අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක්

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක්

*********************************************

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක්

(28.01.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

අද (28) රාත්‍රී කාලයේ දී විදුලිජනන පද්ධතියේ මෙගාවොට් 20 ක පමණ හිඟතාවයක් ඇති වියහැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ හේතුවෙන් පස්වරු 06:30 ත් රාත්‍රි 08:30 ත් අතර, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

උපරිම විදුලි ඉල්ලුමක් පවතින අවස්ථාවන්හි දී මේ දිනවල විදුලි ඉල්ලුම මෙගාවොට් 2800 ක් පමණ වන අතර, දැනට කප්පාදුවකින් තොරව එය සපුරාලනු ලබන්නේ ජල විදුලිය මෙන්ම තාප බලාගාර සියල්ලෙහිම එකතුවෙන්.

කෙසේ වෙතත්, කැළණිතිස්ස බලාගාර දෙකට (2) යාබදව පවතින මෙගාවොට් 162 ක ධාරිතාවයෙන් යුත් සෝජිස්ට් බලාගාරය අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා ඊයේ (27) නතර කෙරුණා.

මෙම තත්ත්වයත් සමඟයි විදුලි ජනනයේ සමබරතාවය ගිලිහි යාමේ අවදානමක් මතුව ඇත්තේ.

මේ අතර, තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් තරම් පවතින නිසා මේ මස 31 වනදා දක්වා විදුලි විසන්ධි කිරිමට අවසර ලබා නොදෙන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව ඊයේ (27) නිවේදනය කළා.

ඒ අනුව එදිනට පවතින තත්ත්වය සමාලෝචනය කර විදුලිය විසන්ධි කිරිමට අවසර ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව ප්‍රකාශයක් ලබා දිමට නියමිත යි ෴

***************************************

2021 වසරේ අපනයන ආදායම ඉහළට

(28.01.2022 – 14:45 +0530 – hirunews.lk/sinhala)

2020 වසරට සාපේක්ෂව 2021 වසරේ මෙරට අපනයන ආදායම 23% කින් ඉහළ ගොස් තිබෙනවා.

2020 අපනයන ආදායම ඩොලර් බිලියන 12.3 ක් ලෙස පැවති අපනයන ආදායම, 2021 වසරේ එය ඩොලර් බිලියන 15.12 ක් ලෙසයි ඉහළ ගොස් තිබුණේ.

මේ බව නිවේදනයක් නිකුත් කරමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (28) දින ප්‍රකාශ කළා ෴

***************************************

ළිං කටෙන් ගොඩඑන හැටි උගන්වන අනුර

(28.01.2022 – 14:45 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව රට තුළ මුදල් අච්චු ගැසීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අවිස්සාවේල්ල නගර ශාලාවේ පැවති ව්‍යාපාරික හමුවකට එක්වෙමින්.

රටේ සම්පත් විනාශ කරමින්, මෙවන් ආර්ථික අර්බුදයක් ඇති කිරීමට වගකිව යුත්තේ මේ රට පාලනය කළ පාලකයින් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් රට හරියට පාලනය කළ හැකි නව රජයක අවශ්‍යතාවක් ඇති බව කියා සිටි මන්ත්‍රීවරයා පැවසුවේ, ළිඳෙන් ගොඩ ඒමට නම් ළිං කටෙන් ම එළියට පැමිණිය යුතු බවයි.

***************************************

තවත් ණයක් ගන්න බැසිල් සැරසෙයි

(28.01.2022 – 19:37 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට රජය සාකච්ඡා කරමින් සිටින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ලන්ඩන්හි ‘ෆයිනෑන්ෂල් ටයිම්ස්’ සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත මුදල් අමාත්‍ය බැසිල් රාපපක්ෂ සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

ශ්‍රී ලංකාවට මේ වසරේ ඩොලර් බිලියන 6.9 ක ණය ගෙවීම ඉතා දුෂ්කර බවත් ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයාගැනීමට සිදුවන බවයි මුදල් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබුණේ.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට යළි සාකච්ඡා කරන බව ද මුදල් අමාත්‍යවරයා ප්‍රකාශකර තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාව මේ වසරේ ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලට අදාළ ණය සම්බන්ධයෙන් සහනයක් ලබාගැනීම සඳහා එම බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් සිටින බවයි.

සියලු පාර්ශ්ව සමඟ සියලු විකල්ප සඳහා උත්සාහ දරන බව සඳහන් කර ඇති මුදල් අමාත්‍යවරයා, ණය පැහැරහැරීමෙන් වැළකී ආර්ථික අර්බුදය සමනය කිරීමට වෑයම් කරන බවද පෙන්වා දී තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට ද රජය අදහස් කරන බවත් එම සාකච්ඡා ඉදිරියට යමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබූ තවත් විශේෂ කරුණක්.

බැඳුම්කර හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන සාකච්ඡා කරන්නේදැයි නැඟූ පැනයට බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත්තේ, එවැනි දෙයක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවන බවයි.

ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සඳහන් කරන්නේ බෙලීස්, සැම්බියාව සහ ඉක්වදෝරය වැනි රටවලට පසු ශ්‍රී ලංකාව ද වසංගත තත්ත්වයෙන් පසු සිය ස්වෛරී බැඳුම්කර ණය පැහැර හරින රටක් බවට පත්වනු ඇතැයි බොහෝ ආයෝජකයින් මත පළ කරන බවයි.

චීනයෙන් සහ ඉන්දියාවෙන් අමතර ආධාර ලබාගෙන සංචාරක හා අපනයන ක්ෂේත්‍ර හරහා විදේශ මුදල් සංචිත ඉහළ නැංවීමෙන් රටට මෙම ඉරණම වළක්වා ගත හැකි යැයි ශ්‍රී ලංකා බලධාරීන් ද අවධාරණය කරන බව එම පුවත්පත පවසනවා.

ශ්‍රී ලංකාවට මේ වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 6.9 ක ණය ගෙවීම ඉතා දුෂ්කර තත්ත්වයක් බව තමන් දන්නේ යැයි සඳහන් කරන මුදල් අමාත්‍යවරයා ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන ඇතුළු සියල්ල සඳහා මුදල් සොයා ගැනීමට සිදුවන බවත් සඳහන් කර තිබුණා.

***************************************

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට

(28.01.2022 – 19:40 +0530 – hirunews.lk/sinhala)

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන නිලධාරීන් විසින්.

පළමු වසරට ළමයෙකු ඇතුළත් කරගැනීම සඳහා මුදලක් අල්ලසක් වශයෙන් ලබාගැනීමට යෑමේදී සැකකාර විදුහල්පතිවරයාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

අදාළ සැකකරු පානදුර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු බවද වාර්තා වනවා.

++++++++

සජිත් ප්‍රේමදාසගෙන් අභියෝගයක්

(28.01.2022 – 20:47 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණයට ඇඳුම් පැළඳුම් පවා සූදානම් කරමින් සිටින ඇතැමුන්ට තමන් සමඟ ජනතා සේවය උදෙසා තරග වදින්නට පැමිණෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ දඹුල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින්.

***************************************

දේවස්ථාන බෝම්බය ඇටවූ පුද්ගලයා තවත් බෝම්බ තියලා – විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්

(28.01.2022 – 22:43 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බය තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා මීට පෙර නාරාහේන්පිට පෞද්ගලික රෝහලේ සහ බෙල්ලන්විල විහාරස්ථානයේ බොම්බ තැබීමේ සිද්ධිවලටත් සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.

අද (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පැවසුවේ අදාළ වෛද්‍යවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳ හෙළිව ඇති බවයි.

***************************************

නිදහස් චතුරස්‍රය අවට අද (29) සිට විශේෂ රථ වාහන සැලැස්මක්

(29.01.2022 – 09:07 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි 4 වනදා පැවැත්වෙන නිදහස් දින උත්සවයේ පෙරහුරුව හේතුවෙන් අද (29) සිට ලබන 03 වනදා දක්වා නිදහස් චතුරස්‍රය ආශ්‍රිත මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවනු ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (29) සිට දිනපතා උදෑසන 7 සිට පස්වරු 2 දක්වා මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

එමෙන්ම නිදහස් උළෙල පැවැත්වෙන ලබන 04 වනදා කොළඹ නගරයේ සහ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවද පොලීසිය සඳහන් කළා.

ඒ අනුව කොළඹට ඇතුලු වීම සහ පිටවීම සඳහාද විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

***************************************

අමුද්‍රව්‍ය හිඟවීමෙන් මැටි වළං නිෂ්පාදකයින් ගැටලුවක

(29.01.2022 – 09:37 +0530 – hirunews.lk/sinhala)

අමුද්‍රව්‍ය සපයා ගැනීම ඇතුලු ගැටලු කිහිපයක් නිසා තමන් දුෂ්කරතාවට පත්ව සිටින බව මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැටි වළං නිෂ්පාදකයින් පිරිසක් පවසනවා.

ගර්තලාවෙල, බෙලිගල්ල, අරාව වත්ත ආදී ගම්මාන වල මැටි වළං කර්මාන්තකරුවන් හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ මෙම ගැටලු සඳහා තමන් කඩිනම් විසඳුම් අපෙක්ෂා කරන බවයි.

රජයෙන් හෝ වෙන යම් වගකිව යුතු කිසිදු බලධාරියෙකු තම කර්මාන්තය මේ වනවිට මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බව ද ඔවුන් චෝදනා කරනවා ෴

***************************************

මාකුඹුරේ සිට ප්‍රදේශ 24 කට නව සුඛෝපභෝගී බස් සේවාවක්

(29.01.2022 – 09:40 +0530 – hirunews.lk/sinhala)

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දුරස්ථ ප්‍රදේශ 24 කට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව සුඛෝපභෝගී ප්‍රවාහන සේවාව පෙබරවාරි පළමු වනදා (01) සිට ආරම්භ කෙරුණා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී බස් රථ 72 ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර මාස අටක (08) කාලයක් පුරා තාවකාලිකව අවලංගු කර තිබූ කොළඹ – කොටුව – පොළොන්නරුව, පුලතිසි නගරාන්තර දුම්රිය ඊයේ (28) සිට යළි ධාවනයට එක් කර තිබෙනවා ෴

***************************************

පානදුර වෙඩි තැබීමේ සිදුවීමේ අගමුල එළියට

(29.01.2022 – 09:42 +0530 – hirunews.lk/sinhala)

පානදුර මූලික රෝහලේ පිවිසුමේදී ගිලන් රථයකට වෙඩි තැබීම සඳහා පැමිණි පුද්ගලයන්ට නවාතැන් පහසුකම් ලබා දුන් පානදුර – හිරණ ප්‍රදේශයේ පදිංවි අයෙකුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිට රෝගී වූ ගැබිණි කාන්තාවක් රැගෙන ආ ගිලන් රථයක් පානදුර මූලික රෝහලට ඇතුලු කරන අවස්ථාවේදී, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයකු විසින් ගිලන් රථ රියදුරු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුනේ පෙරේදා (27) දහවල් කාලයේදියි.

කෙසේවෙතත් උණ්ඩය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඉන් කිසිදු හානියක් සිදු වුණේ නැහැ.

වෙඩි තැබීම සඳහා යතුරු පැදි 2 කින් පුද්ගලයන් සිව් (4) දෙනෙකු පැමිණ තිබූ බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

පානදුර පාසලක හොර මගඩියක්

(29.01.2022 – 09:55 +0530 – hirunews.lk/sinhala)

පළමු ශ්‍රේණියට සිසුවෙකු ඇතුළත් කිරීමට රුපියල් 150,000 ක මුදලක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පානදුර ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයා ලබන මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු ඊයේ (28) පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාළ දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා සැකකාර විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ දෙකක (2,00,000) මුදලක් ඉල්ලා ඇති අතර, පසුව එය ලක්ෂ එකහමාරකට (1,50,000) අඩුකරගෙන තිබෙනවා.

පසුව එම මුදල දරුවාගේ පියා විසින් ඊයේ (28) දිනයේ දී සැකකාර විදුහල්පතිවරයාට ලබාදීමට යාමේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක සඳහන් කළේ.

***************************************

මිල කළ නො හැකි ගජමුතු සොයාගත් STF මෙහෙයුම

(29.01.2022 – 10:53 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය වව්නතිව් කඳවුරේ නිලධාරීන්ට, නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව ඊයේ (28) පස්වරුවේ වැටලීමක් සිදු කර තිබෙනවා.

ඒ කරදියනාරු පොලිස් වසමේ මුණවර – පෙරියපිල්ලුමලේ ප්‍රදේශයේ දී යි.

එහිදී මිල ගණනක් තක්සේරු කළ නොහැකි ගජමුතු දෙකක් (2) ළඟ තබාගැනීමේ චෝදනාව මත පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනුණා.

මෙහිදී බලපත්‍ර රහිතව මෙම සැකකරුවන් විසින් ගජමුතු යතුරුපැදියකින් ගෙන යමින් සිටියදියි අත්අඩංගුවට ගැනුණේ.

සමගිපුර – මහඔය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 29 ත් 52 අතර පසුවන්නන්.

සිදු කළ වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, රක්ෂිත තුළ වෙසෙන ඇතුන් ඝාතනය කර ලබාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මඩකලපුව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *