විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති

විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති

*********************************************

විදේශ රැකියා ඇබෑර්තුවලට සරිලන වෘත්තිමය පාඨමාලා ආරම්භ කරන්න – අගමැති

(31.01.2022 – 21:34 +0530 – hirunews.lk/sinhala)

රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන ලෙස වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන වෙත අද (31) අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා.

ඒ, තරුණ තරුණියන් වැඩි පිරිසකට විදේශ රැකියා අවස්ථා ලබා දීම ඉලක්ක කර ගෙන පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමින්.

වෘත්තීය මට්ටමේ විදේශ රැකියා අවස්ථා ලබා දීම මෙන් ම පාසල් අධ්‍යාපනය හැර යන තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශ රැකියා සඳහා යොමු කිරීම කෙරෙහි ද මෙහි දී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා.

නිපුණතා සහිත එහෙත් සහතිකයක් නොමැති පිරිස, කෙටි කාලීන පුහුණුවක් තුළින් විදේශ රැකියා සඳහා සුදුසු ශ්‍රමිකයන් බවට පත්කිරීමත්, විදේශ රැකියා වෙළඳපොළ සහ මෙරට තරුණ ප්‍රජාව සම්බන්ධ කළ හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීමත් පිළිබඳව මෙහි දී අවධානය යොමු කෙරුණා.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න විසින් දැනට රැකියා ඇබෑර්තු පවතින රටවල් සහ රැකියා ක්ෂේත්‍ර පිළිබඳව මෙහි දී දැනුවත් කළා.

තරුණ කටයුතු අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය දැනටමත් තරුණ තරුණියන් සඳහා ඇතැම් වෘත්තීමය ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්කගත පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව ද මෙහි දී අනාවරණය කෙරුණා.

පසුගිය 26 වැනි දා වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බලපත්‍රලත් විදේශ රැකියා නියෝජිත ආයතනයන් වෙත අනුමත කර ඇති රැකියා ඇබෑර්තු අතරින් ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, රුමේනියාව, දෝහ කටාර් ඇතුළු රටවල් 22 ක් සඳහා ඇබෑර්තු 183,198 කට ශ්‍රමිකයන් යොමු කිරීමට අවශ්‍යව ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය වුණා.

https://www.youtube.com/watch?v=KrAHrKG2WlM

***************************************

මොරටුව විශ්වවිද්‍යාලය සහ DP පදනම අවබෝධතා ගිවිසුමක

(26.01.2022 – lankadeepa.lk)

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මොරටුව විශ්වවිද්‍යාලය සහ ඩී.පී. පදනම Dhammika & Priscilla Perera (DP Foundation) අතර විවෘත මාර්ගගත තොරතුරු තාක්ෂණ පාඨමාලා සංවර්ධනය සහ බෙදාහැරීම සඳහා සහයෝගිතාව ලබා දීමෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී ලංකාව තුළ සිටින්නා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ලෝලීන් සඳහා නොමිලේ ඉගෙනීමේ අවස්ථා සඳහා ප්‍රවේශයක් ලබා දීමයි. ඩී.පී. පදනම එහි ඩී.පී. එඩියුකේෂන් ( DP Education ) අංශය හරහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත මෙම නව මුලපිරීම තුළ මාර්ගගත පාඨමාලා නිෂ්පාදනය සඳහා අවශ්‍ය අරමුදල්, මානව සම්පත් ඇතුළු සියලු‍ම පහසුකම් සපයනු ලැබේ.

මේ වනවිටත් යූ ටියුබ් වෙබ් අඩවිය තුළ දියත් කර ඇති ‘යුනිවර්සිටි ඔෆ් මොරටුව – බිට් ඔන්ලයින් යූ ටියුබ්’ නාලිකාව හරහා සියලු‍දෙනාට ‘මැතමැටික්ස් ෆෝ අයි.සී.ටී., වෙබ් ප්‍රෝග්‍රෑමින්, ඩේටාබේස් මැනෙජ්මන්ට් සිස්ටම්ස් සහ අයි.සී.ටී. ඇප්ලිකේෂන්ස්’ වැනි විෂය ධාරා නොමිලේ අධ්‍යයනය කිරීමට පහසුකම් සලසා ඇත.

ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා යුවළගේ පරිත්‍යාගශීලී මුලපිරීමක් වන ඩී.පී. පදනම දැනුම පදනම් කරගත් සමාජයක් බිහිකිරීමට මෙන්ම සෑම ශ්‍රී ලාංකිකයකුගේම කුසලතා වැඩිදියුණු කිරීම උදෙසා කැපවී සිටී.

+ DP DIGITAL UNIVERSITY

+

+ YouTube : University of Moratuwa – BIT Online

***************************************

පාකිස්තානුවන්ගේ සෙල්ලම අකුරැස්සෙන් නවතී

(31.01.2022 – 14:50 +0530 – lankadeepa.lk)

භාණ්ඩ මිළදී ගන්නා මුවාවෙන් පැමිණ ව්‍යාපාරිකයන් රවටා ඉතුරු මුදල් වංචා කරන ජාවාරමක් සිදු කළ බව කියන පකිස්තානුවන් හතරක් (4) එසේ වංචා කළ මුදල් හා බඩු තොගයක්ද සමග අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලීසිය පවසයි.

මෙසේ මොවූහු රට පුරා ගොස් වංචා කළ බව කියන රුපියල් ලක්ෂ දෙකකට (2,00,000) අධික මුදල් ද සුවද විලවුන්, පාවහන්, සමහන්, ඇතුළු විවිධ ආහාර පාන තොගයක් සොයා ගෙන ඇත.

මේ සොරකම් සදහා භාවිතයට ගත් නවීන වර්ගයේ මෝටර්රථය අකුරැස්ස නගරයේදී පොලිස් බාරයට ගත් බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.

ජනවාරි මස 13 දින ලංකාවට පැමිණි මෙම කණ්ඩායමට මාර්තු මස 18 දක්වා ලංකාවේ රැදී සිටීමට වීසා ලබාගෙන ඇත.

මෝටර් රථ කුලියට දෙන ස්ථානයකින් මසකට රුපියල් ලක්ෂයක් (1,00,000) ගෙවීමට එකග වී රු. මුලින් 50,000 ක් ගෙවා මෝටර් රථය ලබා ගෙන ජාවාරම කර ගෙන ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

අකුරැස්ස නගරයේ ප්‍රසිද්ධ තොග ව්‍යාපාරයකු වෙත පැමිණ රු. 5000 ක් ලබා දී භාණ්ඩයක් මිළදී ගෙන ඉතුරු මුදල් ලබා ගෙන ඇත. පසුව තවත් භාණ්ඩ ලබා ගෙන යළිත් වරක් ඉතුරු මුදල් ඉල්ලා ඇති අතර ඔවුන් ගැන සැකසිතූ මෙම ව්‍යාපාරිකයා වහාම පොලීසියට දැනුම් දී ඇත.

මෙම හතර දෙනා (4) එක් නගරක ස්ථාන 4 කට ගොස් සොරකම සිදු කර වහාම වෙනත් නගරයකට පළායාම නිසා වංචාව දිගටම පොලිස් ඇසින් බේරී කර ගෙන යාමට හැකි වී ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

මේ වංචාව සම්බන්ධයෙන් පැමිණිලි ඇත්තේ නම් ළගම පොලිස් ස්ථානයට දන්වන ලෙස ඉල්ලා සිටන ස්ථානාධිපතිවරයා දැනටමත් එවැනි පැමිණිලි 3 ක් බද්දේගම පොලීසියට ලැබී ඇති බවත් කියයි.

කෙසේ වෙතත් සැකකාර පකිස්තානුවෝ 4 දෙනා, අත්අඩංගුවට ගත් මෝටර් රථය, භාණ්ඩ හා මුදල් තොගයද සමග අධිකරණය වෙත 31 දින ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි ෴

***************************************

ගෙවුණු පැය 24 දි පුද්ගල මරණ 05 ක්

(01.02.2022 – 06:40 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු වූ පුද්ගල මරණ 05 ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

එම නිවේදනය පෙන්වා දෙන්නේ, මෙම මරණ 05 ටම හේතු වී ඇත්තේ අපරික්ෂාකාරී රිය ධාවනය සහ නොසැලකිලිමත් අයුරින් සිදු කරන මිනිස් ක්‍රියාකාරකම් බවයි.

ඒ අනුව, ගිරාදුරුකෝට්ටේ – අලුත්තරම ප්‍රදේශයේ මහවැලි ගඟේ මාළු අල්ලමින් සිටි පුද්ගලයෙකු දිය පහරට හසු වී දියේ ගිලී අතුරුදන්ව ඇති බවට ගිරාදුරුකෝට්ටේ පොලීසියට ලද තොරතුරක් මත මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ, 44 හැවිරිදි වූ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදන් වූ පුද්ගලයා සොයා තවදුරටත් පොලීසිය සහ ගම්වාසීන් එක්ව මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර, දිවයිනෙන් වාර්තා වන සෙසු මරණ 04 ම අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් සහ අනවධානය හේතුවෙන් සිදුව තිබෙනවා.

දිඹුලපතන – ජේතිලී තේ වතු යායේ අංක 02 කොටසේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු තේ වතුයායට අඩි 20 ක් පමණ පහළින් පිහිටි තලවකැලේ – හැටන් මාර්ගයට ඇද වැටීම හේතුවෙන් තුවාල ලබා කොටගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

ඒ ඊයේ (31) පස්වරුවේ දී යි.

මරණකරු 45 හැවිරිදි අයෙකු වන අතර ඔහු කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම ඊයේ (31) පෙරවරුවේ වාරියපොළ – පාදෙණිය , අනුරාධපුර මාර්ගයේ වැරැල්ල ප්‍රදේශයේ දී පාදෙණිය දෙසට ධාවනය වූ කාර් රථයක් විරුද්ධ දෙසින් පැමිණි තවත් කාර් රථයක ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ කාර් රථ රියදුරන් දෙදෙනා (2) හා මගී කාන්තාවක් (1) වාරියපොළ රෝහලට ඇතුළත් කිරීමේ දී මගී කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 34 ක් වන වල්පාලුව – මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

මේ අතර, මදුරන්කුලිය පොලිස් වසමේ පුත්තලම – කොළඹ මාර්ගයේ 110/01 පාලම අසල දී කොළඹ දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගයේ ගමන්ගත් යාචකයෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යාචක පුද්ගලයා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

මරණකරු ප්‍රදේශයේ සිටින යාචකයකු වන අතර, මේ වන තෙක් ඔහුගේ අනන්‍යතාව තහවුරු වී නැහැ ෴

***************************************

දුරදිග ගිය ආරවුල

(01.02.2022 – 06:57 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ පොලිස් වසමේ කැකිරිහේන – පොතුඅරාව පාර, තලංගම උතුර ප්‍රදේශයේ දී ඊයේ (31) පස්වරුවේ පුද්ගලයින් දෙදෙනකු (2) අතර සිදු වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනයක් සිදු වුණා.

මෙම ආරවුල දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් අනෙක් තැනැත්තාට තියුණු ආයුධයකින් පහරදීමෙන් බරපතළ තුවාල සිදු කෙරුණු අතර, බරපතළ තුවාල ලැබූ ඔහු කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි වියෙහි පසු වූ උතුර මාලඹේ ප්‍රදේශයේ ම පදිංචිකරුවෙක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, සැකකරු මේ වනවිට එම ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

මාලඹේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා ෴

***************************************

‘අයිස්’ ගසා මාරුවෙන්න හැදූ ජාවාරම්කරුවන් පොලිස් දැලට

(01.02.2022 – 07:20 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම – වෙල්ලාම් කුලම් ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු (2) නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඊයේ (31) ත්‍රීරෝද රථයක් නවත්වා සිදු කළ පරීක්ෂා කිරීමකින් අනතුරුවයි.

මෙලෙස සොයා ගත් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලෙස සැකකරුවන් විසින් ප්‍රවාහනය කරමින් සිට ඇත්තේ, ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය තොගයක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර් යාලය පැවසුවේ.

එහි ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.9 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලීසිය පරීක්ෂණ පවත්වනවා ෴

***************************************

මහමග දී පොලීසියේ දෙපාර්ශ්වයක් ගැටේ

(01.02.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ ප්‍රදේශයේදී පොලීසියේම දෙපාර්ශ්වයක් අතර ඇති වූ ගැටුමකට අදාළව පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැටුමෙන් පසු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) රෝහල් ගත වී ඇති බවටයි පොලීසිය සඳහන් කළේ.

පෙරේදා (30) රාත්‍රී කාලයේදී මහමග සිදු වූ මෙම ගැටුමට හේතු වී ඇත්තේ මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේ දී රථවාහන සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක්.

ගැටුම ඇති කර ගත් පොලීසියේ දෙපාර්ශ්වයම සිවිල් ඇඳුමෙන් සිට ඇති අතර ඔවුන් එකිනෙකා හඳුනාගෙන නොමැති බව වාර්තා වනවා.

පොලීසියේ එක් පාර්ශ්වයක් රඹුක්කන ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වී නැවත එමින් සිටියදී, මෙම ගැටුම හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට නියමිත බව සඳහන්.

මේ අතර, ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් මිහින්තලේ සහ කටුනායක ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

+++++++

වරකාපොළදී ගුටි ඇණගත් පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

(01.02.2022 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ ප්‍රදේශයේදී පොලීසියේම දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමකට අදාළව පොලිස් විනය සංග්‍රහය යටතේ මූලික විමර්ශනයක් පවත්වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව ඔවුන්ට චෝදනා පත්‍රයක් නිකුත් කර විනය පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධියට අදාළව මේ වනවිට පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබෙනවා.

ගැටුමෙන් පසු තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) රෝහල් ගත වී ඇති බවටයි වාර්තාවන්නේ.

ඒ අනුව එම පොලිස් නිලධාරීන් දෙදෙනාද (2) අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව විමර්ශන මෙහෙයවන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියා.

පෙරේදා රාත්‍රී කාලයේදී මහ මඟ සිදුවූ මෙම ගැටුමට හේතු වී ඇත්තේ මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී රථ වාහන සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක්.

පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2) සහ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයෙකු රඹුක්කන ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගිවී නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති අතර, සිවිල් ඇඳුමින් සිටි ඔවුන් එකිනෙකා හඳුනාගෙන නැහැ ෴

***************************************

පාරිභෝගික අධිකාරියටත් ගැටලුවක් වූ සිමෙන්ති මිල

(01.02.2022 – 08:00 +0530 – hirunews.lk/sinhala)

මිල සඳහන් කර නොමැති සිමෙන්ති වෙළඳපොළට පැමිණීම හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම තමන් ද අපහසුතාවට පත්ව ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.

දේශීය සිමෙන්ති කොට්ටයක් වෙළදපොළේ අලෙවි කෙරුණේ රුපියල් 1375 කට වුවත්, ඇතැම් වෙළදුන් දැන් ඒ සඳහා රුපියල් 2000 ක් දක්වා අය කරන බවයි වාර්තා වන්නේ.

මිල සඳහන් නොකොට සිමෙන්ති වෙළදපොළට නිකුත් කිරීම නිසා වෙළදසැල් හිමියන් මෙලෙස හිතු මනාපයට සිමෙන්ති අලෙවි කරන අතර මේ වන විට එම වෙළදසැල් සොයා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විශේෂ වැටලීම් ද ක්‍රියාත්මක කරනු ලබනවා.

කෙසේ වෙතත්, ඇතැම් වෙළදසැල් හිමියන් සිමෙන්ති තොග සගවා වැඩි මිලට අලෙවි කරන බවට ද තොරතුරු ලැබී ඇති බවයි එම අධිකාරියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ඇණවුම් පිළිබද නව ගැටලුවක් මතුව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න සඳහන් කළේ ඩොලර් අර්බුදය හේතුවෙන් ඇණවුම්වලට ගෙවීම් ප්‍රමාද වීම ගැටලුකාරී වී ඇති බවයි.

මේ නිසා සැපයුම්කරුවන් ඇණවුම් එවීම පමා කරන බව සඳහන්.

මේ තත්ත්වය මත එළඹෙන සිංහල අලුත් අවුරුද්ද සඳහා දැන් සිටම භාණ්ඩ ඇණවුම් ලබාදීමට සිදු ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

ඩොලර් රට යැවූ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ගැන CID විමර්ශනයක්

(01.02.2022 – 08:05 +0530 – hirunews.lk/sinhala)

විදෙස් සංචිත සම්බන්ධයෙන් රට තුළ ගැටලුවක් මතුව ඇති අවස්ථාවක භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26 කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට යැවූ බව කියන ව්‍යාපාරිකයින් දෙදෙනෙකු (2) පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව එම දෙපාර්තමේන්තුව ඊයේ (31) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීමක් ද සිදුකර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

රට ඉඳි සහ රන් භාණ්ඩ ආනයනය කරන බවට හගවා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා (2) රට තුළ පවතින ඩොලර් විදේශයන් වෙත යවා ඇති බවටයි රේගුව විසින් අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇත්තේ.

දැනට සිදුකරන ලද විමර්ශන වලදී හෙළි වී ඇත්තේ මෙම ව්‍යාපාරිකයින් විදේශයන් වෙත ඩොලර් යවා ඇති නමුත් ඊට අදාළව භාණ්ඩ මෙරටට ගෙන්වා නොමැති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *