අද ජනවාරි 31 – හරියටම මීට වසර 26 කට පෙර …

අද ජනවාරි 31 – හරියටම මීට වසර 26 කට පෙර …

*********************************************

අද ජනවාරි 31 – හරියටම මීට වසර 26 කට පෙර …

(31.01.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

හරියටම මීට වසර 26 කට පෙර පෙරවරු 10:47 ට සිදුවූයේ කුමක් ද ?

1996 වසරේ ජනවාරි 31 වැනි දින කොළඹ නගරයට හිරු උදාවූයේ තවත් එක් සාමාන්‍ය දිනයක් සනිටුහන් කරමින්.

එවකට රටපුරා වෙලාගත් කුරිරු ත්‍රස්තවාදයේ භීෂණය මැද්දෙන් වුව ද කොළඹ ගෙන්දගම් පොළොව කඩි ගුලක් මෙන් සක්‍රීය ව අවදි වූයේ, සුපුරුදු පරිද්දෙන්ම රටේ ආර්ථිකයට ශක්තිය සපයන ක්‍රියාවලිය වෙනුවෙන්.

නමුත් උදා හිරු කිරණ කොළඹ ධරණී තලය සිප ගනිද්දී වෙනත් සැලසුමක් සිත තබා ගත් තවත් පිරිසක් ක්‍රියාත්මක වීමට පටන් ගත්තා.

කොළඹ නගරයේ මීටර ගනණාවෙන් ගණනාවට ස්ථාපිත කර තිබූ ආරක්ෂක කපොලු මග හරිමින් මේ පිරිස බොහෝම සූක්ෂ්ම ලෙස ඔවුන්ගේ ඉලක්කය දෙසට ගමන් කරන්නට පටන් ගත්තා.

ඒ තවත් මහා ඛේදවාචකයකට මුල පුරමින්.

මේ අන් කවරෙකුත් නොව දශක තුනකට (3) වැඩි කාලයක් මේ රට බෙදා වෙන් කර ගැනීම සඳහා අනවරත සටනක නිරත වූ එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් කණ්ඩායමක්.

මෙම කුරිරු ත්‍රස්තවාදීන්ගේ මෙවර ඉලක්කය වී තිබුණේ මෙරට ආර්ථික හදවත වන මහ බැංකුව යි.

බෝම්බ පුරවාගත් ලොරියක් සමඟ සන්නද්ධව පැමිණි එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් හරියටම උදෑසන 10:47 ට එම බෝම්බ පුරවාගත් ලොරිය ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට පුපුරවා හැරියා.

ඒ සමගම සටනට බට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඒ අසල තිබූ සෙලින්කෝ ගොඩනැගිල්ලට සහ මහ බැංකුවට ආර් පී ජී ප්‍රහාර කීපයක්ද එල්ල කළා.

කොළඹ නගරය පුරා තැන් තැන්වල ස්ථානගතව නිරන්තරයෙන් එල්ලවන මෙවැනි එල් ටී ටී ඊ ප්‍රහාරයන්ට මුහුණ දීමට සැරසී සිටින ආරක්ෂක හමුදාවන් සටනට පිවිසීමත් සමග කොළඹ කොටුව එකම යුද බිමක ස්වරූපයක් ඉසිලුවා.

මහ බැංකුවට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව එතැනින් පසුබැස්ස එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සුළු අවි ප්‍රහාර එල්ල කරමින් පැන ගියා.

මෙම අවාසනාවන්ත ප්‍රහාරය හමුවේ එදා උදෑසන කොළඹ කොටුවේ විවිධ අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා පැමිණි 91 ක් දෙනෙකුගේ ජීවිත අහිමි වනවා.

ඊට අමතරව මේ ගැටුම හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 1400 ක්.

මහ බැංකුව ඉදිරිපිට පුපුරාගිය බෝම්බය රාත්තල් 440 ක පුපුරණ ද්‍රව්‍ය පිරවූ බෝම්බයක් බව පසුව කරන ලද පරීක්ෂණවල දී අනාවරණය වුණා.

මෙම පුරවාගත් ලොරිය පදවාගෙන පැමිණියේ රාජු නමැති මරාගෙන මැරෙන එල් ටී ටී ඊ ත්‍රස්තවාදියකු බව අනාවරණය වුණා.

හරියටම උදෑසන 10:45 ට පමණ කොළඹ මහබැංකු ගොඩනැගිල්ල ඉදිරිපිටට පැමිණෙන ඔවුන් එහි ඉදිරිපස රැකවල්ලා සිටින රැකවලුන් සමග ගැටුමක් ඇති කර ගන්නවා.

ඒ සමඟම සන්නද්ධව ලොරියෙන් බිමට බසින එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මහබැංකු රැකවලුන්ට සුළු අවි ප්‍රහාරයක් එල්ල කරන අතර වාරයේ රාජු මහබැංකු ප්‍රධාන ගේට්ටුව දෙසට බෝම්බ පුරවා ගත් ලොරිය පසුපසට පදවා එය පුපුරුවා හරිනවා.

මේ සමගම මහබැංකු ගොඩනැගිල්ලට සහ එය අසල පිහිටි අනෙකුත් තට්ටු ගොඩනැගිලි වලට දැඩි අලාභ හානි සිදුවනවා.

සිද්ධිය වූ ස්ථානයෙන් පළා යමින් සිටි ‘සුබ්‍රමනියම් විග්නේෂ්වරන්’ හෙවත් ‘කිට්ටු’ සහ ‘ශිවසාමි ධර්මේන්ද්‍ර’ හෙවත් ‘රාජු’ යන එල්ටීටීඊ ත්‍රස්තවාදීන් දෙදෙනා (2) ජනාධිපති ලේකම් කාර්යාල දුම්රියපොළ අසල දී ආරක්ෂක හමුදා ග්‍රහණයට හසුවනවා.

මෙම ප්‍රහාරයෙන් සියයකට (100) අධික පිරිසකගේ ඇස්වලට හානි සිදු වූ අතර ඔවුන් බොහෝමයක් කඩා වැටුණු ගොඩනැගිලිවල වීදුරුවලට සිදු වූ කැපීම් හේතුවෙන් මෙලෙස තුවාල ලබා තිබුණා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් අනතුරුව එල් ටී ටී ඊ සංවිධානය මෙහි වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් ආරක්ෂක හමුදා අත්අඩංගුවට ගැනුණු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් දෙදෙනාට (2) එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 712 සහිතව නඩුවක් ගොනු කෙරුණා.

එම නඩුවට අදාළව පසු කලක දී පාතාල ක්‍රියාකාරිකයෙකුගේ වෙඩිප්‍රහාරයක් හමුවේ ඝාතනයට ලක් වූ විනිසුරු සරත් අඹේපිටිය 2002 වසරේ දී එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ පිරිබාහරන්ට විවෘත වරෙන්තු නිකුත් කළා.

එමෙන්ම මෙම නඩු විභාගය අවසානයේ දී මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට අදාළව චෝදනා 51 කට වරදකරු වූ වේළුපිල්ලේ පිරබාහරන් හට වසර 200 සිරදඬුවම් පැනවීමක් ද සිදු කෙරුණා ෴

***************************************

හොරෙන් රිංගා කළ වින්නැහිය

(31.01.2022 – 11:03 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකා කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඊයේ (30) පස්වරුවේ සිදු කළ වැටලීමක දී පුද්ගලයින් දෙදෙනකු (2) අත් අඩංගුවට ගැනීමට සමත් ව තිබෙනවා.

ඒ පදවිය රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු වී, එම රක්ෂිතයේ භූමි කොටසක් එළිපෙහෙලි කරමින් සිටියදියි.

මෙම පුද්ගලයින් දෙදෙනා (2) විසින් රක්ෂිතයේ ආනඔලොන්දාව සහ අඹගැස්වැව ප්‍රදේශවල දී රක්ෂිතයට ඇතුල් වී මෙම කටයුත්තේ යෙදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මොවුන් ඒ වනවිටත් අක්කර 03 ක් පමණ එළිපෙහෙලි කරමින් සිට ඇති අතර, අත් අඩංගුවට ගත් සැකකරුවන් 24 සහ 35 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා හොරොව්පතාන – බීට්ටු කාර්යාලයට භාර කෙරුණා ෴

***************************************

රටින් ගෙනාපු පාර්සලය පොලීසියට

(31.01.2022 – 11:38 +0530 – hirunews.lk/sinhala)

මීගමුව පොලීසිය විසින් ඊයේ (30) දින සිදු කළ සෝදිසි කිරීමකදී පුද්ගලයින් දෙදෙනකු (2) නීතිවිරෝධී ක්‍රියා හේතුවෙන් අත්අඩංගුවට ගැනුණා.

ඒ නීතිවිරෝධීව සහ බලපත්‍ර රහිතව මෙරටට ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් ද සමගින්.

සැකකරුවන් ගෙන්වන ලද විදෙස් දුම්වැටි 1600 ක් සොයා ගැනුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 46 සහ 52 හි පසුවන්නන් වන අතර ඔවුන් මීගමුව, කොච්චිකඩේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මීගමුව පොලීසිය විසින් සිදු කරනු ලබනවා ෴

***************************************

පාකිස්ථාන මහ කොමසාරිස්වරයාගේ නිල නිවස අසල මළ සිරුරක්

(31.01.2022 – 11:49 +0530 – hirunews.lk/sinhala)

රාජගිරිය – ලේක් ඩ්‍රයිව් මාර්ගයේ පිහිටා ඇති මෙරට පාකිස්ථානු මහ කොමසාරිස්වරයාගේ නිල නිවස ඉදිරිපිටින් ගලා බසින ඇළ මාර්ගයේ තිබී පිරිමි මළ සිරුරක් අද (31) උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙම මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර එම ස්ථානයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා ෴

***************************************

ජනපති, වෘත්තිය සමිති කැඳවයි

(31.01.2022 – 12:43 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ අක්‍රිය ව පවතින විදුලි ජනන යන්ත්‍රයේ මෙගාවොට් 300 ක ධාරිතාවයෙන් මෙගාවොට් 160 ක් ජාතික විදුලිබල පද්ධතියට මේ වනවිට එක් කර තිබෙනවා.

අද (31) දිනය තුළ ජනන යන්ත්‍රයේ සමස්ත ධාරිතාව ක්‍රමානුකූලව පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි ප්‍රකාශ කළේ.

නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3 ක් පවතින අතර, එමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන සමස්ත ධාරිතාව මෙගාවොට් 900 ක්.

ඉන් මෙගාවොට් 300 ක එක් (1) ජනන යන්ත්‍රයක් පසුගිය දෙසැම්බර් 03 වන දා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ අක්‍රිය වුණා.

මේ අතර විදුලිය අර්බුදය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අදත් (31) සාකච්ඡාවක් පැවැත්වෙන අතර, මෙවර ඒ සඳහා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිතිවලට ද ආරාධනා කර තිබෙනවා.

ඒ අනුව එම සාකච්ඡාවට තම සංගමයේ නියෝජිතයින්ද එක්වන බවයි ලංකා විදුලි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියේ.

එසේම ඉදිරි දින කිහිපයේ විදුලිය කප්පාදුවක් සඳහා අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය අද (31) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිසම් සභාවේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලැබී ඇති දත්ත පිළිබඳව අධ්‍යයනයක් කර තීරණයකට එළඹෙන බවයි.

මේ අතර පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලට ගැනීමේ ගිවිසුම් දීර්ඝ කිරීම සඳහා විෂයභාර අමාත්‍ය ගාමිණී ලොකුගේ ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසනවා.

මෙලෙස ගිවිසුම් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව අද (31) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා ඊයේ (30) සඳහන් කළේ.

කෙසේ වෙතත් අද (31) පැවති මාධ්‍ය හමුවකදී විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මික කියා සිටියේ අදාළ යෝජනාව ක්‍රියාත්මක කළහොත් රජයට මිලියන 5,000 ක පමණ අලාභයක් සිදු වනු ඇති බව යි ෴

***************************************

2021 තේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,320 ක්

(31.01.2022 – 12:52 +0530 – hirunews.lk/sinhala)

2021 වසරේ තේ අපනයන හා නිෂ්පාදන සමස්ත කාර්ය සාධනය ප්‍රශංසනීය වුවද තේ වතුවල ඵලදායීතා මට්ටම අඛන්ඩව පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙනවා.

එහි සභාපති ජයම්පති මොල්ලිගොඩ සඳහන් කළේ, මෙම තත්වය මෙරට තේ කර්මාන්තය තර්ජනයට ලක් කරන්නක් බවයි.

කෙසේ වෙතත් 2021 වසරේ මෙරට මුළු තේ අපනයනයෙන් මෙරට ජාතික ආර්ථිකයට ඩොලර් මිලියන 1,320 ක ආදායමක් උපයා ගෙන තිබෙනවා.

***************************************

කරන්නාගොඩගේ පෙස්සම කැඳවීම අප්‍රේල් හය (06) වැනි දා

(31.01.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

2008 වසරේ දී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විත්තිකරුවෙකු ලෙස තමාව නම් කිරීමට එරෙහිව හිටපු නාවික හමුදාපති, වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා අප්‍රේල් හය වැනිදා (06) කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (31) කැඳවූ අවස්ථාවේදියි.

මෙම පෙත්සම සළකා බැලූ අභියාචනාධිකරණය, කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වමින් පසුගියදා තහනම් නියෝගයක්ද නිකුත් කළා.

තමන්ද විත්තිකරුවෙකු ලෙස නම් කිරීමේ තීරණය පදනම් විරහිත බව පෙන්වා දෙන පෙත්සම්කරු එය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස යි සිය පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ෴

***************************************

ලොකු පොල් 75 ට දෙන බන්දුල

(31.01.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණයෙන් ලොකු පොල් ගෙඩි මෙම වසර පුරා රුපියල් 75 ක මිලකට සතොස මගින් අලෙවි කිරීමට පියවර ගන්නා බව ආචාර්ය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ එක් පාරිභෝගිකයෙකුට වරකට උපරිම ලෙස පොල් ගෙඩි 5 ක් මිල දී ගැනීමට හැකියාව ඇති බවයි.

මේ වසර පුරා පොල් ගෙඩියක් රුපියල් 75 ක මිලකට අලෙවි කිරීමට අදාළ ගිවිසුම පොල් සංවර්ධන මණ්ඩලය සමග අත්සන් කිරීම අද (31) පෙරවරුවේ සිදු කෙරුණා.

ඒ අනුව එහි නියමු ව්‍යාපෘතිය කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද (31) ආරම්භ වුණා.

මේ අතර වගාවට අවශ්‍ය කෘෂි රසායනික ද්‍රව්‍ය සහ කෘමිනාශක නොමැතිවීමෙන් ප්‍රදේශ රැසක ගොවීන් තවදුරටත් පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකටයි.

මේ අතර මහ කන්නයේ වී අස්වනු නෙලීම් ආරම්භ කර ඇති කන්තලේ සේරුනුවර අල්ල ව්‍යාපාරයේ ගොවීන් අසීරුවෙන් වගාකළ අස්වැන්න විකුණා ගැනීමේ ගැටලුවකින් ද පීඩාවට පත්ව සිටිනවා.

***************************************

සජිත් ඉල්ලන වරම

(31.01.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

තමන්ට 3 න් 2 ක ජන වරමක් අවශ්‍ය නොවන බවත්, සුළු බහුතර බලයක් පමණක් ප්‍රමාණවත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මිහින්තලේ – තිරප්පනේ පැවති ජන හමුවක දී විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ තමන්ට වුව ද අසීමිත බලතල ලබා නොදෙන ලෙසයි.

එමෙන්ම රටේ ගොවි ජනතාව මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණදෙමින් සිටින පොහොර අර්බුදය ගැන ද විපක්ෂ නායකවරයා මෙහිදී අදහස් පළ කළා.

අධික මිල ගණන් යටතේ නිසි ප්‍රමිතියකින් යුතුව පොහොර අලෙවිය සිදු නොවන බව පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ, තම රජයක් යටතේ මෙම අර්බුද විසඳමින් පොදුජන සේවය උපරිමයෙන්ම සිදු කරන බවයි.

***************************************

නිදහස වෙනුවෙන් පෙර සූදානම අද

(31.01.2022 – 13:27 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස දිනා ගැනීමට සටන් කළ සියලු විරුවන්ට මෙවර නිදහස් දින සැමරුමේදී පුෂ්පෝපහාර පුද කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා.

පෙබරවාරි 04 වැනි දිනට යෙදෙන 74 වැනි නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

‘අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනයක්, සෞභාග්‍යමත් දේශයක්’ යන තේමාවෙන් 74 වැනි අභිමානවත් නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම විපක්ෂ නායකවරයා සහ විදේශීය තානාපතිවරුන් ද ඒ සඳහා එක්වනු ඇති.

නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවැත්වෙන ආචාර පෙළපාළියේ පෙරහුරුව අද (31) පෙරවරුවේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වුණා.

මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා ආරක්ෂක අංශ නියෝජනය කරමින් සාමාජිකයින් 6500 ක් එක්වනවා.

ඊට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් 3463 ක්, නාවික හමුදා සාමාජිකයින් 919 ක්, ගුවන් හමුදා සාමාජිකයින් 804 ක්, ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් සාමාජිකයින් 336 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 282 ක් සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 437 ක් ඇතුළත්.

ජාතික ශිෂ්‍යභට බලකාය නියෝජනය කරමින් සාමාජිකයින් 259 ක් ද ඊට එක්වීමට නියමිතයි.

නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවති පෙරහුරු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා ද එක්ව තිබුණා.

මෙවර නිදහස් දිනය සැමරීමේ දී නිදහස වෙනුවෙන් උරදුන් විරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන පුෂ්පෝපහාර සම්බන්ධයෙන් ද වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ අදහස් පළ කළා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *