දෙදෙනකුට දිවි අහිමි කළ අධිවේගී මාර්ගයේ රිය අනතුර – මගත් හරස් වේ

දෙදෙනකුට දිවි අහිමි කළ අධිවේගී මාර්ගයේ රිය අනතුර – මගත් හරස් වේ

*********************************************

දෙදෙනකුට දිවි අහිමි කළ අධිවේගී මාර්ගයේ රිය අනතුර – මගත් හරස් වේ

(29.01.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයේ අද (29) උදෑසන සිදු වූ අනතුරක් හේතුවෙන් ගිනි ගැනීමට ලක් වූ ලොරි රථය මතුගම ප්‍රදේශයෙන් මිල දී ගෙන ආඬි අම්බලම ප්‍රදේශයට රැගෙන යමින් තිබුණු එකක් බව අනාවරණය වී තිබෙනවා.

අද (29) අලුයම 03:30 ට පමණ සිදු වූ මෙම අනතුර හේතුවෙන් ලොරි රථයේ හිමිකරු සහ රියදුරු අනතුර සිදු වූ ස්ථානයේදී ම මියගියා.

එමෙන්ම අනතුරෙන් පසු ලොරි රථයේ හටගත් ගින්න හේතුවෙන් අදාළ ලොරි රථය ද සම්පූර්ණයෙන් විනාශ වුණා.

අධිවේගී මාර්ගයේ කඩුවෙල – කඩවත අතර 16.2 කිලෝ මීටර් කණුව අසල දී අද (29) අලුයම නවතා තිබූ ලොරි රථයක, (පිටුපසින් පැමිණි) මෙම ලොරි රථය ගැටීමෙනුයි මෙම අනතුර සිදු වූයේ.

ගිනි ගැනීමට ලක් වූ මෙම ලොරි රථය මතුගම ප්‍රදේශයෙන් මිල දී ගෙන ආඩිඅම්බලම ප්‍රදේශයේ නිවසට රැගෙන යමින් සිටියදී මෙම අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පවසනවා.

මතුගමින් මිල දී ගත් මෙම ලොරි රථය සිය ගම් ප්‍රදේශයට රැගෙන යාමේ දී එයට ඉදිරියෙන් ලොරි රථය මිල දී ගත් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දරුවන් රැගත් මෝටර් රථය ද ගමන් කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම පිරිස ලොරි රථය මිල දී ගෙන පවුලේ සාමාජිකයන් සියලු දෙනා ද සමගින් ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින මියගිය ව්‍යාපාරිකයාගේ නැගණියගේ නිවසට ගොස් එහි රාත්‍රිය ගත කොට පසුදා අලුයම ආඩි අම්බලම වෙත යමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ලොරි රථය පැද වූ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරනවා.

ලොරි රථය ගැටුණු, ආපදාවට පත්ව නතරකර තිබූ කන්ටේනර් රථය පසුපසින් එම රථයේ රෝද පිළිසකර කිරීම සඳහා අලුත් ටයර් රැගෙන ආ ජීප් රථය නතරකර තබා එහි ප්‍රධාන ලාම්පු ද දල්වා කන්ටේනර් රථය ආලෝකමත් කර තිබූ බවත් පොලිසිය පවසනවා.

එමෙන්ම අදාළ අනතුරට ලක් වූ ලොරි රථය මෙම ජීප් රථය මගහැර කන්ටේනර් රථයේම ගැටී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අනතුර හේතුවෙන් මියගොස් ඇත්තේ ආඩි අම්බලම විල්ලුව වත්ත අංක 36 හි පදිංචි සුසන්ත ගාමිණී (59) ලොරි රථයේ හිමිකරු හා කටුනායක මුතුවාඩිය පාරේ පදිංචි (44) ලොරි රථයේ රියදුරායි.

අනතුර සිදුවීමත් සමග ලොරියේ පිටුපස කොටසේ හටගත් ගින්න විශේෂ කාර්ය බලකායේ ගිනි නිවන නිලධාරීන් කැඳවා නිවා දැමීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඒ වන විටත් ලොරි රථය සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබූ බව පැවසෙන්නේ.

අධිවේගී මාර්ගයේ අනතුරක් සිදු වූ විට 1969 අංකය අමතා දැනුම්දිය යුතු වුවත් මෙම අනතුර දැනුම් නොදීම හේතුවෙන් ගින්න පාලනය කොට පුද්ගලයන් දෙදෙනාගේ (2) ජීවිත බේරා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බවත් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසනවා.

+++++++

++++++++

අධිවේගී මඟේ ගමන් ගන්නා රියදුරන්ට අලුත් නීතියක්

(29.01.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනයක් ආපදාවට ලක් වීමේ දී ඔවුන් විසින් පළමුව සිදු කළ යුත්තේ, එම වාහනය මාර්ගයේ ආරක්ෂිත කලාපයට අයින් කර වහාම 1969 අධිවේගී මාර්ග සේවා අංකයට කතා කර, ඔවුන්ගේ සේවය ලබාගැනීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

එසේ නොකර තමන් විසින්ම ආපදා කටයුතු පිළිසකර කිරීමට උත්සහ දරන රියදුරන් සහ රිය සහායකයින් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු අවධාරණය කරන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අදහස් පළ කළේ අද (29) උදෑසන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.

කොට්ටාව සිට කඩවත දෙසට කොළඹ පිටත වටරවුම් මාර්ගයේ 16 වැනි කිලෝමීටර කණුව අසළ අද (29) අලුයම සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ලොරි රථ රියදුරෙකුට සහ එහි හිමිකරුට ජීවිත අහිමි වුණා.

16 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී ටයරයක හටගත් ආබාධයක් හේතුවෙන් මාර්ගයේ ආරක්ෂිත කලාපයේ නවතා එහි පිළිසකර කිරීම් සිදුකළ ලොරියක පසුපසින් පැමිණි තවත් ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙම අනතුර හේතුවෙන් පසුපසින් පැමිණ ලොරි රථයේ රියදුරා ඉදිරිපස වාමුවාව කඩාගෙන අධිවේගී මාර්ගයට වැටී ඇති අතර ඔහු එම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහුගේ වම් පසින් ගමන්ගත් ලොරි රථයේ හිමිකරු මේ අනතුර හේතුවෙන් ලොරියේ සිර වී ඇති අතර සුළු වේලාවකින් හටගත් ගින්න හේතුවෙන් ඔහු පිළිස්සී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නවතා තිබූ ලොරියේ රියදුරු සහ සහායකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිවේගී මාර්ග නීති රීති නිසියාකාරව පිළිනොපැදීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසා සිටියේ ෴

++++++++++

අධිවේගයේ යන රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

(29.01.2022 – 14:35 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවක ගමන් ගන්නා රථය ආපදා තත්ත්වයකට පත් වුවහොත් එය එම අවස්ථාවේ දී අලුත්වැඩියා කිරීමට කටයුතු නොකළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා දැනුම් දෙනවා.

එම අවස්ථාවේ දී රථය මාර්ගය අසල නවතා 1969 අධිවේගී ආපදා සේවය දැනුවත් කරන ලෙසයි ඒ මහතා රියදුරන්ට දැනුම් දෙන්නේ.

ආපදා සේවයේ නිළධාරින් එම ස්ථානයට පැමිණ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු රථයේ නඩත්තු කටයුතු සිදුකළ යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස කටයුතු නොකරන රියදුරන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ද ඔහු දන්වා සිටියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අදහස් පළ කළේ අද (29) උදෑසන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්.

කොට්ටාව සිට කඩවත දෙසට කොළඹ පිටත වටරවුම් මාර්ගයේ 16 වැනි කිලෝමීටර කණුව අසළ අද (29) අලුයම සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ලොරි රථ රියදුරෙකුට සහ එහි හිමිකරුට ජීවිත අහිමි වුණා.

16 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ දී ටයරයක හටගත් ආබාධයක් හේතුවෙන් මාර්ගයේ ආරක්ෂිත කලාපයේ නවතා එහි පිළිසකර කිරීම් සිදුකළ ලොරියක පසුපසින් පැමිණි තවත් ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

මෙය අනතුර හේතුවෙන් පසුපසින් පැමිණ ලොරි රථයේ රියදුරා ඉදිරිපස වාමුවාව කඩාගෙන අධිවේගී මාර්ගයට වැටී ඇති අතර ඔහු එම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහුගේ වම් පසින් ගමන්ගත් ලොරි රථයේ හිමිකරු මේ අනතුර හේතුවෙන් ලොරියේ සිර වී ඇති අතර සුළු වේලාවකින් හටගත් ගින්න හේතුවෙන් ඔහු පිළිස්සී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නවතා තිබූ ලොරියේ රියදුරු සහ සහායකයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිවේගී මාර්ග නීති රීති නිසියාකාරව පිළිනොපැදීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසා සිටියේ.

මේ අතර රිය අනතුරු හේතුවෙන් ඊයේ (28) දිනයේදී පමණක් පුද්ගලයන් 15 දෙනෙකු මරණයට පත්ව ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

ඒ අතරින් කිහිප දෙනෙකු ඊයේ (28) මියගොස් ඇත්තේ මීට පෙර දිනවලදී සිදුවූ අනතුරු හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටියදීයි.

එමෙන්ම ඊයේ (28) දිනය තුල පමණක් සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 9 දෙනෙකු මියගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

***************************************

දිවයිනේ ගතවුන පැය 24 තුළ සිදු වූ මාරක රිය අනතුරු

(29.01.2022 – 10:02 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර පොලිස් වසමේ, රත්නපුර කොළඹ මාර්ගයේ රත්නපුර නගරයේ දී, රත්නපුර සිට කොළඹ දෙසට ධාවනය වූ ත්‍රී රෝද රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (28) උදෑසන සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ පදික පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවටයි, වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 81 ක රත්නපුර පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර, තිරෝද රථ රියදුරුගේ අපරික්ෂාකාරි හා නොසැලිකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බවට පොලීසිය පවසනවා.

අනතුර සමබන්ධව රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇති.

එමෙන්ම, ඊයේ (28) උදෑසන කිරිදිවැල පොලිස් වසමේ, මණ්ඩාවල රදාවාන මාර්ගයේදී මණ්ඩවාල දෙස සිට රදාවන දෙසට ධාවනය කළ යතුරුපැදියක් එම දිශාවට ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යාමේදී ටිපර් රථයේ ගැටී අනතුරුව විරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරු පැදියක් ටිපර් රථයේම ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදිකරුවන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු රදාවාන රෝහලට සහ අනෙක් යතුරු පැදිකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී රදාවන රෝහලට ඇතුළත් කළ යතුරු පැදිකරු මියගොස් ඇති බවටයි, පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මරණකරු වයස අවුරුදු 59 ක මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත් අඩංගුවට ගෙන ඇති අතර, ටිපර් රථ රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලිකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව බවට, පොලිස් වාර්තා වල සදහන්.

එමෙන්ම, සන්දිවේල් පොලිස් වසමේ මඩකලපුව ත්‍රීකුණාමලය මාර්ගයේ කාලි කෝවිලට හැරෙන් හන්දියේ වාල්ච්චේන දෙසට ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් එම දිශාවට ගමන් කළ පාපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු මාවඩිවෙම්බු රෝහලට ඇතුළති කිරීමේදී මිය ගිය බවටයි, පොලීසිය පවසන්නේ.

මරණකරු වයස අවුරුදු 76 ක මාවඩිවෙම්බු 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

එමෙන්ම, දෙනියාය පොලිස් වසමේ, දෙනියාය ඉහළගම මාර්ගයේ, ඉහලගම ප්‍රදේශයේ දී, දෙනියාය සිට ඉහළගමට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ ගමන්ගත් පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල් ලැබූ පදික පුදගලයා හා යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී පදික පුද්ගලයා මියගොස් ඇති බවටයි, වාර්තා වාන්නේ.

මරණකරු වයස අවුරුදු 65 ක ඉහළගම දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *