විදුලිබල මණ්ඩලයෙන් විශේෂ ප්‍රකාශයක්

විදුලිබල මණ්ඩලයෙන් විශේෂ ප්‍රකාශයක්

*********************************************

විදුලිබල මණ්ඩලයෙන් විශේෂ ප්‍රකාශයක්

(02.02.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් පරිදි දැවි තෙල් සහ ඩීසල් ලැබුණහොත් දිවයිනේ කිසිදු ප්‍රදේශයකට අද (02) විදුලි කප්පාදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමනී කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම, ලංකා ඛණිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

ඒ අනුව බොහෝ දුරට අද (02) දිනයේදී අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු විශ්වාසය පළ කළා.

කෙසේ වෙතත් රටපුරා ප්‍රදේශ ගණනාවකට ඊයේ (01) දහවල් සහ රාත්‍රී කාලයේ වරින් වර විදුලිය විසන්ධි කරනු ලැබුවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ කිසිදු ආකාරයකින් විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට මෙතෙක් අවසර ලබා නොදෙන බවයි.

එවන් පසුබිමකයි පෙර නොදන්වා මෙලෙස විදුලිය විසන්ධි කර තිබුණේ.

කෙසේ වෙතත් විදුලි සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මැදිහත් වීම මහජන උපයෝගීතා කොමිසම මගින් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

පසුගිය 31 වැනිදා ජාතික විදුලිබල පද්ධතියට එක් කළ මෙගාවොට් 270 ක ධාරිතාවයකින් යුත් නොරොච්චෝලේ ජනන යන්ත්‍රය එදින රාත්‍රියේම යළි අක්‍රීය වුණා.

එහෙත් මේ වන විට යළිත් එම ජනන යන්ත්‍රයෙන් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

එමෙන්ම අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් අක්‍රීය වී ඇති සපුගස්කන්ද ඒ – ජනන යන්ත්‍රයට සහ කොළඹ වරායේ බත්තල බලාගාරයට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කටයුතු මේ වනවිට සිදු කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

එම බලාගාර ද්විත්වයෙන් ජාතික විදුලි ජනන පද්ධතියට මුදා හැරෙන විදුලි ධාරිතාවය මෙගා වොට් 116 ක්.

ඊට අමතරව ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 130 ක විදුලියක් ජනනය කරන කැළණිතිස්ස සොජිස්ට් බලාගාරය ද මේ වන විට අක්‍රීයව පවතිනවා ෴

++++++++

නොරොච්චෝලේ ජනන කටයුතු යළි ඇරඹේ

(02.02.2022 – 09:09 +0530 – hirunews.lk/sinhala)

අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන (3) ජනන යන්ත්‍රය යළි පණ ගැන්වීමත් සමග මේ වන විට මෙගාවොට් 100 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.

අක්‍රීයව පැවති මෙගාවොට් 270 ක ධාරිතාවකින් යුත් මෙම ජනන යන්ත්‍රය පසුගිය 31 වන දා යළි ජාතික විදුලිබල පද්ධතියට එක්කළ නමුත් එදිනම එය යළි බිඳ වැටුණා.

පසුව නැවත එය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් එහි ජනන කටයුතු ආරම්භ කළේ.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් පවතින්නේ අද (02) දිනය දක්වා පමණක් බවයි.

ඉදිරි දින සඳහා අවශ්‍ය ඩීසල් ලබා ගැනීම අද (02) දිනයේ දී සිදු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ෴

++++++++

බලශක්ති ඇමතිගෙන් සහතිකයක්

(02.02.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල මණ්ඩලයේ බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා සතියකට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ, මහජන උපයෝගීතා කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා.

මේ වන විටත් එම කටයුතු ආරම්භ කර ඇති බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

මේ අතර, නොරොච්චෝලේ බලාගාරයේ යළි යථා තත්ත්වයට පත් කරන ලද ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 150 ක ධාරිතාවක් මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.

එය එසේ වූ විට බලාගාරවල ජනන කටයුතුවලට බාධාවක් එල්ල නොවන බව ද වාර්තා වනවා.

කෙසේවෙතත් නොරොච්චෝලේ, සපුගස්කන්ද සහ කැළණිතිස්ස මෙන්ම කොළඹ පිහිටි බලාගාරයක් ද ඉන්ධන අර්බුදය හේතුවෙන් වරින්වර අක්‍රීය වීමේ තත්ත්වයකට මේ වන විට පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් ඊයේ (01) පස්වරුවේ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විදුලිබල මණ්ඩලය විසින් ජනතාවට නොදන්වා විදුලි කප්පාදුවක් ද සිදු කෙරුණා ෴

++++++++++

වැසි නොලැබීම හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහළට

(02.02.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

පවතින වියලි කාලගුණය අප්‍රේල් 15 වැනිදායින් පසුව සම්පූර්ණයෙන් පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ සුළු වශයෙන් ඇතැම් ප්‍රදේශවලට මෙම කාලසීමාවේත් වැසි ඇතිවිය හැකි බවයි.

මේ වනවිට වැසි නොලැබීම හේතුවෙන් මහවැලිය ඇතුළු ජලාශ රැසක ජල මට්ටම තවදුරටත් පහළ යමින් පවතිනවා.

ඊයේ (01) වනවිට රන්ටැඹේ ජලාශයේ ජල ධාරිතාව සටහන් වූයේ සියයට විස්සයි දශම හයක් (20.6%) ලෙසයි.

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 52 දක්වා පහත වැටී තිබූ අතර, කාසල්රි ජලාශය සියයට 42.3 දක්වා ද, සමනල වැව ජලාශය සියයට 36.9 දක්වා ද පහත වැටී තිබෙනවා.

කෙසේ වෙතත් රන්දෙණිගල සහ මොරගහකන්ද ජලාශවල ජල මට්ටම ඉහළ මට්ටමක තිබෙන බවයි මහවැලි අධිකාරිය ප්‍රකාශ කළේ ෴

***************************************

අධිකරණය මගහැරි නීතීඥවරයෙකු අත්අඩංගුවට

(02.02.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala)

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වී වසර 12 කට ආසන්න කාලයක් අධිකරණය මගහරිමින් සිටි නීතීඥවරයෙකු විවෘත වරෙන්තු මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.

ඒ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ සිය වෘත්තීය කටයුතුවල නිරතව සිටියදීයි.

සැකකරු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ නීති නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට සිසුවෙකු ඇතුළත් කරදෙන බව පවසා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගෙන තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් සැකකරු 2001 වසරේ පෙබරවාරි 08 වැනිදා අත්අඩංගුවට ගැනීමටයි අල්ලස් කොමිසම කටයුතු කර ඇත්තේ.

ඊට අදාළව පැවරූ නඩුව විභාග කළ කොළඹ මහාධිකරණය 2009 වසරේ මාර්තු මස 30 වැනිදා ඔහුට වසර දෙකක (2) සිර දඬුවමක් සහ රුපියල් 5000 ක දඩයක් පනවා තිබෙනවා.

කෙසේ වෙතත් සැකකරු යළිත් වරක් ඊයේ (01) අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අද (02) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ.

එහිදී සැකකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අල්ලස් සිදුවීම සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවයි.

එම කාලයේ තමා විදේශගත වී සිටි බවත්, 2019 වසරේ දී දිවයිනට පැමිණි තමා මේ වනවිට හෝමාගම අධිකරණයේ වෘත්තීය කටයුතුවල යෙදී සිටින බවත් ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

ග්‍රෑන්ඩ්පාස් නිවසකින් මතු වූ අබිරහස් බංකරය

(02.02.2022 – 08:04 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 40 කට වැඩි වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත පාර ප්‍රදේශයේ නිවසකින් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (01) මෙම වැටලීම සිදුකර ඇති අතර, අදාළ නිවසේ බංකරයක් සකසා ඒ තුළ සූක්ෂම ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය ගබඩා කර තිබී ඇති බව සඳහන්.

නවීන තාක්ෂණයෙන් යුත් විද්‍යුත් තරාදියක් (1) මෙන්ම ජංගම දූරකථන දෙකක් (2) ද මෙම වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇති අතර, එක් (1) සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

අද පෙබරවාරි මස 02 වැනි දිනයි – ලෝකවාසීන්ට සුවිශේෂී වන්නේ ඇයි ?

(02.02.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

ලෝක තෙත් බිම් දිනය අද (02) යි.

මෙවර එය සැමරෙන්නේ ‘මිනිසා සහ ස්වභාවධර්මය උදෙසා තෙත්බිම් ක්‍රියාකාරිත්වය’ යන්න තේමා කර ගනිමින්.

පරිසර අමාත්‍යාංශය හා මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධාන කෙරෙන ලෝක තෙත් බිම් දින විශේෂ සමරු වැඩසටහන අද (02) පෙරවරු 09:00 ට බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේ දී පැවැත්වෙනවා.

ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්.

ඉරානයේ රැම්සාර් නගරයේ දී ජාතීන් 21 ක් එක්ව ‘තෙත්බිම් රැක ගැනීම හා තෙත්බිම්වලට ආදරය කරමු’ යන තේමාව යටතේ ප්‍රථම වරට සම්මුතියකට අත්සන් තබනු ලැබූවේ 1971 වසරේදීයි.

ඒ අනුව රැම්සාර් සම්මුතිය ලෙස සැළකෙන එම එකඟතාව අනුව සෑම වසරකම පෙබරවාරි මස 02 වන දින ‘ලෝක තෙත්බිම් දිනය’ ලෙස නම් කරනු ලැබූ අතර ලොව පළමු වරට තෙත්බිම් දිනය සමරන ලද්දේ 1997 දී යි.

ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන යටතේ පරිසර ආරක්ෂක ප්‍රදේශ ලෙස මෙරට සංවේදී පරිසර පද්ධති 10 ක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එහි අන්තර්ගත ‘තෙත්බිම් පරිසර පද්ධති’ සංඛ්‍යාව 6 ක්.

නුවරඑළිය ග්‍රෙගරි වැව, ගම්පහ මුතුරාජවෙල, කොළඹ තලංගම වැව, බුලත්සිංහල වලව්වේවත්ත, වතුරාන, කොළඹ හා කලු‍තර දිස්ත්‍රික් හරහා දිවෙන බොල්ගොඩ වැව සහ වරාතැන්න හක්කිඳ එම තෙත්බිම් පද්ධතීන්වලට ඇතුළත්.

එමෙන්ම, මෙරට ‘රැම්සාර් තෙත්බිම්’ 06 ක් නම් කර ඇති අතර ඒවායේ මුළු විශාලත්වය හෙක්ටයාර 1,98,172 ක්.

බූන්දල, ආනවිලු‍න්දාව, මාදු ගඟ, වන්කාලෙයි, කුමන තෙත් බිම් පොකුර සහ විල්පත්තුව එම රැම්සා තෙත්බිම් අතර වනවා.

එමෙන්ම ලොව පළමු රැම්සා තෙත්බිම් නගරය ලෙස කොළඹ නගරය නම් කර තිබීම ද විශේෂත්වයක්.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරමින් කොළඹ නගරයේ තෙත්බිම් ආරක්ෂා කර ගැනීමට ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළත් සමගයි ෴

***************************************

ඉන්දීය ධීවරයින් නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති ඉල්ලයි

(02.02.2022 – 08:29 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීමේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 21 දෙනා වහා නිදහස් කරන ලෙස තමිල්නාඩු මහඇමති එම්.කේ. ස්ටාලින් පවසනවා.

ඔහු ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් වෙත ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

පසුගිය 31 වනදා ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ මෙම ධීවරයින් 21 දෙනා යාපනය – කෝවිලන් සහ පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට ඔබ්බෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත්තා.

පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ.

මෙම අත්අඩංගුවට ගැනීමට යාමේ දී එක් (1) ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදාව මගහැර පලායාම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරුවමින් හැසිරීම නිසා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවකට ද අලාභ හානි සිදුව ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ ෴

***************************************

ගෙවුණු පැය 24 රිය අනතුරුවලින් 9 ක් මරුට

(02.02.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala)

ගෙවුණු පැය 24 තුළ දී සිදු වූ රිය අනතුරු හේතුවෙන් මෙහෙණින් වහන්සේ නමක් ඇතුළු 9 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

කුරුණෑගල – අඹේපුස්ස මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ඊයේ (01) පස්වරුවේ ලංගම බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් වයස අවුරුදු 7 ක කුඩා දරුවෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරෙන් බරපතළ තත්ත්වයේ පසු වූ තවත් දෙදෙනෙකු (2) වරකාපොළ රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සදහන් කළේ.

ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බව සඳහන්.

එමෙන්ම, ඊයේ (01) තවත් මාරක රිය අනතුරක් ගාල්ල – බූස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දී සිදු වූ අතර එම අනතුරෙන් ද එකම පවුලේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය, දුම්රියේ ගැටීමෙනුයි මෙම අනතුර සිදු වූයේ.

මීට අමතරව අනුරාධපුර – පුත්තලම මාර්ගයේ පොතානේගම ප්‍රදේශයේදී මෝටර් රථයක් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී තවත් අනතුරක් සිදුවුණා.

ඊයේ (01) සිදු වූ මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 49 ක මෙහෙණින් වහන්සේ නමක් අපවත් වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු ද තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම, පිළියන්දල – කොළමුන්න – බිම්බාරාම මාර්ගයේදී ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි පා පැදියක ගැටී සිදු වූ අනතුරකින් ද වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

ස්ථාන දෙකක (2) රක්ෂිත ගිනි ගනියි

(02.02.2022 – 09:11 +0530 – hirunews.lk/sinhala)

පේරාදෙණිය – ගලහ මාර්ගයේ කෝණ පාලම අසල රක්ෂිතයේ හට ගත් ගින්න මේ වන විට නිවා දමා තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ මෙම ගින්න හට ගත් අතර මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ එය නිවා දැමීම සඳහා යොදවා තිබුණා.

මේ අතර, පූනාගල කඳු රක්ෂිතයේ පහළ කොටසේ ද ඊයේ (01) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

එය අද (02) අලුයම දක්වා පැවති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

ගින්නෙන් රක්ෂිතයේ සංවේදී පරිසර කලාපයට ද හානි සිදුව තිබෙනවා ෴

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

දිනෙන් දින වැඩිවන නව ආසාදිතයින්

(02.02.2022 – 08:40 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් ඊයේ (01) තවත් කොරෝනා ආසාදිතයින් 1,137 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 6,12,322 ක් ලෙසයි.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 32 ක් ද මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 15,473 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ක්.

මේ අතර සියලු පුරවැසියන් බූස්ටර් එන්නත ලබා ගන්නේ නම් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගිය ද එය ගැටලුවකින් තොරව කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ කොරෝනා ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා සියලු පුරවැසියන් කටයුතු කළ යුතු බවයි ෴

+++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 471 ක් සුවය ලබයි

(02.02.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝ වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 471 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,79,320 ක් ලෙසටයි.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 6,12,322 ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් රෝහල්ගතව හෝ නිවේස්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන සංඛ්‍යාව 17,529 ක්.

මෙරටින් කොරෝනා මරණ 15,473 ක් ද වාර්තාවී තිබෙනවා ෴

+++++++++++

ඊයේ (01) මගේ මාධ්‍ය හමුව දෙබරෙට ගල් වගේ නේද? එන්නත් මංකොල්ලයේ ඉතිරි ටික – රාජිත අදත් (02) මාධ්‍ය හමුවක් තියයි (02.02.2022)

+++++++++

01-02-2022
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *