පානදුර ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

පානදුර ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

*********************************************

පානදුර ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

(02.02.2022 – 14:16 +0530 – hirunews.lk/sinhala)

පානදුර මුලික රෝහල ඉදිරිපිට දී ගිලන් රථ රියදුරෙකුට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ගිලන් රථ රියදුරුට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන්ගෙන් එක් (1) අයෙකුට නවාතැන් පහසුකම් ලබාදුන් සැකකරු මොහු බවයි.

පානදුර – අරුග්ගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් පිළිබද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන්නේ වලාන ප්‍රදේශයේ පදිංචි ‘ප්‍රමෝද් සඳකැලුම්’ හෙවත් ‘සිම් මල්ලි’ නැමති පුද්ගලයායි.

අංක 198, ගැමුණු මාවත, පානදුර – වලාන පදිංචි ‘කඳන ආරච්චිගේ ප්‍රමෝද් සඳකැලුම්’ නොහොත් ‘සිම් මල්ලි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඔහු 24 හැවිරිදි වියෙහි පසුවන්නෙක් බවයි පොලීසිය පැවසුවේ.

මෙම සැකකරු වැඩි වශයෙන් ගැවසෙන ප්‍රදේශ ලෙස මේ වනවිට හඳුනාගෙන ඇත්තේ, පානදුර, හිරණ, වලාන, අළුබෝමුල්ල, මිනුවන්පිටිය, බොක්කේගම, මාතර සහ පොළොන්නරුව යන ප්‍රදේශයි.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

රෝගී කාන්තාවක් රැගෙන පානදුර මූලික රෝහල වෙත පැමිණි ගිලන් රථයක රියදුරෙකුට යතුරු පැදි දෙකකින් (2) පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තැබීමට උත්සාහ කර තිබුණේ පසුගිය මස 26 වනදායි.

එදින දහවල් මෙම වෙඩි තැබීම සිදු වූ අතර, ගිණි අවියේ උණ්ඩය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයෙන් රියදුරුට කිසිදු හානියක් සිදු වූයේ නැහැ.

පාන්දුර කේතුමතී කාන්තා රෝහලේ සිට මෙම ගිලන් රථය පැමිණ ඇති අතර, පානදුර මූලික රෝහල අසල දී එක් යතුරුපැදියක් ගිලන් රථය අවහිර වන පරිදි නවත්වා තිබෙනවා.

අනෙක් යතුරුපැදියේ පැමිණි දෙදෙනා (2) ගෙන් එක් අයෙකු ගිලන් රථය පානදුර රෝහලට ඇතුළු කරනවාත් සමගම රථයේ දොර අසලට පැමිණ වෙඩි තබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාර දෙකක් (2), එල්ල කළ ද ගිනි අවිය අක්‍රිය වීම හේතුවෙන් උණ්ඩ ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.

අදාළ ගිලන් රථයේ රියදුරු කළුතර උතුර තොටුපොළ පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වෙඩි තැබීමෙන් පසු යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් 4 දෙනා මොරටුව ප්‍රදේශයට පලාගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් (2) පත් කරනු ලැබුවා.

අනතුරුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය පැතු අතර, ඒ සඳහා සැකකරුවන්ගේ ඡායාරූප ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.

එලෙස තොරතුරු ලබාදෙන්නෙකු වේ නම්, ඔවුන්ගේ පෞද්ගලික රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පොලීසිය විසින් පියවර ගනු ලබන අතර, තොරතුරක් ඇතොත්, පොලිස් මූලස්ථානය වෙත දැනුම්දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

එලෙස නිවැරදි තොරතුරක් ලබාදෙන අයෙකුට මුදලින් රුපියල් ලක්ෂ දහයක (10,00,000) ත්‍යාග මුදලක් ලබාදීමට ද පොලිස් මූලස්ථානය කටයුතු යොදා තිබෙනවා.

මේ අතර අනෙක් සැකකරු ‘බැමින හැන්නදිගේ චමිඳු සංකල පීරිස්’ නමැති 23 හැවිරිදි අයෙකු වන අතර, හිරණ – පළමුවන පටුමගෙහි අංක 52/1 දරණ ලිපිනයෙහි පදිංචිව සිට තිබෙනවා.

එම සැකකරු ගැවසෙන ප්‍රදේශ වන්නේ, පානදුර, හිරණ ගල්කිස්ස, කළුතර, පොළොන්නරුව, ගිරිතලේ යන ප්‍රදේශයි.

සැකකරුවන් ගැන තොරතුරක් වෙතොත්, ඒ පිළිබඳ ව දැනුම්දීමට පොලීසිය විසින් විශේෂ දූරකථන අංක දෙකක් (2) ද හඳුන්වා දී තිබෙනවා.

එම දූරකථන අංක ලෙස බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දූරකථන අංකය වන 071 859 2686 ට හෝ 071 859 2745 යන කළුතර අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂවරයාගේ අංක වෙත හෝ දැනුවත් කළ හැකියි ෴

***************************************

වාර්ෂික ඡන්ද හිමි සැමරුම උත්සවශ්‍රීයෙන් පැවැත්වේ

(02.02.2022 – 10:06 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ කොමිෂන් සභාවේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ‘වාර්ෂික ඡන්දහිමි දින සැමරුම’ ඊයේ (02) දින මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වන නීතිඥ නිමල් ජී. පුංචිහේවාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ නුගේගොඩ සක්යා උසස් අධ්‍යාපන ආයතනයේ දී යි.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ යෞවන යෞවනියන්ට ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීමට හැකිවන පරිදි සකස් වූ නව නීති සංශෝධනය ප්‍රධාන කොට ‘ඔබේ ඡන්දය රටේ අනාගතයයි’ යන තේමාව යටතේ යි මෙම උත්සවය පැවැත්වුණේ.

මෙම උත්සවය සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්, කොළඹ දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද එක්වුණා.

යොවුන් පුරවැසින්ට මාර්ගගත ක්‍රමය (online) ඔස්සේ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි වීම සඳහා අයදුම් කිරීමේ වැඩසටහන දියත් කිරීම ද මෙහිදී සිදු කරනු ලැබුවා.

මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයන් හි දී යොවුන් පරපුරෙන් ලැබෙන සහාය ඉතා ඉහළින් අගය කරන අතර රටේ ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය හා සර්වජන ඡන්ද බලය පිළිබඳව සාකච්ඡා කිරීම ද මෙහිදී වැදගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමත් ශ්‍රී රත්නායක පැවසුවා ෴

***************************************

රුපියල් මිලියන 11 ක් ඉක්ම වූ විදෙස් මුදල් ජාවාරම

(02.02.2022 – 10:26 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 11 ක් වටිනා විදේශීය මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු (2) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අද (02) අලුයම 02:55 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරණ යානයෙන් ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේ දී යි.

එහිදී ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කළ රේගු නිලධාරීන් එහි තිබී යුරෝ 46,000 ක විදේශ මුදල් තොගයක් භාරයට ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා කියා සිටියේ.

සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි ෴

***************************************

රාත්‍රී කැරොකේ සමාජ ශාලාවක් බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය විදෙස් කතක් පොලිස් දැලට

(02.02.2022 – 11:16 +0530 – hirunews.lk/sinhala)

විදේශීය කාන්තාවක් විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය රාත්‍රී කැරොකේ සමාජ ශාලාවක් වැටලූ පොලීසිය, විදේශිකයින් 11 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර විදේශීය කාන්තාවන් 3 දෙනෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සමාජ ශාලාව තුළ තිබී මත්පැන් බෝතල් 489 ක්, තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 100 ක් ද පොලිස් භාරයට ගැනුණා.

සමාජශාලාව පවත්වාගෙන ගිය විදේශික කාන්තාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගැනීම නිසා රුපියල් 90,000 ක දඩ මුදලකට යටත්ව මුදා හැර තිබෙනවා ෴

***************************************

අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරිකයා

(02.02.2022 – 12:36 +0530 – hirunews.lk/sinhala)

හැටන් ඉරිදා පොළ භුමියේ වෙළෙඳසැලක අභිරහස් ලෙස මියගොස් සිටි ව්‍යාපාරිකයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.

මෙම මළසිරුර අද (02) පෙරවරුවේ හමු වු බවයි හැටන් පොලීසිය පැවසුවේ.

මෙසේ මියගොස් ඇත්තේ හැටන් ඉරිදා පොළ භුමියේ වසර ගණනාවක් ව්‍යාපාර කටයුතු කරමින් සිටි ‘අහංගම ගමගේ පාලිත’ නමැති වයස අවුරුදු 68 ක් වන අයෙක්.

දිනපතා ව්‍යාපාර කටයුතු සිදු කර ඔහුට අයත් වෙළෙඳසැලේම නතර වී සිටින මොහු, අලුයම අවදි වීමට ප්‍රමාද වු නිසා අසල වෙළෙඳසැල්වල ව්‍යාපාරිකයන් වෙළෙඳසැල විවෘත කර බලන අවස්ථාවේ දී අදාළ පුද්ගලයා මියගොස් සිටින අයුරු දැක ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසීය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

***************************************

සුරාසැල් සහ මස් – මාලු වෙළෙඳසැල් නිදහස් සැමරුම හේතුවෙන් 04 වනදා වසා තැබේ

(02.02.2022 – 13:56 +0530 – hirunews.lk/sinhala)

74 වන නිදහස් සැමරුම හේතුවෙන් සියලුම සුරාසැල් සහ මස් – මාලු වෙළෙඳසැල් 04 වනදා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

අද (02) දින අදාළ දැනුම්දීම සිදු කරනු ලැබුවේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය විසින්.

මේ අතර, 74 වැනි නිදහස් උත්සවය මෙවරත් අභිමානවත් ලෙස කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ෴

***************************************

රතන හිමියන්ගේ මන්ත්‍රි ධුරය අහිමි කිරීමේ ලිපිය ඉවත් කර ගන්නා බව අපේ ජන බල පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

(02.02.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

විමර්ශනයක් පැවැත්වීමේ කොන්දේසියට යටත්ව පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමේ ලිපිය ඉවත් කර ගැනීමට සූදානම් බව අපේ ජන බල පක්ෂය අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්නා.

ඒ, සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට අපේ ජන බල පක්ෂය ගෙන තිබෙන තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ගොනු කර ඇති පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව විමර්ශනයක් පැවැත්වීමේ කොන්දේසියට යටත්ව පෙත්සම්කාර රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දුන්නා.

ඊට විරෝධය පළ කළ රතන හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කළේ රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීමේ ලිපිය ඉල්ලා අස්කර ගන්නේ නම් එය සම්පූර්ණයෙන්ම ඉවත් කරගත යුතු බවයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියා මාර්ගය ලබන 28 වනදා දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය අපේ ජන බල පක්ෂයේ නීතිඥවරයාට නියෝග කළා ෴

***************************************

බිත්තර ප්‍රහාරය ගැන විමසීමට ජවිපෙ පොලිස් මූලස්ථානයට

(02.02.2022 – 14:07 +0530 – hirunews.lk/sinhala)

කළගෙඩිහේන ප්‍රදේශයේ පසුගිය දා පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව සඳහා පැමිණි එහි නායක අනුර කුමාර දිසානායකගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (02) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එහිදී අදහස් දක්වමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික නීතිඥ සුනිල් වටගල කියා සිටියේ නිට්ටඹුව පොලීසියට පැමිණිලි දෙකක් (2) ඉදිරිපත් කළ ද මේ දක්වා කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර නොමැති බවයි.

කෙසේ වෙතත්, නිට්ටඹුව පොලීසිය සදහන් කළේ බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ දක්වා සංවිධායකයින්ගෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සංවිධායකයින් අද (02) පොලීසියට පැමිණෙන බව දැනුම් දී ඇති බව ද එහි උසස් නිලධාරියෙකු සදහන් කළා.

පසුගිය මස 28 වන දා පැවති මෙම රැස්වීමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) එහි සිටි පිරිස් විසින් අල්ලා පොලීසියට භාර දුන් අතර ඔවුන් මේ වන විට පොලිස් ආරක්ෂාව මධ්‍යයේ වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ ෴

***************************************

පසුගිය වසරේදී 2473 ක් රිය අනතුරුවලින් මරුට

(02.02.2022 – 14:30 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 2,473 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පුද්ගලයන් 5,474 දෙනෙකු ද බරපතළ තුවාල ලබා ඇති බවයි.

පසුගිය වසරේ දී වාර්තා වී ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව 2,377 ක්.

එමෙන්ම ගතවූ පැය 24 තුළ සිදු වූ රිය අනතුරුවලින් මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ගාල්ල – බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් රජරට රැජිණ දුම්රියේ ගැටී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 4 ක්.

එමෙන්ම, කුරුණෑගල, අඹේපුස්ස මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ ඊයේ (01) පස්වරුවේ ලංගම බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී සිදු වූ රිය අනතුරකින් හත් හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු මියගියා.

අනුරාධපුර – පුත්තල මාර්ගයේ පොතානේගම සහ පිළියන්දල – කොළමුන්න – බිම්බාරාම ප්‍රදේශවලදී සිදු වූ රිය අනතුරුවලින් මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු දෙදෙනෙකු (2) මිය ගියා.

ඇඹිලිපිටිය – සූරියකන්ද – 8 කණුව සහ උඩවලව – දෙමටගල ප්‍රදේශවල දී අනෙක් අනතුරු සිදුව තිබෙනවා ෴

***************************************

ඇමති විමල්ට එරෙහි නඩුවක් යළි කල් යයි

(02.02.2022 – 14:44 +0530 – hirunews.lk/sinhala)

2010 සහ 2104 කාලසීමාව තුල සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට ආසන්න වත්කම් සහ මුදල් අයථා ලෙස අත්පත් කර ගත් බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකර තිබෙන නඩුව ජුනි 17 දක්වා කල් තැබීමට අධිකරණය අද (02) නියෝග කළා.

නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසු වන හෙයින් මෙම නඩුවේ විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව නඩු විභාගය ජුනි මස 17 සහ 28 යන දින වල සිදුකිරීමට තීන්දු කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කළා ෴

***************************************

රැල්ල අරන් ගිය සිසු දිවිය – තුනක් (3) මුදා ගැනේ

(02.02.2022 – 15:04 +0530 – hirunews.lk/sinhala)

අලුත්ගම – මොරගල්ල මුහුදේ දිය නෑමට ගිය පාසැල් සිසුන් පිරිසක් රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

මෙම සිසුන් පිරිස අද (02) දහවල් දියනෑමට අදාළ වෙරළට ගොස් ඇති අතර, සිව්දෙනෙකු (4) මෙයට එක්ව සිටි ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් සිසුන් තිදෙනකු (3) පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව බේරා ගැනුණ ද , සෙසු සිසුවා (1) අතුරුදන් ව තිබෙනවා.

අතුරුදන් වූ සිසුවා (1) සොයා විමර්ශන ක්‍රියාත්මකයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *