ගැරඬි ඇල්ලේ සිදු වුණු බිහිසුණු ඛේදවාචකය

ගැරඬි ඇල්ලේ සිදු වුණු බිහිසුණු ඛේදවාචකය

*********************************************

ගැරඬි ඇල්ලේ සිදු වුණු බිහිසුණු ඛේදවාචකය

(29.01.2022 – 18:05 +0530 – hirunews.lk/sinhala)

තරුණියන් 4 දෙනෙකු සහ තරුණයෙකු (1) මෙලෙස අතුරුදන්ව ඇති අතර, ඉන් 22 හැවිරිදි තරුණියකගේ මළ සිරුර පසුව සොයා ගත් බව පොලීසිය සඳහන් කළා.

ඔවුන් ඇටම්පිටිය – නාවෙල පාරේ පදිංචිකරුවන්.

මෙම පිරිස අද (29) පස්වරුවේ දියනෑම සඳහා මෙහි පැමිණ ඇති අතර එහිදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා.

අතුරුදන්වූ පිරිස අතර තරුණියන් 3 දෙනෙකු සහ තරුණයෙකු (1) සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් සොයා මේ වනවිට ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර, බම්බලපිටිය – සත් මහල් නිවාස සංකීර්ණයක ඉහළ මහලෙන් බිමට ඇඳ වැටී 15 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පාසල් සිසුවා බම්බලපිටිය – ක්‍රෙට්සර් පෙදෙසේ මහල් නිවාස සංකීර්ණයක පදිංවිව සිට ඇත්තේ ඔහුගේ මව සහ පියා සමගයි.

ඔවුන්ගේ නිවස පිහිටා ඇත්තේ අදාල නිවාස සංකීර්ණයේ 05 වෙනි මහලේයි.

පවුලේ එකම දරුවා වන මියගිය සිසුවා ඊයේ (28) පාසල නිම වී ත්‍රීරෝද රථයකින් ඔහු පදිංවි මහල් නිවාස සංකීර්ණයට පැමිණෙන අයුරු රථගාලේ ස්ථාපිත සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබෙනවා.

පසුව ඔහු නිවාස සංකීර්ණයට ඇතුළුවීම සදහා එහි විදුලි සෝපානය වෙත ගමන් කරන අයුරුද එහි දැක්වෙනවා.

පසුව පස්වරු 02:30 ට පමණ ඔහු නිවාස සංකීර්ණයේ ඉහළ මහලින් බිමට ඇද වැටෙන අයුරුද සී.සී.ටී.වී. කැමරා දර්ශනවල සටහන්ව තිබුනා.

සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ පාසල නිමවා පැමිණි සිසුවා ඔහුගේ මවට දුරකථන ඇමතුමක්ද ලබාගෙන ඇති බවයි.

සිසුවා නිවසට පැමිණෙන විට ඔහුගේ මව ආගමික කටයුත්තක් සදහා නිවසෙන් බැහැරව ගොස් තිබුණා.

පොලිසිය පැවසුවේ මෙම මරණය සියදිවි හානි කර ගැනීමක් ද, ඉහළ මහලින් ඇද වැටී සිදු වු මරණයක් දැයි සොයා බැලීම සදහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

***************************************

සමගි ගොවිජන ප්‍රකාශනය අද (29) එළිදක්වයි

(29.01.2022 – 15:41 +0530 – hirunews.lk/sinhala)

සමගි ජන බලවේගයේ ‘සමගි ගොවිජන ප්‍රකාශනය’ අද (29) පෙරවරුවේ පොලොන්නරුවේදී එළිදැක්වුණා.

ඒ, එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

සමගි ජන බලවේගයේ සමගි ගොවිජන ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවය අද (29) පෙරවරුවේ ආරම්භ වුණේ, පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය අසලදීයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම උත්සවයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,
ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

***************************************

මරදන්කඩවල හල්මිල්ල වැවට අත්ව ඇති ඉරණම

(29.01.2022 – 15:50 +0530 – hirunews.lk/sinhala)

පෙරදිග ධාන්‍යාගාරය ලෙස අතීතයේ විරුදාවලිය ලැබීමට තරම් මෙරට වී වගාව පෝෂණයවීම සඳහා වාරි කර්මාන්තයෙන් ලැබුණු පිටිවහල
අතිමහත්.

නමුත් එම වාරි සංස්කෘතිය දිනෙන් දින අභාවයට යාම පිළිබඳ නිදසුන් දිවයිනේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වනවා.

වර්ෂය පුරාවට ලැබෙන අතිරික්ක ජලය සුරක්ෂිතව තබාගැනීමේ පරමාර්ථයෙන් අතීතයේ වාරි කර්මාන්තය ආරම්භ වුනේ ගොවිතැනට ජලය අනිවාර්ය සාධකයක් වු නිසාවෙන්.

එකල පෙරදිග ධාන්‍යාගාරය ලෙස මෙරට හැදීන්වීමටද මහත් සාධකයක් වුණේ මෙම වැව් සංස්කෘතියයි.

මේ එලෙස ආරම්භ වී දුටුගැමුණු රජසමයේ සිට පැවත එන අනුරාධපුර මරදන්කඩවල පොසොන්පුර ගම්මානයේ පජ්ජෝතවැව නොහොත් වර්ථමානයේ හල්මිල්ලවැව නමින් හදුන්වන වැවයි.

අක්කර 5 කට ආසන්න වපසරියක් තුළ විහිදී ඇති මේ වැවේ දියවරින් කුඹුරු අක්කර 80 වැඩි ප්‍රමාණයක් යල මහ දෙකන්නයේ අස්වැද්දිය හැකි වනවා.

කෙසේ වෙතත්, වසර ගණනාවක සිට වැවෙහි කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් නොකිරිම හේතුවෙන් අද වන විට වැව රොන්මඩ පිරි විනාශ මුඛයට පත් වී තිබෙන්නේ මෙලෙසින්.

***************************************

STF නිළධාරියෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සිදු වූ විපත

(29.01.2022 – 17:20 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකායේ හපුතලේ කඳවුරේ නිළධාරියෙකු රාජකාරි ගිනි අවිය අත්වැරදීමකින් ක්‍රියාත්මක වීමෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

සිරුර මේ වනවිට දියතලාව මූලික රෝහලට රැගෙනවිත් ඇති අතර මරණයට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ නිලධාරියා හපුතලේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් බවයි ෴

***************************************

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ගිණුමේ බැංකු වාර්තා ලබා ගැනීමට අධිකරණ නියෝගයක්

(29.01.2022 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමෙන් රුපියල් ලක්ෂ 22 ක් වංචා කිරීමේ සිද්ධියට අදාළව එම බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ගාල්ල පොලීසියට නියෝගයක් ලබාදී තිබෙනවා.

ඒ, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය ඊයේ (28) අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීයි. විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු භාණ්ඩාගාරික සහ හිටපු සම ලේකම්වරයා ආදි ශිෂ්‍ය සංගමයේ ගිණුමෙන් රුපියල් ලක්ෂ 22 ක් වංචා කර ඇති බවට එම ශිෂ්‍ය සංගමයේ වත්මන් භාණ්ඩාගාරික විසින් ගාල්ල පොලීසියට පසුගිය 21 වනදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලීසිය ඊයේ (28) සඳහන් කළේ සිද්ධියට අදාළව විදුහල්පතිවරයාගෙන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ අතිරේක සභාපති මෙන්ම, සම ලේකම්ගෙන් ද මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බවයි.

තවදුරටත් විමර්ශන සිදුකරගෙන යාමට පැමිණිල්ලට අදාළ බැංකු ගිණුම් වාර්තා ලබා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලීසිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ෴

***************************************

අව්‍යාජ බව කෙතරම් ප්‍රබල දැයි මං හොඳින්ම දන්නවා – ජනපතිගෙන් ප්‍රකාශයක්

(29.01.2022 – 18:11 +0530 – hirunews.lk/sinhala)

තමන් නායකත්වය දෙන කණ්ඩායම්වලට අව්‍යාජ සැලකිල්ලක් දැක්වීම තුළින් ප්‍රබල බලපෑමක් ඇතිකළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ පැවති ගුවන් හමුදා බලයලත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

පුහුණුව නිම කළ ගුවන් හමුදා බලයලත් නිළධාරීන් 153 කුගේ විසිර යාමේ පෙලපාලිය අද (29) ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙය ගුවන් හමුදා ඉතිහාසයේ නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් එකවර විසිර ගිය පළමු අවස්ථාවයි.

“තරුණ නිලධාරීන් ලෙස ඔබේ මූලික යුතුකම වන්නේ ඔබගේ හැකියාවන් සංවර්ධනය කර ගැනීම සහ ඔබේ වෘත්තීය ජීවිතය තුළ ඉදිරියට යාමයි.

ඔබේ අවංකකම නිකැලැල් විය යුතු අතර ඔබගේ විනය ඉහළ ප්‍රමිතියකින් තිබිය යුතුයි.

හමුදාවේ තාක්ෂණික හස්තයක් ලෙස ගුවන් හමුදාව පූර්ණ නිපුණත්වයක් බලාපොරොත්තු වන අතර ඔබ ගුවන් නියමුවකු ලෙස හෝ ගොඩබිම් මෙහෙයුම්වල දී ද කිසිම දෝෂයකට ඉඩ නොතැබිය යුතුයි.

1980 දශකයේ අගභාගයේදී මම ජෙනරාල් විජය විමලරත්නගේ නායකත්වයෙන් යුතුව ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරියා ලෙස පලාලිහි ස්ථානගතව සිටියා.

මේ කාලය තුළ යාපනයේ සිටි අපට සෑම මසකම දින පහක් පමණ ගුවන් මගින් කොළඹට පැමිණීමට නිවාඩු ලබා දුන්නා.

එක් දවසක හවස් වරුවකදී ජෙනරාල් විමලරත්න මට කිව්වා කොළඹ ගිහින් එන්න කියලා.

ඒ අවස්ථාවේදී මා කොළඹට පැමිණීමට නියමිතව නොමැති බව මම ඔහුට දැනුම් දුන්නා.

ඔහු ප්‍රතිචාර දක්වමින් පැවසුවේ පසුදින මගේ බිරිඳගේ උපන්දිනය වූ බැවින් මා යා යුතු බවයි.

ඒ තරමටම ඔහු තම කනිෂ්ඨ නිලධාරීන් ගැන දැනුවත්ව සිටි අතර ඔහු අපව හොඳින් බලාගනු ලැබුවා.

මෙය සිදුවී වසර 40 කට ආසන්න කාලයකට පසු අද පවා ජෙනරාල් විමලරත්නගේ මෙම කාරුණික ක්‍රියාව මම මහත් ආදරයෙන් සිහිපත් කරනවා.

මට කවදාවත් අමතක නොවුණු තවත් සිදුවීමක් තියෙනවා.

ඒ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සම්බන්ධවයි.

1991 දී අලිමංකඩ හමුදා කඳවුර මුදාගැනීමේ ‘බලවේගය’ මෙහෙයුම අතරතුර එක් තරුණ මේජර්වරයෙක් ජෙනරාල් කොබ්බෑකඩුව වෙත පැමිණියා.

තම පුතා රාජකීය විද්‍යාලයට ඇතුළත් වීමේ සම්මුඛ පරීක්ෂණයකට යන බව පවසමින් ඒ සඳහා සහාය ලිපියක් ඉල්ලා සිටියා.

ජෙනරාල් කොබ්බෑකඩුව වහාම පෑනක් කඩදාසියක් ගෙන්වා ගත්තා.

ඉන්පසුව ඔහු රාජකීය විදුහලේ විදුහල්පතිවරයාට වෙත ලිපියක් ලියමින් සඳහන් කලේ මෙම තරුණ නිලධාරියා යුධ පිටියේ සිටින බවත්, තම රට වෙනුවෙන් සටන් කරන බවත්, ඔහුගේ පුතා පාසලට ඇතුළත් කිරීමේදී දක්වන සැලකිල්ල අගය කරන බවයි.

එම සම්මුඛ පරීක්ෂණයට මුහුණ දුන් මේ තරුණයා අද ඉතා සාර්ථක ඉංජිනේරුවෙකු බවත්, ජෙනරාල් කොබ්බෑකඩුව මහතා ඔවුන්ට ලබා දුන් සහයෝගයට ඔහු මෙන්ම ඔහුගේ පියාද සදා කෘතඥ වන බවත් මම පෞද්ගලිකව දන්නවා.

මෙම සිදුවීම් දෙකෙන් පෙන්නුම් කරන්නේ ඔබේ අණ යටතේ සිටින පුද්ගලයින්ට ඔබ කොතරම් සැලකිල්ලක් දැක්විය යුතුද සහ සහාය විය යුතුද යන්නයි.

ඔබ ඔබේ යටත් නිලධාරීන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරන විට, ඔවුන් ඔවුන්ට හැකි සෑමදෙයක්ම ඔබ වෙනුවෙන් ඉටුකරනවා.

එය සාර්ථක නායකත්වයක එක් ලක්ෂණයක් වන අතර එය තමන් තුළ ප්‍රගුණ කරන ලෙස ඔබ සැමගෙන් මම ඉල්ලා සිටිනවා.

මේ අතර වාද්දුව තල්පිටිය බෝධි රාජමහා විහාරයේ නව නාමපුවරුව සහ අභිනවයෙන් ඉදිකෙරුණු බෝධිඝරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණා.

එහිදී ජනාධිපතිවරයා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි සහ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.

***************************************

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික මානසික රෝගියෙකු තම දරුවන් දෙදෙනා (2) ඝාතනය කර සිය දිවි හානි කර ගනී

(29.01.2022 – 19:06 +0530 – hirunews.lk/sinhala)

= ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයෙකු දරුවන් දෙදෙනා (2) ඝාතනය කර සිය දිවි හානි කර ගනී =

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර වාසය කරන 40 හැවිරිදි ශ්‍රී ලාංකියෙකු සිය දරුවන් දෙදෙනා (2) ඝාතනය කර දිවි නසාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළා.

බටහිර ඕස්ට්‍රේලියානු පොලීසිය සඳහන් කරන පරිදි මියගිය පිරිමි දරුවාගේ වයස අවුරුදු 6 ක් වන අතර ගැහැණු දරුවාගේ වයස අවුරුදු 4 ක්.

පසුව ඔවුන්ගේ පියා සිය ගරාජයේදී දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳ වාර්තා වී ඇත්තේ සිය දරුවන් කැටුව යාමට පැමිණි මවට ඔවුන් එම ස්ථානයේ නොමැති බව දැන පොලීසියට දැන්වීමෙන් අනතුරුවයි.

දරුවන් දෙදෙනා (2) ඝාතනය කර දිවි නසා ගැනීමට පෙර මොහු විසින් ඔවුන් සමඟ ලබා ගත් ඡායාරූපයක් ද සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.

එමෙන්ම පසුගිය දෙසැම්බරයේදී ඔහු සිය ෆේස්බුක් ගිණුමට එක් කළ වීඩියෝ පටයකින් සඳහන් කර තිබුණේ තමා මානසික ආතතියෙන් පෙලෙන අතර ඒ සඳහා මනෝ වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබා ගත් බවයි.

මානසික ආතතිය දිවි නසා ගැනීමට මුල් වන බව ද එහි සඳහන්ව ඇති කරුණක්.

***************************************

නිෂ්පාදනය අඩු වුණත් ආහාර හිඟයක් නැහැ – කෘෂිකර්ම ඇමති කියයි

(29.01.2022 – 19:08 +0530 – hirunews.lk/sinhala)

ආහාර නිෂ්පාදනයේ යම් අඩුවක් පැවතුණ ද කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

ඒ මහනුවර ප්‍රදේශයේදී අද (29) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, අතිරේක බෝග වගාවන්ට ද වන්දි ලබාදීමට කටයුතු කරන ලෙස විලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා ගොවීන් ඉල්ලීමක් කරනවා.

***************************************

අනිවාර්ය විදුලි කප්පාදුවක් ගැන බලශක්ති ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

(29.01.2022 – 19:28 +0530 – hirunews.lk/sinhala)

ලබන පෙබරවාරි මැද හෝ මාර්තු මස මුල සිට අනිවාර්ය විදුලි කප්පාදුවකට යායුතු යැයි තමන් අනුමාන කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

විදෙස් මාධ්‍ය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පසුගිය වසර 8 ක කාලය තුල පුනර්ජනනීය හෝ තාප බලශක්ති ප්‍රභවයන් අලුතින් පද්ධතියට එක් කර නොමැති බවයි.

මේ අතර ඉදිරි සති දෙක තුන (2-3) ඇතුළත විදුලිබිල වැඩි කිරීමේ සූදානමක් පවතින බවට ඛනිජ තෙල් වෘත්තීය සමිති අද හෙළිදරව් කළා.

ඒ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද (29) පැවති මාධ්‍ය හමුවකදීයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *