බොරැල්ලේ බෝම්බයට අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 ක් නිදහස්

බොරැල්ලේ බෝම්බයට අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 ක් නිදහස්

*********************************************

බොරැල්ලේ බෝම්බයට අත්අඩංගුවට ගත් සැකකරුවන් 3 ක් නිදහස්

(02.02.2022 – 15:18 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම දේවස්ථානයේ සේවකයන් හතර දෙනා (4) ගෙන් 3 දෙනෙකු මුදාහැර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයායි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

බොරැල්ල – සියලු සාන්තුවරයින්ගේ දේවස්ථාන පරිශ්‍රයේ තිබී අත්බෝම්බයක් හමුවුණේ පසුගිය මස 11 වැනිදායි.

එදින පස්වරුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගැණුනු අතර දේවස්ථානය පිරිසිදු කටයුතු කරන සේවකයෙකු ද ඒ අතර වුණා.

කෙසේ වෙතත් දින දෙකකට (2) පසු කාදිනල් හිමිපාණන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මෙම සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ විවේචනය කළා.

උන් වහන්සේ එහිදී පැවසුවේ සිද්ධිය වු දිනයේ පස්වරු 3 න් පසු CCTV දර්ශන පමණක් පරික්ෂා කර ඇති බවයි.

ඊට පසුදින විෂයභාර අමාත්‍ය සරත් වීරසේකර මහතා කාදිනල් හිමියන්ට පිළිතුරු දෙමින් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්දයෙන් අවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සිද්ධි දාමයෙන් පසු කාදිනල් හිමිපාණන් විසින් CCTV දර්ශණ ඔස්සේ පෙන්වා දුන් දේවස්ථානයේ බෝම්බය තැබූ බවට සැකකෙරෙන පුද්ගලයාව පසුගිය 16 වැනිදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ඒ ඇඹිලිපිටිය – පනාමුර ප්‍රදේශයේදී.

අදාළ සැකකරු කඩවත අශෝකාරාම පාරේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී වෛද්‍යවරයකු විසින් බෝම්බය ලබා දුන් බවටත්, ඒ සඳහා රුපියල් 50,000 ක මුදලක් ලබාදුන් බවත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් පුද්ගලයා ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසු පොලිසිය පසුගිය 17 වැනිදා පිළියන්දල ප්‍රදේශයේ පදංචි විශ්‍රාමික වෛද්‍යවරයෙක් අත්අඩංගුවට ගත්තා.

අනතුරුව පොලිසිය පිළියන්දල – වටමාවතේ පිහිටි සැකකරුගේ තෙමහල් නිවසද පරීක්ෂාවට ලක්කළා.

එහිදී ආයුධ කිහිපයක් පෙලිසිය සොයා ඇති බවට වාර්තා වනවා.

සැකකාර වෛද්‍යවරයා පිළියන්දල ප්‍රාදේශිය රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීවරයා බවයි තහවුරු වී ඇත්තේ.

ඇඹිලිපිටියේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා විශ්‍රාමික වෛද්‍ය අධිකාරිවරයා ගේ පෞද්ගලික බෙහෙත් ශාලාවේ ආරක්ෂක නිලධාරියා හැටියට කලකට ඉහතදී සේවය කරන ලද පුද්ගලයකුද බවටට හෙලි වී ඇතැයිද වාර්තා වනවා.

මේ අතර බොරැල්ල දේවස්ථානය, නාරාහේන්පිට ලංකා රෝහල හා බෙල්ලන්විල රජමහා විහාරස්ථානය ආසන්නයෙන් අත් බෝම්බ හමුවීමේ සිද්ධීන් අතර එකිනෙකට සම්බන්ධ කුමන්ත්‍රණයක් ඇති බව පවසමින් පොලිස් මුලස්ථානයට පසුගිය 29 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති විශ්‍රාමික වෛද්‍යවරයා අදාළ සිද්ධීන් තුනටම (3) සම්බන්ධ බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

එහෙත් එම සිද්ධීන් වලට අදාළව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන්ට මේ වන විට සිදුවි ඇත්තේ කුමක්ද යන්න ප්‍රශ්නාර්ථයක්.

2022 ජනවාරි 11 වැනිදා හමුවූ මෙම අත්බෝම්බය සම්බන්ධයෙන් එදිනම පස්වරුවේ සිව් (4) දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊට සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ සන්ක්‍රිස්තියන් තනතුර දරණ පුද්ගලයාද අයත්.

මේ අතර පසුගියදා දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පැවසුවේ අදාළ විශ්‍රාමික වෛද්‍යවරයා නාරාහේන්පිට ලංකා රෝහලේ සහ බෙල්ලන්විල විහාරස්ථානය අසල බෝම්බ තැබීමේ සිද්ධිවලටත් සම්බන්ධ බවයි.

මේ අතර අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා පසුගිය 26 වනදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැය 2 ක රහස් ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.

මේ අතර පාස්කු ප්‍රහාරයේ දින 1000 සිහි කිරීම අඩාල කිරීමේ අරමුණින් බොරැල්ල දේවස්ථානයේ බෝම්බය තබන්නට ඇතැයි සැක මතුවන බවට ඊයේ (01) අධිකරණයේදී අනාවරණ වුණා.

ඒ, රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින දේවස්ථානයේ සේවකයෙකු ඇතුළු තිදෙනෙකු (3) වෙනුවෙන් පෙනී සිටි ජනාධිති නීතිඥ රියන්සි අර්ස කුලරත්න මහතා කරුණු දැක් වූ අවස්ථාවේදී.

මේ අතර පසුගියදා එම නඩුව කැඳ වූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේ සිද්ධිය සම්බන්ධ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසයි ෴

***************************************

ඉන්දීය ණය ගිවිසුමකට අද (02) පස්වරුවේ අත්සන් තැබේ

(02.02.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට අද (02) පස්වරුවේ අත්සන් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහායි මෙම ණය මුදල ලබා ගැනෙන්නේ.

මේ අතර විදේශ කටයුතු අමාත්‍ය එස් ජායිශංකර් පසුගියදා ප්‍රකාශ කළේ දුෂ්කර සමයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව සූදානම් බවයි.

නව වසරට සුබ පැතුම් එක් කිරිම සඳහා තමා මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සමග දුරකතන සංවාදයක නිරත වූ බවත්, මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා නිරන්තරයෙන් සබඳතා පවත්වා ගැනීමට එකඟ වූ බවත් ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පසුගියදා සඳහන් කර තිබුණා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා දෙරට අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව යි.

එම එකඟතාව ද්වීපාර්ශවික බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය ප්‍රවේශය දීර්ඝ කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා කියා සිටියා.

අසල්වැසියාට ප්‍රමුඛත්වය ප්‍රතිපත්තිය යටතේ වැදගත් පාර්ශවකරුවෙකු ලෙස ඉන්දියාව, ශ්‍රී ලංකාවට සහාය වන බවයි නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ ෴

***************************************

සියලුම පාසල් 07 වනදා සිට වැසේ

(02.02.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා ලබන 07 වනදා සිට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම පාසල් නැවත ආරම්භ කෙරෙන්නේ මාර්තු මස 07 වනදායි.

උසස් පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් මෙම පියවර ගත බව අමාත්‍යංශය ප්‍රකාශ කළා.

ඒ අනුව ලබන සඳුදා (07) වැසෙන එම පාසල් නැවත ආරම්භ කරනු ලබන්නේ මාර්තු මස 07 වනදා සඳුදා දිනයේදීයි ෴

***************************************

වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් 6 දෙනාගෙන් 5 ක් රිමාන්ඩ්

(02.02.2022 – 17:13 +0530 – hirunews.lk/sinhala)

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් සිදුකළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2 ක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 6 දෙනාගෙන් 5 දෙනෙකු හෙට (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙම සිද්ධියට විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට නියෝග කළා. ඒ අනුවයි පොලිස් කණ්ඩායම් දෙකක් (2) විමර්ශන සිදුකරන්නේ.

මේ අතර, අදාළ සිද්ධියට තමන් සම්බන්ධ බවට විධිමත් පරීක්ෂණයකින් ඔප්පු වුවහොත් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

සිද්ධියට අදාළව මේ වනවිට මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුවෙකු ඇතුළුව 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පසුව, සිසුවා හැර අනෙකුත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඔහු හෙට (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාර භුමියට පිටතින් පැමිණි කණ්ඩායමක් ඊයේ (01) රාත්‍රියේ සිදුකළ මෙම පහරදීමෙන් වෛද්‍ය සිසුන් 4 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළා. මෝටර් රථ දෙකකින් (2) පුද්ගලයින් 15 දෙනෙකු පමණ එහි පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

පහරදිමෙන් තුවාල ලැබු සිසුන් 4 දෙනාගෙන් තුන්දෙනෙකු (3) රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, එක් (1) සිසුවෙකු මීගමුව මහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව තිබුණා.

පහරදීම සඳහා එම පිරිස පැමිණි එක් (1) මෝටර් රථයක් සිසුන් විසින් නේවාසිකාගාර භූමිය තුල රඳවා තබා ගෙන තිබූ අතර, පොලීසිය එම ස්ථානයට පැමිණ අදාළ මෝටර් රථය තම භාරයට ගනු ලැබුවා.

එහිදී අනාවරණ වූයේ ඩබ්ලිව්.පී.කේ.අයි. 2376 අංකය සහිත එම මෝටර් රථය පොල් සංවර්ධන අධිකාරියට අයත් එකක් බවයි. මෝටර් රථය මෙම වසර සඳහා ලියාපදිංචි නොකළ එකක් බවට ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

මේ අතර, අදාළ ශිෂ්‍ය නේවාසිකාගාර භූමියෙහි තිබී මුදල් පසුම්බියක් හමුවී ඇති අතර එය පහරදීමට පැමිණි පුද්ගලයෙකුගේ බවට අනාවරණ වී තිබෙනවා.

එහි තිබී පොල් සංවර්ධන සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයෙකු බවට සඳහන් පුද්ගල හැඳුනුම්පතක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අරුන්දික ප්‍රනාන්දු මේ වනවිට කටයුතු කරන්නේ පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.

මේ අතර, වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් මෙම පහරදීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා.

ඔවුන් එහි සඳහන් කර ඇත්තේ රාගම වෛද්‍ය පීඨයේ 4 වන වසරේ වෛද්‍ය සිසුන් විසින් 3 වන වසරේ වෛද්‍ය සිසුන්ට ලබාදුන් උපදෙස් වලට එරෙහි වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සමඟ සමීප සබඳතා පවත්වන එක් වෛද්‍ය සිසුවෙකු විසින් සිය මැරබලය උපයෝගි කර ගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි.

ඔහු රාජ්‍ය අමාත්‍යවරයා යටතේ සේවය කරන අයෙකු බවට ද හඳුනාගෙන ඇති බවයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සඳහන් කළේ තමන් මෙම සිදුවීමට සම්බන්ධ බවට විධිමත් පරීක්ෂණයකින් ඔප්පු වුවහොත් අමාත්‍ය ධුරය පවා අත්හැරීමට කටයුතු කරන බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අදාළ පහරදීමේ සිද්ධියෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන තුන්වන වසරේ වෛද්‍ය සිසුවෙකුගේ සුවදුක් විමසීම සඳහා රෝහලට පැමිණි අවස්ථාවේදීයි.

එහිදී රෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යයාගේ මව වන, විශේෂඥ වෛද්‍ය කේ.ඩී.සී. පරණවිතාන මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි අතර ඇය එහිදී කියා සිටියේ සිසුන් අතර පවතින ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 2 ක් පත් කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

***************************************

කොවිඩ් මුවාවෙන් සමෘද්ධියෙන් ගත්තු සල්ලිවලට මොකද වුණේ – සජිත් අසයි

(02.02.2022 – 16:13 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගත ව්‍යාප්තිය වළක්වාලීම උදෙසා බව පවසමින් ආණ්ඩුව සිදු කර ඇති වංචාවක් සහ මූල්‍ය අක්‍රමිකතාවක් ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙළි කළා.

ඔහු පැවසුවේ, සමෘද්ධි බැංකුවලින් කොරෝනා මර්දනයට යැයි පවසා ආණ්ඩුව ගෙන ඇති රුපියල් කෝටි 4700 ක මුදලට සිදු වූයේ කුමක්දැයි කිසිවෙකුත් නොදන්නා බවයි.

අනුරාධපුර කලත්තාව විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

***************************************

සංචාරක කර්මාන්තය නැංවීමට නව පිම්මක් පනියි

(02.02.2022 – 16:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට ගමනාන්ත රැසක් ආවරණය වන පරිදි සැලසුම් කර ඇති මෙරට ප්‍රථම ‘ලෝංග් ඩිස්ටන්ස් වෝකින් ට්‍රෙල්ස්’ ව්‍යාපෘතියේ මුල් අදියර පසුගියදා ආරම්භ කෙරුණා.

ඒ මෙරට යුරෝපා සංගම් නියෝජිතයින්ගේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්.

දිවයිනේ ගමනාන්ත රැසක් තරණය වන පරිදි සැලසුම් කර ඇති කිලෝ මීටර් 300 ක අධික දිගකින් යුත් කඳුකර ප්‍රදේශ හරහා ගමන් කළ හැකි පාගමන් මංපෙත් රැසක එකතුවක් ලෙස මෙම ‘හෙරිටේජ් ට්‍රෙල්ස්’ ව්‍යාපෘතිය සැළකෙනවා.

මෙම අන්තර්සම්බන්ධිත පාගමන් මංපෙත් ජාලය බහු දින අත්දැකීමක කොටසක් ලෙස හෝ විවිධ භූමි ප්‍රදේශ, ඉතිහාස සංසිද්ධීන්, සංස්කෘතින්, සම්ප්‍රදායන් ආහාර රටා සහ දේශීය ප්‍රජාවන් හඳුනා ගැනීමට ඉඩ සලසා දෙන ව්‍යපෘති මාලාවක පළමුවැන්නයි.

මෙරට සංචාරක ක්ෂේත්‍රයට සහය දැක්වීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ‘හෙරිටේජ් ට්‍රෙල්ස්’ ව්‍යාපෘතිය යුරෝපා සංගමයේ යූරෝ මිලියන 5.7 ක ආයෝජනයක් වන අතර තිරසර පාරිසරික සංවර්ධනය ආදිය ද මෙම ව්‍යපෘතියට ඇතුළත්.

අන්තර් ජාතික සංවර්ධනය සඳහා වූ අමෙරිකා එක්සත් ජනපද නියෝජිතයෙකු ද, මෙම ව්‍යපෘති සදහා තවත් අමෙරිකානු ඩොලර් 7,87,000 ක් දායකත්වයක් ලබා දී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා උත්පාදනය සඳහා ද උපකාරී වනු ඇති.

***************************************

දුබල අබල වූ බදුලු ඔය පාලම

(02.02.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල, මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ප්‍රධාන අවශ්‍යතාවක් සපුරාලමින් ඉදිකිරීම් ආරම්භ කර තිබූ පාලමක වැඩ අතරමග නතර වීමක් පිළිබදව අප අනාවරණ කළේ මීට වසරකට පමණ පෙරයි.

කෙසේ වෙතත්, අපගේ අනාවරණයෙන් දින කිහිපයක් යන්නට මත්තෙන් අරුණු බලධාරීන්ගේ දෑස් යළි පියවී ඇති බවට ගම්වාසීන් මැසිවිලි නගනවා.

බදුලු ඔය, මාලිගාතැන්න අහස්මංකඩ තොටුපල හරහා එගොඩ මෙගොඩ යාම සඳහා පලමක් නොමැතිකමින් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තල්දෙන, 11 කනුව, කුකුරුමහන්තැන්න, කොහාන ඇතුළු ගම්මාන රැසක ජනතාව පිඩාවට පත්ව සිටින්නේ දිගු කාලයක සිටයි.

මෙම ස්ථානය හරහා පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාවය අවබෝධ කර ගත් බලධාරීන් පාලමක් ඉදිකිරිම සදහා අවශ්‍ය මුලික අත්තිවාරම් හා බැමි බැඳ ඉදිකිරීම් ආරම්භ කලද එම වැඩ කටයුතු හිටි හැටියේ ඇණ හිට තිබුණා.

නමුත් නැවතත් යකඩ ආදී අමුද්‍රව්‍ය පාලමට නුදුරින් වන බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අසලට ගෙනවිත් දැමීමට පියවර ගැනුනේ පාලමේ වැඩ එලෙස අතරමග නතර කිරීම සම්බන්ධව අප මිට පෙර සිදුකළ අනාවරණයෙන් පසුවයි.

ඉදිකිරීම් සඳහා යොදා නොගැනීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම ස්ථානයේ ගොඩගසා ඇති යකඩ සහ බාල්ක ද මේ වනවිට දිරාපත්වීමේ අවදානමකට ලක්ව තිබෙනවා.

ගම්වාසින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ගමනාගමන පහසුකම් සපුරා ගැනීමේදී අත්‍යවශ්‍ය වන මෙම පාලම කඩිනමින් සකස් කර දෙන ලෙසයි.

***************************************

අත්අඩංගුවේ සිටි එරාවුර්හි 4 දෙනෙකුට ඇප

(02.02.2022 – 17:28 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත් එරාවුර් ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු අද (02) ඇප මත මුදා හැරුණා.

ඒ ඔවුන් එරාවුර් සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප ෆේස්බුක් ඔස්සේ පළ කිරීමේ චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන් රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *