සත් මහලෙන් වැටුණු සිසුවාගේ සිරුරේ ‘අයිස්’ අඩංගුවීම ගැන විමර්ශන

සත් මහලෙන් වැටුණු සිසුවාගේ සිරුරේ ‘අයිස්’ අඩංගුවීම ගැන විමර්ශන

*********************************************

සත් මහලෙන් වැටුණු සිසුවාගේ සිරුරේ ‘අයිස්’ අඩංගුවීම ගැන විමර්ශන

(01.02.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක හත්වන මහලෙන් ඇද වැටී මියගිය 15 හැවිරිදි සිසුවා ඉගෙනුම ලැබූ ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ ඔහුගේ මිතුරන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

ඒ, පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිසුවාගේ සිරුර ‘මෙතැම්පිටමින්’ හෙවත් ‘අයිස්’ මත්ද්‍රව්‍ය තිබූ බවට හෙළිවීමත් සමඟයි.

පසුගිය 28 වනදා පාසල් නිමවීමෙන් පසු මෙම සිසුවා ත්‍රිරෝද රථයකින් අදාළ නිවාස සංකීර්ණය වෙත පැමිණ ඇති අතර, ඉන් ටික වේලාවකට පසු ඔහුගේ සිරුර මහල් නිවාස සංකීර්ණයේ බිම් මහලේ තිබී සොයාගැනුනා.

අනතුරුව ඔහුගේ බෑගය සහ වතුර බෝතලය හත්වන මහලේ තිබී සොයාගත් අතර, එම මහලෙන් මොහු බිමට පැන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

කෙසේ වෙතත් මෙම පාසල් සිසුවා හත්වන මහලෙන් බිමට පනින අවස්ථාවේ අයිස් මත්ද්‍රව්‍ය පානය කර තිබුණේද යන්න ප්‍රශ්ණාර්ථයක්. පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇත්තේ සිසුවාගේ ශරීරයේ අධිසාන්ද්‍රණ අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවටයි.

අප මෙම සිදුවීම පිළිබඳව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දුගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ ජාත්‍යන්තර පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පැවැත්වීමේ ද අඩුවක් දක්නට ලැබෙන බවයි.

එසේම අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට දඩුවම් ලබාදීම සඳහා වන නීති සංශෝධණය කිරීමටද පියවර ගෙන ඇති බව ඇය සඳහන් කළා ෴

***************************************

හිඟ ජලයෙන් අසරණ වූ ගම්වැසියන්

(01.02.2022 – 15:47 +0530 – hirunews.lk/sinhala)

ප්‍රජා ජල යෝජනා ක්‍රම ඔස්සේ ජල සම්පාදන කටයුතු සිදු කරන බොහෝ ප්‍රදේශවල ජලය නොමැතිකමින් ජනතාව පීඩාවට පත්වන පුවත් අපට දැන් නිරන්තරයෙන් අසන්නට ලැබෙනවා.

මහඉලුප්පල්ලම, සිරික්කුලම සහ මොණරාගල බඩල්කුඹුර ප්‍රදේශවලින් තවත් එවැනි පුවත් වාර්තා වනවා.

මහඉලුප්පල්ලම සිරික්කුලම ගම්මානයේ වැසියන් ප්‍රජා ජල යෝජනා ක්‍රමයක් මගින් සිය ජල අවශ්‍යතා සපුරා ගන්නේ වසර 15 ක පමණ සිටයි.

නමුත් එම ජල යෝජනා ක්‍රමයෙන් ජලය ප්‍රමාණවත් ලෙස නොලැබීමෙන් මෙම ගම්වැසියන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින්නේ සිය මූලික අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකිවීමෙන්.

ප්‍රදේශවාසීන් පැවසුවේ ප්‍රජා මූල ජල ව්‍යාපෘතියෙන් දිනකට ජලය සැපයෙන්නේ පැය ½ කට ආසන්න කාලයක් බවයි.

බොහෝ නිවාස වල සවිකර ඇති ජල මීටර අක්‍රීය වී ඇතත් නිසි කලට බිල් ගෙවීම් සිදු කළ යුතුව ඇති බව ද ඔවුන් පවසනවා.

ජල සම්පාදන මණ්ලඩලයෙන් ක්‍රියාත්මක කලාවැව ජල යෝජනා ක්‍රමයේ නල පද්ධතිය සිය ගම්මානය ආසන්නයේ ස්ථාපිතව පැවතියද තමන්ට එමගින් ජලය සම්පාදනය කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවටද ඔවුන් චෝදනා .

සිරික්කුලම ගම්වැසියන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් තම ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි.

මේ අතර මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අලුපොත ගම්මානයේ පවුල් 600 ක පමණ ජනතාව වසර ගණනාවක සිට උග්‍ර පානීය ජල ගැටලුවකින් පීඩා විඳිනවා.

ඊට හේතුව ඇත්තේ ද ප්‍රජා ජල ව්‍යාපෘතියක් මගින් සැපයෙන ජලය ප්‍රමාණවත් නොවීමයි.

මේ හේතුවෙන් අලුපොත විද්‍යාලයේ දරුවන්ද පීඩාවට පත්ව ඇත්තේ බීමට සහ සනීපාරක්ෂක කටයුතු සඳහා ප්‍රමාණවත් ජල පහසුකමක් නොමැතිවීම හේතුවෙන්.

ගම්වැසියන් ඉල්ලා සිටින්නේ වසර ගණනක් පීඩා විඳින සිය ගැටලුව පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.

***************************************

බොරැල්ල බෝම්බ සිද්ධිය අධීක්ෂණයට දිලීප පීරිස්

(01.02.2022 – 17:05 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානය තුළ තිබී ජීව අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරන විමර්ශන කටයුතු අධික්ෂණය කිරීම සඳහා නීතිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පත් කර තිබෙනවා.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා කැඳවා ඉදිරි විමර්ශන සහ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළිබඳව ගත යුතු ඉදිරි පියවර පිළිබඳව එම නිලධාරීන්ට උපදෙස් ලබාදීමට ඔහු විසින් පියවර ගෙන ඇති බව සඳහන්.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා දැනට රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය හමුවට අද (01) ඉදිරිපත් කෙරුණා.

එහිදී ඔහු ඊට අදාළව කෙටි ප්‍රකාශයක් ලබාදුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

අමාත්‍ය නාලක ගොඩහේවාට මගීන් පෑ විරෝධය

(01.02.2022 – 17:41 +0530 – hirunews.lk/sinhala)

පෑළියගොඩ නව මැනිං වෙළඳ පොලට පැමිනෙන පාරිභෝගකයින්ට හා එහි සේවක සේවකයින්ට හට ගමනා ගමන පහසුකම් සැපයිමේ අරමුණින් මැනිං වෙළඳ පොළ හරහා පොදු ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරිම රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) සිදු කෙරුණා.

මෙහිදී නව බස් රථ සේවාව ආරම්භ කරමින් බස් රථයකට ගොඩ වූ අමාත්‍යවරයාට මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ජනතාව අමාත්‍යවරයාගේ මුහුණටම විරෝධය පළ කිරීම හේතුවෙන් වහාම බසයෙන් බැසීමට ඇමැතිවරයා පියවර ගෙන තිබිණා.

***************************************

CCTV කැමරාවේ සටහන්වුණු රිලා කරදර

(01.02.2022 – 20:37 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල ප්‍රදේශයේ ගැවසෙන රිලා රංචුවක් හේතුවෙන් ඒම ප්‍රදේශයේ කිසිඳු වගාවක් කිරීමට හෝ නිවෙස්වල ආහාර තබාගැනීමට නොහැකිව මහත් හිරිහැරයන්ට ලක්වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ප්‍රදේශයේ සැරිසරන රිලා රංචුවක් නිවසකට කඩාවදින අයුරු ඒම නිවසේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.

මෙම රිලා රංචුව හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ දෛනික කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.

***************************************

බිත්තර ප්‍රහාරය ගැන එස්.බී.ට සැකයක්

(01.02.2022 – 20:47 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව – කලගෙඩිහේන ප්‍රදේශයේ පැවති තම සමුළුවට එල්ල කළ බිත්තර ප්‍රහාරය පිටුපස ආණ්ඩුව සිටින බවට ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානය චෝදනා කරනවා.

කොළඹ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතිඥ සුනිල් වටගල මේ බව කියා සිටියා.

මේ අතර පසුගිය ඉරිදා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාළව කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවයි නිට්ටඹුව පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

සංවිධායක මණ්ඩලයෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බැවින් විමර්ශන දියත් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් පවතින බව සඳහන්.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනකු (2) අතර සිදුවූ ගැටුමක් පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු පුද්ගලයින් 12 දෙනෙකු පොලිසීය විසින් හඳුනාගෙන තිබුණා.

කෙසේ වෙතත්, ප්‍රකාශ ලබාදෙන ලෙසට අදාළ සංවිධායක මණ්ඩලයට හා පුද්ගලයින්ට දුරකථන ඇමතුම් ලබාදී ඇති නමුත් මෙතෙක් ඔවුන් ප්‍රකාශ ලබාදී නැහැ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද (01) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළේ මෙම සිද්ධිය පිටුපස පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිටින බවට තමන් සැක පළ කරන බවයි.

***************************************

වඩිවේල් සුරේෂ්ගෙන් වැලිකඩ පොලිසියට පැමිණිල්ලක්

(01.02.2022 – 20:50 +0530 – hirunews.lk/sinhala)

රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන කාර්යාලයට පොලිසියෙන් බව පවසමින් පැමිණි කිහිපදෙනෙකු එහි වැඩකටයුතුවලට බාධා කළ බවට එම සංගමයේ මහ ලේකම්, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් චෝදනා කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ පසුව එම පිරිස සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණිලි කළ බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළ අතර, ඔවුන් කියා සිටියේ එලෙස පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) ගෙන් වැලිකඩ පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

කාර්යාලයේ සිටින සිය මිතුරෙකු හමුවීමට පැමිණි බව ඔවුන් එහිදී සඳහන් කර තිබෙනවා.

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ බලය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පසුගියදා අර්බුදකාරී තත්වයක් හටගත්තා.

එහි මහලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් කටයුතු කළ අතර, සමගි ජනබලවේගය පිහිටුවා ගැනීමත් සමඟ එම වෘත්තිය සමිතියේ තනතුරුවලට නවීන් දිසානායක සහ රාමයියා යෝගරාජන් නම් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.

පසුව වෘත්තිය සමිතියේ අයිතිය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවය විසින් අධිකරණය හමුවටද ගොස් තිබුණා ෴

***************************************

අලෙවිසැලක සිදුවන මුදල් කොල්ලය CCTV කැමරාවේ

(01.02.2022 – 22:00 +0530 – hirunews.lk/sinhala)

කළුතර උතුර, ගාලු පාරේ පිහිටි බුදුපිළිම සහ අටපිරිකර අලෙවිසැලක සිදුවන මුදල් කොල්ලයක් CCTV කැමරාවේ සටහන්ව තිබෙනවා.

එහිදී කොල්ලකරුවන් දෙදෙනෙකු (2) වෙළෙඳසැලට පැමිණෙන අතර ඔවුන් තුවක්කුවක් පෙන්වා එම වෙළඳසැලේ සේවිකාවන් බියවද්දා මෙලෙස මුදල් කොල්ලකා තිබෙනවා.

එහිදී කොල්ලකරුවන් විසින් එක් (1) සේවිකාවක ගෙළ බැඳි රන් මාලයක් ද කඩාගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම අවස්ථාව වෙළෙඳසැලේ සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්වී තිබුණා.

***************************************

අනුර දිසානායක ඝාතන සැලැස්මක්..

(02.01.2022 – 00:02 +0530 – lankacnews.com)

ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ තම පක්ෂයේ ජන හමුවකට එල්ල කළ ප්‍රහාරය තනිකරම ආණ්ඩුවේ වැඩක් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයාද දැනුවත්ව මෙම ප්‍රහාරය නිස්සංක සේනාධිපති විසින් මෙහෙය වූ බවට ද මෙය තම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඝාතනය කිරීමේ ප්‍රයත්නයක ආරම්භයක් බව ද ඔහු චෝදනා කළේය.

අදාල ප්‍රහාරය සඳහා නිස්සංඛ සේනාධිපතිගේ පෞද්ගලික ආරක්ෂකයන් සම්බන්ධව සිටි බවට ද ඔහු පැවසීය.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

මීළඟ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සියයට 75% ඉක්ම වූ ජනවරමකින් අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටුවන බව ද හෙතෙම එහිදී කියා සිටියේය.

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝන රෝගීන් 417 ක් සුවය ලබයි

(01.02.2022 – 15:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 417 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 5,78,849 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

අද (01) දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 32 ක් වාර්ථා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා වාර්ථා වි ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 15,473 ක් ෴

***************************************

රට යළි වසා දැමිය නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි

(01.02.2022 – 20:09 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී රට වසා දැමීමක් කිසිසේත් සිදු කළ නොහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

හිරු සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ රට සාමාන්‍ය තත්ත්වය තුළ පවත්වාගෙන යාම සඳහා සියලු‍ දෙනා සතුව වගකීමක් පවතින බවයි.

මේ අතර එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (31) දිනයේදී බූස්ටර් එන්නත් මාත්‍රාව පුද්ගලයින් 58,969 කට ලබා දී තිබෙනවා.

එය පෙරේදා බූස්ටර් එන්නත ලබාගත් 23,403 ට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක්.

මේ අතර අද (01) දිනයේ කොරෝනා ආසාදිතයින් 1,137 ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 6,12,322 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *