පුංචි සිතේ පුංචි සිනහා නැංවූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ සුමධුර හඬ දැයෙන් සමුගනියි

පුංචි සිතේ පුංචි සිනහා නැංවූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ සුමධුර හඬ දැයෙන් සමුගනියි

*********************************************

පුංචි සිතේ පුංචි සිනහා නැංවූ විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ සුමධුර හඬ දැයෙන් සමුගනියි

(29.01.2022 – 11:56 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංගීත ක්ෂේත්‍රයේ කෘතහස්ත ගායිකාවක වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) පස්වරුවේ සිදු කෙරෙනවා.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදි යි.

අද (29) පස්වරු 02:45 ට දේහය නිවසින් ගෙන ඒමට නියමිතයි.

විශාරද නීල වික්‍රමසිංහ මහත්මිය පසුගිය (17) වැනි දා සිය දිවිසැරියට සමු දුන්නා.

ඒ උපන් බිමෙන් ගව් ගණනාවක් දුර ඉතාලියේ මිලානෝ නගරයේ දී.

ඇයට පෙම් බැඳි රසික රසිකාවියන් විසින් ගෞරව සහ උපහාර දැක්වීම සඳහා ඇයගේ දේහය පසුගිය දා (23) ඉතාලියේ මිලානෝ නුවර තැන්පත් කර තිබුණු අතර, එහි වෙසෙන ශ්‍රී ලාංකික රසිකයින් විසින් ඇය අවසන් වරට දැක ගැනීමට ද පැමිණි බවයි ඉතාලියේ සිටින හිරු වාර්තාකරු පැවසුවේ.

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නීලා වික්‍රමසිංහයින්ගේ දේහය පසුගිය 26 වැනි දින දිවයිනට ගෙන ආවා රාත්‍රී 09:30 ට පමණ.

හදිසි හෘදයාබාධයකට ලක්ව නීලා වික්‍රමසිංහ මහත්මිය රෝහල්ගත කෙරෙන විට ඇය ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියා.

1959 මාර්තු මස 20 වැනි දින වත්තලදී මෙලොව එළිය දකින දෝණ ඩෙලිසියා නීලා වික්‍රමසිංහ කුඩා කල සිටම ගායනයට අතිමහත් සමත්කමක් දැක්වූ ගායිකාවක්.

වයස යන්තම් මාස 6 ක් සපිරෙද්දී නීලා වික්‍රමසිංහ දැරිය රුදුරු පෝලියෝ රෝගයට ගොදුරු උනා.

කෙසේ වෙතත් එය කිසි විටෙකත් බාධාවක් කර නොගත් මෙම දිරිය ගැහැණිය ඇයගේ පළමු සරල ගීය තැටි ගත කරන්නේ 1967 වර්ෂයේදී.

ඩෝල්ටන් අල්විසුන් විසින් රචනා කරන ලද එම ගීතයට සංගීතය සපයා තිබුනේ ලයනල් අල්ගමයන් විසින්.

1973 වසරේ දී නීලා වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඒ-ශ්‍රේණියේ ගායිකාවක ලෙස වර්ගීකරණයට ලක් වෙනවා.

1974 වර්ෂයේදී ඇය සංගීත විශාරද උපාධිය ලබාගන්නේ උතුරු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතය හදාරමින්.

පසුව සංගීත ගුරුවරියක ලෙස දිවයිනේ පාසල් ගණනාවක සේවය කරන ඇය වසර 23 ක් වූ ගුරු දිවියට සමුදෙන්නේ 1998 වසරේ දී.

සංගීත ගුරුවරියක ලෙස ඇයගේ දශක දෙකකට මඳක් වැඩි වූ සේවා කාලයේ වසර අටක් (8) ම කොළඹ විශාකා විද්‍යාලයේ සංගීත ගුරුවරිය ලෙස දැයේ සුවහසක් දරු දැරියන්ට සංගීත දැනුම බෙදා දුන්නා.

චිත්‍රපට 67 ක පසුබිම් ගී ගායනා කර ඇති නීලා වික්‍රමසිංහයන් ගීත 50 කට ආසන්න සංඛ්‍යාවකට සංගීත අධ්‍යක්ෂණයෙන් ද දායකත්වය ලබා දී තිබෙනවා.

විශාරද නීලා වික්‍රමසිංහයන් සිය සංගීත දිවිය තුළ අවස්ථා තුනකදී (3) හොඳම චිත්‍රපට පසුබිම් ගායනය සඳහා වන සරසවි සම්මානය දිනාගෙන තිබෙනවා.

ඒ 1984, 1986 සහ 1992 යන වසරවලදීයි.

එමෙන්ම 1996 වර්ෂයේ දී හොඳම ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට හිමි සුමති සම්මානයත් නීලා වික්‍රමසිංහයන් අත්කරගෙන තිබෙනවා.

සිය උදරයේ හටගත් පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් දරුණු ලෙස බැට කෑ නීලා වික්‍රමසිංහයන් එම පිළිකා මාරයා ද පරදවා ජයග්‍රහණය කරන්නට සමත් වූ අසාමාන්‍ය මානසික ශක්තියකින් හෙබි ගායිකාවක්.

සිය දීර්ඝ සංගීත චාරිකාව තුළ ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන ගීත ගායනා කළ ඇය ගැයූ ගී අතර දරුවෝ ඇති අම්මාලා, බෝධියේ විහාරයේ, චාමර සැලුනාවේ, ඈත දුරක දෑස පාවෙලා, මගේ ලොවට ඔබ වඩින තුරා, මේ අවන්හලේ, මිහිදුම් සළු තිර, ඔබගේ සෙවණේ, පෙම් සිලිලාරේ, පුංචි සිතේ පුංචි සිනා, රහසේ හඬනා අප හැඟුම්, රන් ටිකිරි සිනා, සූ සැට බරණින් සැරසීලා, වියෝ ගී ගැයෙනා හදේ වැනි ගීත අදටත් රසික සවන් පත් තුළ රැව් පිළි රැව් දෙනවා.

කිංකිණි සැලෙන හඬින් ගැයුණු පුංචි සිතේ පුංචි සිනා හඬ මැකී යද්දී යාළුවේ සිතින් හඬන්නෙපා යැයි කීවත් ඔබගේ වියොව නිසා ගැයෙන වියෝ ගී තවත් බොහෝ කලක් ඇසේවි.

සිංහල සංගීත ක්ෂේත්‍රයේ මිණිකිංකිණි නදට සුබ ගමන් …!

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායිකා විශාරද නීලා වික්‍රමසිංහගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (29) පස්වරුවේ සිදුකෙරුණා.

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කරමින් සිටියදී ඇය අභාවප්‍රාප්ත වූයේ පසුගිය 17 වනදායි.

***************************************

සහල් මිල සොයන්න වෙළඳ ඇමති පිටකොටුවට

(29.01.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සහල් මිල පරීක්ෂා කිරීම සඳහා පිටකොටුව සහල් තොග වෙළඳසැල්වල අද (29) උදෑසන නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී සහල් තොග විකුණුම්කරුවන් සමඟ කතාබහක නිරතවූ අමාත්‍යවරයා නිරීක්ෂණය කර ඇත්තේ, පිටකොටුව තොග සහල් වෙළඳපොලේ මිල ගණන් සතොස සහල් මිලටද වඩා අඩු මට්ටමක පවතින බවයි.

ඒ අනුව, එම මිලට සහල් අලෙවි කරන ලෙස සතොස වෙත දැනුම්දීමටද අමාත්‍යවරයා කටයුතු කළා.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ, නාඩු කිලෝවක් රුපියල් 108 කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 128 කටත් සතොස හරහා අද (29) සිට ලබාදීමට කටයුතු කරන බවයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න ද එම අවස්ථාවට එක්ව සිටියා.

එහිදී ඔහු පැවසුවේ, අවශ්‍ය තරම් සහල් වෙළඳපොලේ පවතින බවයි.

***************************************

බන්දුල ගුණවර්ධන කියන්නේ හතරවරං බොරු – ආචාර්ය හර්ෂ ද සිල්වා

(29.01.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

බන්දුල ගුණවර්ධන හතරවරං බොරු කියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

භාණ්ඩ හා සේවා අපනයන 2020ට වඩා 21 ඉදිරියෙන් සිටින බව කීම පට්ටපල් බොරුවක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

2021 දී අපේ අපනයන ආදායම ඉහළට නොගිය බව පෙන්වාදෙන මන්ත්‍රීවරයා කියා සිටියේ, 2021ට බලාපොරොත්තු වූ බිලියන 24 න් හිමි වූයේ ද බිලියන 15ක් බවයි.

1995 වසරේ දී වියට්නාමය සහ ශ්‍රී ලංකාව අපනයන කළේ ඩොලර් බිලියන 12 ක් වන අතර, අද වනවිට ලංකාව අපනයනය කරන්නේ ඩොලර් බිලියන 15 ක් වන අතර වියට්නාමය ඉන් ඔබ්බට ගොස් ඩොලර් බිලියන 336 ක් අපනයනය කරන බව ද හෙතෙම අනාවරණය කළා.

මේ අයුරින් ළිං මැඩියන් සේ හිදිමින් ආනයන අපනයන ආර්ථිකය සැකසීම සිදු කළ නොහැකි බවයි මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ.

ලෝකය දෙස බලමින්, බදු තාප්පවලින් වටකරගෙන මෙම ක්‍රියාවලිය සිදු කරමින් රටේ ඩොලර් අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවත්, එතුළින් ණය ගෙවා දැමීමට නොහැකි බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා ෴

***************************************

සත් (7) මහල් නිවාස සංකීර්ණයක ඛේදවාචකයක්

(29.01.2022 – 13:42 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය – ක්‍රෙට්සර් පෙදෙසේ පිහිටි සත් (7) මහල් නිවාස සංකීර්ණයක ඉහළ මාලයෙන් බිමට ඇදවැටී ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති වයස අවුරුදු 15 ක ළමයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර, මෘත ශරීරය එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මෙම ළමයා බිමට වැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ විමර්ශන පවත්වන බව උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළා ෴

***************************************

පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය නිපදවීම අත්‍යවශ්‍යයි – උදය ගම්මන්පිල

(29.01.2022 – 13:55 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති ප්‍රභවයන් අඩුවීමත් සමඟ මෙරට සමස්ත විදුලි සැපයුම ලබාදීම සඳහා ඉදිකර ඇති තාප බලාගාර ප්‍රමාණවත් නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, විදෙස් මාධ්‍ය සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු අධිකාරි සංගමයේ ලේකම් නලීන් ලියනපටබැදිගේ කොළඹ අද (29) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, පවතින තත්ත්වය හමුවේ පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය නිපදවීම අත්‍යවශ්‍ය බවයි ෴

***************************************

රාජ්‍ය සේවය ගැන සමීක්ෂණයකින් හෙළි වූ දේ

(29.01.2022 – 14:23 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් සියයට 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහෝ අවස්ථාවල නිකරුණේ කාලය ගත කරන බව සමීක්ෂණයකදී පෙනී ගොස් ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

මෙලෙස සිය රාජකාරියට දායකත්වය නොදක්වා නිද්‍රාශීලීව කටයුතු කරන පිරිස් හඳුනා ගෙන එම තත්වය වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ආයතන ප්‍රධානීන්ට එහිදී විශේෂ වගකීම් පැවරීමට ද එම වගකීම් ඉටු නොකරන ප්‍රධානීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී කටයුතු කෙරෙනු ඇති.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියළුම රාජ්‍ය සේවකයන් සිය රාජකාරි සඳහා සක්‍රීයව දායක කර ගැනීම වැදගත් බව අමාත්‍යාංශය පවසනවා.

මේ ආකාරයට නිකරුණේ නිද්‍රාශීලී ලෙස කටයුතු කිරීම සඳහා සමහර ආයතනවල ව්‍යුහාත්මකවද පරිසරය සැකසී ඇති බවත් එවැනි ආයතන සම්බන්ධයෙන් ඉදිරියේදී පුළුල්ව සොයාබැලීමක් කරන බවත් එම නිලධාරියා සඳහන් කළා.

සේවකයන් රාජකාරි කටයුතු සඳහා උපරිමයෙන් දායක කර ගැනීම ආයතන ප්‍රධානියාගේ වගකීමක් විය යුතු බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

කෑම බීම අනුභව කර සහෝදර සේවකයන් සමග හෝ සිය පරිගණකය හෝ ජංගම දුරකථනය යොදාගෙන විවිධ ක්‍රීඩාවල නිරතවී නිකරුණේ කාලය ගත කර නිවෙස්වලට යන රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් බොහෝ ආයතනවල සිටින බව සොයාගෙන ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

රටේ සමස්ත රාජ්‍ය සේවක සේවිකාවන් සංඛ්‍යාව ලක්ෂ 16 කට අධිකයි ෴

***************************************

බුත්තල – කතරගම පාරේ වන අලි තර්ජන

(29.01.2022 – 14:33 +0530 – hirunews.lk/sinhala)

වන අලින් සහ ඇතුන් නිරන්තරයෙන් ගැවසෙන බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගයේ සිදුවූ වන අලි තර්ජන සම්බන්ධයෙන් අප මීට පෙර හිරු ප්‍රවෘත්ති හරහා වාර්තා කළා.

වන්දනාවේ යන පිරිස් වන අලින්ට ආහාර ලබාදීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති අතර, ඊයේ (28) දිනයේදීත් දළ ඇතෙකු, මාර්ගය අසළ ඡායාරූප ලබාගනිමින් සිටි පිරිසක් පසුපස ලුහුබඳින ආකාරයයි මේ දක්නට ලැබෙන්නේ.

නිමත් නැති බුත්තල – කතරගම පාරේ වන අලි තර්ජන බුත්තල – කතරගම මාර්ගයේ සිටි දළ ඇතෙකු, ඡායාරූප ගනිමින් සිටි පිරිසක්
පසුපස එළවනු ලැබුවා.

+++++++++

ලොරියේ අධික වේගය නිසා සිදු වූ අනතුර

(29.01.2022 – 14:45 +0530 – hirunews.lk/sinhala)

කුකුළන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් පුත්තලම – කල්පිටිය ප්‍රධාන මාර්ගයේදී වේගය පාලනය කරගත නොහැකිව අනතුරට පත්වන ආකාරය සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණා.

පුත්තලම – කල්පිටිය ප්‍රධාන මාර්ගයේ සිදු වූ අනතුර කුකුළන් ප්‍රවාහනය කළ ලොරියක් අධික වේගය නිසයි, අනතුරට පත්වන්නේ.

+++++++++

වෙළෙඳසැලක සේවිකාවකට අමානුෂික පහරදීමක්

(29.01.2022 – 14:54 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලික ආරවුලක් පදනම් කරගනිමින් කැස්බෑව ප්‍රදේශයේ වෙළෙඳසැලකට පැමිණි පුද්ගලයෙකු එහි සේවිකාවකට අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

වෙළෙඳසැලක සේවිකාවකට සිදුකළ අමානුෂික පහරදීම පුද්ගලික ආරවුලක් පදනම් කරගනිමින් කාන්තාවකට පහරදෙන ආකාරය මෙලෙස කැමරා කාචයේ සටහන් වී තිබුණා.

++++++++

සැප රියෙන් ගෙන ගිය කේරළ ගංජා

(29.01.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala)

හම්බේගමුව සිට තිස්සමහාරාමය දක්වා ඉතා සූක්ෂම ලෙස අති සුඛෝපභෝගී ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා අධික ප්‍රමාණයක් වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් වටලා තිබෙනවා.

අත් අඩංගුවට පත්වන අවස්ථාවේ , රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝග්‍රෑම් 11 ක් හමුවි ඇති බවට, සදහන්.

සැප රියෙන් ගෙන ගිය කේරල ගංජා හම්බේගමුව සිට තිස්සමහාරාමය දක්වා සූක්ෂම ලෙස ගෙන ගිය අතරවාරයේදීයි, පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ.

+++++++++++

ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකයි

(29.01.2022 – 15:22 +0530 – hirunews.lk/sinhala)

ජා ඇල නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට මුව ආවරණ නොමැතිව පැමිණි පුද්ගලයෙකු එහි සේවකයෙකුට තර්ජනය කර, කොල්ලකා පලා ගොස් තිබෙනවා.

ඔහු පලා ගොස් ඇත්තේ, රුපියල් ලක්ෂ 15 කට වැඩි වටිනාකමකින් යුත් රන් මාල සහ මුදු මෙන්ම රුපියල් තිස්දහසකට (30,000) අධික මුදල්ද රැගෙන‍ බවයි, වාර්තා වන්නේ.

ඔහු මුදල් රැගෙන අලෙවිසැලෙන් පිටව යන අයුරු එහි සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

***************************************

ශිෂ්‍යත්ව දරුවන්ට අසාධාරණයක් නොවන බවට විභාග කොමසාරිස් සහතික වෙයි

(29.01.2022 – 12:46 +0530 – hirunews.lk/sinhala)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කරන බව, විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමේ දින වකවානු සම්බන්ධයෙන් කඩිනමින් තීරණයකට එළඹෙන බවයි.

මේ අතර, පසුගියදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කරන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කළා.

පසුගිය ශිෂ්‍යත්ව විභාගය තුළ දී දරුවන්ට සිදු වූ අක්‍රමිකතා ගැන අදහස් පළ කළ විභාග කොමසාරි ජනරාල්වරයා පැවසුවේ, වංචා සිදුව නොමැති බවත්, එහෙත් දරුවන්ට ප්‍රශ්න පත්‍රය ලබාදීම වෙනුවෙන් ගතකළ කාලය සම්බන්ධයෙන් අක්‍රමිකතා බොහෝ ප්‍රදේශවලින් වාර්තා වූ බවයි.

විභාගය සඳහා දරුවන්ට නියමිත කාලයක් නොලැබුණු බවට මේ වනවිට ලැබී ඇති පැමිණිලිවලින් ප්‍රමුඛ වන බව ද හෙතෙම සඳහන් කළා.

එමෙන්ම එවැනි බරපතළ සිදුවීම් තුනක් (3) පමණ තමන් හට වාර්තා වී ඇති අතර, ඒවා සිදු වී ඇත්තේ, ගල්ගමුව, නාගොඩ සහ වැලිමඩ යන ප්‍රදේශවල බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා ‘හිරු ඇත්ත’ වැඩසටහන සමග එක්වෙමින් සඳහන් කළේ.

කෙසේවෙතත් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, කිසිදු අයුරකින් තමන් දරුවන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බව ද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල හැකි ඉක්මනින් සාධාරණව නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

***************************************

පානීය ජල බෝතල්වල පාලන මිල ඉවතට

(29.01.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

දේශීය ව බෝතල් කළ පානීය ජලය සඳහා පැවති උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක විසින්.

පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා බෝතල් කරන ලද පානීය ජල ඇසුරුම්කරුවන්ගේ සංගමය පසුගියදා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ නැව් ගාස්තු, ප්ලාස්ටික් ඇතුලු අමුද්‍රව්‍ය මිල වැඩිවීම නිසා කර්මාන්තයේ පිරිවැය ඉහළ ගොස් ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *