සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි

සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි

*********************************************

සපුගස්කන්දේ බලාගාරයක් යළි නවතියි

(01.02.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික බලාගාරවලින් හදිසි විදුලිය මිල දී ගැනීම සඳහා විෂය භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි නොවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සදහන් කළා.

එහි ඇතුළත් කොන්දේසි නැවත සලකා බලන ලෙස ජනාධිපතිවරයා, විදුලිබල අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

වසර 3 ක් සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට එමගින් යෝජනා කර තිබූ අතර මෙහිදී නැවත ටෙන්ඩර් කැදවීමක් සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ.

මේ අතර, අද (01) දිනයේදී ජාතික පද්ධතියට විදුලිය මෙගාවොට් 514 ක පමණ ප්‍රමාණයක් අහිමි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ, මෙගාවොට් 270 ක් ජනනය කරන නොරොච්චෝලේ අංක 3 බලාගාරය සහ මෙගාවොට් 130 ක විදුලි ජනනයක් සිදුකරන කැළණිතිස්ස – සොජිස්ට් බලාගාරය අක්‍රීය වීම හේතුවෙන්.

මීට අමතරව ඉන්ධන අවසන්වීම නිසා කොළඹ වරායේ බත්තල බලාගාරය හා සපුගස්කන්ද ඒ ජනන යන්ත්‍රය ද මේ වන විට අක්‍රීය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

එම බලාගාර දෙකෙන් (2) පමණක් විදුලිය මෙගාවොට් 116 ක් පමණ ජාතික පද්ධතියට මුදා හැරෙනවා. නොරොච්චෝලේ තුන්වන (3) බලාගාරයේ ජනන යන්ත්‍රයක හදිසි අලුත්වැඩියාවක් නිසා එය ඊයේ (31) රාත්‍රියේ අක්‍රිය කර ඇති අතර, අද (01) පස්වරුවේ එය යළිත් ජාතික පද්ධතියට මුදා හැරීමට අපේක්ෂා කරන බවයි විදුලි ඉංජිනේරුවරුන් සදහන් කළේ.

මේ අතර, මෙරටට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් ඉන්දීය තෙල් සමාගමෙන් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ පත්‍රිකාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ඉදිරිපත් කළ බවයි අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ.

මීට අමතරව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් ද මිල දී ගැනීම සඳහා එම සමාගම සමග බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, දැනට වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුව සදහා අවශ්‍ය බොරතෙල් ණය පදනම මත සයිප්‍රසයේ සමාගමකින් මිල දී ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ යටතේ බොරතෙල් බැරල් 4,50,000 ක් මූලික තොගයක් ලෙස සපයා ගැනීමට නියමිතව තිබෙනවා ෴

+++++++++++

ඩීසල් ගන්න ඉල්ලපු වරමට ගම්මන්පිලට කැබිනට්ටුව දුන් තීරණය

(01.02.2022 – 10:42 +0530 – hirunews.lk/sinhala)

මෙරටට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ඉන්දීය තෙල් සමාගමෙන් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ පත්‍රිකාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ ඉදිරිපත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ.

මීට අමතරව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් ද මිල දී ගැනීම සඳහා එම සමාගම සමග බලශක්ති අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා.

මේ අතර, දැනට වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුව සදහා අවශ්‍ය බොරතෙල් ණය පදනම මත සයිප්‍රසයේ සමාගමකින් මිල දී ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ යටතේ බොරතෙල් බැරල් 4,50,000 ක් මූලික තොගයක් ලෙස සපයා ගැනීමට නියමිතව තිබෙනවා.

+++++++++++

නොරොච්චෝලේ යළි නවතියි – විදුලියත් නැති වෙයි ද ?

(01.02.2022 – 14:29 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු තාප විදුලි බලාගාරයේ තුන්වන (3) ජනන යන්ත්‍රය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් යළි අක්‍රීය කර තිබෙනවා.

එහි දෝෂය ඊයේ (31) සවස නිවැරදි කළ ද මෙලෙස යළි අක්‍රිය වීම නිසා ජාතික විදුලි පද්ධතියට මෙගවොට් 270 ක විදුලිබලයක් අහිමි වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

කෙසේ නමුත්, මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවයි ෴

+++++++++++

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටීම්

(01.02.2022 – 17:03 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු තාප විදුලි බලාගාරයේ තුන්වන (3) ජනන යන්ත්‍රය යළි අක්‍රීයවීමත් සමඟ අද (01) පස්වරුවේ ප්‍රදේශ කිහිපයකින් විදුලිය බිඳවැටීම් වාර්තාවූ බව හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

කෙසේ නමුත්, මහජන උපයෝගිතා කොමිසම මීට පෙර සඳහන් කළේ විදුලි කප්පාදුවක් සිදුනොකරන ලෙසට විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී ඇති බවයි ෴

+++++++++++

පද්ධතියට එක් කර පැය කිහිපයකින් නොරොච්චෝලේ ජනන යන්ත්‍රය යළි අක්‍රියයි

(01.02.2022 – 20:56 +0530 – hirunews.lk/sinhala)

අද (01) දිනයේ පැයක කාලයක් විදුලිය කප්පාදුවක් සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා තිබෙනවා.

ඒ, ඊයේ (31) ජාතික විදුලි පද්ධතියට එක් කළ නොරොච්චෝලේ තුන්වන (3) ජනන යන්ත්‍රය අද (01) යළි අක්‍රියවූ පසුබිමකයි.

කෙසේ වෙතත් ඊට අවසර ලබා නොදෙන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.

කෙසේ වෙතත් අද (01) දහවල් කාලයේ සිට ප්‍රදේශ කිහිපයකින් හදිසි විදුලිය බිඳ වැටීම් වාර්තා වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ජාතික පද්ධතියට විදුලිය මෙගා වොට් 270 ක් ජනනය කරන නොරොච්චෝලේ අංක 3 ජනන යන්ත්‍රය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (01) යළි අක්‍රීය කෙරුණා.

ඊට අමතරව ජාතික විදුලි පද්ධතියට මෙගා වොට් 130 ක විදුලියක් ජනනය කරන කැළණිතිස්ස සොජිස්ට් බලාගාරයද අක්‍රීයව පවතිනවා.

එසේම ඉන්ධන අවසන් වීම නිසා සපුගස්කන්ද ඒ-ජනන යන්ත්‍රය හා කොළඹ වරායේ බත්තල බලාගාරයද මේ වන විට පවතින්නේ අක්‍රීය තත්වයක බවයි ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ.

එම බලාගාර 2 න් විදුලිය මෙගා වොට් 116 ක් පමණ ජාතික පද්ධතියට මුදා හැරෙනවා.

කෙසේ වෙතත් බත්තල බලාගාරයට අවශ්‍ය ඉන්ධන මේ වන විට ලබා දෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

අද (01) දිනයේ මෙගා වොට් 2,750 ක් පමණ විදුලි ඉල්ලුමක් ලංකා විදුලි බල මණ්ඩලය අපේක්ෂා කරනවා.

මේ අතර විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ කොළඹ අද (01) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ මාස හයක (6) කාලයක් සඳහා පෞද්ගලික අංශයේ විදුලිය ලබාගැනීමට එකඟතාව පළවී ඇති බවයි.

මේ අතර විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් අද (01) පස්වරු 06:30 ත් 08:30 ත් අතර කාලය තුළ පැයක (1) පමණ කාලයක් ඇතැම් ප්‍රදේශවල විදුලිය බිදවැටීම් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය අද (01) පස්වරුවේ ප්‍රකාශ කළා.

මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවට ඛණිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කළා ෴

***************************************

ජනවාරියේ උද්ධමනය තවත් ඉහළට

(01.02.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව මනිනු ලබන මෙරට වාර්ෂික උද්ධමනය ජනවාරි මාසයේ දී සියයට 14.2 දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසනවා.

දෙසැම්බර් මාසයේදී එය සටහන් වූයේ සියයට 12.1 ක් ලෙසයි.

ජනවාරි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 25 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සහල්, නැවුම් පළතුරු, කිරි පිටි සහ පාන් මිල සැලකිය යුතු ලෙස ඉහළ යාම ඊට හේතු වී ඇති බවයි මහබැංකුව සඳහන් කළේ.

ආහාර නොවන කාණ්ඩය තුළ පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු ඉහළ යාම මෙන්ම නිවාස, ජලය, විදුලිය, ගෑස් ආපනශාලා මෙන්ම උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තු ඉහළ යාම දැකිය හැකියි.

මේ අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස ද දෙසැම්බර් මාසයේ පැවති සියයට 6 සිට ජනවාරියේ සියයට 6.9 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ජනවාරි මාසයේ දී විදෙස් සංචාරකයින් 82,327 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.

ඉන් 13,478 දෙනෙකු රුසියානු සංචාරකයින් වන අතර, ඉන්දියානුවන් 11,751 දෙනෙකු, යුක්රේන සංචාරකයින් 7,774 දෙනෙකු ද පසුගිය මාසයේදී මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය සදහන් කළේ.

මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණියේ පසුගිය දෙසැම්බර් මාසයේ වන අතර එම සංඛ්‍යාව 89,404 ක්.

***************************************

ගෑස් රෙගියුලේටර් සහ බට ගෙන්වීම අදාළ ගෑස් සමාගම් යටතට

(01.02.2022 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ගෑස් සිලින්ඩර් සඳහා භාවිතා කරන රෙගියුලේටර් සහ බට ගෙන්වීමේ බලය අදාළ ගෑස් සමාගම් වෙත පමණක් ලබාදීම පිළිබද රජයේ අවධානය යොමුව තිබෙනවා.

තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා ප්‍රකාශ කළේ ඊට අදාළ කටයුතු මේ වන විටත් සූදානම් කරමින් පවතින බවයි.

එසේම ගෑස් ලිප් ආනයනය කිරීමේදී නියමිත ප්‍රමිතීන්වලට අනුකූල ගෑස් ලිප් පමණක් ගෙන්වීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති අතර, ආනයනකරුවන් සමග පසුගිය දා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා ද එම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

එහිදී ආනයනකරුවන්ට උපදෙස් ලබා දී ඇත්තේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල ගෑස් ලිප් පමණක් ආනයනය කිරීමට කටයුතු කරන ලෙසටයි.

මීට අමතරව මෙරටට අවශ්‍ය තරම් ගෑස් තොග මේ වන විටත් ආනයනය කරමින් පවතින බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

දෛනිකව මෙරට පරිභෝජනය සඳහා ගෑස් සිලින්ඩර් 70,000 ක් පමණ අවශ්‍ය කෙරෙන අතර මාසිකව ගෑස් ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30 කට ආසන්න මුදලක් වැය වන බවයි තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් ජයන්ත ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

නිවාස සංකීර්ණයෙන් ඇද වැටුණු සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට

(01.02.2022 – 08:57 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය – සත් මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් බිමට ඇඳ වැටී 15 හැවිරිදි පාසල් සිසුවාගේ ශරීරයේ ‘මෙතම්ෆෙටමින්’ හෙවත් ‘අයිස්’ ශරීර ගත වී ඇති බවට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා.

පසුගිය 29 වන දා අදාළ සිසුවා බම්බලපිටිය – ක්‍රෙට්සර් පෙදෙසේ මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලෙන් ඇද වැටී ජීවිතක්ෂයට පත්වුණා.

එම සිසුවා සිය මව සහ පියා සමග ජීවත්ව සිට ඇති අතර ඔවුන් නිවාස සංකීර්ණයේ 5 වන මහලේ නිවසක පදිංචිව සිට ඇති බව සදහන්.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන සඳහා අදාළ ගොඩනැගිල්ලේ සී.සී.ටී.වී. දර්ශන ද යොදා ගත් අතර එහි සටහන්ව තිබුණේ සිසුවා ත්‍රිරෝද රථයකින් එහි පැමිණීම සහ පසුව ඉහළ මාලයෙන් වැටෙන දර්ශනය පමණයි.

ඊට පෙර මෙම සිසුවා සිය මවට දුරකථන ඇමතුමක් ද ලබාගෙන තිබූ බව සඳහන්.

කෙසේ නමුත් සිසුවා පැමිණෙන විට මව නිවසේ සිට නොමැති අතර ඇය ආගමික කටයුත්තක් සඳහා නිවසින් පිටතට ගොස් සිටි බවයි වාර්තා වූයේ.

***************************************

ඉන්දු – ශ්‍රී ලංකා ධීවරයින් පේදුරුතුඩුවේදී ගැටේ

(01.02.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් පිරිසක් හා මෙරට ධීවරයින් අතර ඊයේ (31) රාත්‍රීයේ දී ගැටුමක් හටගෙන තිබෙනවා.

පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු වන නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් මෙරට ධීවරයින්ට පහරදී ඇති බවටයි වාර්තා වන්නේ.

එහිදී නාවික හමුදාව ඊට මැදිහත් වී ඉන්දීය ධීවරයින් සිය භාරයට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ස්ථානයට ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පැමිණීමත් සමග මෙරට ධීවරයින් ඔහුට විරෝධය පළ කර තිබෙනවා.

ඔවුන් සඳහන් කරන්නේ, දීර්ඝ කාළයක සිට පවතින මෙම තත්ත්වය පිළිබදව ඇමතිවරයා දැනුවත් කළ ද ඊට මෙතෙක් නිසි විසදුමක් ලබා දී නොමැති බවයි.

***************************************

පාසල් යළිත් වැසෙයි ?

(01.02.2022 – 09:27 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ දී ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ඊ.ඩබ්ලිව්.එල්.කේ. එගොඩවෙල සඳහන් කළේ, 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන 2022 වසරේ පෙබරවාරි 07 දින සිට මාර්තු මස 05 වැනි දින තෙක් කාලය ආවරණය වන පරිදි එළඹෙන 04 වැනි දින සිට මාර්තු මස 06 තෙක් පාසල් නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවයි.

නමුදු එම කාලය තුළ ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදෙන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මෙම විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී ප්‍රාථමික ශ්‍රේණි හා ප්‍රාථමික පාසල් සඳහා නිවාඩු ලබානොදෙන නමුත්, විභාග වාතාවරණය පවත්වාගෙන යාමට බාධාකාරී පාසලක් වේ නම්, අදාළ විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මගින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එවැනි පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබාදීමට පළාත් පාලන අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවරන බව ද, එම කාලය තුළ එවැනි පාසල් සඳහා අදාළ පැවරුම් නිර්දේශ කොට, ඉගෙනුම් ක්‍රමවේද යොදා ගන්නා ලෙසට ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම විභාග රාජකාරි කටයුතු සඳහා පත්කර ඇති ගුරුවරු ඒ සඳහා යොමු කිරීමට ද පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සියලුම පාසල්වල විදුහල්පතිවරු, කලාප, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත දන්වා තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *