දෛනික කොරෝනා ආසාදිතයින් යළිත් දහස (1000) ආසන්නයට

දෛනික කොරෝනා ආසාදිතයින් යළිත් දහස (1000) ආසන්නයට

*********************************************

දෛනික කොරෝනා ආසාදිතයින් යළිත් දහස (1000) ආසන්නයට

(30.01.2022 – 10:21 +0530 – hirunews.lk/sinhala)

ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ කොරෝනා ආසාදනය වන දරුවන්ට මාස 2 ක් තුල ‘මිස්-සී’ රෝගය හෙවත් ‘බහු ඉන්ද්‍රීය ආසාදනය’ නමැති රෝගී තත්වය ඇතිවීමේ අවදානම පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ අතර, මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව යළි දහසේ (1000) සීමාවට ළගා වී තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 982 ක් ඊයේ (29) හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 6,09,047 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 15,400 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (29) වාර්තා වූ කොරෝනා මරණ 14 ත් සමගයි.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ආසාදිතයන් වැඩි වීමත් සමග නව වෛරස ප්‍රභේද හට ගැනීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි නිවෙස්ගත රෝගී සත්කාර සේවාවේ ප්‍රධානී පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන සඳහන් කළේ නිවෙස්ගතව අධීක්ෂණය යටතේ සිටින දෛනික රෝගීන් සංඛ්‍යාව ගතවූ දෙසතිය තුල 2,500 සීමාවේ සිට 6,000 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර, ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ කොරෝනා ආසාදනය වන දරුවන්ට ‘මිස්-සී’ රෝගය හෙවත් ‘බහු ඉන්ද්‍රීය ආසාදනය’ නැමැති දරුණු රෝගී තත්වය ඇතිවීමේ අවදානම පවතින බව රිඡ්වේ ආර්යා ළමා රෝහල පවසනවා.

එහි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කොළඹ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත ඇතැම් දරුවන්ට ඩෙංගු රෝගය ද වැළඳී ඇති බවයි.

++++++++++++

බූස්ටර් නැතිව මිලියනයක් අනතුරේ

(30.01.2022 – 13:47 +0530 – hirunews.lk/sinhala)

මෙරට අවදානම් කාණ්ඩයේ මිලියනයක් පමණ මෙතෙක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන නොමැති බව සෞඛ්‍ය අංශ පවසනවා.

එමෙන්ම ගතවූ සතියේ දී මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සහ මරණවල වැඩිවීමක් ද වාර්තා වුණා.

පෙර සතියට සාපේක්ෂව ගතවූ සතියේ දී කොරෝනා ආසාදිතයන්ගේ සියයට 20 ක් වැඩි වී ඇති අතර, කොරෝනා මරණ සියයට 6 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම බුස්ටර් එන්නත ලබා ගත් පුද්ගලයින් ගෙන් සුළු ප්‍රතිශතයක් පමණක් රෝහල් සංකුලතා හේතුවෙන් රෝහල් ගත වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ සම්බන්ධීකාරක හා තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා මරණවලින් හතරෙන් තුනක් (¾) එන්නත් ලබා නොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පෙන්වා දෙනවා.

මෙරට අවදානම් කණ්ඩායමෙන් මිලියනයක් පමණ මෙතෙක් වර්ධන එන්නත් මාත්‍රාව ලබාගෙන නොමැති බව වසංගත රෝග අංශ ප්‍රධානී වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළා.

++++++++++

නව වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ප්‍රකාශයක්

(30.01.2022 – 14:51 +0530 – hirunews.lk/sinhala)

චීනයේ වූහාන් වෛද්‍ය විශේෂඥයින් අනාවරණ කළ නියෝකෝව් නම් කොරෝනා වෛරස ප්‍රභේදය මිනිසාට ආසාදනය වීමට පවතින ඉඩකඩ පිළිබඳ තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ අතර, ගෙවුණු දිනයේදීත් මෙරටින් ආසාදිතයින් 900 ඉක්මවා වාර්තා වුණේ එම සීමාව පසුකර අඛණ්ඩ සිව්වැනි (4) දිනය සටහන් කරමින්.

තවත් කොවිඩ් ආසාදිතයින් 982 ක් ඊයේ (29) හඳුනාගැනුණා.

මෑතකාලීනව මෙලෙස ආසාදිතයින් 900 සීමාව ඉක්මවා වාර්තා වූයේ අඛණ්ඩව සිව්වැනි (4) දිනටයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,09,047 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,400 ක් දක්වා ඉහළ ගියේ ඊයේ (29) වාර්තා වූ කොවිඩ් මරණ 14 ත් සමගයි.

මේ අතර, දකුණු අප්‍රිකාවේ වවුලන් ආශ්‍රිතව ව්‍යාප්ත වන බවට හඳුනාගත් නව කොවිඩ් ප්‍රභේදයක් චීනයේ වෛද්‍ය විශේෂඥයින් ඊයේ (29) හෙළිදරව් කළා.

සෙසු කොවිඩ් ප්‍රභේදවලට වඩා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන මෙම වෛරසය හඳුන්වා ඇත්තේ ‘නියෝකෝව්’ ලෙසයි.

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙම වෛරසය මිනිසාට ආසාදනය වීමට තිබෙන ඉඩකඩ සම්බන්ධයෙන් තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු බවයි.

අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා ප්‍රාන්ත කිහිපයකට රාත්‍රී කාලයේ ඇඳිරිනීතිය බලාත්මක කර තිබුණා.

එවන් පසුබිමක තමිල්නාඩු ප්‍රාන්තයට පනවා තිබූ රාත්‍රී ඇඳිරිනීතිය අද (30) සිට ඉවත් කර තිබෙනවා.

ප්‍රාන්තයේ පාසල්ද පෙබරවාරි 01 වැනිදා සිට නැවත විවෘත කිරීමට කටයුතු කරන බවයි තමිල්නාඩු ප්‍රාන්ත රජය නිවේදනය කර ඇත්තේ.

මේ අතර, ඔස්ට්‍රෙලියාවේ වයස අවුරුදු 16-17 කාණ්ඩවල දරුවන් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමේ වැඩසටහන අද (30) ආරම්භ වුණා.

කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු සමීපව ඇසුරු කිරීම හේතුවෙන් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වන ජසින්ඩා අර්ඩන් මේවන විට ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

+++++++++++

කොරෝනා ආසාදිතයින් 409 ක් පූර්ණ සුවයට

(30.01.2022 – 16:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 409 දෙනෙකු අද (30) දිනයේදී පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ සමග මෙරට වෛරසය ආසාදිතව සුවය ලද සමස්ත සංඛ්‍යාව 5,78,051 ක්.

කෙසේවෙතත් වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල , නිවෙස් හි නිරෝධායනය වන සංඛ්‍යාව 15,596 ක් වනවා.

මෙරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 15,400 ක් වන අතර, ඊයේ (29) දිනයේ දීත් මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව සිව්වැනි (4) දිනටත් දහසේ සීමාවට ආසන්න වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ, ගත වූ සතිය තුළ පමණක් මෙරටින් වාර්තා වන ආසාදිතයින් සහ සිදුවන මරණ සංඛ්‍යාවේ ද සියයට 15 කින් පමණ වර්ධනයක් දක්නට ලැබෙන බවයි ෴

කොරෝනා ආසාදිතයින් 1,056 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 6,10,103 ක් ෴

තවත් කොරෝනා මරණ 20 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 15,420 ක් ෴

+++++++++++++

කොවිඩ් නිසා අධිවේගී පිවිසුමක් ටිකට් නැතුව විවෘත වෙයි

(30.01.2022 – 17:32 +0530 – hirunews.lk/sinhala)

මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොට්ටාව අධිවේගී පිවිසුමෙන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කර තිබෙනවා.

මේ හේතුවෙන් වාහනවලට ප්‍රවේශපත්‍ර නොමැතිව අධිවේගී මාර්ගයට ඇතුලු වීමට අවසර හිමිවන අතර ඔවුන් පිටවන ස්ථානයෙන් අදාළ ගමන් ගාස්තුව ගෙවිය යුතු වනවා.

කොට්ටාව පිවිසුමේ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කරමින් සඳහන් කර ඇත්තේ ගමනාන්තයේදී කොට්ටාව පිවිසුමෙන් පැමිණි බවට ප්‍රකාශ කර අදාළ ගමන් ගාස්තුව ගෙවීමට හැකි බවයි.

+++++++++++++

බූස්ටර් මාත්‍රාවෙන් මරණ සියයට 99 කින් අඩු වේ

(30.01.2022 – 19:40 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය වන විට කොරෝනා ආසාදිතයින් සියයට 20 කින් සහ මරණ සියයට 5 කින් ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එන්නත්කරණ වැඩපිලිවෙලට අනුව බූස්ටර් මාත්‍රාව ලබාදීමත් සමග කොරෝනා මරණ සියයට 99 කින් සහ රෝහල් ගතවීම සීයයට 98 කින් අඩු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

බූස්ටර් මාත්‍රාව ලබාගත්ත ද සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනිවාර්යෙන් පිලිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.

විද්‍යුත් විකාශයන්ගේ සංසදය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ එනන්තකරණය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසයි.

මේ අතර, දක්ෂිණ අධිවේගි මාර්ගයේ කොට්ටාව පිවිසුමේ සේවකයන් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් අද (30) උදෑසන කාලය තෙක් කොට්ටාව පිවිසුමෙන් ප්‍රවේශපත් නිකුත් නොකළ නමුත් මේ වනවිට එය යථාතත්ත්වයට පත්කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එමෙන්ම ලබන මසදී පැවැත්වීමට නියමිත කච්චතිව් මංගල්‍යය සඳහා ඉන්දියානු බැතිමතුන් සහභාගි කර නොගැනීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව යාපනය මහජන සෞඛ්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි සංවිධාන කමිටුවට මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මේ වනවිට ඉන්දියාවේ සීග්‍රයෙන් පැතිර යාමත් සමඟ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වනවා.

එම තත්ත්වය සැලකිල්ලට ගෙනයි මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.

+++++++++++

එකොළොස් (11) හැවිරිදි සිසුවියක් කොරෝනාවට බිලි වෙයි

(31.01.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala)

නාත්තන්ඩිය දම්මිස්සර ජාතික පාසලේ සිසුවියක කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ, එම විදුහලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්.

ඇය මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින දෙකකට (2) ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව යි මෙලෙස මියගොස් ඇත්තේ.

පසුගිය 28 වන දා පාසල් ගොස් නිවසට පැමිණෙන අතරතුර දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් ඇයව මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ අසාද්‍ය තත්ත්වය සලකා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, තබ්බෝව ප්‍රදේශයේ පදිංචි බී.එම්.ටී මනීෂා කුමාරි නමැති ශිෂ්‍යාවයි.

ඇයව රෝහල්ගත කරන අවස්ථාවේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණු පසුව යි ඇයට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ.

කෙසේ වෙතත් ‘ඇයට තිබූ වෙනත් සංකූලතා මොනවා ද?’ යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී නැහැ ෴

***************************************

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (31) සිට ඇරඹේ

(31.01.2022 – 09:35 +0530 – hirunews.lk/sinhala)

2021 – පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අද (31) සිට ආරම්භවනවා.

ඒ අනුව ඇගයීම් කටයුතු පෙබරවාරි පස් වැනි දා (05) තෙක් පැවැත්වීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වෙනත් වසරවල අගෝස්තු මාසයේ පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය වසරේ අවස්ථා කිහිපයක දී කල් දැමුණේ, කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වන අතර, එය පසුගිය ජනවාරි 22 වනදා සැළසුම් කළ පරිදි පැවැත්වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 3,40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2943 ක දී පෙනී සිටි බව යි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කළේ.

***************************************

‘මහබැංකු වංචාව’ට වඩා වැඩි මුදල් වංචාවක් ගැන නලින්ද හෙළි කරයි

(31.01.2022 – 09:45 +0530 – hirunews.lk/sinhala)

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් නිසිලෙස ආයෝජනය නොවීමෙන් විශාල පාඩුවක් රටට සිදු වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඊයේ (30) පානදුරේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ, රුපියල් බිලියන 2,800 ක විවිධාකාර ආයෝජන මේ වනවිට සිදුව ඇති අතර, ඒවා අවභාවිත වී ඇති බවයි.

මෙම පාඩු ලබා ඇති මුදල ‘ශ්‍රී ලංකා මහබැංකු වංචාව’ට වඩා වැඩි මුදලක් බව ද පසුගියදා නිකුත් වූ විගණන වාර්තාවක් මගින් පෙන්වා දෙන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

තවත් පෞද්ගලික ආයතනයකින් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 1265 ක් වන අතර, මෙම සියල්ලටම ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් වගකිව යුතු බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

මෙරට ධාවනය තහනම් අධිබලැති යතුරු පැදි දෙකක් (2) අත්අඩංගුවට

(31.01.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

අධිබලැති යතුරු පැදි දෙකක් (2) ධාවනය කළ තරුණයන් දෙදෙනෙකු (2) එම යතුරු පැදි සමග අලුත්ගම නගරයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ, ඊයේ (31) පෙරවරුවේ යතුරු පැදි තරගයකට සහභාගි වී යලි ගාලු පාර ඔස්සේ කොළඹ බලා ගමන් කරන අවස්ථාවේ අලුත්ගම පොලිසිය විසින් සිදුකළ පරික්ෂාවකින් අනතුරුව යතුරුපැදි අත්අඩංගුවට ගත් බවයි.

මෙරට ධාවනයට තහනම්, එක් යතුරුපැදියක වටිනාකම රුපියල් ලක්ෂ 60 ක් පමණ වන අතර, පොලිස් භාරයට ගත් තරුණයින් දෙදෙනා (2) කළුතර ප්‍රදේශයේ පදිංකරුවන් ෴

***************************************

බන්දුලගේ ගානට හාල් හොයන හර්ෂ

(31.01.2022 – 10:23 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳ අමාත්‍ය ආචාර් ය බන්දුල ගුණවර්ධන පසුගියදා කොළඹ – පිටකොටුව පරිශ්‍රයේ වෙළෙඳසැල්වල සිදු කළ නිරීක්ෂණයකින් අනතුරුව ප්‍රකාශ කළ අයුරින් අඩු මිලට සහල් ඇති දැයි සොයා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර් ය හර්ෂ ද සිල්වා වෙළෙඳසැල් වෙත ගොස් පරීක්ෂා කළ බව මන්ත්‍රීවරයා පවසනවා

රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයේ දී පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු ලෙසයි මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ.

මන්ත්‍රීවරයා පැවසුවේ, වෙළෙඳ ඇමති පවසන අයුරින් අඩුවට සහල් කිසිම තැනක නොමැති බවත්, තමන් නිරීක්ෂණයට යන අවස්ථාවේ දී වෙළෙඳසැල් හිමිකරුගෙන් ඇසූ විට ඔහු පැවසුවේ, ඉන්දියන් නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 128 ක් වන අතර, ලංකා නාඩු රුපියල් 165 ක් වන බවයි.

පෙර පැවසූ පරිදි චීනෙන් හාල් ආනයන කරන බව ප්‍රකාශ කළ ආණ්ඩුව මේ වනවිට ඉන්දියන් සහල් ආනයනය කළ විටදී ගොවියන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් නොලැබෙන බවයි මන්ත්‍රී හර්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

යහපාලන රජය සමයේ දී හාල් මාෆියා ක්‍රියාත්මක කරන්න උත්සාහ කළ ද, කිසිදු අයුරකින් ඊට ඉඩනොතබා ඊට විරුද්ධව කටයුතු කළ බව ද ඔහු ප්‍රකාශ කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *