සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස්

සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස්

*********************************************

සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස්

(28.01.2022 – 11:01 +0530 – hirunews.lk/sinhala)

සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩු 3 කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තුන්දෙනෙකු (3) නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවේ අද (28) කැඳවූ අවස්ථාවේදි යි.

එහි දී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය කරුණු දක්වමින් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනාගේම (3) නිසි විධානයකින් පසුව නැවත නඩු පැවරීමේ අයිතිය රඳවා තබා ගනිමින් එම සැකකරුවන් නිදහස් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සැකකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් තුන්දෙනාගේම (3) ලිඛිත අවසරය නොමැතිව වන බැවින් එලෙස ඉල්ලා සිටින බවයි ඇය සඳහන් කළේ.

ඒ අනුවයි එම ඉල්ලීමට අවසර ලබාදෙමින් සැකකරුවන් නිදහස් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ සතොස සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතු සඳහා යොදාගැනීමෙන් රජයට රුපියල් කෝටි හතරක (4,00,00,000) පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම මෙම නඩු පවරා තිබුණේ ෴

++++++++++

බහින්බස්වීමක් දුරදිග යෑමෙන් කාන්තාවකට පිරිසක් පහරදෙයි

(28.01.2022 – 20:34 +0530 – hirunews.lk/sinhala)

වෙළෙඳසැළක ඇතිවූ ආරවුලක් මත පිරිමින් දෙදෙනෙකුට (2) සහ කාන්තාවකට (1) පිරිසක් පැමිණ පහර දී තිබෙනවා.

ඒ ඇහැලියගොඩ එල්ලාවල ප්‍රදේශයේ.

ඊයේ (27) රාත්‍රියේ එම ප්‍රහාරය එල්ලවී ඇති අතර වෙළෙඳසැළේ සවිකර තිබූ CCTV කැමරාවක ප්‍රහාරය පටිගත වී තිබුනා.

වෙළෙඳසැළේ හිමිකරු සඳහන් කළේ දුම්වැටි ණයට ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් එම පුද්ගලයා පිරිසක් සමග පැමිණ මෙලෙස පහර දුන් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා.

***************************************

කටාරයේ දී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට ලක්වෙයි

(28.01.2022 – 10:09 +0530 – hirunews.lk/sinhala)

දෝහා කටාර් හි අල් – වාබ් ප්‍රදේශයේ නිවහන් සංකීර්ණයක් වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ යොවුන් යුවළක් වැළැක්වූ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙකු වෙඩි පහරට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බදාදා රාත්‍රියේ තවත් තරුණියක සමඟ වාහනයකින් පැමිණි කටාර තරුණයෙකු මෙම නිවහන් සංකීර්ණයට ඇතුලුවීමට උත්සාහ කර ඇති අතර, ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියා ඔවුන්ට ඒ සඳහා අවසර ලබාදී නැහැ.

ඒ, නිසි හැඳුනුම් පත්‍රයක් ඉදිරිපත් නො කිරීම හේතුවෙන්.

එහිදී එම තරුණයා ආරක්ෂක නිලධාරියා වෙත වෙඩි තබා පලාගොස් තිබෙනවා.

ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තවත් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

පසුව එම සැකකාර තරුණයා අත්අඩංගුවට ගනු ලැබූ බවයි දෝහා ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ ෴

***************************************

අතුරු සිදුරු නැතිව පිරුණු – ගුරු බලමුළු නැගුණු අයුරු

(28.01.2022 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගුරු සේවා සංගමයේ බදුල්ල දිසා සභාව ඊයේ (27) අභිමානවත් අයුරින් පැවැත්වුණා.

ඒ බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී යි.

1997 වසරේ ලංකා ගුරු සේවා සංගමයේ ආරම්භයේ දී බදුල්ල දිසා සභාවේ ආරම්භක ලේකම්වරයා ලෙස කටයුතු කළේ, ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩලක සභික සමන්ත විද්‍යාරත්න යි.

බණ්ඩාරවෙල මහජන පුස්තකාලයේ කුඩා කාමරයක 18 දෙනෙකුගෙන් යුතු ඉතා සුළු පිරිසකගෙන් ඇරඹූ මෙම සංගමයට සුබ පැතීමට තමන් එක්වූයේ, ඉමහත් සතුටින් බවයි මෙම උත්සව අවස්ථාවට එක්වෙමින් හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පැවසුවේ.

එමෙන්ම මේ වනවිට මෑත ඉතිහාසයේ බලවත්ම කම්කරු සටනකට නායකත්වය සැපයූ මහින්ද ජයසිංහ ද එක්ව සිටීම සුවිශේෂී කොට සැලකූ ඔහු කියා සිටියේ, පැමිණ සිටි බොහෝ ගුරු විදුහල්පතිවරුන් හෙට දවසේ යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දරුවන්ට ශිල්ප සතර ලබාදීමට අමතරව සමාජය ඥානණය කරමින් නායකත්වය සැපයීමට ද සිය එකඟතාව පළ කළා ෴

***************************************

වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600 ක් පරිසරයට මුදාහැරේ

(28.01.2022 – 11:09 +0530 – hirunews.lk/sinhala)

වසරකදී ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත හැඳි මිලියන 600 ක ප්‍රමාණයක් මෙරට පරිසරයට බැහැර කරන බව, පරිසර අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව යෝගට්, අයිස්ක්‍රීම් වැනි ආහාර ගැනීමට පාරිභෝගිකයින් වෙත ලබාදෙන ප්ලාස්ටික් හැඳි සඳහා විකල්ප නිෂ්පාදන හඳුන්වාදීමට කටයුතු කරන බවයි, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

සැෂේ පැකට්, දිරාපත් නොවන ආහාර දවටන, ප්ලාස්ටික් හැඳි, සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය සකස් කිරීම සඳහා යොදාගන්නා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් ඉවත් කිරීමට පරිසර අමාත්‍යාංශය මීට පෙර පියවර ගත්තා.

ඊට විකල්පයක් ලෙස දේශීයව නිර්මාණය කර ගත හැකි ද්‍රව්‍ය ප්‍රවර්ධනය සඳහා වේවැල්, හණ ආදි ශාක වර්ග යළි වගා කිරීම පිළිබඳවද පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා ෴

***************************************

ආණ්ඩුවේ ලොකු ලොක්කන්ගෙන් ගුවන් හමුදාවට කෝටි ගාණක පොල්ලක්

(28.01.2022 – 11:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර 15 ක කාලයක් තුළ රජයේ අමාත්‍යංශය සහ රාජ්‍ය ආයතන දහයක් (10) ඇතුළු පෞද්ගලික සමාගම් කිහිපයක් ද එකතුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් කෝටි එකහමාරකට (1,50,00,000) ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වනවා.

මේ අතරින් 2003 – 2013 අතර වසර 10 ක කාලය තුළ ගුවන් හමුදාවේ ගුවන් යානා සහ හෙලිකොප්ටර යානා භාවිතා කළ රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් ඇතුළු නිලධාරීන් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් ලක්ෂ 60 කට වැඩි මුදලක් ගෙවිය යුතු ඇති බවට යි වාර්තා වන්නේ.

මෙම තොරතුරු හෙළි වී ඇත්තේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිණුම් කටයුතු සම්බන්ධයෙන් රජයේ විගණන දෙපාර්තමේන්තුව සිදු කළ විගණනයකදී යි.

එමෙන්ම 2013 – 2018 කාලසීමාවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහ ගුවන් යානා පහසුකම් භාවිතා කිරීම වෙනුවෙන් තවත් රුපියල් ලක්ෂ 60 කට වැඩි මුදලක් ගුවන් හමුදාවට අය විය යුතුව ඇති බවත් මෙම විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ‍ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවස්ථා ගණනාවක දී අදාළ ආයතන වෙත සිහිකැඳවීමේ ලිපි යොමු කර තිබුණ ද ඒ කිසිදු ලිපියකට යහපත් ප්‍රතිචාරයක් හිමි වී නැහැ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඇති බවයි .

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඒ විමර්ශනය අවසානයේ දී අයවිය යුතු හිඟ මුදල් පිළිබඳ වාර්තාවක් ද ආරක්ෂක අමාත්‍යංශය හරහා මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇති බවයි.

කෙසේ වෙතත් මේ බොහෝ අවස්ථාවල දී ගුවන් හමුදාවේ ගුවන් යානා බහුල වශයෙන්ම භාවිත කර ඇත්තේ, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යංශයේ තනතුරු දැරූ මැති ඇමැතිවරුන් විසින් වීමත් විශේෂත්වයක්.

එවන් තත්ත්වයක් යටතේ ආරක්ෂක අමාත්‍යංශය හරහා මුදල් අමාත්‍යාංශයට යොමු කෙරෙන මෙම සිහිකැඳවීමේ ලිපිවලට යහපත් ප්‍රතිචාරයක් ලැබේදැ යි සැක සහිත යි ෴

***************************************

විජයකලාගේ නඩුව ජූනි 10 දක්වා කල් යයි

(28.01.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන ජූනි 10 වන දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (28) නියෝග කළා.

ඇය සිදු කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් සිදු කළ පැමිණිල්ලක් අනුව ආරම්භ කළ විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අධිකරණයට වාර්තා කිරීමට අද (28) එම නඩුව කැඳවා තිබුණා.

විජයකලා මහේෂ්වරන් අද (28) අධිකරණය හමුවේ පෙනී සිටි නමුත් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොතිබීම හේතුවෙන් නඩුව ජූනි 10 වන දා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළේ.

2018 වසරේ යාපනය උත්සවශාලාවක පැවති වැඩසටහනක දී කළ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විමර්ශනවල උධෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කොට සැකකාරිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් උපදෙස් පතා තිබුණා ෴

***************************************

මැකෝ ගිරවාට හිමිකරුවෙක්

(28.01.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

දෙහිවල සත්වෝද්‍යානයෙන් අතුරුදන් ව සිටිය දී යළි සොයාගැනුණු නිල් කහ මැකෝ ගිරවා සත්වෝද්‍යාන නිලධාරීන් සහ පොලිසිය පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගිය බවට රත්මලාන – බොරුපන ප්‍රදේශයේ පදිංචි අයෙක් චෝදනා කරනවා.

එල්.එස්.ඩී. මෙන්ඩිස් නැමති ඔහු, හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් මේ බව සඳහන් කළේ, පසුගිය වසරේ අතුරුදන් වූ නිල් මාල ගිරවා සහ සත්වෝද්‍යානයෙන් පැනගිය බව කියන නිල් කහ මැකෝ ගිරවා යළි සත්වෝද්‍යානය වෙත ලැබී ඇති බවට වන පුවත හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කිරීමත් සමඟ යි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය දෙහිවල සත්වෝද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා අනෝමා ප්‍රියදර්ශනී ගෙන් විමසීමක් කළා.

ඇය ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ගැටලුව සම්බන්ධයෙන් විමසන ලෙස කියා සිටියා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම හා වනසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුගෙන් විමසා සිටියා.

කෙසේ වෙතත්, ඔහු ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

අදාළ සිද්ධිය පිළිබඳව අප කළ විමසීමක දී දෙහිවල පොලිසිය සඳහන් කළේ, නිල් මාල ගිරවා පසුගිය වසරේ දී අතුරුදන් ව ඇති බවට සහ සත්වෝද්‍යානයෙන් පැනගිය බව කියන නිල් කහ මැකෝ ගිරවා සම්බන්ධයෙන් තමන්ට සත්වෝද්‍යාන පාලනාධිකාරියෙන් පැමිණිලි ලැබී තිබුණු බවයි.

ඒ අනුව මීට දින කිහිපයකට පෙර නිල් කහ මැකෝ ගිරවා නිවසක සිටිය දී සොයාගැනුණු බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම නිල් මාල ගිරවා ද කළුබෝවිල ප්‍රදේශයේ නිවසක සිටිය දී සොයාගෙන ඇති අතර, එම ගිරවාට අමතරව ඔවුන් සතුව සිටි තවත් නිල් මාල ගිරවෙකු සත්වෝද්‍යානයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට නිවැසියන් කටයුතු කළ බව ද දෙහිවල පොලිසිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් සත්වෝද්‍යාන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, නිල් කහ මැකෝ ගිරවා සත්වෝද්‍යානයේ සිටි ගිරවා බවට තහවුරු වී ඇතත්, නිල් මාල ගිරවා සත්වෝද්‍යානයෙන් අතුරුදන් වූ ගිරවා බවට තහවුරු වී නො මැති බව යි ෴

***************************************

අපනයනකරුවන් අර්බුදයක – නෞකා නියෝජිත මණ්ඩලයෙන් ඉල්ලීමක්

(28.01.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා පවතින බාධාවන් හේතුවෙන් අපනයනකරුවන් සිය වෙළඳපොල අහිමිවීමේ අවදානමකට මුහුණ දෙන බව ශ්‍රී ලංකා නෞකා නියෝජිත මණ්ඩලය සඳහන් කළා.

විදේශ මුදල් හිඟය හේතුවෙන් මෙලෙස අමුද්‍රව්‍ය ආනයනය දුෂ්කර වී ඇති අතර, මේ නිසා වරාය තුළ නැව් පමා කුලි ගෙවීමට ද ඔවුන්ට සිදුව තිබෙනවා.

අමුද්‍රව්‍ය නිසි වේලාවට ලබා නො හැකි වීමෙන් ගැනුම්කරුවන් වෙත සිය නිෂ්පාදන නියමිත වේලාවට ලබාදීම අපනයනකරුවන්ට අභියෝගයක්.

මේ නිසා ඔවුන් වෙනත් වෙළෙඳපොළ වෙත යොමුවීමේ අවදානමක් පවතින බවයි ශ්‍රී ලංකා නෞකා නියෝජිත මණ්ඩලය පෙන්වා දෙන්නේ.

මෙම ගැටලුවට මුල් වී ඇති විදේශ සංචිත ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම ඇතුලු විකල්ප වෙත යොමුවන ලෙසයි ශ්‍රී ලංකා නෞකා නියෝජිත මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටින්නේ.

එමඟින් මූල්‍යාධාර දෙන ආයතන අතර ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන බව ද එමඟින් අවධාරණය කළා ෴

***************************************

රාජිතට එරෙහි මෝදර ධීවර වරාය නඩුව යළි මාර්තු අග කැඳවීමට නියෝග

(28.01.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ඇතුලු 3 දෙනෙකුට එරෙහිව මෝදර ධීවර වරාය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව මාර්තු මස 30 වනදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළා.

ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ හමුවේ අද (28) කැඳවූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මෙන්ම වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ නීල් මුණසිංහට එරෙහිව අල්ලස් සහ දූෂණ විමර්ෂණ කොමිසම මගින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

ඒ මන්ත්‍රීවරයා ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කල කාලයේ මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට ලබා දීමෙන් රජයට විශාල පාඩුවක් සිදුකල බවට චෝදනා කරමින්.

+++++++++

දලයිලාමා තුමන්ගේ භික්ෂුහු පිරිසක් මෙරටට

(28.01.2022 – 15:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරයක නිරත ටිබෙටයේ දලයිලාමා තුමාගේ අනුගාමික ශිෂ්‍ය අතිඋතුම් හත්වන ලින්ග් රින්පොචේ (Ling Rinpoche) නාහිමිපාණන් වහන්සේ ඇතුළු ටිබෙට් ජාතික මහා සංඝරත්නය වැල්ලවත්තේ පිහිටි අමරපුර නිකායේ මහා සංඝ සභා මූලස්ථානය වෙත වැඩම කළා.

පසුව උන්වහන්සේලා රාජගිරිය කලපලුවාව ගෝතම තපෝවනය වෙත වැඩම කර අමරපුර නිකායේ මහ නායක පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේ ද බැහැ දුටුවා.

දෙරට අතර බෞද්ධ දර්ශනය ගෙන යාම පිළිබඳ ව සහ ගෝලීය වශයෙන් ඇතිව ඇති සමාජීය අර්බුද පිලිබඳ ව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

***************************************

නිමා නොවන ගොවි අඳෝනාව – වන්දිවත් දෙන්න

(28.01.2022 – 14:40 +0530 – hirunews.lk/sinhala)

මහකන්නයේ අස්වැන්න අඩු වන වී වගාවන් සඳහා රුපියල් ලක්ෂයකවත් වන්දි ලබාදිය යුතු බවට වී ගොවීන් පවසනවා.

මේ අතර වගා හානි සඳහා වී ගොවීන්ට ලබා දෙන බව පැවසූ වන්දිය එළවලු සහ පළතුරු ගොවීන්ට ද ලබා දෙන්නැයි එම ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙවර මහ කන්නයේ අස්වැන්න අඩු වන ගොවීන්ට වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 25 ක වන්දියක් ලබාදීමට රජය තීරණය කළ අතර ඒ සඳහා රුපියල් මිලියන 40,000 ක් පමණ වෙන් කර තිබෙනවා.

කෙසේවෙතත් එම වන්දිය වී ගොවීන්ට පමණක් නොව තමන්ටත් ලබා දෙන්නැයි රාජාංගණය ප්‍රදේශයේ එළවලු ගොවීන් ඉල්ලා සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ කාබනික පොහොර යොදා තමන් වගාකළ එළවළුවල අස්වැන්න අඩු වී ඇති බවයි.

මැදිරිගිරිය – යාය 9 – මහ අඔගස්වැව ප්‍රදේශයේ අක්කර 200 ක පමණ මහ කන්නය යටතේ සිදු කළ වී වගාව මේ වනවිට පත්ව ඇති තත්ත්වයයි මේ.

ගොවීන් සිය වගාවන් ගිනි තබා එම ස්ථානයේ විරෝධතාවක් දැක්වූයේ මෙලෙසින්.

මේ අතර පොහොර අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පොළොන්නරුව කඩවල වැව ගොවි ව්‍යාපාරය යටතේ වගා කටයුතු කළ වී ගොවීන්ගේ කුඹුරු මේ වන විට වන අලි තර්ජනයට ගොදුරු වී තිබෙනවා.

පොළොන්නරුවේම තවත් ගොවීන් පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ දියර පොහොර යෙදීමෙන් පසු කුඹුරුවලට කඩා පනින සුනඛයින් හේතුවෙන්.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *