ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට

ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට

*********************************************

ලිත් නඩුවෙන් ඇමති බැසිල් එළියට

(01.02.2022 – 10:17 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් 2,94,00,000 මුදලක් උපයෝගී කර ගනිමින් ලිත් මුද්‍රණය කිරීමට අදාළ නඩුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කළා.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු දමිත් තොටවත්ත කියා සිටියේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි පැමිණිල්ලේ චෝදනා ඔප්පු කිරීමට නොව චෝදනා බැහැර කිරීමට හේතුවී ඇති බවයි.

මෙම නඩුවේ චෝදනා එල්ල වන ලිත් මුද්‍රණය කිරීම හා බෙදා හැරීමේ ක්‍රියාවලිය විධිමත් පටිපාටියකට අනුව සිදුවී ඇති බවට සාක්ෂි මඟින් අනාවරණය වී ඇති බව ද විනිසුරුවරයා සදහන් කළා.

ඒ සඳහා දැරූ වියදම් විසර්ජන පනතේ ප්‍රතිපාදනවලට අනුව භාණ්ඩාගාර අනුමැතියට යටත්ව සිදුකර ඇති බව ද අනාවරණය වී ඇති බව විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව සාක්ෂි පිරික්සීමේදී ලිත් මුද්‍රණය කර බෙදා හැරීමේ ක්‍රියාවලිය හරහා අවභාවිතාවක් හෝ ජනාධිපතිවරණ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා කියා සිටියේ.

ඒ අනුව අධිකරණය මඟින් විත්තිකරුවන්ට එරෙහිව යම් විදේශ ගමන් තහනමක් පනවා තිබුණේ නම් ඒවා ඉවත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්දදායකයින් පෙළඹවීමේ අරමුණෙන් එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කළ බවට චෝදනා කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරනු ලැබුවේ නීතිපතිවරයා විසිනුයි.

***************************************

වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – අයෙක් රෝහලේ

(01.02.2022 – 09:41 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය – සාලමුල්ල – ගමගේවත්ත ප්‍රදේශයේදී ඊයේ (31) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වූ අයෙකු බවටයි දැනට සිදු කරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ ෴

***************************************

කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 12 ක් වාට්ටුවට

(01.02.2022 – 10:29 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ කුඹුක මංසන්ධිය ප්‍රදේශයේ දී අද (01) පෙරවරුවේ රිය අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරට ලක්ව ඇත්තේ, ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක්.

අදාළ බස් රථය, ටිපර් රථයක් සමග එකිනෙක ගැටී සිදු වූ මෙම අනතුරෙන් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

අනතුරෙන් ටිපර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

අනතුර හේතුවෙන් හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා.

+++++++

***************************************

නව බද්දකට කැබිනට් අනුමැතිය

(01.02.2022 – 11:22 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 2,000 කට අධික මුදලක් උපයන පුද්ගලයින්ට හෝ සමාගම් මත නව බද්දක් පැනවීමට සැකසෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව , ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලමින්, කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කෙරුණා.

ඊට අදාළ කැබිනට් අනුමැතිය අද (01) පෙරවරුවේ හිමි වූ බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී දැනුම්දුන්නා ෴

***************************************

උතුරේ ධීවරයින් තවදුරටත් විරෝධතාවයේ

(01.02.2022 – 11:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට ධීවර යාත්‍රාවක ඉන්දිය ධීවර යාත්‍රාවක් ගැටීමෙන් මිය ගිය ධිවරයින් දෙදෙනාට (2) සාධාරණය ඉටු කරන බවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පොරොන්දු විමත් සමඟ පේදුරුතුඩුව – මරදන්කේනි ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ ධීවරයින් අද (01) එම ස්ථානයෙන් ඉවත් වුණා.

ඊයේ (31) ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කළ අතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දොරටුව අවහිර කරමින් මාර්ගය මත වාඩි වී විරෝධතාවයේ නිරත වුණා.

කෙසේ වෙතත්, අද (01) පෙරවරුවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා එම ස්ථානයට පැමිණි අතර, ඔහු පොරොන්දු වී ඇත්තේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් වන ගැටලුව කඩිනමින් නිරාකරණය කර දෙන බවයි.

මෙම ධීවරයින් දෙදෙනාගේ (2) සිරුරු ඊයේ (31) වෙරළට ගොඩ ගසා තිබු අතර, ඔවුන් මරදන්කේනි ප්‍රදේශයේම පදිංචිකරුවන්.

මේ අතර, ඊයේ (31) රාත්‍රි මෙරට මුහුදු සිමාවට අනවසරයෙන් ඇතුළු වු ඉන්දීය ට්‍රොලර් යාත්‍රා තුනක් (3) යාපනය වඩමාරච්චි – සක්කොට්ටෙයි මුහුදු තිරයේ සිටි මෙරට ධීවරයින් ඔවුන්ගේ ග්‍රහණයට ගෙන තිබෙනවා.

එහිදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කර ඇති අතර ඊට විරෝධය පළ කරමින් අද (01) යාපනයේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා.

ඊයේ (31) ඇති වු මෙම ගැටුමෙන් මෙරට ධිවරයින් දෙදෙනෙකු (2) ද තුවාල ලබා තිබෙනවා.

ඊයේ (31) එම ස්ථානයට ධීවර අමාත්‍යවරයා පැමිණිමත් සමඟ ධිවරයින් ඔහුට විරෝධය දැක්වු අතර එහිදි උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

අච්චුවේලි ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ධිවරයින් පිරිසක් මේ වනවිටත් විරෝධතාවයේ නිතර වන්නේ ද මෙම සිද්ධියට විරෝධය පළ කරමින්.

එමෙන්ම, පලාලි – ඇන්ටනීපුරම් ප්‍රදේශයේ ද ධීවරයින් අද (01) පෙරවරුවේ විරෝධතාවයක නිරත වු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එසේම, පේදුරුතුඩුව – පොන්නාලෙයි මාර්ගය මරදන්කේනි ප්‍රදේශයෙන් හරස් කරමින් ද ධිවරයින් පිරිසක් විරෝධතාවයේ නිරත වුණා.

මෙරට ධීවරයින්ට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කිරිමේ සිද්ධියට අදාළ ඉන්දිය ධිවරයින් 21 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

ගිනිබත් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ ගැන කැබිනට් අවධානයට

(01.02.2022 – 11:46 +0530 – hirunews.lk/sinhala)

සමුද්‍රීය උපද්‍රවයකට ලක් වූ ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ සුන්බුන් සහ විනාශ වූ කොටස් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එම කටයුතු දින 120 කින් නිම කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් කරුණු හතක් (7) පදනම් කරගනිමින් මෙම ක්‍රියාවලිය පිලිබඳ දැනුවත් කිරීමක් සිදු කරනු ලැබූ අතර, අමාත්‍ය මණ්ඩලය විසින් එය අද (01) දින සැලකිල්ලට ගනු ලැබුවා.

එම කරුණු 07 අතර, සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් තවදුරටත් සමුද්‍රීය දූෂණයක් ඇති නොවන බවට සහතික කර ගැනීම පිණිස එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා වෙළෙඳ නාවික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සභාපතිත්වය යටතේ අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත අධීක්ෂණ කමිටුවක් පත් කර ඇති බව අනාවරණ කෙරුණා.

මේ වනවිට අගතියට පත් සියලුම ධීවරයින්ට පළමු වන්දි මුදල් වාරිකය ගෙවා ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයට අදාළව මසුන් ඇල්ලීමේ තහනම් සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව ද මෙහිදී සඳහන් කළා.

එමෙන්ම සුන්බුන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය නිමවීමෙන් පසුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි (2) ද එකී තහනම ඉවත් කරනු ඇති බව ද සාකච්ඡාවට ලක් කෙරුණා.

ධීවර හා සමුද්‍ර පරිසර ආරක්ෂන අධිකාරියේ හිමිකම්වල කොටසක් වශ‍යෙන් අමරිකානු ඩොලර් මිලියන 3.7 ක් ශ්‍රී ලංකා රජයට බැර කර ඇති බව සහ ඉතිරි හිමිකම ලබා ගැනීම සඳහා පෞද්ගලික සමාගමක් සමග සාකච්ඡා පැවැත්වෙනු ඇති.

එමෙන්ම මුහුදු ජීවීන්ගේ ජීව සාම්පල සහ අනෙකුත් සාම්පල විශ්ලේෂණය සඳහා විදේශීය පර්යේෂණාගාර වෙත යොමු කෙරුණු අතර, ඔස්ට්‍රෙලියාවේ සමාගමක් විසින් පරිසර හානි හිමිකම් ඉල්ලීම් සම්බන්ධයෙන් නීති උපදෙස් සපයනු ලබන බව ද අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කෙරුණු එම යෝජනා හත අතර වනවා ෴

***************************************

පමුණුගම වෙරළ තීරයේ සැරිසරමින් සිටි කිඹුලෙකු අල්ලා ගනී

(01.02.2022 – 14:18 +0530 – hirunews.lk/sinhala)

පමුණුගම වෙරළ තීරයේ සැරිසරමින් සිටි කිඹුලෙකු අල්ලා ගැනීමට ප්‍රදේශවාසී ධීවර ජනතාව කටයුතු කර තිබෙනවා.

මෙම කිඹුලා පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ජනතාවට බලපෑම් එල්ල කළ බවයි ඔවුන් සඳහන් කළේ.

ඊයේ (31) රාත්‍රී කාලයේ පමුණුගම මුහුදු තීරයේ සිටි කිඹුලෙකු වෙරළාසන්න ප්‍රදේශයේ ස්ථානයකට කොටු කර ගැනීමෙන් පසු අල්ලා ගැනීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කළේ මෙම කිඹුලා මීට දින කිහිපයකට පෙර සිට උස්වැටකෙයියාව මීගමුව මුහුදු තීරයේ සැරිසරමින් සිට තිබෙනවා.

අවස්ථා කිහිපයකදී ධීවර ජනතාව මෙම කිඹුලාට බිලිවීමට ගිය බවයි ධීවර ජනතාව සඳහන් කළේ.

ඒ අනුව ඊයේ (31) රාත්‍රියේ කිඹුලා පමුණුගම වෙරළ තීරයට පැමිණ සිටියදී එම සත්වයා අල්ලා ගැනීමට ඔවුන්ට හැකි වුණා.

තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් ඔවුන් දුන්ගල්පිටිය පොලීසිය සහ ගම්පහ දිසා වනජීවි කාර්යාලය දැනුවත් කිරීමටත් මීට දින කිහිපයකට පෙර සිටම කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් අප වාර්තාකරු පැවසුවේ අද (01) අලුයම පැමිණි වනජීවි නිලධාරීන් කිඹුලා රැගෙන ගිය බවයි.

අඩි 10 කට වඩා දිගින් යුත් මෙම කිඹුලා ගැහැණු සත්වයෙකු බවත් වාර්තා වුණා.

මෙරට වෙරළ තීරයේ ආශ්‍රිකව කිඹුලන් සැරිසැරීම සම්බන්ධයෙන් මෑතකදී වාර්තා වූයේ පසුගිය 03 වැනිදා සිටයි.

ඒ දෙහිවල නොගැඹුරු මුහුදු තීරයේ සිටියදී පිහිණුම්කරුවෙකු කිඹුලෙකුගේ ග්‍රහණයට ලක්ව ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.

ඉන් පසුව ද අවස්ථා කිහිපයකදීම වැල්ලවත්ත සහ කොළඹ ආශ්‍රිත වෙරළ තීරවල කිඹුලන් සැරිසරන අයුරු දක්නට ලැබුණා.

***************************************

යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් සලකා බැලීම කල් යයි

(01.02.2022 – 15:26 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට 40 ක කොටස් ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ ඇමෙරිකානු සමාගමකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 02 ක් සලකා බැලීම යළි අප්‍රේල් මස 04 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

ඒ, එම පෙත්සමට අදාළ නඩුව අද (01) සෝභිත රාජකරුණා, සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

එහිදී පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු පිරිස ගොනු කල පෙත්සම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම පෙත්සම සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඊට අවසර දුන් විනිසුරු මඩුල්ල සංශෝධිත පෙත්සම සති තුනක (3) දී ගොනු කරන ලෙස නියෝග කරනු ලැබුවා.

එමෙන්ම, පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි විනිසුරු මඩුල්ල එහිදී නීතිඥවරුන්ට දැනුම් දුන්නේ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඇමෙරිකාවේ ‘නිව් ෆෝට්‍රස් එනර්ජි’ සමාගම, නීතිපතිවරයා ඇතුළු 54 දෙනෙකු නම් කර තිබෙනවා.

ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්, ආචාර්ය ගුණදාස අමරසේකර, ආචාර්ය වසන්ත බණ්ඩාර යන අය විසින් එක් පෙත්සමක් ගොනු කර තිබූ අතර ජනතා විමුක්ති පෙරමුණේ සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ යන අය විසින් තවත් පෙත්සමක් ගොනු කර තිබුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *