ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව

*********************************************

ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව

(28.01.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනාවක් පුරා ගුවන් හමුදාව සතු සියලු ගුවන් යානාවල සේවා සහ නඩත්තු කටයුතු සිදු කෙරුණේ අදාළ ගුවන්යානයේ නිජ භූමියේදී යි.

ගුවන් යානා අලුත්වැඩියා පක්ෂාංගය ඒ පරණ කතාවට නැවතීමේ තිත තබා ගුවන් හමුදා ඉතිහාසය අලුතෙන් ලියමින් සිටිනවා.

මෙම ඒකකය රටට ඩොලර් මිලියන ගණන් ඉතිරි කර දෙනවා සේම රටේ දූ දරුවන්ගේ හැකියාවන් ලොවට විදහා ඔප මට්ටම් කර ගන්නටත් කදිම දොරටුවක්.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා අලුත්වැඩියා පක්ෂාංගය ස්ථාපිත කෙරුණේ 2016 වසරේදී.

ඒ චීනයේ නිෂ්පාදිත F7 හා K8 ප්‍රහාරක ගුවන් යානා, Y12 ප්‍රවාහන ගුවන් යානා සහ PT6 පුහුණු ගුවන් යානා අලුත්වැඩියා කිරීම සඳහා යි.

ගුවන් යානයේ තීන්ත ආලේපනය ද සම්පූර්ණයෙන් ඉවත් කර ඇණෙන් ඇණය ගලවා සිදු කෙරෙන මෙම සේවා කාර්ය අතිශයින් බැරෑරුම් වගකීම් සහිත රාජකාරියක් වන්නේ එක ඇණයක මුරිච්චියක වෙනසක් අවසානයේ බරපතළ ඛේදවාචකයකින් නිමා විය හැකි වීම නිසායි.

ගුවන් හමුදාව සතු සෙසු යානාවල අමතර කොටස් ද මෙම වැඩබිම් හිදී අලුත්වැඩියා කිරීමට හැකිවීම අමතර වාසියක්.

මෙලෙස ගුවන් යානාවේ සියලු කොටස් නිශ්චිත පරික්ෂාවන්ට ලක් කිරීමෙන් අනතුරුව යානාව නැවත සවිකොට ඒ සඳහා නව පියාසර කාලයක් ලබාදීමෙන් මෙම කාර්යය අවසන් වනවා.

F7 වැනි ප්‍රහාරක යානයක් සැලකීමේදී මෙම සම්පූර්ණ කාර්ය පටිපාටිය සඳහා ගත වන කාලය මාස 8 ක්.

මෙම ක්‍රියාදාමය තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ ද ගුවන්යනා අලුත්වැඩියා පක්ෂාංගය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

එම පර්යේෂණයන්හි ප්‍රගතිය අනුව මෙරට ගුවන් තාක්ෂණ විප්ලවයක් පිළිබඳව අපට සුබ සිහින දැකිය හැකියි.

ඒ අනුව ලක‘ඹර රකින විරුවන් හෙට දවසේදී තවත් තාක්ෂණික ජයග්‍රහණ රැසක් අප රටට අත්පත් කර දෙනු නො අනුමානයි.

***************************************

වල් බිහි වුණු මහජන සම්පත – දෑස් විවර නොවුණු බලධාරින්

(28.01.2022 – 15:16 +0530 – hirunews.lk/sinhala)

විදේශ විනිමය ද උපයමින් විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමේ හැකියාව තිබිය දී විනාශවෙමින් පවතින කර්මාන්ත ශාලාවක් පිළිබඳවයි, අද (28) ‘රතු මිනිත්තුවේ’ අවධානය.

මේ මහජන මුදලින් ඉදිකර වල් වැදීමට ඉඩහැර ඇති තවත් එක් රාජ්‍ය සම්පතක්.

මධ්‍යම පළාතේ විශාලතම පේෂ කර්මාන්ත ශාලාව වන මෙය පිහිටා ඇත්තේ මහනුවර – ගලගෙදර – නියංගොඩ ප්‍රදේශයේයි.

1970 වසරේදී එවක සමගි පෙරමුණු රජය විසින් මෙම කර්මාන්ත ශාලාව පිහිටුවා ඇත්තේ දේශීය කර්මාන්ත නගා සිටුවීමේ අරමුණින්.

ඉන් බිහි කළ නිමැවුම් රටවල් කිහිපයකටම අපනයනද කර තිබුණා.

දශක කිහිපයකට පෙර රටට ඩොලර් ගෙනදුන් මෙම කර්මාන්තශාලව අද වනවිට වල් වැදී තිබීම කණගාටුවට කරුණක්.

200 දෙනෙකුට පමණ රැකියා අවස්ථා ලබා දීමට හැකියාව ඇති මෙම කර්මාන්ත ශාලාව පිළිබඳව ප්‍රදේශයේ ජනතාව අවස්ථා කිහිපයකදී බලධාරින් දැනුවත් කළත් ඉන් ඵලක් වී නැහැ.

දේශීය නිෂ්පාදකයන් රැකගන්නා බවට පුරසාරම් දොඩන සමයක මේ සම්පත් පොලවට පස්වන්නේ මහජන මුදල් රැකගැනීමට දේශපාලඥයින් තුළ ඇති උනන්දුව මොනවට පසක් කරමින්.

දේශීය නිෂ්පාදකයින් සවිමත් කරමින් අපනයන ආදායම ද නංවා ලිය හැකි මෙම සම්පත විනාශ වී යාමට ඉඩ නොදී රැක ගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

අභාවප්‍රාප්ත නීලා වික්‍රමසිංහගේ දේහය අද (28) පස්වරුවේ නිවසට

(28.01.2022 – 15:17 +0530 – hirunews.lk/sinhala)

මිලානෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත ප්‍රවීන ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය අද (28) පස්වරුවේ පැපිලියානේ පිහිටි ඇගේ නිවස වෙත රැගෙන ඒමට නියමිතයි.

ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති විශාරද ජානක වික්‍රමසිංහ කියා සිටියේ අද (28) රාත්‍රී 7 ට පමණ දේහය නිවසට රැගෙන එනු ඇති බවයි.

හෙට (29) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා.

***************************************

කුලී ත්‍රී රෝද රථවලට මනු සවි කිරීමේ වැඩසටහන කල් යයි

(28.01.2022 – 15:19 +0530 – hirunews.lk/sinhala)

ලබන මස (පෙබරවාරි) පලමුවැනිදා (01) සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ කූලී ත්‍රීරෝද රථ සදහා මනු සවීකිරීමේ වැඩපිලිවෙල දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් මත මෙම වැඩසටහන නැවත දැනුම්දෙන තෙක් කල් දමා ඇති බවයි.

මෙම වැඩසටහනේදී අනුමැති ලබාගත් වෙළද ආයතනවලට පමණක් කුළි රථවලට මනු විකීණිමටත් සවි කිරිමටත් අවසර ලබාදී ඇතැයි එහි අධ්‍යක්ෂක එස්.එන්. අකුරන්තිලක ප්‍රකාශ කළා.

නිෂ්පාදනය කිරීම හෝ විකිණීමට පෙර වෙළද කටයුතු සදහා භාවිතයට සුදුසු බව පරීක්ෂා කරන ලද මාදිලි සදහා අනුමැතිය දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතුයි.

එසේම, අනුමත කුලී රථ මනු සඳහා හඳුනා ගැනීමේ ස්ටිකරයක් ඇලවීමට ද අපේක්ෂා කරන බව මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම වැඩසටහන තුලදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් කුලී රථ මනු පරීක්ෂා කිරීම සඳහා කුලී රථ මනු සේවා මධ්‍යස්ථාන පිහිටුවීමටත් අනුමත කුලී රථ මනු හඳුනාගැනීමේ ස්ටිකරයක් ඇලවීමටත් සැලසුම් කර තිබෙනවා.

එම වැඩපිළිවෙලහි මූලික අදියර බස්නාහිර පළාතෙනුයි ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ ෴

***************************************

බෞද්ධ මහා සම්මේලනයේ මහා සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් වාරණ නියෝගයක්

(28.01.2022 – 15:35 +0530 – hirunews.lk/sinhala)

හෙට පැවැත්වීමට නියමිත සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 95 වන මහා සභා රැස්වීම ලබන මස 10 වනදා දක්වා පැවැත්වීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (28) දින වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ විශේෂඥ වෛද්‍ය ආචාර්ය අශෝක ඉන්ද්‍රජිත් කමලදාස සහ ජනක බෝධිනන්ද ගුණතිලක ඇතුළු 4 දෙනෙකු ගොනුකර තිබූ පෙත්සමක් දිසා විනිසුරු අරුණ අලුත්ගේ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ලබන මස 10 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපති ජගත් සුමතිපාල ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි ද නිකුත් කෙරුණා ෴

***************************************

නීතිඥ ඉජාස් හිස්බුල්ලාට ඇප ලබාදීමට පුත්තලම මහාධිකරණ ප්‍රතික්ෂේප කරයි

(28.01.2022 – 15:55 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට ඇප ලබාදීම පුත්තලම මහාධිකරණය අද (28) ප්‍රතික්ෂේප කළා.

නීතිඥ හිජාස් හිස්බුල්ලා 2020 අප්‍රේල් මස 14 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වීම සහ පුත්තලමේ මද්‍රසා පාසලක් තුළ අන්තවාදී ඉගැන්වීම් සිදුකළ බවට චෝදනා කරමින්.

අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ මාස 10 ක් පමණ රඳවා සිට පසුගිය වසරේ පෙබරවාරි 18 වැනිදා නීතිපතිවරයා, පොලිස්පතිවරයා වෙත කළ දැනුම්දීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

එදින රක්ෂිත බන්ධනාගාර කෙරුණු නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධ නඩු කටයුතු මේ දක්වා ක්‍රියාත්මක වුණේ පුත්තලම මහාධිකරණයේයි.

මේ අතර, හිජාස් හිස්බුල්ල ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සමක් පසුගිය 20 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ හිජාස් හිස්බුල්ලාගේ නඩු විභාගයෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් නීතිපතිවරයා ඊට විරුද්ධ නොවීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව නඩුව අද (28) පුත්තලම මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නීතිඥ හිජාස් හිස්බුල්ලා සම්බන්ධයෙන් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණු අතර එහිදී විනිසුරුවරිය දැනුම් දුන්නේ එම තීන්දුව ලබාදීමට තමාට බලතල නොමැති බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව එම ඇප ඉල්ලීම ලබන මස 09 වැනිදා අභියාචනාධිකරණයේදී මීට අදාළව ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම කැඳවන අවස්ථාවේ ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය විත්තිකරුට දැනුම් දුන්නා.

මේ අතර, විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පෙරේදා (26) පැවති රාජ්‍යතාන්ත්‍රික හමුවක් අතරතුරදී ප්‍රකාශ කළේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ජාත්‍යන්තර සම්මතයන්ට සහ වඩාත් හොඳම භාවිතයන්ට අනුකූලව සකස් කිරීමේ අරමුණින් එය සංශෝධනය කරන බවයි.

එමෙන්ම හිජාස් හිස්බුල්ලාට ඇප ලබාදීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇති බවද අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කර තිබුණා.

***************************************

උසස් පෙළ විභාගය සති 20 කින් කල් දමන්න නාගානන්ද උසාවි යයි

(28.01.2022 – 16:07 +0530 – hirunews.lk/sinhala)

ලබන මස (පෙබරවාරි) 07 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගයේ කාලසටහන ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (28) අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කෙරුණා.

ඒ විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු විසින්.

එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ කොවිඩ් වසංගතය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල පාඩුවක් සිදු වූ බවයි.

විෂය නිර්දේශ හා නිසි පරිදි සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බව ද ඔහු පෙන්වා දුන්නා.

මේ නිසා උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20 ක කාලයක් ලබාදිය යුතු බව ජාතික අධ්‍යාපන ආයතනය රජය වෙත නිර්දේශ කර තිබුණ ද එය අධ්‍යාපන අමාත්‍යාංශය සහ එහි ලේකම්වරයා ප්‍රතික්ෂේප කර ඇති බව නාගානන්ද කොඩිතුවක්කු පෙත්සමින් පෙන්වා දුන්නා.

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කර ඇති කාල සටහන බල රහිත කර විභාගය පැවැත්වීමට පෙර සිසුන්ට සති 20 ක කාලයක් ලබාදීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.

***************************************

හොරෙන් ගෙනා රතු අල සහ අර්තාපල් තොගයට රේගුවේ දී වැඩ වරදියි

(28.01.2022 – 16:52 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සිට නීතිවිරෝධී ලෙස ආනයනය කළ ‘රතු අල’ හෙවත් ‘බීට් රූට්’ තොගයක් සහ අර්තාපල් තොගයක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා.

අද (28) පස්වරුවේ රේගු නිලධාරින් විසින් සිදු කරන ලද පරීක්ෂාවකදි යි මෙම නීතිවිරෝධී අර්තාපල් සහ බීට් රූට් තොගය සොයා ගැනුණේ.

ඒ අනුව මෙරටට ආනයනය කර තිබූ බීට්රූට් සහ අර්තාපල් අඩංගු ශීත කළ බහාලුම් 02 ක් භාරයට ගැනුණු අතර, ඒවා ටොන් 16 ක් පමණ බරකින් යුක්ත බවටයි වාර්තා වන්නේ.

මෙම නීතිවිරෝධී බීට් රූට් සහ අර්තාපල් තොගයේ මුළු වටිනාකම රුපියල් මිලියන 03 කට අධික බවයි ශ්‍රී ලංකා රේගු මූලස්ථානය පැවසුවේ.

***************************************

නිදහස් දිනයේ පෙරහුරු වෙනුවෙන් කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්

(28.01.2022 – 17:10 +0530 – hirunews.lk/sinhala)

ජාතික නිදහස් උත්සවයේ පෙරහුරුව හේතුවෙන් හෙට (29) දින සිට දින කිහිපයක් කොළඹ නිදහස් චතුරස්‍රය අවට සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, කොළඹ නිදහස් චතුරස්‍රය අවට හෙට (29) සිට පෙබරවාරි 03 වැනිදා දක්වා උදෑසන 07 සිට සවස 02 දක්වා එකී වැඩසටහන සිදු කෙරෙනු ඇති.

මේ නිසා නිසා නිදහස් චතුරස්‍රය අවට මාර්ගයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙන බවයි, පොලීසිය සඳහන් කළේ.

***************************************

දුර්ලභ ඝණයේ තාරකා ඉබ්බන් දෙදෙනෙකු (2) සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(28.01.2022 – 18:59 +0530 – hirunews.lk/sinhala)

පානදුර බුද්ධි කණ්ඩයට ලද තොරතුරක් අනුව අත්තිඩිය වනජීවී කාර්‍යාලයේ නිලදාරීන් සමග එක්ව බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ ‘තිලක’, කොලමැදිරිය දූව පාර යන ලිපිනයේ නීතී විරෝධී ලෙස දැඩි කල දුර්ලභ ඝණයේ තාරකා ඉබ්බන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික ඉංජිනේරුවරයෙක්. එම තාරකා ඉබ්බන් දෙදෙනා (2) වනජීවි නිලදාරී භාරයට ගත් අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *