙරේදා (31) ජාතික පද්ධතියට එක්කිරීමෙන් පසු ඊයේ (01) යළි අක්‍රීය කෙරුණේ නඩත්තු කටයුත්තක් සඳහායි.

එම ජනන යන්ත්‍රය අද (02) පෙරවරුවේ යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කළ අතර එමඟින් මේ වනවිට මෙගාවොට් 300 ක විදුලි ප්‍රමාණයක් උත්පාදනය කෙරෙනවා.

කෙසේවෙතත් එම ජනන යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ (01) අධික විදුලි ඉල්ලුමක් පැවති බැවින් පැයක (1) කාලයක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කළා.

මෙම සතියේ සාමාන්‍ය විදුලි ඉල්ලුම මෙගාවොට් 2700 ක් පමණ වූ අතර එය පසුගිය සතියට සාපේක්ෂව මෙගාවොට් 100 ක පමණ ඉහළ යාමක්.

ඒ අනුව විදුලිබල පද්ධතියේ සමතුලිත භාවය පවත්වාගැනීම සඳහා ඊයේ (01) පස්වරු 06:30 සිට රාත්‍රි 09:30 දක්වා කාලය තුළ ප්‍රදේශ මට්ටමින් පැයක (1) පමණ කාලයක් විදුලි කප්පාදු කෙරුණා.

ප්‍රමාණවත් පරිදි දැවි තෙල් සහ ඩීසල් ලැබී ඇති බැවින් අද (02) දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් නොකරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී තිබූ සපුගස්කන්ද බලාගාරවලට සහ කොළඹ වරායේ බත්තල බලාගාරයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කටයුතුද මේ වනවිට සිදු කෙරෙනවා ෴

***************************************

අනතුරු 235 කින් ජීවිත 250 ක් අහිමි වෙයි

(02.02.2022 – 20:35 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ජනවාරි මාසය තුලදී පමණක් සිදුවූ මාරක රිය අනතුරු 235 කින් මිනිස් ජීවිත 250 ක් අහිමි වී ඇති බව පොලිසිය පවසනවා.

ඒ අතුරින් ත්‍රීරෝද රථ අනතුරු 39 ක් සිදුවී ඇති අතර අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 40 ක්.

ගාල්ල – රත්ගම සහ වරකාපොළදී ත්‍රිරෝද රථ අනතුරුවලින් මිනිස් ජීවිත හතක් (7) අහිමිවුණේ ඊයේ (01) දිනයේදීයි.

එකම පවුලේ සිව්දෙනෙකුට (4) මරු කැඳවූ මෙම අනතුර ඊයේ (01) සිදුවුණේ ගාල්ල – රත්ගම පොලිස් වසමේ රිල්ලඹ දුම්රිය හරස් මාර්ගයේදීයි.

මාතර සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ ත්‍රිරෝද රථය ගැටී සිදුවූ බිහිසුණු අනතුර අසල තිබූ සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.

එම අවස්ථාවේදී ත්‍රී රෝද රථයේ රියදුරු සමග ගමන්ගත් එකම පවුලේ සිව්දෙනාම (4) ජීවිතක්ෂයට පත්වූ අතර, එම දේහයන් වැල්ලබඩ බූස්ස ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ අද (02) තැන්පත් කර තිබුණා.

මේ අතර කොළඹ කුරුණෑගල මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් හා ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් තිදෙනෙක් (3) ජීවිතක්ෂයට පත්ව දෙදෙනෙක් (2) බරපතළ තුවාල ලැබුවා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ 5 දෙනෙකු ගමන් කර ඇති අතර ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුරු දෙකේදීම අදාල ත්‍රීරෝද රථවල නියමිත ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ත්‍රී රෝද රථයක පිටුපස අසුනේ ගමන් කිරිමට අවසර හිමිවන්නේ මඟීන් තිදෙනෙකුට (3) පමණයි.

ඒ අනුව රියදුරුද ඇතුලත්ව එහි ගමන් කළ හැකි සමස්ත මඟීන් සංඛ්‍යාව 4 ක්.

කෙසේවෙතත් කොවිඩ් මාර්ගෝපදේශ යටතේ ත්‍රීරෝද රථයක පිටුපස අසුනේ ගමන් කළ හැක්කේ මඟීන් දෙදෙනෙකුට (2) පමණයි.

රටේ නීතිය එලෙස පැවතියද තවමත් ත්‍රීරෝද රථ වල ප්‍රමාණය ඉක්මවා මඟීන් රැගෙන යන ආකාරය බහුලව දැකිය හැකියි.

පොලිස් මූලස්ථානයේ දත්ත වලට අනුව මාර්ග නීති උල්ලංඝණය කරමින් රිය ධාවනය කරන්නන් අතර ත්‍රීරෝද රථ රියදුරන්, බස් රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් පෙරමුණේ සිටිනවා.

මෙම වසරේ ජනවාරි මාසයේදී පමණක් මාර්ග අනතුරු 1875 ක් පොලිසියට වාර්තා වී ඇති අතර ඉන් 235 ක් මාරක රිය අනතුරු වනවා.

පොලිසිය සඳහන් කළේ එම මාසය තුල පමණක් රිය අනතුරු වලින් ජීවිත 250 අහිමි වී ඇති බවයි.

ඒ අතරින් ත්‍රී රෝද රථ අනතුරු 39 ක් වාර්තා වන අතර ඉන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නීති පැනවූ පමණින්ම රටක මාර්ග අනතුරු අවම කරගත නොහැකි අතර ඒ සඳහා රියදුරන්ගේ සහ පදිකයින්ගේ සැලකිලිමත්භාවයද අතිශයින්ම වැදගත් වනවා.

රිය අනතුරුවලට වැඩි වශයෙන් ලක්වන ත්‍රිරෝද රථ රියදුරන් අඩුම තරමේ තමන්ගේ ජීවිතය ගැන සිතා හෝ කටයුතු කළහොත් තවත් ජීවිත රැසක්ද බේරාගැනීමට හැකිවනු ඇති.

***************************************

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් රිමාන්ඩ්

(02.02.2022 – 20:46 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීමේදී නාවික හමුදා භාරයට ගැණුනු ඉන්දීය ධීවරයින් 21 දෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අදාළ ඉන්ධීය ධීවරයින් වහා නිදහස් කරන ලෙස තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් වෙත ලිපියක්ද යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

මේ අතර ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණීමට එරෙහිව සහ මෙරට ධීවරයින් දෙදෙනෙකු (2) මියයාමේ සිදුවීමට විරෝධය පළ කරමින් අද (02) තෙවැනි (3) දිනටත් යාපනයේ ස්ථාන දෙකකදී (2) විරෝධතා පැවැත්වුණා.

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් සිටි ඉන්ධීය ධීවරයින් 21 දෙනෙකු මෙරට ධීවරයින් පිරිසක් විසින් පෙරේදා (31) රාත්‍රියේ සිය ග්‍රහණයට ගනු ලැබුවේ යාපනය – කෝවිලන් සහ පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී.

ඉන්දීය ධීවරයින්, මෙරට ධීවරයින් විසින් ග්‍රහණයට ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

කෙසේ වෙතත් අවසානයේ එම ඉන්දීය ධීවරයින් පිරිස මෙරට නාවික හමුදා භාරයට ගැනුණු අතර ඔවුන් පලායාමට උත්සහ කිරීමේදී නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවක්ද අනතුරට ලක්වුණා.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ද එම ස්ථානයට පැමිණි අතර අමාත්‍යවරයාට ද ධීවරයින්ගෙන් එල්ලවූයේ දැඩි විරෝධයක්.

මේ අතර, තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් අද (02) පැවති රැස්වීමකදී ධීවරයින් විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

***************************************

මූල්‍ය අර්බුදය විසඳා ගන්න සහය ඉල්ලා IMF වෙත ඉල්ලීමක්

(02.02.2022 – 21:52 +0530 – hirunews.lk/sinhala)

පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා තාක්ෂණික සහය ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඒ අනුව එහි විශේෂඥයින් පිරිසක් ළඟදීම දිවයිනට පැමිණෙන බවයි ඔහු කියා සිටියේ.

***************************************

මෙම වසරට අදාළ ණය සියල්ල පියවා අවසන් කරන බව මුදල් ඇමති කියයි

(02.02.2022 – 21:58 +0530 – hirunews.lk/sinhala)

ලක්රජය විසින් මේ වසර තුළ ගෙවීමට නියමිත ණය සියල්ල පියවා අවසන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

කුරුණෑගල පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (02) සිදු කෙරුණා.

මේ සඳහා රුපියල් මිලියන 215 ක් වැය කර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වසර 2 ක් තුළ අවසන් කර තිබෙනවා.

***************************************

මුදල් වැය කරන හැටි සජිත් කියයි

(02.02.2022 – 22:29 +0530 – hirunews.lk/sinhala)

රජයේ මුදල් වැය කිරීමේදී ප්‍රමුඛතාව හඳුනාගැනීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි ජන බලවේගය දියත් කරන ‘සක්වල’ වැඩසටහනේ තවත් අදියරකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේබව සඳහන් කළා.

‘සක්වල’ වැඩසටහනේ තවත් අදියරක් නොච්චියාගම – විද්‍යා ප්‍රදීප මහා විද්‍යාලයේදී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *