බලශක්ති ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා

බලශක්ති ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා

*********************************************

බලශක්ති ඇමතිගෙන් විදුලිබල මණ්ඩලයට චෝදනා

(31.01.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ඉල්ලුම සහ සැපයුම අතර මෙගාවොට් 300 ක පරතරයක් පවතින අතර, එය ලබා ගැනීමට විදුලිබල මණ්ඩලයට නිශ්චිත සැලැස්මක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ ඊයේ (30) පැවති වැඩසටහනකින් අනතුරු ව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර, අද (31) දිනය දක්වා විදුලි කප්පාදුවක් නොකරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණා.

ඉදිරි විදුලි සැපයුම සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අද (31) යළි රැස්වීමට නියමිත යි.

එමෙන්ම, නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ අක්‍රියව තිබූ විදුලි ජනන යන්ත්‍රය අද (31) සිට යළි ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා.

මෙගාවොට් 900 ක ධාරිතාවයකින් යුත් මෙම බලාගාරයේ මෙගාවොට් 300 ක ජනන යන්ත්‍රයක් හදිසියේ බිඳ වැටීමට ලක්වුණේ පසුගිය දෙසැම්බර් 03 වන දායි.

මේ අතර, විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ කැස්බෑවේ ඊයේ (30) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත කියා සිටියේ පෙබරවාරි සිට අප්‍රේල් දක්වා අවශ්‍ය විදුලිබල ධාරිතාව ගණනය කළ යුතු බවයි.

+++++++

නොරොච්චෝලේ කොටසක් ජාතික විදුලිබල පද්ධතියට

(31.01.2022 – 08:39 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ අක්‍රීයව තිබූ විදුලි ජනන යන්ත්‍රයෙන් මෙගාවොට් 160 ක ධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට අද (31) පෙරවරුවේ එක් කෙරුණා.

ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි මහතා සඳහන් කළේ අද (31) දිනය තුළ ජනන යන්ත්‍රයේ සමස්ත ධාරිතාව වන මෙගාවොට් 300 ක්‍රමානුකූලව පද්ධතියට එක් කරන බවයි.

මෙගා වොට් 900 ක විදුලි ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරන නොරොච්චෝල බලාගාරයේ මෙගා වොට් 300 ක ජනන යන්ත්‍රයක් හදිසියේ බිඳ වැටුණේ පසුගිය දෙසැම්බර් 3 වැනිදායි.

එම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කර ගන්නාතුරු ජාතික පද්ධතියට අහිමි වූ මෙගාවොට් 300 ක විදුලි ධාරිතාව ආවරණය කර ගැනුණේ, කැලණිතිස්ස ඩීසල් බලාගාරය මගින්.

කෙසේ වෙතත් දැවිතෙල් හා ඩීසල් සපයාගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටින ලංකා විදුලි බල මණ්ඩලයට තාප විදුලි බලාගාර අඛණ්ඩව පවත්වාගෙන යෑම ගැටලුවක් වුණා.

ඒ හෙතුවෙන් විදුලි කප්පාදුවකට යාමට ලංකා විදුලි බල මණ්ඩලයට අවස්ථා කිහිපයකදී ම සිදු වුණා.

ගල් අඟුරු මගින් විදුලිය ජනනය කරන බිඳ වැටී තිබූ නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රය ජාතික විදුලි පද්ධතියට අද දිනයේ එක් කෙරෙන්නේ එම තත්ත්වයට යම් අස්වැසිල්ලක් ගෙන දෙමින්.

එමගින් ජාතික විදුලි පද්ධතියට යම්තාක් දුරකට විසඳුමක් ලැබෙනු ඇති.

කෙසේ වෙතත් දැවි තෙල් මගින් සක්‍රීය කෙරෙන සපුගස්කන්ද A බලාගාරය සඳහා ඊයේ (30) දිනය වන විට දැවිතෙල් සංචිත නොමැති බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා.

ඊයේ (30) දිනයේ මෙරට ජාතික විදුලි ඉල්ලුම මෙගා වොට් 2434 ක්.

ඉන් 56.3% ක් තාප විදුලි බලගාර වලිනුත් , 29.5% ක් ජල විදුලි බලාගාරවලිනුත් , 14.2% ක් සුළං , සූර්ය හා ජීව වායු යන පුනර්ජනනීය බලශක්තිය මගිනුත් ආවරණ කර ගැණුනා.

මේ අතර විදුලි ඉල්ලුම සහ සැපයුම අතර මෙගාවොට් 300 ක පරතරයක් පවතින බවත්, ඒ සඳහා නිශ්චිත සැලැස්මක් නොමැති බවත් බලශක්ති අමාත්‍ය උදය
ගම්මන්පිළ පවසනවා.

මේ අතර, අද (30) දිනය දක්වා විදුලි කප්පාදුවක් නොකරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම පසුගිය බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබුණා.

ඉදිරි විදුලි සැපයුම සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අද යළි රැස්වන අතර එම තීරණය අද (31) පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතයි.

මේ අතර පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් විදුලි ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අද (31) දහවල් පැවැත්වීමට නියමිතයි.

+++++++

***************************************

මහපොළ වැඩි කරන්න – සරසවි සිසුන්ගෙන් රජයට ඉල්ලීමක්

(31.01.2022 – 07:43 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 5000 ක් වන මහපොළ ශිෂ්‍යාධාර අරමුදල වැඩි කර දෙන ලෙස විශ්වවිද්‍යාල සිසුන් රජයෙන් ඉල්ලීමක් කරනවා.

මේ වන විට විශ්වවිද්‍යාලවල ආපනශාලාවන් හි ආහාර මිල ගණන් දෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, අනෙකුත් අධ්‍යාපන අවශ්‍යතා සඳහා වන තම වියදම් ද පවතින තත්ත්වය යටතේ වැඩි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ෴

***************************************

යාපනයෙන් බීට් අස්වැන්න වැඩි වෙයි

(31.01.2022 – 07:50 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ප්‍රදේශයේ වගා කළ බීට්රූට්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශාල වශයෙන් ලැබෙමින් පවතින බවට වාර්තා වෙනවා.

ඒ, දිවයිනේ වෙනත් ප්‍රදේශවලින් බීට්රූට් පලදාව නො ලැබෙන පසුබිමක යි.

මේ අතර මේ වනවිට එළවලු මිලෙහි යම් අඩුවීමක් පෙන්නුම් කරන බව වාර්තාවනවා.

දිවයින පුරා ආර්ථීක මධ්‍යස්ථානවල වාර්තාවන්ට අනුව පෙර සතියට සාපේක්ෂව යි මෙම මිල අඩුවීම පෙන්නුම් කරන්නේ ෴

***************************************

ගෙවුණු පැය 24 තුළ පුද්ගල මරණ 09 ක්

(31.01.2022 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මාරක අනතුරුවලින් පුද්ගලයින් 09 දෙනෙකුට ජීවිතය අහිමිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මෙම මරණ සියල්ලටම හේතුව වී ඇත්තේ, අපරික්ෂාකාරී රිය ධාවනය සහ අනවධානයෙන් යුතුව කටයුතු කිරීම බවයි.

පන්සියගම පොලිස් වසමේ දොඹගමුව ප්‍රදේශයේ දී ඊයේ (30) පෙරවරුවේ පුද්ගලයෙකු විදුලි සැර ජීවිතක්ෂයට පත් වුණා.

පන්සියගම පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, වගා ආරක්ෂණය සඳහා සකසා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ, 62 හැවිරිදි දොඹගමුව – මකුළුපොත පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් අනවසරයෙන් විදුලි රැහැන් ඇදි පුද්ගලයාව පන්සියගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම, ගෙවුණු දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මාරක රිය අනතුරු 08ක් වාර්තා වී තිබෙනවා.

එම රිය අනතුරුවලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 ක්.

ඇඹිලිපිටිය – මිද්දෙණිය මාර්ගයේ ද ඊයේ (30) උදෑසන රිය අනතුරක් සිදු වුණා.

ඇඹිලිපිටිය නගරයේ දී ඇඹිලිපිටිය දෙස බලා ධාවනය වූ ත්‍රී රෝද රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ අතර, මෙලෙස මියගොස් ඇත්තේ යාචකයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වනවිට අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, කාත්තන්කුඩි – අමරසිංහම් අතුරු මාර්ගයේ දී රිය අනතුරක් සිදු වුණේ, ඊයේ (30) උදෑසන කාලයේ දී යි.

මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකු ව වාහනයකින් හප්පා මෙම අනතුර සිදු කර ඇති අතර, රියදුරු පලා ගොස් ඇති බවට වාර්තා වනවා.

බරපතළ තුවාල ලැබූ පදිකයා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මෙලෙස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ 75 හැවිරිදි රාජතුරෙයි – ආරියම්පති 03 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

චාවකච්චේරිය පොලිස් වසමේ යාපනය – මහනුවර මාර්ගයේ නාවක්කුලිය ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු ව කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

චාවකච්චේරිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මගීන් බැස්සවීමට නැවැත්වීමේ දී මියගිය කාන්තාව බැසීමට උත්සාහ කළ අවස්ථාවේ දී යි, අදාළ අනතුර සිදු ව ඇත්තේ.

රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය සහ නොසැලකිලිමත්කම මෙම අනතුරට හේතු වී ඇති අතර, ඔහුව පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුණා.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි නාවක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම කුරුවිට පොලිස් වසමේ කොළඹ – රත්නපුර මාර්ගයේ කුරුවිට නගරයේ දී රත්නපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදු වුණා.

මෙලෙස අනතුරට ලක්වූයේ 61 හැවිරිදි කුරුවිට ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, ඇය බරපතළ තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් රියදුරුව අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, පල්ලම – විල්පත සේරුකැලේ ප්‍රදේශයේ දී ඊයේ (30) රිය අනතුරක් සිදු ව එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කෙරුණා.

විල්පත ප්‍රදේශයේ දී සේරුකැලේ දෙසට ධාවනය වූ යතුරු පැදියක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ පැදිකරු වන අතර, පසුපැදිකරු මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

51 හැවිරිදි ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති අතර, අනතුරට හේතුව වී ඇත්තේ යතුරුපැදිකරුගේ අපරික්ෂාකාරී රිය ධාවනයයි.

මේ අතර, තවත් යතුරුපැදි අනතුරක් අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් සිදු වුණේ, ඊයේ (30) රාත්‍රී කාලයේ දී පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ දී යි.

පුත්තලම දෙසට ධාවනය වූ යතුරුපැදියක සිටි පසුපැදිකරු යතුරුපැදියෙන් වැටී මෙම අනතුරෙන් මියගියා.

මියගිය පුද්ගලයා 74 හැවිරිදි තබ්බෝව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම, ඊයේ දිනයේ දී (30) දුම්රියෙහි ගැටීමෙන් සිදු වූ අනතුරු දෙකක් (2) වාර්තා වුණේ, හිඟුරක්ගොඩ සහ ජාඇල ප්‍රදේශවලින්.

හිඟුරක්ගොඩ – හතමූණ ප්‍රදේශයේ දී මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී පුද්ගලයෙකු මරණයට පත් වුණා.

40 හැවිරිදි අයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

දුම්රියෙහි ගැටී සිදු වූ අනිත් අනතුර වාර්තා වන්නේ ජා ඇල පොලිස් වසමේ කුඩහකපොළ ප්‍රදේශයේ ඇති දුම් රිය හරස් මාර්ගයේ දී යි.

දුම්රිය සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී එය නොසලකා දුම් රිය මාර්ගයට ත්‍රීරෝද රථය ඇතුල් කිරීමේ දී කොළඹ සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙහි ගැටී මෙම අනතුර සිදු වුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී ත්‍රීරෝද රථයෙහි පුද්ගලයින් දෙදෙනකු (2) සිට ඇති අතර, ඉන් එක් (1) අයෙකු මරණයට පත් වුණා.

අනෙක් පුද්ගලයා පලා ගොස් ඇති අතර, මෙලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි දෙකටන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

***************************************

ඉන්දියාවේ සිට මෙරටට ධර්ම දූත පිරිසක් – දෙරට අතර ධර්ම සාකච්ඡා

(31.01.2022 – 09:17 +0530 – hirunews.lk/sinhala)

ටිබෙටය හා ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික මිත්‍රත්වය සංකේතවත් කරමින් ඉන්දියාවේ ධර්මශාලාවේ ටිබෙට් ආරාමයේ සිට ගරු ලින්ග් රින්පොචේ හිමිපාණෝ මෙරට සංචාරයක නිරත වෙනවා.

ඉන්දියාවේ සිට තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් සමග කටුනායක බණ්ඩාරනායක අන්තරජාතික ගුවන්තොටුපළට ළඟා වූ ලින්ග් රින්පොචේ හිමියන් පිළිගත්තේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහානායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කොස්ගොඩ ඤාණින්ද නාහිමියන් වහන්සේ සහ අන්තර්ජාතික බෞද්ධ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් ස්වාමීන් වහන්සේ විසිනුයි.

මෙම සංචාරය ටිබෙට් සහ ශ්‍රී ලාංකීය බෞද්ධයන් අතර පැරණි සබඳතා සංකේතවත් කරමින් ශක්තිමත් කරන බව මහානායක හිමියෝ පැවසුවා.

ලින්ග් රින්පොචේ හිමිපාණන් ශුද්ධෝත්තම 14 වන දලයි ලාමාතුමන්ගේ ශ්‍රේෂ්ඨ ගුරුවරයාගේ පුනරුත්පත්තිය ලෙස පිළිගැනෙනවා.

එම පුනරුත්පත්තිය නිසාත්, උන්වහන්සේගේ අපරිමිත දයානුකම්පිත ස්වභාවය නිසාත් එතුමන් අන්තර්ජාතික බෞද්ධ ප්‍රජාවවගේ ගෞරවයට පාත්‍ර වූ හිමිනමක්.

ලින්ග් රින්පොචේ හිමිපාණන් ඉන්දියාවේ සහ තවත් රටවල් කිහිපයකම බෞද්ධ ආරාමවල ප්‍රධානියා වශයෙන් කටයුතු කරනවා.

මෙරටට පැමිණි ලින්ග් රින්පොචේ හිමිපාණන් ඇතුළු ටිබෙට් ජාතික මහා සංඝරත්නය වැල්ලවත්තේ පිහිටා තිබෙන කොළඹ අමරපුර නිකායේ මහා සංඝ සභා මූලස්ථානය වෙත පැමිණ අතිපූජ්‍ය වස්කඩුවේ මහනායක හිමියන් , ජ්‍යේෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලානන්ද හිමියන් සහ මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනුනායක හිමියන් ඇතුළු අමරපුර මහා සංඝ සභාවේ ජ්‍යේෂ්ඨ කාරක සංඝ සභික ස්වාමීන් වහන්සේ බැහැදැක කරුණු සාකච්ඡා කළා.

දෙරට අතර බෞද්ධ ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් තිරසරව ඉදිරියට රැගෙන යෑමේී අනුගමනය කළ යුතු පියවර සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහි දී දෙපාර්ශ්වයේම අවධානය යොමු වුණා.

ඉන්දියාවේ ධර්මාශාලා සිට පැමිණි ටිබෙට් භික්ෂූන්වහන්සේ පිරිස රාජගිරිය කලපලුවාව ගෝතම තපෝ වනයේ දී අමරපුර නිකායේ මහ නායක අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමිපාණන් වහන්සේ ද බැහැදුටුවා.

ලින්ග් රින්පොචේ හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය ශ්‍රී ලංකාවේ සංචාරය නිරත වන අතරතුර කාලයේ දි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වැඩ වාසය කරන දන්ත ධාතූන් වහන්සේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක් වැඳ පුදා ගත්තා.

එමෙන්ම සියම් නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක මහා සංඝරත්නය, රාමඤ්ඤ නිකායේ මහ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ එම නිකායේ මහා සංඝරත්නය බැහැ දැක සාකච්ඡා කළා.

මෙම සාකච්ඡාවල දී ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය හා සංස්කෘතිය රැකගැනීමේ කාර්යයයේදී මහ නාහිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය අතින් සිදුකෙරෙන අනුපමේය මෙහෙවර ලින්ග් රින්පොචේ හිමිපාණන්ගේ දැඩි අවධානයට සහ අගය කිරීමට ලක් වුණා.

එමෙන්ම ටිබෙටය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික බෞද්ධාගමික සබඳතාව තවදුරටත් තහවුරු කර ගැනීම පිළිබඳවද අදහසි හුවමාරු කර ගැනුණා.

විශේෂයෙන්ම අත්තනෝමතික චීන පාලනය විසින් ටිබෙටයේ බෞද්ධ උරුමය විනාශ කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට කොන්දේසි විරහිතව ලොව පුරා සියලු බෞද්ධ ජනතාව එරෙහි විය යුතු බවයි ලින්ග් රින්පොචේ හිමිපාණන් පෙන්වා දුන්නේ.

”ඉතිහාස වාර්තාවලට අනුව , එකොලොස් වැනි ශතවර්ෂයේ දී පමණ ලංකාවේ මලය රට උප්පත්තිය ලබපු ‘පද්මසම්භව’ කියල හාමුදුරු කෙනෙක් ඉන්දියාවට වඩිනවා නාලන්දා විශ්ව විද්‍යාලයේ ඉගෙන ගැනීමට. මේ කාලයේදීම තමයි ඉන්දියාවේ ශාන්ත රක්ෂිත හාමුදුරුවෝ ටිබෙට් රටට බුදු දහම අරගෙන යන්නෙ. ඒකට එවකට ටි‍බෙටයේ හිටපු රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ලැබුනත් ඒ පළාත් වල තිබුණු සාමප්‍රදායික “ බොන් ” ආගමේ අනුගාමිකයන්ගෙන් විශාල හිරිහැර සහ බාධා එල්ල වෙලා තිබෙනවා. ”

”මෙතැනදී තමයි ශාන්ත රක්ෂිත හාමුදුරුවෝ එරට රජතුමාට යෝජනා කරල තියෙන්නෙ නාලන්දා විශ්වවිද්‍යාලයේ වැඩ වාසය කරන තන්ත්‍ර ශාස්ත්‍රය ගැන ප්‍රවීණ දැනුමක් තිබෙන පද්මසම්භව හාමුදුරුවන්ගේ උදව් ලබා ගන්න. අවසානයේදී උන් වහන්සේ ටිබෙට් රටට වැඩම කරලා හිරිහැර කරපු රාක්ෂයන් නමින් ප්‍රචලිතවෙලා හිටපු අන්‍යආගමිකයන් ධර්මපාලවරුන් බවට පත් කරලා ඒ රටේ බුදු දහම් සුරක්ෂිත කළා. ”

”මෙන්න මේ හේතුව නිසා, ටිබෙට් ජාතිකයන් සහ ටිබෙට් සංස්කෘතිය පැතිර පවතින කලාපය තුල බෞද්ධයන් අදටත් විශ්වාස කරන්නෙ තමන්ගෙ බුද්ධ ශාසනයේ ආදී කතෘ තුමා ලංකාවෙන් වැඩම කරපු පද්මසම්භව හාමුදුරුවන් කියල. උන් වහන්සේ එරට ජනප්‍රිය උනේ ගුරු රිපොන්චේ නමින්. ඉතින් ලංකාවත් ටිබෙටයත් අතර තිබෙන බුදුදහම හා බැදුණු ඓතිහාසික සම්බන්ධය මේ වගේ ශක්තිමත් එහෙත් නිසි ලෙස හැදෑරීමට සහ අවධානයට යොමු නොවුණු එකක්.”

ලින්ග් රින්පොචේ හිමිපාණන්ගේ මෙරට සංචාරය ශ්‍රී ලංකාවේ සහ ටිබෙටයේ බෞද්ධ සංස්කෘතියම සම්බන්ධතාවයේ නව මානයකට මග විවර කිරීමක් මෙන්ම බුදුදහම හා බැදුණු ඉතිහාසගත බැදීම තවදුරටත් ශක්තිමත් කිරීමක් ද වුණා.

උන්වහන්සේ 1985 නොවැම්බර් 18 වැනි දින ඉන්දියාවේ උපත ලබා තිබෙනවා. මව මිය ගිය පසු එතුමන්ව ධර්මශාලාහි ටිබෙට් ළමා ගම්මානයට ගෙන යන ලද අතර, ශුද්ධෝත්තම දලයි ලාමා තුමා ඔහුව ඔහුගේ පුනරුත්පත්තිය (?) ලෙස පිළිගන්නා තෙක් එහි රැඳී සිට තිබෙනවා.

උන්වහන්සේ දකුණු ඉන්දියාවේ Drepung Monastic විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ වයස අවුරුදු පහේදී වන අතර වයස අවුරුදු දහයේදී එහි පැවිදි අධ්‍යාපනය ආරම්භ කරනු ලැබුවා.

පසුගියදා විවෘත කෙරුණු කුෂිනගර් ගුවන්තොටුපොළ බෞද්ධයන්ට වෙන්කරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයකු ලෙස සහභාගිවූ උන්වහන්සේ මෑතකාලීන ව ඉන්දියාවේ සංවිධානය කරන ලද සෑම බෞද්ධ උත්සව අවස්ථාවකම ප්‍රධාන අසුනක් දරා තිබෙනවා.

ලොව පුරා ධර්ම ප්‍රචාර කටයුතුවල නිරතවන උන්වහන්සේගේ ආදර්ශ පාඨය වී තිබෙන්නේ ‘නිෂේධාත්මක ආකල්පයක් අපට මෙන්ම අප අවට සිටින අයට ද අසතුට ගෙන එයි’ යන්නයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *